Sri Lanka Brief
පුවත්විවරණව්‍යවස්ථා සම්පාදනය ව්‍යර්ථ කිරීම සඳහා ගෙනෙන එල්.ටී.ටී.ඊ. බිල්ලා – එම්. එස්. එම්. අයුබ්

ව්‍යවස්ථා සම්පාදනය ව්‍යර්ථ කිරීම සඳහා ගෙනෙන එල්.ටී.ටී.ඊ. බිල්ලා – එම්. එස්. එම්. අයුබ්

by

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට බෙදුම්වාදී යුද්ධය උත්සන්නව පැවති කාලයේ රට දෙවනත් කළ පිරිස්, දැන් එසේ කළොත් රට බෙදෙනු ඇතැයි කියමින් එය අහෝසි කිරීමට විරුද්ධව පෙනී සිටීම එක්තරා ආකාරයක ප්‍රහේළිකාවකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමත්, දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණත්, ජනතා විමුක්ති පෙරමුණේ එවක සාමාජිකයන් වූ විමල් වීරවංශ ඇතුළ කණ්ඩායමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ හිටපු ජනාධිපතිවරයා සමග දැන් සන්ධානගතව සිටින තවත් පුද්ගලයනුත් එදා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව කීහ.

2005 දී මේ කණ්ඩායම් සහයෝගය දැක්වූ මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ජනාධිපතිවරණ පොරොන්දුව වුයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ය. මේ කාලය වනාහී, සමස්ත වන්නියමත්, යාපන අර්ධද්වීපයේ කොටසක් සහ නැගෙනහිර පළාතේ කොටස් ගණනාවකුත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අණසක යටතේ පැවති වකවානුවකි. එදා පැවති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පෙරමුණ සිටියේ, සාකච්ඡා මේසයට එන්නැයි එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයාචනා කරමිනි.

රනිල්ගේ ආණ්ඩුවේ යුද විරාම ගිවිසුම සහ සාම ක්‍රියාවලිය තමන් බලයට පත්වූ පසු අවලංගු කරන බවට දුන් පොරොන්දුව, බලයට පත්වීමෙන් පසු රාජපක්ෂ ආණ්ඩුව ඉටු කෙළේ නැත. එපමණක් නොව, හමුදාපති සරත් ෆොන්සේකාගේ ජීවිතය නැති කිරීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය තැත් කිරීමෙන් පසුව පවා රාජපක්ෂ ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ඡා කෙළේය. එසේ තිබියදීත්, ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පෙනී සිටියේය. එසේ කළොත් ඇති විය හැකි කිසි අවදානමක් එදා ඔහු දැක්කේ නැත. එදා ඔවුන් සිතූ පරිදි, වාර්ගික ප්‍රශ්නය සමග කිසි සම්බන්ධයක් ඇත්තෙන්ම රාජ්‍ය ක්‍රමයට (විධායක ජනාධිපති ක්‍රමයට) තිබුණේ නැත. එහෙත් 2010 දී දෙවැනි වරට බලයට පත්වීමෙන් පසු, තවදුරටත් බෙදුම්වාදී යුද්ධයක්වත්, බෙදුම්වාදී සංවිධානයක්වත් නොතිබුණු තත්වයකදී, මේ කාරණා දෙක ඔවුහූ එකට ගැටගැසූහ. තවමත් තිබෙන්නේ ඒ ගැටයයි. එනම්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් රට බෙදෙන්නට ඉඩ ඇති බවයි.

ලංකාවේ බොහෝ දේශපාලඥයන්, ඉරහඳ යට පවතින ඕනෑම දෙයක් වාර්ගික ප්‍රශ්නය සමග ගැට ගැසීම පුරුද්දක් කරගෙන තිබේ. ඕනෑම තර්කයක් ගොඩගැනීම සඳහා ඔවුන්ට මේ වාර්ගික ප්‍රශ්නය අවශ්‍ය කෙරේ. කරන ලද ඕනෑම අපරාධයක් හෝ කරන ලදැයි කියන ඕනෑම අපරාධයක් යුක්ති සහගත කර ගැනීම සඳහා ඔවුන්ට මේ වාර්ගික ප්‍රශ්නය අවශ්‍ය කෙරේ. මේ අනුව, ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන් වැනි මාධ්‍යවේදීන් ඝාතනය කිරීම හෝ ඔවුන්ට හානි පැමිණවීමට චෝදනා ලබන සොල්දාදුවන් මේ අයට රණවිරුවන් ය. මන්ද යත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයට විරුද්ධව ඔවුන් යුද්ධ කොට ඇති නිසා ය. එහෙත් ඒ යුද්ධය සාර්ථකව නිමාවකට පත් කළ හමුදාපතිවරයා ඔවුන්ට යුධ විරුවෙකු නොවේ.

උතුරේ දේශපාලඥයෝ ද, වාර්ගික ප්‍රශ්නයට අදාළ නැති ප්‍රශ්නයකට සාමාන්‍යයෙන් අත නොගසති. ඒ අනුව ඔවුන් හැම ප්‍රශ්නයක් දෙසම බලන්නේ වාර්ගික කණ්ණාඩියෙනි. ඔවුන් තමන්ගේ පළාතේ විරුද්ධවාදීන්ව හඳුන්වන්නේ, “දෙමළ ජනතාව සහ ඔවුන්ගේ අවශ්‍යතා සිංහලයන්ට පාවා දෙන්නන්” වශයෙනි. දූෂණය හෝ වාර්ගිකත්වයට සම්බන්ධයක් නැති දෙයක් ගැන ඔවුන් කතා කළොත්, ඒ කලාතුරකිනි. දකුණේ සිටින ඔවුන් වැනිම අනිත් පිරිස් ද, විශේෂයෙන් විපක්ෂයේ සිටින පිරිස්, ජාතික ප්‍රශ්න ගැන සාමාන්‍යයෙන් කතා කළත්, හැම විටකම පාහේ ඒවා වාර්ගික ප්‍රශ්නය සමග ගැට ගැසීමටත්, තමන්ගේ විරුද්ධවාදීන්ව “සිංහලයන් සහ සිංහලයන්ගේ අවශ්‍යතා දෙමළුන්ට පාවා දෙන්නන්” වශයෙන් හැඳින්වීමටත් මැළි නොවෙති.

ඒ අනුව, 1994 සහ 2000 කාලය අතරතුර චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුව ගෙන ඒමට තැත් කළ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ එක්සත් ජාතික පක්ෂය දැක්කේ රට එල්.ටී.ටී.ඊ. සංවිධානයට විකිණීමක් වශයෙනි. ඒ අනුව යමින්, චන්ද්‍රිකාගේ 2000 වසරේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුව තුළදීම ඔවුහූ පුළුස්සා දැමූහ.

එදා චන්ද්‍රිකා ආණ්ඩුවේ සිටි සාමාජිකයන්ම, දැන් මහින්ද රාජපක්ෂ යටතේ සිටිමින්, වර්තමාන ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අසාර්ථක කිරීමට බලන්නේ, එදා එක්සත් ජාතික පක්ෂය නැගූ චෝදනාවන්ම යටතේ වීම විහිළුවකි. ඒ සම්බන්ධයෙන් ඔවුන් දරණ මතය ඊටත් වඩා විහිළුවක් බවට පත්වන්නේ, මේ ආණ්ඩුව ව්‍යවස්ථා සම්පාදන කටයුත්ත සඳහා මේ කාලය තුළ යොදා ගත් සෑම පාර්ලිමේන්තු කාරක සභාවකම ඔවුන් පාර්ශ්වකරුවන් ද වීම නිසා ය.

මේ එල්.ටී.ටී.ඊ. බිල්ලා ලොකුම විහිළුව බවට පත්කර ගැනුණේ, ඔවුන් විසින්ම ‘ලෝකයේ හොඳම හමුදාපතිවරයා’ වශයෙන් හඳුන්වා දුන් සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට විරුද්ධව තරග බිමට පැමිණ අසාර්ථක උත්සාහයක් ගැනීමෙන් පසුව, ඔහුවත් ‘එල්.ටී.ටී.ඊ. ඒජන්තයෙකු’ වශයෙන් හඳුන්වනු ලැබූ අවස්ථාවේ ය. විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වීමෙන් පසු, ඔහුවත් හංවඩු ගසනු ලැබුවේ, ‘එල්.ටී.ටී.ඊ. ඒජන්තයෙකු’ වශයෙනි.

මෛත්‍රීපාල සිරිසේන 2014 නොවැම්බර් 21 වැනි දා තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව දා සුසිල් ප්‍රේමජයන්ත හදිසියේ කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, මෛත්‍රිපාල සිරිසේනගේ අපේක්ෂකත්වය විදේශ බලවේග සහ බෙදුම්වාදී ව්‍යාපාරවල ප්‍රතිඵලයක් බව කියා සිටියේය. ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට නියමිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ගෙන ඇති ස්ථාවරය පිළිබඳව අපට සලකා බැලීමට සිදුවන්නේ ඒ සන්දර්භය තුළ ය.

බලය බෙදා හරින ලද සහ පළාත් සභා පිහිටුවන ලද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වන තාක් කල්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට බෙදීමට හේතු වනු ඇති බව ඔවුන්ගේ තර්කයයි. එහෙත් ඒ කියන තර්කයට ඉඳුරා පටහැනි ස්ථාවරයක ඔවුන් සිට ඇති බව ඉහත සඳහන් ඉතිහාස කරුණුවලින් මනාව පෙන්නුම් කිරීමට අමතරව, ඔවුන්ගේ වර්තමාන අදහසට පටහැනි තත්වයන් ලෝකයේ වෙනත් රටවල්වලින් ද අපට සොයා ගැනීමට ලැබේ.

වාර්ගිකත්වය මත පදනම්ව පිහිටුවන ලද කාශ්මීරය, පන්ජාබය, ඇසෑමය, ත්‍රීපුර සහ මිසෝරාම් වැනි ප්‍රාන්තවල පැවති බෙදුම්වාදී කැරලි, විධායක ජනාධිපති ක්‍රමයක් නැති, වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති, ඉන්දියාව ඉතා සාර්ථකව මැඩලනු ලැබ තිබේ. මේ තර්කයම එක්සත් රාජධානිය සම්බන්ධයෙන් ද මතු කළ හැකිය. උතුරු අයර්ලන්තයේ දීර්ඝ කාලයක් පැවති බෙදුම්වාදී කැරැල්ල එම රට සාර්ථකව මර්දනය කර ඇත. එරටේ ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයක් නොව, පාර්ලිමේන්තු ක්‍රමයකි. මැලේසියාව සහ ඕස්ටේ්‍රලියාව තමන්ගේ ප්‍රාන්ත අතර බලය බෙදා හැර ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයක් තබාගෙන නොවේ. මෙයින් ඇතැම් රටවල් එවැනි විධායක ජනාධිපති ක්‍රමයක් නැතිව සාර්ථක යුද්ධවලටත් ගොස් ජයගෙන තිබේ. ඉන්දියාව පකිස්ථානයට එරෙහිව සහ බි්‍රතාන්‍යය ආර්ජන්ටිනාවට එරෙහිව ජය ගත් යුද්ධ ඊට උදාහරණ ය.

රාජ්‍යකරණයේ මාදිලිය ආදි ව්‍යවස්ථාමය කරුණු රටේ අනාගතය කෙරෙහි මෙන්ම ජනතාවගේ අනාගතය කෙරෙහි ද දීර්ඝ කාලීන බලපෑම් ඇති කරයි. සමහර රටවල්වල ආණ්ඩු පවත්වාගෙන යන්නේ මීට අවුරුදු සිය ගණනකට ඉහත ඇති කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පදනම් කර ගනිමිනි. එහෙත් ලංකාවේ මේ කාරණා පාවිච්චියට ගැනෙන්නේ, බලය ලබා ගැනීමේ හෝ ලබා ගත් බලය පවත්වා ගැනීමේ මෙවලම් වශයෙනි.

2005 දී හෝ 2010 දී විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව තමන් දැරූ ස්ථාවරයන් එදා පැවති දේශපාලන තත්වයන් සැලකිල්ලට ගෙන ඇති කර ගත් බවට රාජපක්ෂවාදීන් අද තර්ක කරන්නේ නම් එයින් පෙනී යන්නේ, අවුරුදු කිහිපයකට එහා අනාගතයක් දැකීමට තරම් අනාගත දැක්මක් ඔවුන්ට තිබී නැති බවයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ පමණින් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙතැයි කෙනෙකුට කිව නොහේ. එසේ වෙතත්, බෙදුම්වාදි බලවේග පාලනය කිරීම සඳහා ඒ ජනාධිපති ක්‍රමය නැතුවම බැරි දෙයක් යැයි කීමට අතීතයේ සාක්ෂි නැත.

(2018 ජුනි 1 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ  “LTTE Bogey to Scuttle Constitution Making” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top