Sri Lanka Brief
පුවත්හැඟීම්බර, අතාර්කික සහ අවිද්‍යාත්මක තීරණ නිසා ආර්ථික සංවර්ධනය අඩාල වෙයි – නිමල් සඳරත්න

හැඟීම්බර, අතාර්කික සහ අවිද්‍යාත්මක තීරණ නිසා ආර්ථික සංවර්ධනය අඩාල වෙයි – නිමල් සඳරත්න

by

ජායාරූපය: ග්ලයිෆොසේට් වෙනුවට වෙනත් වල්නාශකයක් පාවිච්චි කිරීම නිසා, තේ අපනයනය සඳහා එතෙක් අපට තිබූ වැදගත් වෙළඳපොලක් වන ජපානයත් අපට අහිමි වී ගියේය.

තීරණ ගැනීමේදී දක්වන හැඟීම්බර, අතාර්කික, අවිද්‍යාත්මක බව මේ ආණ්ඩුවේ දක්නට ලැබෙන බරපතල දෝෂයකි. එවැනි තීරණ නිසා ආර්ථිකයට එල්ල වන්නේ බලවත් පහරකි. වැරදියට ගත් අවිද්‍යාත්මක තීන්දු, ආර්ථිකයට ඉතා නරක අන්දමින් බලපා තිබේ. එය රටේ ආර්ථික සංවර්ධනයට බාධාවකි.

ඒ සම්බන්ධයෙන් ඉතා මෑතකදී සැපයුණු නිදර්ශනය වන්නේ මරණ දඬුවම යළි ස්ථාපිත කිරීමට ගත් තීරණයයි. රටේ නිර්යාත වෙළඳපොළ කෙරෙහි මේ තීරණය ඉතා නරකට බලපෑම් ඇති කළ හැකිය. මීට කලින් ග්ලයිෆොසේට් ආනයනය සහ භාවිතය තහනම් කිරීමට ගත් අදූරදර්ශී තීන්දුව නිසා අපේ තේ අස්වැන්න බාල වී, විශාල විදේශ විනිමය ආදායමක් රටට අහිමි වී ගියේය.

වෙනත් වැරදි

ඇති විය හැකි ප්‍රතිවිපාක ගැන අවබෝධයක් නැතිව, දුරදිග නොබලා ගත් තවත් ප්‍රතිපත්ති තීන්දු තිබේ. ආණ්ඩුවේ එක අංශයකින් ගන්නා තීන්දුවක් ආණ්ඩුවේ වෙනත් අංශයකින් ආපසු හැරවීම නිසා, රජයේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇති වන්නේ ව්‍යාකූලත්වයකි. එය, ආණ්ඩුව කෙරෙහි ආයෝජකයන් තුළ ඇති විශ්වාසය පලුදු කිරීමට හේතු වෙයි.

මත්ද්‍රව්‍ය උවදුර දුරලීම ඉලක්ක කරගෙන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව හදිසියේ තීරණය කෙළේය. ඊට විශාල ප්‍රසිද්ධියක් ද දුන්නේය. සමහර විට ජනාධිපතිවරයා එම තීරණය ගන්නට ඇත්තේ ජනප්‍රියතාව ගැන සිතාගෙන විය හැකිය. එසේ වෙතත්, මරණ දඬුවම එකී ප්‍රශ්නය විසඳීම සඳහා උපකාර වී නැති බවත්, මිනිමැරුම් වැනි අපරාධ අඩු කර ගැනීමට එය ඉවහල් වී නැති බවත් වෙනත් රටවල අත්දැකීම්වලින් පෙන්නුම් කොට තිබේ.

බරපතල අපරාධ මර්දනය කිරීමට මරණ දඬුවම ආධාරකයක් නොවන බව ඒත්තු ගැනීමෙන් පසු ශිෂ්ට සම්පන්න රටවල් මේ වන විට එම ප්‍රතිපත්තිය අතහැර දමා තිබේ. තවද, මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීනට ලංකාව අත්සන් කොට තිබේ. එසේ හෙයින් දැන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය, ඉහත කී ජාත්‍යන්තර ප්‍රඥප්තීන් උල්ලංඝණය කිරීමක් ද වන්නේය. මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීන්දුවක් ගෙන ඇති බව ප්‍රකාශ වුව ද, මුදල් ඇමතිවරයා ඇතුළු තවත් ඇමතිවරුන් ගණනාවක් මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සමග තමන් එකඟ නොවන බව ප්‍රකාශ කොට තිබේ. එබැවින් එය, කැබිනට් මණ්ඩලයේ ඒකමතික තීන්දුවකට වඩා බහුතරයක් තීන්දුවක් විය යුතුය.

ජාත්‍යන්තර විරෝධය

ශ්‍රී ලංකාව මෙම තීන්දුව ගත් සැණින්, කැනඩාව, බි්‍රතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව සහ නොර්වේ ඇතුළු යුරෝපා සංගමයේ රටවල් ප්‍රකාශයක් නිකුත් කරමින්, ජනාධිපතිවරයාගේ මේ තීරණය වෙනස් කරන ලෙස ඉල්ලීම් කොට තිබේ. තමන් ‘මොනම තත්වයක් යටතේවත් මරණ දඬුවම අනුමත නොකරන’ බව ඒ මගින් දන්වා තිබේ. එසේම, මරණ දඬුවම, ‘මානව ගරුත්වය සමග නොපෑහෙන බවත්, ඒ මගින් අපරාධ මැඩලීමට ආධාරයක් නොවන බවත්, අධිකරණ විනිශ්චයක ඇති වරදක් නිසා ලැබිය හැකි මරණීය දණ්ඩනයක් ආපසු හැරවිය නොහැකි බවත්’ පෙන්වා දී තිබේ.

ජී.ඇස්.පී. ප්ලස් සහනය අහිමි වීම

ආණ්ඩුව ගෙන ඇති මේ තීරණය නිසා, ආණ්ඩුව විසින්ම මීට කලින් දිනා ගත් ජී.ඇස්.පී. ප්ලස් සහනය ඉවත් කර ගැනීමටත් තමන්ට සිදුවිය හැකි බවට ඔවුන් අනතුරු අඟවා තිබේ. එසේ වුවහොත් එය ලංකාවේ ආර්ථිකයට බරපතල පහරක් වනු ඇත. එසේ තිබියදීත්, ජි.ඇස්.පී. ප්ලස් සහනය නැති වුවත් තමන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇති බව වාර්තා විය.

ජී.ඇස්.පී. ප්ලස් සහනය ඉවත් වුවහොත් එය ලංකාවේ අපනයන වෙළඳාම පසුබැසීමටත් හේතුවක් වනු ඇත. එය මේ අවස්ථාවේ රටට දැරිය හැකි පාඩුවක් නොවේ. ලංකාව දැනටමත් මුහුණදී සිටින වෙළඳ හිඟය ඒ හේතුවන් තවත් උත්සන්න විය හැකි අතර රටේ ගෙවුම්ශේෂ අර්බුදයට එය ඉතා හානිකර අන්දමින් බලපානු ඇත. තවද, රටක් වශයෙන් දැනටමත් අපට ගෙවීමට ඇති විශාල ණය කන්දරාව ආපසු ගෙවා ගැනීමේ ප්‍රශ්නයක් ද ඒ මගින් නිර්මාණය වනු ඇත. ඒ සියල්ලේ සමස්ත ප්‍රතිඵලය වනු ඇත්තේ, ආර්ථික වර්ධනයේ පසුබැසීම, රැකියා සම්පාදනයේ බාල වීම සහ ජනතාවගේ ආදායම් පහළ යාම ය.

මීට කලින් ජී.ඇස්.පී. ප්ලස් සහනය ඉවත් කර ගත් අවස්ථාවේ ලංකාවේ අපනයනයන් පහළ වැටුණි. වාසනාවකට, යහපාලන ආණ්ඩුව යටතේ නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත වීමත්, බටහිර රටවල් සමග පැවති මිත්‍ර සම්බන්ධතා යළි පිළිසකර කර ගැනීමත් නිසා ජී.ඇස්.පී. ප්ලස් සහනය නැවත වරක් ලංකාවට හිමි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2107 මාර්තු මාසයේ සිට අපේ අපනයන ආදායම් ඉහළ ගියේය.

මේ වසරේ පළමු මාස පහ තුළ කාර්මික අපනයනයන් තුළින් අප ලැබූ ඩොලර් බිලියන 3.6 ක ආදායම, ගිය වසරේ පළමු මාස පහ තුළ එම අංශයෙන් අප ලැබූ ආදායමට වඩා සියයට 10 කට ආසන්න වර්ධනයක් විය. මේ වසරේ ඉදිරි කාලය තුළ මේ ආදායම තවත් වර්ධනය වීමේ සෑම ඉඩකඩක්ම තිබේ. එසේම අපේ රෙදිපිළි සහ ඇඟලුම් අපනයන ආදායම, යුරෝපා සංගමයේ රටවල් සහ ඇමරිකාවේ ඉල්ලුම ඉහළ යාම මගින් සෑහෙන දුරට වර්ධනය වී තිබේ. එසේම, මත්ස්‍ය අපනයනයන් සම්බන්ධයෙන් පැවති තහනම ඉවත් කර ගැනීමෙන් පසු, ගත වූ මාස 12 ක කාලය තුළ ඒ අංශයෙන් ද අපේ ආදායම සෑහෙන වර්ධනයක් පෙන්නුම් කොට තිබේ.

මරු පහර

ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණයේම රැඳී සිටියොත් ඒ වාසි සහගත තත්වය අහෝසි වී යා හැකිය. ජී.ඇස්.පී ප්ලස් සහනය නිසා රටට වසරකට ලැබෙන අමතර වාසිය ඩොලර් මිලියන 350 ක් පමණ වෙයි. වසර 2022 වන විට අපනයන අංශයෙන් ඩොලර් බිලියන 28 ක ආදායමක් ලබා ගැනීමේ ප්‍රතිපත්තියක් එක පැත්තකින් යෝජනා කොට ඇති අතරේ, අනිත් පැත්තෙන් එම ආදායම අවදානමට හෙලන තවත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැරසෙයි.

ග්ලයිෆොසේට් පිස්සුව

විද්‍යා ප්‍රජාවගේ අදහස් නොවිමසා මීට කලකට ඉහතදී ආණ්ඩුව ග්ලයිෆොසේට් තහනම් කිරීමට තීරණය කෙළේය. ඒ තීරණය ගැනීමට කලින්, කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාගේ හෝ තේ පර්යේෂණ ආයතනයේ සභාපතිවරයාගේ හෝ අධ්‍යක්ෂවරයාගේ හෝ වෙනත් කීර්තිමත් කෘෂිවිද්‍යාඥයන්ගේ හෝ අදහස් විමසා බැලුවේ නැත. ඔවුන් සියල්ලන්ගේ ඒකමතික උපදේශය වී තිබුණේ, ග්ලයිෆොසේට් භාවිතය සඳහා දිගටම ඉඩ සැලසිය යුතු බවයි. මේ කාරණය ගැන දීර්ඝ කරුණු සොයා බැලීමක නිරත වු ‘ජාතික ආර්ථික මණ්ඩලය’ ග්ලයිෆොසේට් ආනයනය සඳහා අනුමැතිය දී තිබියදීත් එය තහනම් කිරීමට ආණ්ඩුව තීරණය කිරීමෙන් පෙනී ගියේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදනයේ පැවති අතාර්කික ස්වභාවයයි. එහි අවසාන ප්‍රතිවිපාකය වුණේ, තේ නිෂ්පාදනයේ පහළ වැටීමත්, ඒ අංශයෙන් ඩොලර් බිලියන 12 ක පාඩුවක් රටට පමුණුවා ගැනීමත් ය.

එපමණක් නොවේ. ග්ලයිෆොසේට් වෙනුවට වෙනත් වල්නාශකයක් පාවිච්චි කිරීම නිසා, තේ අපනයනය සඳහා එතෙක් අපට තිබූ වැදගත් වෙළඳපොලක් වන ජපානයත් අපට අහිමි වී ගියේය. ලංකාවේ කෘෂිකාර්මික අපනයන අංශයේ ප්‍රධාන භෝගය වන්නේ තේ ය. එකතු කළ දේශීය අගය සමග එකට ගත් විට, එය ලංකාවේ විශාලතම අපනයනයයි. අදූරදර්ශී ග්ලයිෆොසේට් තහනම නිසා පොදුවේ තේ කර්මාන්තයටත්, සුළු පරිමාණ තේ නිෂ්පාදකයාටත් වැදුණේ මරු පහරකි. එය, රන් බිජු දමන කිකිළියක් මැරීම වැනි ක්‍රියාවකි.

වාසනාවකට, බොහෝ කල්ගත වීමෙන් පසුව, එම තීන්දුව දැන් ආපසු හරවා ඇති අතර, තේ කර්මාන්තය යළිත් වරක් හිස ඔසවමින් සිටී. මේ ව්‍යාකූලත්වයේ ප්‍රධාන හේතුවක් වන්නේ මෙය සභාග ආණ්ඩුවක් වීම වුවත්, තීන්දු තීරණ ගැනීමේ නිසි පිළිවෙලක් නොවීමත් ඊට හේතු වී තිබේ. තීන්දු තීරණ ගැනීමේ පරිපාටිය විද්‍යාත්මක සහ තාර්කික අධ්‍යයනයන් මත පදනම් නොකොට රටකට ඉදිරියට යා නොහැක. දැනුම මත පදනම් වන නූතන තරගකාරී සමාජය තුළ, හැඟීම් මත තීරණ ගැනීමේ ඉඩක් රටකට නැත.

(2018 අගෝස්තු 5 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ Impulsive, Irrational, Unscientific Decision- Making Retards Economic Development 
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

Back to Top