Sri Lanka Brief
පුවත්විවරණමහින්ද-ගෝඨා සහ එර්ඩොගන් ගැන හෙවත් විධායක ජනාධිපති නර්තනය – ෂ්‍යාමන් ජයසිංහ

මහින්ද-ගෝඨා සහ එර්ඩොගන් ගැන හෙවත් විධායක ජනාධිපති නර්තනය – ෂ්‍යාමන් ජයසිංහ

by

 

ජායාරූපය: තුර්කියේ එර්ඩොගන්.

“ඒකාධිපතියන් සහ දැඩි පාලන තන්ත්‍රයන් මිනිසුන් ඉල්ලා සිටින්නේ දුර්වල අඩියක සිටියදී ය. නිදහස් විය හැක්කේ, ශක්තිවන්ත වීමෙනි. ශක්තිවන්ත විය හැක්කේ, ඵලදායී වීමෙනි”
දැන් කාලයක සිට අපි තුර්කියේ එර්ඩොගන් ගැන කතා කරමින් සිටිමු. මෑතක එරට පැවති මැතිවරණයකින් ජය ගත් එර්ඩොගන්, තුර්කියේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පත්විය. මේ මැතිවරණයේදී තුර්කි ජනතාව කෙළේ තමන්ගේ මිනී වළ තමන් විසින්ම කපා ගැනීමේ වැඬේ පටන් ගැනීමයි. එතෙක් එරට පැවති පාර්ලිමේන්තු ක්‍රමය ඔවුහූ අත්හලහ. එතෙක් පැවති ක්‍රමය යටතේ තීන්දු තීරණ, ගැනුණේ සාමූහික සහ සහභාගීත්ව ක්‍රියාවලියක් තුළ ය. පාර්ලිමේන්තු ක්‍රමයක් යටතේ අගමැතිවරයෙක් සිටී. එහෙත් ඔහුගේ අගමැති තනතුර රැකෙන්නේ පාර්ලිමේන්තුවේ සහාය ඇති තාක් පමණි. ඒ සරළ යාන්ත්‍රණය තුළ, අගමැතිවරයා, අනිත් සියල්ලන්ගේ පරීක්ෂාවට ලක්වන තැනැත්තෙකු බවට පත්වෙයි. නීති සම්පාදනය කරන රටේ උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුව වන නිසා, රටේ නීතිය ද උත්තරීතර වන්නේය. ඒ තත්වය තුළ, බලය දරණ කවුරුන් වුවත්, පවතින නීති රාමුව තුළ කටයුතු කිරීමට වගබලාගනී.

එවැනි තත්වයක් තුළ, තුර්කියේ ප්‍රථම ජනාධිපති පදවියට පත්වන එර්ඩොගන්ගේ සෙල්ලම අපට වැටහේ. රටක තීරණාත්මක අමාත්‍යාංශය වන්නේ මුදල් අමාත්‍යාංශයයි. අපේ මහින්ද රාජපක්ෂ එම තනතුර තමන්ට තබා ගත් අතර, එර්ඩොගන් ඔහුට වඩා පියවරක් පස්සෙන් තබා ඇත. ඒ අනුව, එම අමාත්‍යාංශය ඔහු සිය දියණියගේ සැමියාට පවරා ඇත. කෙසේ වෙතත්, හොඳ බෑනා කෙනෙකු වෙන කාටත් වඩා විශ්වසනීය පුද්ගලයෙකු වනු ඇත. ආර්ථිකය ගැන මෙලෝ හසරක් නොදන්නා අපේ මහින්දට වෙනස්ව මේ බෑනාට යම් ආර්ථික විද්‍යා ඥානයක් ඇතොත්, තවත් පුද්ගලයන් මත යැපෙන්නේ නැතිව තමාගේ කාර්ය ඉටු කිරීමට ඔහුට හැකි වනු ඇත. එසේම, ඒ දැනුම සමග අදාළ අමාත්‍යාංශය යම් විදග්ධ භාවයකින් සහ ශෝභනත්වයකින් යුතුව ගෙන යාමටත් ඔහුට හැකි වනු ඇත.

පාබල හමුදාව, ගුවන් හමුදාව, නාවුක හමුදාව සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශය, ජනාධිපතිවරයා වශයෙන් එර්ඩොගන් තමන් අතේම තබා ගත්තේය. අපේ මහින්දත් ඒ අංශය තමන් යටතට ගෙන සිටියත්, එහි කාර්ය භාරයට අදාළ අඩුමපුඩුම සහ පරම බලය අවසානයේ හසුරුවනු ලබන යාන්ත්‍රණය ක්‍රියාත්මක කැරැවීම, තමාට විශ්වාසවන්ත වෙන කෙනෙකුට පැවරීම ප්‍රායෝගික බව ඔහු සිතුවේය. ඒ අනුව, ඔහු එය ගෝඨාභය මල්ලීට පැවරීය. මේ මල්ලී, හමුදා සේවය අතහැර දමා ගොස් දීර්ඝ කාලයක් ඇමරිකාවේ පදිංචිව සිටි කෙනෙකි. එහෙත් අයියා රටේ ජනාධිපති වූ සැණින් මල්ලී හිනාවක් දාගෙන ආපසු මව්බිමට ආවේය. එහෙත්, මව්බිමට පැමිණීමෙන් පසුවත් තමාගේ ඇමරිකානු පුරවැසි භාවය අත් නොහැරීමටත් ඔහු වගබලා ගත්තේය. ඒ, මොකක් හරි වුණොත්, යැයි සිතා ය. තවමත් ඒ පුරවැසි භාවය ඔහු අතහැර නැත. ඒත්, මොකක් හරි වුණොත්, යැයි සිතා ය. ඔහුගේ දේශප්‍රේමයත් ඒ වාගේ ය. මොකක් හරි වුණොත් යැයි සිතා, ඇමරිකානු දේශප්‍රේමය අස්සේ ලංකාවේ දේශප්‍රේමයත් ඔහු සාක්කුවේ දමාගෙන සිටී.

මහින්ද තවත් අපූරු දෙයක් කෙළේය. රටේ ආර්ථික සංවර්ධනය ඔහු බැසිල් මල්ලීට භාර කෙළේය. ඒ මගින්, අපේ ආදරණීය නායකයාට රටේ සෑම රාජ්‍ය ආයතනයකටම අතපෙවිය හැකි අපූරු යතුරක් සැපයුණි. මේ ආකාරයට, රාජපක්ෂ පවුලට රටේ ආර්ථිකයෙන් සියයට 80 ක සන්තකයක් අයත් විය. දැන් මහින්දට අතපය දිග හැර රිස්සක් කළ හැකිය. කිසිවකට හෝ කිසිවෙකුට ඔහු බිය විය යුතු නැත. අනන්මනන් කරන්න කියවන්න ගියොත්, ගෝඨා මල්ලී ඒවා බලා ගනු ඇත. මහින්ද අයියාගේ ආශිර්වාදයෙන් ගෝඨාභය මල්ලී අපේ ‘ජනමූල’ හිට්ලර් බවට පත්විය. අස්ගිරියේ අනුනායක හිමියන් දැන් ඉල්ලා සිටින්නේ නැවත ඒ වාරය ගෙනෙන ලෙසයි. ඔහුට දොස් කීමේ පලක් තිබේ ද? ඇරත්, චමල් අයියා, පාර්ලිමේන්තුව පැත්තෙන් බලාකියා ගැනීමට සිටියා නෙවේද? සද්දබද්දට විමල්ව කුලියට ගෙන තිබුණි. කොල්ලෝ දෙන්නාට පැත්තක සිට රංගනයට දායක විය හැක. රට තියෙන්නේ පවුල අතේ නම්, නාමල් කොල්ලා කෙල්ලෝ එක නැටුවට, කාර් රේස් පැද්දට ඇති වැරැද්ද මොකක් ද?

එතකොට මහ බැංකුව? මුදල්හදල් මෑනවීමට සහ අපූරු සංවර්ධන අනුපාත නිකුත් කිරීමට කබ්රාල් සමතෙකි. අර මොහාන්වත් සීයට සීයක්ම විශ්වාසය තැබිය හැකිය. ‘යහපාලන ආණ්ඩුව’ බලයට පත්වූ සැණින් එතෙක් තමන් කළ රාජකාරිය නතර කොට, අලුත් ජනාධිපති ළඟට පැමිණි මේ මොහොන්: “සර්ට ඕනේ කරන තීන්දුවක් මං දෙන්නං” යැයි කීවේය. ඒ තෑග්ග බාර නොගැනීම අපේ අගමැති රනිල් කළ ගොබ්බ වැඩකි. රනිල් කවදත් ඔහොමයි/ ඉතිං අපිට අනාගතයක් තියෙයි ද?

චීනයේ ක්ෂී ජීපින් තමාව එරටේ ‘යාවජීව ජනාධිපතිවරයා’ වශයෙන් අභිෂේක කර ගත් දා සිට මට මෙවැන්නක් සිතී තිබේ. අපේ ආදරණීය මහින්ද 18 වැනි සංශෝධනය හරහා එවැන්නක් කර ගත්තේ නැත්තේ ඇයි? දැන් විවිධ තාන්නමාන්න අස්සේ මේ චීන ජනාධිපති ක්ෂී ජීපින් නොයෙකුත් සෙල්ලම් දායි. උදාහරණයක් වශයෙන් ඔහු විදේශීය ප්‍රභූන්ව මුණගැසෙයි. ජනාධිපතිවරයා වශයෙන්, වෙනත් රටවල රාජ්‍ය තාන්ත්‍රික තානාපතිවරුන්ව මුණගැසෙයි. මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා වශයෙන්, හමුදා නියෝග නිකුත් කරයි. පක්ෂ ලේකම්වරයා වශයෙන් එම පක්ෂ ආධිපත්‍යය ඔස්සේ තම බලය රට පුරා පතුරුවා හරී.

උතුරු කොරියානු නායක කිම් ජොන් උං ද ඒ වාගේ ය. ඔහුව හැඳින්වෙන්නේ, ‘උතුරු කොරියාවේ උත්තරීතර නායකයා’ වශයෙනි. තම අණසක යටතට ගෙන ඇති එරටේ සමස්ත මාධ්‍ය තුළ තමාව ‘අපේ ආදරණීය නායකයා’ වශයෙන් හඳුන්වා ගැනීමට ඔහු වගබලා ගනී. 2012 පටන් මේ කිම් ජොන් උං, උතුරු කොරියානු කම්කරු පක්ෂයේ ද නායකයා ය. බූවල්ලෙකු වන් ඔහුගේ බල පරාක්‍රමයට සීමාවක් නැත. එනම්, ඔහුත් ‘යාවජීව’ වන බව ය. ඔහු නිතරම අත්පුඩි ගැසීම පුදුමයක් නොවේ. ඔහුගේ පාරේ යන්නට තරම් ඇමරිකාවේ ඩොනල්ඞ් ට්‍රම්ප් මොන තරං ගොබ්බයෙක් විය හැකි ද/

අවසානයේ කී දෙන්නා (චීන ජනාධිපති සහ කොරියන් නායකයා) සමග සැසඳුවොත්, අපේ මහින්ද ගොඩයෙකි. එනම්, ඔහු ප්‍රජාතන්ත්‍රවාදියෙකු වූ බවයි. මෙසේ ද විය හැකිය. නැවත වරක් බලයට පැමිණීමෙන් පසුව, ක්ෂී ජීපින් කළා සේ කළ හැකි යැයි ඔහු සිතුවා විය හැකිය. ලසන්ත වික්‍රමතුංගට කළා සේ, වඩාත් නිවැරදිව කිවහොත්, තාජුඩීන්ට කළා සේ, සුමනදාසටත් වෙඩි තැබිය යුතුය. නැහැ, එහෙත් අපේ ආදරණීය නායකයා එතරම් කුරිරු නොවනු ඇත. ඇයි මතක නැත්ද, කාලයක් ඔහු මානව හිමිකම් ගැන වීදි සටන්කරුවෙකුත් වූ බව? පාර්ලිමේන්තුවේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටියදීත්, ඒ මානව හිමිකම් ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත් ගිය බව?

(2018 ජුලි 11 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූOf Erdogan, Mahinda & Gota Or The Dance of the Vidhayaka Janadhipathi 
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

Back to Top