Sri Lanka Brief
පුවත්විවරණගෝඨා කරළියට

ගෝඨා කරළියට

by

දේශපාලන ලියුම්කරුවෙකු විසිනි.

ගයියස් ජුලියස් සීසර් ඔගස්ටස් ජර්මනිකස් යනු, තුන්වැනි රෝම අධිරාජයා ය. රෝම වැසියන් අතරේ ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වුනේ කලිගුලා නැමැති අප-නාමයෙනි.

මොහුගේ රාජ්‍ය කාලයේ පළමු මාස හත ඉතා සාමකාමී එකක් විය. එබැවින්, මධ්‍යස්ථ සහ පරිත්‍යාගශීලි නායකයෙකු වශයෙන් එදා ඔහුව බුහුමනට ලක්වුනි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් කලිගුලා, රටේ නීතිය බවට පත්විය. රෝම අධිරාජ්‍යයේ සමස්ත භාණ්ඩාගාරය ඔහුගේ සින්නක්කර බූදලයක් බවට පත්විය. ඔහුගේ පාලන කාලයෙන් වසරක් ගත වන විට අධිරාජ්‍යයේ භාණ්ඩාගාරයෙන් සියයට 50 ක් ඔහු යටිමඩි ගසා තිබුණි.

රෝම වැසියන්ට අධිරාජයා පනවන බදු ගෙවා ගැනීමට නොහැකි වන විට කලිගුලා කෙළේ, එම ජනතාව නිර්දය සංහාරයට ලක්කිරීමයි. මේ අතර, රදළ පැලැන්තිය සූදුවට ඇබ්බැහි කිරීමටත් අනිත් පැත්තෙන් ඔහු මුල පිරුවේය. ඒ සියල්ලත් මදිවාට මෙන්, දුප්පතුන්ගේ ඉඩකඩම්ද අත්පත් කරගෙන ඒවා රාජකීය පවුලේ සාමාජිකයන්ට පැවරුවේය. ව්‍යාපාරවලින් සමෘද්ධියට පත්වන පොහොසතුන් ඇස ගැසුනොත්, ඔවුන්ගේ ධනය සහ දේපල කූට ආකාරයෙන් තමා වෙත හෝ තමාගේ පවුලේ අයවළුන් වෙත ඔහු පවරා ගත්තේය.

කලිගුලාගේ නොපනත් ආශාවන් රටේ නීතිය බවට පත්විය. අධිකරණය ඔහුගේ අණසකට යට කෙරුණි. රටවැසියන්ට වඩා ඔහුගේ අශ්වයන් සතුටින් සිටින බවට එදවස කතාවක් ගෙතුනි. අධිරාජයා තම අශ්වයන්ව, රනින්, මුතුමැණික් සහ ඇත් දළ ආදියෙන් විචිත්‍රවත් කෙළේය. අශ්ව ලාඩම් රත්තරනින් නිමැවුනු අතර, උන්ගේ පැහැයේ දිස්නය ඔප් නැංවීමට උන්ගේ කෑමවලට රන් කුඩු මිශ්‍ර කෙළේය. අවසානයේදී, ඉන්සිටාටස් නමින් හැඳින්වුණු කලිගුලාගේ ප්‍රධාන අශ්වයා රෝම අධිරාජ්‍යයේ තානාපතිවරයෙකු වශයෙන් පත්කෙළේය. එම තනතුර, රෝමයේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සාමි පදවියකට සමාන විය.

රෝමානුවන් අරභයා කලිගුලා නියෝජනය කෙළේ අඳුරු යුගයකි.

මීට වසර කිහිපයකට කලින් මේ ලිපිය ලියුවේ නම්, කලිගුලා විසින් රෝමයේ රාජ්‍ය බලය අල්ලා ගැනීම සමග ලංකාවේ පැවති තත්වය යම් සමානත්වයක් දරන්ට තිබුණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන තන්ත්‍රය, සමස්ත රාජ්‍ය තන්ත්‍රය අල්ලා ගැනීමට සහ තම අවශ්‍යතාවන් සඳහා රිසියාකාරයෙන් එය සකසා ගැනීමට පවුලේ නෑසියන්ට ඉඩ හැරීමෙන් රට තුළ ප්‍රවර්ධනය කරමින් තිබුණේ අඳුරු යුගයකි. රාජපක්ෂ, ඔහුගේ ආරයට, අධිරාජයෙක් විය. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන එකින් එක ඔහු කඩා බිඳ දැම්මේය. ලංකා රාජ්‍යය, මහින්ද රාජපක්ෂ විය. මහින්ද රාජපක්ෂ, ලංකා රාජ්‍යය විය.

කලිගුලා ප්‍රමුඛ වැදගත්කමක් දුන් එක දෙයක් තිබුණි. එනම්, රෝමානුවන්ව දේශප්‍රේමීත්වයෙන් ඇදබැඳ තබා ගැනීමයි. තමාව දිව්‍යමය ප්‍රතිරූපයක් වශයෙන් සමාජගත කරමින්, නිරන්තරව ජනතාවගේ මොළ සේදීමෙන් සහ අනේක ප්‍රචාරණ උප්පරවැට්ටි හරහා තමා සර්වබලධාරී පුද්ගලයෙක් ය යන විශ්වාසයක් සහ ඇදහීමක් ජනතාව අතර රෝපණය කිරීමට ඔහු පියවර ගත්තේය. ඒ අතර, සිය නෑසියන්ට නොමසුරු වස්තු ලාභයත්, ගාම්භීර තාන්නමාන්නත් හැකි තාක් ලබා දුන්නේය. අනුන් ගැන ඇති කරගත් භීතිකා රෝගයෙන් පෙලුනු කලිගුලා, සමස්ත ලෝකයාම තමාව විනාශ කිරීම සඳහා පෙළගැසී සිටින සතුරු කැලක් සේ ගනිමින්, තමාව ආරක්ෂා කිරීම ජනතාවගේ දේශප්‍රේමී වගකීමක් වන බවට සමාජය හුරු කැරැවීය.

දැන් ඊට ඈඳෙන සාදෘෂ්‍යයන් සලකා බලන්න. මීට වසර කිහිපයකට කලින් ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරය මුළුමණින් පාලනය කරන ලද්දේ සහ මෙහෙයවන ලද්දේ රාජපක්ෂ පවුලෙනි. එක් අයවැය විශ්ලේෂණයකට අනුව, ලංකා ආණ්ඩුවේ සමස්ත අයවැයෙන් සියයට 60 ක් පාලනය කෙරුනේ, ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය මගිනි. ඒ අමාත්‍යාංශ දෙකම පැවතියේ රාජපක්ෂ සහෝදරයන් යටතේ ය.

රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගේ පවුලේ සාමාජිකයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් එදා රජයේ තනතුරුවලට පත්කර තිබුණි. එවැනි බොහොමයක් දෙනාට, රජයේ ආයතනයක උසස් තනතුරක් දැරීම හෝ එවැන්නක් කළමණාකරණය සඳහා අවශ්‍ය සුදුසුකම් හෝ නොතිබුණි. මේ අතර, එදා ආණ්ඩුව පුහු මානය පුම්බන නිස්සාර ව්‍යාපෘති ගණනාවක් දියත් කෙළේය. අවතාර මිස ගුවන් යානා නැති ගුවන් තොටුපළවල්, නැව් නැති වරායවල්, පාළු ක්‍රිකට් ක්‍රීඩාංගන සහ හිස් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා ආදිය ගොඩනැංවූයේ, ජනශූන්‍ය ඔවුන්ගේ ‘රාජධානිය’ වූ හම්බන්තොට ආශ්‍රිතව ය. එම ජනාධිපතිවරයා තමන්ගේ වැඩිමල් පුතාව දේශපාලනයට ගෙන එමින් නිල නොවන ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු තත්වයේ ලා ඔහුව ස්ථානගත කෙරෙන අතරේ, ‘මහ රජාණෝ’ නමින් ස්තෝත්‍ර ගායනා ලියවා ගත්තේය. කියවා ගත්තේය. තුන්වැනි පුතාට අජටාකාශගාමියෙකු වීමට පුහුණුව ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ භෞතිකව නොපැවතුනු ‘අජටාකාශ ව්‍යාපෘතියක’ ප්‍රධානියා බවට ඔහුව පත්කෙළේය. පාසල්, ගුවන් තොටුපොළවල් සහ පාරක් ගානේ හැකි හැම අයුරකින්ම රාජපක්ෂ නාමය සනිටුහන් කෙළේය.

ණය අර්බුදයක ක්‍රම ක්‍රමයෙන් රට වෙලී යද්දී, රාජපක්ෂ රජය යටතේ තව තවත් බදු බර ජනතාව මත පැටවුනි. ජනාධිපති නිල නිවසේ සිටි රටේ නායකයා මැකෝ ගිරව් ඇති කරන අතරේ ඔහුගේ ගෝඨාභය මලයා තම නිවසේ යෝධ තල්මසුන් සහ අලියෙකු ඇති කෙළේය. ඒ සතුන් බලාකියාගත්තේ සහ උන්ට ඇප උපස්ථාන කෙළේ, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ය. මේ අතර රාජපක්ෂ පුත්තු, මහනායක හිමිවරුන්ගේ විරෝධයත් නොතකා නුවර දළදා මාළිගාව වටේ කාර් රේස් පැද්දෝය.

හිටපු රාජ්‍ය පාලකයාගේ මේ අධිකතර නාස්තිය, එදා වේල ගැටගසා ගත නොහැකිව සිටි ජනතාවක් මත තවත් ණය බරක් පැටවීමක් විය. කෙසේ වෙතත්, පපුවට ගසාගෙන, බටහිර කුමන්ත්‍රණ පිළිබඳ බිල්ලෙකු ජනතාව ඉදිරියේ මවාපෑමේ මැජික් එක 2015 නොවැම්බර් වන විට කල් ඉකුත්වීමේ අදියරට පැමිණ තිබුනි. පළමු වතාවට රාජපක්ෂ ගබඩාවේ වෙඩි බෙහෙත් පුස් කන්නට විය.

ඒ තත්වය තුළ, 2015 ජනවාරියේ රාජපක්ෂ තන්ත්‍රය පෙරලා දැමීම සාමාන්‍ය සිද්ධියක් නොවේ. දශකයකට ආසන්න කාලයක් තිස්සේ රාජපක්ෂ නාමය සතර දිග් භාගයේ රැව් දෙන අතරේ, සිහින දකින්නන් කුඩා පිරිසක්, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස යන පරමාදර්ශයන් තුළ එක්සත්ව, ශ්‍රී ලංකාව දෙවනත් කරමින් සිටි ඒ රාජපක්ෂ ගල් රෝලට එරෙහිව නැගී සිටියහ.

තුන් වසරක් ගෙවී ගොස් ඇත. පරණ අධිරාජයා අලුත් සන්නාහයෙන් සැරසී යළි සම්ප්‍රාප්ත වෙමින් සිටී. ගත වූ තෙවසරක කාලය තුළ, රාජපක්ෂලාගේ අතීත චර්යාවන් ගැන යහපාලකයන් නිසි පියවර නොගෙන සිටීමේ සාපරාධී අවසරය පාවිච්චියට ගනිමින් රාජපක්ෂලාගේ කැරොල් කරත්තය යළිත් සංදර්ශනයේ යෙදේ. විෂමාචාරයෙන් පිරුනු තමන්ගේ තිරිසන් අතීතය ගැන ජනතා මතකය ඉතා කෙටි එකක් විය හැකි බව ඔවුන්ගේ උපකල්පනයයි.

මෙවර තම මලයාව වුව පාවිච්චි කරමින් රාජපක්ෂලා යළි බලය ඩැහැගනු ඇත. මෙවරත් කලින් සේම, මාස 18 ක් තියාගෙන, ඔවුහූ වේලාසනින් තරග බිමට බැස සිටිති. තම පවුලේ පුනරාගමනයක් සඳහා රට යළිත් වරක් සූදානම් යැයි රාජපක්ෂවරු සිතති. ඉතිං, දැන් සිටම රාජවංශයේ ඊළඟ යුගය ගොඩනැංවීමේ කර්තව්‍යයට ඔවුන් අත ගසා තිබේ. කෙසේ වෙතත්, ඒ සඳහා වන යෝග්‍යතම අපේක්ෂකයා තෝරා ගැනීම ප්‍රශ්නයකි. ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය කරන්නේ, චමල් රාජපක්ෂ ලොකු අයියාව ඉදිරිපත් කිරීමට ය. එහෙත්, අති-ජාතිකවාදී කොටස් ඉල්ලා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මල්ලීව ය. මේ අතර, පසුගිය පෙබරවාරි ජයග්‍රහණයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මල්ලීත් ඒ සඳහා ඉව අල්ලමින් සිටින බව වාර්තා වෙයි.

එක දෙයක් පැහැදිළි ය. පවතින ව්‍යවස්ථාව වෙනස් කළොත් මිස, මහින්ද රාජපක්ෂට තව වරක් ජනාධිපති විය නොහැක. ඊළඟ මැතිවරණයේ ඔහුගේ ඉලක්කය වන්නේ, අගමැති ධුරය ලබා ගැනීමයි. ජනාධිපති ධුරය, ගෝඨාභයගේ සොඳුරු සිහිනයයි. ෂැංග්‍රී-ලා ‘වියත් මග’ සමුළුව ඒ බව පෙන්වා දුනි. ජනාධිපති වීමේ සිහිනය දැකීමේ අයිතිය සෑම පුරවැසියෙකුටම තිබේ. හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාටත් ඒ අයිතිය ඇත. එහෙත් මේ ජනාධිපති අපේක්ෂකයන් ගැන තුන්-තිස් පැයේ සිහි කල්පනාවෙන් සිටීමේ වගකීමකුත් පුරවැසියන්ට තිබේ. ඒ තරමට, එවැනි අය පිළිබඳ නීරස අතීතයක් ජනතාවට ඇති බැවිනි.

දැන්, ලංකාවේ ඊලඟ ජනාධිපති වීමට තලුමරන පුද්ගලයාගේ මෑත ඉතිහාසය ගත්තොත්, එය බිය දනවන අන්දරයකි. ඒ සිහිනය ඔහු සැබෑ කර ගත්තොත්, අතීතයටත් වඩා බියකරු අනාගතයක රට ගිලී යනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ යනු කවුද?

කොළඹ ලස්සණ කිරීමේ සිහිනය වෙනුවෙන් දහස් ගණන් වැසියන්ව පරම්පරා ගණනක් ඔවුන් ජීවත් වූ නිවෙස්වලින් බලෙන් පිටමං කළ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඔහු ය. ඒ ලස්සණ කොළඹ තුළ රටේ ඉහළ මැද පංතිකයන්ගේ අවශ්‍යතා ඉටු කර දෙන අතරේ තව දහස් ගණන් දිළින්දන්ගේ ජීවිකාවන් අතුගා දැම්මේය. සන්නද්ධ බලය යොදා ගනිමින් එම ජනතාව තමන්ගේ නිවෙස්වලින් ඔහු ඉවත් කෙළේ සුරවිමන් පොරොන්දු වෙමි. අන්තිමේදී ඔවුන්ට උරුම වුණේ, වර්ග මීටර් 400 ක කුකුල් කොටු ය. ඊට එරෙහිව නැගී සිටි නිවැසියන්ට නීතියේ යකඩ හස්තය එල්ල විය, එදා අගවිනිසුරු ධුරයේ සිටි මොහොන් පීරිස්ගේ අධිකරණයෙන් ඔවුන්ට අනුකම්පාවක් ද නොලැබුනි.

ජාතිය ගොඩනැංවීමේ ‘වියත් මග’ එයාකාර ය. එය, වත්මන් මුදල් ඇමති පසුගිය දා කී පරිදි, ‘විපත් මගකි.’ මේ වියත් මගේ සභාපතිවරයා අද දරණ නෛතික භාවය පිළිබඳ ආකල්පය මේ යැයි අතීතය මොනවට දෙස් දෙයි. දේශපාලනයේ යෙදීම නිසා, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාව යුධ අධිකරණයක් මගින් හිරේ ලෑම ‘නෛතික’ විය. සරත් ෆොන්සේකා කළ එකම අපරාධය වුනේ, 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂව අභියෝගයට ලක්කිරීමයි.

රජයේ නිලධාරීන්ව පාලනය කෙරෙන ආයතන සංග්‍රහයක් තිබේ. එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයාගේ මංගල මැතිවරණ රැළියේ ප්‍රධාන අමුත්තා වුණේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂයි. අර කියන ආයතන සංග්‍රහය යටතේ එය වරදක් වුවත්, මේ විශේෂිත ලේකම්වරයාගේ එදා දේශපාලනික සහභාගීත්වය ‘නෛතික’ විය.

‘සුදු වැන්’ භීෂණය සහ අතුරුදහන් කිරීම් සහ පහරදීම් පසුපස නොසැලී සිටි, ලංකාවේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙකු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමෙන් පසු “කවුද ලසන්ත කියන්නේ?” කියා ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ උජාරුවෙන් ප්‍රශ්න කළ, වතුර ඉල්ලා ගැමියන් ද, අඩු මිලට භූමිතෙල් ඉල්ලා ධීවරයන් ද උද්ඝෝෂණය කරද්දී වෙඩි තබා ඝාතනය කෙරෙන අවස්ථාවේ නිශ්ශබ්දව සිටි, ජාතිවාදී ගිනි අවුලුවමින්, 1983 න් පසු ඇති වූ දරුණුතම ජාතිවාදී කෝලාහල අලුත්ගමදී ඇති කළ අතීතය, අපේ හෙට දවස සඳහා වන ‘වියත් මග’ මේ යැයි අපට කියාදෙයි.

2020 ජනාධිපතිවරණයට ගෝඨාභයගේ ඉදිරිපත් වීම ඉදිරියේ ප්‍රමාණවත් පරිද්දෙන් ලිබරල් සහ මධ්‍යස්ථ බලවේග බලමුළු ගැන්වෙයි නම්, ශ්‍රී ලංකාවේ ඡන්දදායකයා වසර පහක් තුළ දෙවරක්ම ඡන්ද බලයෙන් ඒකාධිපතිත්වයක් පරාජය කළ නම්බුවකට හිමිකම් කියනු ඇත. එහෙත් ඒ ලිබරල් ව්‍යාපෘතිය අසාර්ථක වෙතොත්, රටේ හෙට දවස බියකරු සිහිනයකම දැවටී යනු ඇත.

(2018 මැයි 27 වැනි දා ‘ද සන්ඬේ ඔබ්සර්වර්’ පුවත්පතේ පළවූ Enter Gota නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top