Sri Lanka Brief
පුවත්විවරණයහපාලනය සහ ආගමේ භූමිකාව – කේ. කේ. එස්. පෙරේරා

යහපාලනය සහ ආගමේ භූමිකාව – කේ. කේ. එස්. පෙරේරා

by

ජයාරූපය:  ෙහා්මාගම අධිකරණ්‍ය ඉදිරිපිට ඥණසාර සමඟ මැරකම්  පෑ  චීවරධාරියෙක්!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද නැත්ද යන්න ආගමේ විෂය පථයට ඇතුළත් වන දෙයක් නොවේ. ආගමික පදවියක් දරණ සියලු දෙනා සෘජුව දේශපාලනයේ නිරත වීම වැළැක්විය යුතුය. ශ්‍රී ලංකාව ලෞකික රාජ්‍යයක් විය යුතුය. සෑම ආගමක්ම අපේ ව්‍යවස්ථාවට පිටින් තැබුවොත්, තෙවරක් බුදුන් වැඩිය මේ දේශයේ සැබෑ බුද්ධාගම නැවතත් වැජඹෙනු නොඅනුමානයි. දේශපාලනය සහ ආගම එකට මිශ්‍ර වීමට ඉඩ නොතැබිය යුත්තේ, එසේ වුවහොත්, එය නිරන්තර ඇවිලවීම්වලට තුඩුදෙන බැවිනි. දේශපාලඥයන් ආගම පාවිච්චි කරමින් බලයේ රැඳීමට දහංගැට ගසන බැවිනි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැළැක්විය යුතු බවට ‘මහා සංඝ රත්නය’ වශයෙන් තමන්ව හඳුන්වා ගන්නා භික්ෂූන් කණ්ඩායමක් ප්‍රකාශයක් නිකුත් කළහ. එම සංශෝධනය හරහා රට බෙදෙන බව ඔවුන්ගේ තර්කය විය. බලයේ රැඳී සිටීමට සහ බලයට පැමිණීමට බලන දේශපාලඥයන් ඒ සඳහා මේ සංඝයා වහන්සේලාට වන්දනාමාන කරන අතර, තමන් සිටින්නේ බෞද්ධ බහුතරය සමග යැයි පෙන්වීමට උත්සාහ ගනු දක්නට ලැබේ. ආගම, නීතියට ඉහළින් තිබිය යුත්තක්ද? සිවුරට මුවා වෙමින්, රටේ දේශපාලන ප්‍රවාහය තුළ බුද්ධාගමට හිමි විශේෂිත ස්ථානය අපයෝජනය කරමින් මේ භික්ෂු වර්ගයා නානා ආකාරයේ අබෞද්ධ ක්‍රියාකාරකම්වල නිරත වෙත්. එසේ කිරීමෙන් ඔවුන් බුද්ධාගමටත් රටටත් කරන්නේ මහත් විපතකි.

ශ්‍රී ලංකාවේ මෙවැනි භික්ෂූන් වහන්සේලා දේශපාලනයේ ගැලී සිටින තරමට, බුදුන් වහන්සේත් දේශපාලඥයෙකු කියා වෙනත් රටවල අබෞද්ධයන් සිතනු ඇත. අද වන විට භික්ෂූන් වහන්සේලාගෙන් සුළුතරයක් කරමින් සිටින්නේ බුදුන් දෙසූ ධර්මයට නිගා දීමයි. මේ භික්ෂූන්ගේ බෞද්ධ-විරෝධී චර්යාව, බුද්ධිමත් සුළුතරයක් භික්ෂූන් වහන්සේලා වටහාගෙන සිටියත් බහුතරයක් ඒ ගැන වගක් නැතිව සිටිති. එවැන්නන්ව විනයගත කර ගැනීමට සහ ධර්මයෙහි හැසිරෙන බවට වගබලාගත නොහැකි නම්, අඩු වශයෙන් එවැනි පුද්ගලයන්ව නම් කිරීමටවත් සිව් නිකායික මහනායක හිමිවරුන්ට හැකි විය යුතුය.

කිසිවෙකුට ආගමික සහ දේශපාලනික තානාන්තර එක විට දැරීමට ඉඩ නොදිය යුතුය

ආණ්ඩුවත් ආගමත් යන දෙකම ආරක්ෂා විය හැක්කේ, ඒ දෙපාර්ශ්වයම එක මාවතක යාමෙන් නොව, සමගාමී මාවතක ගමන් කිරීමෙනි. ආගම සහ රාජ්‍යය යන දෙකම එකිනෙකින් නිදහස් විය යුතුය. එකිනෙකින් ස්වාධීන විය යුතුය. දේශපාලනයට අවතීර්ණ වන ඕනෑම ආගමක් හෝ ආගමක් මත පදනම් වන ඕනෑම පක්ෂයක් රාජ්‍ය වරප්‍රසාදවලින් වියුක්ත කැරැවිය යුතු අතර, ඒවා සැලකිය යුත්තේ පෞද්ගලික ව්‍යාපෘති වශයෙනි. කිසි ආගමක් ප්‍රවර්ධනය කිරීම රාජ්‍යයක වගකීමක් නොවේ.

පාසලේදී ආගම ඉගැන්වීම

දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනයේදී සියලු ආගම්වල මූලික ධර්මතා ඉගැන්විය යුත්තේය. එවිට, වෙනත් අය විසින් පටවනු ලබන ආගමක් නොව, සෑම ආගමක් පිළිබඳවම සලකා බලා තීරණයක් ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙනු ඇත. බුදුන් වහන්සේ මේ කාරණය ගැන විශේෂ සැලකිල්ලක් දැක්වූහ. කාලාම සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කෙළේ කිසිවක් අන්ධානුකරණයෙන් භාර නොගන්නා ලෙසයි.

කාලාමයෝ බුදුන් වහන්සේගෙන් මෙසේ ඇසූහ: ‘ඇතැම් බ්‍රාහ්මණයෝ තමන්ගේ ධර්ම කොටස් උසස් කොට අනුන්ගේ ධර්ම කොටස් පහත් කොට සලකති. මේ නිසා අපට ඒ ගැන ඇත්තේ බලවත් කුකුසකි. ඇත්ත කතා කරන්නේ කවුද, නැත්ත කතා කරන්නේ කවුද යන්න අපට ප්‍රශ්නයකි.’

බුදුන් වහන්සේ ඊට පිළිතුරු දුන්නේ මෙලෙස ය: ‘සම්ප්‍රදායයන්, කාලයක් තිස්සේ පැවත එන නිසාම කියා ඒවා පිළිගත යුතු නැත. ආරංචි සහ ඉතිහාස කතා, බැලූ බැල්මට විශ්වාස කටයුතු යැයි පෙනෙන පමණින්, පිළිගත යුතු නැත. තමාගේ ඇති කැමැත්තක් නිසා යමක් තාර්කික යැයි පෙනෙන නිසා පිළිගත යුතු නැත. අදහස් සහ විශ්වාසයන් පරීක්ෂාවට භාජනය කළ යුතුය. නුවණැත්තන්ගේ අත්දැකීම් සමග සසඳා බැලිය යුත්තේය. මා දේශනා කරන ධර්මය පවා ඔබ ප්‍රශ්න කළ යුත්තේය. එය පරීක්ෂාවට ලක්කළ යුත්තේය.’ එසේ නම් අප බුදුන් වහන්සේගේ ඒ දේශනාව අනුගමනය නොකළ යුත්තේ ඇයි?

‘සිංහල-බෞද්ධයෙකු’ යනු කවරෙක්ද?

අපේ ආගමික නායකයන්ගේ ප්‍රමුඛතාව ලැබිය යුත්තේ දේශනාවට ය. බුදුන් වහන්සේගේ දේශනාව තිබෙන්නේ, මිනිසුන්ව නිවැරදි මාවතේ යොමු කරවීමට ය. බුදුන් වහන්සේ සූත්‍ර පිටකයේදී භික්ෂූන් වශයෙන් හඳුන්වන්නේ, ‘දානයෙන් වෙසෙන පිරිසක්’ වශයෙනි. බුදුන් වහන්සේගේ කාලයේදී භික්ෂූන් වහන්සේලා තමන්ගේ සිවුර සපයාගත යුතු වුණේ, මිනී එතූ වස්ත්‍රවලිනි. සොහොන් පිටිවලට ගොස් එවැනි වස්ත්‍ර සොයා ගැනීමෙන් පසු ඒවා කහ වතුරෙන් සෝදා පිරිසුදු කොටගෙන, තමන් විසින්ම කෑලි අමුණා සිවුරු වශයෙන් පාවිච්චියට ගත යුතු විය. අද කාලයේ භික්ෂූන් වහන්සේලාත් එසේ කළ යුතු යැයි කිව නොහේ. එසේ වෙතත්, එදා බුදුන් වහන්සේ වදාළ මූලික ධර්මතාවන්ට අනුකූලව තමන්ගේ අවශ්‍යතා ගලපා ගැනීම සංඝයා වහන්සේගේ වගකීමකි.

ඔවුන් තමන්ව ‘සිංහල-බෞද්ධයන්’ වශයෙන් හඳුන්වා ගනිමින් බුද්ධාගමට නිගා නොදිය යුතුය. බුදුන්ගේ ධර්මයට අනුව, ජාතියක් කියා දෙයක් නැත. කුලයක් කියා දෙයක් නැත. එසේ හෙයින්, ‘සිංහල-බුද්ධාගම’ යනු වචනාර්ථයෙන්ම පරස්පරයකි. බුද්ධ ධර්මය එකකි. සිංහල ජාතිය තවත් එකකි. ඒ දෙක මිශ්‍ර කර ගත යුතු නැත.

ධර්ම සංගායනා

විශේෂයෙන් සංඝයා වහන්සේලාගේ විනය පිළිබඳ සොයා බැලීම සඳහා ධර්ම සංගායනාවක් පැවැත්වීමට මෙය සුදුසු කාලයකි. මහනායක ස්වාමීන් වහන්සේලො මේ ගැන, එක්කෝ තැකීමක් නැත. නැත්නම්, තරුණ, කැරලිකාරී භික්ෂූන් ගැන ඔවුන්ට බලයක් නැත. මෙය දේශපාලනය සමග ගැටගැසී ඇති ප්‍රශ්නයක් හෙයින් එය කෙටි කලකින් ආපස්සට හැරවිය හැකි තත්වයක් නොවේ. ඩී. ඇස්. සේනානායක අගමැතිවරයාගේ කාලයේදී ඔහු මහනායක ස්වාමීන් වහන්සේලාගේ ද කටවල් වැසුවේය.

ඩී. ඇස්. සේනානායක 1947 දී සර් අයිවෝ ජෙනිංස් සමග නිදහස් ලංකාවට සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසමින් සිටින අවස්ථාවේ, 1815 මහනුවර ගිවිසුම යටතේ යටත්විජිත පාලකයන් විසින් ඒ වන විට ඇති කොට තිබූ ‘බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය’ ලබා දීම යන වගන්තිය අලුත් ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට තීරණය කෙළේය. ඊට විරෝධය දක්වමින්, නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිදහස් දින උත්සවය තමන් වර්ජනය කරන බව සියම් නිකායේ මහනායක හිමිවරු දෙනම ඩී. ඇස්. සේනානායකට දන්වා සිටියහ. ඩී. ඇස්. සේනානායක මහනාහිමිවරුන් දෙන්නාව නුවර දිසාපතිවරයාගේ නිවසට කැඳවීය. කෙසේ වෙතත්, දියවඩන නිලමේගේ මැදිහත් වීම මත පසුව දළදා මාළිගාවට ගොස් මහනායක හිමිවරුන් බැහැදැකීමට තීරණය කළ ඩී. ඇස්. සේනානායක, එහිදී බුදුරජාණන් වහන්සේගේ සමානාත්මතාවය පිළිබඳ සංකල්පය උපුටා දක්වමින්, සියලු ආගම්වලට සහ ජාතීන්ට සමාන අයිතියක් ලබා දීමේ ඇති වැදගත්කම, මහනායක හිමිවරුන්ට ඒත්තු ගැන්වීය. ඒ ගැන අවබෝධයක් ඇති කර ගත් මහනාහිමිවරු නිදහස් දින උත්සවයට සහභාගී වීමට තීරණය කළහ. ඉන් පසු බලයට පත්වු නායකයන් එක් කෙනෙකු හෝ දෙන්නෙකු හැරුණු විට, අනිත් සියලුම කොන්ද පණ නැති ලංකාවේ නායකයෝ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ හැම අසාධාරණ ඉල්ලීමකටම යට වුහ.

නිදහස් ලංකාවේ බලයට පත් නායකයන් අතරින්, දේශපාලනයට ඇඟිලි නොගසා සිටින්නැයි මහ සංඝයා වහන්සේලාට කියා සිටීමට තරම් දුරදක්නා නුවණක් සහ කොන්දක් තිබුණේ කිහිප දෙනෙකුට පමණි. ඩී. ඇස්. සේනානායක, ජේ. ආර්. ජයවර්ධන සහ යම් තාක් දුරකට මහින්ද රාජපක්ෂ ඒ අතර වෙති. මහින්ද රාජපක්ෂ සංඝයා වහන්සේලා දුරින් තියා ගැනීමට බැලීය. සරත් ෆොන්සේකාව හිරගත කළ අවස්ථාවේ ඊට විරුද්ධව මහා සංඝ සභාවක් කැඳවීමට, ඉතා නිවැරදිව සංඝයා වහන්සේ තීරණය කළහ. එහෙත් සියම් නිකායටම අයත් දකුණේ සංඝයා වහන්සේලා පිරිසක් ඒ අවස්ථාවේ උසිගන්වා, තමන් වහන්සේලා සාමූහිකව සියම් නිකායෙන් අස්වන බවට ඔවුන් ලවා තර්ජනය කැරැවීමට මහින්ද රාජපක්ෂ සමත් විය.

රැඩිකල් භික්ෂූන් වහන්සේලා කිහිප නමක්, වෙනත් ජාතීන් සහ ආගමික කණ්ඩායම් කෙරෙහි තමන් තුළ පවතින වෛරය පෙරදැරිව බුද්ධ ධර්මය විකෘති කොට තිබේ. වර්ගවාදය වපුරන මෙවැනි භික්ෂූන් වහන්සේලාව මැඩපැවැත්වීමට මහනායක හිමිවරුන් මේ දක්වා අසමත්ව ඇත.

ආගමික ස්වාධීනත්වය ආරක්ෂා කර දීමටත්, සමාජ සැකැස්ම කෙරෙහි ආගමේ කාර්ය භාරය ප්‍රවර්ධනය කර දීමටත් හැම ආණ්ඩුවක්ම ක්‍රියා කරන්නේය. සෑම ප්‍රජාවකටම තම තමන්ගේ පිළිවෙත් අනුව ආගම ධර්මයේ නියැලීමට ඇති අයිතිය ආරක්ෂා කර දීමට බොහෝ රාජ්‍යයන් කටයුතු කරන්නේය.

යහපාලනය ආරක්ෂා කර ගැනීමේ සහ ප්‍රවර්ධනය කර ගැනීමෙහි ලා සුසිරිත වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. අප මුහුණදෙන බරපතල ප්‍රශ්න බොහොමයකට සැබෑ විසඳුම් ඇත්තේ දේශපාලනය තුළ නොවේ. ආධ්‍යාත්මික ක්ෂේත්‍රය තුළ ය. ජාතිවාදය, ප්‍රචණ්ඩත්වය සහ වෛරය වැනි දේවල් සදාචාරමය ප්‍රශ්න ය. යහපාලනය සෑම ආගමක්ම ආරක්ෂා කරයි. යහපත් ආගම්, යහපත් පුරවැසි භාවයකට ආධාර කරයි. යහපාලනය, කිසි ආගමක් තවත් ආගමකට වඩා උසස් කොට නොසලකන්නේය. ප්‍රවර්ධනය නොකරන්නේය. ඒ ආකාරයෙන්ම, සැබෑ ආගමික නායකයන් කිසි දේශපාලන පක්ෂයක පැත්තක් නොගත යුතුය.

සමහර රටවල් රාජ්‍ය ආගමක් පනවා ගනී. ආගමික විශ්වාසයන් සහ පිළිපැදීම් එකිනෙකින් වෙනස් වෙතත් ඒ
සියල්ලට ආරක්ෂාව සැපයිය යුත්තේය. අනිත් ආගම්වලට නැති විශේෂ අයිතියක් තවත් ආගමකට දීම නිසා, බහුත්වවාදය නැමැති පූජණීය අංගය විකෘති විය හැකිය. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය පදනම් වී ඇත්තේ ‘දේශපාලන දර්ශනවාදයක්’ මත නොවේ. එය ලෞකික සැප සම්පත් සඳහා අනුබල දෙන ආගමක් ද නොවේ. එහි නිෂ්ඨාර්ථය වන්නේ නිබ්බාන හෙවත් තණ්හාව අවසන් කිරීමයි. ලෝකයේ කිසි රටක බෞද්ධ ජාතියක් පිහිටුවීම බුදුන් වහන්සේගේ අභිප්‍රාය නොවුණි. කිඹුල්වත්පුරයේවත් උන්වහන්සේ එවැන්නක් බලාපොරොත්තු වුණේ නැත.

( 2018 මැයි 21 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Good Governence & Role of Religion නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි. )

Back to Top