Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගහමුදා වෙළෙඳාම් නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ රැකියා අවදානමේ: සමීක්ෂණයක්

හමුදා වෙළෙඳාම් නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ රැකියා අවදානමේ: සමීක්ෂණයක්

by

   ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යන වෙළෙඳාම් හා කෘෂිකර්මාන්ත ඒකාධිකාර බවට පත්වීමේ අවදානම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම පොදු ජනතාවගේ ජීවිකාවටද එල්ලවී ඇති හානිදායක බලපෑම ගැන අනතුරු අඟවන සමීක්ෂණ ආයතනයක් එම ව්‍යාපාර රජයට හෝ පෞද්ගලික අංශයට පවරන ලෙස යෝජනා කරයි.

ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය නගා සිටුවීම අරමුණු කොටගත්, නීති අධ්‍යයනය සඳහා වන දකුණු ආසියා මධ්‍යස්ථානය (SACLS) විසින් ප්‍රකාශයට පත් කර ඇති සවිස්තර අධ්‍යයනයක  දැක්වෙන පරිදි එම අවදානමට වඩාත් මුහුණ පා සිටින්නේ හමුදාකරණයට යටත්වී සිටින උතුරු නැගෙනහිර ජනතාවයි.

යුද්ධයෙන් පසු කාල පරිච්ඡේදයේ ආර්ථික ක්‍රියාකාරිත්වයක් නැති තැනක ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපාරවලට හමුදා ආයතන ඇතුල්වීම නිසා ඇතිවී තිබෙන අනිටු බලපෑම “බලය සහ ලාබය: ශ්‍රී ලංකාවේ හමුදා ව්‍යාපාර පිළිබඳ ගවේෂණය” නම් පිටු 46 කින් සමන්විත වාර්තාවේ විග්‍රහ කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය තරු පහේ හෝටල්, සංචාරක, විනෝදාස්වාද සහ ගොවිපල ඇතුළු විවිධාකාර  ව්‍යාපාර වල යෙදෙමින් කෝටි ගණනින් ලාබ උපයන හැටි වාර්තාවේ දක්වා තිබේ.

යුද්ධය අවසන් වීමෙන් අනතුරුවත් දැවැන්ත හමුදාවක් පවත්වාගෙන යන ශ්‍රී ලංකා රජය එම සොල්දාදු සමූහය වෙනත් කටයුතු වල යොදවා වැටුප් ගෙවමින් නඩත්තු කරන ආකාරය එහි විස්තර කෙරෙයි.

විගණනයක් නෑ

කෙසේවෙතත්, රාජ්‍ය අනුග්‍රහයෙන් ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යන ව්‍යාපාර පරිපාලනය හෝ නෛතික අධීක්ෂණය හෝ කෙරෙන ආකාරයක් දැනගන්නට නැති බව එහි දක්වා තිබේ.

“වෙළෙඳපොල විකෘති කර, සාමාන්‍ය වැසියන්ගේ ආර්ථික ඉඩප්‍රස්තා අහිමි කර ඇති, රාජ්‍යය විසින් සම්පත් යොදවනු ලබන හෝ මෙහෙයවනු ලබන ව්‍යාපාර පාරදෘශ්‍ය හෝ වගකීමෙන් බැඳී හෝ නැත,” යි SACLS වාර්තාව පවසයි.

“සැලකිය යුතු මුල්‍ය ගනුදෙනු සිදුකරන අනිකුත් සියලු රාජ්‍ය ආයතනවල ගිණුම්  රජයේ විගණකාධිපති වරයා විසින් පරීක්ෂා කරනු ලබන නුමුත්, ආරක්ෂක අංශ වල ව්‍යාපාර පවත්වාගෙන යන්නේ විගණකාධිපතිට හෝ පොදු මහජනතාවට හෝ වගකීමෙන් තොරවය.”

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 2011 දී පිහිටුවන ලද කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය සමග  පෞද්ගලික ආයතන දෙකක් වන බ්‍රවුන්ස් ග්ලෝබල් ෆාම් සහ අත්තම කොලිටි ඇග්රෝ සමාගම් හවුල් ව්‍යාපාර අරඹා ඇති බව වාර්තා වී ඇතැයි ද   SACLS පවසයි.

රාජ්‍ය සම්පත් යොදා ගනිමින් යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මහත් ලාබ උපයන නිවාඩු නිකේතන, සංචාරක හා හෝටල් කර්මාන්තයට මහා පරිමාණයෙන් ඇතුල් වීම ඔවුන්ගේ නිල රාජකාරිය වන “ආරක්ෂාව සහ ජාතිය  ගොඩනැගීමට” කිසිදු සම්බන්ධයක් නැති බව වාර්තාව පෙන්වා දෙයි.

රජය විසින් ලබාදෙන දැවැන්ත අයවැය ප්‍රතිපාදන සහ සම්පත් යොදාගැනීමේ වාසිය මගින් යුද හමුදාවට තම වෙළෙඳපොල තරගකරුවන් “යටින් කපාහැරීමේ” මාර්ගය පෑදී ඇති ක්‍රම කිහිපයක් එහි විස්තර කෙරේ.

ආණ්ඩුව විසින් පඩි ගෙවන හමුදා නිලධාරීන් සේවයට යොදවා ගැනීම, රජයේ වියදමින් ඉඩකඩම්, ගොඩනැගිලි, උපකරණ හා යානවාහන ඇතුළු ප්‍රාග්ධන පහසුකම් ලැබීම ආදිය ඉන් සමහරකි.

උතුරේ ජනතාව සතු ඉඩම් අත්පත්කරගෙන යුද හමුදාව විසින්  2010 සිට කන්කසන්තුරේ පවත්වාගෙන යන තල්සෙවන සංචාරක නිකේතනය තරගකාරී ආයෝජකයන්ට නැති වාසියක් වන රාජ්‍ය සම්පත් යොදාගෙන ලාබ ලබන එක් ව්‍යාපාරයකට උදාහරණයක් ලෙස වාර්තාවේ දක්වා තිබේ.

මීට අමතරව, කල්කුඩා, කුකුළේගම, වාද්දුව හා යාල ද යුද හමුදාව සුඛෝපභෝගී හෝටල් පවත්වාගෙන යයි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලාබ

වාර්තාවේ පෙන්වා දෙන ආකාරයට උතුරේ කෘෂි ව්‍යාපාර මගින් දැවැන්ත ලාබ උපයන ආරක්ෂක අංශයක් වන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවයි. මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ගතවූ දෙවසරක කෙටි කාලය තුලදී එය අත්කරගත් වර්ධන රෙට්ටුව 200% කි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රගති වාර්තා අනුව 2014 වසරේ රුපියල් මිලියන 371.5 ක මුදලක් ඉපයූ ඔවුන්ගේ ආදායම 2016 වසරේ රුපියල් මිලියන 821.8 දක්වා වේගයෙන් ඉහල ගොස් තිබේ.

“ජාතික සංවර්ධනයට උපරිම දායකත්වයක් දැරීම” තම කටයුත්තක් ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දක්වා  ඇත.

ඒ සඳහා, සිවිල් ආරක්ෂක භට පිරිස් විසින් ආරක්ෂක, ප්‍රතිසංස්කරණ, සංස්කෘතික හා ප්‍රජාමූල සේවාවන්ට අමතරව “කෘෂිකාර්මික හා සත්ව ගොවිපල පවත්වාගෙන යාම, ගඩොල් නිෂ්පාදන හා අත්කම් භාණ්ඩ නිෂ්පාදන වැනි ව්‍යාපෘති පවත්වාගෙන යාම,” සිදුකරන බව 2016 සැලසුම් වාර්තාවට දී ඇති පණිවිඩයකින් පවසන අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම  “ගොවිපල හා ව්‍යාපෘති වලින් මේ වන විට ඉතා විශාල ආදායමක් රජයට උපයා දී ඇතැ,” යි කියා සිටී.

කෙසේවෙතත්, SACLS වාර්තාව පෙන්වා දෙන්නේ දරිද්‍රතාවයෙන් පෙලෙන මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්ක වලට  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුල්වී, අවදානමේ සිටින බහුතරයක් කාන්තාවන්ගෙන් සැදුම්ලත්, වෙනත් රැකියා අවස්ථා නොමැති ශ්‍රම බලකායක් බඳවාගෙන ඉන්නා බවයි.

වෙනත් තරගකාරී රැකියා සම්පාදකයන්ට ඉඩක් නැති එම පළාතේ ජීවත්වන ගෘහ මූලික කාන්තාවන්ට සිද්ධවී ඇත්තේ හමුදා ව්‍යාපාරවල සේවයට යාමටය.

ණය සහ ඉහල වැටුප් මගින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රැකියාවට අද්දවාගෙන ඇති එම කාන්තාවන් හමුදා සේවයේ යෙදෙන්නියන් ලෙසින් සමාජය තුල කොන්වී සිටින බව වාර්තාව පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීම

ඊට අමතරව, දෙපාර්තමේන්තුවේ පරීක්ෂාවට සහ දැඩි අණසකට යටත්ව ජීවිතය ගත කරන්නට සිදුවීම මගින් ඔවුන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් යටපත් කර තිබේ.

“ශ්‍රී ලංකා යුද හමුදාවේ අවසරයෙන් තොරව සේවකයන්ට උද්ඝෝෂණවල නිරත වීම තහනම්ය – අවසර ලබා සහභාගි වන විරෝධතා වලදී හඬ නැගිය යුත්තේ යුද හමුදාව විසින් දෙන සටන් පාඨය. මෙ මගින් ප්‍රජාව විසින් සංවිධානය කරන සිවිල් හා දේශපාලන ක්‍රියාකාරිත්ව වලට දායක වීම වළක්වනවා පමණක් නොව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු න්‍යායපත්‍රය දියත් කිරීම සඳහා සේවකයන් සූරාකෑමටද මග පෑදෙයි.”

හමුදා ව්‍යාපාර පෞද්ගලික හෝ රාජ්‍ය අංශය යටතට පැවරීම මගින් හමුදාව මත ආර්ථික වශයෙන් යැපීම වලක්වා, ආන්තික කණ්ඩායම් වලට සමාජ කොන් කිරීමෙන් සහ පීඩාවෙන් තොර චිරස්ථායී රැකියා ප්‍රස්තා සලසා දිය හැකි බව නීති අධ්‍යයනය සඳහා වන දකුණු ආසියා මධ්‍යස්ථානය (SACLS) විසින් ප්‍රකාශයට පත් කර ඇති සමීක්ෂණ වාර්තාව අවධාරණය කරයි.

ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද අලුත්ම ද්විවාර්ෂික වාර්තාව පවසා ඇත්තේ තරගකාරිත්වය, පරිපාලනය සහ පොදු මුල්‍ය කළමනාකරණය වැඩිදියුණු කරන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට රජය කැපවන්නේ නම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අනාගතය වඩාත් යහපත් අතට හැරෙනු ඇති බවයි.

.-Radio Gagana

Back to Top