Sri Lanka Brief
පුවත්විවරණඅනීතියෙන් වැනසෙන සල්ලතිව් සොබා සිරිය – ධනුෂ්ක සිල්වා

අනීතියෙන් වැනසෙන සල්ලතිව් සොබා සිරිය – ධනුෂ්ක සිල්වා

by

භූමි ප‍්‍රමාණය අතින් කුඩා වුවත් පාරිසරික වටිනාකමක් හා ජෛව විවිධත්වයෙන් අනූන භූමි ප‍්‍රදේශ ජාලාවක් ශ‍්‍රී ලංකාවට හිමිය. නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන් වෙරළ බඩ මායිමට යාව පිහිටි සල්ලිතිව් දූපත් ප‍්‍රදේශය ද එවැනි මනරම් බිම් පෙදෙසකට නිදසුනකි. මෙම දූපත් ප‍්‍රදේශය දිගින් කි.මි 2.7 ක හා පළලින් මී. 155ක තරම් කුඩා භුමි භාගයක් පුරා දිවුනත් එහි පාරිසරික වටිනාකම හා ජෛව විවිධත්ව වැනි කරුණු සමග සාපේක්ෂව සසදන විට මෙම කුඩා බිම් තීරය ලබන පාරිසරික වැදගත්කම එහි භූමි වටිනාකමට වඩා කිහිප ගුණයකින් විශාලයි.

සාමාන්‍යයෙන් යම් ප‍්‍රදේශයක පාරිසරික සංවේදීතාවය(Environmental Sensitivity) ගණනය කිරීමේදී එම ප‍්‍රදේශය සතු ශාක ප‍්‍රජාවේ ජෛවීය වටිනාකම සැළකිල්ලට ගනී. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මෑතකදී නිකුත් කළ වාර්තාවේ(2015) සඳහන් වන ආකාරයට සල්ලිතිව් දූපත් ප‍්‍රදේශය ආසන්න වශයෙන් ඒක දේශීය ශාක විශේෂ 50කට ආසන්න සංඛ්‍යාවකට නිවස්න සපයයි. මෙම ශාක විශේෂ අතරිනුත් මේ වන විට ශ‍්‍රී ලංකාවෙන් වදවීයාමේ තර්ජනයට ප‍්‍රබලව මුහුණපා ඇති එක් ශාක විශේෂයක්, වද වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති ශාක විශේෂ 4ක් හා වද වී යාමේ අවධානමක් සහිත තවත් ශාක විශේෂ 4ක් සල්ලතිව් ශාක ප‍්‍රජාවට අයත් ය. ඒ මතු ද නොව, සල්ලිතිව් දූපත වසා පැතිර සිටින ඝන කඩොලාන වැස්ම හා මුහුදු තීරය වෙතට ඈදුණු මුහුදු ශාක ගොනුව එහි පාරිසරික වැදගත්කම තීව‍්‍ර කිරීමට දායක වී සිටී.

කෙසේ වෙතත්, වගකිවයුතු නිලධාරීන්ගේ ආශීර්වාදය ඇතිව ක්‍රියාත්මක කළ ”අනීතික” ව්‍යපෘතියක් නිසා සල්ලිතිව් දූපත් ජීවී හා ශාක ප‍්‍රජාවට තම පැවැත්ම තහවුරු කර ගැනීම වෙනුවෙන් මේ වන විට අරගල කිරීමට සිදු වී තිබෙන ශෝකජනක පුවතක් වාර්තා වෙයි.

ප‍්‍රශ්නය හා පරස්පර උත්තර

සීමාසහිත පාරිසරික පදනම අනාවරණය කරගෙන ඇති ආකාරයට 2017 මාර්තු මස සිට සල්ලිතිව් දූපත් ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් “ Leisure & Pleasure Pristine Eco Culture” යන තේමාව යටතේ සංචාරක ප‍්‍රවර්ධන (සංචාරක නිකේතනයක් ඉඳි කිරීම ඇතුළු) ව්‍යාපෘතියක් දියත් කිරීමට වත්මන් රජයේ මැදිහත්වීමෙන් පිඹුරුපත් සකස් කර තිබේ. වඩාත් ජුගුප්සගත ලෙස නීත්‍යානුකූල නොවන පසුබිමක් යටතේ ක‍්‍රියාත්මක වන උක්ත ප‍්‍රශ්නගත ව්‍යාපෘතියේ ප‍්‍රථම අදියර මේ වන විට නිමාකර ඇතැයි ද දැන ගන්නට ලැබේ.

විශේෂයෙන්ම ප‍්‍රස්තුත ව්‍යාපෘතියට අදාළ වගකිව යුතු නිළධාරීන්ගේ එකිනෙකට පරස්පර ප‍්‍රකාශ හා හැසිරීම් සෘජුවම අදාළ ව්‍යාපෘතියේ් නීත්‍යානුකූලභාවය ගැන මුල සිටම සාධාරණ සැකයක් පරිසර සංවිධාන අතර මතු කිරීමට හේතු වී තිබේ.

සීමාසහිත පාරිසරික පදනම ශ‍්‍රී ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශවල ඉදිකිරීම් සම්බන්ධව ආයතනික වගකීම දරණ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් කල විමසීමකදී ඔහු සදහන් කර තිබෙන්නේ අදාළ ව්‍යාපෘතිය සදහා මේ වනතෙක් කිසිදු ආකාරයේ අනුමැතියක් තම දෙපාර්තුමේන්තුව විසින් ලබා දී නොමැති බවයි.

නමුත් මීට හාත්පස වෙනස් මතයක් දරමින් මඩකලපුව දිස්ත‍්‍රික් ලේකම්වරිය(හිටපු) ප‍්‍රකාශකරන්නේ ව්‍යාපෘතියේ මුල් අදියර මේ වන විට සම්පූර්ණයෙන්ම නිමකර අවසන් බවත් ව්‍යාපෘතිය සදහා නියමිත අනුමැතිය 2016 වසරේ දී ලබාගෙන ඇති බවත්ය. ලේකම්වරියගෙන් ව්‍යාපෘති සදහා අනුමැතිය ලබාගත් බවට වන ලිඛිත සාක්ෂි විමසූ විට ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානි කටයුතු පිළිබද අමාත්‍යාංශය ව්‍යාපෘතිය අනුමත කළ බවට වන ලිඛිත ලේඛනය ව්‍යාපෘතියේ හවුල්කාර පාර්ශවයන් හා සංශෝධිත අයවැය ලේඛන ද ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් දිස්ත‍්‍රික් ඉඩම් පරිහරණ කොමිෂම ව්‍යාපෘතියට අදාළ ඉඩම් හෙළිකිරීමට අනුමැතිය ලබා නොදුන් බවද ලේකම්වරිය පවසා තිබේ.

මෙහිදී පැහැදිලි වන ඉතා වැදගත් කරුණක් නම් මෙවැනි ආකාරයේ ව්‍යාපෘති කටයුත්තකදී එහි නෛතික වගකීම දරණ වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තුමේන්තුවේ නීතිමය ආවරණයෙන් සූක්ෂමාකාරයෙන් බැහැරට යමින් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන ලද බවයි. අනෙක් අතට සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයට මුහුදු බඩ ප‍්‍රදේශයට අයත් පාරිසරික වටිනාකමින් අනූණ බිම් තීරුවක මේ සා විශාල ව්‍යාපෘතියකට ලිඛිත අවසරයක් ලබා දීමට නීතිමය හැකියාවක් ද නැත.

නීතිය නොසලකා හැරීම

සාමාන්‍යයෙන් පාරිසරික වැදගත්කමකින් යුතු මුහුදුබඩ ප‍්‍රදේශයක යම් ඉදිකිරීමකදී වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තුමේන්තුවෙන් ලිඛිත අනුමැතියක් ලබා ගැනීමේ නෛතික අවශ්‍යතාවය 1981 අංක 57 දරණ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ පනතේ 14(1) හා 14(2) වගන්ති සදහන් කරයි. එම දෙපාර්තුමේන්තුවේ නීතිමය අවසරයක් ලබා ගැනීම වැදගත්වන්නේ පාරිසරික වශයෙන් සංවේදී ප‍්‍රදේශයක ජෛව පද්ධතියට කෘත‍්‍රිම ඉදිකිරීමකින් විය හැකි හානි නිසි ලෙස හදුනා ගැනීමට හා එසේ හානි වේ නම් මුළුමනින්ම හානිය වලක්වාගැනීමට හෝ අවම කිරීම සදහායි.

කෙසේ නමුත් සාමාන්‍යයෙන් පිළිගත් නීති රාමුවකට ඔබ්බෙන් ගිය (නීතිය අතික‍්‍රමණය කළ) ප‍්‍රශ්නගත ව්‍යාපෘතිය සල්ලතිව් දූපත් ප‍්‍රදේශයේ ජෛව පද්ධතිය ප‍්‍රබල ලෙස බලපෑමට ලක්කර ඇති බව අනාවරණය වේ.

අමතර ප‍්‍රශ්න කිහිපයක්

ලංකාවේ පරිසර නීතිය තත්වාකාරයෙන් අරුත්ගැන්වූ එප්පාවල නඩුතීන්දුවේදී ප‍්‍රකාශ වූයේ පාරිසරික මූලාශ‍්‍ර එක් පරම්පරාවක ප‍්‍රයෝජනය සදහා පමණක් නොව මතු පරම්පරාවන් කිහිපයක් වෙනුවෙන් ආරක්ෂා කළ යුතු මහජන භාරයක්(Public trust) ලෙසයි. ඒ අරුතෙන් සල්ලිතිව්ප දූත් ප‍්‍රදේශය එහි ජෛව හා පාරිසරික වටිනාකම හා සූත‍්‍රණය කරන විට එක් පරම්පරාවක් ස`දහා පමණක් නොව මතු පරම්පරා කිහිපයක් වෙනුවෙන් සුරැකිව තැබිය යුතු මහජන භාරයක් වෙයි.

මෙම නිසා සල්ලතිව් වැනි පාරිසරික සංවේදිතා ගුණය අතින් ඉහළ ප‍්‍රදේශයක ඉදි කිරීම් කටයුත්තකදී පාරිසරික ශක්‍යතා අධ්‍යනයක් හා ආරම්භක පාරිසරික හදුනාගැනීමක් සිදු කිරීම ඉතා වැදගත්ය. ව්‍යාපෘතිය සදහා සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබද අමාත්‍යාංශයක් ලබා ගත් අනුමත කිරීමේ ලේඛනය ඉදිරිපත් කිරීමට හිටපු දිස්ත‍්‍රික් ලේකම්වරියට හැකි වුවත් පාරිසරික ශක්‍යතා අධ්‍යන වාර්තාව(Environmental Impact Assessment) හෝ ප‍්‍රාරම්භක පාරිසරික හදුනාගැනීමේ (Initial Environmental Examination) වාර්තාව ඉදිරිපත් කිරීමට ඇය අසමත් වී තිබේ. මෙහිදී නිසි ශක්‍යතා අධ්‍යනයක් හෝ පාරිසරික හඳුනාගැනීමක් කර තිබේද යන සාධාරණ සැකය ඉස්මතු වේ.

විශේෂයෙන්ම වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තුමේන්තුවේ නිල අවසරයකින් තොරව තම බල ප‍්‍රදේශයේ ජෛව වැදගත්කමක් සහිත භූමියක නීතියට පරිබාහිරව මෙවැනි ව්‍යාපෘතියක් කරගෙන යාමට ඉඩහැරීම හරහා මඩකලපුව දිස්ති‍්‍රක් ලේකම්වරියගේ ක‍්‍රියාකලාපය නීිතිමය හා ආයතනික වශයෙන් ගැටළු මතුකරයි.

පරිසරයට විය හැකි හානි හැකිතරම් අවප‍්‍රමාණය කර තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට නම් ප‍්‍රශ්නගත ව්‍යාපෘතිය නිසි අධීක්ෂණයකට ලක් කිරීමට තිබුණි. එහෙත් ප‍්‍රස්තුන ව්‍යාපෘතිය හුදෙක්ම එවැනි තිරසාර ඉලක්ක අරමුණු කරගෙන සකස් නොකළ ව්‍යාපෘතියක් බව සනාථ කරන තවත් සාක්ෂිවන්නේ ව්‍යාපෘතියට සමගාමීව කසල කළමණාකරණ අනුව්‍යාපෘතියට මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය නොලැබීමෙන් විද්‍යමාන වන්නේ සල්ලිතිව් වැනි පාරිසරික සංවේදිතා ගුණය අතින් ඉහළ ප්‍රදේශයකට අදාළ ව්‍යාපෘතිය මඟින් විය හැකි හානියේ ප්‍රමාණය ගණනය කිරීමටද අපහසු බවයිගකසල බැහැර කිරීමට හා මළාපවහනයට සකස් කර තිබු ක්‍රමවේදයේ දුර්වලතා පමණක් නොව සමස්තයක් ලෙස එම අනුව්‍යාපෘතිය මධ්‍යම පරිසරයේ පරාමිතීන්ට අනුකුල නොවීම ව්‍යාපෘතිය ප‍්‍රබල දුබලතාවකිගමෙවැනි අනීතික පසුබිමක් තුළත් ව්‍යාපෘතිය ඉදිරියට ගියේ කෙසේද යන්න පරිසර සංවිධාන කිහිපයක් ප්‍රශ්න කරයි.

දිස්ත‍්‍රික් ලේකම්වරියගේ ප‍්‍රශ්නගත ක‍්‍රියාකලාපය අභියෝගයට ලක් කර සීමාසහිත පාරිසරික පදනම විසින් අභියාචනාධිකරණයේ (CAW 143/298) මහජන සුභසාධක නඩුකරයක් (public Interest litigation) ගොනුකර තිබේ. ගරු අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් තවදුරටත් සල්ලතිව් දූපත් ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙන සියලූ ව්‍යාපෘති කටයුතු තාවකාලිකව (අගෝස්තු 06 දින දක්වා) අත්හිටුවීමට නියෝග තිබේ. එමගින් සල්ලතිව් දූපත් ප‍්‍රදේශයේ ජෛව ප‍්‍රජාවට වගකිවයුතු නිළධාරීන්ගේ අනීතික හැසිරීම් මගින් තවදුරටත් විය හැකි හානි අවම කිරීමට උත්සහ ගෙන තිබීම පැසසිය යුතු කරුණකි.

සංවර්ධනය හිසින් ගෙන යන කවර හෝ ව්‍යාපෘතියකට හේතු විරහිතව විරුද්ධ වීමට තරම් අප මුග්ධ නොවිය යුතුයග අනෙක් අතට පරිසරයට අංශු මාත්‍රයක හානියක් නොකර සංවර්ධනය කටයුතු ඉදිරියට ගෙන ගිය නොහැකි බව අමුතුවෙන් සඳහන් කල යුතු නැත. එහෙත් පරිසරයට වන හානිය ප්‍රමාණය හැකි තරම් අවම කර ප්‍රශ්නගත ව්‍යාපෘතියෙන් උපරිම ඵල නෙලා ගැනීමේ අවස්ථාව සම්මත නීතිමය හා ආයතනික ක්‍රියාපටිපාටිය නොසලකා හැරීම නිසා මුළුමනින්ම ගිලිහී ගොස් තිබේ. ඇතැම් විට ආයතනික පටිපාටියට අනුගතව ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නම් ප්‍රශ්නගත ව්‍යාපෘතිය තිරසාර ඵල ගෙන දෙන ව්‍යාපෘතියක් වීමේ සම්භාවිතාවයද තිබිණිග ඉදින්, අපගේ ප්‍රශ්නය යොමු විය යුත්තේ මේ ගැනයි.

 

Back to Top