Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගසන්ධ්‍යා එක්නැළිගොඩ සමඟ හිට ගනිමු – නදී කම්මැල්ලවීර

සන්ධ්‍යා එක්නැළිගොඩ සමඟ හිට ගනිමු – නදී කම්මැල්ලවීර

by

ජායාරූපය: ප්්‍රගීත්ට යුක්තිය සොයා යන ගමනේදී සන්ධ්‍යා ලංඩන්හි ක්ෂමා සංවිධානයේ කාර්යාලයේදී. (©s.deshapriya, Nov 2013)

මේ දිනවල ඇතැමුන්ගේ ප්‍රධානම හැතිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියයි. ඒ, ප්‍රසිද්ධ ස්ථානවලදී කහ සිවුරක් අදින බැවින්, බොහෝ අය විසින් විචාරයකින් තොරව හාමුදුරුනමක් යයි හගින, නිරන්තරයෙන්ම ප්‍රචණ්ඩ මැරයෙකු ලෙස හැසිරෙන පුද්ගලයෙකු, තමාට උසාවි භූමියේදී තර්ජනය කළ බවට චෝදනා කරමින් ඇය පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමගයි. ඒ නඩුවෙන් ඇය දිනා ඇත. නඩුව විමසූ විනිසුරුවරයා රටේ ව්‍යවස්ථාපිත නීතිය සහ නීතිය යුක්තිසහගතව පසිදලීම පිළිබදව මේ රටේ අහිංසක පුරවැසියන්ට තවමත් අංශුමාත්‍රයක හෝ බලාපෙරොත්තුවක් තබා ගත හැකි බව නිර්භීතව සහ වෘත්තීයමය සුපිළිපන්නභාවයෙන් යුතුව පෙන්වා ඇත.

සන්ධ්‍යා එක්නැළිගොඩට, උසාවියෙන් වරදකරු වී සිර දඩුවමට පාත්‍ර වූ මේ සිවුරු ඇදි පිරිමි පුරවැසියා කුණුහරුපයෙන් බැණ මරණ තර්ජනය කරන්නේ, මීට වසර ගණනාවකට පෙර බලහත්කාරයෙන් අතුරුදහන් කරවන ලද තම ස්වාමි පුරුෂයා සොයා දෙන ලෙස ඇය පවරා තිබූ නඩුවට සහභාගි වෙමින් සිටියදීයි. අතිශයින් කෲර ලෙස ජීවිත්වීමේ අයිතිය අහිමි කරවනු ලැබූ තම ස්වාමිපුරුෂයා වෙනුවෙන්, ජීවතුත් අතර සිටින සිහිකල්පනාව ඇති ඕනෑම ගැහැණියක විසින් කරනු ඇතැයි අපට සිතිය හැකි දේ, එකම් නීතියෙන් සාධාරණය ඉල්ලා සිටීම ඇය ද දීර්ඝ කාලයක පටන් කරමින් සිටින්නීය. බොහෝ අසරණ ගැහැණුන්, ඒ පීඩාකාරී සටනේ අතරමගදී තවත් උහුලාගත නොහැකිව පසුබට වී නිහඩ වෙද්දී, සන්ධ්‍යා, අසහාය ධෛර්යයකින් යුතුව කෙසේ හෝ දිගටම අල්ලාගෙන සිටියාය.

තුච්ච කුණුහරුපයෙන් බැණ, ‘තෝව මරනවා බැල්ලි’ යැයි චීවරධාරි පුද්ගලයෙක් ඝර්ජනා කරන්නේ, අතුරුදහන් වූ සිය ස්වාමිපුරුෂයා කොහේදැයි දිගින් දිගටම උසාවි ගානේ යමින් ඇසූ ගැහැණියකටය. හදිසියේම සිය පියා අහිමි වීමෙන් මානසික කම්පනයටත්, ආර්ථික වශයෙන් අනාථභාවයටත් පත්ව පිය සෙනහසත් රැකවරණයත් අහිමි වූ පුතුන් දෙනෙනෙකුගේ මවකටය.

අතුරුදහන් වූ සැමියා සහ තමන්ගේ දරු දෙදෙනාගේ පියා සෙවීම, ඔහු වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීම වරදක්, දේශද්‍රෝහී කමක්, බලු කමක්, පාවාදීමක්, වේසකමක් වන්නේ කෙසේ දැයි මනුෂ්‍ය හදවත් ඇති ඕනෑම කෙනෙක් සන්ධ්‍යාට ගල් මුල් එල්ල කරන අයගෙන් සහ ඥානසාර හිමිගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි. සන්ධ්‍යාගේ අතුරුදහන් කරවූ සැමියා, ප්‍රගීත් එක්නැළිගොඩයි. ඔහු එක්තරා කාලයක එකල පැවති රෙජීමයට තර්ජනයක් වූ, එකල පැවති යුද්ධයේදී ලංකාවේ ආණ්ඩුව සහ හමුදාව අතින් මූලික මානව හිමිකම් උල්ලංඝණය වූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ මාධ්‍ය වේදියෙකු බව කියවේ. ප්‍රගීත් එක්නැළිගොඩගේ මාධ්‍ය භාවිතාව කවරාකාර වීද යන්න මා දන්නේ නැත. අවංකව කියන්නේ නම් ප්‍රගීත් එක්නැළිගොඩ ලියූ ලිපියක්වත් මා කියවා ඇති බවක් මට මතක නැත. සන්ධ්‍යා එක්නැළිගොඩ නැමැති ගැහැණිය, මා හදුනාගන්නේ, ප්‍රගීත් එක්නැළිගොඩගේ ඉතිහාසය තුළින් නොවේ. කුමන හෝ ක්‍රියාකාරිත්වයක් නිසා පාලකයන්ගේ සහ අන්තවාදීන්ගේ උදහසට ලක්ව, ඒ නිසාම බලහත්කාර අතුරුදහන් කිරීමකට ගොදුරු වූ තම සැමියා කොහේ දැයි අසමින් උත්තරයක් ලැබෙන තුරු පොලීසිය, නීතිඥයින්, දේශපාලනඥයින්, සිවිල් ක්‍රියාකාරිකයින්, මානව හිමිකම් සංවිධානවල ලොක්කන්, මතු නොව දෙවි දේවතාවුන් වැඩ සිටිනවා යැයි කියන තැන්වලට පවා යමින් සිටින මහමෙරක් පිරිපත උසුලන මවක, ගැහැණියක හැටියටයි. සමාජයට තමාගේ හඩ නෑසුන සේ ඉදින්නට බැරි තරමටම ඇය උගුර ලේ රහ වන තුරු කෑ ගැසුවාය. පාරවල් ගානේ, කට්ට අව්වේ පිච්චෙමින්, දරුවන්ද ළග තියාගෙන තමන්ගේ අවනඩුව කියා සිටියාය. ඇගේ අනවරත අරගලය නිසාම, විදේශීය මාධ්‍ය, ජාත්‍යන්තර සංවිධානවල පවා අවධානයක් ඇගේ හුදකලා සටන වෙත යොමු විය. මට සන්ධ්‍යා වෙනුවෙන් කතා කරන්නට ප්‍රගීත් එක්නැළිගොඩගේ මාධ්‍ය භාවිතාව සමග මා එකග වන්නේද නැද්ද යන්න අදාළ වන්නේ නැත. ඔහු රටේ නීතියට එරෙහිව, මහජන ආරක්ෂාවට එරෙහිව කටයුතු කළා යැයි යමෙක් විශ්වාස කරානම්, කළ යුතුව තිබුණේ ඔහුට විරුද්ධව නීත්‍යනුකූලව පියවර ගැනීමයි. තමන් විශ්වාස කරන අදහස්, මත ප්‍රකාශ කරන්නට, පුරවැසියන්ට අයිතියක් ඇති බවත්, කිසිවෙකුත් ඒ වෙනුවෙන් ඝාතනයට අතුරැදහන් කරවීමට ලක් නොවිය යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව, බුදුදහම අදහන ඕනෑම ශිෂ්ට සම්පන්න මිනිසෙකු වුව විශ්වාස කරනු ඇත.

අතුරුදහන් කරවීම යනු මනුෂ්‍යත්වයේ දරුණුතම සාපය බව වරක් කවුරුන් හෝ ප්‍රකාශ කරනවා මා අසා ඇත. තම පවුලේ කිසිවෙකු කිසිදාක අතුරුදහන් වී නැති අයෙකුට ඒ ඛේදවාචකය යන්තමින් හෝ අවබෝධ කරගන්නට නම්, ඒ අති දරුණු වේදනාව අත්විදින කෙනෙකු හා සහානුකම්පිත වීමට හැකිවිය යුතුයි. 88 , 89 කාලයේ දකුණේ භිෂණ සමයේදී දහස් ගණන් සිංහල තරුණයින් රජයේ හමුදා මර්දන යාන්තුණය විසින් අතුරුදහන් කරවනු ලැබුවා. උතුරේදී අතුරුදහන් කරවූ මනුෂ්‍යජීවිත ගණන කොහේවත් ගණන් තබන්නට නැතිය. පසුගිය කාලයේ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය විවේචනය කළවුන් මෙන්ම කප්පම් ගැනීමට කියා බලෙන් පැහැර ගෙන ගොස් මරා දැමු අයද වූහ. ඒ සෑම මවක් පියෙක්ම, බිරිදක්ම, අතුරුදහන් වූ තම දරුවන්,සැමියන්, සහෝදරයන්, සොයමින්, මිනී වළවල් හාරන තැන්වලද, උසාවිවලද, හමුදා කදවුරු වලද, මානව හිමිකම් සංවිධානවලද, අවුරුදු ගණන් රස්තියාදු වෙමින් දුක්විදිමින් සිටින සමාජයකි මේ. ඒ ඇතැම් අය තම දරුවන් ගැන කිසිදු හෝඩුවාවක් නොලබාම වියපත්ව හෝ රෝගීව මිය යති.

සන්ධ්‍යා එක්නැළිගොඩ බොහෝ අයට පෙනෙන්නේ අරගල කාරියක් හැටියටයි. පාරක, උද්ඝෝෂණයක, රූපවාහීනි ප්‍රවෘත්ති අතුරතුර වොයිස් කට් එකක දකින සන්ධ්‍යා හදිසියේ සැමියා අහිමි වීමෙන්, මහා ජීවන අරගලයකට මැදිවූ ගැහැණියක් ලෙස දකින්නටත් අපට හැකි විය යුතුයි. සැමියා අතුරුදහන් වන කාලයේ ඇගේ දෙවෙනි දරුවා කුඩා දරුවෙකි. දරුවන් දෙදෙනාම විශාල මානසික කම්පනයකට ගොදුරු වූ බව අප අසා ඇත. මොහොතකට ඔබ ඒ දරුවන්ගේ තනිවූ අම්මා ලෙස තමන් ගැන සිතා බලන්න. එසේම, සැමියා විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියාවක් කළ අයෙක් නොවන බැවින්, ඇය එකවරටම විශාල ආර්ථික අඝාධයකටද ඇද වැටෙන්නට ඇත. ඇය කාලයක් බත් පැකට් කර විකුණා දරුවන් පෝෂණය කළ බව මා අසා තිබෙනවා. (දැනුත් ඇය එය කරනවා වෙන්නට පුළුවන) කටට ආවාට ලේසියට කියන ‘ඩොලර්’ ඇයට ලැබී නැති බව ඇය හෝ ඇගේ දරුවන්ව දන්නා අය දන්නවා ඇති. තම සැමියා සොයන සටනේ අනවරතව නැයැලී සිටි ඇයට එල්ල වූ තර්ජන, අඩන්තේට්ටම්, අවමාන ගැරහුම් වල නිමාවක් නැත. ඇය ඒ සියල්ල කෙසේ හෝ විද දරාගෙන අද වන තුරුම යුත්තිය වෙනුවෙන් සටන් කරන්නීය. මට නම් සන්ධ්‍යා යනු ස්ත්‍රීත්වයේ අසීමිත ශක්තියක් ප්‍රකට කළ, දිරිමත් ගැහැණියකි. සැමියා නැතිවූ විට ගැහැණියකට අත්විදින්නට වන සියලු සංකීර්ණ තත්ත්වයන්ටත්, උහුලාගත නොහැකි දුක් කන්දකටත් ඇය යට වෙන්නට ඇති. තම සැමියාට වුණේ මොකක්දැයි දන්නේ නැතිව, ඔහු කොහේ හෝ දුක් විදින්නේදැයි සිතමින්, ඔහුව මරා දැම්මානම් ඒ අපරාධකරුවන් කවුරුන්දැයි සොයමින්, ඒ අපරාධකරුවන්ට දඩුවම් කරන්නැයි ඉල්ලමින් ඇය මේ ගෙවන කාලය, මිනිස් හදවතකට පහසුවෙන් උහුලාගත හැකි එකක් නොවේ. ඇයට ‘පට්ට වේසි’, බැල්ලි, පාහරී, වැනි වචන වලින් බැන වදින ෆේස් බුක් වීරයන්, සන්ධ්‍යා යනු තමන්ගේ අම්මා, අක්කා, දියණිය, ඥාති සහෝදරිය නම් මීට වඩා වෙනස් ප්‍රතිචාරයක් දක්වාවිද?

ප්‍රගීත් එක්නැළීගොඩව අතුරුදහන් කරවූ අපරාධකරුවන් සේම, නඩුවට සහභාගි වී එමින් සිටි සන්ධ්‍යාට උසාවියේදී මරණ තර්ජනය කළ ඥානසාර හාමුදුරුවන්ද, රටේ නීතිය උල්ලංඝණය කළ, වැරදි කරුවන්ය. ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය ඉටු වන බවක් පෙනෙන්නට නැති නමුත්, සන්ධ්‍යාට එක් අවස්ථාවකදී හෝ නීතිය හමුවේ යුක්තිය ඉටු වීම නීතියේ ආධිපත්‍යයේ ජයග්‍රහණයකි. සිවුරු දාගත් පළියට තමන්ට රිසි රිසි පරිදි හැසිරෙමින්, නීතිය බල්ලට දමා වැඩ කරන්නට කාටවත් බැරි බව එත් වතාවකදී හෝ ඔප්පු වීම පණ අදිමින් සිටින දේශයට දිය පොදක් වැටීමක් බදුය. අප රට අද වන විට මේ සා පිරිහුණු පල් ගොහොරුවක් බවට පත් වී ඇත්තේ, නීතියක් කියා දෙයක් ක්‍රියාත්මක නොවන නිසාය. නීතිය සාධාරණව පසිදලන විනිසුරන් හෝ එවැනි විනිසුරන් ආරක්ෂා කරන පාලන යාන්ත්‍රණයක් හෝ නැති නිසාය. අපේ රටවල අය ජිවිත පරදුවට තබා දිරච්ච බෝට්ටු ලෑල්ලක හෝ නැගී පලා යන්නට උත්සහ කරන දියුණු රටවල සමාජයන් මිනිස් අයිතීන් සුරකින ශිෂ්ට සම්පන්න, සාමකාමී සමාජ බවට පත් වී ඇත්තේ වෙන මැජික් එකක් නිසා නොව, නීතිය සියල්ලන්ටම වඩා ඉහළින් සිටින නිසාය. ඒ නීතිය නිවැරදිව, ආචාරධාර්මිකව, යුක්ති සහගතව පසිදලන විනිසුරුවන් සිටින නිසාය.

සන්ධ්‍යා දිරිය ගැහැණියට ආචාරය!
නීතිය සුරකින විනිසුරන්ට ප්‍රණාමය!
අතුරුදහන් වූ තම දරුවන්, සැමියන්, බිරින්දන්, පියවරුන්, මවුවරුන්, සොහොයුරන් සොයන, ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට ධෛර්යය!

(නදී කම්මැල්ලවීර මුහුණූ පොතිනි.)

Back to Top