Sri Lanka Brief
පුවත්විවරණවියත් මග සමුළුව- බුද්ධිවාදය සහ සිහිබුද්ධිය (2) – පී. සෝම පාලන්

වියත් මග සමුළුව- බුද්ධිවාදය සහ සිහිබුද්ධිය (2) – පී. සෝම පාලන්

by

ආචාර්ය රොහාන් ගුණරත්නගේ අදහස්.

‘ලෝක භූ-දේශපාලනය තුළ ශ්‍රී ලංකාව රඟපෑ යුත්තේ මධ්‍යස්ථ භූමිකාවක්’ බව ආචාර්ය රොහාන් ගුණරත්න කීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ක්ෂේත්‍රයේ ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියාකාරකම් බොහොමයක් හේතුකොටගෙන, අදාළ අංශය අප්‍රිකානු කලාපය වෙත මාරු කොට ඇති බව පෙන්වා දෙන ඔහු, අපේ කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය අපේ රටේ පිහිටුවීම සඳහා ඉඩම් කොටසක් ඔවුන්ට වෙන් කර දිය යුතු බව කීය. මේ වන විට අප ජාතියක් වශයෙන් ලෝකයේ බොහෝ දේවල්වල කේන්ද්‍ර ස්ථානය බවට අපේ රට පත්කිරීමේ වෛවාරන්න කතා කියා ඇති රටකි. රාජපක්ෂ ආණ්ඩුව ලංකාව ආර්ථික ආශ්චර්යයක් කිරීමට මත්තෙන් එය ‘ආසියාවේ ආශ්චර්ය’ කිරීමට ගියේය. ජගත් භූ-දේශපාලනය තුළ මධ්‍යස්ථ රටක් වීමට කලින් ලංකාව තමන්ගේ දේශීය කටයුතු සම්බන්ධයෙන් මධ්‍යස්ථ ආකල්පයකින් කටයුතු කළ යුතුව තිබේ. එහිදී, සිංහල බෞද්ධ බහුතරවාදයෙන් අත්මිදිය යුතුව ඇත. ආචාර්ය රොහාන් ගුණරත්නගේ යෝජනාවෙන් යම් ඉඟියක් ගනිමින් මම මෙසේ යෝජනා කිරීමට කැමැත්තෙමි. එනම්, එක්සත් ජාතීන්ගේ කලාපීය කාර්යාලයක් නොව, ඔවුන්ගේ මානව හිමිකම් කාර්යාලය ලංකාවේ පිහිටුවීම සඳහා ආරාධනා කළ යුතු බව ය. මන්ද යත්, එම අංශයෙන් කිරීමට බොහෝ වැඩ කටයුතු මේ රටේ ඇති බැවිනි. පුද්ගලයන් අතුරුදහන් වීම් සහ පැහැරගෙන යාම්, වධ හිංසනයට භාජනය කිරීම් සහ රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරුනු ඝාතන සිදුවීම් මෙහිදී සැලකිල්ලට ගත යුතුව තිබේ. ආචාර්ය රොහාන් ගුණරත්නගේ තර්ක ක්‍රමය තුළ බොහෝ හිඩැස් දැකිය හැකිය. එසේම, බුද්ධිමය යොමුව පිළිබඳ නොයෙකුත් ප්‍රශ්නත් තිබේ. ‘1950, 1960 සහ 1970 දශකවල ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ජපානය, කොරියාව, සිංගප්පූරුව සහ තායිවානය වැනි රටවලටත් වඩා ඉහළින් පැවති’ බව ඔහු කියා තිබේ. මේ කරුණ සනාථ කිරීම සඳහා, රටක දළ ජාතික නිෂ්පාදිතය, ඒක-පුද්ගල ආදායම, කර්මාන්ත නිෂ්පාදන ධාරිතාව සහ මානව සුභසාධනය පිළිබඳ සූචිය වැනි අංශවලට අදාළ දත්ත කිසිවක් ඔහු ඉදිරිපත් කොට නැත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ඒ කියන අතීත සමෘද්ධියත්, ආර්ථික කළමනාකරණය සහ පරිපාලනය පිළිබඳ එදා ප්‍රමිතියත් බි්‍රතාන්‍ය පාලනයෙන් ලද දායාදයක් මිස අපේ දේශීය වෑයමක ප්‍රතිඵලයක් නොවේ. රටේ පාලනය ස්ව-දේශීය කිරීමෙන්, විශේෂයෙන් 1956 න් පසු, රටේ පාලනය පරිහානියට යාම ඇරඹුනි. බි්‍රතාන්‍යයන් අපට ඉතිරි කර ගියේ ඉතා ශක්තිමත් ආර්ථිකයකි. ඉතා දියුණු සිවිල් සේවාවක් පිළිබඳ සම්ප්‍රදායක් ඔවුන් අපට දායාද කොට දුනි. එහෙත් අප කෙළේ වතු වැවිලි කර්මාන්තයත්, වෙනත් අංශත් ජනසතු කිරීමෙන් ආර්ථිකයේ ගරාවැටීම අත්කර ගැනීමයි. අද පවා, වාහනයක්, මෝටර් සයිකලයක් හෝ නිකං බයිසිකලයක් පවා නිෂ්පාදනය කර ගැනීමට අපට හැකි වී නැත.

ආචාර්ය බන්දුල විජේරත්නගේ අදහස්

ඒවා මෙසේ ගොනු කළ හැකිය:
1. නව නිපැයුම් සහ පර්යේෂණ සඳහා කණ්ඩායම් සහභාගීත්වය අවශ්‍ය කරන්නේය.
2. ශ්‍රී ලංකාවේ කණ්ඩායම් වැඩ ශෛලියක් දක්නට නොලැබෙන අතර ඒ වෙනුවට පුද්ගලයාව ප්‍රවර්ධනය කරනු ලැබේ.
3. වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළින් ද, කණ්ඩායම් හැඟීම අධෛර්යමත් කරනු ලැබේ.
4. නවෝත්පාදන පිළිබඳ මානසිකත්වය පාසල් අවදියේම මිස, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ලබා දීමට නොසිටිය යුතුය.
5. ඇමරිකාවේ සහ ලංකාවේ අධ්‍යාපන ක්‍රම අතර සන්සන්දනය

ඉහත සඳහන් ප්‍රස්තුතයන් අපි සලකා බලමු. නව නිපැයුම් පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධනය සඳහා අපට කණ්ඩායම් පරිචයක් අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවේ. කණ්ඩායම් වැඩ ක්‍රමය ලංකාවේ නැතුවා නොවේ. ඇත්තෙන්ම ලංකාවේ නැත්තේ ඉන් අනිත් පැත්තයි. එනම්, කණ්ඩායම් ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය කරන නව නිපැයුම් පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියකාරකම් අපට නොමැති වීමයි. අපේ රටේ බොහෝ පර්යේෂණ ආයතන තිබේ. එහෙත් ඒවායින් කෙරී ඇති වැදගත් පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියකාරකම් කවරේද? මේවා කිසි ගැම්මක් නැති පර්යේෂණ ආයතනයන් ය. ඒවා බොහෝ විට, භාණ්ඩවල ප්‍රමිති තත්වයන් පිළිබඳ සහතික නිකුත් කිරීම වැනි පරිපාලන කාර්යයන්ට සීමා වී තිබේ. එසේ නොමැතිව, ඒ ආයතන මගින් මේ දක්වා ඵලදායීතාව ඉහළ නැංවීම වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන නව ක්‍රමවේද සහ තාක්ෂණයන් සොයාගනු ලැබ තිබේද? කර්මාන්ත, කෘෂිකර්මාන්ත සහ වෛද්‍ය වැනි අංශවල නව නිෂ්පාදන අංශයන් ඒවා මගින් සොයාගනු ලැබ තිබේද? අධ්‍යාපනයේ සහ ශිල්ප ඥානයේ අරමුණු වී ඇත්තේ, පුද්ගල නිපුණතාවන් වැඩි දියුණු කිරීම මිස කණ්ඩායම් ක්‍රියාකාරීත්වයන් ප්‍රවර්ධනය කිරීම නොවේ. ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනයේ අරමුණ වී තුළ ඇත්තේ, නිර්මාණශීලී ශිෂ්‍යයන් බිහි කිරීම නොව, ඔවුන්ව යම් කෝවක දමා දැනුම ලබා දීමේ ක්‍රමවේදයකි. නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන පිළිබඳ අදහස්, කෙනෙකු දැනුමෙන් මුහුකුරා යන විට ඉහළ අධ්‍යාපනික අදියරකදී ලබා දෙනු ලැබේ. ආචාර්ය බන්දුල විජේරත්නගේ ආකල්පය හරියට, ඇවිදීමට කලින් පිහිනීමට කියා දීමක් වැනි ය. තමාගේ න්‍යාය ඔප්පු කිරීම සඳහා ඔහු ඉදිරිපත් කරන ආදර්ශය ඉතා අමනෝඥ ය. කුමාර් සංගක්කාර ක්‍රිකට් කප්පිත්තෙකු වුණේ ඔහු පාසල් යන අවදියේ සිට එම ක්‍රීඩාව ප්‍රගුණ කළ නිසා බව විජේරත්න කියයි. කුමාර් සංගක්කාර හෝ ඔහු වැන්නෙකු විශ්ව විද්‍යාල අධ්‍යාපනයකින් පසුව ක්‍රිකට් ක්‍රීඩාව පුහුණු වීමට සිටියේ නම් කෙබඳු තත්වයක් ඇති විය හැකිව තිබිණිදැ යි ඔහු ප්‍රශ්න කරයි. මේ ආතක්පාතක් නැති තර්ක ක්‍රමය ‘බුද්ධිමතෙකුට’ තරම් නොවේ. ඔහුගේ සැසඳීම වනාහී, මිථ්‍යාමතික සාදෘෂ්‍යයකි. මානසික සහ කායික ශක්‍යතාවන් අතර ඇති වෙනස මෙහිදී ඔහු අමතක කරයි. ඉගෙනීමේ මානසික ක්‍රියාකාරීත්වය, කායික ක්‍රියාකාරීත්වයට සමාන කළ නොහේ. ක්‍රීඩාව හෝ වෙනත් ඕනෑම එවැනි දෙයක් කුඩා කල සිට පුහුණු වීම සත්තකින්ම වැදගත් ය. ක්‍රිකට් ක්‍රීඩාව පුහුණු වන්නා සේ, ඉගෙන ගැනීමත් පුහුණු විය හැකිද? පුහුණුව ප්‍රායෝගික අර්ථයක් ඇති දෙයක් බවට පත්වන්නේ එම ක්‍රියාව කායික හෝ වෘත්තීයමය අංශයක පවතින දෙයක් නම් ය. උදාහරණයක් වශයෙන් පාසලේ ඉගෙන ගන්නා ළමයෙකුට වෛද්‍ය විද්‍යාව කුඩා කල සිට පුහුණු විය හැකි දෙයක්ද?

ආචාර්ය බන්දුල විජේරත්න ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දෙන ලද එකක් බවත්, එහි නවෝත්පාදනයට ඉඩක් නැති බවත් කියයි. ඔහුමත් ඒ අධ්‍යාපන ක්‍රමයේම ප්‍රතිඵලයක් බව ඔහුට අමතක වී ඇති සෙයකි. එම අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිලාභියෙකු වු පමණින් ඔහු නවෝත්පාදනයේ අඩු හැකියාවක් ඇති කෙනෙකු යැයි කිව නොහේ. ඔහුට ආචාර්ය උපාධියකුත් තිබේ. එසේම ඇමරිකාවේ අධ්‍යාපන ක්‍රමය ඉතා පුළුල් බවත්, නවෝත්පාදනය සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රමුඛයා බවට පත්වීමට ඇමරිකාවට හැකියාව ලැබීමේ ප්‍රධානතම හේතුව එය බවත් ඔහු කියයි. ඇමරිකාව යනු භෞතික ශිෂ්ඨාචාරය සහිත රටකි. අධ්‍යාපන ක්‍රමය තුළත් භෞතිකයට මුල් තැන දීම නිසා ඔවුන් ඒ අංශයෙන් දියුණුවක් ලබා ඇති අතර අනිත් පැත්තෙන්, එනම් ආධ්‍යාත්මික පැත්තෙන්, ඔවුන්ට ඇත්තේ දිළිඳූ භාවයකි. තරුණ කාලයේ පටන්ම ඇමරිකානුවන් අධ්‍යාත්මික වර්ධනයට වඩා මුල් තැනක් දෙන්නේ භෞතික වර්ධනයට ය. සරළව කිවහොත්, ඇමරිකාව අධ්‍යාත්මයට උඩින් භෞතිකය වන්දනාමාන කරයි. ඇමරිකාවේ ඒ අංශයෙන් බොහෝ අපතයන් සිටීම පුදුමයක් නොවේ.

මනෝ සේකරම්ගේ අදහස්

මොහු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ බුද්ධිමතෙකි. ඔහුගේ අදහස් පහත පරිදි ය:

1. ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල ව්‍යුහය ඉහල නැංවිය යුතුය.

2. මානව ප්‍රාග්ධනය සංවර්ධනය කළ යුතුය.

මේ දෙකම රටක ආර්ථික සංවර්ධනයට වැදගත් වන්නේය. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සමිති සහ අන්තර්-විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වැනි තැන්වල පවතින පටු ආකල්ප සහිතව, මානව ප්‍රාග්ධන සංවර්ධනයක් ගැන කෙසේ නම් සිතාගන්න ද? මොවුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ වීමෙන්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලට විරුද්ධ වීමෙන් උත්සාහ කරන්නේ, මානව ප්‍රාග්ධනය හැකි තාක් සීමා කිරීමට ය. අපොස උසස් පෙළ සමත් වන ශිෂ්‍යයන් 200000 කින් විශ්ව විද්‍යාලයකට ඇතුළත් විය හැක්කේ 30,000 කට පමණක් වීම ගැන මනෝ සේකරම් ලතවෙයි. මේ සමත් වන සිසුන් සහ ඇතුළත් කර ගන්නා සිසුන් අතර ඇති නොපෑහීමෙන් පෙන්නුම් කරන්නේ, උසස් අධ්‍යාපනය සඳහා වන ඉල්ලුම සහ සැපයුම අතර ඇති නොපෑහීමකි. මීට පිළිතුර වන්නේ, රාජ්‍ය හෝ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල තව තවත් ඇති කිරීමයි. එහෙත් පටු අරමුණු සහිතව ක්‍රියාත්මක වන ඉහත සඳහන් බුද්ධිහීන සංවිධානවල ඉල්ලීම්වලට ආණ්ඩු යට වෙයි. නිදහස් අධ්‍යාපනය අවදානමට පත්වීම සහ විභාග ප්‍රමිතිය බාල වීම වැනි ව්‍යාජ හේතු මේ විරෝධතාවන්ට හේතු වෙයි.

ආචාර්ය නාලක ගොඩහේවාගේ අදහස්

මොහු ශ්‍රී ලංකාවේ ආර්ථිකය සන්සන්දනය කරන්නේ, සැම්සුන් වැනි පෞද්ගලික කාර්මික සමාගම් සහ ෆේස්බුක් වැනි සේවා සම්පාදකයන්ගේ නිෂ්පාදන ධාරිතාවන්, වර්ධන අනුපාතිකයන් සහ වත්කම් සමග ය. මෙය, බුද්ධිමය තර්ක ඥානයක් ද? මේ වූ කලී, කොහෙද යන්නේ මල්ලේ පොල් වර්ගයේ සන්සන්දනයක් මිස අන් කවරක්ද? ශ්‍රී ලංකාව යනු, කාර්මික භාණ්ඩ පමණක් නිෂ්පාදනය කරන ව්‍යාපාරික සමාගමක් නොවේ. වෙනත් ඕනෑම රටක් මෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයත්, කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ධීවර, සේවා ආදී විවිධ අංශවල සංකලනයකි. මේ සෑම අංශයක්ම, ලෝක වෙළඳපොළේ මිල ගණන්වල උච්චාවචනයන්ට යටත් වෙයි. එසේම, නියඟය සහ ගංවතුර ආදී ස්වාභාවික විපත්වලටත් යටත් වෙයි. එක කාර්මික භාණ්ඩයක් හෝ දෙක තුනක් නිෂ්පාදනය කරන කාර්මික සමාගමක් එවැනි කොන්දේසිවලට යටත් වන්නේ නැත.

එරන්ද ගිනිගේ ගේ අදහස්

සංවර්ධනයේ සංකල්පවලට සීමා වූ ඔහුගේ අදහස් ගැන වැඩි යමක් කීමට නැත. වාර්තා වූ පරිදි, ඒවා යම් යම් දේවල් පිළිබඳ ඉතා දළ සාමාන්‍යකරණයන් ය. ඔහු සංවර්ධනයේ සම්ප්‍රදායික ක්‍රමයක් ගැන කතා කොට තිබේ. ‘පරණ නාස්තිකාරී සහ අසාර සංවර්ධනයක්’ ගැන කියන ඔහු, ‘අපේම වූ සංවර්ධනයක්’ ආරම්භ කර ගත යුතුව ඇතැයි කියයි. ‘සම්ප්‍රදායික සංවර්ධනය’ යනු කුමක්ද යන්නවත්, ‘අපේම සංවර්ධනයක්’ යනු කුමක්ද යන්නවත් ඔහු පැහැදිළි කොට නැත. සම්ප්‍රදායික සංවර්ධනය නාස්තිකාරී සහ අසාර වන්නේ කෙසේද යන්න ගැන පැහැදිළි කිරීමක් ද නැත.

(2018 මැයි 23 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Viyath Maga Convention- Intellectualism and Intellect නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි. )

Back to Top