Sri Lanka Brief
පුවත්විවරණඅපේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලනික ඉඩහසර වැනසීම සහ අනාගතයට එහි ඇති බලපෑම (1) – දයාපාල තිරාණගම

අපේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලනික ඉඩහසර වැනසීම සහ අනාගතයට එහි ඇති බලපෑම (1) – දයාපාල තිරාණගම

by

1948 නිදහසේ පටන් ශ්‍රී ලංකාව අසාර්ථක සන්නද්ධ අරගල තුනකට මුහුණදී තිබේ. එයින් දෙකක් (1971 සහ 1987-89) ප්‍රධාන වශයෙන් සිංහල දකුණට සීමා විය. උතුරු නැගෙනහිර පළාත්වල ඇති වූ අවසාන සන්නද්ධ නැගිටීම, 2009 දී කොටි සංවිධානය පරාජයට පත්කරන තෙක්. අවුරුදු තිහක් දිග් ගැස්සුණි. ශ්‍රී ලංකා රාජ්‍යය ලත් එම ජයග්‍රහණයේ ස්වභාවය විසින් උග්‍ර දේශපාලනික තුවාල ඇති කොට තිබේ. එසේම, දෙමළ සන්නද්ධ නැගිටීමට තුඩුදුන් මූලික ප්‍රශ්න එයාකාරයෙන්ම තිබෙන්ට ඉඩ හැර තිබේ. රාජ්‍යය සහ ඊට පිටස්තර අංශ අතර කෙරුණු ඒ සන්නද්ධ ව්‍යාපාර තුනේ විනාශකාරී ප්‍රතිවිපාක නිසා, මේ රටේ ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුකරණයටත්, සියලු ජනයා ඒකරාශී කරගැනීම සඳහා වූ ව්‍යායාමයට හෙවත් බහුත්වවාදී ව්‍යායාමයටත් එල්ල කොට ඇති පහර ඉතා දරුණු ය. ශ්‍රී ලංකාවේ සමාජ නිර්මිතය මේ ප්‍රචණ්ඩකාරී අරගල විසින් ඉරා දමා තිබේ. රටවැසියන්ගේ ආර්ථික සුභ සිද්ධිය අඩාල කොට තිබේ. අපේ තුරුණු, දුර්වල රාජ්‍යය සඳහා සවිමත්, බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් නිර්මාණය කර ගැනීම උදෙසා වූ නිරන්තර ව්‍යායාමයන් අඩපන කොට තිබේ.

1957 දී සිංහල සහ දෙමළ ප්‍රජාවන් අතර අවබෝධයක් ඇති කර ගැනීමට එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක යම් ප්‍රයත්නයක් ගත් අවස්ථාවේ ඊට දරුණු විරෝධයක් එල්ල විය. මහාචාර්ය ජේම්ස් මේනර් මේ තත්වය හඳුන්වා දී ඇති පරිදි, ‘එය මේ දිවයිනේ දේශපාලනික ඉතිහාසයේ වැදගත් මොහොතක් විය. එය එක්තරා මාදිලියක ප්‍රථම වටය විය. රටේ තීරණාත්මක මංසන්ධිවලදී එය කේන්ද්‍රීය විසකාරයක් බවට පත්විය. බලයේ සිටින පක්ෂය ජාතීන් අතර අනුග්‍රහශීලී ගනුදෙනුවකට කැමති වෙයි. එය එවක විපක්ෂයේ සිටින ප්‍රධාන පක්ෂය සිංහල ග්‍රාම්‍යත්වය අවුළුවමින් ව්‍යර්ථ කරවයි.’ අපේ රටේ පවතින ඉතා දුර්වල වාර්ගික සම්බන්ධතාවටත්, ජාතියක් වශයෙන් අපට තිබිය යුතු දේශපාලනික එක්සත් භාවයටත් හානි පමුණුවමින් මේ විනාශකාරී චක්‍රය එක දිගටම ක්‍රියාත්මක වී තිබේ.

එකක් පසුපස එකක් වශයෙන් පැමිණි සන්නද්ධ අරගල සහ තිස් අවුරුදු සිවිල් යුද්ධයක රාශීභූත හානිය, ප්‍රජාතන්ත්‍රීය බහුත්වවාදයට දරුණු පහරක් එල්ල කොට අපේ දේශපාලනික ඉඩහසර වඩාත් පටු කොට ඇති බව කිව යුතුය. රටේ සකල වාසීන් මුහුණදෙන සාමූහික අභියෝගයන් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාකාරකම් තුඩුදිය යුතුව තිබියදී, ඇත්ත වශයෙන් සිදුව ඇත්තේ එවැනි අවබෝධයන් ඇති වීම එකී ක්‍රියාකාරීත්වයන් මගින් අවුරුවාලීමයි. වාර්ගික ගැටුම් සමනය කරනවා වෙනුවට, එම ගැටුම් අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන තිබීමයි. එනම්, සිංහල දේශපාලනික නායකත්වය තමන්ගේ ඡන්ද පදනම තර කර ගැනීම සඳහා පටු ජාතිකවාදී හැඟීම් ඉතා පහසුවෙන් අවුස්සා තිබේ. තිස් අවුරුද්දක විනාශයක් පසු කොට තිබියදීත්, දේශපාලනික විසඳුමක අවශ්‍යතාවය තදින්ම දැනෙමින් තිබියදීත්, මහාචාර්ය මේනර් නිරීක්ෂණය කළ අර මාදිලිය තවම වෙනස් වී නැත.

මෙය, දේශපාලනික නායකයන්ගේත්, ප්‍රධාන පක්ෂවලත් අවංකත්වය සහ බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වන ඔවුන්ගේ කැපවීම දැඩි පරීක්ෂාවට ලක්කරන තත්වයක් බවට පත්ව තිබේ. ඒ සම්බන්ධයෙන් ගත් විට, දෙනු ලබන දේශපාලනික ප්‍රතිඥාවන් සහ එම ප්‍රතිඥාවන් සාධනය කර දීමට එම නායකත්වයන්ට ඇති හැකියාව අතර බරපතල හිඩැසක් පවතින බව පෙනේ.

ප්‍රජාතන්ත්‍රීය දේශපාලනික අවකාශය සහ බහුත්වවාදය

නූතන ප්‍රජාතන්ත්‍රවාදය තමන් සේවය කරන ජනතාවගේ විවිධාකාර අවශ්‍යතා ඇතුළත් කර ගන්නා ප්‍රජාතන්ත්‍රීය දේශපාලනික ඉඩකඩ (අවකාශය) පුළුල් කර ගැනීමට සහ ව්‍යාප්ත කර ගැනීමට සමත් නොවන්නේ නම්, ජනතාව සඳහා වන අර්ථවත් නිදහසක් හෝ මූලික අයිතිවාසිකම් රැක දීමට ඊට නොහැකි වන්නේය. ඒ කියන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට, ඉහත කී ජනතා අභිලාෂයන් ඇතුළත් කර ගැනීමට තරම් ජවයක් නොමැත්තේ නම්, දේශපාලනික විමුක්තිය අත්කර ගැනීම දුෂ්කර කටයුත්තක් වන්නේය. ‘බහුත්වවාදය, නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ අරටුවේම තිබෙන දෙයකි. අපට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අවශ්‍ය කරන්නේ නම්, ඒ බහුත්වවාදය අප වර්ධනය කර ගත යුතුය. ප්‍රජාතන්ත්‍රීයව ඒකරාශීව ඇති සංවිධාන සහ ප්‍රජාවන්ගේ විවිධත්වය සඳහා ඉඩක් එම සමාජය තුළ තිබිය යුත්තේය.’

කෙසේ වෙතත්, 1948 දී අපට ලැබුණු වෙස්ට්මින්ස්ටර් ආණ්ඩු ක්‍රමය, බහුතරවාදී ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුකරණයකි. බහු-වාර්ගිකත්වය පිළිබඳ ආකල්පය ඇතුළත් කර ගැනීමේ ඉඩක් ඒ තුළ නොවුණි. (බහුත්වවාදය යනු, සියලු ජාතීන්, සියලු ආගම් සහ සියලු භාෂා ආදිය ඇතුළත් කරගන්නා සංකල්පයක් වන අතර, බහුතරවාදය යනු, සංඛ්‍යාත්මක අගය මත, එනම්, වැඩි ජන කොටසක් මත සියල්ල පදනම් වන සංකල්පයකි- පරිවර්තක). එබැවින් ඉදිරියේදී පැමිණීමට නියමිතව පැවති තත්වයට මුහුණදීමට තරම් වන දේශපාලනික සහ ව්‍යවස්ථාමය සූදානමක් ඒ වෙස්ට්මින්ස්ටර් ක්‍රමය තුළ තිබුණේ නැත. 1948 දී උපන් අලුත් රටට, එම රටේ වෙසෙන විවිධ ප්‍රජාවන්ගේ ප්‍රජාතන්ත්‍රීය සහ විමුක්තිකාමී අභිලාෂයන් පිළිබඳ අපේක්ෂාවන් තිබුණි. එහෙත් ඒ අපේක්ෂාවන් සාධනය කර ගැනීමේ මාර්ග එහි නොතිබුණි.

එය, නිදහසට පෙර පටන් පැවත ආ බි්‍රතාන්‍ය යටත්විජිත ප්‍රතිපත්තියේ තාර්කික දිගුවකි. බි්‍රතාන්‍ය යටත්විජිත පාලනය යටතේ ලංකාවේ සමාජ දේහය කේන්ද්‍රයේ පැවති ප්‍රධාන පරස්පරයක් විද්‍යාර්ථීන් හඳුනාගෙන ඇත. ඒ මෙසේ ය: ‘ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු වැසියන්ට එක සමානව සැලකිය යුතුය. තනි නීතිරීති පද්ධතියක් සහ තනි පාලන ක්‍රමයක් ඒ සඳහා සැකසුණි. පුරවැසි භාවය සම්බන්ධයෙන් ගත් විට සියල්ලන් එක සමාන ය. එහෙත් ඒ සමගම, නානා-ජාතිකත්වය පිළිගත් බි්‍රතාන්‍ය පාලනය, ඒ නානා-ජාතිකත්වයේ සංස්කෘතික වෙනස්කම් පිළිගෙන, දේශපාලනික නියෝජනය සඳහා ඒ වෙනස්කම් පදනමක් කර ගත්තේය. මෙය, ‘බෙදා වෙන් කර පාලනය කිරීමේ’ කැමැත්තක් නිසා උපන් තත්වයක් වශයෙන් නොගත යුතුය. එය සිදු වුණේ, වෙනස් ජාතීන්ගේ වෙනස් සිරිත්විරිත් ආරක්ෂා කර දිය යුතුව ඇතැයි ගත්, නොමග ගිය ‘ලිබරල්’ හැඟීමක් නිසාවෙනි.’

කෙසේ වෙතත්, නිදහසට පෙර මේ බි්‍රතාන්‍ය ප්‍රතිපත්තියත්, නිදහසෙන් පසු අඛණ්ඩව එම ප්‍රතිපත්තිය දිගටම ගෙන යාමත් නිසා, බහුතරවාදී සිංහල බෞද්ධ හැඟීම තවදුරටත් තර වුණේය. ඒ අනුව, නිදහසෙන් පසු දේශපාලනික අවකාශය තුළ අධිපති-දෘෂ්ටිවාදයේ ස්ථානය, සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයට අත්විය. සුළු ජන ප්‍රජාවන් කොන් කෙරුණු අතර, සමාන පුරවැසියන් වීමේ ඔවුන්ගේ අයිතිය උදුරා ගැනුණි. සිංහල නායකයන් විසින් යම් ආකාරයක ප්‍රතිසංස්කරණ සඳහා උද්‍යෝගයක් විටින්විට පෙන්නුම් කොට ඇතත්, සිංහල බෞද්ධ ප්‍රබල විරෝධය ඉදිරියේ ඒ උනන්දුව සැණෙකින් වාෂ්ප වී යන තත්වයක් තුළ, ඉහත කී සුළු ජාතික කොන් වීම අඛණ්ඩව ක්‍රියාත්මක විය.

රටක හෝ සමාජයක පවතින සමාජ සහ දේශපාලනික ඉඩහසර (අවකාශයන්), මානව ක්‍රියාකාරකම් සඳහා අතිශයින් වැදගත් වන්නේය. ජනතාවක් තනි සාමූහිකත්වයක් වශයෙන් බැඳ තබා ගැනීම සඳහා එය අතිශයින් ඉවහල් වන්නේය. එම ඉඩහසර, සමාජීය වශයෙන් සහ දේශපාලනික වශයෙන් සීමා කිරීම, මිනිස් නිදහස සහ අභිමානය කෙරෙහි තදින්ම නරකට බලපායි. උදාහරණයක් වශයෙන්, දකුණු අප්‍රිකාවේ පැවති සුදු පාලනය යටතේ, ජාතිය, වර්ණය සහ ලිංගිකත්වය මත, එකී අවකාශය සීමා කෙරුණි. එහෙත්, ජාතියක්, භාෂාවක්, වර්ණයක්, ආගමක්, ලිංගිකත්වයක් හෝ ලිංගික නැමියාවක් මත ඇති කෙරෙන කිසි සීමාවක් මගින් ඒ අවකාශය අහුරාලිය යුතු නැත. ‘මිනිස් ජීවීන් එක්තැන් වන තැන, එය පෞද්ගලික මට්ටමෙන් වේවා, සමාජීය මට්ටමෙන් වේවා, ප්‍රසිද්ධියේ වේවා, දේශපාලනිකව වේවා, ඒ සඳහා එක විට ඔවුන්ව එක්කාසු කර ගන්නා වූ ද, එකිනෙකාගෙන් වෙන් කරන්නා වූ ද, අවකාශයන් බිහි වෙයි. ඒ සෑම අවකාශයකටම, ඊට අයත් ව්‍යුහයක් තිබේ. එම ව්‍යුහය කලින් කලට වෙනස් වන අතර, සිරිත්විරිත් වශයෙන් පෞද්ගලික සන්දර්භයක ද, සම්මතයන් වශයෙන් සමාජ සන්දර්භයක ද, නීතිරීති, ව්‍යවස්ථා අණපනත් වශයෙන් පොදු සන්දර්භයක ද ප්‍රකාශයට පත්වෙයි. මිනිසුන් එක්කාසු වන හැම විටකම ඒ මැදට ලෝකය කඩා පනී. සෑම මිනිස් ක්‍රියාකාරීත්වයක්ම කටයුතු කරන්නේ අන්න ඒ අතරමැද අවකාශය තුළ ය.’ එහි අදහස වන්නේ, පුද්ගලික සුවිශේෂතා මත පදනම් වන විශේෂ නීතිරීති මගින් මහජන අවකාශය සීමා කෙරෙන විට, මිනිස් නිදහසට සහ අභිමානයට බරපතල හානි සිදු වන බව ය.

ශ්‍රී ලංකාවේ නිදහසේ පටන් එවැනි විශේෂිත නීති හඳුන්වා දුනි. ඉන් පළමුවැන්න වුණේ, කඳුකරයේ විසූ ඉන්දීය සම්භවයෙන් යුත් දෙමළ ජනතාවගේ පුරවැසි අයිතිය අහෝසි කළ ’1948 පුරවැසි පනතත්’, ‘1949 ඉන්දියානු සහ පකිස්තානු පදිංචිකරුවන් පිළිබඳ (පුරවැසි) පනතත්’ ය. එයින්, ශ්‍රී ලංකාවේ විසූ ඉන්දියානු දෙමළ ජනතාවගෙන් විශාල බහුතරයකගේ පුරවැසි භාවය අහෝසි කෙරුණි. නිදහසෙන් පසු බිහි වූ දේශපාලන යුගයේ පදනම ගල එයයි. ඒ වූ කලී, රාජ්‍යය විසින් රටවැසියන්ගේ පුරවැසි අයිතීන් ආරක්ෂා කරනවා වෙනුවට, එකී ජන කණ්ඩායම්වලට රාජ්‍යය විසින් කුඩම්මාගේ සැලකිලි දක්වන පදනම් ගලකි. ඒ මගින්, ප්‍රජාතන්ත්‍රීය බහුත්වවාදී ව්‍යාපෘතිය පසුබැස්සේය. එයම, අනතුරුව, ප්‍රචණ්ඩත්වය දිසාවට දිවෙන, සුළු ජාතීන්ගේ හැඟීම් මැඩලන, සුක්කානම අතට ගත් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ප්‍රවණතාවන් විසින් සුළු ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ගෙල ග්‍රහණයෙන් ගන්නා මාවතකට ශ්‍රී ලංකාව තල්ලු කෙරුණි.

1956 මහ මැතිවරණයේදී බණ්ඩාරනායක බලයට පත්වීම සඳහා රට ඉදිරියේ තැබූ ‘සිංහල පමණයි’ පනත හරහා සිංහල සහ දෙමළ ජනතාව අතර වන වාර්ගික අසමගිය පෙර නොවූ විරූ ආකාරයෙන් ඉස්මත්තට ආවේය. දශක ගණනාවක ගැටුම් ඒ මගින් ඇති කෙරුණු අතර, අවසානයේ මුළු රටම බිළි ගන්නා ප්‍රචණ්ඩ මාරකත්වයේ බීජ රෝපණය කෙරුණි. ෆෙඩරල් ක්‍රමයක් මත පදනම් වන උතුරු නැගෙනහිර සඳහා වන ස්වායත්ත භාවය, සිංහල සහ දෙමළ භාෂා සඳහා සමානත්වය, ඉන්දියානු සම්භවයෙන් යුත් ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන් සඳහා වන පුරවැසි භාවය වැනි ඉල්ලීම් මත පදනම් වෙමින් ෆෙඩරල් පක්ෂය සිංහල පාලකයන් සමග ගෙන ගිය සාකච්ඡා හරහා ප්‍රජාතන්ත්‍රීය විසඳුමක් සඳහා වන පදනමක් දැමිය හැකිව තිබුණි. එසේ වෙතත්, දැඩි මතධාරී සිංහල බෞද්ධ අන්තවාදීන් දෙමළ-විරෝධී හැඟීම් අවුලුවමින් ගෙන ගිය ව්‍යාපාරයත්, පාර්ලිමේන්තුව තුළ සිටි එක්සත් ජාතික පක්ෂයත් ඊට විරුද්ධව නැගී සිටියේය. 1958 මැයි මාසයේ රට පුරා ජාතිවාදී ගිනි ඇවිළුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ඒ ජාතිවාදී කෝලාහලවලින් පසුව, 1966 දී, එවර බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය, තවත් උත්සාහයක් ගත්තේය. ඒ, ‘දිස්ත්‍රික් සභා’ හරහා දේශපාලනික බලය බෙදාහදා ගැනීමේ ක්‍රමයක් වෙනුවෙනි. එහෙත් එවර, ඒ වන විට විපක්ෂයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සම්ප්‍රදායික වමේ පක්ෂ වන ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයේ ද සහාය ඇතිව ඊට විරෝධය පෑවේය. එවරත්, කඩාකප්පල්කාරයෝ ජයගත්හ.
(ඉතිරිය ඊළඟට)

(2018 ජුනි 03 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Subversion of Our Democratic Political Spaces & What it Means for Sri Lanka’s Future 
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (1) ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top