Sri Lanka Brief
පුවත්සුන්දර ඇලි හතට හෙණ හතක් – ධනුෂ්ක සිල්වා

සුන්දර ඇලි හතට හෙණ හතක් – ධනුෂ්ක සිල්වා

by

 

ජයාරූපය:දෙවන දිය ඇල්ල( sandunonblog.blogspot)

ඇලි හත ලංකාවේ දක්නට ලැබෙන සොබා සෞන්දර්යෙන් හා පාරිසරික වැදගත්කමින් අනූන දිය ඇල්ලකි. වඩාත් නිවැරදිව කියන්නේ නම් දිය ඇල්ලක් නොව දැරණියගල ඉහළ මාලිබොඩ ග්‍රාම නිලධාරී වසමට මායිම්ව පිහිටි සුන්දර දිය ඇලි මාලාවකි. එක දිගට හා එකට බැඳුණු දිය ඇලි හතක් ලෙස සමනළ අඩවියෙන් ගලා එන නාය ගඟ ස්වාභාවිකවම ඇලි හතක් එක ළඟ නිර්මාණය කරමින් පහලට ඇද වැටෙනවා.

අයස්කාන්ත දිය ඇලි රැසකින් සමූපෙත ශ්‍රී ලංකාවට අයත් දිය ඇලි මාලා ප්‍රමාණය ඉතා සීමිතයි. එම සීමිතකම (දුර්භකම) නිසාවෙන් ඇලි හතට ලැබෙන ජෛව හා පාරිසරික වටිනාකම මනෝමය වශයෙන් පවා තක්සේරු කිරීමට අපහසුයි. ඊට අමතරව ඇලි හත පිහිටා ඇති භුමි ප්‍රදේශයේ අධික ජෛව විවිධත්වය හා ජල පෝෂක ප්‍රදේශයක් ලෙස තිබෙන්නේ සුවිශේෂී වටිනාකමකි. මෙහි අමිල වටිනාකම සැලකිල්ලට ගෙන 2007 සැප්තැම්බර් 21 වැනි දින අංක 1515/21 දරණ ගැසට් නිවේදනය මඟින් කලින් අභය භූමියක් ලෙස නම් කර තිබූ සුන්දර ඇලි හත පිහිටි භුමි ප්‍රදේශය අභය භූමියක තත්වයෙන් මදක් ඉදිරියට යමින් “සමනළ අඩවිය ස්වභාව රක්ෂිතය” ලෙස නම් කරනවා. මෙම ප්‍රදේශය ද ඇතුළත් සමනළ අඩවිය ස්වභාව රක්ෂිතය (ප්‍රදේශයේ පාරිසරික සංවේදිතා ගුණය සැළකිල්ලට ගෙන) ලංකාවේ දෙවැනි ස්වභාවික ලෝක උරුමය ලෙස යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශයට පත් කරන්නේ 2010 වසරේදීය.

කෙසේ වෙතත් මෙම දිය ඇලි මාලාවේ පස්වැන්න හා හයවැන්න ආශ්‍රිතව මෙගා වොට් තුනක ධාරිතාවයකින් යුත් කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාරයකට ජලය ලබාගැනීමට ස්වාභාවික පිහිටීම වෙනස්කර නීති විරෝධීව බැම්මක් ඉදිකර තිබේ. මෙවැනි සුවිශේෂ ජෛව කලාපයක් අනතුරේ දමමින් කුඩා ජල විදුලි බලාගාරයක් ඉදි කිරීම ජාතික පරිසර පනත හා වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ නීති ප්‍රතිපාදනවලට සපුරා පටහැනි වන අතර සම්මත නීතියෙන් බැහැරව යාම නිසා සිදුවූ පාරිසරික හානියේ ප්‍රමාණය ගණනය කල නොහැකි තරමේ එකක්. මෙම ඉදි කිරීම හේතුවෙන් පහළ කොටසේ පිහිටි ඇලි හතේ හයවෙනි දිය අල්ලේ සිට පහළ හත්වැන්න දක්වා ජලය ගලා සීමාවීම නිසා මෙතෙක් කලක් සුන්දරව අද හැලුණු ඇලි හතේ සිරියට හෙන හතක් වැදී තිබේ.

වන සත්ව හා වෘකෂලතා ආඥාපනතේ 3 හා 6 වගන්ති ප්‍රකාරව ස්වභාව රක්ෂිතයකට ඇතුළු වීම, වෘක්ෂලතාවලට හානි කිරීම, ශාක ඉවත් කිරීම, කැළෑ එලි පෙහෙළි කිරීම, ස්ථිර හෝ තාවකාලික පදනමින් ගොඩනැගිලි ඉදි කිරීම, මා¾ තැනීම හෝ භාවිත කිරීම නීති විරොධී වේ. එහෙත් මේ ලියන මොහොත වන විටත් ඉහත ආඥාපනතේ වගන්ති අමු අමුවේ උල්ලංඝනය කරමින් බලාගාරයේ කටයුතු හොර රහසේ සිදුකර තිබෙන අතර ඇලි හත ස්වභාව රක්ෂිතයේ හෙක්ටයාරයක වන ප්‍රදේශයක් සම්පුර්ණයෙන්ම එළිපෙහෙළි කර අවසන් ය. ඊට අමතරව නය ගඟ හරහා වේල්ල ඉදි කිරීම, නල මා¾ එළිම හා බලාගාරය ඉදි කිරීමේ කටයුතු සිදුකර තිබෙන අතර ඒ සඳහා වනාන්තරය එළිපෙහෙළි කර මා¾ ඉදි කිරීම, දළ බෑවුම් සහිත ප්‍රදේශයේ පස් හාරා භුමියේ ස්වභාවික පිහිටීම කෘතීම ලෙස වෙනස් කර තිබේ.

වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ 68 (1) වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත සුරැකීමේ ආයතනික වගකීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙනවා. එමනිසා ස්වභාව රක්ෂිත හා ජාතික උද්‍යාන ආරක්ෂා කිරීමේ වගකීමෙන් මෙම දෙපාර්තමේන්තුව බැඳෙනවා. එහෙත් පාරිසරික සංවේදීතාවයෙන් ඉහළ ස්වභාව රක්ෂිතයක් වනසමින් හා මෙරට බලපැවැත්වෙන පරිසර නීති අනපනත් උල්ලංඝනය කරමින් සිදුකළ මේ මහා විනාශය වැළැක්වීමට කිසිදු සාධනීය පියවරක් ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී නැහැ.

වා¾තාවන තොරතුරුවලට අනුව ප්‍රශ්නගත විදුලිබල ව්‍යාපෘතිය පළමුව ආරම්භ කර තිබෙන්නේ IWS Power Gride පෞද්ගලික සමාගම විසින් 2000 වසරේදී ය. කෙසේ නමුත් ඉන් ටික කලකට පසු ඔවුන් ව්‍යාපෘතිය අත්හැර දමා තිබේ. 2010 වසරේ එම ව්‍යාපෘතියම වෙනත් මුහුණුවරකින් ඇරඹෙන්නේ Pan Hydro පෞද්ගලික සමාගම විසින් ඇලි හත ස්වභාව රක්ෂිතයක් හෝ ලෝක උරුම භුමි භාගයක් ලෙස ඊටම ආවේනික පාරිසරික වටිනාකම නොසළකා හරිමින් ප්‍රශ්නගත ආකාරයට ඉදිකිරීම් කටයුතු කිරීම නිසාය. ඇලි හත සමනළ අඩවිය ස්වභාව රක්ෂිතය ලෙස නම් කිරීමට පෙර 2000 වසරේ දී IWS Power Gride පෞද්ගලික සමාගමේ ව්‍යාපෘතියට මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබාගෙන තිබෙන්නේ වසර 2ක් අතුළත ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හෝ ඒසේ නොමැති නම් නැවත අවසර ලබා ගැනීමේ කොන්දේසි සහිත අනුමැතියකි. එසේ අනුමැතිය ලැබෙන්නේද මෙගා වොට් 1ක කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමටය. එහෙත් Pan Hydro සමාගම තම ව්‍යාපෘතිය සහා 2000 වසරේ දී IWS Power Gride පෞද්ගලික සමාගමේ ව්‍යාපෘතියට ලබාගත් අනුමැතිය මතම පදනම් වෙමින් මෙගා වොට් තුනක විදුලි බලාගාරයක් ඉදිකරයි. මුලින් අනුමැතිය ලැබෙන්නේ හත්වන ඇල්ල පහළ කොටසේ ව්‍යාපෘතියට ජලය ගෙන යන බැම්ම ඉදිකිරීමට වුවත් නව ව්‍යාපෘතියේ බැම්ම ඉදිකරන්නේ පස්වන දිය ඇල්ල හරස් කරමින්. ඒනම් පෙර ව්‍යාපෘතියට වඩා ඉහලිනි. නමුත් සම්පූර්ණයෙන්ම රක්ෂිතය තූළ කරන ලද මෙම Pan Hydro සමාගමේ ව්‍යාපෘතියට අවසර ලබා ගත යුත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනි. එහෙත් එවැනි අවසරය ක්ද ලබාගෙන නොමැති අතර නව මේ ඉදිකිරීම සිදුවී තිබෙන්නෙ ඇලි හත ද අයත් ප්‍රදේශය ස්වභාව රක්ෂිතයයි ලෙස නම් කිරීමෙන් ද පසුවය.

මින් පැහැදිළිවන්නේ 2000 වසරේ කොන්දේසි සහිතව ලබාගත් අනුමැතිය වංක චේතනාවෙන් යුතුව ස්වභාව රක්ෂිත භූමියක ප්‍රශ්නගත ව්‍යාපෘතිය කි%යාත්මක කිරීමට සූක්ෂ්මව යොදාගෙන ඇති බවයි. මෙහිදී වඩාත් විමතිය දනවන කරුණවන්නේ පාරිසරික ශක්‍යතා අධ්‍යනයක් හෝ නොකර Pan Hydro සමාගමට ව්‍යාපෘතිය අලුතෙන් ආරම්භ කිරීමට මධ්‍යම් පරිසර අධිකාරිය හා මෙම ප්‍රදේශයට අදාළ ආයතනික වගකීමෙන් බැදෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉඩහැර තිබීමයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2007 වසරේ ඇලි හත ස්වභාව රක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කිරීමෙන් පසුව ප්‍රදේශයේ පරිපාලනය පිලිබඳ නෛතික වගකීමෙන් බැඳෙනවා. කෙසේ වෙතත් වනජීවී දෙපාර්තමේන්තුව තනිකරම නීති විරෝධී පදනමක් යටතේ මුල සිටම ක්‍රියාත්මක වූ අනීතික ජල විදුලි ව්‍යාපෘතියට එරෙහිව කිසිදු නෛතික හෝ ආයතනික ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වේ. වසර 07 ක් පුරා වනජීවී දෙපාර්තමේන්තුවට මගහැරුණු වගකීම මතක් කර දීමට සිමා සහිත පාරිසරික පදනමට වනජිවි දෙපාතෙමේන්තුවේ වගකිවයුතු නිළධාරීන්ට එරෙහිව නඩු මඟට බැසීමට සිදුවේ. රීට් අයදුම්පත් අංක CA Writ 478/15 යටතේ අභියාචනාධිකරණයේ විභාග වන ඒම නඩුව සදහා පාරිසරික පදනම වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පෙනීසිටින අතර වගඋත්තරකරැවන් වෙත නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය විසින් නියෝග කර ඇත. ඒ් අනුව අද වන විට පාරිසරික පදනමේ ප්‍රවේශය නිසා මේ මහා පරිසර විනාශයට කෙටි කොමාවක් තැබීමට හැකිව තිබීම පැසසුම් කටයුතු ය.

කලින් ද සඳහන් කළ ආකාරයට, ඇලි හත හා ඒ ආශ්‍රිත වනාන්තර ප්‍රදේශය ඉතා දුර්ලභ ජීව විශේෂ ගණනාවක් වාර්තා වන ප්‍රදේශයකි. සමනළ අඩවිය සුවිශේෂ ජෛව කලාපයේ අලුතින් හඳුන්වාදීමට ඇති උරගයින්, උභයජිවින් හා දුර්භ ශාක ගණනාවකට නිවස්න සපයන බව පරිසරවේදීන්ගේ අදහසයි. විදුලි බලාගාරය ජලය ලබාගැනීමට පස්වැනි හා හයවැනි දිය ඇලි අතර හරස් කිරීම නිසා එහි අසිරිය පමණක් නොව ජලජ ජීවින්ට හා ජලජ ශාකවලට සිදුවී තිබෙන හානියේ ප්‍රමාණය ගණනය කළ නොහැකියි. එවැනි ප්‍රදේශයක් මේ ආකාරයට විනාශයට ඉඩ හැරීම යනු මහා විනාශයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙණ හත වැදීමකි.

මෙවැනි වන විනාශයක් වළක්වාගැනීමට ගත හැකි ක්‍රියාමාර් කොතෙකුත් තිබියදී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් නිද්‍රශිලිව සිටීම මෙහි ඇති ඉතා හානිකරම පැතිකඩයි .

Back to Top