Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගමෙරට ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ එක දිගට අසාර්ථ වන්නේ ඇයි? – එම්.ජේ.ආර්. ඩේවිඩ්

මෙරට ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ එක දිගට අසාර්ථ වන්නේ ඇයි? – එම්.ජේ.ආර්. ඩේවිඩ්

by

දේශපාලනඥයින් ඉදිරියේ වැඳ වැටීමජනමාධ්‍ය දුරාචාරයකි ( ප්‍රගීත් එක්නැළිගොඩ කාටූනයකි).

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව බොහෝ උත්සාහයන් ගෙන ඇතත්, එම උත්සාහයන් සාර්ථකත්වයට වඩා ලං වන්නේ අසාර්ථකත්වයේ ඉමටයි. මෙම අසාර්ථතකත්වය සෙසු සාධක රැසක් හා සංකලනයේ දී මාධ්‍ය ව්‍යුහය තුළ ව්‍යාධි ජනක තත්වයක් ඇති කොට තිබෙන බව නිගමනය කිරීම අසාධාරණ නොවේ. කඩවුණු පොරොන්දු හා අහිමි වු අවස්ථාවලින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ අතීතය මුද්‍රා තබා ඇත. මෙම කෙටි සටහනේ අරමුණ මේ අසතුටුදායක අතීතය හා වර්තමානය හරහා නැවුම් මං පෙතක් ඔස්සේ ඉදිරියට පිය නැගීමට කෙරෙන යෝජනාවකි. මෙම යෝජනා බෙහෙවින්ම පුද්ගලානුබද්ධ සහ ආත්මීය එකක් වන බැවින් එය විවාදයට බඳුන් විය හැකිය.

මාධ්‍ය ප්‍රතිසංස්කරණ හා දේශපාලන න්‍යාය පත්‍ර

මාධ්‍ය ප්‍රතිසංස්කරණ සැමවිටම මැතිවරණ කාල සීමාවන් හි දී දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහළ තැනක් ගනී. මෑත අතීතයේ අත්දැකීම වී ඇත්තේ පක්ෂ භේදයකින් තොරව මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව පොරොන්දු මැතිවරණ වේදිකාවල නිදැල්ලේ පියා සලන බවය.

මාධ්‍ය ප්‍රතිසංස්කරණ අතීතය දෙස කෙටි විමසුමක නිරතවීම යෝග්‍ය යැයි සිතේ.

මාධ්‍ය ප්‍රතිසංස්කරණ උත්සාහයන් 1963-2018

වර්ෂය කළ උත්සාහය සහ මුඛ්‍ය ප්‍රතිඵලය මෙහි සඳහන්ය.

1963 පුවත්පත් කොමිෂන් වාර්තාව – පුවත්පත් මණ්ඩලය පිහිටුවීමට නිර්දේශ
1966 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පණතකින් පිහිටුවීම – රාජ්‍ය විද්යුත් මාධ්‍ය ඒකාධිකාරයක් බිහි වීම
1989 තරුණ අසහනය පිළිබඳ සර්ව පාක්ෂික කමිටුව – මාධ්‍ය තුළ තරුණ සහභාගිත්වය වැඩි කිරීම
1991 තරුණ අසහනය පිළිබඳ ලක්ෂ්මන් ජයතිලක කමිටුව – මාධ්‍ය තුළ තරුණ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම
1994 පොදු ජන එක්සත් පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනය – පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ හා මාධ්‍ය සංවර්ධණය
1996 ආර්.කේ.ඩබ්.ගුණසේකර වාර්තාව – පුළුල් නීතිමය ප්‍රතිසංස්කරණ සමුහයක්
1998 කොළඔ ප්‍රකාශනය – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය , කර්තෘ සංසදය, පුවත්පත් ප්‍රකාශකයින් ගේ හා වෘත්තීය මාධ්‍යවේදීන් අතර භාවිතය පිළිබඳ එකඟතාවය
2005 ජනමාධ්‍ය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක වාර්තාව – මාධ්‍ය අන්තර්ගතය පිළිබඳ නිර්දේශ සමුහයක්
2005 තෝලංගමුව ප්‍රකාශය – පොදු සේවා මාධ්‍ය පද්ධතියක් පිළිබඳව මාධ්‍ය සංවිධාන එකතුවේ නිර්දේශ
2006 ස්ත්‍රී පුරුෂ බව පිළිබඳ මාධ්‍ය ආචාර ධර්ම – ස්ත්‍රී පුරුෂ මාධ්‍ය තොරතුරු භාවිතය පිළිබඳ එකඟතාව
2006 වැලිගම ප්‍රකාශනය – ජනවාර්ගික අර්බුදය සහ සංහිඳියාව සංවේදී වාර්තාකරණය පිළිබඳ එකඟතාවය
2007 ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය – මාධ්‍යවේදීන්ට මාර්ගෝපදේශය
2008 මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඔ ප්‍රකාශනය – කොළඔ ප්‍රකාශනය (1998) නැවත විමසීම
2010 කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ප්‍රකාශනය – මාධ්‍ය විද්‍යාර්ථින් විසින් ආණ්ඩුවට නිර්දේශ සමුහයක්
2016 මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික ලේකම් කාර්ායලයේ වාර්තාව – යුනෙස්කෝ දර්ශක භාවිතා කරමින් ශ්‍රීලංකාවේ මාධ්‍ය භාවිතය ඇගයීමට ලක්කරමින් නිර්දේශ ලබා දීම

සමස්තයක් වශයෙන් ගත් කළ මාධ්‍ය ප්‍රතිසංස්කරණ උත්සාහයන් කණගාටුදායක ලෙස අසාර්ථක වී ඇත. වඩාත්ම කණගාටුදායක වන්නේ යම් යම් දේ නොකර සිටීමට දුන් පොරොන්දු පවා මාධ්‍ය නිදහස වෙනුවෙන් ලබා දුන් ඉඩ ප්‍රස්ථා ලෙස සැලකීමට මෙම සමාජය දුප්පත් වී තිබීමය.

2015 පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන උද්යෝග පාඨය වූයේ අප ජනමාධ්‍යවේදීන්ට පහර දෙන්නේ හෝ මරා දමන්නේ නැත යන්නයි. 2000-2015 කාලය අතරතුර අඩුම වශයෙන් ජනමාධ්‍යවේදීන් එකොළොස්දෙනකු මරා දමා ඇති අතර තවත් බොහෝ දෙනා තර්ජනයට ලක් වී හෝ පැහැර ගැනීමකට හෝ ලක් වී ඇත. විද්යුත් මාධ්‍ය ආයතන ගිනිගෙන හෝ විනාශ කර ඇත. දැනට ජනමාධ්‍යවේදීන්ට පහර දීම් නතර වී ඇතත් එය සම්පුර්ණයෙන්ම පාලනය වි නැත.

මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට හෝ පැහැර ගැනීමට උල්පන්දම් අන් අය තවමත් නිදැල්ලේය. ව්‍යවස්ථාමය පෙරමුනේ තොරතුරු දැනගැනීමේ පණත සම්මත වීම වැදගත් ජයග්‍රහණයකී. විද්යුත් මාධ්‍ය නියාමනය පිළිබඳව යම්කිසි කටයුත්තක් සිදුවන බවට දැනගන්නට තිබේ. ඒ හැරුණ විට වඩාත් ප්‍රගතිගාමී මාධ්‍ය නීති පණවා ගැනීමට හෝ ලිහිල් කිරීමට ඇති කළ පණත් අසාර්ථක වී ඇත. මාධ්‍ය ආයතනය සහ පුහුණුවේ ප්‍රමිතිය ප්‍රශ්න කටයුතු තත්වයක තිබේ.

මාධ්‍ය හසුරුවා ගැනීම පිළිබඳව මුලික කටයුතුවත් කිරීමට අසමත් සමාජ වාතාවරණයක ඉහළ මට්ටමේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සිදු නොවන්නේ යැයි මැසිවිලි නැගීමේ අර්ථයක් තිබේද?

පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ දේශපාලන කළමනාකරුවන් දුර්වල සහ ආත්මාර්ථකාමී පිරිසක් බවට මතයක් තිබේ. මෙවැනි තත්වයක් හමුවේ ඔවුන් ගෙන් ප්‍රගතිගාමී මාධ්‍ය ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වීම අර්ථවත්ද යන්න නැවත මතුවන ප්‍රශ්නයකි.

සමස්තයක් ලෙස මාධ්‍ය ප්‍රතිසංස්කරණ යනු සිවිල් සමාජය විසින් ආණ්ඩුව වෙත බාර දෙනු ලබන යෝජනාවලියකි. මෙම යෝජනාවලිය ආණ්ඩුව වෙත බාර දුන් පමණින් එය ඉටු වෙතැයි සිතීම යථාර්ථවාදි වන්නේද? දිගින් දිගටම අසමත් පිරිසකට මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිලිබඳ යෝජනා බාරදී ඒවා ඉටු නොවන තැන විකල්ප මං පෙත් ගවේෂණය නොකිරිම කොතෙක් තාර්කිකද?

නිසැක වශයෙන්ම විකල්ප මංපෙත් ගවේෂණය කිරීමට හාත්පස ඇති යථාර්ථිය, දැනුවත් මාධ්‍ය විද්‍යාර්ථියාට පෙළඹවීම් නොකරන්නේද? එසේ කිරීමේ දී මාධ්‍ය ප්‍රතිසංස්කරණ සාර්ථකත්වයේ ඉමට වඩා අසාර්ථකත්වයේ ඉමට නැඔුරුවීමට බලපාන්නේ ද විමර්ශනය කළ යුතුව ඇත.

1.2 අසාර්ථකත්වයට බලපෑ හේතු

මාධ්‍ය ප්‍රතිසංස්කරණ සාර්ථක නොවීමට බල පෑ හේතුව පිළිබඳ සිදු කළ විමර්ශනයකදී පහත සඳහන් කරුණු ඉදිරිපත් කළහ.

# මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු නොවේ. එය බාහිර බලපෑම් මත කෘත්‍රිමව ජනනය කළ උද්යෝගය නිසා මතුවන ක්‍රියාකාරිකමකි.
# මාධ්‍ය ප්‍රතිසංස්කරණයට අදාළ ගැටළු පිළිබඳව ප්‍රමාණවත් ලෙස විශ්ලේෂණය නොකෙරේ. ඒ වෙනුවට අහඔු ලෙස තෝරා ගත් ගැටළු විවිධ පාර්ශව විසින් තමන්ට අභිමත ලෙස ඉදිරිපත් කෙරේ.
# මාධ්‍ය ප්‍රතිසංස්කරණ යනු යම්කිසි සිදුවීම් මාලාවකට දක්වන ප්‍රතිචාර මිස අදාළ කරුණ ගැඔුරින් ග්‍රහණය කර ගන්නා ක්‍රියාවලියක් නොවේ. දැනට සංස්කරණය වන මාධ්‍ය ප්‍රතිසංස්කරණ යල් පැන ගොසිනි. මාධ්‍ය පරිසරය බරපතළ ලෙස වෙනස් වී ඇති අතර සමාජ මාධ්‍ය සහ අභිසරණය වැනි ක්‍රියා මෙම මාධ්‍ය ප්‍රතිසංස්කරණ වලින් ආවරණ නොවේ.
# ප්‍රගතිගාමී මාධ්‍ය ප්‍රතිසංස්කරණ වලට සුදුසු වටපිටාවක් නැත. උදාහරණ ලෙසට මාධ්‍යවේදීන්ගේ වෘත්තීය පුහුණුවේ අඩු තරමින් ප්‍රගතිගාමී ප්‍රතිසංස්කරණ කිරීමේ දුෂ්කරතා මතු කර ඇත.
# මාධ්‍ය කර්මාන්තය යනු සැබෑ ලෙසින්ම කර්මාන්තයක් නොවේ. දූෂිත ප්‍රාග්ධන හිමිකරුවන් මාධ්‍ය ප්‍රතිසංස්කරණ වලට සංවේදී නොවෙති.
# විද්යුත් මාධ්‍ය ආයතනවලට ඉතා ලිහිල් සහ අක්‍රමවත් කොන්දේසි මත බලපත්‍ර නිකුත්කොට ඇත. එවැනි පරිසරයකදී ඔවුන් මාධ්‍ය නියාමනයට එරෙහි වීම පුදුමයට කරුණක් නොවේ.
# විද්යුත් මාධ්‍ය නීති රීති මඟින් නියාමනය කිරීමට උත්සාහ කිරීම යල්පැන ගිය අභ්‍යාසයකි
# මාධ්‍ය ප්‍රතිසංස්කරණ මීලඟ මාධ්‍ය රැල්ල කළමනාකරණය කිරිම දක්වා යොමුවේ. මෙහි දී සුසමාදර්ශක වෙනසක් සිදුවිය යුතුව ඇත. මාධ්‍ය නිෂ්පාදකයා නොව මාධ්‍ය පාරිභෝගිකයා වෙත අවධානය යොමු කළ යුතුව ඇත. මාධ්‍ය කළමනාකාරණය සිදුවිය යුත්තේ මාධ්‍ය සාක්ෂරතාවය හා උද්දේශක ක්‍රියාවලියකි.
# මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ ප්‍රමුඛතා පිළිබඳ වැටහීමක් තිබිය යුතු අතර වෙනස් කිරීම සඳහා මාර්ග සැලැස්මක් තිබිය යුතුය.
# මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශකරුවන් අතර අනොන්‍ය විශ්වාසය හා ගැටළු බිහිව ඇත.
# මාධ්‍ය ප්‍රතිසංස්කරණ ගැන කථා කරන ඇතැම් ක්‍රියාධරයන් ගේ සංවිධාන වල විශ්වනීයත්වය පිළිබඳ ගැටළු ඇත.
# ජනමාධ්‍යවේදීන් ගේ පුහුණුවේ ඇති අඩුපාඩු නිසා ඇතැම් අය තුළ මාධ්‍ය ප්‍රතිසංස්කරණ විරෝධී අදහස් මතු ව ඇත.

මෙම ලැයිස්තුව තවත් දීර්ඝ විය හැකිය.

1.3- ඉදිරි මඟ

පවතින තත්වය හමුවේ අප සියළු මාධ්‍ය ප්‍රතිසංස්කරණ අතහැර දමා වෙළෙඳ පොල සමාජ බලවේග වලට හා කර්මාන්තයට රිසි ලෙස සහ ස්වයං සිද්ධව පවත්වා ගෙන යාමට ඉඩ දෙන්නේද? එසේත් නැත්නම් මාධ්‍ය ප්‍රතිසංස්කරණ යථාර්ථයක් බවට පත් කර ගැනිම සඳහා වඩාත් වෙහෙස වී ක්‍රියාකාරි වෙමුද? නැතහොත් තාක්ෂණික නවෝපාදනයට ඉඩ දී ඒ අනුව මාධ්‍ය න්‍යාය පත්‍ර හා භාවිතය පවත්වා ගෙන යාමට ඉඩ දෙමුද?

1.4 සුසමා දර්ශක වෙනස

ඉහතින් නැගු ප්‍රශ්නවලට පිලිතුරු අප විසින්ම සොයා ගත යුතුය. එහෙත් මේ අවස්ථාවේදි කෙරෙන්නේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ එළැඹුම වෙනස් කිරීමට යෝජනා කිරීමයි.

යෝජනාව සරල කර කියතොත් මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව රේඛීය එළැඹුමකින් බැහැර වී සංකීර්ණතාවය පිළිබඳ එළැඹුමකට යොමුවන ලෙස යෝජනා කෙරේ.

රේඛීය එළඔුමකදි කෙරෙන්නේ කළින් තිරණය කළ ඉලක්කයක් අත්පත් කර ගැනීම වෙනුවෙන් ක්‍රමෝපායික ලෙස වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි. සංකීර්ණතාවය පිළිබඳ එළැඹුම බහුවිධ අවස්ථාවන්ට හා බහුවිධ න්‍යායත්මක ප්‍රදේශවලට සහ ක්‍රියාවලින්ට සමාජයේ මතුවන යථාර්තයන්ට ඉඩ සලසයි.

සංකීර්ණතාවය පිළිබඳ අවස්ථාවකදී අර්බුදකාරී ව්‍යුහයන් සම්මුතිකවත් ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කෙරේ.

අපිළිවෙළ තුලින් පිළිවෙල ඇති වන ආකාරය විග්‍රහ කෙරේ.

යම් ක්‍රියාවලියක් තුළ එකිනෙකට ස්වාධීන වූ බව පෙනෙන ක්‍රියාකාරිකයින් පොදු අරමුණක් වෙනුවෙන් එකතු කර ගැනීමේ වැඩ පිළිවෙළක් ඇති කර ගත හැකිය. අදාළ තත්වයන් ඇති වු විට එකිනෙකට ස්වාධීන හා පරස්පර වන පාර්ශවකරුවන් හට කෙටි කාලින ව හෝ දිගු කාලීනව අරමුණු ජය ගැනීම සඳහා එකතු විය හැකිය. එසේම අවසන් ඉලක්කය අපැහැදිලි හා අනපේක්ෂිත එකක් විය හැකි බව සංකිර්ණතාව පිළිබඳ එළැඹුම පිළිගනී.

1.5- මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු කරන මෙම යෝජනාවේදී මුලිකාංග පහක්

සංකිර්ණතා පිලිබඳ එළැඹුමක් ඔස්සේ කළමනාකරණය කර ගත හැකි ආකාරය යෝජනා කෙරේ.

* න්‍යායාත්මක හා ව්‍යවස්ථාමය රාමු

* මාධ්‍ය සාක්ෂරතාවය හා මහජන අවකාශය

* තාක්ෂණික සංකීර්ණය

* මාධ්‍ය කර්මාන්තයේ ක්‍රියාකාරකම් හා ප්‍රතික්‍රියා

* ඉහත සඳහන් මුලිකංග හතරේ සමස්ථයික ක්‍රියාකාරිත්වය

සංකීර්ණතා ප්‍රවේශයක් ඔස්සේ මතු කළ ක්‍රියාවලියන් ගෙන් මතුවන ප්‍රතිඵළයෙන් පාර්ශවකරුවන් ගේ ඕනෑ එපාකම් තරමක් දුරට හෝ පිරිමසාලිය යුතුය.

පාර්ශවකරුවන්ට එකට ක්‍රියාත්මක වීමට අවකාශයක් නිර්මාණය වන අතර අවශ්‍යවු විටෙක වෙන්ව ක්‍රියාත්මක වීමේ අවකාශයක් ද පැවැතිය යුතුය.

පාර්ශවකරුවන් අතර ඇති අසමානකම් නව ප්‍රපංච හා සංසිද්ධීන් මතු කරන නිර්මාණාත්මක අවකාශයක් ලෙස සැලකිය යුතුය. මෙම නිර්මාණාත්මක අවකාශය තුල ඇතිවන ආතතීන් කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් තිබිය යුතුය.

මෙම ආතතිදායි තත්වයක් නෛසර්ගික හෝ අයහපත් තත්වයක් ලෙස සැලකිය යුතු නැත.

මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ සරල රේඛීය එළැඹුමකට සාපේක්ෂකව සංකිර්ණතාව පිළිබඳ එළැඹුමක් අභියෝගාත්මකය. ගතිකය.

ශ්‍රීලංකික සමාජය එවැනි ගතික හා අභියෝගාත්මක එළැඹුමකට සුදානම්ද?

අවම වශයෙන් ශ්‍රීලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සතුටුදායක ලෙසින් ඉටු නොවන බව පවසන පිිරිසක් මෙම ගතික අභියෝගය බාර ගැනීමට සුදානම් ද?

එම්.ජේ.ආර්. ඩේවිඩ් විසිනි.
mjrdavid@gmail.com

( ඉහත සඳහන් වන්නේ ‍‍ ‍‍බීබීසීයේ හිටපු නිෂ්පාදකවරයෙකු මෙන්ම ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.ජේ.ආර්.ඩේවිඩ් මහතා විසින් මැයි 03 වන දිනට යෙදුනු ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ සාකච්චා සභාවට සිය කතාවෙහි ඉදිරිපත්  කළ  ලියැවිල්ලය.)

Back to Top