Sri Lanka Brief
පුවත්විශ්ලේෂනනීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලීසියට ජනපති තරවටුවක් – හරීම් පීරිස්

නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලීසියට ජනපති තරවටුවක් – හරීම් පීරිස්

by

 

 

තමා නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලීසියට, විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තදින් තරවටු කළ බව, පසුගිය දා මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති සිරිසේන කියා සිටියේය. , සේවයේ යෙදී සිටින හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් පොලීසිය ගෙන යන පරීක්ෂණ සම්බන්ධයෙනි. ඊට පෙර විශේෂ කැබිනට් රැස්වීමක් ද පවත්වා තිබුණි. එම අදහස්ම ඒ විශේෂ කැබිනට් රැස්වීමේදීත් ඔහු මතු කළ බව මාධ්‍ය වාර්තා කෙළේය. ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන, නඩු පැවරීමේ ආයතන සහ අධිකරණ අංශය තදින් විවේචනය කිරීම සමාන වන්නේ, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ චර්යාවටයි. රටේ නීතිපතිවරයා වන හිටපු සෙනේට් මන්ත්‍රී ජෙෆ් සෙෂන්ස්වත්, පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ සහායට රුසියාව අනීතික අන්දමින් මැදිහත් විණැයි කියන සිද්ධිය පරීක්ෂා කොට බැලීම සඳහා පත්කොට ඇති ස්වාධීන නීතිවේදියෙකු වන රොබට් මුලර්වත්, මේ වන විට ජනප්‍රියත්වයට පත්ව ඇති තම ‘ට්ටිටර් ගිණුම’ හරහා ජනාධිපතිවරයා විවේචනය කරයි. තවත් අවස්ථාවල ඔහු, සී.අයි.ඒ ආයතනයට සහ එෆ්.බී.අයි. ආයතනයටත් ඒ ආකාරයෙන්ම බැණ වදී.

ඇමරිකානු ජනාධිපතිවරයා තමාගේ අධිකරණ අංශයට බැණ වැදීම සඳහා සමාජ ජාල, විශේෂයෙන් තමාගේ ‘ට්විටර් ගිණුම’ පාවිච්චියට ගැනීමට හේතුව, ඇමරිකාවේ අපරාධ පරීක්ෂණ පැවැත්වීමේ සහ නඩු පැවරීමේ ක්‍රියාවලිය, විධායකයෙන් ස්වාධීන ශක්තිමත් ආයතන වශයෙන් පැවතීමයි. එම ආයතන නිරීක්ෂණය කෙරෙන්නේ සහ පාලනය කෙරෙන්නේ ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය හෙවත් ව්‍යවස්ථාදායකය විසිනි. ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රමය තුළ, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ මූලික අංශ තුන පවතින්නේ, ඉතා ශක්තිමත් එකිනෙකින් ස්වාධීන ආයතන වශයෙනි.

ලංකාවේ තත්වය එසේ නොවේ. විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ගත්තොත්, එය රජයේ ප්‍රධාන නීති උපදේශකයා වන්නේය. එසේ වෙතත්, තවත් පැත්තකින්, නඩු පැවරීමේ ස්වාධීන කාර්යය පැවරෙන්නේත් නීතිපති දෙපාර්තමේන්තුවටයි. එහෙත්, රජයේ නීති උපදේශකයා වන අතරේම නීති නියාමකයා හෙවත් නීතියට අනුගත වන බවට වගබලා ගැනීමේ රාජකාරිය යන දෙකම එක විට කිරීමට ඊට ඇති හැකියාව පසුගිය කාලයේ නිතර ප්‍රශ්නයට භාජනය විය. දැන් වන විට එය විධායකයෙන් සෑහෙන ස්වාධීනත්වයක් අත්කරගෙන තිබේ. ඔවුන්ගේ රාජකාරිය ගැන ජනාධිපතිවරයාගේ නොසතුට ප්‍රසිද්ධියේ පළ කිරීම දේශපාලනික පීඩාවක් වන්නේ එබැවිනි.

ක්‍රියාවේ යෙදවෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය

2015 බලයට පත් සිරිසේනවික්‍රමසිංහ ආණ්ඩුවේ උසස්ම ජයග්‍රහණය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමයි. එය සැළකුණේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර දැමීමේ නිශ්චිත පියවරක් වශයෙනි. මෙය, ඊට කලින් පැවති ආණ්ඩු කාලයේ සම්මත කරගෙන තිබුණු 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉඳුරා ප්‍රතිපක්ෂයයි. 19 වැනි සංශෝධනයෙන් බලාපොරොත්තු වුණේ, අප රටක් වශයෙන් නීතිවලින් සහ ආයතනවලින් මිස විධායක පුටුවේ වාඩි වෙන ජනප්‍රිය බලධාරීන්ගෙන් පාලනය නොවන, ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් බවට පත්වීමයි.

ඒ අනුව එම 19 වැනි සංශෝධනයෙන් පසු රටේ ඉහළම පත්වීම් කරනු ලබන්නේ ‘ව්‍යවස්ථා සභාව’ මගිනි. විධායකයෙන් ස්වාධීනව පැවතිය යුතු මැතිවරණ සහ පොලීසිය වැනි රාජ්‍ය සේවයේ වැදගත් කර්තව්‍යයන් කළමනාකරණය සඳහා වන ස්වාධීන කොමිෂන් සභා පත් කරන්නේ ඒ ‘ව්‍යවස්ථා සභාව’ මගිනි. පොලිස් නිලධාරීන්ගේ පත්වීම් සහ උසස් වීම් ආදි කටයුතු දේශපාලනික බලාධිකාරියෙන් සැබෑ ලෙසම ස්වාධීන වූ පොලිස් කොමිසමකට පැවරීම නිසා, තමන්ගේ වෘත්තීය අනාගතය සඳහා දේශපාලඥයන්ගේ නියෝග මත වැඩ කිරීමේ අවශ්‍යතාවෙන් පොලිස් නිලධාරීන් දැන් නිදහස් ය. ඒ තාක් දුරට, නිදහසේ කටයුතු කිරීමට ඉඩක් දැන් පොලීසියට තිබේ.

හමුදා නිලධාරීන්වත් පරීක්ෂාවට ලක්කිරීමෙන් දණ්ඩමුක්තිය පිළිබඳ චෝදනා ද දියාරු වන්නේය

ශ්‍රී ලංකාවේ රාජ්‍යයටත්, විශේෂයෙන් එහි අධිකරණ ක්‍රියාවලියටත් එරෙහිව එල්ල වන බරපත චෝදනාවක් වන්නේ, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් මෙන්ම, එසේ උල්ලංඝණය කරන රාජ්‍ය අංශයේ පුද්ගලයන් දඬුවමට යටත් නොfවී නිදහසේ කටයුතු කිරීමේ පරිසරයක් රටේ ඇති බව ය. එම තර්කය තවත් ශක්තිමත් වන්නේ, මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නන්ට එරෙහිව පවරා ඇති නඩු ප්‍රමාණයේ අල්ප භාවයත්, අධිකණයක් ඉදිරියේ වැරදිකරුවන් කර ඇති නඩු ප්‍රමාණය ඊටත් වඩා අල්ප වීමත් ය. එබැවින්, නීතියට ඉහළින් සිටීමට කිසිවෙකුට නොහැකි වන්නේ නම්, එය අපේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ ඇති ශක්තිය ලෝකයාට පෙන්වීමට අගනා නිදසුනක් වන්නේය. එසේම, නීති ක්‍රියාවලිය සහ ආරක්ෂාව අරභයා ඕනෑම සැකකරුවෙකුට ඇති අයිතිය, සැකකාර හමුදා නිලධාරීන්ගේ වරප්‍රසාදයක් පමණක් විය යුතු නැති බවත් කිව යුතුය. එය සියලු පුරවැසියන් සතු අයිතියක් විය යුත්තේය. නීතිය ඉදිරියේ සියල්ලන් එක සමාන විය යුතුය යන්න, ස්වභාවික යුක්ති ධර්මයේ එන වැදගත් ප්‍රතිපදාවකි. “කෙටියෙන් කිවහොත්, අපරාධ විමර්ශනයේදී සහ රඳවා තබා ගැනීමේ ක්‍රියාවලියේ දී සියලු පුරවැසියන්ට එකම ආකාරයකින් සාධාරණත්වය ඉෂ්ට විය යුතුව ඇති බවට වගබලා ගැනීම රාජ්‍යයේ වගකීමකි” යැයි කිෂාලි පින්තු ජයවර්ධන ඇගේ මෑතක ලිපියකින් පෙන්වා දී තිබේ.

නීතියේ පමාව

ජනාධිපතිවරයාගේ කෝපයට හේතු වී ඇති ප්‍රධාන කරුණක් බව පෙනෙන්නේ, හමුදා නිලධාරීන්ව පරීක්ෂාවට ලක්කිරීමම නොවේ. ඒ පරීක්ෂණ ඔස්සේ ඉදිරියට ගොස් නඩු පැවරීමක් සිදුව නැති නිසා, අත්අඩංගුවට ගැනීම් සහ රක්ෂිත බන්ධනාගාරයේ තබා ගැනීම්, වෙනත් උවමනාවන් හෝ හේතු මත කරන විරුද්ධවාදී දඩයමක් ය යන චෝදනාව නැගී තිබීම ගැන ය. දූෂණයට එරෙහිව සහ මානව හිමිකම් උල්ලංඝණයන්ට එරෙහිව නඩු නොපැවරීම පිළිබඳව ජනාධිපතිවරයා තුළ ඇති වී තිබෙන කෝපයම, 2015 දී මේ ආණ්ඩු වෙනස ඇති කර ගැනීමට උර දුන් බොහෝ දෙනා තුළ ඇති කෝපයකි. එබැවින් මේ පමා වී ඇති මොහොතේ වුව ඒ කාරිය කඩිනම් වන්නේ නම් එය ලංකාවේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් කෙරෙන වැඩදායක දෙයක් වන්නේය.

යම් කිසි සිද්ධියක් විභාග කිරීමට ගන්නා දීර්ඝ කාලය දෙස අපට බැලීමට සිදුවන්නේ, ලංකාවේ පවතින දීර්ඝ නඩු ක්‍රියාවලිය පිළිබඳ පසුබිමේ සිට ය. පවතින ක්‍රමය යටතේ එක අපරාධ නඩුවක් අවසන් වීමට අවුරුදු 10-15 අතර කාලයක් සාමාන්‍යයෙන් ගතවන්නේය. නිදහස් වෙළඳ සම්මුතිවලට විරුද්ධව කෑකෝගැසීමට කලින් රජයේ නීතිඥ සංගමය කළ යුත්තේ, මීට වඩා කඩිනමින් යුක්තිය පසිඳලීමේ නීති ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ ක්‍රම විධි සොයා බැලීම ගැන හිත යෙදවීමයි. කතාවට කියන්නා සේ, ‘යුක්තිය පමා වීම, යුක්තිය අහිමි කිරීමකි’.

දීර්ඝ කාලයක් තිස්සේ සැකකරුවන්ව රක්ෂිත බන්ධනාගාරගතව තබා ගැනීමේ කාරණයත් සලකා බැලිය යුත්තේ, ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ පසුබිමේ තබාගෙන ය. එවැනි බොහෝ රඳවා ගැනීමේ කෙරෙන්නේ මේ පනත යටතේ ය. එය දැන් අහෝසි කිරීමටත්, ඒ වෙනුවට ‘ත්‍රස්තවිරෝධී පනතක්’ ගෙන ඒමටත් නියමිතයි. ‘සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුවේ’ සභාපති නීතිඥ සේනක පෙරේරා කියන පරිදි, ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ දැනට සිර භාරයේ රඳවාගෙන සිටින සංඛ්‍යාව 107 කි. මේ කිසිවෙකුට එරෙහිව උසාවියක් ඉදිරියේ චෝදනා ගොනු කොට නැති අතර, එයින් බොහොමයක් දෙනා වසර 9-10 අතර කාලයක් තිස්සේ එසේ නඩු නැතිව රක්ෂිත බන්ධනාගාරගතව සිටිති. එබැවින් අලුතින් ගෙන ඒමට යන ‘ත්‍රස්තවිරෝධී පනත’ යටතේ, සැකකරුවන් නඩු නැතිව රඳවාගෙන තබා ගැනීමේ කාලය බෙහෙවින් සීමා වනු ඇත.

සංක්ෂිප්තව කිවහොත්, සමාජයට කාර්යක්ෂම අධිකරණමය යුක්තියක් සහතික කෙරෙන ආකාරයේ බොහෝ ප්‍රතිසංස්කරණ ලංකාවට මේ මොහොතේ අවශ්‍යව තිබෙන බව කිව හැකිය.

2018 සැප්තැම්බර් 20 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ A Presidential Chiding to AG & Police නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top