Sri Lanka Brief
පුවත්විවරණසැහැසි පාලකයන්ගේ වසන්තයක සිට – තිසරණී ගුණසේකර

සැහැසි පාලකයන්ගේ වසන්තයක සිට – තිසරණී ගුණසේකර

by

“ජාතිකවාදී සමාජවාදයේ (හිට්ලර් සමාජවාදයේ) ජයග්‍රහණයට පාර කපන පූර්ව-කොන්දේසි වන්නේ, ජනතාවක් නිකං සිටීමත්, කැමැත්තෙන් ඇස් වසාගෙන සිටීමත් ය”-  ෆ්‍රිට්ස් ස්ටර්න් ලියෝ බෙක් දේශනයකින්.

මේ ජුනි මාසයට, අලුත්ගම සිද්ධියෙන් සිව් වසරකි. නුවර සිද්ධියෙන් තෙමසකි. අලුත්ගම කිසි අපරාධකරුවකු නීතියට ඉදිරියට ගෙනාවේ නැත. නුවර අපරාධකරුවන් ඇතැමෙකු අත්අඩංගුවේ පසු වෙතත්, නඩු දමා නැත. නඩු නැතිවම ඔවුන්ව යථා කාලයේදී ගෙදර යැවීමට ඇති ඉඩකඩ හොඳටම වැඩි ය.

අලුත්ගමදී සහ නුවරදී සිදුවුණේ, සාමාන්‍ය අපරාධ කිහිපයක් ජාතිවාදීව සහ ආගම්වාදීව අර්ථ ගන්වා, ඒවා ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රචණ්ඩත්වයක් සඳහා අගේට පාවිච්චියට ගැනීමයි. ඒ කාර්යයේදී ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ප්‍රමුඛයෙකු විය. ඔහු අලුත්ගමදී එය නිදැල්ලේ කෙළේය. ප්‍රසිද්ධ රැස්වීමක් අමතා ලේ කුලප්පු කරන කතාවක් කොට බැතිමතුන්ව ආයුධ අතට ගන්නා තත්වයට පත්කෙළේය. නුවරදී ඔහු එය කෙළේ තරමක් සංවෘතවයි. මහපාරේ රණ්ඩුවක් උඩ මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු අතින් ඝාතනයට ලක්වූ සිංහල ලොරි රියැදුරාගේ මළගමට ඔහු ගියේය. අලුත්ගමදී මෙන්ම නුවරදීත්, අදාළ ස්ථානයට ඔහු පැමිණ පැයක් හෝ දෙකක් ඇතුළත ප්‍රචණ්ඩත්වය ඇවිලුණේය.

මේ ඥානසාර භික්ෂුව දැන් ඉන්නේ හිරේ ය. ඒ, ආගමික ප්‍රචණ්ඩත්වය ඇවිලවීම හෝ ඝාතක කෝලාහල ඇති කිරීම ගැන හෝ නොවේ. එවැනි අපරාධ සඳහා ඔහුට නඩු පැවරිය යුතු වෙතත් තවම එවැන්නක් සිදුව නැත. ඒ පැත්තෙන් ආණ්ඩුව අහක බලාගෙන ඉන්නේ සාක්ෂිවල අඩුවක් නිසා නොව, දේශපාලනික අධිෂ්ඨානයක් නැති කම නිසා ය. අලුත්ගම සිවුරුකාර චණ්ඩියාව නීතිය ඉදිරියට පැමිණවීමේ වුවමනාවක් රාජපක්ෂලාට නොවුණි. මන්ද යත්, ඔහු ඉටු කරමින් සිටියේ රාජපක්ෂලාගේ කාර්යයක් වන බැවිනි. සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව, අලුත්ගම හෝ නුවර සම්බන්ධයෙන් ඔහුට අතක් නොතියන්නේ, අන්තවාදීන් කෙරෙහි ඇති සෙවල බයට ය. සකල අන්තවාදයන් අභියෝගයට ලක්කිරීමේ පොරොන්දුව පිට මේ ආණ්ඩුව බලයට පත්කෙරුණත්, අද ඒ ආණ්ඩුවේ සීතල ප්‍රතිපත්තිය වී ඇත්තේ, පැස්බරෙකු සේ යාප්පුවෙන් යාමයි.

එබැවින් ඥානසාර භික්ෂුව දැන් වැරදිකරුවෙකු වී සිටින්නේ, සාපේක්ෂ වශයෙන් ඊට වඩා අඩු අපරාධයක් සම්බන්ධයෙනි: අතුරුදහන් කැරැවූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍ය එක්නැලිගොඩට හෝමාගම අධිකරණ පරිශ්‍රයෙන් එළියේදී බැණ වැදීම එකී වරදයි. සන්ධ්‍යාට තර්ජනය කිරීමට කලින් එදා ඔහු අධිකරණය තුළදීම, මහේස්ත්‍රාත්වරයාට බැණ වදිමින් සහ අපහාස කරමින් යකා නටා තිබුණි. එම මහේස්ත්‍රාත්වරයා මොහුට විරුද්ධව නඩුවක් පවරා ඇත. එය තවම විභාග වෙමින් පවතී.

2015 ජනවාරියෙන් පසු අත්කරගෙන ඇති ප්‍රගතිය සේම සීමාවන් ද, ඥානසාර භික්ෂුවගේ වර්තමාන තත්වය තුළින් පෙන්නුම් කරයි. රාජපක්ෂ පාලන කාලයේදී සන්ධ්‍යාට පමණක් නොව, වෙන ඕනෑම කෙනෙකුට වුව, හිතේ හැටියට බැණ වැදීමේ සහ අපහාස කිරීමේ හැකියාවක් මොහුට තිබුණි. තමාට අවශ්‍ය ඕනෑම අධිකරණයක් තුළ යකා නැටීමේ අවසරයත් ඔහුට තිබුණි. ඒවාට විපාක විඳීමේ අවදානමක් එදා තිබුණේ නැත. එම භික්ෂුව සමග අද නඩු කීමට සන්ධ්‍යාට තිබූ ධෛර්ය සහ කැපවීම මේ දුර පැමිණීමට හේතු වී ඇතත්, නඩුව ගොනු කෙළේ සහ පවත්වාගෙන ගියේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් බවත් අමතක නොකළ යුතුය. නිදහසේ අපරාධ කිරීමට කෙනෙකුට ඉඩ හැරීමේ භයානක කමත්, සීමාවන් හඳුනා ගැනීමේ ඇති වැදගත්කමත්, මාර්ටින් නියෙමොලර් පූජකවරයාගේ ලෝක ප්‍රකට කවියක් උද්ධෘතයට ගනිමින්, මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කළ දවසේ රජයේ නීතිඥවරයා උසාවිය ඉදිරියේ අවධාරණය කොට තිබුණි. නීතිපති දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන් රාජපක්ෂ කාලයේත් කටයුතු කෙළේ නම්, කහ සිවුරුකාර මැරයා තමාගේ ගිහි-පැවිදි ගුණ්ඩන් ද පිරිවරාගෙන නීතිපති දෙපාර්තමේන්තුවට කඩා පැන යකා නටා යහතින් යනු ඇත.

දේශපාලනික සහ සදාචාරමය බියගුළු භාවය, මේ ආණ්ඩුවේ ජන්ම ගතියකි. එහෙත් ඒ ආණ්ඩුව යටතේම අධිකරණයේ ස්වාධීනත්වය යළි ස්ථාපිතව ඇති අතර, ඥානසාර භික්ෂුවට එරෙහිව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී ඇත. කලින් තිබුණාට වඩා එය හොඳ තත්වයක් වෙතත්, ඒ, මේ ආණ්ඩුව පොරොන්දු වූ සහ ඒ ආණ්ඩුවෙන් අප අපේක්ෂා කළ තරමින් සොච්චමක් පමණි.

2010 දී මානසික ආබාධයකින් පෙළුණු ගැහැනියක් දූෂණය කිරීම ගැන චෝදනා ලැබ සිටි පිරිමින් දෙදෙනෙකුව නිදහස් කර යවන්නැයි, 2014 මැයි මාසයේදී එදා නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. දූෂණයට ලක්වූ ගැහැනිය අනතුරුව දරුවෙකු බිහි කොට සිටි බැවින්, ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කරන ලෙස මේ වන විට අධිකරණය නියෝග කොට තිබුණි. එම පරීක්ෂණයේ ප්‍රතිඵලය වුණේ, සැකකරුවන් දෙන්නාගෙන් එක් අයෙකු දරුවාගේ පියා බවට සනාථ වීමයි. සුසන්ත විජිත බණ්ඩාර සහ ධර්මසිරි බණ්ඩාර යන මේ සැකකරුවන් දෙන්නාව නිදහස් කර යවන්නැයි එදා නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එවැනි තත්වයක් යටතේ ය.

මේ පුද්ගලයන් රට්ටු දැන හඳුනන අයවළුන් නොවේ. එසේ වෙතත්, බල කේන්ද්‍රයේ ඉහළම තැනක අනුග්‍රහයක් ඔවුන්ට තිබුණා විය යුතුය. නොඑසේව, සකල යුක්ති ධර්මයට පටහැනිව නීතිපතිවරයෙකු කෙසේ නම් එවැනි නිර්දේශයක් කරන්නද? පැහැදිළිවම ඔහු එසේ කරන්ට ඇත්තේ ඔහුගේ හාම්පුතුන් දුන් නියෝගයක් ප්‍රකාරව විය යුතුය. ඔහුගේ හාම්පුතුන් වුයේ කවුද? පොදුවේ ගත් විට රාජපක්ෂලාත්, විශේෂයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂත් ය. (2010 දී මහින්ද රාජපක්ෂ මේ නීතිපති දෙපාර්තමේන්තුව තමන්ගේ යටතට ගෙන තිබුණි). දේශපාලනික නොවන මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන්, වින්දිත කාන්තාව මානසික ආබාධයකින් පෙළුණු තත්වයක් තුළ සෑම ආකාරයකම අනුකම්පාව සහ අනුග්‍රහය ලැබිය යුතුව තිබූ සිද්ධියක් සම්බන්ධයෙන්, යුක්ති ධාර්මික ක්‍රියාවලිය තුළ සිදුවූ ඒ සහගහන සාපරාධය, රාජපක්ෂ පාලනය තුළ නීතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණයත් වැටී සිටි අඩිය පෙන්නුම් කරන අගනා දර්ශකයකි. සිරිසේන-වික්‍රමසිංහ වර්තමාන තන්ත්‍රයේ සමාව දිය නොහැකි අදක්ෂ කමටත්, අපචාරයටත් ස්තුතිවන්ත වන්නට, මේ මොහොතේ ශ්‍රී ලංකාව යොමු වෙමින් සිටින්නේත් ඒ අතීතය දෙසටම ය.

අවසිහියේ ගතිපුරුදු

ගරු ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ, මුස්ලිම්-විරෝධී හිංසනයට එරෙහිව කතා කළ අල්පයක් වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් කෙනෙකි. ඉතා මෑතකදී ඒ හිමියෝ, තවත් මෙවැනිම ‘අත පිච්චෙන’ මාතෘකාවක් ගැන, බුදුන් රජාණන් වහන්සේගේ දේශනාවක් ඇසුරෙන් කරුණු කියාපෑහ. ඒ, ඊලාම් යුද්ධයේ නිමාව සැමරිය යුත්තේ කෙසේද කියා ය. ‘යුද ජයග්‍රහණයක් ගැන බුදුන් වහන්සේගේ දේශනාව වන්නේ කුමක් ද?’ යන ප්‍රශ්නය මතු කරමින් උන්වහන්සේ, ධම්මපදයේ සුක්ඛ වග්ගයෙන් ගාථාවක් ගෙනහැර දැක්වූහ. එහි අරුත වන්නේ: “ජයග්‍රහණය, පරාජිතයා තුළ ක්‍රෝධය අවුලුවයි. පරාජිතයා ඉන්නේ ශෝකයෙනි. ජයග්‍රහණය සහ පරාජය යන දෙකම අත්හල සංසිඳුණු තැනැත්තේ, සාමයෙන් කල් ගෙවයි.”

යුද්ධයෙන් පසු ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය මේ තනි ගාථාව මත පදනම් කළ හැකිව තිබුණි. ඒ ඔස්සේ සංහිඳියාව කරා දිග ගමනක් ගිය හැකිව තිබුණි. එහෙත් ඒ වෙනුවට ලංකාව කෙළේ එහි අනිත් පැත්තයි: ජයග්‍රාහී මානසිකත්වයකින් පිම්ඹී, පරාජිතයාට සෑම නිගාවක්ම දුන්නේය. සංහිඳියාවට වඩා, යටත් කර ගැනීම අපේක්ෂිත එල්ලය විය.

මේ සැහැසි ජයග්‍රාහකත්වය, රාජපක්ෂලාගේ පුනරාගමනයක් සඳහා තීරණාත්මක සාධකයක් වනු ඇත. විශේෂයෙන්, ශ්‍රී ලංකාපොදුජන පෙරමුණේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ වන්නේ නම්, එය තවත් ප්‍රයෝජයනට ගැනෙනු ඇත. ‘ලංකාදීප’ පත්තරේ වාර්තාවකට අනුව, දැනටමත් ඔහු හිටපු සොල්දාදුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් ‘රණවිරු සංසදයක්’ ගොඩනගා තිබේ. සංහිඳියාව වෙනුවෙන් මේ ආණ්ඩුව ගෙන ඇති සෑම සොච්චම් පියවරක්ම, ගෝඨාභය ජනාධිපතිවරයෙකු යටතේ, අතහැර දැමෙනු ඇත. මේ ගෝඨාභය මුස්ලිම්වරුන් සමග දැන් ඉඳහිට කන ඉෆ්තාර් පාතරාසයක් හෝ පවත්වන නල්ලූර් පූජාවන් කෙසේ වෙතත්, එදාට ශ්‍රී ලංකාවේ නිල ප්‍රතිපත්තිය සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය බවට පත්වෙනු ඇති අතර, පාලකයාට සතුරෙකු ඕනෑ වන හැම විටකම, කවුරු හෝ සුළු ජන කොටසක් ඉලක්ක කර ගැනීමටත් වගබලා ගැනෙනු ඇත.

අතීතයක් අනාගතය වීමට ඉරණම් කෙටී ඇති අවස්ථාවක, මතකය යන්න විශාල වැදගත්කමක් දරයි. අලුත්ගම සිද්ධියත් සමගම ජනාධිපති මහින්ද රාජපක්ෂ කෝපාවිෂ්ට විය. ඒ, අලුත්ගම මුස්ලිම් ජාතිකයන්ට රුදුරු ප්‍රහාරයක් එල්ල වීම ගැන නොවේ. එය ඔහු ඉවතලෑවේ, ‘මේ.. පුංචි සිද්ධියක්/’ වශයෙනි. ඔහුගේ කෝපය ඇවිළුණේ, අලුත්ගම සිද්ධියට එරෙහිව මුස්ලිම් ජාතිකයන් සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වූ අවස්ථාවේ ය. එහිදී ඔහු කීවේ මෙවැන්නකි: “යුද්දේ තිබිච්ච වෙලාවේ එල්.ටී.ටී.ඊ. කාරයෝ ජාතියක් ජම්මයක් නැතුව මිනිස්සු මැරුවා. එදා මොන හර්තාලයක්වත් කරපු නැති මිනිස්සු දැන් ඒවා පටන් අරං. අන්තිම පුංචි දේවල්වලටත් දැන් මහ ලොකු හර්තාල් කරනවා.”

අලුත්ගම සිද්ධියට අදාළ බොදුබල සේනාවේ සම්බන්ධය ගැන විමසූ අවස්ථාවේ ගෝඨාභය කෙළේ, ඉස්ලාම් ත්‍රස්තවාදය මත වරද පැටවීමයි. “කොතලාවල ආරක්ෂක ඇකඩමියේ මං මේ ළඟදී කරපු කතාවක් තමුන්නාන්සේලා ඇහැව්වා නං, ඒකෙදී මේ රටට එල්ල විය හැකි තර්ජන ගැන මං කතා කරලා තියෙන බව දැනගන්න පුළුවන්. ඒ එක තර්ජනයක් තමයි, ඉස්ලාම් ත්‍රස්තවාදය. එහෙම දෙයක් වෙන්න තියෙන ඉඩකඩ ගැන මං කතා කළා. ඒ වෙලාවේ පවා හුඟාක් මුස්ලිම් දේශපාලඥයෝ, මං කියපු දේ තේරුම් ගන්නේ නැතුව, පවතින තත්වයන් තේරුම් ගන්නේ නැතුව, මට වැරදි කියන්න බැලුවා.”

බලයේ සිටි කාලයේ සුළුතර ප්‍රජාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන රාජපක්ෂලා දැරුවේ එවැනි අදහසකි. නැවත බලයට පත්වුණොත්, ඒ සම්බන්ධයෙන් ඔවුන් නැවත අනුගමනය කරනු ඇත්තේ ද ඒ ප්‍රතිපත්තියමයි.

රාජපක්ෂලා යළි බලයට පත්වීමේ වැඩපිළිවෙල තුළ පාවිච්චියට ගැනෙන තවත් අලංකාරිකයක් වන්නේ ‘රණ විරුවන්’ ය. රාජපක්ෂලාගේ කාලයේ මේ ‘රණ විරු’ වර්ණනාව අස්සේම, සැබෑ සොල්දාදුවන් නොතකා හැරීම සහ ඔවුන්ට පාච්චල් කිරීමත් දක්නට ලැබුණි. එදා දේශපාලඥයන් වේදිකාවේ සිට ඔවුන්ගේ ගුණ වයන අතරේ සැබෑ සොල්දාදුවෝ පාරවල් අතුගෑහ. වල් පැලෑටි සුද්ද කළහ. උද්‍යාන පිරිසුදු කළහ.

වැලිවේරියට සහ සුදු කොඩි සිද්ධියට කුප්‍රකට නමක් ඇති බි්‍රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනට තානාපති නිලධාරී තනතුරකින් පුදනු ලැබීය. එවැනි පුද්ගලයෙකුට තානාපති නිලධාරී තනතුරක් දුන්නේ කෙසේදැ යි ප්‍රශ්න කළ අවස්ථාවේ, යුද්ධ කාලය තුළ ඔහුගේ සේවාව අගයමින් එසේ කළ බව හමුදා ප්‍රකාශවරයා කීය. එහෙත් එම ආණ්ඩුව මේ කාලය තුළම, ආබාධිත සෙබළුන්ගේ වැටුප් නතර කිරීමට තීරණය කෙළේය. ඔවුන් ආබාධිත තත්වයට පත්ව සිටියේ එකී යුද්ධය තුළදීම බව එහිදී සැලකිල්ලට නොගැනුණි. මොවුන්ගේ වැටුප් නතර කිරීමේ තීරණය ගත්තේ, ආරක්ෂක අමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවති ආයතනයකින් බව මෙහිදී මතක තබා ගත යුතුය. අවසානයේදී, 6000 ක් වන ආබාධිත සෙබළුන් වෙනුවෙන් තවත් ආබාධිත සෙබළුන් 292 ක් මේ අසාධාරණයට විරුද්ධව අභියාචනාධිකරණයට ගියහ. හමුදා රෙගුලාසිවලට අනුව, ඔවුන් විශ්‍රාම යන තෙක් තමන්ගේ වැටුප ලැබීමට අයිතියක් ඒ සොල්දාදුවන්ට තිබුණි.

රටේ සුළුතර ප්‍රජාවන් සම්බන්ධයෙන් මෙන්ම බහුතර ප්‍රජාව කෙරෙහිත් රාජපක්ෂලා ක්‍රියාවෙන් පෙන්නුම් කෙළේ එවැනි චර්යාවකි. බිහිසුණු අතීතයක් යම් රටක අනාගතයත් වීමට කෙටී ඇති අවස්ථාවක, මතක නැති වීම රෝගයක් පමණක් නොව, අපරාධයක් ද වන්නේය.

කළ සහ නොකළ දේවල්වල සෙවනැලි

දේශපාලන-සදාචාරමය බියගුළුකම, සිරිසේන-වික්‍රමසිංහ ජාන සංයුතියේම අන්තර්ගත වන්නකි. මේ ආණ්ඩුව බය වෙන එකම මැරයා ඥානසාර භික්ෂුව නොවේ. මූලධර්මවාදී මුස්ලිම් පූජකවරුන්ගේ බලපෑමටත් මේ ආණ්ඩුව යට විය. දැනට පවතින මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතේ ඉතා නරක අංග, විශේෂයෙන් බාල වයස්කාර දැරියන්ව විවාහ කරවීම වැනි දේවල් සංශෝධනය කිරීමට ආණ්ඩුව ගත් ප්‍රයත්නය මුස්ලිම් පූජකවරුන්ගේ බලපෑම ඉදිරියේ හකුලා ගැනුණි. දූෂණයට ලක්වීමේ හේතුවෙන් හෝ ව්‍යභිචාරී (ලේ නෑ) සම්බන්ධතාවක් නිසා හෝ ඇති වන ගැබ් ගැනීමක් හෝ මවගේ ජීවිතය අනතුරේ හෙලන ගැබ් ගැනීමක් ගබ්සා කිරීමට අවසර දීමේ යෝජිත නීති සංශෝධනයත් බෞද්ධ භික්ෂූන්ගේ සහ කතෝලික පූජකවරුන්ගේ විරෝධතාව ඉදිරියේ ආණ්ඩුව හකුලා ගත්තේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චණ්ඩි පාට් දාන හැම විටෙකම මේ ආණ්ඩුව දෙකට තුනට නැමෙන්නේය. තිරසාර විශ්වාසයක් සඳහා තිබිය යුතු ධෛර්ය ආණ්ඩුවට නැත. මන්ද යත්, තිරසාර විශ්වාසයක් කියා දෙයක් ආණ්ඩුවට නැති බැවිනි.

මේ ආණ්ඩුවේ පදනම සමන්විත වන්නේ, අන්තවාදීන්ගෙන් වෙනුවට, දේශපාලනික/ආගමික මධ්‍යස්ථවාදීන්ගෙනි. දක්ෂිණාංශිකයන්ගෙන් වෙනුවට, සමාජ ලිබරල්වාදීන්ගෙනි. අන්තවාදීන්ගේ උපාමාරුවලට ආණ්ඩුව යට වන විට සිදුවන්නේ, ආණ්ඩුව විසින්ම තමන්ගේ සැබෑ පදනමේ වළ කපා ගැනීමයි. මධ්‍යස්ථ මිනිසුන් මේ ආණ්ඩුවෙන් සහ එහි දේශපාලනයෙන් ඈත් වන තරමට, රාජපක්ෂලාගේ ඓන්ද්‍රීය නායකත්වය යටතේ අලුත් අන්තවාදී රැල්ලකට තවත් ඉඩහසර විවර කෙරේ.

“දොරවල් වසාගෙන තනියෙන් සතුට විඳින පවුල්වලට මම ද්වේෂ කරමි” යැයි, සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී ආන්ද්‍රේ ජීද් කළ ප්‍රකාශය, තුන්වැනි ලෝකයේ සෑම ජනපති මැදුරකම රාමු කොට එල්ලා තැබිය යුතු සටන් පාඨයකැ යි, ප්‍රංශ ඉතිහාසඥ ජොන් ලකුතූර් ලියා ඇත. ශ්‍රී ලංකාවේත්, ඉස්සරටත් වඩා දැන් එය අවශ්‍ය කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ තරගයට පැමිණියොත් එසේ වන්නේ රාජපක්ෂ සමාගමේ නියෝජිතයෙකු වශයෙනි. ඔහු එයින් ජය ලැබුවොත් එසේ වන්නේ මහින්ද රාජපක්ෂගේ පූර්ණ සහාය යටතේ ය. මෙය, යහපත් මහින්ද කෙනෙකු සහ අයහපත් ගෝඨාභය කෙනෙකු පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මේ වනාහී පවුල් ව්‍යාපෘතියකි. පවුලේ මොන ප්‍රශ්න තිබුණත්, අවසානයේදි රාජපක්ෂ පවුල බලනු ඇත්තේ, තම පවුල බලයට පත් කිරීම සඳහා වැඩිම හැකියාවක් තිබෙන තැනැත්තා ගැන ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රාජපක්ෂ යුගය තුළ, බණ්ඩාරනායක පක්ෂයක සිට රාජපක්ෂ පක්ෂයක් බවට රූපාන්තරණය වී ඇති බවක් පෙනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද පදනමක් කියා දෙයක් තවදුරටත් නැත. තිබෙන්නේ, රාජපක්ෂ ඡන්ද පදනමකි. මැතිවරණ ප්‍රතිඵල සංඛ්‍යා ලේඛන අනුව බැලූ විට, මේ ප්‍රමාණය සියයට 38-43 අතර ප්‍රමාණයක් විය හැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උපන්නේත්, වැඩි කාලයක් පැවතියේත්, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී, සමාජයීය වශයෙන් ගතානුගතික පක්ෂයක් වශයෙනි. චන්ද්‍රිකාගේ කාලයේ එහි වෙනසක් නොවුණි. ඇත්තෙන්ම ඇගේ නායකත්වය ඉහත කී සන්දර්භය තුළ විෂමතාවක් විය. පක්ෂයේ පදනම, පක්ෂ නායකත්වයත් සමග එකට ගමන් කළත්, එය සැදුම්ලත් මූලික විශ්වාස පද්ධතියේ කිසි වෙනසක් සිදුවුණේ නැත. මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ, ඒ පදනම් විශ්වාසයන්ට සපුරා ගැලපෙන, ඔවුන්ගේ ආශාවන් සහ භීතිකාවන්ට ආදරයෙන් වැළඳ ගත හැකි නායකයෙකු ඔවුන්ට හමු විය.

මෛත්‍රීපාල සිරිසේනට ලැබුණේ නිල පක්ෂය මිස පක්ෂ පදනම නොවේ. ජනාධිපතිවරණ ජයග්‍රහණය ලත් සැණින් එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නූතන සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වශයෙන් ඔහුට ගොඩනැගිය හැකිව තිබුණි. එහෙත් ඔහු ඊට උර දුන්නේ නැත. එවැනි වෙනසක් කර ගත හැකිව තිබූ කාලය පැමිණ, ආපසු ගොස් තිබේ. හතර වටේට පහර දීමෙන් තමන් වෙතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනා ගත හැකි වෙතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිතනවා ඇති. එහෙත් එය මිරිඟුවක්ම වනු ඇත. ඔහුගේ විගඩම්වලින් ඔහු නැති කර ගනු ඇත්තේ ඔහුගේම නාමයයි. ඊට අමතරව, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයත්, සමහර විට ඒ මගින් මාරක අනතුරට හෙලනු ඇති.

අප ජීවත් වන්නේ ප්‍රජා පීඩකයන්ගේ වස්සානයකයි. බලාධිකාරීවාදය නැවතත් මෝස්තරයක් වෙමින් ඇති තත්වයක් තුළ ලෝකය ඒ දෙසට ආකර්ශනය වෙනු පෙනෙන්ට තිබේ. මේ ප්‍රවණතාව හටගෙන ඇත්තේ, මූලික ජීවන තත්වයන්ට අදාළ ප්‍රශ්නවලට සාර්ථකව පිළියම් යෙදීමට ප්‍රජාතන්ත්‍රවාදය අසමත් වීම හේතුවෙනි. අවසාන විග්‍රහයේදී, ප්‍රජාතන්ත්‍රවාදය යනු, ඉලක්කම් පිළිබඳ සෙල්ලමකි. රටක් ආර්ථික තෝන්තුමාන්තුවට පත්ව ඇති අවස්ථාවක ඡන්දායකයන්ගේ අධම ආවේශයන්ට සරිලන සේ හැසිරෙන අපේක්ෂකයන්ට ජයග්‍රහණය කිරීමේ වැඩි ඉඩකඩක් ලැබෙන්නේ එබැවිනි. පිළිතුර වන්නේ, තව තවත් ජනතාව ඒ ප්‍රජාපීඩකයන්ගේ තුරුලට තල්ලු කිරීම නොව, ජනතාවගේ ජීවන තත්වයන් වර්ධනය කිරීමෙහි ලා දැන් දැන්ම හැකි සෑම දෙයක්ම කිරීමයි. ඒ සඳහා වන සංයුක්ත පියවර ගැනීමෙන්, යහපත් හෙටක් සඳහා වන අපේක්ෂා දැල්වීමයි.

(2018 ජුනි 17 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ In the Spring Time of Tyrants නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

 

Back to Top