Sri Lanka Brief
පුවත්‘ඉන්දියානු ආයෝජන ගෙන්වා ගැනීම මගේ ප්‍රමුඛතාවයයි’ –  රාජපක්ෂ හින්දු‘ පුවත්පත හා පැවැත්වූ සාකච්ඡාව

‘ඉන්දියානු ආයෝජන ගෙන්වා ගැනීම මගේ ප්‍රමුඛතාවයයි’ –  රාජපක්ෂ හින්දු‘ පුවත්පත හා පැවැත්වූ සාකච්ඡාව

by

භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුබ‍්‍රමනියම් ස්වාමිගේ ආරාධනයක් මත ‘ඉන්දු-ලංකා’ සබඳතා මැයෙන් දේශනයක් පැවැත්වීමට මහින්ද රාජපක්ෂ ඉන්දියාවට ගිය අවස්ථාවේදී ‘ද හින්දු‘ පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය පහත පළවේ.මාධ්‍ය – ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත – 2018

ප‍්‍රශ්නය : ඔබට ඉන්දියාව සමඟ රළු සබඳතාවක් තිබුණේ. ඔබ මේ සංචාරය කරන්නේ 2015 වසරෙන් පසු මෝදි ආණ්ඩුව සමඟ සංහිඳියාවක් ඇති කරගැනීමට ද ?
පිළිතුර : ඔව්. මැතිවරණයට (2015 ජනාධිපතිවරණය) පෙරත් පසුවත් අපට අතර බොහෝ වැරැදි වටහාගැනීම් ඇතිවුණා. ඇත්ත වශයෙන්ම ඉදිරියට යෑමට කාලය ඇවිත් තියෙන්නේ කියලා මම හිතනවා.

ප‍්‍රශ්නය : වසර 2015 මාර්තු මාසයේදී ‘ද හින්දු’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔබ ඉන්දියාවේ බුද්ධි ඒජන්සිය වන ‘රෝ’ වෙත චෝදනා කළා. විපක්ෂය එකතු කළේත් ඔබගේ පරාජයට හේතු වූයේත් ‘රෝ’ යැයි ඔබ චෝදනා කළා. ඉන්දියව ශ‍්‍රී ලංකාවේ දේශපාලන කටයුතුවලට මැදිහත් නොවිය යුතු යැයි ඔබ මීට සති කිහිපයකට පෙර ප‍්‍රකාශ කළා. ඔබ ඒ ගැන වද වෙනවද ?
පිළිතුර : එය ඉන්දියාව ගැන පමණක් නෙවෙයි. මා එහිදි ඉන්දියාව විතරක් සඳහන් කළේ නැහැ. කවුරුවත් කාගේවත් මැතිවරණවලට මැදිහත් නොවිය යුතුයි. එය රටක අභ්‍යන්තර කරුණක්. කවුද බලයට පැමිණි යුත්තේ කවුදැයි කියලා ජනතාව තමයි තීරණය කරන්නේ. එයයි මගේ ඔළුවේ තිබුණේ. අද වනවිට හැමෝටම තේරුම් ගිහින් තියෙනවා මොකක්ද වැරදුණේ කියලා. අද ඔවුන් තේරුම් ගෙන තිබෙනවා මොකක් ද වුණේ කියලා. ඒ නිසා අපි අතීතය අමතක කළ යුතුයි. ඉදිරියට යෑමටත් ඉදිරිය දෙස බැලීමටත් කාලය ඇවිල්ලා.

ප‍්‍රශ්නය : ඔබේ පක්ෂය චීන සමාගම්වලින් මැතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරය සඳහා අරමුදල් ලබාගත් බවට චෝදනාවක් තිබෙනවා.
පිළිතුර : ඔවුන් මට අරමුදල් සැපයුවේ නැහැ. එහෙත් මේවා තමයි මිනිස්සු කතා වෙන්නේ. මොකද (මෛත‍්‍රීපාල සිරිසේන) ආණ්ඩුවට ඒ ගැන අපට චෝදනා කරනවා හැර වෙනත් දෙයක් නැහැ. ඔවුන් බලයට පැමිණි විට මගේ එක්සත් ජනපද ඩොලර් බිලියන 18ක් ගැන හෙව්වා. ඔවුන් තවමත් එය සොයනවා (සිනාසෙයි*. ඇමෙරිකාවේ සහ තවත් රටවල් කිහිපයක උදවු උපකාර ලැබිලත් ඔවුන්ට අද වනතෙක් එක ඩොලරයක් හොයාගන්න බැරි වෙලා තියෙනවා.

ප‍්‍රශ්නය : ශ‍්‍රී ලංකාවේ චීන ණය ගැන හැමෝගෙම ඇස් යොමුවෙලා තියෙනවා. ඔබ හිතනවද හම්බන්තොට සහ කොළඹ වරාය සම්බන්ධයෙන් ඔබ මුලින්ම කරන ලද ගනුදෙනුව වෙනත් අයුරකින් කරන්න තිබුණා කියලා ?
පිළිතුර : බලන්න, අපි ගත්තු ණය, ශ‍්‍රී ලංකාවට නැවත ගෙවා දැමිය හැකිව තිබුණා. එහෙත් සිරිසේන ආණ්ඩුව සියල්ල අවුල් කරලා. කොළඹ වරාය නගරයට කිසිවක් ගෙවිය යුතුව තිබුණේ නැහැ. එය කොන්ත‍්‍රාත් බෙදාගැනීමේ සැලැස්මක්. එහිදි ඔවුන් සංවර්ධනය කරන ඉඩමට ඔවුන්ට කොටසක් ලැබෙනවා. හම්බන්තොට වරාය ගිවිසුමට එළැඹෙන කාලයේදී අපේ චීනයට වඩා ඇමෙරිකාවට ණයයි. චීනයට වඩා ඇමෙරිකාවට ණය ගෙවිය යුතුව තිබුණා. ඒ වගේම අනිත් රටවලූත්. දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ණය තිබුණේ පාලනය කළ හැකි මට්ටමක. එසේ නම් ප‍්‍රශ්න වැඩි වෙලා නම්, ආණ්ඩුව එය කළමනාකරණය කරලා නැහැ. එහෙනම් කොහොමද අපට චෝදනා කරන්නේ ?

ප‍්‍රශ්නය : ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ චීනය සමඟ පවත්වන සබඳතා සම්බන්ධයෙන් ඔබේ දීර්ඝකාලීන දැක්ම මොකක් ද ? ඒ කාලයේදී වැරැදි වටහාගැනීම්වලට හේතුවුණේ එයයි.
පිළිතුර : මම කිව්වොත් ඉන්දියාව තමයි අපේ සමීපතම මිතුරා. ඒ වගේම අපේ අසල්වැසියා. ඒ වගේම චීනය අපේ දීර්ඝකාලීන මිතුරෙක්. අපි චීනය සමඟ ඇති කරගන්නා ලද සෑම ගිවිසුමකදීම කරන ලද සෑම ගනුදෙනුවකදීම අපි ඉන්දියාවේ ලැදියාවන් අමතක කළේ නැහැ. අපිට ඉන්දීය රජය සමඟ හොඳ අවබෝධයක් තිබුණා. අපේ භූමිය අපේ අසල්වැසියන්ට එරෙහිව යොදාගැනීමට කිසිදු අවස්ථාවකදී ඉඩ නොදෙන බව අපි ඔවුන්ට කියා සිටියා.

ප‍්‍රශ්නය : චීනයට අයත් න්‍යෂ්ටික සබ්මැරීනයක් කොළඹ වරායේ නැංගුරම්ලා තිබුණා. එය ඉන්දියාවේ දැඩි අවධානයට යොමු වුණා. ඉන් පාකිස්තානයේ ග්වදාර් වරයා. මාලදිවයිනේ චීනය කරන මාර්ග සංවර්ධනය ඇතුළු සංවර්ධන කටයුතු. ඉන්දියාව ඔබ සමඟ ඇති කරගන්නා ලද සැකසංකා, සිත් කලබල කරගැනීම් සාධාරණීයකරණය කළා ද ?
පිළිතුර : මේ අහන්න, චීන සබ්මැරීන ගල්ෆ් කලාපය දෙසටත් දකුණු අපි‍්‍රකාව දෙසටත් ගමන් කරමින් තිබුණු එවා. ඔවුන් කොළඹ වරායට පැමිණියේ කෙටි කාලයකට. එච්චරයි. මම හිතනවා ඉන්දියාව ඒ කාලයේදී එය නිදහසට කරුණක් කරගත්තා කියලා.

ප‍්‍රශ්නය : එහෙනම් සබඳතා බිඳ වැටෙන්න හේතු වුණේ මොනවද ?
පිළිතුර : අනවබෝධය. හැමතිස්සෙම මගේ ප‍්‍රමුඛත්වය වුණේ මගේ රට සංවර්ධනය කිරීමයි. මම හැම තිස්සෙම ඉන්දියාව දැනුවත් කළා. වරාය හදන්න, ගුවන් තොටුපොළ හදන්න ඒ වගේම මහාමාර්ග, අධිවේගී මාර්ග හදන්න මම මුලින්ම ඇහුවේ ඉන්දියාවෙන්. අපි නිරන්තරයෙන් ඉන්දියාවට ආවා. අපි ඔවුන්ට තමයි මුලින්ම දුන්නේ. ඊළඟට තමයි අපි චීනයට ගියේ. මොකද ඔවුන් තමයි එය කළ හැකි එකම මිනිස්සු. මාස අටක් ඇතුළත චීනය සංවර්ධන කටයුතු ආරම්භ කළා.

ප‍්‍රශ්නය : ඔබ එහෙම කියනවා. එහෙත් මෑතකදී ඔබේ පක්ෂය මත්තල ගුවන් තොටුපොළ කල්බදු ක‍්‍රමවේදය යටතේ ඉන්දියාවට දීමට විරුද්ධ වුණා. මොකක්ද ඔබේ විරෝධතාව ?
පිළිතුර : මම ඉන්දියාවට විරුද්ධ නැහැ. මම විරුද්ධ පෞද්ගලීකරණයටයි. එය තමයි සිරිසේන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය. මම කවදාවත් ඔවුන් පෞද්ගලීකරණය කරන ආකාරයට කළේ නැහැ. ඇත්ත වශයෙන්ම කිව්වොත් මම ගෑස් සමාගමේ කොටස් නැවත ගත්තා. රක්ෂණ සමාගමේ කොටස් නැවත ගත්තා. ඒ වගේම එමිරේට්ස් වෙත විකුණලා තිබුණු ශ‍්‍රී ලන්කන් එයාර්ලයින්ස් නැවත ගත්තා.

ප‍්‍රශ්නය : වත්මන් ඉන්දු -ලංකා දෙස ඔබ දකින්නේ කොහොමද ? නායකත්වය කියනවා එය තමයි ඔවුන්ගේ සමීපතම සබඳතාව කියලා. බොහෝ ගිවිසුම් සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් අරගෙන නැහැ. විශේෂයෙන්ම එට්කා ගිවිසුම ( ආර්ථික, තාක්ෂණික සහයෝගීතා ගිවිසුම), ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සහ මත්තල ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නැහැ.
පිළිතුර : ඔව්, දෙරට අතර ඉතා හොඳ සබඳතාවක් තියෙනවා ඔවුන් කියනවා. කලින් තිබුණටත් වඩා හොඳ සම්බන්ධයක් නායකයන් අතර තියෙනවා කියලා ඔවුන් කියනවා. එහෙත් මම හිතන්නේ අපේ පැත්තෙන් කතා විතරයි කියලා. විදේශයක සිටියදී මගේ ආණ්ඩුව විවේචනය කරන්න මට වුවමනා නැහැ. ඔවුන් පැවැත්වූ සියලූ හමුවීම් සහ සාකච්ඡා මම අගය කරනවා. එහෙත් ශ‍්‍රී ලංකාවට කිසිදු ආයෝජනයක් එන්නේ නැහැ. ආණ්ඩුව ස්ථාවර නැහැ. ඉන්දියාවේ ආරක්ෂාවට ශ‍්‍රී ලංකාවේ ස්ථාවර වීම ඉතා වැදගත්. දුර්වල ආණ්ඩුවට එම සහතිකය දෙන්න බැහැ.

ප‍්‍රශ්නය : ඔබේ පක්ෂයට බලයට පැමිණියහොත් ඉන්දියාව සමඟ සබඳතාවලදී ඔබේ ප‍්‍රමුඛත්වය වනු ඇත්තේ කුමක් ද ?
පිළිතුර : මම හිතන්නේ අපේ පළමු ප‍්‍රමුඛත්වය ආයෝජනයි. ඒ වගේම හොඳ සන්නිවේදනයක්. එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවැති යුද්ධය (2009)සමයේදී දෙරට අතර ට්‍රොයිකා නමින් සන්නිවේදන යාන්ත‍්‍රණයක් තිබුණා. රටවල් දෙකෙන්ම නියෝජිතයන් තුන් දෙනා බැගින් ඊට සම්බන්ධ වුණා. ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් ගැන ඔවුන් සාකච්ඡා කළා. රාති‍්‍රයේදී වුවත් ඔවුන් සාකච්ඡා කළා. ආර්ථික කටයුතුවලටත් අපිට ඒ වගේ යාන්ත‍්‍රණයක් ඕනේ. අපට අද තිබෙන සෑම ප‍්‍රශ්නයක්ම සම්බන්ධයෙන්ම ඉන්දියාවටත් ශී‍්‍ර ලංකාවටත් අතර සම්බන්ධීකරණයක් ඇතිවිය යුතුයි.

ප‍්‍රශ්නය : ඔබේ ආණ්ඩුව ශක්තිමත් යැයි ඔබ විස්තර කළා. ඔබේ ආණ්ඩුව වුවමනාවටත් වඩා ශක්තිමත් යැයි චෝදනා එල්ල වුණා. ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිත් විවේචනයට ලක්වුණා.
පිළිතුර : ආණ්ඩුවක් ශක්තිමත් විය යුතුයි. එක හඬකින් කතා කළ යුතුයි. වර්තමානයේදී (ශ‍්‍රී ලංකාවේ) අගමැතිවරයා එකක් කියනවා. ජනාධිපතිවරයා ඊට ප‍්‍රතිවිරුද්ධ යමක් කියනවා. ආණ්ඩුව ඇතුළේම ප‍්‍රතිපත්ති වෙනස්.

ප‍්‍රශ්නය : විවිධ අභියෝග සහ විශ්වාස භංගය හමුවේ වුවත් මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ මහත්වරුන්ගෙන් සමන්විත පාලක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය – එක්සත් ජාතික පක්ෂය එකට ඉන්නවා. ඔවුන් මැතිවරණය එක්ව තරගකරාවි යැයි ඔබ සිතනවා ද ?
පිළිතුර : මට ඒ ගැන සැකයක් තියෙනවා. ඔවුන් එකට තරග කළත් ඔවුන්ට දිනන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.

ප‍්‍රශ්නය : ඔබේ පැරණි පක්ෂය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඔබේ පැරණි සගය වන සිරිසේන මහතා සමඟ වැඩ කරන්න ඔබ කැමැති ද ?
පිළිතුර : අවාසනාවකට මා සමඟ වැඩ කරන්න ඔහු සූදානම් නැහැ. අපට නව පක්ෂයක් ( ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ) තිබෙනවා. අපේ පක්ෂයේ සභාපතිවරයා ජී.එල්.පීරිස්. තුන්කොන් සටනේදී අපි සියයට 45ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමි කරගත්තා. එම නිසා ඔහු අප සමඟ කතා කළ යුතුයි.

ප‍්‍රශ්නය : වසර 2015 දී ඔබට විරුද්ධව පැමිණියේ විපක්ෂය පමණක් නෙවෙයි. දෙමළ ජනතාව, මුස්ලිම් සුළුතරය තමන් කොන්වී ඇතැයි නොවැදගත් යැයි ඔවුන්ට හැඟුණා. ඔබගේ සමයේදී ඔවුන් හිංසාවට ලක්වුණා. ඔවුන් ඔබට ඡන්දය දිය යුතුයි කියලා ඔබ හිතන්නේ ඇයි ?
පිළිතුර : මේ ආණ්ඩුව කරපු වැරැුදි මොනවද කියලා ඔවුන් තේරුම් ගැන ඇතැයි මම හිතනවා. උදාහරණයකට 2014 වසරේ මුස්ලිම් විරෝධී ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට වගකිව යුතු ඇමැතිවරයා මේ ආණ්ඩුවෙත් ඇමැතිවරයෙක්. හානියට පත්වූ නිවාස අපි ඒ කාලයේදීම නැවත ගොඩනැගුවා. එහෙත් මේ අවුරුද්දේ මහනුවර ඇතිවුණු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිවක් කළේ නැහැ. මේ වසරේ පෙබරවාරි මාසයේදී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇතිවූ වහාම මම ඒ ප‍්‍රදේශවලට ගියා. ආගමික නායකයන් ද ඇතුළුව සියලූ ජනකොටස් කැඳවමින් මම රැස්වීමක් පැවැත්වුවා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එහි ගියේ ඉන් පසුවයි.

ප‍්‍රශ්නය : එහෙත් ඔබ නියෝජනය කරන්නේ අති විශාල ශක්තිමත් සිංහල -බෞද්ධ බහුතරය බවට යම් කනගාටුවක් සහ සැලකිල්ලක් තිබෙනවා. එහිදි සුළු ජාතිකයන්ට තමන්ට ආරක්ෂාවක් නැතැයි හැඟී ගොස් තිබෙනවා.
පිළිතුර : මේ බලන්න. මේ වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් සමස්ත ආසනවලින් සියයට 71ක බලය හිමි කරගැනීමට අපි සමත්වුණා. ඒක නිසා බොහෝ පිරිසක් අප සමඟ ඉන්නවා කියලා මම හිතනවා. මේක නිකං විපක්ෂය ව්‍යාප්ත කරපු බොරුවක්. මගේ විරුද්ධවාදීන් පතුරන අසත්‍ය ප‍්‍රචාරයක්. මම හිතන්නේ නැහැ මේ මිනිස්සු අතර තියෙන අවබෝධය කියලා.

ප‍්‍රශ්නය : එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ පැවැති යුද්ධයේදී සහ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඔබේ අතීත කාර්යභාරය කෙසේ සිදු වූයේ ද ? මාධ්‍යවේදීයකු වදහිංසා කිරීම සම්බන්ධයෙන් මෑතකදී ඔබෙන් ද ප‍්‍රශ්න කළා. මේ චෝදනාවලට කොතරම් වගකීමක් තිබෙනවා ද ?
පිළිතුර : මම හිතන්නේ නෑ මේ දේවල් ප‍්‍රශ්නයක් වේවි කියලා. මේ චෝදනා ගෙන එන්නේ අපට හිරිහැර කරන්න කියලා මිනිස්සු දන්නවා. මොකද මේ චෝදනා ඔක්කොම තියෙන්නේ රාජපක්ෂ පවුලට විරුද්ධව. ඒ වගේම ඔවුන්ගේ ආධාරකරුවන්ට විරුද්ධව. එතකොට මගේ ආණ්ඩුවේ හිටපු දැන් මේ ආණ්ඩුවේ ඉන්න අය ගැන මොකද කියන්නේ ? මේවා නිස්සාර චෝදනා. වසර කිහිපයක් ගිහිල්ලත් මේ චෝදනා කිසිවක් ඔප්පු වෙලා නැහැ. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන යන විදියට, ඔවුන්ට මගේ පස්සෙන් එන්න දෙන්න. අපට සඟවන්න කිසිවක් නැහැ. ඔක්කොම පස්සේ අපි එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කළා. එය කළේ අප වෙනුවෙන් විතරක් ද ? එහෙම නෙවෙයි ද ? එය එක් ප‍්‍රජාවකට එක් රටකට පමණක් නෙවෙයි. ඔවුන් රජිව් ගාන්ධි ඝාතනය කළා. ඔවුන් අනෙක් රටවල සිටි තවත් සංවිධාන සමඟ සම්බන්ධකම් පැවැත්වූවා. ඔවුන් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර ලෝකයට හඳුන්වා දුන්නා. ඒ නිසා ඔවුන් පරාජයට පත් කිරීම රටවල් බොහෝමයකට උපකාරයක් වුණා.

ප‍්‍රශ්නය : තමිල්නාඩු ප‍්‍රාන්ත කැබිනට් මණ්ඩලයේ නිර්දේශ මත රජිව් ගාන්ධි ඝාතකයට වරදකරුවන් වී සිටින එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන් නිදහස් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉන්දියාව තුළ පසුගිය දින කිහිපයේදී ප‍්‍රශ්නයක් පැන නැගී තිබුණා. මේ ගැන ඔබේ මතය කුමක් ද ?
පිළිතුර : මේ ගැන මට කිසිම අදහසක් නැහැ. ඒක ආණ්ඩුවට අයිති දෙයක්. එය ඉන්දියාවේ අභයන්තර කටයුත්තක්. මේක ශී‍්‍ර ලංකාවේ වුණා නම් අපි ඉන්නේ මීට වඩා වෙනස් තැනක. එහෙත් ඉන්දියාවේ දෙයක් සම්බන්ධයෙන් මම කොහොමද අදහස් දක්වන්නේ ?

ප‍්‍රශ්නය : 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ධුර කාලය සීමා කර තිබෙනවා. ඒ අනුව ඔබ ධුර කාල දෙක අවසන් කර තිබෙනවා. ලබන වසරේ දී (2019) මැතිවරණවලදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයවන්නේ කවුද ?
පිළිතුර : මම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙනවා. සංශෝධනය තිබුණත් මට මැතිවරණයට තරග කළ හැකි බවට මතයක් තිබෙනවා. ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට යනවා. එහෙත් එම අවදානම ගන්නවාද නැද්ද කියලා මම තීරණය කළ යුතුය. සියලූදෙනාටම පිළිගත හැකි අපේක්ෂකයකු ප‍්‍රකාශයට පත් කිරීම අනෙක් විකල්පයයි.

ප‍්‍රශ්නය : මීළඟ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඔබේ පවුලේ අයෙක් ද ? නැතිනම් ඔබ වෙනත් අයෙක් සලකා බලනවාද?
පිළිතුර : ‘මගේ පුතා (නාමල් රාජපක්ෂට) ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙන්න බැහැ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ අවම වයස අවුරුදු 35ක් දක්වා වැඩි කරලා. කලින් එය 30ක්. ඒ නිසා 2019ට ඔහු සලකා බලන්න බැහැ. මගේ සහෝදරය නිසැකයෙන්ම තරගකරුවෙක්. එහෙත් ජනතාවට අවශ්‍ය කවුද කියලා පක්ෂය සහ සන්ධානය තීරණය කළ යුතුයි’’.

සැප්තැම්බර් 12ල සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදීන් – සුභාෂිනි හයිදර් සහ අමිත් බරුහ්

-(ලංකා ඊ නිව්ස් -2018.සැප්.14, ‌පෙ.ව.3.30)

Back to Top