Sri Lanka Brief
පුවත්ප්‍රජා පීඩකයෙක් නිරුවත්ව -සරත් ද අල්විස්

ප්‍රජා පීඩකයෙක් නිරුවත්ව -සරත් ද අල්විස්

by

“විරෝධතාකරුවා සතුරෙකි. එදිරිවාදියා මළ කඳකි”- පොල්පොට්

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවක් නිෂ්ප්‍රභා කරන හිටපු ආරක්ෂක ලේකම් සහ 2020 දී ජනාධිපති වීමට බලාගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ, මේ ඝාතනය සිදුවන අවස්ථාවේ හමුදා බුද්ධි අංශය භාරව සිටියේ එකල හමුදාපති වශයෙන් සිටි සරත් ෆොන්සේකා බවත්, ඒ අලකලංචිවලට තමාගේ කිසි සම්බන්ධයක් නැති බවත් කියා තිබේ. ඔහු කියන්ට වෙර දරන්නේ, කුප්‍රකට බුද්ධි අංශයේ සිදුවූ කෙරුවාවන්ට අදාළව එදත් අදත් තමා උපාසක සුදනෙකු වන බවයි.

“හමුදා බුද්ධි අංශයේ පාලක මණ්ඩලය කියන්නේ, හමුදා සේනාධිනායක ව්‍යුහය ඇතුළේ තියෙන ශාඛාවක්. පැහැදිළිවම ඒක පිහිටුවලා තියෙන්නේ, හමුදාවේ අනුමැතිය සහිත සංවිධානමය ව්‍යුහයක් ඇතුළේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ, හමුදා මූලස්ථාන අධ්‍යක්ෂ ජෙනරල්වරයා යටතේ. ඔහු කෙලින්ම වාර්තා කරන්නේ, හමුදාපතිවරයාට. මේ අංශයට භාර රාජකාරී සහ වැඩ කටයුතු වුණත් පැහැදිළිව විස්තර කරලා තියෙනවා. වික්‍රමතුංග ඝාතනය වෙන කාලේ, හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා වුණේ ජෙනරාල් අමල් කරුණාසේකර. විශ්‍රාමික ජෙනරාල් කපිල හෙන්දවිතාරණ නෙවෙයි. එදා හමුදාපතිවරයා වුණේ, වර්තමාන ආණ්ඩුවේ ප්‍රාදේශීය සංවර්ධනය භාර කැබිනට් ඇමති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා.”
(“මාව බොරුවට පටලවන්න පොලීසියටයි, හමුදා නිලධාරීන්ටයි දැඩි බලපෑම්”, මැයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා 2018 පෙබරවාරි 26 අයිලන්ඞ් පුවත්පතට නිකුත් කළ ප්‍රකාශයකි)

ගෝඨාභය රාජපක්ෂගේ මේ ප්‍රකාශය කෙබරයකි. හමුදා සහ සිවිල් බුද්ධි අංශවලට අදාළ සියලු රාජ්‍ය ආයතනවල අවිවාදිත ප්‍රධානියා වුණේ ගෝඨාභය රාජපක්ෂ ය. ඒ සෑම ආයතනයක්ම ඔවුන්ගේ කල්ක්‍රියාව වාර්තා කෙළේ ඔහුට ය. ඔහුගේ පාලනය අත්තනෝමතික වූ අතර, එය කිසිවක හෝ කිසිවෙකුගේ පාලනයට යටත් වුණේ නැත.

සකල රාජ්‍ය බුද්ධි අංශ ලොක්කන්ගේත් ලොක්කා තමා බව ගෝඨාභය රාජපක්ෂම එදා කියා තිබේ. මාෆියා සංවිධාන ලොක්කන් ඉස්සර කීමට පුරුදුව සිටි පරිදි, ඔහු සකල නායකයන්ගේ නායකයා විය. රටේම ‘ගෝඞ් ෆාදර්’ වුණේ ඔහු ය. ‘ගෝඞ් ෆාදර්’ නැමැති නවකතාවේ කර්තෘ මාරියෝ පූසෝ ලියා ඇති පරිදි, ‘බලය යනු හැම දෙයම නොවේ. එය, එකම දෙයයි.’

මිනිස් සගයන් කෙරෙහි බලය පතුරුවාලීමෙන් තොරව ගෙවන ජීවිතයක් ගැන සිතා ගැනීමටවත් නොහැකි, ‘වෘකයෙකුගේ’ වන් තිරශ්චීන සහජාසයන් සහිත ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු මෙහිදී අපට දැක ගත හැකිය. මේ ගෝඨාභය රාජපක්ෂ තමාගේ අපරිමිත බලය අභ්‍යාස කෙළේ, විස්තර කළ නොහැකි තරමේ වනචාරීත්වයකිනි.
2011 නත්තල් දා හම්බන්තොට සංචාරක නිකේතනයකදී කුරාම් ෂයික් සමාන් නැමැති බි්‍රතාන්‍ය ජාතිකයාව ඝාතනය කොට ඔහුගේ රුසියානු පෙම්වතියව සාමූහිකව දූෂණය කෙරුණි. එහි ප්‍රධාන චූදිතයා වුණේ, තංගල්ල වැයික්කියේ බලය හෙබැවූ මාෆියා පවුලේ දේශපාලනික චරපුරුෂයෙකි.

එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, එදා සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන, වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රොව්නා නැමැති විසිතුන් හැවිරිදි රුසියානු ජාතික තරුණියට බරපතල තුවාල සිදුව ඇතත්, ඇය දූෂණයට ලක්ව නැති බව කියා සිටියේය.

සිද්ධියෙන් පසුව වින්දිත කාන්තාව විසින් පොලීසියට දෙන ලද ප්‍රකාශය දිනේෂ් ගුණවර්ධනගේ එකී ප්‍රකාශයට පටහැනි බව අනතුරුව පෙන්වා දෙන ලදුව ඔහු ඊළඟට දුන්නේ, අප එදා ජීවත් වෙමින් සිටි ‘ඕර්වෙල්ලියානු’ ලෝකය (සත්‍යය කණපිට හැරුණු ලෝකය) මේ යැයි කියාපාන ‘මොළේ කචල්’ පිළිතුරකි: “මං මෙතන ඉදිරිපත් කරන්නේ, පොලිසීයට ලැබිලා තියෙන වාර්තා මත පදනම්ව, ආරක්ෂක අමාත්‍යාංශය මට දෙන ලද පිළිතුරක්. තමුන්නාන්සේට තියෙනවා නං මීට වැඩිය විස්තර හරි, මීට වැඩිය සාක්ෂි හරි, ඒවා ගිහිං ඒ නඩුව අහන උසාවියට ඉදිරිපත් කරන්න.”

2013 මැයි මාසයේ, එදා ආරක්ෂක ලේකම්වරයා වූ ද, අපේ සිවිල් නිදහස ගැන පරම තීරකයා වූ ද ගෝඨාභය රාජපක්ෂ, කොතලාවල ආරක්ෂක පීඨයේදී දේශනයක් කෙළේය. එහි මාතෘකාව වුණේ, “ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න” යන්නයි. සෑම ප්‍රජාපීඩකයෙකු මෙන්ම ඔහුත් එහිදී කරුණු දැක්වූයේ, පාලක තන්ත්‍රයේ ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව යන්න එකක් වශයෙන් ගනිමිනි.

රටේ ආරක්ෂක අංශ සහ බුද්ධි සේවා පිළිබඳ සුපිරි තීරකයා වශයෙන් සිය අසහාය බල පරාක්‍රමයේ හිනිපෙත්තේ සිටියදී පවත්වන ලද එම දේශනය, නිර්ලජ්ජිතවම අව්‍යාජ එකක් විය. ඒ දේශනයේදී, රටේ විවිධ බුද්ධි අංශ කෙරෙහි තමන් සතුව පැවති යකඩ ග්‍රහණය ඔහු කියාපාන්නේ, පාවිච්චියට පෙර තොණ්ඩුව පරීක්ෂාවට ලක්කරන අලුගෝසුවෙකු මෙන්, කිසි ගානකට නැතිව ය.

රටේ අභ්‍යන්තර ආරක්ෂක ජාලයේ අනුත්තර ලොක්කා තමා බව එදා ඔහු කී ඒ සරළ විලාසය අපේ සිත් සසල කළත්, වෙනස් අදහස් නොඉවසන ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන ඔහු තුළ එදා පැවති විස්මිත විශ්වාසයේ තරම මේ යැයි ඒ මගින් පෙන්නුම් කෙළේය. දීර්ඝ කාලීන යුද්ධයකින් ගොඩ එන බොහෝ රටවල පාලකයෝ තමන්ගේ පාලක තන්ත්‍රයේ සුරක්ෂිතතාව සහ ජාතික ආරක්ෂාව එකක් කොට ගැනීම විශේෂ ලක්ෂණයකි.

ප්‍රායෝගික ජාතික ආරක්ෂාව පිළිබඳ උපාය මාර්ගයක් තුළ නිරතුරුවම, “අරමුණු සමග උපක්‍රමත්, ඉලක්ක සමග සම්පතුත්, අභිමතාර්ථ සමග ඒවා සඵල කර ගැනීමට අවශ්‍ය උපකරණත් ගැට ගැසීම” අත්‍යාඅවශ්‍ය වන බව ඔහු මේ දේශනයේදී පෙන්වා දුනි. ඔහු විශ්වාස කරන නූතන යුගයේ රටක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන ප්‍රශ්න වන්නේ, ‘අභ්‍යන්තර කටයුතුවලට කෙරෙන විදේශ මැදිහත්වීම්’ සහ ‘සමාජ මාධ්‍ය ඇතුළු තාක්ෂණික ක්ෂේත්‍රයේ මාධ්‍යවලින් නැගෙන අසම්මත තර්ජනයන්’ බව ඔහු එහිදී කීවේය. එසේ කියමින්, ජාතික ආරක්ෂක ජාලය මුදුනේ තමා සිටීමේ ඇති අවශ්‍යතාව එදා ඔහු පැහැදිළි කෙළේ, මධ්‍යකාලීන යුගයේ සිටි හමුදා ප්‍රධානියෙකු මෙනි:

“ශ්‍රී ලංකාවේ තියෙනවා, මූලික බුද්ධි අංශ දෙකක්. ඒ තමයි, රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි සේවය. මේ හමුදා බුද්ධි සේවයට අයත් වෙනවා, හමුදා බුද්ධි මණ්ඩලය, නාවුක හමුදා බුද්ධි මණ්ඩලය සහ ගුවන් හමුදා බුද්ධි මණ්ඩලය. මේවාට අමතරව, පොලීසියට තියෙනවා විශේෂ ශාඛාවක්. ඒ එක්කම පොලීසියේ විශේෂ කාර්ය සාධක බලකායටත් තියෙනවා තවත් බුද්ධි අංශයක්. ඒ වගේම ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණාවලදී, ත්‍රස්තවාදී විමර්ශන දෙපාර්තමේන්තුවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අනිත් බුද්ධි අංශ එක්ක සමීපව වැඩ කරනවා. ඉස්සර, මේ විවිධ බුද්ධි සේවාවන් අතරේ සම්බන්ධීකරණයක් නොතිබීම ලොකු ප්‍රශ්නයක් වුණා. ඒක නිසා සම්බන්ධීකරණය ඇති කර ගන්නත්, හැකියාවන් වර්ධනය කර ගන්නත්, මේ කියන අංශ ඒකාබද්ධ අණදෙන ව්‍යුහයක් යටතේ කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා වර්තමාන ආණ්ඩුවෙන් ගත්ත එක පියවරක් තමයි, මේ බුද්ධි සේවාවන් ජාතික බුද්ධි සේවා ප්‍රධානියාගේ යටතට පත්කිරීමත්, ඒ ජාතික බුද්ධි සේවා ප්‍රධානියා කෙලින්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට වාර්තා කළ යුතු වීමත්.”

මෑතකදී දෙන ලද සම්මුඛ සාකච්ඡා කිහිපයකදීම, එදා සිදු වූ මිනිමැරම්, පැහැරගෙන යාම්, අතුරුදහන් වීම් සහ වැලිකඩ හිරගෙදර සමූහ ඝාතනය වැනි දරුණු අපරාධ ගැන කෙරෙන පරීක්ෂණ ආදිය හිටපු ආරක්ෂක ලේකම්වරයා හඳුන්වා තිබුණේ දේශපාලන දඩයම් වශයෙනි. එහෙත් බුද්ධි සේවාවන් පවත්වාගෙන යාමේ තනි අධිකාරිය තමන් සන්තකයේ පැවති බව එදා කීවේත්, ජාතික ආරක්ෂාව පිළිබඳ බල උමතුවෙන් මත්ව සිටි මේ තැනැත්තාම ය.

මෑතකදී දෙන ලද තවත් සම්මුඛ සාකච්ඡාවකදී, මේ ආණ්ඩුව විසින් ජාතික බුද්ධි අංශ දුර්වල කරන බවට සහ අනතුරට හෙලන බවට හෙතෙම චෝදනා කොට තිබුණි. පොලිස් පරීක්ෂකයන්ට තවමත් අවසාන සාක්ෂි කෑලි සොයමින් වංගගිරියක් පීරීමට සිදුව තිබීමෙන් පෙනී යන්නේ, ඒ කාලයේ ඔහු විසින්ම සූක්ෂමව දියත් කළ ඒ අඳුරු කාර්යසාධන මෙවලමේ මුරුග ගතියයි.

එදා 2013 කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ දේශනයේදී ඔහු කියූ පරිදිම, ඔහු සැබවින්ම ‘අරමුණු සමග උපක්‍රමත්, ඉලක්ක සමග සම්පතුත්’ එකට යා කොට තිබුණි/ එසේම, අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය උපකරණත් සොයාගෙන තිබුණි/

මහින්ද රාජපක්ෂගේ ජනාධිපති කාලය තුළ ගෝඨාභය ගොඩනගා තිබුණේ, එවැනි පවුරුගත කැලෑ-රාජ්‍යයකි. සිංහාසනයේ එදා වැජඹුණු අයියා පවා, බොහෝ විට, ඒ දූෂිත වළල්ලේ ප්‍රාණඇපකරුවෙකු වී සිටියා විය හැකිය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධි පිළිබඳව අද කෙරෙන විමර්ශනවල මන්දගාමීත්වය, එම පොලිස් විමර්ශන නිලධාරීන්ට මුහුණදීමට සිදුව ඇති බාධකවල තරම කියාපායි. ඒ තරමට, ගෝඨාභය තැනූ කැලෑ-රාජ්‍යය සවිමත් ය. ඒ තුළ, තියුණු සෝදිසියක් තිබේ. නම්බුකාර ප්‍රති-ප්‍රහාරාත්මක හයියක් තිබේ. විරෝධතා ආම්බාන් කර ගැනීමේ හැකියාව යහමින් තිබේ. රණවිරුවන් යැයි තමන්ම කියාගන්නා පක්කලි බුරුත්තක් සහ කුලීකාර භික්ෂු සහපිරිවරක්, ඔහුගේ වත්මන් අනුතාප සංග්‍රාමයේ සහ 2020 ජනාධිපති සිහිනයේ පෙරමුණු බලඇණිය වී ඇත්තේ එකී සන්දර්භය තුළ ය.

උතුරේ රාජකාරියේ සිට නිවාඩුවට දකුණේ නිවසට එන සොල්දාදුවෙකු රැගෙන එන බෝම්බයක් දියතලාවේදී හදිසියේ පුපුරා ගියේය. හිටපු අද්මිරාල් සරත් වීරසේකර සහ ජෙනරාල් කමල් ගුණරත්න, මෙය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ යළි හිස එසවීමකැයි දස අතේ දිව්රා කීහ. සුපුරුදු ප්‍රචාරක මාදිලිය එයයි. ජාතික ආරක්ෂාව පිළිබඳ මේ පණ්ඩිතයන් ඇත්තෙන්ම ජනතාව කුලප්පු කිරීමේ කලාවේ අගතැන් ගත්තන් ය. පාණ්ඩු ආණ්ඩුව තමන්ගේම විනාශය ගැන පවා නොතකා මේ දාංගල් ඉවසා වදාරයි.

මහින්ද රාජපක්ෂට රටේ පාලන කාරිය සඳහා බිය ජනනය හෝ මර්දනය හෝ අවශ්‍ය කෙළේ නැත. එහෙත් ඇමරිකානු විප්‍රවාසයේ සිටි මලයා අවුරුදු පහළොවකින් පසු මේ මුග්ධ පොළොවට අඩිය තැබූ මොහොතේ පටන් සොයාගෙන තිබූ ඒ අශෝභන අධිකාරීවාදී මාවතේ රුදුරු නපුරට ඔහුත් වශී වීම ඔහුගේ අභාග්‍යයකි.

එදා පටන් ගෝඨාභය රාජපක්ෂ සෑහෙන දුරක් ගොස් තිබේ. ‘එළිය’ සහ ‘වියත් මග’ නැමැති අට්ටාල හරහා පරපුටු ව්‍යවසායක පංතියක පක්ෂපාතීත්වය ඔහු දිනාගෙන ඇත. සාක්ෂරතාව ඇති මුත් ශාස්ත්‍රවන්ත නොවන, සමාජ හිණිමගේ දඩිබිඩියේ ඉහළ යාමේ හිතැ‘ති අලුත් මැද පංතියක් ඔහුගේ මූල පදනම බවට පත්ව සිටී. තමන් නිර්මාණය කරන පාලක ප්‍රභූ පැලැන්තියක් සහ ජනතාව අතරේ වන අධිකාරීවාදී සමාජ සන්ධානයක් තමන් සතුව ඇති බව ඔහු මොවුන්ට පෙන්වා දී තිබේ. දකුණු කොරියාව, තායිවානය සහ සිංගප්පූරුව බවට ලංකාව පත්කිරීමේ ප්‍රතිඥාව ඔහු මොවුන්ට දී තිබේ. ඔහුගේ පණිවිඩය පැහැදිළි ය: “මම ධනයත්, ස්ථාවරත්යත් තමුන්ට දෙනවා. හැබැයි, තමුන් මගේ පාලන මාදිලියට අවනත වෙන්න ඕනේ.”

යහපාලනයේ ආමන්ත්‍රණය සහ වසඟය වියැකී ගොසිනි. ගෝඨාභයගේ තර්ජනය නිශ්චිත ය. සමීපස්ථ ය.

බයිබලයේ භාෂාවෙන් කිවහොත්, මම ‘විස්සේ කෑලි තුනකට දහයකුත් ඈඳා ගත්’, මහල්ලෙක්මි. මේ සැඳෑ සමයේ මම පීටර්, පෝල් සහ මේරි ත්‍රිත්වයේ ගීයක රස විඳිමි. (“ඔක්කොම මල් කොහේ ගිහිං ද? ඔක්කොම තරුණයන් කොහේ ගිහිං ද? හැමෝම සොල්දාදුවන් ය. ඔවුන් කවදා නම් උගනීවි ද?”)

පව්, මෙච්චර කාලයක් ගෝඨාභය ඇමරිකාවේ ඉඳලත්, පීටර්, පෝල් සහ මේරිගේ ගීයක් රස විඳ නැති හැටි.

2018 අප්‍රේල් 29 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “A Despot Disrobed” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top