Sri Lanka Brief
පුවත්විවරණසලාගම ප්‍රජාව, ඇසළ පෝය සහ ජොරා මැරිල්ල – කීර්ති ලොකුලියන

සලාගම ප්‍රජාව, ඇසළ පෝය සහ ජොරා මැරිල්ල – කීර්ති ලොකුලියන

by

“..ඒයි බොලා අපේ ගෙදර වරෙල්ලා කිරි පෝයට ජොරා මරන්න…..”

ඒ ඉල්ලීම ඇසල පෝයට පෙර දවසක බළපිටියේ ගැටයෙක් ගෙන් තම හිතවත් සගයන්ටය…මේ ගැන හාංකාවිසියක් නොදන්නා එකෙක් අහල පහලක ඒ කතාව අසා සිටියේ නම් ඒ අයට සිතන්නේ මේ හාදයන් පෝයටත් මිණීමරන්නට සැළසුම් කරතැයි කියාය.

බලපිටියේ අද ජොරා මරණවායැයි කිව හොත් මේ උතුම් පසලොස්වක පෝය දවසක මරණ කතා මොකටදැයි ඒ ගැන නොදන්නා කාට කාටත් සිතන්ට සිදුවීම සාධාරණය. අද දින රැයේ බළපිටියේ ගොඩබිම දෙස ඉහල අහසේ සිට බලන්නකුට සෑම නිවසකම පහන් පැලක දැල්වෙන පොල් තෙල් පහනේ ආලෝකය අපූරු චමත්කාර දර්ශණයක් වන බවට නිසැකය…ගාල්ල කොළඹ මහ මාර්⁣ගයේ යන්නෙකුට ඉදුරුව පසුකළ පසු අම්බලන්ගොඩ දක්වා මග දෙපස පිහිටි නිවෙස් ඉදිරිපිට සකස් කර ඇති පහන්පැල හා දල්වා ඇති පොල්තෙල් පහන් දැක ගතහැකිය..

මේ ඇසළ පෝයයි. එය ශුද්ධ පෝය හා කිරිපෝය ලෙසද ..එසේත් නැතහොත් බළපිටිය පැත්තේ දෙල් පෝය ලෙසද හදුන්වන්නේ මේ පෝයයි. මෙම පෝය “දෙල් පෝය” ලෙස හඳුන්වන්නේ ඇසළ පෝය චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව මස් මාළු ආහාරයට ගැනීම තහංචියක් බැවින් දෙල් හොදි බත් සමග සකස් කරන නිසා යැයි පැවසේ. මෙරට මුහුදු තීරයේ බොහෝ ජනතාවගේ නිවෙස්වල අද රාත්‍රියේ ආගමික පින්කමක් ස්වරූපයෙන් පැවැත්වෙන කිරි ආහාර භෝජනයක් සකස් කෙරෙන අතර එය පවුලේ සියළු දෙනාම එක්ව අාහාරයට ගැනේ.

පරම්පරා ගණනාවක සිට පැවැත්වෙන මෙම ආගමික චාරිත්‍රය “ජොරා මරනවා”යනුවෙන්ද හැඳින්වේ.ජොරා මරනවා යනුවෙන් අරුත් ගැන්වී ඇත්තේ බඩ පුරා සිත්සේ කිරි ආහාර ගැනීම බැව් මාගේ පෞද්ගලික අදහසයි…..බඩ ජොර ජොර ගානවා යන වදන හා මෙය සම්බන්ධ වන්නට ඉඩකඩ පවතී.

ඇසල පෝය නිමිති කරගනිමින් පැවැත්වෙන මෙම ආගමික හා සංස්කෘතික චාරිත්‍රානුකූල උත්සවය සලාගම කුල වාසීන් විසින් ඔවුන් පදිංචි ප්‍රදේශයන්හි පැවැත්වෙන්නකි. කවදා කෙසේ ඇරඹුන උත්සවයක්ද යන්න පැහැදිලි නැති අතර මෙම උත්සවය මෙතෙක් මෙරට කිසිදු සමාජවිද්‍යඥයකුගේ හෝ ජනමාධ්‍යයක අවධානයට ලක් වී නැත්තේය

දඔදෙනි යුගයේ වත්හිමි හෙවත් තුන්වන විජයබාහු රජ සමයේ රජුගේ මෛෟලි මංඟල්‍යයට මුසල්මානුවකු ලවා රජතුමා විසින් මෙරටට ගෙන්වූ බ්‍රහ්මණයන් අටදෙනෙකුගෙන් පැවත එන සලාගම කුලය ප්‍රධාන වශයෙන් කොටස් හතරකි..

පණිවිඩකාර, හේවාපන්න, කුරුඳුකාර සහ ඌලියක්කාර ඒ සතර වන අතර මහා බද්ද, පේසකාර, හලාගම, හාලි යනුවෙන්ද සලාගම කුලය හැඳින්වේ.

රජු ⁣ගේ ආරාධනයෙන් දකුණු ඉන්දියාවේ සාලි ග්‍රාමයෙන් මෙරටට පැමිණි මෙම බ්‍රහ්මණයන් පසුකාලීනව රාජ උදහසට ලක්ව නිරිත දිග වෙරළට පැමිණීමට සිදුවී ඇති අතර පෘතුගීසි සමයේදී ඒ බ්‍රහ්මණ පරම්පරාවෙන් පැවත එන්නන් කුරුදු කර්මාන්තයට සම්බන්ධ වූ බවද පැවසේ. 1733 වර්ෂයේ මෙම සලාගම කුලයට සම්බන්ධ කුරුදු වෙළදාමේ නිරත වූවන් ඕලන්ද රජයට එරෙහිව කුරුදු වැඩ වර්ජනය ලංකාවේ ප්‍රථම වැඩ වර්ජනය ලෙස සැලකේ. එම වැඩ වර්ජනය සිදු කරන්නේ මල්වතු අස්ගිරි පාර්ශවයන්හි අන් කුල වල පැවිද්දන් උපසම්පදා නොකිරීම හේතුකරගෙනය. එම වැඩ වර්ජනය හේතුවෙන් ගොවිගම කුලයට සීමාවී පැවැත බෞද්ධ ශාසනික උපසම්පදා කටයුතු අනෙකුත් කුල සඳහාද ලබා ගැනීමේ අවස්ථාවක් බළපිටිය කේන්ද්‍රීය කරගනිමින් ඇරඹුනි. සැබවින්ම මෙරට ⁣බුදු දහම ජනසතු වූයේ මේ වැඩ වර්ජනයේ අවසන් ප්‍රතිඵලයක් ලෙද සදහන් කලද වරදක් නැත.

ඇසල පෝය නිමිති කර ගනිමින් පැවැත්වෙන මෙම කිරි ආහාර උත්සවය මෙරටට පැමිණි බ්‍රහ්මණ පරපුරට අනන්‍ය වූ ආගමික චාරිත්‍රයක් විය හැකිය.

කෙසේ වෙතත් මෙම ආගමික චාරිත්‍රය ඉටු කරන ජනතාව මේ සඳහා පෙර සූදානම් වන්නේ සතියකට පෙර කතරගම දෙවියන් උදෙසා පඬුරු පූජෝපහාර පවත්වමිනි.මේ කාල සීමාව තුලදී ගම් වලට පැමිණෙන කපුවන් විසින් ගම්වාසීන් ගේ පඬුරු බාරගැනේ.

සියළු රෝග නිවාරණය කොට අතුරු ආන්තාරාවකින් තොරව ඇසල පෝය දින සිය නිවසේ පැවැත්වෙන ආගමික චාරිත්‍රය ඉටු කිරීම සඳහා දේවාශීර්වාද ලබා දෙන ලෙසට අයදිමින් ගම්වාසීන් සිය පඬුරු පුද දෙයි.

අනතුරුව නිවෙස් පිරිසිදු කිරීමේ කාර්යයයි. පෝයට පෙර නිවසේ මකුළු දැල් කඩා කසල ඉවත් කර ගෙබිම සෝදා පිරිසිදු කොට එතැන් සිට මස් මාලු ආහාරයෙන් වැලකේ. ඉන් අනතුරුව කිරි ආහාරය සකස් කිරීම සඳහා නැවුම් හැළි වළං වෙළඳපොලෙන් නිවසට ගෙන ඒ.

පෝය දින සවස පැණි පිටි හා පොල් කිරි එක්කර උකුවට හදාගත් මිශ්‍රණය හැඳි ගා සාදා ගන්නා කිරියා ද, කිරිබත් ද පිස ගනී. මේ ආහාර සකස්කිරීමේදී රස බැලීමක් පවා සිදු නොකෙරේ. එය ඉතා භක්තියෙන් යුතුව පිරිසිදුව ඉටුකරන්නකි..

ඉන්පසු මිදුලේ මල් පැලක් තනා එම ආහාර එහි තබා මල් පහන් දෙවියන්ට පුද කෙරේ.

පසුව ගෙයි මැද සාලයේ පැදුරු එලා බිම වාඩිවන නිවැසියන් සියළුම දෙනාට කෙසෙල් කොල කොටසකට ගෘහයේ ප්‍රධාන කාන්තාව පිසූ කිරි ආහාර බෙදීම කරයි . එහිදී නිවසේ නොමැති සාමාජිකයන්ට පවා කෙසෙල් කොලයක් වෙන් කෙරේ. යමෙකුට එම කිරි ආහාර බෙදූ ප්‍රමාණය මදිනම් එය ප්‍රකාශ කළ හැක්කේ කරුණාවයි යනුවෙන් කීමෙනි.කරුණාවයි කීවිට ඔහුට තවත් කිරි ආහාර බෙදනු ලබයි. එසේ නොමැතිව කෙරෙන ඉල්ලීම් කට වරද්දා ගැනීමකි.

කිරි ආහාර ගැනීමෙන් පසුවද වේල් තුනක් යන තුරු පිළිහඩු ආහාර නිවසේ පිසිනු නොලබයි.

කිරි කෑලි

ප්‍රදේශයේ සෑම නිවසකම කිරිආහාර පිසූවද පසුදින ඥාතීන් අතර තම තමන්ගේ නිවසේ පිසූ කිරියා බෙදා හදාගැනීම සිදු වේ.

“..ෂහ්….නැන්දගෙ, ලොකු අම්මගෙ එසේත් නැතහොත් සුදු අක්කාගේ කිරියා මාර රසයි යනුවෙන් අනේ”, යැයි වෙනත් නිවසක අයකු තවත් නිවසක කිරියා වල රසය ගැන ලබා දෙන සහතිකය ඒ ගෘහ වාසී කාන්තාවට ඉව වහා ගිය ප්‍රීතිය උදෙසා හිමි කෙරෙන ඉතා වටිනා ඇගයීමක් වන්නේය. සමහරවිට සාමය සදහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගයට වඩා වැඩි අධ්‍යාත්මික වටිනාකමක් ඒ ඇගයීමෙහි රැඳී තිබෙන්නට ඉඩ හසර පවතී .

මේ අතර වාරයේ පෝය දා රෑ කොලු ගැටයන් ගම් පුරා ඇවිදින්නේ ගෘහයන්හි පිට ඇති මල්පැල වල තබා ඇති කිරි ආහාර සොරා අරගන්නටය. ගෘහවාසී තරුණයන් උත්සාහ කරන්නේ එ් සොරකම කෙසේ හෝ වළක්වාගැනීමටය. ⁣එහෙත් එසේ කරන්නන් හසු වුවද ගහ මරා ගැනීමක් නැත. සියල්ලන් අතර ඇත්තේ විනෝද ජනක ගණුදෙනුවකි.

රාත්‍රියේ පහන් පැලෙහි තබා දෙවියන් උදෙසා පිදූ කිරි ආහාර උදය වන විට අතුරුදන් වීම පිළිබඳව ඇතැම් වයසක උපාසකම්මලාගේ අහිංසක චිත්ත ප්‍රීතිය උතුරා යන්නේ දෙවියන් විසින් ඒ කිරි ආහාර අනුභවයට ගෙන ඇතැයි සිතා කෙරෙන සාදුකාර දීමෙනි.

මේ හෝරාව වන විට අප නිවසේ ජොරා මරා අවසන්ය.

මේ ⁣පෝයට එ්මට නොහැකි වුන ඇත්තෝ ලබන ඇසල පෝයට අප නිවෙස⁣ට පැමිණෙන ලෙසට ගෞරව බහුමානයෙන් යුතුව ආරාධානා කරමි.

මුහුණූ පොත/ කීර්ති ලොකුලියන

Back to Top