Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගයළි කියවමු: කලු ජූලියේ වැළිකඩ ඝාතන – සුනන්ද දේශප්‍රිය.

යළි කියවමු: කලු ජූලියේ වැළිකඩ ඝාතන – සුනන්ද දේශප්‍රිය.

by

කලු ජූලිය සිදුවී දැන් පන්තිස් වසරකි. එනමුත් ඒ සා කුරිරු මිනිස් ඝාතන සමූදායකට වගකිය යුතු එකද අපරාධකරුවකු හෝ දඬුවමක් ලබා නැත. දණ්ඩ මුක්තිය යනු ශ්‍රී ලාංකික මානව හිමිකම් සංස්කෘතිය වසා පැතිර ඇති කලු වළාව යි.

කලු ජූලිය අතරතුර වැළිකඩ බන්ධනාගාරයෙහි දී දෙමළ සිරකරුවන් පනස් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පහත පළවන විස්තර ඇතුළත් වන්නේ 1981- 1984 කාලයෙහි ඇතිවූ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති සත්‍ය කොමිසමෙහි වාර්තාවෙහි ය. එය පළකරන ලද්දේ 2002 වර්යේ දී ඉංග්‍රීසි බසිනි.

බන්ධනාගාරය තුළ කිසිදු රහසක් නොතිබූ බවට සාක්ෂි තිබුණි. උතුරෙහි දී සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීම දැන සිටි සිරකරුවන්ට එම 24වන ඉරිදා රාත්‍රියෙහි බොරල්ලෙහි සිදුවෙමින් තිබූ දේ එලෙස ම මවා ගත හැකිව තිබුණි. පසුදා එනම් 25දා අනීතික දාමරික රංවු ‘ත්‍රස්තවාදීන්’ ඉල්ලමින් බන්ධනාගාරය තුළට ඇතුලු වීමට උත්සාහ දරා තිබුණි.

බන්ධනාගර තාප්ප වලට පිටින් රටෙහි සිදුවූ දේ සහ හොඳින් ආරක්ෂා කර තිබූ එම තාප්ප ඇතුළත සිදුවූ දේ අතර කැපී පෙනෙන වෙනසක් විය. එනම් පිටත මෙන් නොව බන්ධනාගාරය අතුළත එම සිදුවීම් වැළැක්වීමටත්, වින්දිතයින් ආරක්ෂා කිරීමටත් ක්‍රම සහ විධි පහසුවෙන් ම ක්‍රියාත්මක කළ හැකි වීම යි. පනාගොඩ යුද හමුදා කඳවුරෙහි සිට දෙමළ සිරකරුවන් ගෙන ඒමෙන් පසු අත්‍යවශ්‍ය ස්ථාන යුද හමුදාව විසින් මුර කරන ලද බන්ධනාගාරය ඉතා ආරක්ෂිත විය. බන්ධනාගාරය තුළ බන්ධනාගාර නිලධාරීන්ට පාවිච්චි කිරීම පිණිස ආයුධ ගබඩාවෙහි ගිනි අවි ද තිබුණි. බන්ධනාගාරය තුළ ඇති වන එවැනි තත්වයකට මුහුණ දීමට ඔවුන්ට පුහුණුවක් ද ලබා දී තිබුණි.

කොමසාරිස්වරුන් වන අපි 1983 ජූලි සිදුවීම් සිදුවූ ස්ථාන නිරීක්ෂණය කරනු පිණිස වැළිකඩ බණ්ධනාගාරයට ගියෙමු. මරණ දඬුවම ලබා ඇති සිරකරුවන් ද රඳවා ඇති චැපල් නම් අංශය වැලිකඩ බන්ධනාගාරයෙහි ඉතාම ආරක්ෂාකාරී අංශයයි. පනාගොඩ සිට ගෙන ආ දෙමළ සිරකරුවන් ද රඳවා සිටියේ එහි ය.

සාක්ෂි අනුව ජූලි 25 දා සවස් වරුවෙහි දී 200 – 1000ත් අතර වූ සිරකරුවන් පිරිසක් සකස් කර ගත් ආයුධ ඇතිව චැපල් අංශයට කඩා වැදී තිබේ. ඔවුහු බී කොටසෙහි ඉබි යතුරු කඩා ඊට ඇතුල් වූහ. ඉබි යතුර මත සිය පාදය තබා තමා මරා දමා මිස ඇතුලු වීමට ඉඩ නොදෙන බව කී සහකාර බන්ධනාගාර අධිකාරීවරයකු විසින් ඊට යාබදව තිබූ සී 3 කොටසට ඔවුන් ඇතුලු වීම වළක්වන ලදී. සාක්ෂි මගින් සනාථ කරන ලද මේ සිදුවීම පෙන්නුම් කළේ සිය රාජකාරිය ඉටු කිරීමට කැපවී ඇති නිලධාරියකුට දුෂ්කර තත්වයක් යටතෙ හි පවා ජීවිත හානි වැළැක්විය නොහැකි වුවත් අවම කර හැකි බව යි. එකී ජූලි 25 දා සී3 කොටසෙහි සිටි දෙමළ සිරකරුවන් 28 දෙනෙකුගේ දිවි රැකුණේ එවැනි නිලධාරීන් නිසා ය.

බන්ධනාගාර කොමසාරිස් ජෑන්ස්, අධිකාරී ලියෝ සිල්වා සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු තත්වය පාලනය කිරීමට ප්‍රයත්න දැරූ බවට සාක්ෂි තිබුණ ද ජූලි 25 දා සහ 27දා දෙමළ සිරකරුවන්ට එල්ල කළ ප්‍රහාරයන්ට සමහර බන්ධනාගාර නිලධාරීන් සහභාගි වූ බව තීරණය කිරීමට කරුණූ තිබේ.

ඝාතනය තරක ලද දෙමළ සිරකරුවන්ගේ නාම ලේඛනය

එසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන් ප්‍රහාරයන් වැළැක්වීමට සංවිධිත හෝ සම්බන්ධීකරණයකින් යුතුව පියවර ගත් බවට සාක්ෂි නැත. බොහෝ නිලධාරීහු අන්ද මන්දව සිටියහ. උදාහරණයක් වශයෙන් 27දින සිදුවීමෙහි දී සිරකරුවන්ට කඳුලු ගෑස් දමා ගැසීම මගින් හමුදාව මරණයෙන් බේරි සිටි දෙමළ සිරකරුවන් සමූළ ඝාතනය වීම වළක්වන ලදී. එවැනි තත්වයක් පාලනය කිරීමට ප්‍රමාණවත් තරම් ක්‍රම සහ විධි තිබූ බන්ධනාගාර නිලධාරීන් තත්වය පාලනය කිරීමට කිසිදු සංවිධිත පියවරක් ගෙන තිබුණේ නැත.

ඇත්ත වශයෙන් ම නම් ආණ්ඩුව කලින් සැක කළ පරිදි සිදුවීමට ගියේ දෙමළ සිරකරුවන්ට පහරදීමක් නොව බන්ධනාගාරයෙන් පළා යාමක් නම් බන්ධනාගාර නිලධාරීන් ලෙහෙසියෙන් ම ඊට මුහුණ දෙනු ඇතිව තිබුණි. කටයුතු සිදුවූයේ ඊට වෙනස්ව ය.

ඝාතනයට ලක් වූ කුට්ටුමනී සහ තංගදොරෙයි බන්ධනාගාරයට ගෙන යන අවස්ථාවක්

බන්ධනාගාර ගේට්ටුවෙහි රවා සිටි යුද හමුදාව ප්‍රහාරය මැඩ පැවැත්වීමට බන්ධනාගාර නිලධාරීන්ට සහය වීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව එදින පසු භාගයෙහි දී ජයවේවා යැ යි කෑ ගැසීම මගින් සිරකරුවන්ගේ ‘තෘප්තිය’ බෙදා ගත් බවක් පෙනුණි. බන්ධනාගාරයෙන් පලායාමේ උත්සාහය පිළිබඳ කතාව ගෙතූ එකකි .

එසේ වුවද බන්ධනාගාරය බිඳ පලා යාමේ කතාව තදින් ම විශ්වාස කොට අවශ්‍ය පියවර ගත්තේ නම් ජූලි 25දා නැති වූ ජීවිත 25 බේරා ගත හැකිව තිබුණි.

රටපුරා පැතිර ගිය ක හමුවෙහි ජූලි 25දා පොලීසියේ උදව් ගැනීම ඉතා දුෂ්කර විය හැකිව තිබූ නමුත් බන්ධනාගාරය වටා සිටි යුද හමුදාව ජූලි 25දා කඳුළු ගෑස් විදීම වැනි කිසිදු පියවරක් නොගෙන සිටීම, හමුදාවෙ හි රාජකාරිය බරපතල ලෙස පැහැර හැරීමක් ලෙස පෙන්වා දිය යුතුය.

ජූලි 25දා සහමුලින් ම අප්‍රමාණවත් නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම යම් යම් පියවර ගෙන තිබූ නමුත් ජූලි 27දා වඩා භයානක අවි ආයුධ ඇතිව සිදු කළ සමූළ ඝාතනය වැළැක්වීමට අසමත් වීම රාජ්‍යයේ බරපතල අසමත් වීමක් ලෙස සඳහන් කළ යුතුය. ඝාතනය කරන ලද සැකකරුවන්ගේ මරණ පරීක්ෂණ පැවැත් වූ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.එස්. සල්ගාදු සාක්ෂි දෙමින් කියා සිටියේ 27වන දින මෙන් නොව ජූලි 25න දින යොදා ගන්නා ලද්දේ වැඩි දියණූ කරගත් ඔවුන්ගේ ම ආයු බව යි. තවද 26 දින සිරකරු කුටි වසා තිබූ නමුත් යළි 27වන දින යළි දෙමළ සිරකරුවන් හැර අනෙක් සිරකරුවන්ගේ කුටි විවෘත කරන ලදී.

නියෝජ්‍ය කොමසාරිස්වරයා වූ සී.ටී. ජෑන්ස් සාක්ෂි දෙමින් කියා සිටියේ 25වන දින ඝාතනයෙන් පසු රාජ්‍ය භාරයේ සිටි සැකකරුවන් 35 දෙනෙකු ඝාතනය කරන ලද බව තමා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට දැනුම් දුන් බවයි. එවැනි ඝාතනයක් යළි ඇතිවීම වැළැක්වීම පිනිස පියවර ගන්නේ දැයි විමසන ලදුව ජනාධිපතිවරයාගේ පිළිතුර වූයේ ඔවුන් කොළඹින් පිටට මාරු කිරීමට පියවර ගන්නා බවයි. එනමුත් එදින ඔවුන් මාරුකරන ලද්දේ තරුණ අපරාධකරුවන් රඳවා සිටි අංශයට ය. අතිශය තුච්ච සහ අමානුෂික ඝාතනය සිදුවූයේ තරුණ අපරාධකරුවන්ගේ අංශයෙහි සිටි දෙමළ සිරකරුවන් අමු අමුවේ ඝාතනය කිරීම මගිනි. ප්‍රථම සමූලඝාතනයෙන් දෙන ලද අනතුරු හැඟවීම් තිබිය දී සිරකරුවන් 18 දෙනෙකු සමූල ඝාතනය කිරීම විසින් පෙන්නුම් කෙරුණේ දෙමළ සිරකරුවන්ට ආරක්ෂාව ලබා දීමට රාජ්‍ය අසමත් වූ හැටි ය.

ඉතා වැදගත් මූලික අයිතිවාසිකම වනුයේ පුද්ගලයකුගේ ජීවිත ඇති අයිතිය යි. පුද්ගලික නිදහස අහිමි කරන ලද සිරකරුවකුට නීතිය මගින් ඉවත් කරන ලද ඒවා හැර අන් සියළු අයිතීන් අයත් ය. යුක්තිය බන්ධනාගාර ගේට්ටුව ළඟ නතර වන්නේ නැතසිරගත කිරීම නිසා ‘අත්‍යවශ්‍යයෙන්’ නැතිවූ අයිතීන් හැර අන් අයිතීන් සිරකරුවන්ට අහිමි නොවේ. 13 (4) වගන්තිය සෑම පුද්ගලයකුගේ ම ජීවිතාරක්ෂාව තහවුරු කරයි. මෙම අයිතිය රාජ්‍යය සහ රාජ්‍ය ආයතනයන්ගෙන් ද රැකවරණය සහතික කරයි. මෙම අයිතීන් රැකීමට පියවර ගැනීම රාජ්‍යයේ සහ රාජ්‍ය ආයතනයන්හි වගකීම වේ. ජෑන්ස් විසින් ජූලි 25දා සිදු වූ සමූළ ඝාතනය දැනුම් දීමෙන් පසුත් ජූලි 27වන දින දෙමළ සිරකරුවන් ඝාතනය කිරීම වැළැක්වීමට ජනාධිපතිවරයා අසමත්වීම රාජකාරිය දරුණූ ලෙස පැහැර හැරීමකි. එවැනි සිදුවීම් යළි ඇති නොව බව තහවුරු කිරීමට ඔහු පියවර ගත්තේ නම් වැළිකඩ බන්ධනාගාරයෙහි රඳවා සිටි දෙමළ සිරකරුවන් 18 දෙනා ඝාතනය වන්නේ නැතදෙමළ සිරකරුවන්ගේ ජීවිත රැක ගැනීමට ආරක්ෂාකාරී පියවර ගැනීම සඳහා රාජ්‍ය නායකයා ලෙස සිය වගකීම් ඉටු කිරීමට ජනාධිපතිවරයා අසමත්වීම කණගාටුවට කරුණක් වන අතර එමගින් රාජ්‍යය දුෂ්කර තත්වයකට ඇද දමන ලදී.

වැළිකඩ සිරගෙදර සිදුවූ සමූළ ඝාතනයන් සඳහා බාහිරින් පුද්ගලයින් සහභාගි වූ බවට සාක්ෂි නැත. ප්‍රහාරයන්ට සම්බන්ධ වූයේ යම් යම් බන්ධනාගාර නිලධාරීන්ගේ අනුබලය ලද සිරකරුවන් ය. එම ඝාතන කිරීමට ඉඩ ලැබුණේ එකී නිලධාරීන්ගේ සම්බන්ධය නිසා ය. දිවි ගලවාගත් සිරකරුවෝ එම ඝාතනයන් ගැන සාක්ෂි දුන්හ. ජූලි 25 සහ 27 දෙදින සිදු වූ සමූළ ඝාතනයන්ට සම්බන්ධ සියළුම සාක්ෂි අප වෙත ඉදිරිපත් නොකරන ලද බව කිව යුතුය.

ප්‍රහාරය සිදුවන විට බන්ධනාගාර නිලධාරීහු හත් අට දෙනෙක් එය බලා සිටියහ. බන්ධනාගාර නිලධාරීන් සිරකරුවන් ගැන හොඳින් දන්නා නමුත් සාක්ෂි දුන් ඔවුන් කිසිදු සිරකරුවකු නම් කළේ නැත. කුට්ටුමනී එළියට ඇද ගත් සිරකරුවෝ ජයවේවා කියමින් ඔහුට පිහි පහර දුන්හ. යුද හමුදාව පිටත සිට ජයවේවා යැයි ඝෝෂා කළහ. ජූලි 25වන දින ඝාතනය කරන ලද සිරකරුවන් 35 දෙනා බන්ධනාගාර ලොරියක පටවා හදිසි අනතුරු වාට්ටුවට යැවීමට සූදානම් කරන ලද නමුත් ජෑන්ස් සතුව පොලිස් ආරක්ෂාවක් තිබූ තත්වය යටතේ ද යුද හමුදාව ඊට ඉඩ දුන්නේ නැත. එම සිරුරු අතර එතෙකුදුත් මිය නොගිය අය ද වූහ.

මෙම ඝාතනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට දඩුවම් නොපැනවීම ගැන අපි කණගාටුවෙමු. බන්ධනාගාර අධිකාරී ලියෝ සිල්වා විසින් ආරම්භ කරන ලද අභ්‍යන්තර පරීක්ෂණය අතරමඟ නතර කරන ලදී. බොරල්ල පොලීසිය විසින් ආරම්භ කරන ලද පරීක්ෂය මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් එපිටට ගිය බවට සාක්ෂි නැත. පොලිස් වාර්තා ලබා ගැනීමට කොමිසම දරන ලද උත්සාහය අසාර්ථක වූයේ පොලිස්පතිවරයා එම වාර්තා සොයා ගැනීමට නැතැයි කී නිසා ය. ආණ්ඩුවක වගකීම වන්නේ අපරාධයන්ට වගකිව යුතු පිරිස් වලට දණ්ඩ මුක්තිය නොදී දඩුවම් කිරීම ය. එදා පැවැති ආණ්ඩුව එහිලා අසමත් විය.

මරණ පරීක්ෂණය කළ විනිසුරු වරයා අධිකාරී ලියෝ සිල්වාගේ සාක්ෂිය වක්‍ර ලෙස ප්‍රතික්ෂේප කළේ ය. ප්‍රථම අවස්ථාවෙන් පසු සාක්ෂි දීමට ඔහු කැඳවූයේ ද නැත. තමා විසින් එම භයංකාර ජූලි 26 දා ලියූ සටහන් ලියෝ සිල්වා විසින් ඔහුගේ මරණයට පෙර ඔහුගේ පුතා අතට දී තිබූ අතර එම සටහන් ද කොමිසම හමුවට ඉදිරිපත් කර තිබුණි.

(මෙය වාර්තාවෙහි ඍජු පරිවර්නයක් නොවන බව සකන්න)

Back to Top