Sri Lanka Brief
පුවත්විවරණචීනය ලංකාවේ වරායක් ඩැහැගත්තේ කෙසේද? – මරියා අබි-අබීබ්

චීනය ලංකාවේ වරායක් ඩැහැගත්තේ කෙසේද? – මරියා අබි-අබීබ්

by

ජයාරූපය: හම්බන්තොට වරාය කරා දිවෙන සුපිරි මාර්ගය; වරාය ලාභදායීවනු ඇතැයි යන අදහස  තවමත් චීන විශ්ලේෂකයෝ අතහැර නැත. (.Credit-Adam Dean for The New York Times)

ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලංකාවේ මහ පරිමාණ වරාය ව්‍යාපෘතියක් සඳහා චීනයෙන් ණය සහ ආධාර ඉල්ලා සිටි හැම විටකම චීනය ‘හා’ කීවේය. ඔව්, අදාළ ව්‍යපෘතිය පිළිබඳ සාධ්‍යතා වාර්තාව මොකක් කීවත්, චීනය ‘හා’ කීවේය. ඔව්, ලංකාව නිතර ණය ලබා ගන්නා ඉන්දියාව වැනි රටවල් බැහැ කීවත්, චීනය ‘හා’ කීවේය. ඔව්, රාජපක්ෂ යටතේ ලංකාවේ ණය කන්දරාව එක දිගට ගොඩ ගැසෙමින් තිබුණත්, චීනය ‘හා’ කීවේය.

චීනයේ විශාලතම රාජ්‍ය ව්‍යාපාරයක් වන ‘චයිනා හාබර් එන්ජිනියරිං සමාගම’ සමග කෙරුණු සාකච්ඡා සහ වසර ගණනාවක ඉදි කිරීම්වලින්ද පසුව, කල්තියා පෙරදැක තිබූ පරිදිම, ලංකාවේ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය බෙහෙවින් අසාර්ථක විය. ලෝකයේ දැනට තිබෙන ඉතාම කාර්ය බහුල සහ දස දහස් ගණන් නැව් යන එන සාගර මාර්ගයක පිහිටි මේ වරායට 2012 දී ආවේ නැව් 34 ක් පමණි.

ඊළඟට මේ වරාය චීනයේ අයිතියට පැවරුණේය.

රාජපක්ෂ මහතාව 2015 දී ගෙදර යැවුණි. ශ්‍රී ලංකාවේ අලුත් ආණ්ඩුව, ඔහු අරගෙන තිබූ ණය ගෙවීමට දඟලයි. ගොඩ ඒමට බැරි දැඩි පීඩාවට යටත්ව, මාස ගණන් චීනය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 99 අවුරුදු බද්දක් යටතේ එම වරායත්, ඒ අවට අක්කර 15,000 කුත් චීනයට පැවරීමට අලුත් ආණ්ඩුවට සිදු විය.

චීනය අත්කර ගත් මේ අලුත් දේපළ සමග, ඔවුන්ගේ ප්‍රතිවාදියා වන ඉන්දියාවේ වෙරළෙන් සැතපුම් දෙතුන් සීයක් ආසන්නයේ තම බලය පිහිටුවා ගැනීමට චීනයට හැකියාව ලැබුණු අතර, ඉතා වැදගත් වාණිජ සහ හමුදාමය සාගර තීරුවක් මත උපාය මාර්ගිකව පය ගසා ගැනීමටත් චීනයට අවස්ථාව ලැබුණි. මේ සිද්ධිය, චීනයේ ණය සහ වෙනත් ආධාර මාර්ගයෙන් සහ ඒවා නැවත අය කර ගැනීම මාර්ගයෙන් ලෝකය පුරා සිය බලය පතුරුවාලීමේ චීන සැලැස්මේ ස්වභාවය පෙන්නුම් කරන අගනා නිදර්ශනයකි.

චීන ජනාධිපති ක්සී ජින්පින්ගේ ප්‍රියතම ලෝක ව්‍යාපෘතියක් තිබේ. එය හැඳින්වෙන්නේ, ‘කලාප තීරය සහ මාර්ග ප්‍රාරම්භය’ වශයෙනි. (ආසියා-ශාන්තිකර කලාපය සහ මධ්‍යම-නැගෙනහිර යුරෝපය පමණක් නොව, අප්‍රිකාව පවා ඈඳා ගැනෙන යෝධ යටිතල සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීම මෙහි අරමුණ විය. එය මුළුමණින් කෙරෙන්නේ චීන ණය ආයෝජන යොදා ගැනෙන ජගත් ව්‍යාපෘතියක් වශයෙනි-පරිවර්තක). ඊට එරෙහිව එල්ල වෙමින් තිබූ දැඩි විවේචන, මේ ණය වළල්ල හරහා තවත් තීව්‍ර වුණේය. ලෝකය පුරා තිබෙන දුර්වල රටවල් මේ ණය උගුලට ඈඳා ගැනීමේ ගතිකත්වය එකී ආයෝජක සහ ණය ව්‍යාපෘති අස්සේ සැඟව ඇති බව ඒ මගින් ලෝකයාට අනාවරණය විය. එයම, අමාරුවෙන් ගොඩනැගෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදී රටවල මහ පරිමාණ දූෂණයට සහ ඒකාධිපති චර්යාවන්ට උඩගෙඩි දෙන බවත් පෙනී ගියේය.

ශ්‍රී ලාංකිය, ඉන්දීය, චීන සහ බටහිර රටවල නිලධාරීන් සමග මාස ගණන් තිස්සේ පැවති සාකච්ඡා අනුසාරයෙන් සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් සහ වෙනත් ලියකියවිලි පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව, චීනය සහ ඒ යටතේ වන සමාගම්, මුදල් නැති පුංචි රටවල් තුළ තම අණසක පතුරුවාලීම සඳහා වන වාතාවරණය ගොඩනගා ගන්නේ කෙසේද යන අඳුරු චිත්‍රය මේ මගින් පැහැදිළිව විද්‍යමාන විය.

වරාය ගොඩනැගීමේ චීන ආධාරවලින් විශාල කොටසක්, 2015 පැවති මැතිවරණවලදී රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් වෙනුවෙන් කෙලින්ම යෙදවී ඇත. ඒ සෑම අවස්ථාවකදීම චීන කොන්දේසිවලට ඒ මහතා එකඟතාව පළ කොට ඇත. මෙසේ ගෙවීම් කරන ලද බව සනාථ කිරීම සඳහා අවශ්‍ය ලියවිලි සහ ඒ සඳහා නිකුත් කරන ලද චෙක්පත් ආදිය පිළිබඳ ආණ්ඩුවේ විමර්ශනයක තොරතුරු ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට දැක ගැනීමට ලැබුණි.

ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනයට ඇත්තේ හුදෙක් වාණිජ අවශ්‍යතා පමණකැ යි චීන බලධාරීන් සහ වෙනත් විශ්ලේෂකයන් මොන තරම් කියා සිටියත්, මේ වරායේ පිහිටීම අනුව, බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් චීනයට ඇති අවශ්‍යතාව සහ උපාය මාර්ගික අවශ්‍යතා පිළිබඳව, මුල පටන්ම සාකච්ඡා පැවැත්වුණු බව ශ්‍රී ලංකාවේ නිලධාරීහූ පෙන්වා දෙති.

වරාය සඳහා සැපයෙන ණය සම්බන්ධයෙන් ලිහිල් කොන්දේසි ඇති කර ගැනීමත්, ආපසු ණය ගෙවා දැමීමේ කාලය ගැන යළි සලකා බැලීමත්, තවත් මූල්‍යාධාර අවශ්‍ය වීමත් සම්බන්ධයෙන් පැවති දීර්ඝ සාකච්ඡා ගෙන යාම මුල පටන්ම දුෂ්කර කාර්යයක් විය. මෑතකදී මේ ණය කෙසේ හෝ ඉවරයක් කර ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් උත්සාහ කරන විට, ආපසු ගෙවීමේ කොන්දේසි ලිහිල් කර දෙනවා වෙනුවට චීනය බැලුවේ වරායේ අයිතියේ පංගුකාරීත්වය තමන්ට ලබා ගැනීමට ය.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පැවැත්වූ සාකච්ඡා මාර්ගයෙන්, දළ වශයෙන් ඩොලර් බිලියන 1 ක ප්‍රමාණයක් කපා හැරීමට ලංකා ආණ්ඩුව සමත්ව තිබේ. එහෙත්, කලින් තිබුණාටත් වඩා, චීනය කෙරෙහි වන ලංකාවේ ණයගැති භාවය මේ වන විට උග්‍ර වී ඇත. මන්ද යත්, මේ වරාය ව්‍යාපෘතියට අමතරව වෙනත් ලබාගෙන ඇති චීන ණය ගෙවීමට ඇති නිසාත්, ඒවායේ පොලී අනුපාතික, වෙනත් ජාත්‍යන්තර ආයතනවලින් ලබාගෙන ඇති ණය අනුපාතිකයන්ට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගන්නා නිසාත් ය.

මේ ලිපිය සකස් කිරීම සඳහා මාස ගණනක් තිස්සේ අප විසින් කරන ලද නොයෙක් ඉල්ලීම්වලට රාජපක්ෂ මහතා ප්‍රතිචාර දැක්වූයේ නැත. ‘චයිනා හාබර් සමාගමේ’ නිලධාරීන් ප්‍රතිචාර දැක්වූයේ ද නැත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ගණන්හිලව් ඔස්සේ ඇඳෙන චිත්‍රය ඉතා බරපතල ය: මේ වසරේ ආණ්ඩුවට ලැබීමට නියමිත ආදායම ඩොලර් බිලියන 14.8 කි. එහෙත් ලෝකය පුරා විවිධ තැන්වලින් ලබාගෙන ඇති ණය වාරික පියවීම සඳහා ඒ වසර තුළ ලංකාවේ රජයට අවශ්‍ය කරන මුදල ඩොලර් බිලියන 12.3 කි.

‘රටක් යටත් කර ගත හැක්කේ, එක්කෝ කඩුවෙනි. නැත්නම් ණය දීමෙනි’ යැයි ජෝන් ඇඩම්ස් කියා ඇති බව, බොහෝ විට ඉන්දියානු ආණ්ඩුවට ආර්ථික උපදෙස් සපයන විශ්ලේෂකයෙකු ද, නව දිල්ලියේ පිහිටි ‘ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යසථානයේ’ බුද්ධි සාමාජිකයෙකු ද වන බ්‍රහ්මා චෙලනෙයි කියයි. ශ්‍රී ලංකාවේ ඇරියුමකින් තොරව, මේ වරාය හමුදාමය අරමුණු සඳහා පාවිච්චි කිරීමට නොහැකි බව චීන-ශ්‍රී ලංකා ගිවිසුමේ සඳහන් වුව ද, ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව ශ්‍රී ලංකාව හිර වෙන තරමට, හම්බන්තොට වරාය වැනි සම්පතක් චීනය විසින් තමන්ගේ හමුදාමය අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් ගැන ඉන්දියානු බලධාරීහූ බිය වෙති. ‘හම්බන්තොට වරාය සඳහා ආයෝජනයක් කිරීමට චීනයට තිබිය හැකි යැයි සිතිය හැකි එකම හේතුව වන්නේ, ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයකි: ඔවුන් තමන්ගේ ‘මහජන විමුක්ති හමුදාව’ එහි ගෙන ඒමට ඇති අවකාශය එහි ඇති බව’, වරක් ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයා වූ ද, හම්බන්තොට වරාය ගොඩනගන අවස්ථාවේ ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකයා වූ ද, ෂිවසංකර් මෙනන් කියයි.

බඩ බැඳගත් සගයෙක්

ශ්‍රී ලංකාව සහ චීනයට, දීර්ඝ කාලීන මිත්‍ර සබඳතාවක් ඇත. චීන විප්ලවයෙන් පසු බලයට පත් විප්ලවකාරී ආණ්ඩුව, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රථම රටක් වුණේ ලංකාවයි. ඊටත් වඩා, ශ්‍රී ලංකාවේ පැවති මෑත කාලීන යුද්ධයේදී චීනය ලංකාවට නැතිවම බැරි රටක් බවට පත්විය.

2005 දී බලයට පත් රාජපක්ෂ මහතා, යුද්ධයේ අවසාන කාලය වන විට මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් ලෝකයෙන් කොන් වන්නට විය. එම තත්වය තුළ ශ්‍රී ලංකාව, තමන්ට අවශ්‍ය කරන ආර්ථික ආධාර, හමුදා ආම්පන්න සඳහා පමණක් නොව, තමන්ගේ රටට එල්ල විය හැකි එක්සත් ජාතීන්ගේ සම්බාධක අවදානම ඉදිරියේ උදව් පතා ද තව තවත් චීනය පැත්තට හැරුණි.

2009 දී යුද්ධය අවසන් විය. එහෙත් යුද්ධයෙන් ඇතිව තිබූ මහා ව්‍යාකූලත්වය සහ අවුල තුළ, රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුල සිය බලය තහවුරු කර ගත්තේය. රාජපක්ෂ කාලයේ රටේ අමාත්‍යාංශවලින් සෑහෙන ප්‍රමාණයකුත්, ආණ්ඩුවේ මුළු වියදමින් සියයට 80 ක් පමණ ප්‍රමාණයකුත් හසුරුවන ලද්දේ ජනාධිපතිවරයා සහ ඔහුගේ සහෝදරයන් තුන් දෙනා විසිනි. චීනය වැනි රටවල් කෙලින්ම ගනුදෙනු කෙළේ ඔවුන් සමග ය.

ඉතිං, ජනාධිපතිවරයා වැඩි හාහෝවක් නැති තමන්ගේ ගම් ප්‍රදේශය වන හම්බන්තොට පැත්තේ අලුත් වරාය සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳ කල්පනාවක් ඇති කර ගත් විට, එය වැළැක්විය හැකි බාධක අල්ප විය. බ්‍රිතාන්‍ය  භූමි ප්‍රදේශයෙන් කාලක් වන, මිලියන 22 ක ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාව වැනි රටක කොළඹ වරාය සමෘද්ධිමත්ව පවතිද්දී සහ එම වරායම තවත් වැඩි දියුණු කර ගැනීමේ විභවයන් පවතිද්දී, දෙවැනි වරායකුත් ඇති කර ගැනීමේ ඥානාන්විත භාවය මුල පටන්ම නිලධාරීහූ ප්‍රශ්න කළහ. ඊටත් අමතරව, ආණ්ඩුව විසින්ම ගෙන්වා ගන්නා ලද විශේෂඥ සාධ්‍යතා වාර්තාවලින් පෙන්වා දී තිබුණේත්, හම්බන්තොට ගොඩනැගෙන වරායක ආර්ථික වාසියක් තිබිය නොහැකි බවයි.

‘ඔවුන් මුලින් ආවේ අපි ළඟට. අපේ සමාගම් කිව්වා බැහැ කියලා’ යි ඉන්දියාවේ ශිවෂංකර් මෙනන් කියයි. ‘එදා ඒක ආර්ථික වශයෙන් නිෂ්ඵල දෙයක්. අදත් ඒක නිෂ්ඵල දෙයක්.’ එහෙත් රාජපක්ෂ මහතාට කෙසේ හෝ එය අවශ්‍ය විය. එපමණක් නොව, ප්‍රවෘත්ති නිවේදනයක් ද නිකුත් කරමින් එදා ඔහු කියා සිටියේ, සියල්ලන් එපා කියද්දී තමන් ඒ වැඬේට අත ගැසූ බවයි. දැන් ඊට උර දීමට චීනය සිටින බවටත් ඔහු කයිවාරු ගැසුවේය.

මේ ව්‍යාපෘතියට සම්බන්ධ බලධාරියෙකු කියන පරිදි, ‘ශ්‍රී ලංකා වරාය අධිකාරිය’ ඉතා සුපරීක්ෂාකාරීව, ආර්ථික වශයෙන් බුද්ධිමත් සැලසුමක් සකස් කිරීමට 2007 දී පටන්ගෙන තිබේ. ඒ සැලසුමට අනුව, 2010 වන විට වරාය ආශ්‍රීතව සීමිත ව්‍යාපාරික අවස්ථා ඇති කිරීමටත්, විශාල පරිමාණයෙන් වරාය ව්‍යාපෘතිය තවත් ව්‍යාප්ත කිරීමට කලින්, ලාබ ගලා එන බවට සහතිකයක් ඇති කර ගැනීමටත් අදහස් කෙරී ඇත.

හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා චීනයේ ‘එක්සිම්’ බැංකුවෙන් ඩොලර් මිලියන 307 ක ණයක් ලබා ගන්නා ලදි. එහෙත් ඒ ණය ප්‍රමාණය ලබා දීම සඳහා චීනයේ ‘චයිනා හාබර් සමාගමට’ හම්බන්තොට වරාය ගොඩනැගීමේ කොන්ත්‍රාත්තුව භාර දිය යුතු බව චීනය කියා ඇති බව, ඒ දිනවල ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිකුත් වුණු කේබල් පණිවිඩයක් හරහා, විකිලීක්ස් අනාවරණය කරගෙන තිබේ.

එය, ලෝකය පුරාම ඇති තමන්ගේ ව්‍යාපෘති සඳහා චීනය ඉදිරිපත් කරන පොදු කොන්දේසියකි. විවෘත ටෙන්ඩර් කැඳවීමකට ඒ කිසි රටකට චීනය ඉඩ දෙන්නේ නැත. මේ කලාපයේ නිලධාරීන් පෙන්වා දෙන පරිදි, චීනය ඩොලර් බිලියන ගණන් ණය සපයයි. එහෙත් ඒ, අදාළ ව්‍යාපෘතිය සඳහා චීන සමාගම් සහ දහස් ගණන් චීන සේවකයන් යොදා ගන්නා බවට වන සහතිකයක් මත ය.

චීන ණයවලට ඈඳෙන තවත් කොන්දේසි තිබේ. ඒවා අතර, මුල පටන්ම, හම්බන්තොට වරාය සම්බන්ධයෙන්, චීනයේ උපාය මාර්ගික අවශ්‍යතා පිළිබඳ ඇස යොමු වී තිබුණු බව පෙනේ. ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ලේකම්වරයෙකු සහ චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයෙකුව සිටි නිහාල් රොඩි්‍රගෝ කියන පරිදි, බුද්ධි තොරතුරු බෙදා ගැනීමේ අවශ්‍යතාව, මේ සාකච්ඡාවල මුල් වටයේදීම චීනය පෙන්වා දී ඇත. ‘ද නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට දෙන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියන පරිදි, ‘ඔය පැත්තට කවුද එන්නේ, කවුද යන්නේ කියන එක ගැන අපිට දැනගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ’ යන්න චීනය ලංකාවට මුල පටන්ම පෙන්වා දී ඇති කාරණයකි.

ඊට පසු කාලයේ චීන නිලධාරීන් සහ ‘චයිනා හාබර් සමාගම’ ජනාධිපති රාජපක්ෂ සමග ඇති සම්බන්ධතා තවත් තර කර ගත්තේය. ඒ කාලය මුළුල්ලේම ඔවුන්ගේ කොන්දේසිවලට රාජපක්ෂ මහතා ඉතා සුවචව නතු වුණේය.

2015 මැතිවරණය ආසන්න වෙද්දී, සියලු තානාපති සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් ලංකාවේ සිටි චීන තානාපතිවරයා එදා විපක්ෂයට එරෙහිව රාජපක්ෂට ඡන්දය දෙන්නැයි කියා ඉල්ලා සිටින තරමට, කොළඹ ගොල්ෆ් ක්‍රීඩාංගනයේ සේවය කළ ආවතේවකාරයන්ගෙන් පවා ඒ සඳහා උදව් කරන ලෙස ඉල්ලා සිටින තරමට දුර දිග ගොස් තිබුණි. චීන ආණ්ඩුව සමග රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ඇති කරගෙන තිබූ ගිවිසුම් ආණ්ඩු වෙනසක් යටතේ තමන් වෙනස් කරන බවට එදා විපක්ෂය ගෙන ගිය ප්‍රචාරය ඔහු තුළ බියක් ඇති කරන්ට ඇත. ඒ අනුව, ජනවාරියේ ජනාධිපතිවරණය ළඟා වෙද්දී රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඡන්ද මෙහෙයුම කරා විශාල වශයෙන් චීන මුදල් ඇදී එන්නට විය.

ආණ්ඩුවේ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාවක අඩංගු, මේ පුවත්පතට දැක ගැනීමට ලැබුණු එක්තරා වාර්තාවකට අනුව, ස්ටැන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුවේ තිබෙන ‘චයිනා හාබර් සමාගමේ’ ගිණුමකින්, අඩු වශයෙන් ඩොලර් මිලියන 7.6 ක් රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යපාරයේ සිටි සගයන් වෙත බෙදා හැර තිබේ. ‘චයිනා හාබර් සමාගමේ’ බැංකු ගිණුම් අංකය සහ එම ගිණුමෙන් නිකුත් කරන ලද චෙක්පත් ලාභීන්ගෙන් ලබා ගත් තොරතුරු ආදිය ඒ වාර්තාවේ සඳහන් වෙයි.

ජනාධිපතිවරණය පැවැත්වීමට දින 10 ක් තිබියදී ඩොලර් මිලියන 3.7 කට ආසන්න මුදලක් චෙක්පත් මාර්ගයෙන් බෙදා දී තිබේ. එයින් ඩොලර් 678,000 ක් ඡන්ද ව්‍යාපාරයේ ටී-ෂර්ට් සහ වෙනත් ප්‍රවර්ධන කටයුතු සඳහා ය. ඩොලර් 297,000 ක් ලබා දී ඇත්තේ, ආධාරකරුවන්ට තෑගි බෙදා දීම සඳහා ය. ගැහැනුන් සඳහා සාරි ද ඊට ඇතුළත් විය. රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා වැඩ කරමින් සිටි එක් ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමකටත් ඩොලර් 38,000 ක් ගෙවා තිබේ. තවත් ඩොලර් මිලියන 1.7 ක් වටිනා චෙක්පත් දෙකක්, අරලියගහ මන්දිරයට කෙලින්ම භාර දී ඇත.

මේ ගෙවීම්වලින් වැඩි හරියක් සිදුකොට ඇත්තේ, ‘චයිනා හාබර්’ මගින් හසුරුවන ලද අතුරු ගිණුමක් හරහා ය. එම ගිණුමේ නම, “එච්.පී.ඩී.පී. දෙවැනි අදියර” යන්නයි. එච්.පී.ඩී.පී. යනු ‘හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය’ යන්නයි.

චීන ජාලය

ලෝකය පුරා දඩිබිඩියේ ව්‍යාප්ත කරගෙන යන චීනයේ ‘කලාප තීරය සහ මාර්ග ප්‍රාරම්භය’ වැඩ සටහනට අවුරුදු පහකට ආසන්න කාලයක් ගතව තිබියදී, කොපමණ ගනුදෙනු ප්‍රමාණයක් තමන් විසින් කර තිබේද, රටේ මූල්‍යමය තත්වය කවරේද යන දේවල් පිළිබඳ ගණනයක් කිරීමට චීන නිලධාරීහු දැන් කටයුතු කරමින් සිටිති. ඒ ගැන තවම නිවැරදි චිත්‍රයක් ලැබී නැතැයි, චීනයේ එක් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෙක් කීය. මේ කිසිවෙකු, චීනයේ ප්‍රතිපත්ති ගැන, ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැත.

වෙනත් රටවල ව්‍යාපෘති සඳහා චීනය සපයන ණය සමග ඈඳී ඇති අල්ලස චීනයටම යම් බරක් වීමට ඉඩ ඇති බවට ඇතැම් චීන නිලධාරීහූ දැන් කණස්සල්ල පළ කරති. විශේෂයෙන්, ඒ හේතුවෙන් චීනයට ලැබිය හැකි ලාභ තීරුව අඩු වන බව ඔවුන්ගේ මතයයි. චීන ජනාධිපතිවරයා ද මේ වසරේ කරන ලද එක් දේශනයකදී ඒ කාරණය ගැන සඳහන් කොට තිබේ. ‘ඒ එක්කම අපි අපේ ‘කලාප තීරය සහ මාර්ග ප්‍රාරම්භය’ ගොඩනැගීමේ වැඩපිළිවෙල තුළ, දූෂණ-විරෝධී ක්‍රමවේදයක් මත ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කර ගන්න ඕනේ.’ යැයි ඔහු එහිදී කියා තිබේ.

බංග්ලා දේශය උදාහරණයට ගත්තොත්, ‘චයිනා හාබර් සමාගම’ අනාගත කොන්ත්‍රාත් සඳහා ජනවාරියේ සිට තම රටේ තහනම් කෙරෙන බව එරට නිලධාරීහූ කියති. හේතුව, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුට මෙම සමාගම අල්ලස් දීමට තැත් කිරීමයි. තේ පෙට්ටියක ඩොලර් 100,000 ක මුදලක් දමා එක් නිලධාරියෙකුට දීමට ගොස් මේ සමාගම හසු වී තිබේ. එසේම, ‘චයිනා හාබර් සමාගමේ’ මව් සමාගම වන ‘චයිනා කොමියුනිකේෂන් කොන්ස්ට්‍රක්ෂන් සමාගමට’, 2009 සිට අවුරුදු හතක කාලයක් සඳහා ලෝක බැංකු ව්‍යාපෘතිවලට ලංසු තැබීම තහනම් කොට තිබේ. හේතුව, එම සමාගම පිලිපීනයේ කරන ලද දූෂණ ක්‍රියා හෙළිදරව් වීමක් නිසා ය.

ශ්‍රී ලංකාවේ වරාය අල්ලා ගැනීමේ නීරස අත්දැකීමෙන් පසු එරට නිලධාරීන් පෙන්වා දෙන්නේ, ‘කලාප තීරය සහ මාර්ග ප්‍රාරම්භය’ නැමැති චීනයේ ලෝක ව්‍යාප්ත ව්‍යාපෘතිය, හුදෙක් මහද්වීප තුනක සංවර්ධනය ඉලක්ක කොට ඇති කරගෙන යන්නක් නොවන බවයි.

කොහේටවත් නැති වරායක්

ශ්‍රී ලංකාවේ ගිනිකොන වෙරළබඩ හම්බන්තොට යනු ජනශූන්‍ය, තවමත් කැලෑබද ප්‍රදේශයකි. එම ප්‍රදේශයේ චීන ණයවලින් ගොඩනැගුවේ මේ කියන වරාය පමණක් නොවේ. ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ද එහි ගොඩනැගුණි. එම ක්‍රීඩාංගනයේ ආසන සංඛ්‍යාව, ඒ නගරයේ ජනගහනයටත් වැඩි ය. එසේම එහි විශාල ගුවන් තොටුපොළක් ද ගොඩනැගුණි. එම ගුවන් තොටුපොළට පැමිණි ඩුබායි ගුවන් සමාගමේ අවසාන ගුවන් සේවයත් මේ මාසයේ සිට නතර කෙරුණි. එසේම මේ මාර්ගයේ ඉදි කෙරුණු දැවැන්ත මහා මාර්ගවල දැන් අලි ගැවසෙති. ගොවියෝ තමන්ගේ වී වේලා ගැනීමට ඒ මාර්ගය පාවිච්චි කරති.

රාජපක්ෂ මහතාගේ උපදේශකයන් සැලසුම් කොට තිබුණේ, හම්බන්තොට වරාය තවත් පුළුල් කිරීමට කලින්, ඒ සඳහා තවත් ණය ගැනීමට කලින්, ලාභ ලැබෙන ව්‍යාපෘතියක් බවට එය පත් කිරීමට ය. එහෙත් 2009 දී ජනාධිපතිවරායට ඉවසිල්ලක් නැති විය. ඊළඟ වසරට ඔහුගේ 65 වැනි උපන් දිනය යෙදී තිබුණි. එය සැමරීම සඳහා විශාල මගුලක් ඔහුට අවශ්‍ය කෙළේය. වරාය විවෘත කිරීම ඔහු යොදාගත්තේ ඒ වෙනුවෙනි. ඒ සමගම, වරාය අධිකාරියේ සැලසුමට එහා යමින් තවත් අවුරුදු දහයක කාලයක් සඳහා එය ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙලක් ද ඔහු පටන් ගත්තේය.

නියමිත කාලයට වැඩ අවසන් කිරීම සඳහා චීන කම්කරුවෝ දවල් රෑ දෙකේ වැඩ කළහ. එහෙත් පොළොව හාරන විට, විශාල ගලක් මතු වුණි. එයින් ප්‍රවේශය ඇවිරුණි. තෙල් නෞකා වැනි විශාල නැව්වලට ඒ නිසා වරායට ඇතුලු විය නොහැකි විය. මේ වරාය ව්‍යාපෘතියේ ව්‍යාපාරික අංශය රැඳී තිබුණේම එවැනි නෞකාවලින් උපයා ගැනීමට අපේක්ෂා කළ ආදායම් මත ය.

ජනාධිපතිවරයා සමග කෝන්තර ඇති කර ගැනීමට නොකැමැති වූ වරාය අධිකාරියේ නිලධාරීහූ දිගටම වැඬේ කරගෙන ගියහ. ඒ අනුව, 2010 නොවැම්බර් 18 වැනි දා, එනම් රාජපක්ෂ මහතාගේ උපන් දිනය දා මහා මංගල්‍යයකින් වරාය විවෘත කෙරුණි. එහෙත් මහා ගලේ බාධාව හේතු කොටගෙන කිසි ව්‍යාපාරයක් නැතිව සිටීමට වරායට සිදු විය.

ඊට වසරකට පසු ‘චයිනා හාබර් සමාගම’ මේ ගල කැඩුවේය. එහි වියදම ඩොලර් මිලියන 40 ක් විය. එය ඉතා අධිකතර මිලකි. තානාපති නිලධාරීහූ සහ රජයේ නිලධාරීහූ ඒ ගැන පුදුමයට පත්වූහ. මේ සමාගම බොරු ගණන් හිලව් දමන්නේ ද, එසේත් නැත්නම් රාජපක්ෂ මහතාටත් එයින් කුට්ටියක් ලැබෙන්නේ ද යන්න ගැන ඇතැම්හු සැක කළහ.

2012 වන විට, තමන් වෙත නැව් අද්දා ගැනීමට වරාය බැලුවේය. එහෙත් නැව් වැඩි කැමැත්තක් දැක්වූයේ ළඟ පිහිටි කොළඹ වරායේ නැංගුරම් ලෑමටයි. මේ අතර වරාය තවත් ව්‍යාප්ත වෙමින් පැවති නිසා ඒ සඳහා වන ඉදිකිරීම් සඳහා තවත් වියදම් දැරීමට සිදු විය. එවිට ආණ්ඩුව කෙළේ, ලංකාවට වාහන ප්‍රවාහණය කෙරෙන නැව්, කොළඹ වෙනුවට හම්බන්තොට ගොඩබෑමට නියෝග කිරීමයි. එසේ තිබියදීත් 2012 දී එම වරායට ආවේ නැව් 34 ක් පමණි. එය කොළඹ වරාය සමග සැසඳුවොත්, ඒ වසරේ එම වරායට පැමිණ ඇති නැව් ප්‍රමාණය 3667 කි.

‘අපි ආණ්ඩුව පිහිටෙව්වට පස්සේ ජාතික සැලසුම් භාර ඇමතිවරියට කතා කරලා මං ඇහැව්වා, හම්බන්තොට වරාය හදන්න තිබිච්ච සාධාරණ හේතුව මොකක්ද කියලා,’ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කීය. ‘අපිට කිව්වා කරන්න කියලා. ඉතිං අපි කළා’ යන්න ඇගේ උත්තරය වීලු.

වරාය තවත් විශාල කිරීමට තදින් වුවමනා කළ රාජපක්ෂ මහතා නැවත 2012 දී චීන ආණ්ඩුවෙන් තවත් ඩොලර් මිලියන 757 ක් ඉල්ලා සිටියේය. එවරත් චීනය ‘හා’ කීවේය. එහෙත් මෙවර කොන්දේසි වඩාත් බරපතල විය. මුලින් ගත් ඩොලර් මිලියන 307 ක ණය ප්‍රමාණය ලැබුණේ, විචල්‍ය පොලී අනුපාතිකයක් මත ය. ඒ අනුව, 2008 මූල්‍ය කඩා වැටීමෙන් පසු ඇතිව තිබූ තත්වය තුළ, සාමාන්‍යයෙන් එය සියයට 1-2 අතර ප්‍රමාණයක් විය. (සන්සන්දනයක් වශයෙන් ගත්තොත් මේ කාලයේ ජපානය යටිතල ව්‍යාපෘති සඳහා දෙන මේ ආකාරයේ ණයවල පොලී අනුපාතිකය වුණේ, සියයට 0.5 කටත් අඩු ප්‍රමාණයකි).

එහෙත් දැන් අලුතෙන් ණයක් ද අවශ්‍ය කරන තිබෙන බැවින්, කලින් ගත් ණය සඳහා වන පොලිය සියයට 6.3 ක නිත්‍ය අනුපාතිකයකට ඉහළ දැමීමට සිදුවන බව චීනය කීවේය. නැවතත් රාජපක්ෂ මහතා ‘හා’ කීවේය.

ගොඩගැහෙමින් පැවති ණය ප්‍රමාණය සහ වැඩි වෙමින් පැවති ව්‍යාපෘති වියදම් ගැන එදා විපක්ෂය විශාල වශයෙන් උද්ඝෝෂණ කෙළේය. චීනය පිළිබඳ බරපතල සැක සාංකා මතු කෙළේය. රාජපක්ෂ මහතා ජනාධිපතිවරණනේ පරාජය විය. ජනාධිපති සිරිසේන මහතා යටතේ අලුතෙන් බලයට පත්වූ ආණ්ඩුවට, ශ්‍රී ලංකාවේ මූල්‍ය ගනුදෙනු ගැන සොයා බැලීමේ ජනවරමක් හිමි විය. ඒ සමගම, මහා ණය කන්දරාවක් ද ඒ ආණ්ඩුවට හිමි විය. රාජපක්ෂ මහතා යටතේ රටේ ණය ප්‍රමාණය තුන් ගුණයකින් හෙවත්, ඩොලර් බිලියන 44.8 ක් දක්වා වර්ධනය වී තිබුණි. 2015 වසරේදී පමණක් අලුත් ආණ්ඩුවට ගෙවීමට තිබූ ණය වාරික ප්‍රමාණය ඩොලර් බිලියන 4.68 කි.

පවරා දීම

අලුත බලයට පත් ආණ්ඩුව, ඉන්දියාව, ජපානය සහ යුරෝපය දෙසට ශ්‍රී ලංකාවේ දිසානතිය යොමු කරවන්ට කැමැත්තක් දැක්වීය. එහෙත් ශ්‍රී ලංකාව තුළ චීනය දැරූ ස්ථානය, මූල්‍යමය වශයෙන් හෝ ආර්ථික වශයෙන් සැපිරීමට වෙන කිසි රටක් කැමති නැති බව ශ්‍රී ලංකාව වටහා ගත්තේය.

‘අපිට ලැබුණේ, ඕනේ කමින්ම හොම්බ බිම ඇනපු ආර්ථිකයක්. රටට ලැබෙන ආදායම මදි, ණය නෙවෙයි, ණයවල පොලිය ගෙවන්නත්.’ අලුත් ආණ්ඩුවේ පළමු මුදල් ඇමති රවි කරුණානායක මහතා කීය. ‘අපිට තව ණය ගන්න වුණා. අලුත් ආණ්ඩුවකට පුලුවන් කමක් නැහැ, තියන ණය නිකංම ඉවරයක් කරන්න. ඒක රිලේ එකක් වගේ. රටේ ආර්ථික විනය කියන එක ඇති කරන කල් ණය ගන්න වෙනවා.’ ඔහු කීය.

ශ්‍රී ලංකාව ගිය වසර වන විට ඩොලර් බිලියන 3 ක් චීනයට ණය බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. එහෙත් ‘වෙරිතේ රිසර්ච්’ ආයතනයේ ආර්ථික විද්‍යාඥයෙකු වන නිශාන් ද මෙල් කියන්නේ, ආණ්ඩුවේ ගිණුම් තුළ සටහන්ව නැති, වෙනම ව්‍යාපෘති වශයෙන් ලබා ගත් තවත් ණය ප්‍රමාණයක් පවතින බවයි. ඔහුගේ ගණන් බැලීම්වලට අනුව, ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 5 ක පමණ මුදලක් චීනයට ණය වී සිටින අතර, එම ප්‍රමාණය වසරක් පාසා වැඩි වෙයි. මේ වසරේ මැයි මාසයේදී තවත් ඩොලර් බිලියන 1 ක් ‘චීන සංවර්ධන බැංකුවෙන්’ ලංකාව ණයට ගත්තේය. ඒ, කලින් ණය ගෙවා දැමීම සඳහා ය.

2016 දී අලුත් ආණ්ඩුවේ නිලධාරීහූ චීන නියෝජිතයන් සමග සාකච්ඡා ආරම්භ කළහ. ඒ, යම් අතරමැදි විසඳුමකට පැමිණීම සඳහා ය. එනම් ශ්‍රී ලංකාවේ ගිණුම් ශේෂයේ ඇති වරාය පිළිබඳව ඇති බරෙන් නිදහස් වීමටත්, ගෙවීමට ඇති ණය පැහැර හැරීමට විය හැකි අවදානම වළක්වා ගැනීමටත් ය. එහෙත් එසේ කිරීමට නම්, වරායේ අයිතියෙන් ප්‍රධාන කොටසක් චීන සමාගමකට පැවරිය යුතු බව චීනය කියා සිටියේය. එසේ නොමැතිව, ලබා ගත් ණය කටුගා දැමීමට චීනය කෙසේවත් එකඟ නොවන බව ශ්‍රී ලංකාවේ නිලධාරීහූ කියති.

චීනය මෙහිදී ශ්‍රී ලංකාවට තේරීමක් දුන්නේය. එනම්, වරායේ අයිතිය පවරන්ට කැමති වන්නේ, චීනයේ මොන සමාගමකට ද යන්නයි. ‘චයිනා හාබර් සමාගම’ ද, නැත්නම් ‘චයිනා මර්චන්ට් පෝර්ට්ස්’ සමාගම ද යන්න තීරණය කිරීමට පමණක් ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබුණු බව, ඒ පිළිබඳ අවසාන ගිවිසුමේ සඳහන් වෙයි. එහි පිටපතක් අප සතුව ඇත. එහෙත් මෙය කිසි විටෙක ප්‍රසිද්ධියට පත්කොට නැත. කෙසේ වෙතත් ‘චයිනා මර්චන්ට්ස්’ සමාගමට කොන්ත්‍රාත්තුව ලැබුණේය. අනතුරුව ඔවුන් තවත් දේවල් ඉල්ලා සිටියේය. වරාය අවට කාර්මික කලාපයක් පිහිටුවීම සඳහා අක්කර 15,000 ක් ඒ අතර වෙයි. වරායේ අයිතිය වෙනුවෙන් තමන් ශ්‍රී ලංකාවට ගෙවන ඩොලර් බිලියන 1.1 ක මුදලට සරිලන වටිනාකමක් වරායේ නැති බවට තර්ක කළ චීන නිලධාරීන්, එකී වටිනාකම ඇති කර ගැනීම සඳහා අමතර කාර්මික කලාපයක් අවශ්‍ය කරන බව පෙන්වා දී තිබේ.

ආණ්ඩුවේ ඇතැම් අය මේ ගිවිසුමට තරයේ විරෝධය පෑහ. එහෙත්, සාකච්ඡාවලට සහභාගී වූ නිලධාරීන් කියන පරිදි, පාඩුව පිරිමසා ගැනීමේ වෙනත් මාර්ගයක් නොවුණි. අලුත් ගිවිසුම 2017 ජුලි මාසයේ අත්සන් තැබුණි. ඒ වසරේ දෙසැම්බර් මාසයේ සිට එය ක්‍රියාවට නැංවුණි. අදාළ ගිවිසුමේ වෙනත් කරුණුවලට අමතරව, වරායේ ක්‍රියාකාරීත්වය සහ ආදායම් සම්බන්ධයෙන් ඒකාබද්ධ සමාගමක් පිහිටුවන ලදි. ඒ අනුව, වටිනාකමින් සියයට 85 ක් ‘චයිනා මර්චන්ට්ස් පෝට්’ සමාගමට හිමි වන අතර, ඉතිරි සියයට 15 ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හිමි වෙයි.

එහෙත් වරායවල් අත්පත් කර ගැනීම පිළිබඳ විශේෂඥ නීතිඥවරුන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව සතු මේ කුඩා අයිතියෙන් කිසි වැඩක් නැති බවයි. මන්ද යත්, සේවකයන් සහ වරායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ බලය පැවරෙන්නේ ‘චයිනා මර්චන්ට් පෝට්ස්’ සමාගමට වන බැවිනි. එසේම, වරාය පිහිටි බිමේ ස්වෛරීත්වයද ශ්‍රී ලංකාවට හිමි නොවේ.

ගිවිසුම ගැන මුලින් සාකච්ඡා පැවැත්වෙන අවස්ථාවේ, වරාය සහ ඒ අවට ප්‍රදේශය චීනයේ හමුදා අවශ්‍යතා සඳහා පාවිච්චි කළ හැකි ද යන කාරණය නිශ්චිත නොවුණි. එහෙත් එය නිශ්චිතවම තහනම් කළ යුතු බව ඉන්දියානු බලධාරීන් ලංකාවේ ආණ්ඩුවට දන්වා තිබේ. ඒ අනුව, අවසාන ගිවිසුම තුළ, ලංකාවේ ආණ්ඩුවේ පූර්ව-අවසරයකින් තොරව කිසි විදේශ රටක හමුදාමය අවශ්‍යතාවක් සඳහා ඒ බිම යොදා ගැනීම තහනම් කොට තිබේ. චීනයට අයත් නාවුක සබ්මැරීන් යාත්‍රා ඒ වන විටමත් ලංකාවට පැමිණ තිබුණු නිසා එවැනි වගන්තියක් ඇතුලු කිරීම කොහොමත් අත්‍යාවශ්‍ය විය.

උපාය මාර්ගික වැදගත්කමක් ඇති කරුණු

කොළඹ වරාය ගැනත් චීනයට කැක්කුමක් තිබුණි. ‘චයිනා හාබර් සමාගම’ ඒ වන විට අලුත් පර්යන්තයක් එතැන ඉදි කරමින් සිටියේය. එකල එය හැඳින්වුණේ ‘කොළඹ වරාය නගරය’ වශයෙනි. ඒ ගනුදෙනුවෙනුත් චීනයට අක්කර 50 ක් ලැබී තිබුණි. ඒ අනුව, එම ඉඩම් කෑල්ලේ ස්වෛරීත්වයත් ලංකාව අහිමි කරගෙන තිබුණි.

මෙහි බරපතල කම අගේට ප්‍රදර්ශනය කෙරුණේ, රාජපක්ෂ මහතාගේ පාලන කාලය අවසානයේ 2014 දී ය. ජපාන අගමැති ෂින්සෝ අබේ ලංකාවේ සංචාරයක් සඳහා එන දවසේම චීන සබ්බැරීන් යානා කොළඹ වරායේ නැංගුරම් ලා සිටියේය. කලාපය පුරාම එය දුටුවේ, චීනයේ තර්ජනාංගුලියේ සංඥාවක් වශයෙනි.

අලුත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව, නැවත වරක් කොළඹ වරාය චීන සබ්මැරීන් යානා සඳහා පාවිච්චි නොකරන බවට සහතිකයක් ඇති කර ගැනීමට බැලුවේය. වැඩියත්ම, එවැනි නෞකා මගින් බුද්ධිමය තොරතුරු එක්රැස් කිරීම පිළිබඳ නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට නැති නිසා ය. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිවක් කිරීමට ශ්‍රී ලංකාවේ බලධාරීන්ට විශාල හයියක් තිබුණේ නැත.

දැන් හම්බන්තොට වරායත් චීනයට පවරා ඇති තත්වය තුළ එකී ප්‍රශ්නය අලුතෙන් පැනනැගී තිබේ. මන්ද යත්, දකුණු චීන මුහුදු තීරයේ එවැනි හමුදා ක්‍රියාකාරකම් නොකරන බවට චීනය ප්‍රතිඥා දී තිබියදීත්, එම ප්‍රදේශයේ චීනය හමුදා ක්‍රියාකාරකම්වල නියැලෙන බැවිනි. එහෙත්, හමුදා ක්‍රියාකාරීත්වයන් පැහැදිළිවම ගිවිසුම තුළ තහනම් කොට ඇති බව ශ්‍රී ලංකා බලධාරීහූ පෙන්වා දෙති. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තවමත් චීනයට බරපතල සේ ණයගැතිව සිටින තත්වයක් තුළ, එවැනි අවශ්‍යතාවක් පිරිමසා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව නම්මවා ගැනීමේ ඉඩක් චීනයට ඇති බව තවත් අය පෙන්වා දෙති.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියන පරිදි, ‘ආණ්ඩු වෙනස් වීමට පුළුවන.’

දැන්, ශ්‍රී ලංකාවේ චීන මිත්‍රයා වන රාජපක්ෂ මහතා නැවත බලයට පැමිණීම සඳහා උත්සාහයක් ගනිමින් සිටීම ගැන ඔහු සහ වෙනත් අය සිටින්නේ බලවත් සැලකිල්ලෙනි. හිටපු ජනාධිපතිවරයාගේ අලුත් පක්ෂය පසුගිය පෙබරවාරියේ පැවති පළාත් පාලන ඡන්දයෙන් විශාල ජයක් අත්කර ගත්තේය. ඊළඟ වසරේ ජනාධිපතිවරණය ඒමට නියමිතයි. 2020 දී පාර්ලිමේන්තු මැතිවරණයක් තිබේ.

කෙනෙකුට දැරිය හැකි ජනාධිපති වාර ගණන පිළිබඳ සීමාව නිසා රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයක් සඳහා තරග කිරීමේ ඉඩක් නැති තත්වය තුළ, ඔහුගේ බාල සොහොයුරු, හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැන් පන්දම අතට ගනිමින් සිටින බවක් පෙනේ.

‘ඒක තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ. එයා කියනවා නං, සහෝදරයන්ගෙන් කෙනෙක් කියලා, ඒ සහෝදරයට ලොකු ඉඩක් ලැබෙනවා.’ රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ, මහ බැංකු අධිපතිවරයා වූ ද, තවමත් එම පවුලට උපදෙස් සපයන්නෙකු වූ ද අජිත් නිවාඞ් කබ්රාල් කියයි. ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහු රටේ නායකයා නොවුණට, රටේ ප්‍රධාන බල පදනම වෙන්නේ ඔහු.’

(2018 ජුනි 25 වැනි දා ‘ද නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ How China Got Sri Lanka to Cough Up A Port? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි. )

Back to Top