Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගජවිපෙට පුුලුවන්ද හිඩැස පුරවන්න? – සුනන්ද දේශප්‍රිය

ජවිපෙට පුුලුවන්ද හිඩැස පුරවන්න? – සුනන්ද දේශප්‍රිය

by

පසුගිය දිනෙක කෙටි කතාබහකට හමු වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මැදි වයස් ක්‍රියාකාරිකයකු මෙසේ කීවේය. ‘ මින් පස්සේ මං නම් මේ පක්ෂ දෙකෙන් එක්කටවත් සහායක් දෙන්නේ නැහැ. 94 චන්ද්‍රිකාට වැඩ කරා. 2005 මහින්දට වැඩ කරා. 2015 සිරිසේනට වැඩකරා. අන්තිමේට වෙච්ච දෙයක් නැහැ.’

මේ වනාහී අද මෙරට බොහෝ දේශපාලන ක්‍රියාධරයන් මුහුණ දී සිටින ප්‍රශ්ණයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඩුම වශයෙන් නාමිකව හෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බව පෙරළීමට තිබූ අවසන් අවස්ථාව ජනාධිපති සිරිසේන විසින් බාල දේශපාලනය සඳහා අතහැර දමා තිබේ. වත්මන් සිරිසේනගේ දේශපාලනය රාජපක්ෂ දේශපාලනයෙන් වෙනස් වන්නේ නැති තරම්ය. එබැවින් මෙම දේශපාලන ධාරා දෙකම එකක් ලෙස අපට සැළකීමට පුළුවන.

මෙයට හොඳ උදාහරණයක් නම් රාජපක්ෂ සමයේ අසන්නට ලැබුණූ කතා දැන් සිරිසේන උපදේශකයින්ගෙන්ද අසන්නට ලැබීමයි. ලංකා ඊ නිව්ස් සංස්කාරක සදරැවන් සේනාධීර අාපසු ලංකාවට බාර දෙන්නැයි සිරිසේන කරන ලැදැයි කියන ඉල්ලීම සම්බන්ධයෙන් සිය මුහුණු පොතෙහි සටහනක් තබන ජනාධිපති සම්බන්ධිකාරක ශිරාල් ලක්තිලක කියන්නේ ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තැබීම සදරැවන් සේනාධීරට දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා ඔහු විසින්ම ක්‍රොන්ත්‍රාත් දී කරවන ලද්දක් බවයි. ඇත්ත වශයෙන්ම නම් එම කාර්යාලය ගිනි තබන විට සේනාධීරට බ්‍රිතාන්‍යයෙහි දේශපාලන රැකවරණ ලැබී තිබුණි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන ලද්දේ පවුලේ ප්‍රශ්ණයක් නිසා යැයි කී වන්දිභට්ටයෝ එකලද සිටියහ.

රනිල් වික්‍රමසිංහගේ රෝයල් කොලීජියේ කල්ලිය එක්සත් ජාතික පක්ෂය තවදුරටත් නව ලිබරල්වාදය කරාම රැගෙන යයි. ඊටත් වඩා එජාපය නායකත්වය දෙන ‘යහපාලන’ ආණ්ඩුව දැන් දූෂණයේ සහ අකාරයක්ෂමතාවයේ ආණ්ඩුවක් බවට පත්ව තිබේ. එජාපයෙහි වත්මන් නායකත්වය විසින් පක්ෂයේ ඊළඟ නායකත්වය සඳහා කැඳවා තිබෙන සජිත් ප්‍රේමදාස සහ නවින් දිසානායක යන දෙදෙනාම ද පැරණි සම්ප්‍රදායික දේශපාලනයේ ගිලී ගිය පසුගාමී චරිත දෙකකි. බැදුම්කර වංචාව පමණක් නොව එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන් සම්බන්ධ වූ මහා පරිමාණ වංචා දූෂණ ගණනාවක්ම ගැනම තොරතුරු දැන් කුප්‍රසිද්ධය. ලක්ෂ තිහේ සුජීව සේමසිංහ එක් පුංචි උදාහරණයක් පමණි.

පක්ෂ දෙකම වංචාවෙහි සහ දූෂණයෙහි ගිලී ගිය දූෂිත දේශපාලන පංතියේ නියා්ජිතයින්ගෙන් පිරී තිබේ. මෙම පක්ෂ දෙකම විසින් දැන් 2015 ජනතා අපේක්ෂා පාවාදී හමාරය. එබැවින්ම සිය දේශපාලන පංතිය ශක්තිමත් කරනු විනා සමාජ සාධාරණත්වය සඳහා මෙම පක්ෂ දෙකටම කළ හැකි දෙයක් නැත. එමෙන්ම පක්ෂ දෙකම මෙරට දෙමළ ජනතාවට පිළිගතහැකි දේශපාලන විසඳුමක් ලබාදීමට සූදානමක් නොපෙන්වන අතර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියක් සඳහා පෙනී සිටින්නේද නැත.

සෝවියට දේශයෙහි හෝ වීනයෙහි තිබූ හෝ වෙනත් ආකාරයකට අනුව හෝ මාක්ස් ලෙනින්වාදය මත පදනම් වූ සමාජවාදී ක්‍රමයකින් මෙරට ඉදිරියට ගෙනයාමට යෝජනා කරන කුඩා කණ්ඩායම් ගණනාවක්ම වෙතත් ඒ කිසිවක් මහජන ව්‍යාපාරයක් බවට පත්වීමට සමත්ව නැත. එමෙන්ම සමාජවාදය අසාර්ථක වී එම රටවල ඒකාධිපති පාලනයන් ඇති තිබෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් හෝ මෙම කණ්ඩායම් අදහසක් ඉදිරිපත් කරන්නේද නැත.

මෙම තත්වය අප හමුවෙහි බැරෑරුම් ප්‍රශ්ණයක් මතුකරයි. එනම් අප වැනි පිරිස් ගත යුතු දේශපාලන ස්ථාවරය කුමක්ද යන්නයි. මගේ අදහසට අනුව නම් වත්මන් ලෝකයෙහි පවත්නා වඩාම යහපත් දේශපාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය වන අතර ආර්ථික ක්‍රමය සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි.

අද මෙරට පවත්නා දේශපාලන පිරිහීමට විසඳුම ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කිරීම යැයි විශ්වාස කරන පිිරිසක් ද රනිල් මෛත්‍රී යහපාලනය කෙරෙහි කළකිරුණු පිරිස් අතර වෙති. මේ අතර ජවිපෙ හිටපු නායකයකු වන ලයනල් බෝපගේ ඇතුළු කණ්ඩායමක් විසින් ද නව දේශපාලන ව්‍යාපාරයක් සඳහා දළ කෙටුම්පතක් බෙදාහැර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ සිය ධජය වශයෙන් මාක්ස්, එංගල්ස් සහ ලෙනින් යන කොම්යුනිස්ට් නායකයින් පාවිච්චි කරයි. එනමුත් ලෙනින් විසින් නායකත්වය දුන් රුසියානු විප්ලවයෙන් පසු බිහිවූ සෝවියට් දේශයේ දේශපාලන පිරිහීම සහ අද ලෝකයේ කොමියුනිස්ට් පක්ෂ විසින් පාලනය කරන රටවල පවත්නා ඒක පාක්ෂික මර්දනකාරී පාලනයන් සම්බන්ධයෙන් දේශපාලන විචාරයක් එයට නැත. පැවැති සමාජවාදය බිඳවැටීමට හේතු සාකච්ජා නොකර එකී මතවාදයන්ම කරපින්නාගෙන යෑම ජනතා විමුක්ති පෙරමුණෙහි මතවාදී පසුගාමිත්වය පෙන්වයි.

විජේවීරගෙන් පසු ජවිපෙට හොඳට හෝ නරකට දේශපාලන දැක්මක් සහිත නායකයකු බිහිවී නැත. නූතන ලෝක දේශපාලනයට ගැලපෙන ලෙස ජවිපෙ වෙනස් නොවන්නේ එහෙයිනි. 71 කරුල්ලට පෙර ජවිපෙ දැරූ දේශපාලන මතිමතාන්තර දෙවරක් නොව තෙවරක්ම විජේවීර විසින් වෙනස් කරන ලදී. නමුත් විජේවීරගේ මරණයෙන් පසු සන්නද්ධ අරගලය අතහැරීම මිස වෙනත් කිසිදු දේශපාලන මතවාදී වෙනසක් පක්ෂයට හදුන්වා දීමට වත්මන් ජවිපෙ නායකයින් සමත්ව නැත.

අප සමාජයෙහි පැන නගින නූතන සමානාත්මතාවාදී ප්‍රශ්ණ සම්බන්ධයෙන් ජවිපෙ දක්වන්නේද නිහඩ පිළවෙතකි. එක් උදාහරණයක් නම් මෙරට ස්ත්‍රීන්ට මත්පැන් මිලදී ගැනීමට මෙන්ම මත්පැන් අලෙවි කරන බාර්වල සේවය කිරීම වළක්වමින් සිරිසේන විසින් කරන ලද නියෝගයයි. මෙය පැහැදිළිවම ස්ත්‍රීන්ගේ සමාන අයිතීන් උදුරා ගැනීමකි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසිකරනු ඇතැයි විශ්වාස කළ හැකි මෙම නියෝගය සම්බන්ධයෙන් ජවිපෙ මුනිවත රැක්කේය. තවත් එවැනි කරුණක් නම් පුුද්ලයින්ගේ ලිංගික නැඹුරුවීම් මත කැරෙන විශම සැළකීම් සම්බන්ධයෙන් ජවිපෙ දක්වන නිහඩතාවයයි.

ජනතා විමුක්ති පෙරමුණෙහි පසුගාමිත්වය පෙන්වන තවත් කැඩපතක් නම් එය විසින් නායකත්වය සපයන ලද මෙරට සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය වැටී ඇති මන්ද බුද්ධික ස්වභාවයයි. මෙරට විශ්ව විද්‍යාල පද්දතිය බුද්ධිමය සංවාදයේ තෝතැන්නක් කරනු වෙනුවට ජවිපෙ දේශපාලනය විසින් කර ඇත්තේ කට්ටිවාදයේ සිරගෙයක් බවට පත්කිරීමයි.

සාමාන්‍යයෙන් ලොව නූතනවාදී ප්‍රගතිශීලි දේශපාලන පක්ෂ සිය බලය උකහා ගන්නේ උගත් නාගරික බුද්ධිමත් ජන ප්‍රජාවන් වෙතිනි. ඉතාම ප්‍රගතිශීලී කම්කරු පංතිය කියා එකක් දැන් නැත. අද බටහිර ලෝකයෙහි වඩාම පසුගාමී ජන කණ්ඩායමක් වන්නේ කම්කරු පිරිස්ය. ශ්‍රී ලංකාවෙහි ජවිපෙ බලය රදා පවතින්නේ පෙරකී ශිෂ්‍ය ව්‍යාපාරයන් සහ ගැමි ප්‍රජාවන් මතය.

අවම වශයෙන් සිය ජන්ද ප්‍රතිශතය සියයට 10ක් දක්වා ඉහළ නංවා ගැනීමට ජවිපෙ තවම සමත් වී නැත්තේ මෙම පසුගාමී මතවාදී රාමුවෙන් පිටතට යෑමට එයට නොහැකි වී ඇති නිසාය. පාර්ලිමේන්තු දේශපාලනය තුල බලපෑමක් කළ හැකි මංත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නම් අවම වශයෙන් මෙම සියයට දහයේ සීමාව පසුකළ යුතුය.

අනෙත් අතට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හැරුණ විට රටපුරා සංවිධාන ජාලයක් ඇත්තේ ජවිපෙට පමණි. එයට පෝස්ටර් ගැසීමටත් රුස්වීම්වලට සහභාගිවීමටත් ජන පිරිස් සිටී. එහි නායක අනුර කුමාර දක්ෂ කථිකයෙකි. ඔවුන් දේශපාලන බලය විසින් දූෂණය වි නැත. එහි සාමාජික සාමාජිකාවන්ට රට ගොඩනැගීම සඳහා කැක්කුමක් ද තිබේ.

මෙම ලක්ෂන විසින් පමණක් දේශපාලන ව්‍යාපාරයක් විකල්ප දේශපාලන ධාරාවක් බවට පත් නොවන බව 1994 සිට මේ දක්වා වන ජවිපෙ පාර්ලිමේන්තු දේශපාලන භාවිතය අපට පෙන්වයි.

එජාපය සහ ශ්‍රිලනිපය යන දේශපාලන ධාරා දෙකම කෙරෙහි ඇල්මක් නැති, එමෙන්ම දේශපාලන පක්ෂයකට බැදීම මගින් පුද්ගලික වාසි අපේක්ෂා නොකරන සියයට 10 – 20 අතර ජන පිරිසක් මෙරට සිටිති. ප්‍රධාන වශයෙන්ම මෙම පිරිස් මෙරට පුළුල් පරාසයක පැතිරැණූ මධ්‍යම පංතියට අයත් වෙති. විකල්ප දේශපාලන ව්‍යාපාරයක කොදු නාරටිය වනු ඇත්තේ එම පිරිස්ය.

මෙම පිරිස් ආකර්ශනය කර ගැනීමට නම් ජවිපෙ දේශාපලන වශයෙන් සුසමාදර්ශී වෙනසක් ඇති කර ගත යුතුය. ඒ සඳහා ගතහැකි පියවර කිහපයක්ම වේ: අතීත ප්‍රචන්ඩ දේශපාලනය ( විශේෂයෙන්ම 88 -90 සමයෙහි කරන ලද ත්‍රස්තවාදී දේශපාලනය) සම්බන්ධයෙන් ස්වයං විවේචනාත්මකව බැලීමට සූදානමක් පෙන්වීම; අධානග්‍රාහී මාක්ස්ලෙනින්වාදී පොතේගුරුවාදයෙන් මිදී නූතන වර්ධනයන් හා ගැලපෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් කරා ගමන් කිරීම. වාම, සමානාත්මතා සහ හරිත දැක්මක් පක්ෂයට එක් කිරීම; මෙරට සුලුතර ප්‍රජාවන්ගේ සාධාරණ දේශපාලන ඉල්ලීම් පිළිගැනීම; ස්ත්‍රීන් සිය දේශපාලන නායකත්වය කරා ගෙන එම සඳහා නිශ්චිත වැඩ සටහනක් දියත් කිරීම; පුළුල් දේශපාලන නායකත්වයක් ඇතිවන පරිදි සංධාන දේශපාලනයක් කරා ගමන් කිරීම යනාදියයි.

එවැනි දේශපාලන ව්‍යාපාරයක නායකත්වය ව්‍යවස්ථාවෙන්ම සිංහල, දෙමළ, මුස්ලිම් යන ප්‍රජාවන්ගෙන් පමනක් නොව ස්ත්‍රීන් සහ තරැණ තරුණියන්ගෙන්ද සැඳුම් ලබන බව තරවුරු කර ගැනීමද අත්‍යවශ්‍යය.

එවැනි ගමණක් සඳහා අවම වශයෙන් විධිමත් පුළුල් සාකච්චා සභා ගණනාවක් කැඳවීමටවත් ජනතා විමුක්ති පෙරමුණ සූදානම්වනු ඇත්ද? විකල්පය වීමට නම් ජවිපෙ උත්සාහ ගත යුත්තේ එවැනි ක්‍රියාදාමයක් හරහා තමන් වෙනස්වන අතර ක්‍රියාකාරී ජනපිරිස්ද වෙනස් ගමනකට සූදානම් කර ගැනීමයි.

Back to Top