Sri Lanka Brief
පුවත්විවරණසෝභිත හිමි සමරුවෙහිදී ජනපති සිරිසේනට ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න දුන් පිළිිතුර

සෝභිත හිමි සමරුවෙහිදී ජනපති සිරිසේනට ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න දුන් පිළිිතුර

by

ජායාරූපය: 2017 අගොස්තු 07 පැවැති 62 ලක්ෂයේ ව්‍යපාරයේ රැස්වීමෙනි. 

පසුගියදා පැවැති  සෝභිත හිමි සමරු රැස්වීමට බලයෙන් කඩා වැදී ජනපති සිරිසේන කල විකාර කතාවට පි‍ළිතුරු දෙමින් එම සමරුවෙහිදිි ආචාර්ය ජයම්පතී  වික්‍රමරත්න කළ කතාව පහත පළවේ. 

මාඳුළුවාවේ සෝභිත හිමි, කවදාවත් කරන්න බෑ කියලා සිතු දෙයක් කරන ආකාරය ජනතාවට පෙන්වාදීලා, එයට නායකත්වය දුන් අසාමාන්‍ය හිමිනමක්. එවැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයින් බිහිවන්නේ කලාතුරකින්. උන්වහන්සේ පැහැදිලිව පෙනී සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ප්‍රජාතන්ත්‍රවාදයට විකල්පයක් නොමැති බව පිළිබඳ තදබල විශ්වාසයක් තිබුණු කෙනෙක්. එම නිසා තමයි විධායක ජනාධිපති ක්‍රමය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයක් ලෙස උන්වහන්සේ දුටුවේ. එමනිසා තමයි විධායක ජනාධිපති ක්‍රමය නැති කරල පාර්ලිමේන්තු ක්‍රමයකට යන්න ඕනෑ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළේ . උන්වහන්සේ බොහෝ විට සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය, ආචාර්ය ඇන්. එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා වැනි අය කිය වූ දේවල් උපුටා දැක්වුවා.
ජනාධිපතිවරණයෙන් පසුව අපි බලාපොරොත්තු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමයේ බලතල ඉවත් කරන්න අපට නොහැකි වුණා. ඒක අපි පිළිගන්න ඕනෑ. එයට එක් හේතුවක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රිවරු 30ක් විතර සිරිසේන මැතිතුමන් එක්ක එයි කියලා තමයි විශ්වාස කෙරුණේ. නමුත් එහෙම වුණේ නෑ. එය ද බලපෑවා. ඒ අනුව ජනවාරි 09 වන දා හදපු ආණ්ඩුවට 2/3ක් තියා සරල බහුතරයක් වත් තිබුණේ නෑ. ඒ නිසා නොයෙකුත් එකඟත්වයන් වලට අකමැත්තෙන් වුවත් එන්න වුණා.

19වන සංසෝධනයේ සැර බාලවීම

මීට ඉස්සෙල්ලා මෙම රැස්වීමේදී ජනාධිපතිතුමා ඒ අමාරුකම ගැන කිව්වා . ඒක ඇත්ත. හතලිස් ගානයි අපට ඡන්ද තිබුණේ. නමුත් 2/3 ක් අපට ලබාගන්න පුලු‍වන් වුණා . ඒ දින 100 වැඩ පිළිවෙළ තුළ 19 සංශෝධනය හැදීමට තාක්ෂණික වශයෙන් මම දායක වුණු නිසා මං ඒ පිළිබඳ යමක් කියන්න ඕනෑ. ඇත්තටම චෝදනාවකුත් තියෙනවා 19 වන සංශෝධනය ප්‍රමාණවත් තරම් ඉදිරියට ගියේ නෑ කියලා. ඒක ඇත්ත. ඒකට හේතු තියෙනවා. ඒ තමයි මම කලින් කියපු සුවිශේෂ දේශපාලන තත්ත්වය.

හැබැයි මේක මා හෝ වෙන කවුරුවත් හෝ තනියෙන් හදපු කෙටුම්පතක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දේශපාලන කමිටුවක් තිබුණා. ආණ්ඩුවට සම්බන්ධ සියලු‍ම දේශපාලන පක්ෂ එහි නියෝජනය වුණා. ඒකෙන් තමයිතීන්දු සියල්ලම ගත්තේ. මුල් කෙටුම්පත සෑදීමට දායක වුණු විශේෂඥ කණ්ඩායමට මමත් සම්බන්ධ වෙලා හිටියා. ඔවුන් අවස්ථා හත අටකදී කෙටුම්පත් ඉදිරිපත් කරලා ඒ හැම කෙටුම්පතක්ම මුද්‍රණය කරලා දීලා කමිටුවේ සාකච්ඡා කරලා තමයි තීරණ ගත්තේ.

නමුත් ඉන්පසු අපිට අභියෝගයක් ආවා විපක්ෂයෙන්. විපක්ෂයට තමයි 2/3 දීමේ හැකියාව තිබුනේ. 2015 මාර්තු 15 වෙනිදා කැබිනට් මණ්ඩල රැස්වීමක් ලෑස්ති කරලා තිබුණේ. ඊට කලින් උදේ රැස්වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් අගමැති තුමාත් සම්බන්ධවෙලා සියලු‍ම පක්ෂවල වගේ නියෝජිතයන් සහභාගි වුණා. එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇවිත් 19 වැනි සංශෝධනයේ අපි හදලා තිබුණ එක ඉතාම තදබල ලෙස දුර්වල කිරීමට, සැර බාල කිරීමට සමත් වුණා. මට කණගාටුයි කියන්න, එදා ජනාධිපති තුමා එක්ක සමීපව ඉදලා පසු කලෙක මහින්ද රාජපක්ෂ මැතිතුමාට නාමයෝජනා දුන්නාට පස්සේ ඊට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය යටතේ ඡන්දය ඉල්ලන්න ආපු සමහරුන්ද ඒ සැරබාල කිරීමට දායක වුණු බව.

එදා හවස 2ට කැබිනට් රැස්වීම තිබුණා . ඒ අතරතුර මටත් මහාචාර්ය ජී.එල් පීරිස් මැතිතුමාටත් නීති කෙටුම්පත්කරු සිල්වා මැතිතුමාටත් කිව්වා අද උදේ ගත්තු තීන්දු අනුව කෙටුම්පත වෙනස් කරලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලා. මගේ ලඟ අදත් තිබෙනවා ඒකේ ඡායා පිටපතක්. හවස කැබිනට්ටුවේදී ඒ සියල්ලම අනුමත කෙරුවා. 19 වන සංශෝධනය අපි බලාපොරොත්තු වූ තරම් ඉදිරියට ගියේ නැති එක ඇත්ත. ඒ දේශපාලන හේතු නිසා. ඉන්පසු පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් යම් වගන්ති ඉවත් කරන්න කීවා. ඒ ගැන මගේ පැමිණිල්ලක් නෑ.

නමුත් ඊට පස්සේ පාර්ලිමේන්තුවට ගියාට පස්සේ තවත් සැර බාල වුණා. උදාහරණ වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පුරවැසියන් හත්දෙනෙකුත් දේශපාලනඥයන් ගෙන් තුන් දෙනෙකුත් යෝජනා කරලා තිබුණේ අපි. නමුත් වාසුදේව නානායක්කාර වැනි අය කිව්වෙ එකේ අනිත් පැත්ත වෙන්න ඕනෑ කියලා, දේශපාලනඥයන් 7ක් සහ පුරවැසියන් 3ක් ලෙස. මට අද වගේ මතකයි පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලයේදී අපිට අඬගහලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කිව්වා, මටනම් මේකට එකඟ වෙන්න බෑ, මම කොහොමද සෝභිත හාමුදුරුවන්ට මූණ දෙන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා මම සෝභිත හාමුදුරුවන්ට කතා කරන්නම් කියලා. මම සෝභිත හාමුදුරුවන්ට කතා කරලා මේකේ තියෙන බැරෑරුම් කම තේරුම් කරලා දුන්නා.

උන්වහන්සේ කිව්වා කරන්න දෙයක් නෑ මහත්තයා ඕකටවත් එකඟ වෙන්න, කරන්න පුලු‍වන් දේ කරමු කියලා. ඒ විදියට 19 සංශෝධනයේ සැර බාල වුණා .

බල කේන්ද්‍ර දෙකක ප්‍රශ්ණය

19 සංශෝධනයේ එක ප්‍රශ්නයක් තමයි මේ බල කේන්ද්‍ර දෙකක් තියෙන එක, ජනාධිපතිවරයා සහ අගමැති වරයා අතර. ඒ දුර්වලකම තියෙනවා. මේ පිළිබඳව 1970-1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේදී කොල්වින් ආර්.ද සිල්වා කියපු දෙයක් මං සදහන් කරන්න කැමතියි. එයා කිව්වා කවදාවත් ඍජු ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකුව ප්‍රතිවිරුද්ධව අනියම් වශයෙන් පාර්ලිමේන්තුවෙන් තේරෙන අගමැති වරයෙක්ට තියන්න එපා කියලා. ඒ විදියට රාජ්‍යයේ ශීර්ෂයේ බල කේන්ද්‍ර දෙකක් නොතිබිය යුතු බව කියා සිටියා.

සුප්‍රකට දේශපාලන විද්‍යාඥයෙක් වන නෙදර්ලන්ත ජාතික Lijphart මේ පිළිබඳව ලියලා තිබෙනවා. ඔහු කියනවා විශේෂයෙන්ම ලංකාව වැනි බහුවාර්ගික රටවල් වල ඒක පුද්ගල ජනාධිපති විධායකයක් වෙනුවට සාමූහික තීරණ ගන්නා පාර්ලිමේන්තු ක්‍රමයක් තමයි උචිත කියලා. ජනාධිපති මැතිවරණ අත්‍යවශ්‍යයෙන්ම බහුතරවාදී බව ඔහු පෙන්වා දුන්නා. ඒවා පෞරුෂත්ව දේශපාලනය දිරිගන්වනවා. තරඟකාරී පක්ෂ වල සහ සහ ඔවුන්ගේ වැඩසටහන් වල දේශපාලනය යටපත් කෙරිලා, පෞරුෂත්වය උඩට එනවා. පාර්ලිමේන්තු ආකෘතියකදී රාජ්‍ය නායකයා මහජන ඡන්දයෙන් කවදාවත් පත් කරන්න එපා කියලා ඔහු කියනවා. ඔහු කියන්නේ රාජ්‍ය නායකයා පාර්ලිමේන්තුවෙන් පත් කල යුතුයි කියලා. කොතරම් බලතල අඩුවුණත් ජනාධිපතිවරයා ඍජු ඡන්දයෙන් පත්වෙනවා නම් ඔහුට පුලු‍වන් විශේෂයෙන්ම අර්බුදකාරී අවස්ථා වලදී කියන්න ‘මට තියෙනවා ඍජු ජනවරමක්, අගමැතිතුමා ඔබට තියෙන්නේ වක්‍ර ජනවරමක්’ කියලා. එසේ ආණ්ඩුක්‍රමය අර්ධ-ජනාධිපති ක්‍රමයකට හරවා ගැනීමේ අනතුර තියෙනවා කියලා පෙන්වාදී තිබෙනවා.

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධ සහ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු වුවත් ජනාධිපතිවරයා ඍජුව පත්කරන්න ඕනෑ කියන කණ්ඩායම් කිහිපයක් ඉන්නවා.
සමහරු ධනේශ්වර සංවර්ධනයට ජනතා පීඩනයෙන් නිදහස් ඉතාමත් තනි ප්‍රබල පුද්ගලයෙක් අවශ්‍යයි කියලා විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ෂයත් ඒ විශ්වාසයේ හුඟක් කල් හිටියා. එය වෙනස් කර තිබෙන බව පේනවා.

සමහරු විරුද්ධ පක්ෂයේ ඉන්නකොට විරුද්ධයි. නමුත් බලය තිබෙන කොරිඩෝවල සක්මන් කිරීමට අවස්ථාව ලැබුණු විට ඔවුන් පක්ෂයි. ඊලඟට තව සමහරු ඉන්නවා ජනාධිපති වෙන්න කැමැති අය. ඒ වගේ අය කිසි අඩුවක් නෑ අපේ රටේ. ඔවුන් වටේ ඉන්න අයත් කැමතියි තමන්ගේ නායකයා ජනාධිපති වෙනවට.

විධායක ජනාධිපතික්‍රමයේ ක්ෂමාලාපකයෝ

ඊලඟට අනිත් අය තමයි බහුතරවාදීන්. ඔවුන් විශ්වාස කරනවා බහුතර ජනවාර්ගික කණ්ඩායම රාජ්‍යය හැසිරවිය යුතුයි කියලා. රාජ්‍යය හැසිරවීමට ඔවුන්ට පුලු‍වන්කම තිබිය යුතුයි. රාජ්‍ය බලයට අනෙක් කණ්ඩායම් සම්බන්ධ කර නොගත යුතුයි කියලයි ඔවුන් සිතන්නේ. මෙය හොඳින්ම කල හැක්කේ ඍජුව පත් කරන ජනාධිපති කෙනෙකුගෙන් යැයි ඔවුන් විශ්වාස කරනවා. මේ ගැන මීට අවුරුදු 10 කටත් වැඩි කාලයකට ඉස්සෙල්ලා තිබුණ සම්මන්ත්‍රණයේදී නීතිඥ වෘත්තීයේම කෙනෙක්, පසුව ජනාධිපති නීතිඥවරයෙක් වුණු කෙනෙක්, කිව්වා What problems do the Tamils have?  ‘මොන ප්‍රශ්නද දෙමළ මිනිස්සුන්ට තියෙන්නේ’ කියලා . We go in the same bus, we share the same tea pot’‘  ‘අපි එකම බස් එකේ යන්නේ. අපි එකම තේ පෝච්චිය බෙදාගන්නේ’ කියලා . මගේ වාරය ආවාම මම කිව්වා ‘ඒක තමයි ප්‍රශ්නේ. ඔබ තේ පෝච්චිය බෙදාගන්න සූදානම්, රාජ්‍ය බලය බෙදාගන්න සූදානම් නෑ’ කියලා. ඔහු ඒකට උත්තර දුන්නේ නෑ. මේක තමයි ඔවුන්ගේ මානසිකත්වය.

ඊලඟට කුඩා ජනවාර්ගික කණ්ඩායම් වල සමහර නායකයෝ හිතනවා ජනාධිපතිවරණයකදී ඒ කුඩා ජනවාර්ගික කණ්ඩායම් වලට කේවල් කරන්න හැක කියා. නමුත් මොකක්ද අත්දැකීම? 1982 මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධනට කුඩා ජනවාර්ගික කණ්ඩායම් විශාල වශයෙන් රටපුරා සහය දැක්වුවා. එයාට දිනන්න බැරි වුනේ යාපනේ විතරයි. ඒක දිනුවේ පොන්නම්බලම්. නමුත් මඩකලපුව, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය වගේ දෙමළ මිනිසුන් සෑහෙන ප්‍රමාණයක් ඉන්න දිස්ත්‍රික්ක ජේ.ආර්. ජයවර්ධන දිනාගත්තා. නමුත් 1983 ජූලි 11 වනදා ඒ කියන්නේ කලු‍ ජූලියට සති දෙකක් ඇතුලත ලන්ඩන් වල Daily Telegraph  පත්තරේ  ඉයන් වෝඞ් එක්ක ඔහු කරපු සාකච්ඡාවේ ඔහු කියනවා. ”‍යාපනේ මිනිසුන්ගේ අදහස් පිළිබඳ මට තැකීමක් නැහැ. අපිට ඒගොල්ල ගැන හිතන්න බෑ. ඒ ගොල්ලන්ගේ ජීවිත හෝ ඔවුන්ගේ අදහස් පිළිබඳ දැන් අපට හිතන්න බෑ. අපි උතුරට පීඩනයක් කරන තරමට දකුණේ සිංහල ජනතාව සතුටු වනවා. ඇත්තටම මම දෙමල මිනිසුන්ව බඩගින්නේ තියලා මැරුවොත් සිංහල මිනිස්සු හුඟක් කැමතිවෙයි”‍ කියලා කිව්වා. ඊට පසුව 83 කලබල ආපුවම ඔහුට දින ගණනාවක් ගියා පියවර ගන්න‍. ප්‍රචණ්ඩත්වය මර්දනය කරන්න. ඒකත් වුනේ තොන්ඩමන් මහත්තයා නුවරඑළියේ ඉදන් කොලඹට ඇවිල්ලා විශාල ශබ්දයක් කලාට පස්සේ තමයි.

2015 අත්දැකීම බලන්න. 2015 සිරිසේන මහත්තයාට කුඩා ජනවාර්ගික කණ්ඩායම් විශාල වශයෙන් ඡන්දය ලබලා දුන්නා. නමුත් අන්තවාදී බලපෑම් වලට ජනාධිපති ධූරය යටවෙලා කියලා ඔවුන්ම දැන් මැසිවිලි නගනවා. ජනාධිපතිවරණයකදී කේවල් කල හැක්කේ කුඩා ජනවර්ගවල ජනයාට නෙවෙයි, නායකයින්ට පමණයි. ඔවුන්ට ඇමතිකම් බෙදාගන්න පුලු‍වන්, නොයෙකුත් වෙන වාසි ඉල්ලගන්න පුලු‍වන්. නමුත් මැතිවරණයට කලින් විතරයි .මැතිවරණයට පස්සේ බෑ. මේක තමයි අත්දැකීම.

සොඳුරු අඥාදායක මිත්‍යාව

සෝභිත හාමුදුරුවෝ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටපු කෙනෙක්, තනි පුද්ගලයෙකුට බලය නොදිය යුතුයි කියන ස්ථාවරයේ හිටපු කෙනෙක්. මා සඳහන් කරන්න කැමතියි එක ප්‍රවණතාවක් පිළිබඳව. එක්තරා පිරිසක් සැලසුම් සහගතව මතයක් ගොඩනගන්න හදනවා, අපට තදබල පාලකයෙක් අවශ්‍යයි කියලා. නැතිනම් සොඳුරු ආඥාදායකයෙක් අවශ්‍යයි කියලා. සොඳුරු ආඥාදායකයා කවදාවත් එන්නේ නෑ. මෑත ඉතිහාසය ගත්තාම පසුව ආඥාදායකයෙක් බවට පත්වුණු මුලදී සොඳුරු භාවයක් පෙන්නුම් කරපු ඝානාවේ නිකෘමා, චිලියේ පිනෝෂේ, ගඩාෆි, සදාම් හුසේන්, මුගාබේ වැනි දිග ලැයිස්තුවක් තියෙනවා. ඔවුන් විශාල ජනතා සහයෝගයක් ඇතිවයි බලයට ආවේ. හිට්ලර් පවා ජනතාවගේ ඡන්දයෙන් පත්වුණු කෙනෙක්. සමහරු තමන්ගේ රටවල් ගොඩනැගීමට උත්සාහ කලා. නමුත් කාලයක් යනකොට දූෂණය, ප්‍රචණ්ඩත්වය තුලින් ජනතාවගේ බලාපොරොත්තු සුන්නද්ධූලි කෙරුවා. මුලදී සොඳුරු භාවයක් පෙන්නුවත් කල්යත්ම නරක් වුණා. ඔවුන්ගේ අනුප්‍රාප්තිකයෝ ඊට වඩා නරක් වුණා. අකාර්යක්ෂම වුණා. එවැන්නක් ඉවත්කරන්න ජනතා නැගිටීම් හෝ සිවිල් යුද්ධ ඇතිවුණා. ලේ හැලීම් වලින් පස්සේ තමයි දිනාගන්න හැකි වුනේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් යටතේ ආණ්ඩුවේ සොඳුරු බව නැතිවන විට සාමකාමීව එය ඉවත් කල යුතු වෙනවා. එහෙත් නරක්වූ ඊනියා සොඳුරු ආඥාදායකයා ඉවත් කිරීම පහසු වන්නේ නෑ, නමට හෝ ප්‍රජාතන්ත්‍රවාදය තිබුණත්.

සමහරු උදාහරණයක් හැටියට සිංගප්පූරුව ඉදිරිපත් කරනවා. සොඳුරු ආඥාදායකත්වයක් තිබෙන රටක් හැටියට. නමුත් අමතක නොකල යුතුයි සිංගප්පූරුව කුඩා නගර රාජ්‍යයක්. අනෙක් රටවල් එක්ක සන්සන්දනය කරන්න බෑ. ඇත්තෙන්ම එහි දූෂණය ඉතාම අවමයි. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය? මේ ලඟදි තිබුණ මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයකට අනුව රටවල් 167 කින් 132 තැනට තමයි සිංගප්පූරුව ආවේ. පාලක පක්ෂය නිදහසින් පස්සේ හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කරලා තියෙනවා. දේශපාලන පක්ෂ යටපත් වුණා. විවේචනයට ඉඩක් නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේදී කොල්වින් ආර් ද සිල්වා කියපු දෙයක් තියෙනවා. ”‍ජනතාවට එරෙහිව ශක්තිමත් තනි මිනිහෙකුගෙන් ප්‍රයෝජනයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට විකල්පයක් නෑ කියලා.”‍ චර්චිල් කිව්වා ”‍වරින් වර අත් හදා බැලූ අනෙකුත් සියලු‍ම ආකාරයේ ආණ්ඩුක්‍රම ඇර නම් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය තමයි නරකම කියලා.”‍ ඒකෙන් මොකක්ද කියන්නේ. තියෙන අනික් ඒවා ඊටත් වඩා නරකයි. ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්වලකම් තියෙන්න පුලු‍වන්. අනෙක් ආණ්ඩුක්‍රමවල දුර්වලකම් එමටයි.

අන්තවාදයේ අනතුර

ඊලඟට ලංකාව අපි කැමැති වුවත් නැතත් බහුවාර්ගික සමාජයක්. ඒක තමයි යතාර්ථය. එය වෙනස් කරන්න බැහැ. එවැනි රටකට අවශ්‍ය වන්නේ බහුතරවාදී පාලන ක්‍රමයක් නෙවෙයි. සියලු‍ ජන කොටස් පාලනයට සම්බන්ධ කර ගන්නා ආණ්ඩුක්‍රමයක්. ඊට විකල්ප නෑ. අද අපි අමතක නොකල යුතුයි උතුරේ ඇතිවී තිබෙන වෙනස්කම්. පෙබරවාරි තිබූ පලාත් පාලන මැතිවරණයේදී TNA සංවිධානයට ඡන්ද ලක්ෂයක් නැතිවුණා. ඒකෙන් 50,000 ක්ම ගියේ අන්තවාදී කණ්ඩායම් වලට. අන්තවාදී කණ්ඩායම් වෙනදාට වඩා මැයි දිනය සාර්ථකවම පැවැත්වූවා. මුල්ලෙවයික්කාල් සිද්ධියේදී එය සම්පූර්ණයෙන් පාලනයට කලේ අන්තවාදී කණ්ඩායම් වල අනුග්‍රහය ලබන ශිෂ්‍යයෝ. ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට පවා එන්න දුන්නේ නෑ ඔවුන්ටත් ඉවත්ව ඉන්නට සිදුවුණා. ඒ අනතුර අපි තේරුම් ගත යුතුයි.

යෝජිත ශක්තිමත් නායකයන්ගේ නම් සදහන් වෙනවානේ. ඔවුන්ගේ වාර්තා කූමක්ද? අධිකාරීවාදය, ඥාති සංග්‍රහ, දූෂණය, සුදු වෑන්, ජාතිවාදය, 17 වන සංශෝධනයෙන් ලැබූ ජයග්‍රහණය 18 වන සංශෝධනයෙන් නිශේධ කිරීම, 2/3 ක් නැති පාර්ලිමේන්තුවක නොයෙකුත් ක්‍රම වලින් බලපෑම් කරලා නොයෙකුත් දේශපාලන අල්ලස් වලින් 2/3 ලබාගෙන වෙනස් කරපුවා. ඒවා තමයි ඔවුන්ගේ වාර්තාවන්. අද මට පෙන හැටියට අධිකාරිවාදී පාලනයක අනතුරක් තියෙනවා. ඒ බව වර්තමාන යහපාලන පාලකයන් බොහෝ දෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා කියල මම හිතන්නේ නෑ. අනතුර වැලැක්විය හැක්කේ කෙසේද ? මා හිතන්නේ ප්‍රථම වගකීම තියෙන්නේ වර්තමාන පාලකයන්ට මොකද ඔවුන් විශාල බලාපොරොත්තු ජනතාවට දීලා තමයි බලයට පත්වුණේ. ජනවාරි අට ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කොලොත් පමණයි මේක කරන්න පුළුවන්. අපි වගකීම ඉටුකළ යුතුයි කියල බල කල යුතුයි.

පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩ නඟමු!

නමුත් මොනවද නායකයෝ කරන්නේ? නැතැයි කිය කියා ජනාධිපතිවරණයට සුදානම් වීමයි සිදු කරන්නේ. අපේක්ෂකයෝ තෝරනවා, නැත්නම් එකට සුදානම් වෙනවා. දේශපාලන නායකයන් ඒක කරන්නේ නැති නම් ජනතාව නිකන් බලා නොසිටිය යුතුයි. ඔවුන් සංවිධානය විය යුතුයි. එදා සෝභිත හාමුදුරුවෝ කලාක් මෙන් පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය අද මතුවී තිබෙනවා. අද අපට සෝභිත හාමුදුරුවෝ නැ. නමුත් සෝභිත හාමුදුරුවෝ කියාදුන් දේ මතකයේ තිබෙනවා. අද අපේ යුතුකම වන්නේ, සෝභිත හාමුදුරුවන්ට කරන විශාලම ගෞරවය වන්නේ දිනාගත් ජයග්‍රහණ ආරක්ෂා කිරීමයි.

Back to Top