Sri Lanka Brief
පුවත්විවරණසිංහල බෞද්ධ වටපිටාවක ‘හමුදාව’ සහ හිට්ලර් – සරත් ද අල්විස්

සිංහල බෞද්ධ වටපිටාවක ‘හමුදාව’ සහ හිට්ලර් – සරත් ද අල්විස්

by

ජායාරූපය: හිට්ලර්ගේ වධ කඳවුරක ‌ෙගොඩ ගැසුණූ මිනී කදූ!

සිය අනුශාසනාව තුළ ‘හිට්ලර්’ සහ ‘හමුදාව’ යන වචන පාවිච්චි කිරීම පිළිබඳ කාරණයට දේශපාලනය ඈඳාගෙන ඊට වැරදි අර්ථකථන නොදෙන්නැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියෝ කියති. තමන් එම කතාව කී සැබෑ සන්දර්භය තුළ තබා එය තේරුම් ගන්නැයි උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටිති. එබැවින් මා මේ උත්සාහ කරන්නේ, ඔහු පාවිච්චි කළ ‘හිට්ලර්’ සහ ‘හමුදාව’ යන වචන, ඊට නියමිත සිංහල බෞද්ධ පසුබිම තුළ තබා විග්‍රහ කිරීමටයි.

අනුනායක හිමියන්ගේ අනුශාසනාවේ සෘජු ග්‍රාහකයා, බැතිමතා සහ උපාසකයා මෙහිදී කරළියට එයි. හිට්ලර්ව උපදේශයට ගනිමින් ඔහුට සැපයුණු අනුශාසනාව මෙතරම් ආන්දෝලනයට තුඩුදී ඇත්තේ මන්ද යන්න ඔහුට නොවැටහෙයි. ඔහු කියන පරිදි, බුදුන් වහන්සේ සංඝයා වහන්සේට ඔවා දී ඇත්තේ, ඥානවන්තයන්ට පමණක් තමන්ගේ ධර්මය දේශනා කරන ලෙස ය. පාඨකය, මේ තමයි ගෝඨාභය රාජපක්ෂ දොඩවන ‘බණ ටෝකිං’ හෙවත්, වඩාත් විදග්ධ භාෂාවෙන් කිවහොත්, බුදු දහම අර්චන කාමයක් කිරීමේ කුප්‍රකට සූත්‍රය. වෙන්ඩ-ජනාධිපතිවරයා මෙහිදී පොට පටලවාගෙන ඇත. මහා සංඝ රත්නය හඳුනා ගැනෙන්නේ, පොදු සබුද්ධිකත්වයේ හඬ වශයෙනි. මිනිසාගේ සුභ සිද්ධිය සැලසීම ඔවුන්ගේ පැවැත්මේ හේතුවාචකයයි.

හිට්ලර් නියෝජනය කරන්නේ, පෙර නොවූ විරූ නපුරක සාරයයි. මිනිස් වර්ගයා එතෙක් දැන සිටි, දේශපාලනික සහ ආධ්‍යාත්මික සාරධර්මවල චිරාගත පදාර්ථ සියල්ල අතුගා දැමෙන, ප්‍රජාපීඩක යාන්ත්‍රණයක් සඳහා වන අඩුවැඩිය හිට්ලර් නොමදව ගොඩනැගුවේය. ඒ තත්වය තුළ, හිට්ලර් වගේ වෙන්නැයි කෙනෙකුගෙන් ඉල්ලා සිටින විට දේවදත්ත වුව උඩ ගොස් බිම වැටෙනු නියති. කොටින්ම, බෞද්ධ භික්ෂුවක් හිට්ලර්ව ආදර්ශයට ගෙනහැර දැක්වීම, පෙර නොවූ විරූ, විරූපික පූර්වාදර්ශයක් වනු ඇත.

මුලින්ම, බෞද්ධ පවුලක ඉපදීම හේතුවෙන් මා බෞද්ධයෙකු වන බව කිව යුතුය. සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය හැර ගිය ඒ ‘අතහැරීම’ පිළිබඳ ශීලය, මට වඩා හොඳින් සංඝයා වහන්සේලාගෙන් අපේක්ෂා කිරීමට තරම් මම අසම්පූර්ණ බෞද්ධයෙක්මි. එසේම, ‘හිට්ලර්’ සහ ‘හමුදා පාලනයක්’ ගැන භික්ෂුවක් කළ ප්‍රකාශය, දානයකින් පසුව, චාටුව සහ වර්ණනාත්මක අනුශාසනාවක අහම්බ කාරණයක් වශයෙන් පසෙක ලෑමට තරම් මම දුර නොදකින කෙනෙකු ද නොවෙමි.

මේ දේශනාව කරන උත්තමයා, දේපළ හිමි, ඉසුරුමත් පන්සල් ජාලයක් හසුරුවන, ඓතිහාසික ශ්‍රමණ පාර්ශ්වයක අනුනායක හිමිනමකි. ප්‍රභූ පංතික සියම් නිකායේ ප්‍රතිරූපීය නියෝජිතයෙකි. සමාජ-දේශපාලනික සන්ධානයක් සහ පරිපාටියක් එම පාර්ශ්වයෙන් නියෝජනය කෙරේ. එම සන්ධානය විශ්වාස කරන්නේ, සමාජ අඛණ්ඩත්වය, ස්ථාවරත්වය සහ ප්‍රගතිය සහතික කරලීමේ ශක්‍යතාව ඇත්තේ ගෝඨාභය ජනාධිපතිවරයෙකුට බවයි.

අනුශාසනයේ සහ ආදර්ශයේ සමරූපතාව, හිත් සසල කරවන තරමට භයානක ය. වර්තමාන සමාජයේ පවතින ව්‍යාකූලත්වය සහ වැනෙනසුළු යහපාලන තන්ත්‍රය පිළිබඳ කලකිරීමට පත්ව සිටින බවක් පෙනෙන අනුනායක හිමියන්ගේ ප්‍රකාශය පරිස්සමින් සන්දර්භගත කළ යුතුව තිබේ. සිංහල බෞද්ධ හිට්ලර් කෙනෙකු ඉල්ලා මේ නගන අඳෝනාවේ රිද්මය අප වටහා ගත යුතුව තිබේ.

සෑම ක්‍රියාවක්ම දේශපාලනික ය. සෑම සමාජ සම්බන්ධතාවක්ම, බලය සමග ගැටගැසී තිබේ. එය අමතක කළොත් එය අපේම දුර්දසාවට හේතු වනු නියති. පාර වරද්දා ගැනීමට හේතුවක් වනු නියති. ‘හිට්ලර්’ සහ ‘හමුදාව’ වැනි යෙදුම් ඒවායේ සැබෑ අරුතින් වටහා ගැනීම, ඇදේට යන අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරිව ඇති දෙයක් හෝ වෙතොත් ආරක්ෂා කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වන්නේය. එසේම, මේ හිමියන් නියෝජනය කරන අර්ධ-වැඩවසම් බලාධිකාරයේ අපේක්ෂා සහ පරමාදර්ශ හඳුනා ගැනීමටත් එය උපකාරී වන්නේය.

මොහු නියෝජනය කරන්නේ, ‘ගතානුගත සම්ප්‍රදායයි’. ඊටම ආවේණික ගතිකත්වයන් ඊට තිබේ. ඇදහීමේ සහ සම්ප්‍රදායයේ ආරක්ෂකයන් වශයෙන් සිටින සංඝ සමාජයට, තමන්ගේම වන යථාභූතාවක් සේම සදාචාර ආකර්ශනයක් ද ඇත්තේය. තමන්ගේ සංස්කෘතිය සහ චර්යාව අර්ථ ගන්වා ගැනීමේ සහ හැඩගස්වා ගැනීමේ පරමාධිකාරයත් ඔවුන් සතුව තිබේ. වර්තමානයේ පවතින තරගකාරී දේශපාලනය තුළ, ‘පූජණීය’ සහ (ජනාධිපතිවරයා බොහෝ කොට පාවිච්චි කරන) ‘වන්දනීය’ වැනි ගෞරව විශේෂණ පද තුළ, ආධ්‍යාත්මික මෙන්ම ලෞකික දේවල් පිළිබඳ ඔවුන් සතුව ඇතැයි සිතන ඥානයක් පිළිබඳ පිළිගැනීමකුත් තිබේ. කොටින්ම, ඔවුන්ගේ විෂය පථය, පාරභෞතිකවාදය සහ දර්ශනවාදයේ සිට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සහ නාගරික සැලසුම්කරණය වැනි විෂය ක්ෂේත්‍රයන් දක්වා ද දිවේ.

අද සෑම සමාජයක්ම පසුවන්නේ, සම්ප්‍රදායික ක්‍රමවේද වෙනුවට නූතනත්වය උකහා ගැනීමේ අරගලකාරී ගැටුමක ය. එහෙත් දේශපාලනික පැලැන්තියට, තමන්ගේ වාසිය සඳහා ගතානුගතිකත්වය සහ නූතනත්වය යන දෙකම අවශ්‍ය කෙරේ. ඒ අනුව, සිරිසේන-වික්‍රමසිංහ යුවළ, රාජපක්ෂ ගෝත්‍රයටත් වඩා සිංහල බෞද්ධ වීමේ පරාජිත අරගලයක අද නිරතව සිටී.

මීට කලකට ඉහතදී, වත්මන් අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් ලේකම්වරයා, තමන් තෝරා ගත් පන්සල් 150 කට, මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රුපියල් මිලියන 46 ක් බෙදා දුන්හ. ඒ වනාහී, පාලක පක්ෂයේ ශ්‍රද්ධාව ප්‍රදර්ශනය කිරීම සඳහා යොදා ගත් ප්‍රවේණි දේශපාලනයක් මිස වෙනකක් නොවේ.

පොදුවේ මහා සංඝ රත්නයත්, විශේෂයෙන් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයත්, නූතනත්වය ව්‍යාජ දෙවියෙකු සේ හැඳින්වීමට කැමති ය. විටෙක, නූතනත්වයෙන් ගතානුගතිකත්වයටත්, තවත් විටෙක, ගතානුගතිකත්වයෙන් නූතනත්වයටත් මාරු වීමේ මහඟු හැකියාවක් ඔවුන්ට තිබේ. මිථ්‍යාවට සහ පුරාණෝක්තියට ඔවුන් ගැට ගැසී සිටින අතරේම ඔවුන්ගේ බැතිමත්හු භක්තියේ රක්ෂාගාරයකැයි සිතන දේශයක අතරමංව සිටිති. සම්ප්‍රදාය සහ නූතනත්වය වෙන් කරන අගාධයේ තරම මැන ගත නොහැකි අපි, සමකාලීන ලෝකය සිතියම්ගත කර ගැනීමට වෙහෙසෙ වෙමින් සිටිමු.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙකි. මස්මාළු නොකන්නෙකි. විනෝදාංශයට ඔහු කෙළේ මිනිමෝරුන් ඇති කිරීම ය. එම පුද්ගලයා අපේ ඊළඟ විධායක ජනාධිපති වීමටත් බැරි නැත. අනුනායක භික්ෂුවක් විසින් ‘බෞද්ධ හිට්ලර්’ කෙනෙකු ඉල්ලා සිටි සතියේම, අධිකරණයේ යකා නැටූ වෙනත් චීවරධාරී මැරයෙකු හිරේට යාමත් අහම්බයක් නොවේ. ඇහැට පේන මානයට එහා දේවල් මේ සිදුවීම් තුළ සැඟව තිබේ.

මේ කතාව පටන් ගත්තේ 2009 මැයි 19 වැනි දා ය. දේශය එක්සේසත් කළ මහින්ද රාජපක්ෂ සිරිමතානෝ, පශ්චාත්-යුදකාලීන දේශප්‍රේමී සහ විජයග්‍රාහී රාජ්‍යය ගොඩනැගීම ඇරැඹුවේය. තවදුරටත් එම දේශයේ සුළු ජාතීන් කියා පිරිසක් ඉතිරි නොවුණි. සිටියේ දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් නැමැති සත්ව කොට්ඨාශ දෙකක් පමණි. එය කෙලින්ම නොකීවත්, සමාජගත කෙරුණේ එයයි. සකලවිධ පජාතික අපතයන් කෙරෙහි අභ්‍යාස කෙරෙන බල පරාක්‍රමය, සිංහල බෞද්ධ රාජ්‍යයට අවසානයේ හිමි විය. එම රාජ්‍ය තුළ පිටස්තරයන්ට, විකාරිකයන්ට සහ අපතයන්ට කිසි ඉඩක් නොවීය. රට එක්සේසත් කිරීම වෙනුවෙන්, මල්වතු-අස්ගිරි උභය පාර්ශ්වයෙන්, ‘විශ්වකීර්ති ශ්‍රී ත්‍රීසිංහලාධීශ්වර’ ගරු නාමයෙන් මහින්ද රාජපක්ෂට බුහුමන් කෙරුණි. මේ පාර්ශ්ව දෙකේ ශ්‍රමණ අධිකාරිය තුළ, මහින්ද රාජපක්ෂ ත්‍රී සිංහලය හෙවත් රුහුණු, පිහිටි, මායා සකල දේශයේ අසහාය අධිපතියා විය.

යටත්වැසියන් සහ රජු අතර භික්ෂුව අතරමැදියෙකු වූ යුගයක් තිබුණි. අධිපති පාලකයන් කෙරෙහි විමෝහනය වීමේ සුවච නැමියාවක් ඉතිහාසය පුරා අපේ සංඝ සාසනය ප්‍රදර්ශනය කොට තිබේ. අධ්‍යාත්මික සහ සදාචාර සාරධර්ම කෙරෙහි ඔවුන්ගේ කැප වීම හැම විටකම, ඔවුන්ගේ ආයතනික සහ පුද්ගලික අවශ්‍යතාවලට යටත් විය. මහින්ද රාජපක්ෂගෙන් සංඝයා වහන්සේලාට එදා ලැබුණේ, හුදෙක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සපයා තිබූ ප්‍රමුඛත්වය පමණක් නොවේ. ස්වෛරී ලබ්ධියක බලධාරින් බවටත් ඔහු ඔවුන්ව පත්කෙළේය. ඊට අදාළ සියලු වරදාන සහ වරප්‍රසාද ඔහුගෙන් ඔවුන්ට ලැබුණි. ඒ ආකාරයෙන්, සංඝයා වහන්සේලාගෙන් සමන්විත ප්‍රභූ සංඝ කුලකයක් ඔහු තමාගේ සහායට ගොඩනගා ගත්තේය. ඔහුගේ පාලනයක් යළි ස්ථාපිත කර ගැනීම සඳහා අද කඹුරන්නේ එකී කුලකයයි.

‘හිට්ලර්’ සහ ‘හමුදා පාලනය’ පිළිබඳ ඉහත කී හිමියන්ගේ අනුශාසනාව, ආගමිකත්වය සහ අගතිය අතර සහසම්බන්ධතාවයේ නිශ්චිත සන්දර්භය තුළ දැන් අපට ස්ථානගත කළ හැකිය. පුරාතනයේ පටන් බුද්ධ ධර්මයට අනුකූලව සංඝයා විසින් රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කෙළේය යන්න ඉතිහාසය තුළ සනාථ වන්නේ වෙනත් ආකාරයකට ය. රජවරුන් 194 දෙනෙකු මේ ධර්මද්වීපය පාලනය කොට ඇත. එයින් 175 ක් සිංහල රජවරුන් ය. 19 දෙනෙක් දෙමළ රජවරුන් ය. මේ අතරින් රජවරුන් 60 දෙනෙකු රාජ්‍යත්වයට පත්ව ඇත්තේ යුවරජු ඝාතනය කිරීමෙනි. 53 දෙනෙකු රාජ්‍යත්වයට පත්ව ඇත්තේ සහෝදරයෙකු ඝාතනය කිරීමෙනි. පියා ඝාතනය කිරීමෙන් 5 දෙනෙකු රාජ්‍යත්වයට පත්ව ඇත. සැමියා ඝාතනය කිරීමෙන් අනුලා රජ වූවාය.

මේ ඓතිහාසික සත්‍යය සහ අතීතයේ භාවිතාව තුළ සිටිමින් අනුනායක හිමියන් සමග අපට එකඟ වීමට නොහැකි වීම ගැන කමා කරන්න. අනුනායක හිමියනුත්, ඔහුගේ අග්‍රශ්‍රාවක උපාසක මහතාත්, අතීතය නිහඬ කිරීමට සහ මතකය මකා දැමීමට වෙර දරති. එවැනි තත්වයක් තුළ, පැරණි සංස්කෘතික සම්මතයන් පිළිබඳ යළි සලකා බැලීමකට කාලය පැමිණ තිබේ. හිට්ලර් කෙනෙකුව හුවාදක්වන්නෝ සදාචාරමය සොකඩයෝ ය. සමාජයක් පැවතිය යුත්තේ කෙසේද සහ ජනතාවක් ජීවත් විය යුත්තේ කෙසේද යන්න පෙන්වා දීමේ හැකියාවක් ඔවුන්ට නැත. මන්ද යත්, ඔවුන් වෙනසට බිය වන බැවිනි. ඔවුන් සටන් කරන්නේ, පැරණි ක්‍රමයට අනුගතව, පීතෘප්‍රාප්ත, සේනාංක බලකොටු රාජ්‍යයක් බවට ලංකාව පත්කිරීමටයි. හිට්ලර්ව උපුටා ගැනෙන්නේ, හරියටම අන්න ඒ අර්ථයෙනි.

Back to Top