Sri Lanka Brief
පුවත්විවරණලංකාවේ මත්ද්‍රව්‍ය මැඩලීමේ සංග්‍රාමය: විද්‍යාවක් ද, ප්‍රබන්ධයක් ද? – ආචාර්ය නිමේෂ් සමරසිංහ

ලංකාවේ මත්ද්‍රව්‍ය මැඩලීමේ සංග්‍රාමය: විද්‍යාවක් ද, ප්‍රබන්ධයක් ද? – ආචාර්ය නිමේෂ් සමරසිංහ

by

සමහරු හිතන්න පුළුවන් මරණ දඬුවම දරුණු වැඩියි කියලා. මං එහෙම හිතන්නේ නැහැ. හුඟාක් රටවල් අද වෙන කොට මරණ දඬුවම අවශ්‍යයි කියලා පිළිඅරගෙන තියෙනවා.” – රනිල් වික්‍රමසිංහ, 1984

අගමැති රනිල් වික්‍රමසිංහ ඉහත සඳහන් ප්‍රකාශය කෙළේ, ‘විස ද්‍රව්‍ය, අබිං සහ භයානක මත්ද්‍රව්‍ය පිළිබඳ 1929 ආඥාපනත’ සංශෝධනය කිරීම පිළිබඳ 1984 මාර්තු 22 වැනි දා පැවති පාර්ලිමේන්තු විවාදයේ දී ය. මත්ද්‍රව්‍යවලට අදාළ වැරදිවලට මරණ දඬුවම හඳූන්වා දීමට පියවර ගත් එදා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ඔහු අධ්‍යාපන ඇමතිවරයා විය. මේ දක්වාමත් එම පියවර අසාර්ථකව තිබියදීත්, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම පැමිණවීමේ අවශ්‍යතාව පිළිබඳ පරණ කතිකාව අද නැවත වරක් ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයට සහ දේශපාලන සංවාදයට පැමිණ තිබේ. මත්ද්‍රව්‍ය අල්ලා ගැනීම්, ඊට අදාළ අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් සේම, මත්ද්‍රව්‍ය භාවිතයත් ඊට අදාළ හානියත් මේ කියන කාලය තුළ නිරන්තරයෙන් වැඩි වී තිබීම මගින් කියාපාන්නේ, දශක තුනකට අධික එම කාලය තුළ ගෙන ගිය මත්ද්‍රව්‍ය මැඩලීමේ ප්‍රතිපත්තිය ගැන අප නැවත සලකා බැලිය යුතුව ඇති බවයි.

මේ විෂය ගැන විවිධ ලිපි ලියැවී තිබේ. එහෙත් මත්ද්‍රව්‍ය වැරදිවලට ශ්‍රී ලංකාවේ මරණ දඬුවම පැමිණවීමේ නිදාන කතාව ගැන ඒවායේ සාකච්ඡා වී නැත. එසේම, එම ප්‍රතිපත්තිය පිළිගැනීම සහ ක්‍රියාත්මක කිරීමට අදාළ සමාජආර්ථික සහ දේශපාලනික සාධක පිළිබඳවත් සාකච්ඡා වී නැත. මේ ලිපියෙන් බලන්නේ එම අඩුව පිරිමැසීමටයි. ‘මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය’ පසුපස පැවති සාධක හඳුනා ගැනීම සහ සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි.

1980 ගණන්වල හෙරොයින් වසංගතය

1970 දශකය අවසානයේ ගංජා සහ අබිං පාවිච්චි කරන වැඩිහිටි ජනගහනයේ වැඩි වීමක් පෙන්නුම් කෙරුණි. එම දශකය අවසාන භාගයේ විදේශ සංචාරකයන් විසින් ලංකාවට හඳුන්වා දෙන ලද හෙරොයින් වසංගතය බොහෝ විට, කොළඹ නගරයට සහ දකුණේ පෙදෙස් කිහිපයකට පමණක් සීමා වුණි. තරුණයන් හෙරොයින් භාවිතයට ඇබ්බැහි වීමත් සමග ඇති වූ ‘අලුත් මත්ද්‍රව්‍ය ප්‍රශ්නය’ විසින් රටේ ඇති කළ අස්ථාවරත්වයන් ගැන දේශපාලඥයන්ගේ, පූජ්‍ය පක්ෂයේ සහ මහජනතාවගේ අවධානය යොමු වන්නට විය. එසේම, රටේ සමාජආර්ථික සංවර්ධනය අත්කර ගැනීම සඳහා මත්ද්‍රව්‍යවලින් නිදහස් සමාජයක අත්‍යාවශ්‍යතාව පිළිබඳ විශ්වාසයක් ප්‍රතිපත්ති සම්පාදකයන් සහ දේශපාලඥයන් තුළ තිබුණි. වැඩියත්ම, තරුණ පරම්පරාව ජාතියේ සම්පත වශයෙන් සැලකීම නිසා එම විශ්වාසය තවත් වැඩි විය.

දේශපාලඥයෝ, ප්‍රමුඛ පෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ක්‍රිස්තියානු පූජකවරු, සමාජයක පැවතිය යුතු සදාචාර වටිනාකම් ගැන සහ යහපත් පුරවැසි භාවයක් පිළිබඳව ප්‍රශ්න කරමින් උන්හ. රා අරක්කු වැනි මත් වෙන දේවල් පාවිච්චි කිරීම සැලකුණේ දුරාචාරයක් වශයෙනි. භයානක මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් සැලකුණේ සමාජ සැඩොලුන් ලෙසිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මත්ද්‍රව්‍ය උවදුරට අදාළ ප්‍රතිපත්තිවලට සහ දේශපාලනයට, සදාචාරය පිළිබඳ මුක්කුවක් ගසා තිබුණි. ඒ සදාචාර දෘෂ්ටිවාදය තුළ මත්ද්‍රව්‍ය භාවිතය, ශ්‍රී ලාංකීය සංස්කෘතිය අවදානමට ලක්කරන දුරාචාරයක් වශයෙන් සැලකුණි. ඒ අනුව, රාජ්‍යයේ මැදිහත් වීම සහ දැඩි නීතිරීති පැනවීම, විනීත සහ සංවරශීලී සමාජයක අභිවෘද්ධිය සඳහා අත්‍යාවශ්‍ය දෙයක් වශයෙන් සැලකුණි.

රන් ත්‍රිකෝණයේ’ නමින් හැඳින්වෙන රටවල්වල සිට යුරෝපයට මත්ද්‍රව්‍ය රැගෙන යන අතරමැදි රටක් වශයෙන් ජාත්‍යන්තර පොලීසිය 1982 දී ලංකාව නම් කළ අතර, සංවිධානගත ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලංකාවේ සිට ක්‍රියාත්මක වන බව හඳුනාගනු ලැබුණි. මේ කාලයේදී එල්.ටී.ටී.. සංවිධානයත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙමින් ඒ ආදායම තමන්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදා ගන්නා බවට සාක්ෂි මතු විය. සිංහල සහ දෙමළ ප්‍රදේශ අතර ගැටුම් උග්‍ර වෙමින් උතුරුනැගෙනහිර වෙනම රාජ්‍යයක් සඳහා වන ව්‍යාපාරය තීව්‍ර වෙද්දී, මේ මත්ද්‍රව්‍ය ජාවාරම ලංකාවේ ජාතික ආරක්ෂාවටත්, ආණ්ඩුවේ ස්ථාවරත්වයටත් තර්ජනයක් වශයෙන් හඳුනා ගැනුණු තත්වයක් තුළ, එතෙක් පැවති නීති යල්පැනගොස් ඇති බවට හැඟීමක් දේශපාලඥයන් සහ නීති ක්‍රියාත්මක කරවන්නන් තුළ ඇති විය. ‘විෂ ද්‍රව්‍ය, අබිං සහ භයානක මත්ද්‍රව්‍ය පිළිබඳ 1929 ආඥාපනත’ 1984 දී සංශෝධනය කෙරුණේ ඒ සන්දර්භය තුළ ය. ඒ සංශෝධනය තුළ, මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මරණ දඬුවම පැනවුණු අතර, මත්ද්‍රව්‍ය භාවිතයේ යෙදෙන්නන් සහ ජාවාරම්කරුවන් සඳහා වන නීතිරීති දැඩි කොට, මත්ද්‍රව්‍ය පාලනයට අදාළ සියළු ප්‍රයත්නයන් සම්බන්ධීකරණය අරමුණු කර ගත්, ‘භයානක ඖෂධ පාලනය පිළිබඳ ජාතික මණ්ඩලය’ ස්ථාපිත කෙරුණි.

1984 පනවා ගැනුණු මේ ප්‍රතිපත්තිය, රටේ පවතින අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළට අන්තර්ග්‍රහණය කර ගැනුණු අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් විශාල ප්‍රමාණයක් හිරේට නියම වුණි. ඒ කෙතෙක් ද යත්, වසර 2000 වන විට, ලංකාවේ බන්ධනාගාරගත ප්‍රජාවෙන් සියයට 45 ක් සමන්විත වුණේ මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදිකරුවන්ගෙනි. මේ අය අතරින් සියයට 88 ක් හෙවත් අතිබහුතරයක් අයත් වුණේ හෙරොයින් භාවිතයට අදාළ වැරදිවලට ය. ඉතිරි පිරිස ගංජා භාවිතය සම්බන්ධයෙනි. එයින් වසර 17 ක් ඇවෑමෙන් අද පවා මේ සංඛ්‍යාත්මක ප්‍රමාණයන් වෙනස්ව නැති අතර, බන්ධනාගාරගත ප්‍රජාවෙන් විශාල ප්‍රමාණයක් දැනටත් සමන්විත වන්නේ, මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් නොව, මත්ද්‍රව්‍ය පාවිච්චි කළ පුද්ගලයන්ගෙනි.

ලංකාවේ මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රතිපත්තිය සකස් කර ගැනීමට මෙන්ම ඒ සඳහා මරණ දඬුවම පැනවීමටත්, එදා පැවති ජාත්‍යන්තර වටපිටාව බලපෑ බව කිව යුතුය. මේ ගැන යම් විස්තරයක් අවශ්‍ය කෙරේ.

ජාත්‍යන්තර සන්දර්භය සහ ජාතික දේශපාලනික වටපිටාව

1980 දශකය තුළ, ආසියාශාන්තිකර කලාපයට අයත් ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, තායිවානය, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම තම තමන්ගේ නීති පොත්වලට ඇතුල් කර ගත්තේය. මේ ජනප්‍රිය ප්‍රතිපත්තිය ආසියාශාන්තිකර කලාපය හරහා සීග්‍රයෙන් පැතිර යාමට, එය සදාචාරමය වශයෙන් ප්‍රශංසණීය, දියුණු, ප්‍රගතිශීලී පියරවක් වශයෙන් සලකනු ලැබීම හේතු වන්නට ඇත. එදා ශ්‍රී ලංකාව මේ මරණ දඬුවම කොපි කෙළේ සිංගප්පූරුවෙන් සහ මැලේසියාවෙන් බව සාමාන්‍ය පිළිගැනීමයි. එම ප්‍රතිපත්තිය තුළින් ඉහත කී රටවල් සාර්ථකත්වයක් අත්කරගෙන තිබිණි ද යන්න පිළිබඳ විද්‍යාත්මක සොයා බැලීමක් සිදු කෙරුණේ නැත. මේ රටවල සීග්‍ර ආර්ථික වර්ධනයෙන් වසඟයට පත් ලංකාවේ ප්‍රභූ පංතික ප්‍රතිපත්ති සම්පාදකයෝ, ඒ රටවල් අනුකරණය කිරීමට කැමැත්තක් දැක්වූහ.

පොලිස් නිලධාරීන් සහ දේශපාලඥයන් අතර මේ සම්බන්ධයෙන් එදා පූර්ණ එකඟත්වයක් තිබුණේ නැත. එහෙත් විධායක බලය හෙබැවූ ජේ. ආර්. ජයවර්ධන මේ කියන සංශෝධනය සඳහා තම කැබිනට් සගයන්ගේ පමණක් නොව, පොදුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් ඒකපාර්ශ්වික අනුමැතිය ලබා ගැනීමට සමත් විය. කෙසේ වෙතත්, මින් පසුව එකී වැරදි සඳහා අධිකරණය මගින් මරණ දඬුවම පැනවුවත්, එය, මත්ද්‍රව්‍ය පාවිච්චි කළ අය සම්බන්ධයෙන්වත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන්වත් කිසි විටෙක ක්‍රියාත්මක කෙරුණේ නැත. විනිසුරුවරයෙකු මරණ දඬුවම දෙන්නේ, ජනාධිපතිවරයා විසින් නියම කරන දිනයකදී සහ වෙලාවකදී එය ක්‍රියාත්මක කළ යුතු බවට ප්‍රකාශ කරමිනි. එහෙත්, ගත වූ දශක තුනක කාලය තිස්සේ කිසි ජනාධිපතිවරයෙකු ඒ සඳහා තම අනුමැතිය දී නොමැත. ඒ අනුව සාමාන්‍යයෙන් සිදු වන්නේ, දෙන ලද මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමකට පරිවර්තනය වීමයි. එසේ නම්, මේ දක්වා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට හෝ අවලංගු කිරීමට කටයුතු නොකෙළේ ඇයි?

අපරාධ සම්බන්ධයෙන් බුරුලක් නැති බව පෙන්වීමට?

ප්‍රතිපත්ති සම්පාදකයන් මුලින් සිතුවේ, මත්ද්‍රව්‍ය පාවිච්චිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මරණ දඬුවම මගින් මර්දනය කෙරෙන බවයි. එහෙත් ඒ අරභයා ලෝකය පුරා කරන ලද විවිධ අධ්‍යයනයන් මගින් මේ වන විට පෙන්නුම් කොට ඇත්තේ, එය ‘වියදම්කාරී අසාර්ථකත්වයක්’ වී ඇති බව පමණි. කොටින්ම, රටක අපරාධ අඩු කිරීමට, මත්ද්‍රව්‍ය භාවිතය අධෛර්යමත් කිරීමට හෝ මත්ද්‍රව්‍යවලට අදාළ අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් අඩු කර ගැනීමට ඒ මගින් හැකි වී නැති බවයි. තවත් සමහරු තර්ක කරන පරිදි, මරණ දඬුවම යනු, මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝණය කිරීමකි. මන්ද යත්, එම ප්‍රඥප්තීන්ට අනුව, සෑම මනුෂ්‍යයෙකුටම ජීවිතයට ඇති අයිතිය මරණ දඬුවම මගින් පැහැර ගැනෙන බැවිනි. කෙසේ වෙතත්, අපේ දේශපාලඥයන්ට, ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ට උපදෙස් දෙන සමහර සිවිල් නිලධාරීන්ට, මරණ දඬුවම පවත්වා ගැනීම ආකර්ශනීය දෙයක් වී තිබේ.

දශක තුනකට අධික කාලයක් තිස්සේ පවතින මරණ දඬුවමට සහ මත්ද්‍රව්‍ය පාලන ප්‍රතිපත්තිවලට අපේ ජනාධිපතිවරුන් සියලු දෙනා කැමැත්තක් දක්වා තිබේ. සමහර ජනාධිපතිවරුන් අපරාධ සම්බන්ධයෙන්, විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩිව පෙනී සිටීමේ නැමියාවක් පෙන්නුම් කොට තිබේ. රටේ බලගතුම දේශපාලඥයා වන ජනාධිපතිවරයා මේ විෂය සම්බන්ධයෙන් එසේ ඉමහත් උනන්දුවක් දැක්වීම, රටේ ආර්ථික, දේශපාලනික සහ සමාජ ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙහි එම කාරණයට පැවරෙන වැදගත්කම පෙන්නුම් කරයි.

මරණ දඬුවම ක්‍රියාත්මක කරවීම සඳහා 1995 දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවේය. ඊට ඒකමතික අනුමැතිය ලැබුණි. ඇත්ත වශයෙන්ම 1999 දී ඇය විශේෂ ජනාධිපති ප්‍රකාශනයක් නිකුත් කරමින් එම අදහස බලගැන්නුවාය. එයින් බලාපොරොත්තු වුණේ රටේ සංවිධානගත අපරාධ සහ බරපතල අපරාධ අධෛර්යමත් කිරීමටයි. කෙසේ වෙතත්, ජාතික සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල විරෝධය ඉදිරියේ අනතුරුව සිදු වුණේ, සෑම මරණ දඬුවමක්ම ජීවිතාන්තය දක්වා හිර දඬුවමක් බවට ඉබේ පරිවර්තනය කිරීමයි. මෙසේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ඉබේ පරිවර්තනය වීමේ තීන්දුව 2001 ජනවාරි මාසයේදී අවලංගු කෙරුණි.

2004 නොවැම්බර් 19 වැනි දා, මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටියව සහ ඔහුගේ ආරක්ෂකයාව ඝාතනය කිරීමෙන් පසු, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සංවාදය රට තුළ යළි මතු විය. මේ ඝාතන දෙක, ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නියෝගය පරිදි සිදු වූ බවට සැක කෙරුණි. මේ කියන දවසේම, මහාධිකරණ විනිසුරුවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කොට තිබුණි. ලංකාවේ පළමු වතාවට මහාධිකරණ විනිසුරුවරයෙකු ඝාතනය වීම සහ එම ඝාතනයට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සම්බන්ධව සිටීම, රාජ්‍ය ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ වැදගත් ප්‍රශ්න ගණනාවක් මතු කෙළේය. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මිනිමැරුම්, කාන්තා දූෂණ සහ මත්ද්‍රව්‍ය අපරාධ සඳහා, නැවත වරක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්නයක් ගත්තාය.

බෞද්ධ භික්ෂූන්, ක්‍රිස්තියානි පූජකවරුන් සහ මහජනතාව, විටින් විට, මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම පනවන ලෙස හඬ නගා තිබේ. එසේම, මත්ද්‍රව්‍ය උවදුර කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ විරෝධාකල්පයත්, එම වරද සඳහා දැඩි නීතිරීති පැනවීම කෙරෙහි දේශපාලඥයන් විසින් සැලකිල්ලට ගෙන තිබේ. වඩාත් සදාචාරාත්මක සහ ආරක්ෂිත සමාජයක අවශ්‍යතාව සමග මත්ද්‍රව්‍ය තහනම අත්‍යන්තයෙන් බැඳී ඇතත්, ඒ සමගම එම කාරණය දේශපාලනික කණ්ඩායම්වල සහ ඡන්ද කොට්ඨාශයේ න්‍යාය පත්‍ර සමගත් බැඳී තිබේ. අපරාධ ගැන මාධ්‍ය තුළ වැඩි වැඩියෙන් වාර්තා වන අවස්ථාවක, ‘අපරාධ ගැන තදින් පෙනී සිටීම’ ජනාධිපතිවරුන්ගේ ජනප්‍රියත්වය සඳහා අවශ්‍ය අනිවාර්ය අංගයක් බවට පත්වෙයි. තවත් විදිහකින් කිවහොත්, එය, ඔවුන්ගේ ඡන්ද වැඩපිළිවෙලේ තවත් ජනප්‍රිය ප්‍රතිපත්තියක් බවට පත්වන්නේය.

කෙසේ වෙතත්, වර්තමාන ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්, මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම, ‘මැජික් උණ්ඩයක්’ වැනි විසඳූමක් වශයෙන් සලකන්නේ නැත. රාජිත සේනාරත්න, මංගල සමරවීර සහ තවත් ඇතැම් ඇමතිවරු එම තීරණය සමග තමන් පෞද්ගලිකව එකඟ වන්නේ නැති බව මෑතකදී ප්‍රසිද්ධියේ කියා සිටියහ. බෞද්ධ සමාජයේ සමහර කොටස් සේම, ඇතැම් ක්‍රිස්තියානු පූජකවරු ද, ‘කෙනෙකුගේ ජීවිතයක් පැහැර ගැනීමෙන් වැළකී සිටීම’ පිළිබඳ ආගමික ශික්ෂා පදය අනුව, මරණ දඬුවමට එකඟ නොවෙති. මේ කාරණය සම්බන්ධයෙන් එවැනි සාමූහික විසම්මුතික මතවාද තිබුණ ද, ජනාධිපතිවරයා සහ ඔහුගේ ඇමති මණ්ඩලය මරණ දඬුවම නැමැති ජනප්‍රිය ප්‍රතිපත්තියට අනුගත වීමට කැමැත්තක් දක්වති.

අනාගත දිසානතීන්

මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව දැනට පවතින නීතිය තුළ ‘මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන්’ සහ ‘මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්’ වැටෙන්නේ එකම ගොඩකටයි. ඒ යටතේ, ‘මෝෆින්’ ග්‍රෑම් තුනක් හෝ ‘කොකේන්’ ග්‍රෑම් දෙකක් හෝ ‘හෙරොයින්’ ග්‍රෑම් දෙකක් (පුද්ගල පාවිච්චිය සඳහා) සන්තකයේ තබා ගන්නා ඕනෑම පුද්ගලයෙකු මරණ දඬුවමට ලක්කිරීමට හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කිරීමට හෝ පුළුවන. දඬුවම් නියම කිරීමේදී, එක පැත්තකින් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සහ සිල්ලර වෙළෙන්දන් අතරත්, අනිත් පැත්තෙන් මහ පරිමාණ ජාවාරම්කරුවන් අතරත් වෙනසක් ඇති බවක් සැලකිල්ලට ගැනෙන්නේ නැත. එසේ නොකිරීම පිළිබඳව දැන් කාලයක් තිස්සේ නීති විශාරදයන් ප්‍රශ්න මතුකොට ඇතත්, ඊට නිසි අවධානය යොමු කිරීමක් හෝ දේශපාලඥයන් අතරේ පිළිගැනීමක් හෝ ලැබී නැත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් වැඩි දෙනා දිළිඳූ පවුල් පසුබිමකට අයත් අවාසනාවන්තයෝ ය. එසේම, මත්ද්‍රව්‍ය වැරදිවලට හිරේ වැටෙන පිරිසෙන් බහුතරය, වෛද්‍ය ප්‍රතිකාර සහ පුනරුත්ථාපනයට ලක්කළ යුතු පුද්ගලයන් ය. ජාත්‍යන්තර සාක්ෂි මගින් ද, ‘මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය’ විසින් කරන ලද අධ්‍යයනයන් හරහා ද පෙන්වා දෙන පරිදි, හිර ගෙදරක ක්‍රියාත්මක කෙරෙන බලහත්කාරී සහ අනිවාර්ය ප්‍රතිකාරයන්ට වඩා, ස්වේච්ඡා ප්‍රජාපාදක වැඩ සටහන් හරහා සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැක්කේය. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් හිරේ වැටුණු පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා ලංකාවේ සමහර හිරගෙවල්වල දැනට වැඩ සටහන් ක්‍රියාත්මක වෙයි.

අනතුරුදායක මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ ජාතික මණ්ඩලය’, මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, පිළියම් කිරීම සහ පුනරුත්ථාපනයට අදාළව සෑහෙන වැඩ කොටසක් කරයි. ඒවායින් මෙතෙක් ලබා ඇති සාර්ථකත්වයන් මත පදනම් වෙමින්, මත්ද්‍රව්‍ය ප්‍රශ්නය සැලකිල්ලට ගත යුතුව ඇත්තේ මහජන සෞඛ්‍ය ගැටළුවක් වශයෙනි. එහෙත් දැනට සිදුවන්නේ, එය අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියට අයත් කාරණයක් වශයෙන් ගැනීමයි. භයානක මත්ද්‍රව්‍ය භාවිතය වඩාත් සාර්ථකව පාලනය කරගත හැක්කේ, රටේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇති ප්‍රශ්නයක් වශයෙන් සලකා ඊට පිළියම් යෙදීමෙන් බව, ජාත්‍යන්තර අත්දැකීම් ඉතා පැහැදිළිව පෙන්වා දෙයි.

එසේ තිබියදීත් මෙය දඬුවම් පැමිණවීමෙන් විසඳා ගත හැකි කාරණයක් වශයෙන් ගැනීමට එක් හේතුවක් වන්නේ, එවැනි ප්‍රවේශයක් තුළ ඇති දේශපාලනික වාසියයි. මේ උවදුර මැඩලීම සඳහා තද නීතිරීති තිබිය යුතු බවට පොදු මතයක් රටේ පවතී. එහෙත්, තිරසාර විසඳුමක් සඳහා මහජන සෞඛ්‍ය න්‍යාය පත්‍රයක් ඊට ඇතුළත් විය යුතුව තිබේ. මේ ප්‍රශ්නය ගැන විශේෂඥ දැනුමක් ඇති පිරිස්වල අදහස් මේ දක්වා ලබාගෙන නැත. එබැවින්, සියලු පාර්ශ්වවල අදහස් මෙන්ම විෂය දැනුමත් උපයෝගී කර ගනිමින් මේ සංවාදය තව තවත් පෝෂණය කළ යුතුව තිබේ.

මේ අතර, වෙනත් රටවල්, විශේෂයෙන් කලකට ඉහතදී ලංකාව ආදර්ශයට ගත් රටවල් පසුගිය කාලයේ මේ සම්බන්ධයෙන් ඇති කරගෙන තිබෙන ප්‍රතිපත්තිමය වෙනස්කම් ද අපේ සැලකිල්ලට ලක්විය යුතුව තිබේ. උදාහරණයක් වශයෙන්, මැලේසියාව හුදෙක් දැඩි දඬුවම් පැමිණවීමේ ප්‍රවේශයෙන් ඉවත් වී, මහජන සෞඛ්‍ය වැඩපිළිවෙලක් ද ඒ තුළට අන්තර්ග්‍රහණය කරගෙන තිබේ. අනිවාර්ය පිළියම් කිරීම අත්හරිමින් ඒ වෙනුවට ස්වේච්ඡා පිළියම් පහසුකම් දැන් එම රටේ ඇති කරගෙන තිබේ. එසේම, ස්විට්සර්ලන්තය, පෘතුගාලය, එක්සත් රාජධානිය, ඕස්ටේ්‍රලියාව සහ නෙදර්ලන්තය වැනි රටවලින් ද මේ සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති පාඩම් අපට උගත හැකිය.

අවසාන වශයෙන්, ‘මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි යුද්ධයක’ සාර්ථකත්වයක් පෙන්නුම් කරන විද්‍යාත්මක සාක්ෂි කිසිවක් මෙතෙක් සොයා ගැනීමට නැති බව කිව යුතුය. එවැනි යුද්ධයක් පිළිබඳ උවමනාව පදනම් වන්නේ සදාචාර ප්‍රතිපත්ති මත ය. එය දේශපාලනික අවශ්‍යතා සඳහා ප්‍රයෝජනවත් විය හැකි වෙතත්, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ සහ ඔවුන්ගේ ආදරණීයයන්ගේ සැබෑ අවශ්‍යතා සැලකිල්ලට ගැනීමක් එහිදී සිදු නොවේ.

(2018 ජුලි 25 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The War on Drugs in Sri Lanka: Science 0r Fiction නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top