Sri Lanka Brief
පුවත්විවරණඅපේ ප්‍රේක්ෂක ප්‍රජාතන්ත්‍රවාදය – සරත් ද අල්විස්

අපේ ප්‍රේක්ෂක ප්‍රජාතන්ත්‍රවාදය – සරත් ද අල්විස්

by

අර්ශස් රෝගය ගැන මේ දක්වා අප අසා නැති කිසිවක් අපේ දේශපාලනය තුළ ඇත්තේ නැත. ඇත්තෙන්ම එය පශ්චාත් භාගයේ දනවන්නේ මහා දාහයකි. ‘ප්‍රායෝගික දේශපාලනය’ යනුවෙන් ගැනෙන දෙය තනි පර්යාය පදයකින් හැඳින්නුවොත් ඒ කුහකත්වයයි.

සමකාලීන දේශපාලන විද්‍යාව තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූප කිහිපයක් හඳුනා ගැනේ. 2015 ජනවාරි 8 වැනි දා සිට අප අත්දකින්නේ ‘ප්‍රේක්ෂක ප්‍රජාතන්ත්‍රවාදයකි’. ඊට කලින්, යුද්ධයෙන් පසු ගත වූ පස් අවුරුදු කාලය තුළ අපට තිබුණේ, ‘පිල්ලි ප්‍රජාතන්ත්‍රවාදයක්’ හෙවත් ‘හදි-හූනියම් ප්‍රජාතන්ත්‍රවාදයකි’. අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදයකට ආයතනික ප්‍රත්‍යස්ථියක් හෙවත් හොඳින් ඔරොත්තු දීමේ හයියක් ඇති ආයතනික පද්ධතියක් තිබිය යුතුය. 1972 සහ 1978 දී ව්‍යවස්ථා අත්හදාබැලීම් දෙකක් කෙරුණි. ඒ මගින්, පූර්වාදර්ශ සහ අඛණ්ඩතාව යන අංග දෙකම නැති කර දැමුණි.

අද, ජනතාව වන අපි, ‘යහපාලන’ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය පනවා ගන්නා සැටි සහ හසුරුවන සැටි බලා සිටිමු. අපට පැවරී ඇති කාර්යය වන්නේ එය නරඹමින් අත්පොලසන් දීම හෝ නොදී සිටීම ය. ‘ස්මාට් ෆෝන්’ විශේෂය ගැන වැඩි දැනුමක් මට නැත. එහෙත් මගේ අල්ප දැනුම, ‘ෆේස් බුක්’ සහ ‘වට්ස්ඇප්’ හරහා යන විට, අමුතුම ආකාරයේ ඔල්වර හඬක් මේ දෙන්නාට ලැබෙන බව දකින්ට ලැබේ.

පළමු දින 100 තුළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනුණි. ඒ දින 100 තුළම මහ බැංකු බැඳූම්කරයත් කරලියට ආවේය. ඉන් ඇති කෙරුණු හාහෝව මාරක ය. ආණ්ඩුව සිය විශ්වසනීයත්වය බිංදුවටම නැති කර ගත්තේය. එය මනාව කැපී පෙනුණේ, ප්‍රභූ සල්ලි ගෝනි පහක් කොළඹ හිල්ටන් හෝටලයේ කෘත්‍රීම ගිනි උඳුනක් වටේ ගිනි තපිමින්, ආණ්ඩුව ව්‍යපාර කිරීමට නොදන්නා සැටි ආචාරශීලීව පෙන්වා දුන් අවස්ථාවේ ය.

අගමැතිවරයා හරි දුරස්ථ ය. අසංවේදී ය. වගවීමෙන් තොර ය. පසුගිය දවසක පාර්ලිමේන්තුවේදීත් අපි එය දුටුවෙමු. ඉන්ධන මිල සූත්‍රය පහදා දෙන්නැයි කී විට ඔහු කෙළේ පාෂාණ ඉන්ධනවල භූ-දේශපාලනය ගැන ධර්ම දේශනාවක් තැබීමයි. ඔහු කටයුතු කරන්නේ, ඔහුම තෝරා ගත් විශ්වාසවන්තයන් කිහිප දෙනෙකු සමග ය. බැඳුම්කර කොමිෂන් වාර්තාව නිකුත් වීමත් සමග, තමන්ගේ ගමන් මගේ දිශානතිය ගැන ආණ්ඩුවට ආතක්පාතක් නැතිව ගොසිනි. කලින් තිබූ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පසෙකින් තබා, ඒවායේ කර්තෘ භාගය ලැබීමට සිටි අයවළුන් දැන් කරන්නේ, තම තමන්ගේ අවංක කම් සහ සෘජු පටිපන්න භාවය ගැන පුරාජේරු කීමයි. පක්ෂයට පක්ෂපාතීත්වය දැක්වීම සහ නායකත්වයට අනුග්‍රහශීලී වීම ඉස්මත්තට විත්, සත්‍යය සහ හෘද සාක්ෂිය යටපත්ව ගොස් තිබේ.

මේ අතර ජනාධිපතිවරයා, තමන්ට කවදාවත් නොතිබුණු ජන පදනමක අයිතියක් ඉල්ලා සිටී. ඔහු කියන්නේ ඔහුගේ රාජ්‍ය මෙහෙවර වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් කිරීම බවයි. ඔහුගේ දේශපාලනික අභිප්‍රාය එය විණි නම් ඔහු කළ යුතුව තිබුණේ තවත් ආප්පයක් දෙකක් කාගෙන මහින්ද රාජපක්ෂගේ කෑම මේසයේම රැඳී සිටීමයි. එහෙත් ඔහු එවැන්නක් කෙළේ නැත. ඒ වෙනුවට, ඒ ජනාධිපතිවරයාව ගෙදර යැවීම සඳහා තමාව පොදු අපේක්ෂකයා වශයෙන් හදාවඩා ගැනීමට ඔහු අපට ඉඩ හැරියේය. එසේ කිරීමේදී, බකිංහැම් මාළිගයේ ඉස්තාලයේ අශ්වයන් ගැන අපට කියා දෙන්නැයි අප ඔහුගෙන් එදා ඉල්ලා සිටියේ නැත.

ඒ මදිවාට, දිව්රුම් දුන් දා, එය ඔහුගේ ප්‍රථම සහ එකම ජනාධිපති ධුරය වන බවටත් ඔහු රටට සහතික වුණේය. දැන් ඒ අසරණ මිනිහා තමන්ගේ ඔඩොක්කුවට වැටුණු මහා බරකට යට වී ඇඹරෙමින් සිටී. දේශපාලඥයන් යනු පුහුදුන් මිනිසුන් ය. අටුවාටීකා නැතිව, තමන් කලින් කී දෙයකට පස්ස හැරවීම ඔවුන්ට මහ කජ්ජක් නොවේ. ශුද්ධවන්ත කතා සියල්ල, තඩි කුහකත්වයක පුහු සාටෝපයක් පමණි.

යුද්ධය දිනූ ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ අපට ‘ප්‍රේක්ෂක ප්‍රජාතන්ත්‍රවාදයක්’ තිබුණේ නැත. එය සාවධානව නැරඹීමක් සහ ඊට අත්පොලසන් දීමක් අපෙන් අපේක්ෂා කෙළේත් නැත. අපේ අනුමැතිය අපේ අනුමැතියෙන් තොරවම ඔහු පවරාගෙන තිබුණි. අපට තිබුණේ, ඒ පස්සේ ගාටන්නට ය. මහින්ද රාජපක්ෂගේ, ඔහුගේ සහෝදරයන්ගේ, දරුමල්ලන්ගේ සහ නෑසියන්ගේ ‘හදි-හූනියම් ප්‍රජාතන්ත්‍රවාදය’ එවැන්නක් විය.

එසේ තිබියදී, ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන්ගේ ඔක්කාරය දනවන ආණ්ඩුකරණය මොන තරම් අපව අසරණ කොට ඇත්ද යත්, රාජපක්ෂලාගේ ‘හදි-හූනියම් ප්‍රජාතන්ත්‍රවාදයේ’ රඟ මේ වන විට අපේ සාමූහික මතකයෙන් අතු ගා දමා තිබේ. එසේ වෙතත්, බාහිර ලෝකයෙන් වියෝ වූ තත්වසම මායා බුබුළක එදා අප සිටි බව අප කවුරුත් මතකයේ තබා ගැනීම වැදගත් ය.

මහින්ද තමාව ප්‍රජාතන්ත්‍රවාදියෙකු වශයෙන් හඳුන්වා ගත් බව ඇත්ත. එය විකාර ප්‍රජාතන්ත්‍රවාදයක් වූ බව වෙනම කාරණයකි. එහෙත් ඒ පාලනයට ස්වේච්ඡාවෙන් යටව ඉන්නට අපට බල කෙරී තිබුණි. බයටම, දේශප්‍රේමී සටන්පාඨ තුළ අපි ගිලී සිටියෙමු. මහා විනාශයකින් අපව ගලවා ගත් නායකයා අපට වන්දනීය විය. එහිදී සමාජයේ සෑහෙන කොටසක් නායකයාගේ අඩිපාරේ කැමැත්තෙන් ගිය අතර තවත් පිරිසක් ඒ ‘කුලීකාර බලහත්කාරී පාලනයෙන්’ අත්මිදෙන්ට අවස්ථාවක් එන තෙක් මග බලමින් උන්හ.

2015 ජනවාරි 8 ආවේ එසේ සිටියදී ය. එදා අප යම් විරාමයක් අත්කර ගත්තේ යැයි අපි සිතුවෙමු. රාජපක්ෂ පවුලේ ‘හදි-හූනියම් ප්‍රජාතන්ත්‍රවාදය’ නිමා කොට, අවසානය කල්තියා දැන ගත නොහැකි අලුත් ගමනක් අපි පටන් ගත්තෙමු. දැන් අපි එය දනිමු. ‘යහපාලනය’ යනු පට්ට ගැසූ වචනයක් පමණක් නොව. එය සහසුද්දෙන්ම කුණුහරුපයකි. මේ දක්වා ලද නීරස අත්දැකීම් අනුව, එක්සත් ජාතික පක්ෂ-ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානය, සංයුක්ත පිළිවෙතක් හෝ ධර්මතාවක් නැති එකතුවක් බව දැන් අපි දනිමු.

අප දැන් පැමිණ සිටින්නේ වැදගත් සන්ධිස්ථානයකටයි. මොන විදිහේ කුහකයෙකුව ද 2020 දී අප තෝරා ගත යුත්තේ? දූෂණය අතුගා දැමීමට ප්‍රතිඥා දුන් කුහකයෙකු එක පැත්තක ය. ණය උගුලෙන් රට ගලවා ගත හැක්කේ තමාට පමණකැයි කියන තවත් කුහකයෙක් තවත් පැත්තක ය. ඇඟේ මයිලකවත් දූෂණය ගෑවී නැතැයි කියන සද්දන්ත කුහකයා තවත් පැත්තක ය. මේ අස්සේ, සකල දේශප්‍රේමීන් එක්සේසත් කොට සකල ලෝකයම කුඩුපට්ටම් කර දැමීමට මාන බලන කුහකයා හොරෙන් බලා සිටී.

මෙය නරුම පල්හෑල්ලක් නොවේ. එය, මහ පොළොවේ යථාර්ථයට අනුකූල, වර්තමාන දේශපාලන පෙළගැසීම් පිළිබඳ අවංක චිත්‍රයකි. ඊළඟ ජනාධිපතිකමට ඉව අල්ලන එවුන්ගෙන් එකෙකු හෝ අනිකාට වඩා ශුද්ධවන්තයෙකැ යි භාර ගතහොත්, සමස්ත දේශපාලඥයන්ගේ කුහකත්වයට වඩා කුහකත්වයකට අපි ඇද වැටෙන්නෝ වෙමු.

සියල්ල නැති වී නැත. 2015 ජනවාරි 8 යනු විධායක ජනාධිපති ධුරය අහෝසි කර දැමීමේ ජන වරමයි. ජනාධිපති සිරිසේනටත්, අගමැති වික්‍රමසිංහටත් ඔවුන්ගේ ‘ප්‍රේක්ෂක ප්‍රජාතන්ත්‍රවාදය’, ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් බවට පත්කර ගැනීම සඳහා අවශ්‍ය කොටස් බලමුළු ගැන්වීමෙන්, නැති වු විශ්වාසය යළි ගොඩනගා ගැනීමේ ඉඩකඩ තවමත් තිබේ. දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20 වැනි සංශෝධනය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ. මේ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීම හරහා, යහපාලකයන් අතින් මේ දක්වා ගිලිහී ගිය විශ්වාසය යම් තාක් යළි දිනා ගැනීමේ අවකාශය ඉතිරිව තිබේ.

සිදුවෙමින් පවතින දේවල් මගින් කියාපාන්නේ දේශපාලනය කිසි දවසක අවංක වෘත්තියක් නොවන බවයි. දේශපාලනය කිරීමට යම් තරමක වංචනිකත්වයක් අවශ්‍ය කෙරේ. එය අපට භාර ගැනීමට බැරි කමක් නැත. එහෙත් මෙතරම් වංචනිකත්වයක්? ජනාධිපති සිරිසේන සහ හිටපු ජනාධිපති රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායකගේ නිවසේදී මුණගැසී සාකච්ඡා කළ බව ගිය සතියේ දැන ගන්නට ලැබුණි. මේ සාකච්ඡා, ‘රටේ දේශපාලන දිසානතිය වෙනස් කිරීමේ’ මගකට තුඩුදිය හැකි බව කියැවේ. මෙවැනි හමුවක් සිදු නොවූ බව එස්. බී. දිසානායක කියා තිබේ. හිටපු ජනාධිපතිවරයා ද හමුවක් සිදු නොවූ බවක් නොකියා, මේ කියන දවසේ හමුවක් නොපැවති බවක් කියා තිබේ.

මේ ප්‍රතික්ෂේප කිරීම්වලින් සත්‍යය වැසැංගිය හැකි නොවේ. ජනතාව මේ අයියලාව හොඳින් හඳුනති. එස්. බී. දිසානායක වැනි දේශපාලඥයෙකුගෙන් ජනතාව සත්‍යවාදී වීමක් අපේක්ෂා කරන්නේ නැත. ඔහු වනාහී, පට්ට ජිල්මාට්කාරයෙකි. ඒ නම්බුව ඔහුට දිය යුතුය. එහෙත් මේ සතරකන් මන්ත්‍රණය කෙළේ යැයි කියන අනිත් දෙන්නා? ඒ දෙන්නාම බලය රස බලා තිබේ. බලය සොයන්නේ, ඒ බලය තවත් කෙනෙකු වෙනුවෙන් අතහැරීම සඳහා නොවන බව ඒ දෙන්නාම දනිති.

‘විපක්ෂය කියන ආකාරයෙන් ආණ්ඩු වෙනසක් සිදු නොවන’ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවට සහතික විය. ඊටත් එහාට යමින් ඔහු කියා සිටියේ, ‘ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ දේශපාලන පක්ෂ සමග ආණ්ඩු හැදීමට මේ ආණ්ඩුවට පුළුවන් කමක්වත් ජන වරමක්වත් ලැබී නැති’ බවයි. එහෙත් එස්. බී. යනු කවුදැ යි කිරිඇල්ලට අමතකව තිබේ. කිරිඇල්ලම නියෝජනය කරන නුවර දිස්ත්‍රික්කයෙන් මේ කියන එස්. බී. දිසානායකව ජනතාව ප්‍රතික්ෂේප කළහ. අනතුරුව පාර්ලිමේන්තුවට ඔහුව පත්කෙරුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙනි. තමන්ට පක්ෂපාතීත්වය දක්වන්නන්ට ඇමතිකම් දීම සඳහා පවත්වාගෙන යන ‘ජාතික ආණ්ඩුවේ’ ඇමති මණ්ඩලය තුළ, එසේ ජනතාව ප්‍රතික්ෂේප කළ එස්. බී. දිසානායක මීට ටික කලකට කලින් සිටීම, කිරිඇල්ලට ඇම්මක් ඇති කරන කාරණයක් වී නැත.

ජාතික ආණ්ඩුව යනු දේශපාලනික කුහකත්වයේ ප්‍රතිමූර්තියයි. හොරුන් ඇල්ලීම පැත්තකින් තියන්න. ගත වූ තෙවසරක කාලයේ අත්දැකීම් පෙන්වා දෙනු ලබන්නේ, මේ ‘ප්‍රේක්ෂක ප්‍රජාතන්ත්‍රවාදය’ නැමැති සෙල්ලම කිරීමට පාර්ශ්වය දෙකම එක සමාන කප්පිත්තන් වන බවයි. මේ කාටවත් සල්ලිවලින් හිඟ පාඩුවක් නැත. පාරේ කෙරෙන විරෝධතා සංවිධානය කිරීම සඳහා අතමිට නැති බවක් කිසිවෙකු කියා නැත. සත්‍යය දැන ගැනීම යහපති. හිත් දිනා ගැනීමේ සංග්‍රාමයට අතපය දිග හැර මුදල් වියදම් කෙරේ. ‘හදි-හූනියම් ප්‍රජාතන්ත්‍රවාදයේ’ බිජු වටින් උපන් බලධාරී හැතිකරය දැනටමත් තම වරිගයාගේ හැඟීම්බර ලෝකයට ඇමතීමට පටන්ගෙන තිබේ. දේශපාලන ප්‍රචාරණය යනු ඉතා සියුම් ව්‍යාපාරයකි. ඉතා දුර්වල තර්ක වටා ප්‍රාකාර ගසා ජන මතයට පහර දීම සේම වසඟ කරවා ගැනීම මොන තරම් පහසු කාර්යයක්දැ යි අපේ රූපවාහිනි බලන කාටත් වැටහෙයි. අපේ ගැලවීම සඳහා දැන් බලාපොරොත්තු තබා ගැනීමට ඇත්තේ 20 වැනි සංශෝධනය ගැන ය.

2018 ඔක්තෝබර් 14 වැනි දා ‘සන්ඬේ ඔබ්සර්වර්’ පුවත්පතේ පළවූ Our Spectator Democracy නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

 

 

 

2018 ඔක්තෝබර් 14 වැනි දා ‘සන්ඬේ ඔබ්සර්වර්’ පුවත්පතේ පළවූ Our Spectator Democracy නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top