Sri Lanka Brief
පුවත්විවරණ‘පර්පෙචුවල් පංතිය’,ආර්ථික අපරාධ සහ ලංකාවේ 118 – අසංග අබේගුණසේකර

‘පර්පෙචුවල් පංතිය’,ආර්ථික අපරාධ සහ ලංකාවේ 118 – අසංග අබේගුණසේකර

by

ලංකාවේ පාරක් තොටක් ගානේ පැතිරෙන වසංගතයක් තිබේ. ඒ වසංගතය තවම ඔබේ දොරකඩට පැමිණ නැතිවා විය හැකියි. එහෙත්, ඒ වෙනුවෙන් ඔබට වක්‍රාකාරයෙන් දැරීමට සිදුවන වියදමක් තිබේ. අපේ ජීවිතවල සාමාන්‍ය ස්වභාවය අවුල් කරන මේ තත්වය ගැන අප බොහෝ දෙනෙකු දැන් දැනුවත් ය. එහෙත් ඒ වසංගතය මැඩලන්නේ කෙසේද යන්න ගැන නිනව්වක් අපට නැත. වසංගතයේ නම දූෂණයයි. රටක ආර්ථිකයේ යහපැවැත්මට විනාශකාරී විය හැකි මේ වසංගතය අද රටම ගිල ගන්නා තත්වයකට පත්ව ඇත.

අලුතෙන් ගොඩනැගූ හම්බන්තොට රෝහල විවෘත කර ගැනීමේ හැකියාවක් තමන්ට නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කීවේය. මේ රෝහල ඉදි කිරීමේ මුල් ගල තබන ලද්දේ, කාලයකට පෙර ඔහු සෞඛ්‍ය ඇමතිවරයාව සිටි අවදියේ ඔහු විසින්මයි. “ගොඩනැගිල්ල ඉවරයි. ඒත් රෝහල් උපකරණ ආගිය අතක් නැහැ. වෙන් කරපු මුදල් ඔක්කොම පාවිච්චි කරලත් ඉවරයි. මගෙන් පස්සේ ඒ අමාත්‍යාංශෙට පත්වෙච්ච ඇතැම් පුද්ගලයන් මේකට වගකියන්න ඕනේ.” යැයි, දූෂණය මැඩලීම පිළිබඳ කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අවසානයේ, එහි මුඛ්‍ය දේශක මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ අල්ලස් සහ දූෂණ කොමිසමේ සභාපතිවරයා අමතා ජනාධිපතිවරයා කීවේය.

මහජන දේපළ සොරා කෑ කවුරු වෙතත්, මොන තරම් දේශපාලනික සබඳතා ඇත්තෙකු වුවත්, අත්අඩංගුවට ගත යුතුව තිබේ. මේ ආකාරයේ ආර්ථික අපරාධ කිරීමට සමාජයේ ඉහළ ස්ථරයේ පුද්ගලයන්ට හැකියාව තිබේ නම්, දූෂණයෙන් තොර සමාජයක් කෙසේ නම් අප ඇති කර ගන්නද යන ප්‍රශ්නය මතු වෙයි. දූෂණය පිටුදකින සමාජ හරපද්ධති කෙසේ නම් අප ඇති කර ගන්නද යන ප්‍රශ්නය මතු වෙයි. එබැවින් එවැනි වැරදි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමටත්, දූෂණයට එරෙහි සටන අරභයා, වර්තමානයේ දුර්වල අඩියක පවතින රාජ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමටත්, ජනාධිපතිවරයා කටයුතු කළ යුතු වන්නේය.

විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට අනුව, “රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහිව නඩු විභාග කොට සිරගත කළ ආකාරයෙන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙනුත් කටයුතු කෙරෙතොත්, අද සිටින රාජ්‍ය නිලධාරීන්ගෙන් අඩකට වැඩි පිරිසක් මේ වන විට සිරගෙවල්වල සිටිය යුතුය.” රටේ පවතින මහ පරිමාණ දූෂණය ඉදිරියේ රාජ්‍ය අංශයේ මූල්‍ය විනය ස්ථාපිත කිරීම සඳහා අලුත් විගණන පනත ඔහු විසඳුමක් වශයෙන් දකියි. එවැනි අණපනත් ඇති කර ගැනීම සඳහා ආණ්ඩුවේ උපරිම සහායත්, ප්‍රමුඛත්වයත් දිය යුතුව තිබේ. විශේෂයෙන් මෑතකදී ඇති වූ සිදුවීම් ගැන සලකා බලන විට එය තව තවත් රටට අවශ්‍ය කෙරෙන බව පෙනෙන්ට තිබේ. කෙසේ වෙතත්, විගණන පනතක් සම්මත කර ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන්නේය. ඊට වඩා වැදගත් වන්නේ, එය ක්‍රියාත්මක කරවා ගැනීම බව හිටපු විගණකාධිපති මායාදුන්න මහතා අවධාරණය කරයි.

කොළඹ මෝදර ධීවර වරාය මීට වසර කිහිපයකට කලින් බලගතු ඇමතිවරයෙකු විසින් තුට්ටු දෙකට බදු දීම වැනි සාපරාධී සිද්ධියක් කිසි දවසක අල්ලස් කොමිසමේ විමර්ශනයට ලක්වුණේ නැත. අපරාධකරුවාගේ තත්වය සහ බලපුලුවන්කාර කම නොතකා, සෑම ආකාරයකම ආර්ථික අපරාධ පිළිබඳ විමර්ශන පැවැත්වීම අල්ලස් කොමිසමේ කාර්ය භාරයයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසන අන්දමට, “වරාය ටෙන්ඩර් පරිපාටිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අල්ලස් කොමිසම මගින් දෙවතාවක්ම තමන්ව කැඳවා ඇති මුත්, අදාල ඇමතිවරයාගෙන් ඒ පිළිබද ප්‍රකාශයක් සටහන් කරගෙන නැත. ඒ වෙනුවට සිදුවුණේ, අදාළ ඇමතිවරයා විසින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියව ජනාධිපතිවරයා ලවා අස් කරවීමයි.‘’

මහාචාර්ය ජයදේව උයන්ගොඩ කියන පරිදි, මේ රටේ ‘පර්පෙචුවල් පංතියක්’ ඇති වී තිබේ. මෙය, දේශපාලඥයන්ට සහ දේශපාලන පක්ෂවලට බලපෑම් කරන සහ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාර සම්බන්ධයෙන් බලපෑම් කළ හැකි, අලුතින් පොහොසත් වූ මැද පංතියකි. අතීතයේ සිටි ව්‍යාපාරිකයන් සහ මේ අලුතින් ධනවත් වූ පංතිය අතර පැහැදිළි වෙනස්කම් තිබේ. අලුත් ‘පර්පෙචුවල් පංතිය’, තමන්ගේ මුදල් බලයෙන්, අමාත්‍යවරුන් සහ ඉහළ පෙළේ නිලධාරීන් සම්බන්ධයෙන් මෙන්ම, ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පදානය කෙරෙහි පවා සිය බලය පතුරුවයි. එම පංතියේ බලපෑම අවබෝධ කර ගැනීම සඳහා තවදුරටත් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දෙයි. දේශපාලන පක්ෂවලට වියදම් කිරීම හරහා එම පක්ෂවල මතවාද තමන්ගේ පැත්තට නම්මවා ගැනීම සඳහා කටයුතු කිරීමේ පුරුද්ද ඇමරිකාව ඇතුලු බොහෝ රටවල මේ වන විට විශාල වෙනසකට ලක්ව තිබේ. “දේශපාලනික ක්‍රමය සහ දේශපාලනික දිරාපත්වීම” නැමැති සිය කෘතියේදී ෆ්‍රැන්සිස් ෆුකුයාමා නිවැරදිව හඳුනාගෙන ඇති පරිදි, 1971 දී 175 ක් පමණක් වූ මෙවැනි මතවාද ක්ෂේත්‍රයේ ප්‍රචාරක සමාගම් ප්‍රමාණය 1981 වන විට 2500 ක් දක්වා ද, 2013 වන විට 12,000 ක් දක්වා ද වර්ධනය වී තිබේ. එම සමාගම් ප්‍රමාණය මගින්, තමන්ට අවශ්‍ය පරිදි ප්‍රතිපත්ති නම්මවා ගැනීම සඳහා ඒ වසරේ වියදම් කර ඇති මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 3.2 ක් වැනි විශාල ප්‍රමාණයකි. “විවිධ ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක කෙරෙන ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්ති විකෘති කරනු ලබන්නේ, මෙවැනි සමාගම්වල මැදිහත් වීම් ඔස්සේ” බව ෆ්‍රැන්සිස් ෆුකුයාමා පෙන්වා දෙයි.

2015 පැවති ජනාධිපතිවරණයත් ඉන් අනතුරුව අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයත් තුළ “පවුලේ දූෂණය” නැමැති තේමාව මුල් තැනක් ගත්තේය. අද වන විට ඒ රාජපක්ෂ පවුලේ තේමාව වෙනත් දිසාවකට යොමුව ඇත. එය, “118” කතාව වශයෙන් හැඳින්විය හැක. මේ වනාහී, මෑතක සිට රටේ දේශපාලන සංවාදය තුළ ප්‍රමුඛත්වයක් ගෙන ඇති ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ ව්‍යාපාරික ආයතනයෙන් මුදල් ලබාගෙන ඇතැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනෙකු අරභයා මතු වූ සිද්ධියයි. පසුගිය සති කිහිපය තුළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණි. මේ ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගමේ කුප්‍රකට බැඳුම්කර වංචාව පිළිබඳ ග්‍රන්ථයක් ද සම්පාදනය කළ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එම සමාගමෙන් රුපියල් මිලියන තුනක් ලබාගෙන ඇති බවත් හෙලිදරව් විය. එම ගනුදෙනුව ඔහු යුක්ති සහගත කර ගැනීමට බැලුවේ, එසේ ලබා ගත් මුදල් දැන් නැති බැරි අයට ලබා දීමට තමන් සූදානම් බව කීමෙනි. එහෙත් ඇතැමුන් කියන පරිදි, මෙවැනි 118 දෙනෙකුගේ ලැයිස්තුවක් නොමැත. කෙසේ වෙතත්, ආණ්ඩුව ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ පනතකුත් ගෙනැවිත් ඇති තත්වයක් තුළ, එවැනි ලැයිස්තුවක් ඇද්ද නැද්ද යන දැන ගැනීමේ අයිතියක් ජනතාවට තිබේ.

තොරතුරු දැන ගැනීමේ කොමිසම තම ශක්තිය විදහාපාමින් මෑතකදී එක් තීන්දුවක් දුන්නේය. එනම්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විශාල අලාභයක් සිද්ධ කළ, එම සමාගම සහ ‘එයාකැප්’ නැමැති සමාගම අතර ඇති කරගෙන ඇති ‘කෙළවර කිරීමේ ගිවිසුම්’ දෙකක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කළ යුතු බවයි. “ජනතාවගේ මුදල් මෙහිදී අදාළ වන නිසාත්, රාජ්‍ය අධිකාරියක මූල්‍ය අක්‍රමිකතාවන් අරභයා අභියාචනයක් තමන් වෙත ඉදිරිපත්ව ඇති නිසාත්, මේ කොමිසම විශේෂයෙන් මහජන අවශ්‍යතාව පිළිබඳ කාරණය සැලකිල්ලට ගන්නා” බව එහිදී ප්‍රකාශ විය. ඒ ආකාරයෙන්ම, 118 දෙනාගේ ලැයිස්තුව පිළිබඳ කාරණයත් කොමිසමට හෙලිදරව් කළ හැකිය. එහිදී අදාළ ‘විශේෂ රාජ්‍ය අධිකාරිය’ වන්නේ, පාර්ලිමේන්තුවයි. දැන් තොරතුරු දැන ගැනීමේ පනත සරුවට ක්‍රියාත්මක වන නිසා, දේශපාලඥයන්ටත් තමන්ගේ ගනුදෙනු ගැන තොරතුරු ප්‍රසිද්ධියට පත්කරමින් මේ කොමිසමට සහාය දැක්විය හැකිය. දූෂිතයන් පිළිබඳ ලැයිස්තුවක් තමන් සන්තකයේ ඇතැයි කියන හිටපු ජනාධිපතිවරයාටත් එය අදාළ ය.

සමහර විට, මේ අවස්ථාවේ රට මුහුණදෙමින් සිටින, ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතලම තර්ජනය වන්නේ, මෙවැනි ආර්ථික අපරාධ විය හැකිය. රාජ්‍ය අධිකාරියේ මූල්‍ය වගවීම සහ පාරදෘෂ්‍ය භාවයට එය කෙලින්ම අදාළයි. එසේම, මහජන ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන ව්‍යවස්ථා සම්පාදනය කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන පුද්ගලයන්ටත් එය සම්බන්ධයි. මේ ප්‍රතිපත්ති සම්පාදකයන්ව ඉහත කී සමාගම් මගින් හසුරුවනු ලැබිය හැකි නම්, රටේ විදේශ ප්‍රතිපත්තිය, ජාතික ආරක්ෂාව සහ ජනතා ස්වෛරීත්වයත් තර්ජනයට ලක්විය හැකිය.

දකුණු කොරියාව සහ සිංගප්පූරුව වැනි රටවල, මූල්‍ය අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන් නොවැරදීම හිරේ යති. පුද්ගලයාගේ දේශපාලනික තරාතිරම එහිදී වැදගත් වන්නේ නැත. අපේ රටත් නිවැරදි මාවතක ගෙන යාමට නම් මෙවැනි රටවල්වලින් අප ආදර්ශ ගත යුත්තේය. දූෂණයට එරෙහි දැඩි පියවර ගත යුත්තේය. 1996 දී සිංගප්පූරු නායක ලී ක්වාන් යූ, දේපළ මිලදී ගැනීමකදී අනිසි කොමිස් ලැබූ බවට කටකතාවක් තිබුණි. සිංගප්පූරුවේ හිටපු අගමැති ගෝ චොක් ටොන් මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කිරීමට උපදෙස් දුනි. එහිදී ලී ක්වාන් යූ පිළිබඳ කිසි සාක්ෂියක් සනාථ නොවිණි. එපමණක් නොව, මේ මාතෘකාව පාර්ලිමේන්තුවටත් ගෙනැවිත් ඒ ගැන දවස් තුනක් තිස්සේ පුළුල් විවාදයක් ද පැවැත්වුණි. ඒ සම්බන්ධයෙන් ලී ක්වාන් යූ කීවේ මෙවැන්නකි: “මමත්, මගේ පුතාත් සම්බන්ධයෙන් දේපළ දෙකක් මිල දී ගැනීමේදි සිදු වූවා යැයි කියන අක්‍රමිකතාව, මහජන පරීක්ෂාවෙන් ඉවත් කිරීම වෙනුවට මහජන පරීක්ෂාවට ලක් කිරීම ගැන මං සතුටු වෙනවා. ආඩම්බර වෙනවා. සිංගප්පූරුව තියෙන්න ඕනේ, නීතියට උඩින් කිසි කෙනෙකුට ඉන්න බැරි රටක් විදිහටයි. ඇමතිවරයෙක් මොන තරම් ජ්‍යෙෂ්ඨයෙක් වුණත්, අක්‍රමිකතාවක් පිළිබඳ චෝදනාවක් තියෙනවා නං ඒක විභාග කරන්න ඕනේ.”

ලන්ඩන් නුවර පැවති දූෂණ-විරෝධී ප්‍රාරම්භක සමුළුව වෙනුවෙන් සම්පාදිත රචනා එකතුවක් තුළ සිංගප්පූරුවේ අත්දැකීම් ඉදිරිපත් කරන අගමැති සියෙං ලූන්, ඒ අංශයේ ස්වකීය සාර්ථකත්වයට මුල් වූ ප්‍රධාන සාධක හතරක් හඳුනා ගනී. එහි මුල් සාධකය වන්නේ, බි්‍රතාන්‍යයන් විසින් රටට දායාද කරන ලද රාජ්‍ය සේවයේ ශක්තිමත් නිලධර තන්ත්‍රයයි. ඒ හා බැඳුණු පරිපාලන තන්ත්‍රයක් සහ ආයතන පද්ධතියක් ඒ රටට හිමිව තිබුණි. එහිදී ඉංග්‍රීසි නීතිය, කාර්යක්ෂම සිවිල් සේවය සහ අවංක අධිකරණයක් පැවතීම තීරණාත්මක විය.

දෙවැනුව, සුදු කලිසම් සහ සුදු කමිස හැඳ ගත් මහත්වරු රාජ්‍යය පිරිසුදුවට තබා ගැනීමට දැක්වූ අධිෂ්ඨානය වැදගත් විය. ලී ක්වාන් යූ අගමැතිවරයාගේ අවංක සහ දැඩි නායකත්වය යටතේ, රාජ්‍යය දූෂණයට යට කර ගත නොහැකි අංශයක් බවට පත්විය.

තෙවැනුව, ඉතා පෘථුල දූෂණ-විරෝධී ක්‍රියාවලියක් තුළ නීතිය, නීති ක්‍රියාවේ යෙදැවීම, රාජ්‍ය සේවය සහ ජනතා සහභාගීත්වය තීරණාත්මක විය. එරටේ පනවා ගත් ‘දූෂණ වැළැක්වීමේ පනත’ යටතේ, යමෙකු තමන්ගේ ධනය උපයා ගත්තේ කෙසේද යන්න ඔප්පු කිරීමේ වගකීම අදාළ පුද්ගලයාට පැවරී තිබුණි. ඔහුගේ හෝ ඇගේ නිසි ආදායම් මාර්ගවලින් පෙන්නුම් කළ නොහැකි ඕනෑම ධනයක් හෝ දේපළක්, දූෂිත ධනයක් වශයෙන් සැලකුණු අතර ඒවා රාජසන්තක කිරීමේ බලය නීතියෙන් ලැබී තිබුණි. එම නීතිය යටතේ, අදාළ පුද්ගලයාගේ ක්‍රියාව සිංගප්පූරුවෙන් පිටතදී සිදු වූවක් වුවත්, එයින් සිංගප්පූරුවට බලපෑමක් වී නැතත්, එය දූෂිත ධනයක් වශයෙන් ගණන් ගැනුණි. “අපේ දූෂණ-විරෝධී මෙහෙයුමත්, දූෂිත ක්‍රියා විමර්ශන කාර්යාංශයත් ස්වාධීන ය. එසේම, අවශ්‍ය සම්පත්වලින් සංයුක්ත ය. ඕනෑම පුද්ගලයෙකු පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමටත්, මහජන අවබෝධය ඇති කිරීමට සහ සමාජ ප්‍රමිතීන් ස්ථාපිත කිරීමටත් ඊට බලය ඇත්තේය. අපි රාජ්‍ය සේවකයන්ට සෑහෙන වැටුපක් ගෙවමු. එය පෞද්ගලික අංශයට නොදෙවැනි වෙයි. එනිසා අප ඔවුන්ගෙන් බලාපොරොත්තු වන සේවාව ඉහළින්මත්, අවංකවත් ඉටු කිරීම අපේක්ෂා කෙරේ.” යනුවෙන් එහි සඳහන් වෙයි.

සිව්වැනුව, දූෂණය පිටුදකින සහ පාරිශුද්ධ භාවය ඉල්ලා සිටින සමාජයක්, කාලයක් තිස්සේ සිංගප්පූරුව තුළ නිර්මාණය කෙරුණි. ‘ජරාව දීමෙන් දේවල් කර ගැනීමේ’ සංස්කෘතිය ඉවත් කෙරුණි. යම් වැරදි ක්‍රියාවක් දුටුවොත් ජනතාවම ඒ ගැන ක්‍රියාත්මක වන සහ වාර්තා කරන තත්වයක් එහි නිර්මාණය විය. නීතිය කාටත් එක සමානව ක්‍රියාත්මක වන බවටත්, මොන තත්වයක් යටතේවත් රජය වෙනස් පුද්ගලයන්ට වෙනස් ආකාරයකින් නොසලකන බවටත් දැඩි විශ්වාසයක් සමාජගත විය. එසේම, සිංගප්පූරුව තුළ නීතිරීති සාධාරණ බවටත්, විනිවිද පෙනෙන සුළු බවටත් වන විශ්වාසයක් ව්‍යාපාර ප්‍රජාව අතරේත් ඇති විය.

ඒ අංශ හතර අරභයා ශ්‍රී ලංකාව උගත යුතු බොහොමයක් දේ තිබේ. ඊළඟ ජනාධිපතිවරණයට තව ඇත්තේ මාස පහළොවක පමණ කාලයකි. එම කාලය තුළ, දූෂණය පිටුදැකීම සඳහා පත්කර ගත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් වැදගත් යමක් සිදු වේදැ යි අපට බලාපොරොත්තු තැබිය හැකි ද?

(2018 ජුලි 30 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ, Economic Crime & The P118 of Sri Lanka නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

Back to Top