Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගඅපේ කාලයේ ගැහැණූ දෙදෙනෙක්: නාදියා මුරාද් සහ ඇලිස් කොඩිතුවක්කු – සුනන්ද දේශප්‍රිය

අපේ කාලයේ ගැහැණූ දෙදෙනෙක්: නාදියා මුරාද් සහ ඇලිස් කොඩිතුවක්කු – සුනන්ද දේශප්‍රිය

by

ඡායාරූපය: නාදියා මුරාද්.

විසි පස් හැවිරිදි තරැණියක වූ නාදියා මුරාද් 2018 වසරෙහි නෝබල සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවා ය‍. යුද්දයෙහි දී ස්ත්‍රීන් ලිංගික කෙළෙසීමට විරුද්ධ ව්‍යාපාරයේ කොටස්කාරියක ලෙස . ආච්චී කෙනෙකු වූ ඇලිස් කොඩිතුවක්කු පසුගිය සතියේ සදාකාලික නින්දට පිිවිසියා . 1971 අප්‍රේල් කැරැල්ල පරාජයෙන් පසු වැන්දඹුවක දශක පහක දිරිය ජීවිතයක් නිමා කරමිනි.

ලොව ඈත දෙකෙළවරක ජිවත් වූ එකිනෙකාට කිසිදු සම්බන්ධයක් නොතිබූ නමුත් මේ ගැහැණුන් දෙදෙනා අතර එක් බැදීමක් නැත්නම් සමානත්වයක් තිබණි. නම් මානව වර්ගයාගේ සදාතනික සාපය වන යුද්දයේ සහ ප්‍රචන්ඩත්වයේ ගොදුරු බවට පත්වීමයි.

නාදියා ලියූ The Last Girl ‘අන්තිම තරුණිය’ නම් අැයගේ ජිවිත කතාව මා කියවූයේ මාස හය හතකට පෙර . අන්තවාදී ඉස්ලාමීය අයිසිස් හමුදා විසින් සිය යෂීඩි ප්‍රජාවෙහි පිරිමින් සහ මව්වරුන් සමූළ ඝාතනය කරමින් තරුණියන් ලිංගික වහලියන් ලෙස සිරගත කරනු ලැබූ අඳුරු පරිච්ජේදයෙහි සිය බියකරු අත්දැකීම නාඩියා එහි සටහන් කරයි.

ඇලිස් කොඩිතුවක්කු ගැන ලිඛිතව ඇති එකම සටහන මා දන්නා තරමින් ඇතුලත් වන්නේ ජීවිතයේ් සැදෑ සමය ගතකරමින් සිටින පියසිරි ගුණරත්න සහෝදරයා විසින් ලියා පසුගිය අප්‍රෙල් මාසයේදී මුද්‍රණයෙන් පළ වූ ‘මගේ මතක සටහන්’ නම් වටිනා පොත් පිංචෙහි . පියසිරි ගුණරත්න ජවිපෙ ගොඩනෑගීමේ මුල් දේශපාලන සාකච්චඡාවට එක් වූ සිව්දෙනාතුරින් අද ජීවත්ව සිටින එකම සහෝදරයා .

ඇලිස් කොඩිතුවක්කු යනු 1971 ජනතා විමුක්ති පෙරමුණෙහි දෙවැනි නායකත්වය ඉසුලූ විජේසේන ජි විතාන නොහොත් සනත් බොරලුකරුකැටියගේ ජීවිත සහකාරිය යි. සිංහරාජ වනාන්තරය කරා පසුබසිමින් සිටි සනත් ඇතුළූ කුඩා කණ්ඩායමක් 1971 අප්‍රේල් 24 හෝ 25 වන දින නෙළුව පොලීසිය විසින් අත් අඩංඟුවට ගෙන දස වධ දී ඔවුන්ම ලවා කැප්පවූ වලක දමා ඝාතනය කරන ලදී.

නාදියා මුරාද් ජීවත් වූයේ උතුරු දිග ඉරාකයේ නිවේ ප්‍රාන්තයේ සින්ජූර් පෙදෙසෙහි . ඇය ලක්ෂ පහක් තරම් වන සුලුතර ප්‍රජාවක් වූ දෙවියන් මොණර කුරුල්ලා වේශයෙන් පැමිණයේ යැයි ඇදහූ සාමකාමී යෂීඩි ප්‍රජාවට අයත්විය. ඉස්ලාම් නොවන අන් සියල්ලන් ඝාතනය කිරීමට සිය ආගමෙන් වරම් ලැබී ඇති බවට ඉස්ලාම් දහම නිර්වචනය කළ අයිසිස් හමුදා විසින් අැයගේ ගම්මානය යටත්කර ගන්නා ලදී. ඉන් අනතුරුව සිය මව ඇතුළු වැඩිහිටියන් ඝාතනය කළ අන්දමත් අයිසිස් හමුදා සහ ආගමික ප්‍රධානින් විසින් තමා ඇතුලූ යෂීඩි තරුණියන් එකිනෙකාට අලෙවි කරගනිමින් නෑසු විරු ලිංගික කෙළෙසීම්වලට ලක් කළ අන්දම නාඩියා සිය වචනයෙන් ලියා පළකළා .

නාදියා මුරාද්ගේ ජීවිත කතාවෙහි වටිනාම හරය වන්නේ සා කුරිරු වධ හිංසා මැද ජීවිතය පිළිබඳ අපේක්ෂා අත නොහැර පවත්වා ගනිමින් මාරක අයිසිස් හමුදවන්ගෙන් පලා යාමටත් සිය සොයුරියන් ඇතුළූ ප්‍රජාවෙහි තරුණියන් බේරා ගැනීමට දරන ලද ඇදහිය නොහැකි ධෛර්යයි. වරක් පලා යාමට දරන ලද උත්සාහයක් අසාර්ථක වීමෙන් පසු ඇයට දෙන ලද දඩුවම වූයේ එකි පසුපස එකා බැගින් පැමිණි අයිසිස් හමුදා භටයන් විසින් ලිංගිකව කෙළෙසීමට ලක් කිරීමයි. ඇය වන විටත් සිටියේ විසි එක්වැනි වියෙහි !

ඇය මෙසේ ලියයි:

මගේ ජීවිතයෙහි ගත් දුෂ්කරම තීරණය වුයේ (සිදු වූ දේ හැටියෙන්ම කීමට –- සුදේ) අවංක වීමට ගත් තීන්දුවයි. එමෙන්ම මගේ ජීවිතයේ ගනු ලැබූ වැදගත්ම තීන්දුවත් එයයි’

රැයෙහි වහල් වෙළද පොළ විවෘත කෙරුණි. සටන්කාමීන් සිය ලියා පදිංචිවෙමින් සංවිධානය වන කළබලය බිම්මාලයෙන් ඇසුණි. පළමු පිරිමියා කාමරයට ඇතුල් වු වහාම හැම කෙල්ලක් යටි ගිරියෙන් බෙරිහන් දෙන්නට පටන් ගත්තේ ය‍. එය හරියටම පිපිරිමක් සිදුවුණ වැන්න. එකිනෙකා මත වැටෙමින්, වමනය කරමින් අපි තුවාල වූවාක් මෙන් ළතොනි දුන්නෙමු. එසේ නමුත් කිසිවක් නිසා සටන්කාමීන් පසුබෑවේ නැත. අප හඩමින් යදින අතරෙහි ඔව්හු අප දෙස ඔරවා බලමින් වටා ඇවිද්දෝ . ‘ උඹට වයස කීයද?’ යැයි අසමින් හිසකේ සහ මුව පිරික්සමින්, ඔවුහු වඩාම සුන්දර යුවතියන් වෙත මුලින්ම ඇදී ගියෝ . ‘ මුන් කන්‍යාවියන් නේද?” ඔවුහු රැකවලා විමසුහ. ‘ නැතුව, සත්තකින්ම” යැයි ඔහු පිළිතුරු දුන්නේ හරියට සිය නිශ්පාදන ගැන සාඩම්බරවන වෙළද සැල් හිමියකු මෙනි. අනතුරුව සටන්කාමීහු, ඔවුන්ගේ අතැගිළි අපේ පියවුරු සහ කලවා අතර යවමින්, සිතැඟි පරිදි අප අතපත ගාන්නට වූහ. හරියට අප වන සතුන් පිරිසක් සේ .’’

මිනිස් ආත්මයකට දැරිය නොහැකි යැයි හැඟෙන තරමේ මේ සියළු ගැහැට නොබා සිය ආත්ම විශ්වාසයත් දුර දැක්මත් අත්නොහළ මේ නව යෙවුන් තරැණිය අද ස්ත්‍රී කූට්ටනයට එරෙහි එක්සත් ජාතීන්ගේ විශේෂ දූත වරියක් වෙයි.

ඇලිස් කොඩිතුවක්කු අතිශය දුෂ්කර තත්වයන් යටතේ ජීවිතය පිළිබඳ අපේක්ෂා අත නොහැරි ගැහැණියක වූවා . 1971 ජනතා විමුක්ති පෙරමුණෙහි ඉහළම නායකත්ව මණ්ඩලයන්හි සිටි එකම විවාහකයා වූයේ සනත් . ඔහු සහ කොඩිතුවක්කුට දියණියන් තිදෙනෙකු පුතෙකුද සිටියෝ .

ඇය ගැන පියසිරි ගුණරත්න මෙසේ සටහන් කරයි.

ව්‍යාපාරය තුළ සනත් සහෝදරයාට නායකත්වය ගෙන කටයුතු කිරීමට හැකිවූයේ, ඔහුගේ භාර්යාව වූ ඇලිස් කොඩිතුවක්කු සහෝදරියගෙන් ලැබුණ උපරිම සහයෝගය නිසාවෙනි. ලැබූ එකම ආදායම් මාර්ගය ද නොමැතිව, ගේ දොර කටයුතු සහ දරුවන් හතර දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු අඩාල වීමට ඉඩ නොතබමින්ද සනත් සහෝදරයා හමුවීමට පැමිණෙන සහෝදර සහෝදරියන්ගේ අවශ්‍යතාවයන් හැකි පමණින් ඉටුකරමින් හා ඔවුන් උනන්දු කරමින්ද, සනත් සහෝදරයාව උනන්දු කරමින්ද ලබාදුන් සහයෝගය අති මහත්ය.’

අපි ඇයට කීවේ කොඩි අක්කා කියා ය. ඇයට මා රංජි මල්ලී විය. ඒ වනාහී බොහෝ අරුත්බර නෑ කමකි. ඇය ඒ වචන දෙක සිනහවකින් තොරව පිටකළ දවසක් මට මතක නැත. එවැනි නිරහංකාර සහ අව්‍යාජ සිනහවක් තරම් තෑග්ගක් වෙන කොයින්ද?

සනත්, ගුරුවරයකු වූ තාත්තාගේ ගෝලයකු ව සිට තිබූ අතර පසු කළෙක මගේ දේශපාලන ගුරුවරයා බවට පත්විය. යුද්ධය මිනිස් ජීවිත ගිල දමන්නේ සාක්ෂි ඉතිරි නොකර ය. සනත් මරා දැමූ බව අප දන්නා ඇසින් දුටු නමුත් සාක්ෂියක් නැත. ඔහු ඝාතනය කළ පොලිස් උප පරීක්ෂකවරයා පසු කළෙක ශ්‍රීලනිප දේශපාලනඥයකු බවට පත්විය.

එසේ නමුත් කොඩි අක්කා සනත් මියගොස් ඇතැයි කාලයක් යන තුරුම විශ්වාස කළේ නැත. 1977 අවසානයේ දී සිරයෙන් නිදහස් වී පැමිණි මා හික්කඩුව පන්විල ඔවුන්ගේ නිවෙසට යෑම් ඊම් කිරීම පුරුද්දක් කර ගතිමි. මේ වන විට දරුවන් දෙදෙනෙකු කුරැල්ලට සිර ගත වූ මගේ මව සහ කොඩි අක්කා අතර ඥාතිමය බැදීමක් මුල් බැසගෙන තිබුණි.

අද උතුරු කරයෙහි මව්වරුන් සිය දරුවන් යළි එනු ඇතැයි දස වසරකට පසුත් කල්පනා කරන පරිද්දෙන් ම කොඩි අක්කා ද සනත් යළි එනු ඇතැයි විශ්වාස කළේ ය. සනත් ජිවත්ව සිටින්නේ යැයි විවිධ සාස්තරකාරයන්ගෙන් ඇය ලැබූ තොරතුරු අනුව මා ඇය සමඟ බදුල්ල සහ අම්පාරට දෙවරක් ම ගියේ ඇය තනි නොකළ යුතු වූ නිසා ය. පසුව ඇය සිත හදා ගත්තේ ය. සිය දරුවන් ලොකු මහත් කිරීම ජීවිතයේ සතුට බවට පත් කර ගත්තේ ය.

දේශපාලනය, විශේෂයෙන්ම අප වමේ යැයි කියන පුළුල් දේශපාලනය අභ්‍යන්තරයෙන් නරුම ය. එයට මිනිස් වටිනාකම් ඇත්තේ මතවාදය තුළ පමණය. විජේවීරගේ අලු බදුන ගෙන යෑමට උනන්දු නොවූ ජවිපෙ සිය දෙවැනි නායකයාගේ බිරිඳ සහ දරුවන් ඉන්නවාද නැත්ද කියා දැන සිටියේවත් නැති තරම් ය. පක්ෂයේ හෝ ව්‍යාපාරයේ නැත්නම් ඒ පුද්ගලයා නිකමෙකි. ඔහු හෝ ඇය තවදුරටත් දන්නා කියන අයකු නොවේ. වාමාංශික දේශපාලනයට මිත්‍රත්වය යන මිනිස් වටිනාකම නොතේරේ.

ඇලිස් කොඩිතුවක්කුගේ වටිනාකම නම් එකී දුුර්ගුණයේ ගොදුරක්වීත් ඊට යටත් නොවී මිනිසකමත් සෙනෙහෙසත් මිතුරුකමත් රැක ගැනීමට සමත්වීමයි. ඇය සුවෙන් නිදනු ඇත.

නාදියා මුරාද් අපට කියන්න කතාවෙහිද එම වටිනාකම ම තිබේ. එනම් අනෙකා ගැන සෙනෙහවත්වීමේ වටිනාකමයි. දිනපතාම මූලධර්මවාදීන්ගේ ප්‍රචණ්ඩ ලිංගික කෙලෙසීම්වලට ලක් වෙමින් සිටියදීත් ඇය තමා පමණක් නොව සිය සොයුරියන් සහ මිතුරියන් ගලවාගෙන පලා යන්නේ කෙසේදැයි ඉර හඳ පටලවමින් කල්පනා කළා ය.

සිය අත් දැකීම ඇය මෙසේ ළඝූ කරයි: ‘සින්ජවූරුවලට පහර දී කෙල්ලන් ලංගික වහලියන් ලෙස අල්ලා ගැනීම පෙරේත සොල්දාදුවන් විසින් ඉබේ ගන්න ලද තීන්දුවක් නොවේ. එය අයිසිස් ඉස්ලාමීය රාජ්‍යය විසින් සැළසුම් කරන ලද්දකි. ‘සබායා’ ( ලිංගික වහලිය) යන ආගමික සංකල්පය ඔවුන් පාවිච්චි කරන ලද්දේ සොල්දාදුවන් දිරිමත් කිරිමක් වශයෙනි. නව සොල්දාදුවන් බඳවා ගැනිීමේ ක්‍රමයක්ද වශයෙන ඩබීක් යන ඔවුන්ගේ වර්ණවත් සඟරාවෙහි එය දක්වන ලදී්‍.’

එසේ නමුත් මේ වනාහී අයිසිස් සිතා සිටි පරිදි ඔවුන්ගේ සොයා ගැනීමක් නොවේ. ස්ත්‍රීන් ලිංගිකව කෙළෙසීම ඉතිහාසය පුරාම යුද්දයේ අවියක් ලෙස යොදාගෙන තිබේ’

1971 ප්‍රේමවතී මනම්පේරිගේ සිට 2019 සොබානා ධර්මරාජා නොහොත් ඉසිප්‍රියා දක්වා අප ද ඒ අත්දැකීම නොදන්නෙමුද? 1971 සට මෙදා දක්වාම මෙරට ද ස්ත්‍රීන් දූෂණය කිරීම යුද්දයේ ද දේශපාලනයේ ද අවියකි.

නාදියා මුරාද් සිය කදුළු පිසඳා අද නැගී සිටින්නේ යුද්දයේ දුෂ්ඨතම අවියකට එරෙහිව යි. ඇය අපේ කාලයේ වීරවරියකි

Back to Top