Sri Lanka Brief
පුවත්විවරණමෝල්ලු සහ මෝරු – තිසරණී ගුණසේකර

මෝල්ලු සහ මෝරු – තිසරණී ගුණසේකර

by

ජායාරූපය: කෝමල කකුලට වඩා තඩි සපත්තු දාගෙන ලොකුවට ඇවිදින්ට ගිය ඉළන්දාරියෙකුගේ අබග්ගය.

විධායක ජනාධිපති තනතුරට නාමල් රාජපක්ෂව කොහෙත්ම නුසුදුසු කරවන එකම සාධකය වයසම නොවේ. දේශපාලනික ප්‍රභාව ඇතිව සිටි කාලයේ මේ ගැටයා කළ කී කිසි දෙයකින්, වගකීමක් ඇති තනතුරක් දැරීමට අල්ප හැකියාවක්වත් ඇති බවක් පෙන්වා නැත. ජනබල මෙහෙයුමත්, එහි අනිවාර්ය අසාර්ථකත්වයත් සංකේතවත් කෙළේ, කෝමල කකුලට වඩා තඩි සපත්තු දාගෙන ලොකුවට ඇවිදින්ට ගිය ඉළන්දාරියෙකුගේ අබග්ගයකි.

එහෙත් ඔහුගේ අප්පාට අනුව, නාඹර නාමල් ජනාධිපති අපේක්ෂකත්වයට හෝ ජනාධිපති තනතුරට හෝ නොපෑහෙන එකම කාරණය වන්නේ වයසයි. 19 වැනි ව්‍යවස්ථාවේ ඒ විශේෂිත වගන්තිය නොවන්නට, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂ සිය වැඩිමල් පුතාව අභිෂේක කරනු ඇත. හිටපු ජනාධිපතිවරයා ‘හින්දු’ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඒ බව හෙළි කොට තිබුණි. “30 ට තිබිච්ච අවම වයස් සීමාව ඒගොල්ලෝ දැන් 35 කරලා නිසා මගේ පුතාට 2019 දී ඉදිරිපත් වෙන්න බැහැ.”

ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදය 19 වැනි ව්‍යවස්ථාව හරහා බේරා ගැනීමට හැකි වේද නැද්ද යන්න, ඉදිරියට බලා ගත යුතුව ඇති දෙයකි. එහෙත් ‘බේබි ඩොක්’ ගැටයෙකුගේ විගඩම් පාලනයකින් දැනට ලංකාව බේරී ඇති බව කිව හැකිය. (‘බේබි ඩොක්’ යනු, වසර 15 ක් හයිටි රාජ්‍යය අව-පාලනය කළ මරුමුසු කොලු ගැටයෙකි- පරිවර්තක). නාමල් රාජපක්ෂ කෙනෙකු රටේ ජනාධිපති වුවහොත් සති කිහිපයක් ඇතුළත එය මාරක විකාරයක් දක්වා පල්ලම් බසිනු නියති. කෙසේ වෙතත්, අප්පාගේ බොරු කකුල් මත සිටගෙන පූච්චානම් දොඩන එවැන්නෙකුගේ ඛේද-විකට අනාගතයක් ගැන, අඩු වශයෙන් 2025 දක්වාවත්, බියවීමට කාරණා නැත.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉහළින් 2020 දී රඟදෙන හොල්මන වන්නේ නාමල් රාජපක්ෂගේ කැහැටු හෙවනැල්ල නොව, ගෝඨාභය රාජපක්ෂගේ තඩි හෙවනැල්ලයි. මහින්ද රාජපක්ෂ ‘හින්දු’ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවෙන් හෙළිදරව් වන පරිදි, රාජපක්ෂලා එදා මෙන්ම තවමත් පවුල් සමාගමකි. ලොකු පුතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි නම් මහින්ද රාජපක්ෂ ඒ වරය දෙනු ඇත්තේ සහෝදරයන්ගෙන් කෙනෙකුට ය. රාජපක්ෂ දරුවන්ට සහ සහෝදරයන්ට වඩා එම තනතුරට සුදුසුකම් ඇති තවත් අය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටිය හැකිය. එහෙත් ඔවුහූ උත්පත්තියෙන් නුසුදුස්සෝ වෙති. රාජපක්ෂ කෙනෙකු සිටින කවර තැනක් වුව, දේශපාලන පක්ෂයක් වේවා, රටක් වේවා, එය පවුල් නින්දගමක් වනු ඇත. පවුලට උපන් සහ පවුලේ හැදුණු වැඩුණු එකෙකු විසින්ම පාලනය කරනු ලබන පවුලේ බූදලයක් වනු ඇත.

ඉතිං, අනාගතයේ සේයාව පැහැදිළි ය. රාජපක්ෂලාගේ යළි පැමිණීමක්, පවුල් පාලනයක සහ රජ පෙළපතක යළි පැමිණීමක් වනු ඇත. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිටින රාජපක්ෂලා නොවන ඕනෑම නායකයෙකු කොච්චර දත්මිටි කෑවත්, ඔහුට හෝ ඇයට සිටීමට සිදුවනු ඇත්තේ වලව්වේ එළිපත්තේ ය. ඉහළ තානාන්තර සියල්ල පවුලට වෙන් කොට තිබේ. ඒවා යාවජීව ය.

සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව තමන් ලද ජනතා වරම කෙරෙහි අතරමැද ලැදියාවකින් හෝ සිටියේ නම්, රාජපක්ෂලාගේ මේ සංදර්ශනය අපට විනෝදාත්මක වන්නට තිබුණි. ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක රැකවරණය තුළ, තාත්තා-පුතාලා, මාමලා-බෑනලා සහ බාප්පලා නටන මේ දේශපාලන තොවිලය නරඹමින් හිනාවෙන්නට තිබුණි.

එහෙත් සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව සිටින්නේ ඈලියාවට යමිනි. සරළම වචනාර්ථයෙන් ගත්තත්, මෙය යහපාලනය නොවේ. උදාසීන ප්‍රතිපත්ති සහ ග්‍රාම්‍ය ක්‍රියාකාරීත්වයෙන් යුත් මෙය, මුග්ධ පාලනයකි. ජනාධිපතිවරයා කජු ඇටේක එල්ලීම සහ අගමැතිවරයාගේ ‘ගම්පෙරළිය’ ආපදාව, මේ පරිපාලනය තුළ පවතින ස්වයං-විනාශය කෙරෙහි වන නැමියාව කියාපායි. චාලි චැප්ලින් ‘ප්‍රජාතන්ත්‍රවාදියා’ නමින් සිනමා පටයක් කෙළේ නම්, මෙය ඊට අගනා ප්‍රස්තුතයක් වන්නට තිබුණි. (ඔහු ‘ඒකාධිපතියා’ නමින් චිත්‍රපටියක් කර තිබේ- පරිවර්තක).

අපේ කාලයේ සැබෑ ඛේදවාචකය ඇත්තේ එතැනයි. මොන අසාර්ථකතා තිබුණත් මේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ය.

රාජපක්ෂගේ භුක්තියේ තිබෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට වඩා මේ ආණ්ඩුව වගවීමෙන් යුක්ත ය. පාරදෘෂ්‍ය භාවයෙන් යුක්ත ය. ඊට වඩා මධ්‍යස්ථ ය. ඉවසන සුළු ය. සිරිසේන-වික්‍රමසිංහ පාලනයට, අධිකාරීවාදී ආවේශයන් සහ මර්දනකාරී අභිලාෂයන් නැතිවා නොවේ. එහෙත් ඒවා ඕනෑම ආණ්ඩුවක් තුළ පොදුවේ දක්නට ලැබෙන දේවල් ය. බලය, වෙන් වෙන් ආයතන වෙත බෙදා වෙන් කොට පවත්වා ගත යුත්තේ එබැවිනි. ඒ බල-විභේදනය ප්‍රායෝගික සත්‍යයක් කර ගත හැකි තරමට, ආයතන පද්ධති ශක්තිමත් කර ගත යුත්තේ එබැවිනි.

සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව බලයට පත්කර ගත්තේ, ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කර ගැනීමට ය. ඒ කාරණයේදී සෑහෙන දුරකට එය සාර්ථකව තිබේ. වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදයේ තුවාල කර-ගැට තිබුණත්, මීට වඩා යහපත් තැනකට සම්ප්‍රාප්ත වීමේ හැකියාව ඊට තිබේ. තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කර ගැනීම සහ අඳුරු අහුමුළු විවර කර ගැනීම සඳහා එම අයිතිය පාවිච්චි කෙරෙමින් තිබීමත් කියාපාන්නේ, කාලයත් සමග අවස්ථාව ලදොත්, ශ්‍රී ලංකාවට තව දුර යා හැකි බවයි.

වර්තමාන කාර්ය භාරය වන්නේ, ගත වූ වසර තුනක කාලය තුළ අත්පත් කර ගත් ජයග්‍රහණයන් තවත් ශක්තිමත් කර ගනිමින්, අපේ දේශපාලනික ගමන ආපස්සට නොව ඉදිරියට යන බවට වගබලා ගැනීමයි. එහෙත් අවදානම වන්නේ, ආණ්ඩුවේ අවපාලනය කෙරෙහි කෝපයට පත්වන ඡන්දාදායකයන්, අනාගත යහපත් ඒකාධිපතියෙකු පතා ඒ ජයග්‍රහණයන් පාගා පොඩි කර දැමීමට ඇති ඉඩකඩයි.

ඒකාධිපතියන් ගැන පවතින මිථ්‍යාවන්

හොඳ වැඩකාරයෙකු වන ඒකාධිපතියෙකු ගැන පවතින මිථ්‍යාව, බාගවිට උපන්නේ ඉතාලියේ විය හැකිය. පළමු ලෝක යුද්ධය නිසා ඉතාලියේ දුම්රියට සේවාව කඩා වැටුණි. යුද්ධයෙන් පසුව මෙය යුරෝපයේ හොඳම දුම්රිය සේවාව බවට පත්කරන බවට එරට ෆැසිස්ට්වාදියෝ ජනතාවට පොරොන්දු වූහ. දුම්රිය සේවාව ඇත්තෙන්ම ඉන් පසු යම් ප්‍රගතියක් ලැබුවේය. ඒ, බොහෝ කොට, ආයෝජනවලටත්, මුසෝලිනී බලයට පත්වීමට පෙරාතුව සකස් කොට තිබූ සැලසුම්වලටත් ස්තුතිවන්ත වන්නට ය. එසේ වෙතත් එය යුරෝපයේ හොඳම දුම්රිය සේවාව බවට නම් කවදාවත්ම පත්වුණේ නැත. සත්‍යය එසේ වී මුත්, ෆැසිස්ට්වාදීන්ගේ කයිවාරුව නැවතුණේ නැත. ගුවන් විදුලි අවකාශය තුළ පාලකයන්ට එරෙහිව හඬ නැගීම තහනමට ලක්කොට එය අපරාධයක් බවට පත්කොට තිබුණු තත්වයක් තුළ, ෆැසිස්ට්වාදී පාලකයන් දෙසාබාන ඕනෑම බොරුවක් සාමූහික ජන විඥානය තුළ සටහන් වුණේ ‘සත්‍ය දත්ත’ වශයෙනි.

ඊළඟට, අලුතින් කාර්මීකරණය වූ නැගෙනහිර ආසියාතික රටවල් කිහිපයක් බිහි වීම හේතුකොටගෙන, සාර්ථක ඒකාධිපතියෙකු පිළිබඳ මිථ්‍යාව තවත් ජනප්‍රිය වුණි. දරිද්‍රතාවයේ සහ අසංවර්ධනයේ කරවටක් ගිලී සිටි තුන්වැනි ලෝකයේ රටවල් අතරින් ‘නැගෙනහිර ආසියාතික ව්‍යාඝ්‍රයන්’ වශයෙන් හැඳින්වුණු මේ රටවල් කිහිපය බොහෝ දෙනාට දර්ශනය වුණේ මහා හාස්කමක් වශයෙනි. අලුතින් කාර්මීකරණය වී සංවර්ධනය වූ මේ නැගෙනහිර ආසියාතික රටවල් හතරේම තිබුණේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ ආණ්ඩු නොවූ නිසා, සීග්‍ර ආර්ථික සංවර්ධනය අත්කර ගැනීමට නම්, නැණවත්, සොඳුරු ආඥාදායකයෙකුගේ මගපෙන්වීම අවශ්‍ය බවට බලවත් විශ්වාසයක් ගොඩනැගුණි.

එහෙත් ඒකාධිපතියන්ගේ කෙරුවාව නැණවත් වන්නේවත්, සොඳුරු වන්නේවත් නැති බව ඔප්පු කිරීමට, තුන්වැනි ලෝකයේ සෙසු රටවල අත්දැකීම් හොඳටම සෑහේ. ඇත්ත වශයෙන්ම, 1990 දශකය දක්වාම, ආසියාවේ, අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ බහුතරයක් රටවල සිටියේ සිවිල් හෝ හමුදා ඒකාධිපතියන් ය. ඒ කිසි රටක්, අර කී අලුතෙන් කාර්මීකරණය වූ රටවල් අත්කර ගත් සංවර්ධන මට්ටමට කිට්ටු වුණේවත් නැත. ඒකාධිපතිත්වය සහ සංවර්ධනය අතර තිබෙතැ යි කියන මිථ්‍යාව බිඳලීමට එයම සෑහේ.

ඉහතින් කී ‘නැගෙනහිර ආසියාතික ව්‍යාඝ්‍රයන්’ පිබිදුණේ, ඒ රටවල පැවති ඒකාධිපතිත්වයන් නිසා නොව, භූ-දේශපාලනය නිසා ය. සීතල යුද්ධය නොතිබුණි නම්, චීන විප්ලවය නොවුණි නම් සහ කොරියානු යුද්ධය ඇති නොවුණි නම්, අර කී ව්‍යාඝ්‍රයන් නිකංම බළලුන් විය හැකිව තිබුණි. නැගෙනහිර ආසියාවේ පැතිරෙමින් පැවති ‘කොමියුනිස්ට්වාදයට’ එරෙහි ඔසුවක් වශයෙන් එම රටවල් ආර්ථික වශයෙන් නගා සිටුවීමේ අවශ්‍යතාවක් බටහිරට තිබුණි. (දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශ වී ගිය යුරෝපය පසුව ගොඩ ගත්) ජෝර්ජ් මාර්ෂල් ආර්ථික සැලැස්මේ ආකෘතියක්, විශේෂයෙන් දකුණු කොරියාවේ සහ තායිවානයේ දියත් කෙරුණි. ඒ අනුව, ‘බටහිර ලෝකයේ ආරක්ෂක වළල්ලේ ප්‍රධාන මුරපොළක් බවට තායිවානය පත්විය.. 1950 දශකය තුළ තායිවානයට ගලා ආ විදේශ ආර්ථික ආධාර, එරට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 ක අගයක් ගත් අතර, දළ ආයෝජනයන්ගෙන් සියයට 40 කට ආසන්න අගයක් ගත්තේය.’ එම දශකය තුළ දකුණු කොරියාවේ ආනයනයන්ගෙන් සියයට 80 කටත් වැඩි ප්‍රමාණයක් සඳහා වන වියදම පිරිමසා ගැනුණේ ඇමරිකානු ආධාරවලිනි. ලෝකයේ වෙනත් තැන්වල ඉඩම් ප්‍රතිසංස්කරණවලට එරෙහිව බද්ධ හතුරුව සිටින ඇමරිකාව, දකුණු කොරියාවේ සහ තායිවානයේ සීග්‍ර ඉඩම් ප්‍රතිසංස්කරණ දිරි ගැන්නුවේය. එය, එම රටවල් දෙකේ පැවති ‘ගොවිජන ප්‍රශ්නය’ විසඳා ගැනීමටත්, ග්‍රාමීය දරිද්‍රතාව පිටුදැකීමටත් මහඟු අත්වැලක් විය. ඉහත කී නැගෙනහිර ආසියාතික රටවල්වලට ඒ සා කෙටි කාලයකින් කාර්මීකරණය විය හැකි වුණේ, එක් මහ බලවතෙකු එම රටවල් සඳහා ආයෝජන සහ වෙළඳ පොළවල් සපයා දීමට ඉදිරිපත් වීම නිසා ය. ඇමරිකානු පරිත්‍යාගශීලීත්වයට ස්තුතිවන්ත වන්නට, දේශපාලනික වශයෙන් අවදානම්කාරී ආර්ථික බර කන්දරාවක් ජනතාව මත පැටවීමකින් තොරව සංවර්ධන ක්‍රියාදාමයන් දියත් කිරීමට එම රටවලට පිළිවන් විය.

මේ සත්‍යය, මෑත ඉතිහාසය තුළ ඇති වූ එක් විපර්යාසයක් මගින් මනාව පෙන්නුම් කෙරේ. චියැං කායි ෂෙක් චීනය පාලනය කරන අවධියේ, දූෂණයට සහ අකාර්යක්ෂමතාවට කුප්‍රකට ය. ඔහුගේ පාලනය යටතේ චීනය ව්‍යසනයෙන් ව්‍යසනයට පත්විය. හමුදාමය පරාජයන් සහ විදේශ බලවේග චීනය තුළ පැලපදියම් වීම් ද ඒ අතර වෙයි. චීන සමාජවාදී විප්ලවය ඇති වීමෙන් පසු චියැං කායි ෂෙක් ෆෝමෝසා දූපතට පලා ගියේය. අද තායිවානය නමින් හැඳින්වෙන්නේ ඒ ෆෝමෝසා දිවයිනයි. චීනය හිඟන අඩියට ඇද දැමූ චියැං කායී ෂෙක්, තායිවානය ආර්ථික වශයෙන් සංවර්ධනය කෙළේය. චියැං කායි ෂෙක් ගේ පරණ පුරුදු අව-පාලනය හරහා තායිවානය කඩා වැටෙන තෙක් චීනය පුලපුලා බලා සිටි තත්වයක් යටතේ, කිසි වරදක් කිරීමේ හැකියාවක් චියැං කායී ෂෙක්ට නොවුණි. ඔහු චීනයේ කළ දේ තායිවානයේත් කරන්ට ගියේ නම්, ඔහුගේ ඇමරිකානු අනුග්‍රාහකයන් ඔහුව පන්නා දැමීමට පවා ඉඩ තිබුණි. අලුත් භූ-දේශපාලනය, චියැං කායි ෂෙක්ට වෙනස් වීමට බල කෙළේය. එසේ නොවුණොත් ඔහු අතුගෑවී යාමට නියමිත වුණේය. ඇමරිකානු මුදල් සහ උපදෙස් යටතේ ඔහු වෙනස් වුණි.

‘ආසියානු ව්‍යාඝ්‍රයන්’ පිළිබඳව දේශපාලනික හේතු මුල් කරගෙන පතුරුවන ජනප්‍රිය ප්‍රවාදය තුළ, ඉහත කී අතිශය වැදගත් භූ-දේශපාලනික හේතු පැත්තකට දමා අවධාරණය කරන්නේ, දරදඬු පාලකයාව ය. ‘ඔබටත් ව්‍යාඝ්‍ර රටක් අවශ්‍ය නම්, හොඳ ඒකාධිපතියෙකු පත්කර ගන්න’ යන්න, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවල ඔලමොට්ටලකම්වලින් හෙම්බත්ව සිටින ජනතාවට, අපේක්ෂිත ඒකාධිපතියන් (සහ ඔවුන්ගේ සහචරයන්) කියන දේශනාව ය. ඒ සයිරන් නළාවට ඇදෙන ලෝලියෝ, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ, බොහෝ ය.

ඒකාධිපතියන් සහ ධන කුවේරයන්

සොඳුරු ආඥාදායකයෙකු පිළිබඳ මිථ්‍යාව ශ්‍රී ලංකාවේ බෝ වී ඇති තරම ගිය මාසයේ මනාව පෙනුණි. ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ජනප්‍රිය රේඩියෝ වැඩ සටහනකට මුල පිරුවේය. එය, ‘ෆයර්සයිඞ් චැට්’ නමින් හැඳින්වුණි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයත් මෙනමින් සාකච්ඡා මාලාවක් පවත්වයි. ගිය මාසයේ සාකච්ඡා මණ්ඩපයට ව්‍යාපාරික ධන කුවේරයෝ කිහිප දෙනෙක් සහභාගී වූහ. ඔවුන්ගෙන් බොහොමයක් දෙනා ආණ්ඩුව පිළිබඳ විවේචනාත්මක මතයක් දැරූහ. එය පුදුමයක් නොවේ. ‘සොෆ්ට් ලොජික්’ ව්‍යාපාරයේ අශෝක් පතිරගේ කළ එක් ප්‍රකාශයක් මේ වැඩ සටහනට දේශපාලනික වැදගත්කමක් එක් කෙළේය. ඔහු මෙසේ කීය: “අපිට ඕනේ ශක්තිමත් නායකත්වයක්. අපිට ඕනේ කරන්නේ, පුංචි පහේ ඒකාධිපතියෙක්.”

ඒකාධිපතියන් සහ ගජමිතුරු ධනපතියන් අතර ඇති ප්‍රේමය පරණ ය. විශ්වව්‍යාපී ය. ඒකාධිපතියන්ට, තමන් වඩාත් ප්‍රිය කරන ධනපතියෝ සිටිති. එවැන්නන්ට දියුණු විය හැකිය. ඒ දියුණුව ඔවුන් අත්කර ගන්නේ ජනතාවගේ වියදමින් පමණක් නොව, අවශේෂ ව්‍යපාරිකයන් ද බිල්ලට ගනිමිනි. වැඩියත්ම ඊට බිලි වන්නේ, සම්බන්ධකම් නැති හෝ අඩු ව්‍යපාරිකයන් ය. වෙනත් සෑම ක්ෂේත්‍රයකදී සේම ආර්ථිකය තුළත් ඒකාධිපතියෝ තමන්ට සහ තමන්ගේ ව්‍යාපාරික ගජමිතුරන්ට වාසි සහගත ප්‍රතිපත්ති පනවා ගැනීමට වගබලා ගනිති. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ජනතාව ගැන හෝ නීතිරීති සහ අනපනත් ගැන හෝ හැඟීමක් ඔවුන්ට නැත.

තමා සිතන ‘පුංචි පහේ ඒකාධිපතියා’ කවුරුන් ද යන්න පතිරගේ මහතා කීවේ නැත. එසේ කීමේ අවශ්‍යතාවක් තිබුණේ ද නැත. වෙඬරුවේ උපාලි තෙරුන් සේ පතිරගේ මහතා ද බලා සිටින්නේ, ජනාධිපති රාජපක්ෂ කෙනෙකු ගැන ය. වැඩියත්ම, ගෝඨාභය ජනාධිපති කෙනෙකු ගැන ය. මේ අතර අහම්බෙන් මෙන්, විශේෂ මහාධිකරණය ඉදිරියේ ගෝඨාභයට සහ තවත් කිහිප දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවක පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වශයෙන් පතිරගේ මහතාගේ නම සඳහන් වෙයි. ඔහු ගෝඨාභයගේ නඩු නිමිත්තට අදාළ ව්‍යාපෘතිය සඳහා මාළු ටැංකියක් සහ සුරතල් මසුන් සපයා ඇති බව කියැවේ.

ඒකාධිපති පාලනයක් ප්‍රායෝගිකව කටයුතු කරන ආකාරය, ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය පිළිබඳ සිද්ධියෙන් පැහැදිළි වෙයි. රාජපක්ෂලා තමන්ගේ රාජකීය ව්‍යාපෘතියට අනුගතව, තම දෙමාපියන් සැමරීමේ කෞතුකාගාරයක් හම්බන්තොට ගොඩනැගූහ. එවැන්නක් ප්‍රශ්නකාරී සිද්ධියක් නොවිය යුතුව තිබුණි. එපමණක් නොව, ප්‍රශංසණීය ක්‍රියාවක් ද විය යුතුව තිබුණි. ඒ, ඔවුන්ගේ මුදල් ඒ සඳහා වියදම් කෙළේ නම් ය. නැත්නම්, ‘රාජපක්ෂ පදනම’ හරහා අරමුදල් සපයා ගත්තේ නම් ය. එහෙත් ඒ සඳහා වැය කළ රුපියල් මිලියන 80 කට වැඩි මුදල ඔවුන් ගත්තේ මහජන ධනයෙනි. එයින් යම් කොටසක් ‘රාජපක්ෂ පදනම’ මගින් ආපසු රජයට ගෙවන ලදි. එහෙත් ඒ, බලයෙන් වීසි වූ පසුව ය. තව මිලියන 40 ක් ගෙවීමට තිබේ.

‘කාර්යක්ෂම ඒකාධිපතියන්’ ප්‍රායෝගිකව වැඩ කරන්නේ එලෙස ය.

මහින්ද අයියාගේ ජනකාන්ත භාවයේ ආශීර්වාදය සහ බැසිල් මල්ලීගේ සංවිධාන ශක්තිය නැතිව ගෝඨාභයට ජනාධිපතිවරණයකින් දිනිය නොහේ. පවුල මුල් කර ගත් වෙනත් ඕනෑම සංවිධානයක සාමාන්‍යයෙන් සිදුවන්නා සේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළත් නෑ හුටපට යම් කාලයක් තිබිය හැකිය. බස් පුරවා කොළඹට මිනිසුන් ගෙන ඒමෙන් ආණ්ඩු බලය අල්ලා ගැනීමට ගිය නාමල් රාජපක්ෂගේ කුරුළු මොළේ විකාරරූපී අසාර්ථකත්වය, එවැනි නෑ හුටපටයක ප්‍රතිඵලයකි. එහෙත් අවසානයේදී පවුල එක්සත් වීමට ඉඩ තිබේ. ඒ අස්සේ ආණ්ඩුවත් හැම පැත්තකින්ම නා ගන්නා විට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයකින් ජය ගැනීමේ ඉඩකඩ බොහෝ ය.

විදේශ ණය නිසා මානව හිමිකම් කෙරෙහි ඇති කෙරෙන බලපෑම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥ හුවන් පැබ්ලෝ බොහොස්ලව්ස්කි මෑතකදී ශ්‍රී ලංකාවේ කළ සංචාරයකින් පසුව මෙසේ කීය: “ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තමන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති තුළින් මෙන්ම යටිතල ව්‍යාපෘති විසින් ද මානව හිමිකම් කෙරෙහි ඇති කරන ලද බලපෑම පිළිබඳ නිසි තක්සේරුවක් කළ යුතුව තිබේ.” එසේම, සමාජ වියපැහැදම් පවත්වා ගැනීමේ අවශ්‍යතාව ගැනත්, ප්‍රගාමී බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම ගැනත් ඔහු කතා කෙළේය. ඒවා මහඟු උපදෙස් ය. එහෙත් ප්‍රශ්නය වන්නේ, එය වටහා ගැනීමට තරම් ප්‍රඥාවක් ආණ්ඩුවට තිබේ ද යන්නයි.

අවාසනාවකට, මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවලින් නිරූපණය වන්නේ, දේශපාලන-සමාජ ලිබරල්වාදය සහ දේශපාලන-ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අතර පවතින භයානක නොපෑහීමයි. මේ මාසයේ පමණක්, පිටි සහ පිටි නිෂ්පාදනවල මිල ඉහළ ගියේය. පෙට්‍රල් මිල නැවත වැඩි විය. දුම්රිය ගාස්තු වැඩි කිරීමක් ප්‍රකාශයට පත්විය. එය, නියඟයෙන් පීඩාවට පත්ව සිටින දිස්ත්‍රික්ක 11 ක ජීවත් වන 600,000 ට අධික ජනතාව ඇතුලු දැනටමත් පීඩාවට පත්ව සිටින ජනතාවට දැරිය නොහැකි බරකි.

අඟහිඟකම් විඳ දරා ගැනීම කවුරුන් අතරෙත් බෙදාහදා ගැනෙන්නේ නම් එය කාටත් පිළිගත හැකිය. ජනතාවට අඟහිඟකම් පටවන පාලකයන් ජනතා මුදලින් සුඛ විහරණයේ යෙදෙන්නේ නම්, එය ජනතා කෝපයට තුඩුදෙයි. ඒ කෝපය, ජනප්‍රිය දේශපාලනයේ යෙදෙන බාල ජනතාවාදියාට කියාපු තුරුම්පුවකි. වැඩියත්ම, ලෝකය පුරා හිස ඔසවමින් සිටින දක්ෂිණාංශිකයන්ට එය, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමේ ඉල්ලමකි. අතාර්කිකත්වය සහ වෛරය උසිගැන්වෙන විට වැඩියත්ම ඊට බිලි වන්නේ, ආර්ථික දරිද්‍රතාවෙන් පෙළෙන මිනිසුන් ය. ජීවන වියදම් ඉහළ යන විට සහ සාක්කු හිස් වන විට, ජාතිවාදී සහ ආගමික භීතිකා ඉබේ ලියලයි.

ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ප්‍රශ්නයක් නැත. එහෙත් ඉන්දියානු පවුල් 250 ක් නෙදුන්කෙර්නි නැමැති ගමේ පදිංචි කරවා ඇති බවට පැතිරුණු බොරු ආරංචියක් නිශ්ප්‍රභ කිරීම සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට සිදු විය. මේ බොරු ප්‍රවෘත්තිය, රටේ පවතින අතාර්කික වටපිටාව මනාව නිරූපණය කරයි. ඊළඟ මැතිවරණය දියත් වන්නේ සහ අවිචාර බලවේග විසින් එවැන්නක් ජයගනු ලබන්නේ එවැනි අතාර්කික පරිසරයක ය.

2018 සැප්තැම්බර් 15 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Idiots and Sharks නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top