Sri Lanka Brief
පුවත්ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ‘ජෙරුසලෙම් කුලප්පුවට’ වතිකානයේ සහයක් නැත්තේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ‘ජෙරුසලෙම් කුලප්පුවට’ වතිකානයේ සහයක් නැත්තේ ඇයි?

by

ජායාරෑපය:  ජෙරුසලෙමේ දර්ශනයක්.

(2018 මැයි 26)
වසර ගණනාවක් පුරා මැදපෙරදිග සම්බන්ධයෙන් ලෝකයේ සියලු රටවල් ගරු කළ වැදගත්ම රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවක්  බිඳහෙලමින් ඊශ්‍රායෙලයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලෙමට ගෙනයන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒකමතිකව ප්‍රකාශ කළේය. එතෙකින් නොනැවතුණු ඔහු  මැයි මස 14 වනදා සිය තානාපති කාර්යාලය ඇත්ත වශයෙන්ම ජෙරුසලෙමේ පිහිටුවීය.

( ඊශ්‍රායෙලය 1967 යුද්ධයෙන් නැගෙනහිර ජෙරුසලෙම ඇතුළු බටහිර ඉවුරත් ඝාසා තීරය ඇතුළු ප්‍රදේශ කිහිපයකුත් බලහත්කාරයෙන් ඈඳා ගත්තත් ලෝකය එය පිළිගත්තේ නැත. ලෝකයේ සියලු රටවල තානාපති කාර්යාල පිහිටා ඇත්තේ ටෙල් අවීව් නුවරයි. ඊශ්‍රායෙල්-පලස්තීන අර්බුදයට සාමකාමී විසඳුමක් ලැබෙන තෙක් එය එම තත්වයේ තැබීමට එක්සත් ජාතීන් ගේ නායකත්වයෙන් ලෝකය ගිවිසගෙන තිබිණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඒකපාර්ශවිකව, හිතුමතේ  කඩකලේ එම එකඟතාවයි.)

ට්‍රම්ප්ගේ  මෙම හිතුවක්කාර තීරණයට සහාය දුන් ආගමික නායකයන් කවුද? ඊට ආශීර්වාද කල ආගමික නායකයන් කවුද? වතිකානය හෝ අවම වශයෙන්  ඇමෙරිකාවේ කතෝලික නායකත්වය හෝ ඊට සහාය දුන්නාද?

ජෙරුසලෙමේ විවෘත කරන ලද ඇමෙරිකානු තානාපති කාර්යාලය ‘කැපකිරීමට’ ගිය ඇමෙරිකානු ආගමික නියෝජිතයන්  අතර ප්‍රමුඛයා වූයේ ඇමෙරිකාවේ ඩල්ලස් පළාතේ දකුණු බැප්ටිස්ට් සභාවේ ඉවන්ජලිකල් දේශකයකු වන රොබර්ට් ජෙෆරීස් ය. ඔහු ජනාධිපති  ට්‍රම්ප් ගේ අති ප්‍රබල ආධාරකරුවෙකි. හිරු පායන්නේ බටහිරින් යයි ට්‍රම්ප් පැවසුවොත් ජෙෆරීස් සිය උපරිම පරිශ්‍රමය යොදා එය ඔප්පු කිරීමට ක්‍රියා කරයි. ඔහු සිය සභාව හැර සෙසු සියලු ආගම්වලට පරිභව කරන්නෙකි. කතෝලික සභාවෙන් නිරූපනය වන්නේ “සාතන් ගේ ප්‍රතිභාව” යැයි ඔහු නිතර කියයි. ඉස්ලාම් ධර්මය සහ මෝමොන් කිතුනු නිකාය “නරකාදි වලෙන් ගොඩනැගුනු දුර්ලබ්ධීන්” බවට ඔහු චෝදනා කරයි. ජුදෙව් දේශය වන ඊශ්‍රායෙලයේ තානාපති කාර්යාලය ‘කැපකරන්නට’ ගිය ඔහු වරක් මෙසේ කීවේය: “ජුදෙව්වෙකු  වී ගැලවීම ලබන්නට නොහැකියි”. ඔහු එසේ කීවේ ට්‍රම්ප් ජුදෙව්වන් වෙනුවෙන් පෙනී සිටින්නට පෙරය. “ඉස්ලාම් ධර්මය අසත්‍ය ආගමක්. එයට අනුප්‍රාණය ලබා දුන්නේ සාතන්මයි. සියලු ඉස්ලාම් බැතිමතුන් නරකාදියට යනවා…” ඔහු දේශනා කරමින් කීවේය. “නපුරු මිනිසුන්. ඕනෑම ක්‍රමයකින්, යුද්ධයෙන් වුවත්,   මරා දැමීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දෙවියන් වහන්සේ ගේ අධිකාරී බලය ලැබී තිබෙනවා” යි ඔහු කීවේය.

මෙම ‘කැපකිරීමේ’ හෙවත් විවෘත කිරීමේ දෙවන තැන ගත් පාස්ටර් වරයා ‘ඊශ්‍රායෙලය වෙනුවෙන් එක්සත් කිතුනුවෝ’ සංවිධානයේ නිර්මාතෘ ජෝන් හැගීය. කතෝලික ධර්මය යනු “බැබිලෝනියාවේ විශිෂ්ටතම ගණිකාව” යයි පවසමින් ඔහු කතෝලික දහමට නිග්‍රහ කළේය.

බලයට ඒමටත් බලයේ රැඳී සිටීමටත් දෙවියන් වහන්සේ ගේ ශ්‍රී නාමය අවභාවිත කරන ඩොනල්ඩ් ට්‍රම්ප් සිය තානාපති කාර්යාලය විවෘත  කිරීමේ යාච්ඥා මෙහෙය මෙහෙයවීමට තෝරාගත්තේ  කතෝලික දහම ඇතුළු සෙසු සියලු ආගම්වලට පරිභව කරන මේ    ‘විශිෂ්ට’ පාස්ටර්වරුන් දෙදෙනාය. මේ ඉවන්ජලිකල් පාස්ටර වරුන්ගෙන් ගම්‍යවන එක සත්‍යතාවක් තිබේ. එනම් ඇමරිකාවේ ඉවැන්ජලිකල් නිකාය ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් ජුදෙව්වන්ටත් කොන්දේසි විරහිතව පුර්ණ සහය දක්වන බවයි.

එහෙත් මෙම උත්සවයේ කැපී පෙනෙන දෙයක් තිබිණි. එනම් කිසිදු කතෝලික නියෝජිතයකු එහි දක්නට නොලැබීමයි. වතිකානය සෙසු ලෝකය සමග එක්වෙමින් ඊට නිහඬ විරෝධය ප්‍රකාශ කළේය. ඊශ්‍රායෙලයේ සිටින ශුද්ධාසන (වතිකාන) නියෝජිතයා ඊට සහභාගී වුයේ නැත. එතුමන් ගේ තානාපති කාර්යාලය තවමත් පිහිටා ඇත්තේ ටෙල් අවීව් නුවරය.  ඇමෙරිකානු කතෝලික සභා නායකත්වය ද නිහඬව එය වර්ජනය කළේ වතිකානයේ ස්ථාවරය දැනෙන්නට සැලැස්වීම සඳහාය. අවම වශයෙන්  කිසිදු කතෝලික නියෝජිතයකු එය අනුමත කරමින් ප්‍රකාශයක් හෝ නිකුත් කලේ නැත.

සුදොතුම් පියවරුන් හා  ඊශ්‍රායෙල්, පලස්තීන සබඳතා

සභාව ඊශ්‍රායෙලය සහ පලස්තීනය සමග සම්බන්ධතා පවත්වන්නේ ලෝක සාමයත් යුක්තිය සහ සාධාරණත්වයත් ආරක්ෂා වන පරිද්දෙනි. ලෝකයේ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරි ජාලයට හිමිකම් කියන සභාව  ඊශ්‍රායෙලය සහ පලස්තීනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ලෝක රාජ්‍ය තාන්ත්‍රික භාවයට ගරු කෙරෙන ආකාරයට ය. ඉතිහාසය පුරාම ඊට සාක්ෂි හමුවේ.

ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ඊට එක් කදිම නිදසුනකි. එතුමා ජුදෙව්වන් ගේ සහ ඊශ්‍රායෙල් රාජ්‍යයේ ලෙන්ගතු මිතුරෙකු බව ලෝකය ද දැන සිටියේය. එහෙත් එතුමා සිය ධුර කාලය තුළ හිටපු පලස්තීන නායක යසර් අරෆත් 12 වතාවක් මුණගැසී තිබුණේය. එතුමා විසින් අරෆත් සලකන ලද්දේ වැදගත් රාජ්‍ය  නායකයකු ලෙසය. අරෆත් තුවක්කු අතට ගත්  ත්‍රස්තවාදියකු ලෙස සැලකූ ඊශ්රායෙලය මෙයින් කෝපයට පත් වී සිටියේය. ජුවාම් පාවුළු පාප් වහන්සේ කෙතරම් අරෆත් ප්‍රිය කලේද යන්න ගැන පැහැදිලි වන එක සිද්ධියක් තිබේ. වරක් අරෆත් එතුමාට තිළිණයක් ලෙස ධවල මාබල් කුරුසියේ පාද නමස්කාර ස්ථාන කට්ටලයක් පිරිනැමුවේය. පාප් තුමා එම පාදනමස්කාර ස්ථාන කට්ටටලය සවි කරවූයේ ප්‍රසිද්ධම ස්ථානයකය. එනම් වතිකානයේ රදගුරු සිනොඩ් සමුළු ශාලාවේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ද ජුදෙව්වන් ගේ සමීප මිතුරෙකි. ආර්ජන්ටිනාවේ බුවනොස් අයරෙස් නුවර දී එතුමන්ට  සිටි සමීපම මිතුරා එම නගරයේ සිනගෝගයේ සිටි ජුදෙව් රබ්බයි තුමාවූ ඒබ්‍රහැම් ස්කොර්කා රබ්බයි තුමාය.  මෙම රබ්බයි තුමා භෞතික ජීව විද්‍යාඥයෙකි. ඔව්හු පුංචි කාලයේ සිටම යහළුවෝය. ධර්මය සම්බන්ධයෙන්  මෙම දෙදෙනා අතර සිදු වූ සාකච්ඡා පොතක්  ලෙස එලි දැක්වී තිබේ.ස්කොර්කා රබ්බයි තුමා කෙතරම් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාව  අගය කරන්නේ ද යන්න එක් සිද්ධියකින් තහවුරු වේ.  ආජන්ටිනාවේ බුවනොස් අයරෙස් නුවර දිව්‍ය හර්ද විශ්ව විද්‍යාලයේ ගොඩනගන ලද නෙවාසිකාගාරය රබ්බයි තුමා විසින්  නම් කරන ලද්දේ “හොර්හේ මාරියෝ බෙර්ගොලියෝ නේවාසිකාගාරය” යනුවෙනි.

එහෙත් එතුමා මැදපෙරදිග සංචාරයේ නිරත වෙද්දී මුලින් පලස්තීන අධිකාරියට ගොස් පසුව ඊශ්රායෙලයට පැමිණීම ඊශ්‍රායෙලය නොරිස්සන සුළු දෙයක් වූයේය.  එසේම තමා ඊශ්‍රායෙලයේ අමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලෙමට ගෙන යන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කල අවස්ථාවේ ප්‍රථමයෙන්ම ඊට විරෝධය පලකළ ලෝක නායකයා වූයේ එතුමා ය. “ජෙරුසලෙම සම්බන්ධ  එක්සත් ජාතීන් ගේ අදාළ ප්‍රඥප්ති වලට අනුකුලව ක්‍රියා කිරීමට පියවර ගන්නා ලෙස සෑම කෙනෙකුගෙන්ම මුළු හදවතින්ම ඉල්ලා සිටීමට මම කැමැත්තෙමි” යි එතුමා කියා සිටියේය. “දැනටමත් රුදුරු සහා කුරිරු ගැටුම් ගණනාවකින් සසල වී, තුවාල ලබා  ඇති ලෝකයට තවත් නොසන්සුන්තාව  එකතු  කිරීම වැලැක්වීම සඳහා සියලු පාර්ශ්ව ප්‍රඥාවෙන් සහ නුවනින් ක්‍රියා ක්‍රියා කරන්නයි මම යාච්ඥා කරමි” යි ඉරිදා දිනෙක පැවැති යාච්ඥා අවසානයේ  එතුමා කියා සිටියේය.

වතිකානය  සහ  ඊශ්‍රායෙල්, පලස්තීන සබඳතා වල පදනම

වතිකානයේ  ඊශ්‍රායෙල් සහ පලස්තීන දැක්මට  පාදක වන කාරනා කිහිපයක් තිබේ.

ඒ අතර ප්‍රධානතම  වන්නේ 1947 සහ 1948 වසර වල එම ප්‍රදේශ සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ගේ සංවිධානය සම්මත කරගත් යෝජනායි. ජෙරුසලෙම පිළිබඳව මේවායේ පැහැදිලිව සඳහන් වේ. එම යෝජනාවල කියවෙන්නේ ජෙරුසලෙම  “වෙනස් කලාපයක්’ ලෙස සැලකිය යුතු බවයි. එනම්, ජෙරුසලෙම  ඊශ්‍රායෙලයේ හෝ පලස්තීනයේ කොටසක් නොවී, එම ප්‍රදේශයේ ජීවත් වන සියලු ආගමික කොටස් වලට සිය විශ්වාසයට අනුව ජීවත් වීමට අවකාශ සැලකෙන එජා සංවිධානය යටතේ වන වෙනම කලාපයක් ලෙස පැවතිය යුතුය යන්නයි. එවකට යුරෝපයේ තිබුණු කතෝලික රටවල ද සහයෝගයෙන් මෙම වචන අදාළ ප්‍රඥප්ති වලට එකතු කරන ලද්දේ වතිකාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ගේ ප්‍රබල  ක්‍රියාකාරීත්වය මගිනි. ජෙරුසලෙම පිළිබඳව කෙරෙන ඕනෑම සාකච්ඡාවක ආරම්භය මෙම යෝජනා විය යුතිය යන්න වතිකානය තවමත් සිටින ස්ථාවරයයි.

වතිකානයේ සහ පලස්තීනයේ “දේශපාලනික  විශාලත්වය” මෙම දැක්මට පදනම් වන තවත් කාරනාවකි. වතිකානය තමන් දකින්නේ ලෝකයේ පවතින කුඩාම රාජ්‍යය ලෙසයි. මේ නිසා ලෝකයේ කුඩා රාජ්‍ය කෙරෙහි වතිකානය කිසියම් “බන්ධුතාවයක්” දක්වයි. එනම්  “නෑදෑ” දෑසින් බලයි. මෙම සිද්ධියේ දී ලෝකයේ ප්‍රධානම බලවත් රාජ්‍යය වන ඇමෙරිකාව ඊශ්‍රායෙලය වෙත දක්වන සහාය හේතුවෙන් කුඩා රාජ්‍යයක් (පලස්තීනය) අවාසි සහගත තත්වයකට හෙලා ඇතිය යන්න වතිකානයේ මතයයි. මේ නිසා පලස්තීනයට ඇති විය හැකි අසාධාරනත්වකින් එරට ආරක්ෂා කිරීම වතිකානයේ අරමුණ වී තිබේ.

ඊශ්‍රායෙල් සහ අරාබි ප්‍රදේශවල ජීවත් වන කිතුනුවන්

ඊශ්‍රායෙල් සහ අරාබි ප්‍රදේශවල ජීවත් වන සුළුතරයක් වන ක්‍රිස්තියානීන් සිය සහය පල කරන්නේ ද පලස්තීන ජාතිකයනටයි. ඇතැම් කතෝලික රදගුරු හිමිවරු පවා පලස්තීන හිතවාදීන් ලෙස ඊශ්‍රායෙලයේ “චෝදනාවට” ලක්වී සිටිති. 1974 දී එවකට ජෙරුසලෙමේ ග්‍රීක් කතෝලික අගරදගුරු හිලේරියන් කපුච්චි හිමියන් ඊශ්‍රායෙල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවරනු  ලැබීය. එතුමාට එරෙහි චෝදනාව වූයේ එතුමා ගේ මෝටර රථයෙන් පලස්තීන විමුක්ති සංවිධානයට රහසින් තුවක්කුවක් රැගෙන යාමයි.

ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලෙමේ විවෘත කල දා සහ ඉන්  පසුව ඊශ්‍රායෙල් හමුදා සහ පලස්තීන ජාතිකයන් අතර ගැටුම් හටගත්තේය. එයින් පලස්තීන ජාතිකයෝ රැසක්  මිය ගියහ. මේ තත්වය සැලැකිල්ලට ගනිමින් ජෙරුසලමේ ලතින් පදවියේ අපෝස්තලික පරිපාලක ප්‍රන්සිස්කාන නිකායික පියර්බැටිස්ටා පිට්සාබෙල්ලා අගරදගුරු හිමි දැඩි නිවේදනයක් නිකුත් කළේය.

” මෙහි එකිනෙකට පරස්පර සිදුවීම් දෙකක් සිදුවෙමින් තිබේ: එක පැත්තකින් ඇමෙරිකානු තානාපති කාර්යාලය විවෘත කිරීමේ මංගල උත්සවයයි. අනෙක් අතින් ඛේදවාචක සහ මිනිස් සංහාරයයි” යි එතුමා දැඩි ස්වරයෙන් එහි සඳහන් කළේය. “බොහෝ කාලයක් තිස්සේ ඊශ්‍රායෙල් සහ පලස්තීන ජනතාව අතර සාකච්ඡා පැවැත්වුණේ නැත. සංවාදයක් නොමැති වීම, දෙපාර්ශවය අතර හටගන්වා ඇති ගැඹුරු අව්ශ්වාසය, වෛරය සහ නොරිස්සීමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වී තිබේ. මෙය අවසන් නැතැයි මම බිය වෙමි” යි එම නිවේදනයේ අගරදගුරු තුමා සඳහන් කරයි.

මේ ප්‍රදේශයේ පවත්නා මෙම  තත්වය හා හේතු තුළ වතිකානය හෝ කතෝලික සභාව “ඇමෙරිකාවේ ජෙරුසලෙම් තානාපති කාර්යාල කුලප්පුවට” සම්බන්ධ නොවනු ඇත.

 

(වතිකාන සුළඟ)
Back to Top