Sri Lanka Brief
පුවත්විවරණකළු ජුලිය: 1983 දෙමළ-විරෝධී ප්‍රචණ්ඩත්වයේ තිස්පස් වැනි සංවත්සරය – ඩී. බී. එස්. ජෙයරාජ්

කළු ජුලිය: 1983 දෙමළ-විරෝධී ප්‍රචණ්ඩත්වයේ තිස්පස් වැනි සංවත්සරය – ඩී. බී. එස්. ජෙයරාජ්

by

ශ්‍රී ලංකාවේ වාර්ගික සම්බන්ධතා පැත්තෙන් සටහන් වූ අඳුරුතම පරිච්ඡේදය වන්නේ, මීට අවුරුදු 35 කට කලින්, 1983 ජුලි මාසයේ හතරවැනි සතියේ රට පුරා ඇවිළුණු දෙමළ-විරෝධී ප්‍රචණ්ඩත්වයයි. ශ්‍රී ලංකාවේ දුක්බර පශ්චාත්-නිදහස් ඉතිහාසය තුළ, 1956, 1958, 1977 සහ 1981 ආදී වර්ෂවලත් දෙමළ ජනතාව මහ පරිමාණ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වී ඇතත්, ඒ සියල්ලට වඩා දරුණුතම අවස්ථාව වුණේ 1983 ජුලි විනාශයයි.

අවුරුදු 35 ක් ගතව ඇති අද පවා එම සිද්ධිය ‘83 කළු ජුලිය’ වශයෙන් රටේ මතකයේ නොමැකී රැඳී තිබේ. ‘කළු ජුලියක්’ ගැන කතා කරන විට, කළු පාටින් අයහපතත්, සුදු පාටින් යහපතත් අදහස් කෙරෙන බව කෙනෙකුගේ කල්පනාවේ තිබේ. ‘දේශපාලනික නිරවද්‍ය භාවය’ ගැන කතාබහ කෙරෙන මෙවන් කාලයක එවැනි කළු-සුදු වශයෙන් හැඳින්වීම අභියෝගයට ලක්කෙරෙන අතර, ඒවා ජාතිවාදයේ ගුප්ත සලකුණු සේ බැහැර කෙරේ. දැනුවත්වත්, නොදැනුවත්වත්, එයින් කෙරෙන්නේ, වර්ණය පිළිබඳ ඒක-රූපික වාර්ගික ප්‍රභේද ප්‍රවර්ධනය කිරීමයි.

කෙසේ වෙතත්, එවැනි දේශපාලනික වශයෙන් නිරවද්‍ය වන ආස්ථානයක් ගැනීම ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ දුෂ්කර වන්නේ, ‘කළු ජුලිය’ යන යෙදුම මේ වන විට ජාතික විඥානය තුළ අරක්ගෙන ඇති බැවිනි. විශේෂයෙන්ම 1983 ජුලි මාසයේ සිදු වූ තත්වය ගැන ලිවීමේදී එවන් යෙදුම්වලින් වැළකී සිටීම දුෂ්කර වන්නේය.

දෙමළ-විරෝධී ප්‍රචණ්ඩත්වය අවුළුවන ලද සිද්ධිය වශයෙන් බැලූ බැල්මට පෙනෙන්ට තිබෙන්නේ, කොටි සංවිධානය විසින් ලංකා රජයේ හමුදා සෙබළුන් ඉලක්ක කොට උතුරේ දියත් කරන ලද ප්‍රහාරයකි. මීට තිස්පස් වසරකට පෙර ජුලි 23 වැනි දා රෑ, වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ ඔහුගේ නියෝජ්‍ය නායක සෙල්ලක්කිලි අම්මාන්ගේ නායකත්වයෙන් යුත් කොටි සාමාජිකයෝ යාපනේ තිරුනල්වෙලි ප්‍රදේශයේ තැපැල් හංදියේදී ශ්‍රී ලංකා හමුදාවේ ලුතිනන් වාස් ගුණවර්ධන සහ තවත් හමුදා සාමාජිකයන් 12 දෙනෙකුගෙන් යුත් මුර සංචාරක කණ්ඩායමක් ඝාතනය කළෝය.

එයින් කෝපයට පත් හමුදාව උතුර වැනසූහ. ඉරිදා වන විට යාපන අර්ධද්වීපයේ විවිධ ස්ථානවල අහිංසක සිවිල් වැසියන් 51 දෙනෙකු හමුදාව මගින් ඝාතනය කර තිබුණි. ඒ තත්වය තුළ, උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්. ඩී. රාජගුරු, හමුදාව උතුර වනසන බවත්, පොලීසියට තත්වය පාලනය කර ගත නොහැකි බවත්, පොලිස්පති රුද්‍රා රාජසිංහම්ට දන්වා සිටියේය. මෙය පොලිස්පතිවරයා විසින් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට දන්වා සිටි විට ඔහු කෙළේ, ඔහුගේ බෑනා වූ එදා හමුදාපති ජෙනරාල් වීරතුංගව වහා යාපනයට පිටත් කොට හැරීමයි. ඒ සමගම, ඝාතනයට ලක්වූ හමුදා සාමාජිකයන්ගේ සිරුරු, හමුදා ගෞරව සහිතව, පලාලේ හමුදා පර්යන්තය තුළ භූමදානය කරන්නැයි එදා ආරක්ෂක ලේකම් ජෙනරාල් සේපාල ආටිගලට ජනාධිපතිවරයා නියෝග කෙළේය. එහෙත්, ඒ වන විට උතුරේ තත්වය පැවතියේ ඉතා බරපතල අඩියක ය. ජනාධිපතිවරයාගේ නියෝගය ආරක්ෂක ලේකම්වරයා විසින් හමුදාපතිවරයාට දැනුම් දුන් අවස්ථාවේ ඔහු කියා සිටියේ, ‘මං ඒක කරන්න ගියොත්, හමුදාව මාවත් මෙහේම වළ දාවි’ කියා ය. එබැවින්, මියගිය සෙබළුන්ගේ සිරුරු ඔවුන්ගේ ගම් පළාත්වලට හැකි ඉක්මණින් යැවිය යුතු බව ඔහු කියා සිටියේය.

මේ තත්වය පරීක්ෂා කර බැලීම සඳහා ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් විය. හමුදා සාමාජිකයන් 13 දෙනාගේ මළ සිරුරු කටුනායක ගුවන් හමුදා කඳවුරට ගෙනැවිත් එම්බාම් කිරීමටත්, ඉන් අනතුරුව ඒ ඒ අයගේ ගම් පළාත්වලට එම සිරුරු යැවීමටත් එහිදී තීරණය විය. ඒ අනුව, අවසාන කටයුතු සිද්ධ කෙරෙනු ඇත්තේ ඒ ඒ තැන්වල ය. වායු සමීකරණය කරන ලද වෑන් 13 ක් කටුනායක සිට මළ සිරුරු ගෙන යාම සඳහා සූදානම් කර තැබීමටත් තීරණය විය. කෙසේ වෙතත්, දෙමළ-විරෝධය පිළිබඳ කුප්‍රකට සිරිල් මැතිව් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඒ අදහස වෙනස් කරගෙන ඇති බව පසුව අනාවරණය විය.

මේ අතරවාරයේ, මියගිය සොල්දාදුවන් 13 දෙනා පිළිබඳ සිද්ධිය ගුවන් විදුලියෙන් සහ රූපවාහිනී මාර්ගයෙන් දකුණට දැනුම් දීමටත්, ගත වූ පැය කිහිපය තුළ හමුදා කොටස් විසින් උතුරේ කරන ලද ඝාතන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රවෘත්ති වාරණය කොට තබා ගැනීමටත් රජය තීන්දු කොට සිටියේය. ඊටත් වඩා නරක තීන්දුවක් අනතුරුව රජය විසින් ගෙන තිබුණි. එනම්, සියලු සෙබළුන් වෙනුවෙන් සමූහ අවමංගල්‍යෝත්සවයක් බොරැල්ලේ කනත්තේ දී සිදු කිරීමටයි. ඒ අනුව, විශාල සෙනගක් කනත්තට රැස් වූහ. ඊට අමතරව, ආණ්ඩුවේ වාහන යොදාගෙන තවත් පිරිස් රැගෙන එමින් තිබූ තත්වයක් යටතේ සැහැසි මානසිකත්වය උත්සන්න වෙමින් තිබුණි. ප්‍රකට භික්ෂූන් වහන්සේලා විසින් කරන ලද අනුශාසනාවන්ගෙන් තත්වය තවත් දරුණු විය. පොලිස්පති රුද්‍රා රාජසිංහම්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අර්නි පෙරේරා සහ ආර්. සුන්දරලිංගම් සමග කනත්තට ගිය විට, තත්වය ඉතා භයානක අඩියකට ළඟා වෙමින් පැවති බව අවබෝධ කර ගත්හ. එවිට පොලිස්පතිවරයා කෙලින්ම වෝඞ් පෙදෙසේ ජේ. ආර්. ජයවර්ධනගේ නිවසට ගියේය. එසේ ගොස්, ඉරිදා රෑ ඇඳිරි නීතිය පනවන්නැයි ඉල්ලා සිටියේය. එහෙත් ජනාධිපතිවරයාගෙන් ඊට අනුමැතියක් නොලැබුණි.

ඇසළ පුරපෝය

ඉරිදා හැන්දෑව වන විට තත්වය ප්‍රචණ්ඩකාරී විය. කනත්තේ සිට බොරැල්ල දිසාවටත්, තිඹිරිගස්යාය දිසාවටත් සැහැසි පිරිස් ගමන් කරන්ට වූහ. ඒ මාර්ගයේ පිහිටි දෙමළ නිවෙස් සහ ව්‍යාපාරික ආයතනවලට පහර දී ගිනිබත් කරන්ට වූහ. ඇසළ පුර හඳ අහසේ බබළද්දී, දෙමළ දේපළ ගිනිගෙන නැගෙන දුමාරයෙන් අහස කළු විය.

පසුව දා, 25 වැනි සඳුදා, දෙමළ-විරෝධී ප්‍රචණ්ඩත්වය ලැව් ගින්නක් සේ ඇවිළුණි. කඳුකරේ දෙමළ ජනතා නියෝජිත සෞම්‍යමූර්ති තොන්ඩමන් ඒ පෝය ඉරිදාව හැඳින්නුවේ, ‘ඉරිදා සිල් අරං සඳුදාට ඝාතනය කිරීමක්’ වශයෙනි. පොලිස්පති රුද්‍රා රාජසිංහම් කිහිප විටක් ඉල්ලා සිටියත්, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඇඳිරි නීතිය පැනවීමට ඊළඟ සඳුදා හැන්දෑ වන තෙක්ම බලා සිටියේය. ඇඳිරි නීතිය පැනවීමෙන් පසුවත්, ප්‍රචණ්ඩත්වය දින තුනක් දිග් ගැස්සුණි. එය තරමක් සමහන් වුණේ, ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ විශේෂ නියෝජිතයෙකු වශයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය නරසිංහ රාඕ කොළඹට පැමිණි 28 වැනි බ්‍රහස්පතින්දා ය. එහෙත් 29 වැනි සිකුරාදා කොළඹට කොටි ඇවිත් ඇතැයි යන රාවයකින් නැවත රට ඇළලී ගියේය. ඒ ‘කොටි දවසේ’ හැන්දෑවේ කොළඹ කිසි කොටියෙකු නැති බව දැන ගන්නා තෙක් මැරයෝ යළිත් වරක් දෙමළ ජනතාව ඝාතනය කරමින් ගියෝය.

30 වැනි දා 31 වැනි දා වන විට ප්‍රචණ්ඩත්වය කෙමෙන් අඩු විය. අවසානයේ ජාත්‍යන්තරයේ පීඩනය හමුවේ ජේ. ආර්. ජයවර්ධනට තත්වය ‘සාමාන්‍ය’ තත්වයට පත් කිරීමට සිදු විය. එහිදී ජනාධිපති ජයවර්ධන සහ ඔහුගේ ආණ්ඩුවේ ප්‍රධානීන් එම හිංසනය හැඳින්නුවේ ‘යාපනේ කොටි ප්‍රහාරයට දකුණේ සිංහල ජනයා දැක්වූ ස්වාභාවික ප්‍රතිචාරයක්’ වශයෙනි. ඒ අනුව, සිංහල ජනතාව වෙත සාමූහික වගකීම පැවරුණු අතර, ආණ්ඩුව වගකීමෙන් අතහෝදා ගත්තේය. කළු ජුලියේ වගකීම සාමූහිකව සිංහල ජනතාව වෙත පැටවීම ප්‍රශ්නකාරී ය. මේ හිංසනය සිදු කළ අපරාධකරුවන් සිංහල ජාතිකයන් වූ බව සැබවි. වින්දිතයන් දෙමළ ජාතිකයන් වූ බවත් සැබවි. එහෙත් එය කිසි ලෙසකින්වත්, දෙමළ ජාතියට විරුද්ධව සිංහල ජාතිය නැගී සිටීමක් නොවීය. මන්ද යත්, එය එසේ විණි නම්, කිසි දෙමළ ජාතිකයෙකු ඉතිරි වීමට ඉඩක් නොවුණු බැවිනි.

සිංහල ජනතාව බිරාන්ත වීම

සිදු වූ දේ ගැන බහුතරයක් සිංහල ජනතාව බිරාන්ත වූහ. ඔවුහූ කිසිවක් කර කියා ගත නොහැකි පිරිසක් බවට පත්වූහ. ඔවුන්ගේ ජාතියේත්, රටේත් නාමයෙන් ඒ බිහිසුණු ක්‍රියාවට සම්බන්ධ වුණේ සුළුතරයකි. දෙමළ ජනතාවගේ දේපළ ගිනි තබමින් ගිය ඒ මැරයෝ ‘රට ජාතිය රැක ගන්න-පෙට්‍රල් තෙල් ටිකක් දෙන්න’ යි ගායනා කරමින් සංහාරයේ යෙදුනහ. මේ සංහාරයට සහභාගී නොවූ සිංහලයන්ගෙන් ඇතැමෙකු, දෙමළ-විරෝධී ඒ ප්‍රචණ්ඩත්වය නිශ්ශබ්දව අනුමත කළා විය හැකිය. එහෙත් සිංහලයන්ගෙන් බහුතරයක් එකී ප්‍රචණ්ඩත්වය අනුමත කෙළේ නැත. බොහෝ සිංහලයන්. තමන්ගේ ආරක්ෂාව පවා පරදුවට තබා, දෙමළ ජනයාව ඇතැම් අවස්ථාවල ආරක්ෂා කළහ. බොහෝ මුස්ලිම් ජනතාවත් තමන්ගේ අසල්වැසි දෙමළ ජනතාවට ආරක්ෂාව සැපයූහ.

1983 ජුලි හිංසනය ඉබේ ඇති වූ දෙයක් නොවන බව සඳහන් කළ යුතුය. මූලිකව ගත් කල එය සංවිධානගත ක්‍රියාවකි. එහෙන් මෙහෙන් කිහිප දෙනෙකු ස්වේච්ඡාවෙන් ඊට එක් වුණා විය හැකිය. එහෙත් විවිධ තැන්වල සංවිධානගත කණ්ඩායම් මේ ක්‍රියාවන් සැලසුම් කොට ක්‍රියාත්මක කළෝය. මෙවැනි සාමූහික හිංසනකාරී ඕනෑම තත්වයකදී සිදුවන්නා සේ, මෙහිදීත් තවත් කණ්ඩායම් ඊට සම්බන්ධ වූහ.

මේ කණ්ඩායම්වලට ඉහළ තැන්වලින් ආරක්ෂාව සැපයුණි. එදා බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන්ගේ ආශීර්වාදය ඔවුන්ට තිබුණි. මේ මැරවර කල්ලි අතේ, දෙමළ ජනතාවගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල සියලු විස්තර තිබුණේය. දෙමළ ජාතිකයෙකු ව්‍යාපාරයක් කරගෙන ගිය යම් ගොඩනැගිල්ලක් සිංහලයෙකු සතු විණි නම්, එම ගොඩනැගිල්ලට හානි නොකොට එහි පැවති ව්‍යපාරික දේපළවලට පමණක් හානි සිදු කිරීමටත් මේ මැරයෝ වගබලා ගත්හ. මොවුන්ගෙන් බොහොමයක් මැරයන්ව සංවිධානය කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති ව්‍යාපාරය වන ජාතික සේවක සංගමය විසිනි. එහිදී, එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගණනාවක්ම සෘජුව ඒවාට සම්බන්ධ විය. එසේම, මේ මැරයන්ව අත්අඩංගුවට නොගන්නැයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉහළ තැන්වලින් පොලීසියට උපදෙස් ලැබී තිබුණි.

මදාවියන් සහ කුලී මැරයන්

බොහෝ තැන්වල මේ මදාවියන් සහ කුලී මැරයන්ව ප්‍රවාහණය කෙරුණේ ලංගම බස්වලින් සහ අර්ධ-රාජ්‍ය ආයතනවලට අයත් වාහනවලිනි. මොවුන්ට බත් පැකට් සේම අරක්කු ද සපයන ලදි. විනීත කමක් ඇති එක්සත් ජාතික පක්ෂ නායකයන් වූ ෂෙල්ටන් රණරාජා සහ රේණුකා හේරත් රණසිංහ නුවර සහ නුවරඑළිය පළාතේ මෙවැනි මැරවරයන්ව පොලිස් අත්අඩංගුවට පත් කිරීම සඳහා කටයුතු කළ අතර සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායක මැදිහත් වී ඔවුන්ව නිදහස් කර ගත්හ. සිරිල් මැතිව් සහ ඔහුගේ දේශපාලනික ගැත්තන් මේ කෝලාහලය තුළ කළ කී දෑ කවුරුත් දනිති. මේවාට සම්බන්ධ ඇතැම්හු තවමත් දේශපාලනයේ නිරතව සිටින අතර ඉන් ඇතැමෙක් ඉහළ තනතුරු හොබවති.

1983 ජුලි මාසයේ හටගත් තත්වය ඉබේ ඇති වූ දෙයක් නොව. එය හිතාමතා ඇති කළ ජන සංහාරයකි. ජන සංහාරයක් යනු, ආණ්ඩුවේ හෝ හමුදාවේ බලධාරීන්ගේ අනුමැතිය හෝ ආශිර්වාදය ඇතිව, විශේෂිත ජන කණ්ඩායමකට එරෙහිව දියත් කොට එම ජන කණ්ඩායම ඝාතනය කරනු ලබන, ඔවුන්ගේ දේපල ඇතුළු ව්‍යාපාරික සහ ආගමික ස්ථාන විනාශ කරනු ලබන, මහ පරිමාණ ප්‍රහාරයකි.

කල්තියා සැලසුම් කළ කුමන්ත්‍රණය

83 ජුලි ප්‍රචණ්ඩත්වය ඇති වීමට කලින්, දෙමළ ජනතාවගේ ජීවිත සහ දේපළ ඉලක්ක කොට රට පුරා ප්‍රහාරයක් දියත් කිරීමේ සැලසුමක් සකස් වෙමින් තිබුණි. ඒ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කෙළේ, ගිනි අවුළුවන යම් සිද්ධියක් පමණි. තිරුනෙල්වෙලි හංදියේ එල්.ටී.ටී.ඊ, සංවිධානය විසින් හමුදා සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කිරීම, ඒ සඳහා පාවිච්චි කළ හැකි මනා අවසරයක් විය. මේ ජුලි විනාශයට ටික දවසකට කලින්, වව්නියාවේත්, ත්‍රිකුණාමලයේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේත් දෙමළ ජාතිය ඉලක්ක කොට මෘග ප්‍රහාර දියත් කෙරුණු බව අමතක නොකළ යුතුය. ඒ අරුතින් ගත් විට, 1983 ජුලි විනාශය වූ කලී, ඒ වන විටත් ඇති වෙමින් තිබූ වර්ගවාදී ප්‍රහාර මාලාවක අවසාන අග්‍රඵලයකි.

ජේ. ආර්, ජයවර්ධන මෙය සිංහල ජනතාවගේ ඇඟේ ගැසීමට බැලුවත්, පිළිගත් දේශපාලන නිරීක්ෂකයෙකු වන, ‘නීතිවේදීන්ගේ ජාත්‍යන්තර කොමිසමේ’ සාමාජිකයෙකු වන පෝල් සියෙග්හාට්, ශ්‍රී ලංකාව පිළිබඳ තම වාර්තාවක් තුළ මෙසේ ලියා තිබේ: “මෙය සිංහලයන් තුළ තිබූ ජාතිවාදී වෛරයක පුපුරා යාමක් නොවන බව ඉතා පැහැදිළි ය. එසේම, සමහරුන් කියන පරිදි, උතුරේ ඝාතනයට ලක්වූ සෙබළුන් 13 දෙනාගේ සිද්ධියට ප්‍රතිචාරයක් වශයෙන් ස්වාභාවිකව ඇති වු සිද්ධියක් නොවන බවත් ඉතා පැහැදිළි ය. ඒ සොල්දාදුවන් ඝාතන සිද්ධිය පිළිබඳ ප්‍රවෘත්තිය මේ මහා විනාශය හටගන්නා අවස්ථාව වන විටත් මාධ්‍ය තුළ වාර්තා වී නොතිබුණි. ඒ වනාහී, හිතාමතා සැලසුම් කළ, එම සැලසුම ප්‍රකාරව ක්‍රියාවට නැංවූ, වැඩපිළිවෙලකි.”

1983 ජුලි විනාශයෙන් පසුව ප්‍රකාශයට පත් එක් වැදගත් පොතක් තිබේ. එය ලියා ඇත්තේ එල්. පියදාස නැමැත්තෙකි. පොතේ මාතෘකාව වන්නේ “ශ්‍රී ලංකාව: මහා ජන සංහාරය සහ ඉන් අනතුරුව” යන්නයි. එල්. පියදාස යනු රෙජී සිරිවර්ධන විය යුතු යැයි එදා මම සිතුවෙමි. පසු කලෙක මෙය මා ඔහුගෙන් විමසන ලදුව ඔහු එය ප්‍රතික්ෂේප කෙළේය. මෙහි සැබෑ කතුවරයා මට සොයා ගැනීමට හැකි වුණේ, ප්‍රකට ලේඛක, පර්යේෂක සහ සමාජ ක්‍රියාකාරී, සී. ආර්. හෙන්ස්මන් මියගිය අවස්ථාවේ ය. ඔහු ලියූ පොත් කිහිපයක් මා කියවා තිබූ අතර, ‘ජාත්‍යන්තර වාර්ගික අධ්‍යයන කේන්ද්‍රය’, ‘මාර්ග ආයතනය’ සහ ‘සමාජය හා සාමයික කේන්ද්‍රය’ වැනි තැන්වලදී කිහිප විටක් කොළඹදී මට ඔහුව මුණගැසී තිබුණි. එල්. පියදාස යනු ඔහු බව ඔහුගේ මරණයෙන් පසුව මට සැළ කර සිටියේ ඔහුගේ දියණිය වන රෝහිණී හෙන්ස්මන් ය. 1983 ජුලි හිංසනය පිළිබඳව, එල්. පියදාස නමින් ලියූ හෙන්ස්මන්, ඒ සංහාරයේ පූර්ණ වගකීම පවරන්නේ ජේ. ආර්, ජයවර්ධනගේ ආණ්ඩුවටයි.

තුච්ඡ ප්‍රතිචාරය

ඒ සංහාරයේ එක් කණගාටුදායක දෙයක් වන්නේ, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ඒ ආණ්ඩුවේ ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් රූපවාහිනී ඔස්සේ රට ඉදිරියේ කළ තුච්ඡ ප්‍රතිචාරයයි. එම හිංසාවෙන් විනාශයට පත් කිසි වින්දිතයෙකු වෙනුවෙන් අනුකම්පාව දනවන එක වචනයක් හෝ ඔවුන් කීවේ නැත. වක්‍රාකාරයෙන් සිංහල ජනතාවට වරද පැටවූ ජේ. ආර්. ජයවර්ධන, මෙය ඔවුන්ගේ පැත්තෙන් මතු වූ ස්වභාවික ප්‍රතිචාරයක් බව කීවේය. අනතුරට පත් වින්දිත දෙමළ ජනතාව වෙනුවෙන් වචනයක් කියනවා වෙනුවට ඔහු කෙළේ, බෙදුම්වාදය තහනම් කෙරෙන නීතිරීති ඉදිරියේදී ගෙන එන බව ය.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස්, මීට වගකිව යුතු සැඟවුණු, විදේශ හස්තයක් ඇති බව කීවේය. සිංහල සහ දෙමළ ජනතාව අතරත්, සිංහල සහ මුස්ලිම් ජනතාව අතරත්, බෞද්ධයන් සහ කිතුණුවන් අතරත් ගැටුම් ඇති කිරීම සඳහා වන කුමන්ත්‍රණයක් ඇතැයි ඔහු කීවේය. ඉඩම් සහ මහවැලි අමාත්‍ය ගාමිණී දිසානායක දෙමළ ජනතාවට අනතුරු අඟවමින්, දෙමළ ජනතාව බේරා ගැනීම සඳහා ලංකාවට පැමිණීමට ඉන්දියාවට පැය 14 ක් ගත විය හැකි බවත්, අවශ්‍ය නම් සිංහලයන්ට විනාඩි 14 ක් වැනි කෙටි කාලයක් තුළ දෙමළුන්ව විනාශ කර දැමිය හැකි බවත් කීවේය. මෙහිදී, වෙළඳ සහ නාවුක කටයුතු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ශෝකයට පත්වුණේ, මේ විනාශය නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා නැවත වතාවක් සාමාන්‍ය ජනතාවට පෝලිම් ගැසීමට සිදුව ඇති බැවිනි. මේ අතර, මුදල් අමාත්‍ය රොනී ද මැල්, සේන ගුත්තික ගැන ඉතිහාස දේශනයක් තිබ්බේය.

කළු ජුලිය තුළ දෙමළ ජාතිකයන් 4000 කට අධික සංඛ්‍යාවක් ඝාතනය විය. එයින් සමහරෙකු, දෙමළ ජාතික යැයි වරදවා වටහා ගත්, දෙමළ කතා කළ මුස්ලිම් ජාතිකයන් ය. තව දහස් ගණනක් තුවාල ලැබීය. ඒ අයගෙන් ඇතැමෙකු රෝහල්වලදී මියගියහ. ඒ සියල්ලන්ට අමතරව, 200,000 කට අධික පිරිසක් අනාථයන් බවට වූ අතර, ඔවුන්ගෙන් 130,000 ක් දෙනා තාවකාලික සරණාගත කඳවුරුවල ගාල් කෙරුණි. එසේම දෙමළ ජාතිකයන් සතු ව්‍යාපාරික ස්ථාන 2500 කට වැඩි ප්‍රමාණයක් විනාශ කරන ලදි. විනාශයට පත් නිවෙස් සංඛ්‍යාව හරියට ගණන් බලා නැත.
(අවසාන කොටස ඊළගට)

2018 ජුලි 21 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Black July: Thirty Fifth Anniversary of 1983 Anti-Tamil Violence නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top