Sri Lanka Brief
පුවත්විවරණටියුෂන් පංති, ගුරු මුෂ්ටිය සහ නිර්මාණශීලී අධ්‍යාපනය – ධනුශ්ක සිල්වා

ටියුෂන් පංති, ගුරු මුෂ්ටිය සහ නිර්මාණශීලී අධ්‍යාපනය – ධනුශ්ක සිල්වා

by

ගුරු මුෂ්ටිය කියන අදහස දිසාපාමොක් අධ්‍යාපනයෙන් උපත ලබා සංවර්ධනය වන සංකල්පයක්. එහි අතීතය ගැන නිවැරදි කාලනීර්ණයක් කළ නොහැකි වුවත් ගුරු මුෂ්ටිය හා බැඳුණු අතීත, සාහිත්‍ය කතාවල ඉතිහාසය බෝධිසත්ව යුගය දක්වාම දිවෙනවා. ගුත්තිල ජාතකය හොඳ නිදසුනක්. ගුත්තිලගේ ආචාර්ය භූමිකාවට වඩා මූසිල චරිතයක් ලෙස ක්‍රමයෙන් ඉහළට ඒමට හේතුව ගුත්තිල තමාගේ ශිෂ්‍යයා ගැන අධි-විශ්වාසයක් තැබීම හා ගුරු මුෂ්ටියක් නොතබාම ශිල්පය ලබාදීමට පෙළඹීමයි. එමනිසා මූසිලගේ මෝරන දක්‍ෂකම ඉදිරියේ ගුත්තිල ආචාර්යවරයා ශිල්පය අතින් දිනෙන් දින පසුබානවා. ඇතැම්විට ශක්‍රදේවේන්ද්‍රයා (ශක්‍රදේව්න්ද්‍රයා ස්වභාවික යුක්ති නීතියේ නියෝජනයක් යනු මගේ හැඟීමයි.) නොසිටින්නට ගුත්තිල මූසිල ඉදිරියේ පරාජය වනු නියතයි.

ගුරු මුෂ්ටි සංකල්පයේ හරය තමයි ගුරුවරයා දන්නා සියලු විෂය කරුණු තම ශිෂ්‍යයාට ඉගැන්වීමෙන් බැහැර වීම. ඊට හේතු වන්නට ඇත්තේ යම් දිනෙක තමාගෙන්ම ඥානය ලැබූ ශිෂ්‍යයා තමන්ට වඩා ශිල්ප ශාස්ත්‍රය අතින් සමතකු වනු දැකීමට පැරණි දිසාපාමොක් ගුරුවරුන් තුළ තිබූ අකමැත්තත් ඒ හරහා ශිෂ්‍යයා තමන්ට වඩා සමාජ අභිමානයක් ගොඩනගා ගනීවි යැයි එම ගුරුවරුන් තුළ මුල්බැසගෙන තිබූ හීනමානයත් නිසයි. එහෙත් සැබෑ ලෙසම ගුරු මුෂ්ටිය කියන අදහසින් මුළුමනින්ම බැහැර වුනු ශිෂ්‍යයාට තමා දන්නා සියලු දේ ඉගැන්වීමෙන් තෘප්තියට පත් ගුරුවරුන් ද මේ අතර ජීවත්ව සිටි බව අමතක නොකළ යුතුයි.

වත්මන් අධ්‍යාපනය ගුරු මුෂ්ටිය මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනවා. ගුරුවරයා තමන් දන්නා සියලු දැනීමෙන් ශිෂ්‍යයන්ගේ ඥාන මණ්ඩලය සවිමත් කිරීමට උත්සාහ කරනවා. විශේෂයෙන්ම ටියුෂන් අධ්‍යාපනය විලාසිතාවක් වන අද වැනි යුගයක පුද්ගලයෙකුට ගුරුවරයෙකු ලෙස ස්ථාවර වීමට නම් ගුරු මුෂ්ටිය තබා ගැනීමට කැමැත්තෙන්ම හෝ අකමැත්තෙන්ම බැහැර කරන්නට සිදුවෙනවා. කෙටියෙන් කියනව නම්, අද ගුරවරයා කියන භූමිකාම රැඳිල තිබෙන්නෙම ගුරු මුෂ්ටිය තබා නොගන්නා ප්‍රමාණය මත කිව්වොත් නිවැරදියි. නැතිනම්, ගුරුවරයා තමාගේ දැනුම දන්සලක් මෙන් නොමිලයේ සහ විවෘතව බෙදන තරමටයි. ඒ අර්ථයෙන් අද ගුරුවරයා දිසාපාමොක් ආචාර්යවරුන්ට වඩා ඥාන සන්නිවේදන කාර්යයට දක්වන දායකත්වය අතින් ඉදිරියෙන් සිටින බව නිසැකයි.

ගුරු මුෂ්ටිය කියන අදහස ප්‍රතික්‍ෂේප වීම නිසා ඥාන බලයෙන් තමාගේ ගුරුවරයාට පවා තර්කයෙන් අභියෝග කිරීමේ විවෘත නිදහස අද ශිෂ්‍යයා භුක්ති විඳිනවා. ගුරු මුෂ්ටිය නිසාම ගොඩනගාගත් ඥාන බලය හා සමාජ බලය ගුරුවරයා මතට කේන්ද්‍ර වූ අධ්‍යාපන රටාව, ගුරු මුෂ්ටියේ අභාවයත් සමග ශිෂ්‍යයාට වැඩි වැදගත්කමක් දෙන (ශිෂ්‍යය කේන්ද්‍රීය) අධ්‍යාපනය වෙතට හුවමාරු වී තිබෙනවා. න්‍යායිකව මෙය සුසමාදර්ශ හුවමාරුවක් (Paradigm shift) ලෙස හඳූනාගත හැකියි. සරලවම දිසාපාමොක් ක්‍රමය යටතේ ගුරුවරයාට ලැබී තිබූ වැදගත් තැන අද අධ්‍යාපනය විසින් ශිෂ්‍යයාට ලබා දී තිබෙනවා. එය එක්තරා ආකාරයකින් සුභදායක විදිහට දකින්න තරම් අපිට විවෘත මනසක් තිබිය යුතුයි. ගුරුවරුන් අතේ තිබූ පරණ දැනුමට (තර්කය අතින්) අලුත් තර්කවලින් අභියෝග කිරීට අද අධ්‍යාපනය ශිෂ්‍යයාට ලබා දී තිබෙන විවෘත ඉඩකඩ ගැන මම හදවතින් සතුටු වෙනව.

ගුරු මුෂ්ටි සංකල්පය වත්මන් අධ්‍යාපනය විසින් නොසළකා හැරීම වටා ගෙතී ඇති ජනප්‍රිය මතවාදය නම් එය ඉතා උසස්, වැදගත් දෙයක් ලෙස සාධාරණීකරණය කිරීමයි. එහෙත් ගුරු මුෂ්ටි සංකල්පය ප්‍රතික්‍ෂේපවීම නිසාම ශිෂ්‍යයාට වන බරපතල හානියේ ප්‍රමාණය ඔවුන් ලබන වාසි ගොන්නට වඩා ටිකක් වැඩියි කියලයි හිතෙන්නෙ. මට හිතෙන හැටියට ගුරු මුෂ්ටියක් නැති වත්මන් අධ්‍යාපනය ශිෂ්‍යයාගේ නිර්මාණාත්මක චින්තනය, ස්වාධීන පරිකල්පනය එකතැන පල්කිරීමට දායක වී සිටිනවා. නැත්නම් මුළුමනින්ම මරල දානව කිව්වත් සාධාරණයි. ගුරු මුෂ්ටියක් ඇති අධ්‍යාපනයක නම් ආචාර්යවරයා තමන්ට ලබාදෙන්නේ ඉතා සීමිත දැනීමක් බව ශිෂ්‍යයා ඉතා හොඳින් දන්නව. ඒ නිසා දැනුම් පිපාසයක් (A thirst of knowledge) තිබෙන ශිෂ්‍යයෙකුට නම් ගුරුවරයා නූගන්වන විෂය කරුණු ප්‍රමාණය ගැන ඇතිවන අභ්‍යන්තර කුතුහලය ගුරුවරයා ඉගැන්වූ විෂය කරුණු ප්‍රමාණය නිසා ලබාගත් දැනුමට වඩා ඉතා වැදගත් වනව. ගුරුවරයා ඉගැන්වීම නතර කළ තැනින් එහාට යමක් සෙවීමට ශිෂ්‍යයා පොළඹවනු ලන්නේ එම කුතුහලකාරී මනසයි. මේ ගැන උදාහරණයක් දක්වන්න කැමතියි. ජීවක ඇදුරුතුමන්ට ඉගැන්වූ දිසාපාමොක් ආචාර්යවරයා තමන්ගේ ප්‍රමාණයෙන් (ගුරු මුෂ්ටිය තබාගෙන) තම ගෝලයාට ශිල්පය ලබා දී අවසානයේ ශිෂ්‍යයාගේ කුතුහලය අවුස්සන ආකාරයේ පර්යේෂණයකට භාජනය කරවනව. යොදුන් කිහිපයක් පුරා විහිදුනු ශාක, පත්‍ර, පොතු, දළු, මුල් වැනි දේ නිරීක්‍ෂණය කර ඖෂධයකට ගත නොහැකි යමක් ඇත්නම් ඒ ගැන සොයාබැලීම එම පර්යේෂණයයි. මුළු පර්යේෂණ කාලය වසර 07 කට මඳක් වැඩියි. ජීවකගේ පර්යේෂණ නිගමනය වන්නේ එවැනි ඖෂධයක් තමාගේ පර්යේෂණයට හසු නොවුනු බවයි. මේ උදාහරණය අනුව ජීවක මෙවැනි දුෂ්කර ගණයේ පර්යේෂණයකට යොමුවන්නේ ගුරුවරයා විසින් නියම කළ නිසාටත් වඩා ඔහුගේ දැනුමේ පරිමාව ගැන ගුරුවරයා විසින් ඇතිකළ කුතුහලය නිසයි. සමහරවිට දිසාපාමොක් ඇදුරා පර්යේෂණ නිගමනය දැන සිටින්නට ද ඇතත නොසිටින්නට ද ඇත. එහෙත් ගුරුවරයා ජීවකගේ දැනුම ගැන ඔහු තුළින්ම ස්වයං කුතුහලයක් ඇති නොකර පර්යේෂණ නිගමනය ඉතා ලෙහෙසියෙන් ශිෂ්‍යයාගේ අතට පත් කළේ නම් මා හිතන විදියට ජීවක වැනි දක්‍ෂ වෛද්‍යවරයෙක් බිහි නොවන්නට ද ඉඩ තිබිණි.

මෙම යුගයේ ශිෂ්‍යයා දැනුම සොයන ඉතා පහසුම ක්‍රමය බවට ටියුෂන් අධ්‍යාපනය පත් වී හමාරයි. ටියුෂන් ගුරුවරයා දිසාපාමොක්වරයෙක් නොවෙයි. ඔහු ඉතා නිර්මාණාත්මක ලෙස විෂය කරුණු සියල්ල ටියුටයක (Tutorial) කැදවයි. පංතිය තුළ ශිෂ්‍යයාගේ කාර්ය බවට පත්වන්නේ තිත් ඉරි මත ගුරුවරයා කියන යමක් ලිවීමයි. නැත්නම් යටින් ඉරක් ඇඳීමයි. එහි වරදක් දකින්නට තරම් කුහක වීමට අයිතියක් එම ක්‍රමය හරහාම ඉගෙනගැනීමට සිදුවුණු මා වැනි අයෙකුට නැහැ. එහෙත් මෙහි නරකම ප්‍රතිඵලය, ශිෂයයාගේ දැනුමටත් වඩා දැනුම සෙවීමට ඇතිවන කුතුහලය ඉතා ඉක්මනින් සොහොන් වීමට පටන් ගැනීමයි. දිසාපාමොක් ක්‍රමය යටතේ උගත් ශිෂ්‍යයා හොඳින් දන්නා කරුණු දෙකක් තිබෙනවා.

1. ගුරුවරයා උගන්වන්නේ ඉතා සීමිත ප්‍රමාණයේ දැනීමක්
2. ගුරුවරයා නූගන්වන ප්‍රමාණය උගන්වන ප්‍රමාණයට වඩා ඉතා විශාලයි.

මේ කරුණු දෙක හොඳින් දන්න ශිෂ්‍යයෙකු අනිවාර්යයෙන්ම තමා නොදත් දැනුම ගැන කරුණු සොයා යාමට නිරුත්සාහකවම පෙළඹෙනවා. එහෙත් එවැනි පෙළඹවීමක් ඇතිකිරීමට තරම් අද අධ්‍යාපනය පිරිපුන් නැහැ කියන එකයි මගේ හැඟීම. අද ශිෂ්‍යයා ඉතා හොඳින් දන්න කරුණු දෙකක් තිබෙනවා.

1. ගුරුවරයා මනසට දැරීමට නොහැකි අසීමිතාකාරයේ දැනීමක් සම්ප්‍රේෂණය කරනව.
2. ගුරුවරයා උගන්වන දේ ඉතා විශාලයි. නූගන්වන දෙය ඉතා සීමිතයි.

මෙම කරුණු දෙකම ඉහත දිසාපාමොක් අධ්‍යාපනය යටතේ ඉගෙනගත් ශිෂ්‍යයෙකුට හැඟෙන කරුණු දෙකටම පරස්පරයි. මෙවැනි පරස්පරකාරී සිතුවිලි ඉතා ඉක්මනින් ශිෂ්‍යයා පාසලෙන් මෙන්ම විශ්ව විද්‍යාලයෙන් පවා පිටමන් කිරීමට හේතුවක් වෙලා තිබෙනව. ශිෂ්‍යයා කුතුහලකාරී මනසක් සහිත ගෝලීය දැනුම සොයන අසංතෘප්ත පර්යේෂකයෙකු ලෙස නොව හුදු ශිෂ්‍යයෙකු (mere student)  ලෙස අධ්‍යාපන ආයතන වලින් ඉවත් වීමට හේතුවී තිබෙනව කියල පේනව.

ශිෂ්‍යයාගේ ඥානය එකතැන පල්වීම හා හුදෙක් අධ්‍යාපනය ගැන කලකිරීමෙන් පාසලෙන් හා විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍යයෙකු පිටවීම ගැන මහාචාර්ය මාර්තා නස්බෝම් (Non for profit : Why democracy needs the humanities පොතේදී) ඉතා ප්‍රබල ලෙස මෙසේ බිය වෙනව:

“මෙම ප්‍රවණතාව දිගටම පැවතියහොත් ලෝකය පුරාම සියලුම ජාතීන්ට ස්වාධීනව හිතීමේ හැකියාව ඇති, සම්ප්‍රදාය විචාරයට ලක්කරන, තවත් පුද්ගලයෙකුගේ දුක් වේදනා හා ජයග්‍රහණයන්හි අර්ථය වටහා ගන්නා පූර්ණ පුරවැසියන් වෙනුවට ප්‍රයෝජනවත් ‘යන්ත්‍ර’ පරම්පරා ගණනක් නිපදවනු ඇත. මේ නිසා ලෝක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයන්හි අනාගත අනතුරක් අභිමුව සිටී.”

ඉතින් ගුරු මුෂ්ටිය ගුරුවරයා තබා නොගැනීම කියන අදහස ශිෂ්‍යයාගේ පැත්තෙනුත් බාහිර වශයෙනුත් ශිෂ්‍යයාට වාසිදායක ලෙස පෙනුනත් දිගුකාලීන වශයෙන් හා අභ්‍යන්තර වශයෙන් ශිෂ්‍ය භූමිකාවට කරන කාලාන්තර හානියේ ප්‍රමාණය ඉන් ලැබෙන වාසි ගොන්නට වඩා මඳක් වැඩි බව කිව හැකියි. එමනිසා, ගුරු මුෂ්ටිය තබාගැනීම ද වැදගත් වනවා.

Back to Top