Sri Lanka Brief
පුවත්විවරණඅති දුෂ්කර මෙහෙවර: චෞර රාජ්‍යය – සංජීව ප්‍රනාන්දු

අති දුෂ්කර මෙහෙවර: චෞර රාජ්‍යය – සංජීව ප්‍රනාන්දු

by

“රටක ශක්තිය උපදින්නේ නිවසේ අවංක භාවය තුළිනි”- කොන්ෆියුසියස්.

හොලිවුඞ් සිනමාවේ ආදායම් වාර්තා තැබූ “මිෂන් ඉම්පොසිබල්: රෝග් නේෂන්” (දුෂ්කර මෙහෙවර: චෞර රාජ්‍යය) නැමැති චිත්‍රපටියේ ප්‍රධාන ඒජන්තයාගේ චරිතයට පණ පොවන ටොම් කෲස්, මුලින් කළ නොහැකි යැයි සිතූ අති දුෂ්කර කාර්යයක්, සියලු බාධක මැඩගෙන, ආශ්චර්යමත් ක්‍රියා මාලාවක් හරහා, සාර්ථක කර ගනී. මේ චෞර රාජ්‍යයේ ස්වභාවය, හොලිවුඞ් තිරයේ නොව, සැබෑ චෞර රාජ්‍යයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේම අපට දැක බලා ගත හැක. ඔව්, දෙදහස් පන්සීයක පිරිසුදු බුදු දහමක් ගැන වරක් සාඩම්බරයෙන් වර්ණනා කළ, කරුණාබර මිනිසුන් වෙසෙතැයි කී, මනුෂ්‍යත්වය ඉහළින්ම ඇතැයි කී, අනිකාව ඉවසනසුළු ආකල්පවලින් අනූන යැයි කී එම දිවයින, අසල්වැසි බොහෝ රටවල් සමග සැසඳීමේදී, ඉහත කී චිත්‍රපටියේ ඊළඟ කොටස රඟ දැක්වීමට කියාපු රටක් බවට පත්ව තිබේ.

සාමාන්‍ය ව්‍යවහාරයෙන් ගත් විට චෞර රාජ්‍යයක් යනු, වෙනත් රාජ්‍යයන්ට ගරු නොකරන හෝ ජාත්‍යන්තර ප්‍රජාවේ සාමුහික යහපතට මාරක තර්ජනයක් වන රාජ්‍යයකි. එහෙත්, මේ කියන චෞරත්වය සමාජයක උඩ සිට පහළට පැතිරුනු හෝ සමස්ත සමාජයම චෞරයන්ගෙන් පිරුණු රාජ්‍යයක් අප හඳුන්වන්නේ කෙසේද?

සමස්ත සමාජය වසා පැතිරීම

මොන හෙයකින් හෝ අප චෞර රාජ්‍යයක් බවට පත්ව ඇත. ජාත්‍යන්තර පොලීසියේ දැන් වෙනම අංශයක් පිහිටුවිය යුතුව තිබේ. ඒ, ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව රතු, නිල් හෝ වෙන යම් පාටින් නිකුත් කෙරෙන වරෙන්තු ගැන සොයා බැලීමට ය. සමාජයේ සෑම ස්ථරයක් පුරාම පැතිර පවත්නා දූෂණය සහ සොරකම පොදු කාරණයක් බවට පත්ව ඇති තරම කෙතෙක්ද යත්, පොලිස් මූල්‍ය අපරාධ අංශ, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා සහ මූල්‍ය අපරාධ ගැන නඩු විභාග කෙරෙන විශේෂ මහාධිකරණ පිහිටුවීම ආදිය සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. බොහෝ දෙනා සිතන පරිදි, දූෂණය, වංචනිකත්වය සහ සොරකම යනාදිය සමාජයේ අසුවල් කොටසට පමණක් සීමා වන කාරණයක් නොවේ. එය උඩ සිට පහළට, එක සේ ව්‍යාප්තව පවතී. නායකයන්, වෘත්තිකයන්, නීතිය ක්‍රියාවේ යොදවන්නන්, පූජකයන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය ජනතාව ආදී සියල්ලෝම මේ දුර්ගන්ධ සංස්කෘතියේ ප්‍රතිලාභියෝ ය. දරුවන් පාසලට ඇතුළත් කර ගැනීම සහ රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ සිට මිග් යානා ගනුදෙනු සහ බැඳුම්කර මගඩි දක්වා එය ව්‍යාප්තයි.

යෝධ තල්මෝරු සහ පුංචි හාල්මැස්සෝ

මහ මෝරුන් සහ තල්මසුන් නීතියේ දැළෙන් ගැලවී යන අතරේ පුංචි හාල්මැස්සන් පමණක් ඊට හසුවන බවට කන්කෙඳිරි ගාන පුංචි එකා පවා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අල්ලස, දූෂණය සහ සොරකමේ නිරත වෙති. කප්පරක් හොරකම්වල චූදිතයෝ සහ බලපුළුවන්කාරයෝ සොරකම ඉවරයක් කර දැමීම සඳහා විශේෂ අධිකරණ පිහිටුවීමට නීති පනවති. ලේ බැංකුවක පාලනය ඩ්‍රැකියුලාට භාර දීමක් වැනි නොවේද, එය?

නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශවල ගියර් වර්ග දෙකක් තිබේ. එකක්, පළමු ගියරයයි. අනික අධි-වේගී ගියරයයි. ශිෂ්‍යයෙකු පාසල් ගාස්තු ගෙවීම සඳහා පොල් ගෙඩි පහක් සොරකම් කළ විට සහ යම් සේවාවක් සඳහා උසාවියේ කාර්යාල කාර්ය සහායකයා රුපියල් 5000 ක අල්ලසක් ලබා ගත් විට, යන්ත්‍රය අධි-වේගයෙන් ක්‍රියාත්මක වෙයි. එවැනි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම, උසාවියට ඉදිරිපත් කිරීම, දඬුවමට ලක්කිරීම සිදුවන්නේ, හුසේන් බෝල්ටත් වඩා වේගයෙන් සහ කඩිනමිනි. එහෙත් ඩොලර් බිලියන ගණන්වලින් කෙරෙන සොරකම් සහ බල ව්‍යුහය මුදුනේ සිටින්නන්ගේ අපචාර ගැන යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ වෙනත් ආකාරයකට සහ වෙනත් ලතාවකට ය.

තමන්ව පාලනය කර ගැනීම සඳහා නායකයන්ව පත්කර ගැනීමේදී, ජනතාවට ලැබෙන්නේ හට්ටිය සහ මුට්ටිය අතර තේරීමක් පමණක් බව කියන විට අපි එක කාරණයක් අමතක කරමු. හට්ටියත්, මුට්ටියත් යන දෙකේම දැළි තැවරී ඇති බව ඇත්ත. එහෙත් දැළි කුණු ඇත්තේ හට්ටියේ සහ මුට්ටියේ පමණක් නොව, ජනතාවත් මේ ක්‍රීඩාවේදි අර හට්ටියට සහ මුට්ටියට වෙනස් නැත. අත යට ඩීල් දැමීම සහ වංචනිකත්වය ආදියේදී එම ජනතාවත් තවෙකෙකුට දෙවැනි නොවෙති. ඔබේ මොබයිල් ෆෝනය සීට් එකේ දමා විනාඩියකට බසයේ ඉදිරියට යන්න. ආපසු එන විට ඔබේ ෆෝනය එතැන නැත. එය සැණෙකින් අතුරුදහන් වෙනවා පමණක් නොව, තත්පර ගණනකින් එහි සිම් කාඞ්පතත් මාරු කර තියේවි. ඔබේ වාහනය අලුත්වැඩියාවක් සඳහා ගරාජයකට දෙන්න. ඉන් පසු එහි ඇතැම් කොටස් බාල කොටස්වලට මාරු කර නැත්දැයි සොයා බලන්න. මියගිය තැනැත්තියක් ඇගේ ජීවිත කාලය තුළ ආශා කළ යම් වටිනා ආයිත්තමක් සහිතව වළලෑමෙන් පසුව හෝ වටිනා පෙට්ටියක වළලෑමෙන් පසු දා උදේ ඇවිත් නැවත වළ හාරා බලන්න. ඇගේ සිරුර, වටිනා ආයිත්තම් නැතිව පමණක් නොව, පෙට්ටියකුත් නැතිව වළේ තියේවි. ඔව් මිනිසුනේ, අවුරුදු දෙදහස් පන්සීයක් ඉපැරණි උත්තුංග සංස්කෘතියක් ඇති ඒ රටේ මළ මිනිය පවා මුදලට කෙලසෙයි.

ස්වයං-විවේචනයක් නැති කම

අපේ වැරදි පිළිගැනීමට අප නිහතමානී නැත. නිකං හිතා බලන්න: ස්වයං-විවේචනය අපට නුහුරුයි. දෙවැනි ලෝක යුද්ධය තුළ ජර්මනිය හෝ ජපානය අත්දුටු රුදුරු අත්දැකීම් දෙස බලන්න. ඒ රටවල් අද සිටින්නේ කොහිද? ඔවුන්ගේ නායකයන්, දේශපාලනික ස්ථාවරත්වය සහ ආර්ථික හයිය සම්බන්ධයෙන් පමණක් නොව, විනය, අවංක භාවය සහ ශිෂ්ටත්වය සම්බන්ධයෙනුත්, සෙසු රටවලට එළිය දෙන පහන් කණු වැන්න. අපි සිංගප්පූරුව ආදර්ශයට ගත යුතුව ඇතැයි කියමු. එහෙත් අපේ වැඩපොළේ, විශේෂයෙන් රාජ්‍ය අංශයේ වැඩපොළේ පැමිණීම සළකුණු කෙරෙන ඇඟිලි සලකුණු යන්ත්‍රයක් දැමීමට අපි එරෙහි වෙමු.

මේ රටේ සියල්ලෝම දේශප්‍රේමියෝ ය. අන්ධ දේශානුරාගී වාගාලාප ගත්තොත්, ලෝකයේ වඩාත් දේශප්‍රේමී රට මේ දිවයිනයි. එහෙත් දෛනික කටයුතුවලදී, අපේ රාජකාරි ඉටු කිරීමේදී, අපේ බදු මුදල් ගෙවීමේදී සහ අපේ පරිසරය රැක ගැනීමේදී, දූෂිත සහ වංචනික චර්යාවන්හි නොයෙදී සිටීමට අපි අසමත් වෙමු. හොරෙකුට සහ තක්කඩියෙකුට කිසි දවසක දේශප්‍රේමියෙකු විය නොහැකි බව, අපට නොවැටහෙන කාරණයකි. ජාතික ධනය පිල්ලි ගහන, බදු ගෙවීම මගහරින, ජාතික ව්‍යාපෘතිවලින් සන්තෝසම් ගන්න කිසිවෙකුට කිසි දවසක දේශප්‍රේමියෙකු විය නොහේ.

මේ රටේ මහ පොළොව තවදුරටත් සාරවත් නැත. එය විස කැවී ඇත. මේ බිමේ නහර වන් දිය ඇලි, සිතාගත නොහැකි තරමට දූෂ්‍ය වී ඇත. සමස්ත කඳුකරයම නායයාමේ අවදානමට ලක්ව සිටී. මේ ව්‍යසනයන් බොහොමයක්, අපේම ගිජුකම නිසා, දූෂිත ධනයට ඇති කෑදරකම නිසා හටගත් තත්වයන් ය. නිසි ක්‍රියාපරිපාටි අප අනුගමනය කර නැත. අනතුරු ඇඟවීම් නොතකා හැර ඇත. මූල්‍ය වාසි තකා යෝග්‍යතා විධික්‍රම මගහැර ගොස් ඇත.

‘ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය’ ප්‍රකාශයට පත්කොට ඇති දූෂණය පිළිබඳ සූචියට අනුව, ලෝකයේ රටවල් 175 ක් අතුරින් ලංකාව 91 වැනි තැන ගෙන තිබේ. චෞර රාජ්‍යයක් වශයෙන් අප අද සිටින තැන ඊටත් වඩා පැහැදිළිව පෙන්වීමට ගියොත්, මේ පුවත්පතේ කතුවරයාට මා වෙනුවෙන් සියලු පිටු වෙන් කිරීමට සිදුවනු ඇත. ඒ තරමට, ලැයිස්තුව දිග ය. දේශපාලන නායකත්වයට මේ ගඳ ගහන ගොහොරුවෙන් අපේ රට ගලවා ගත් නොහැක්කේ ඔවුන්මත් ඒ ගොහොරුවේ ගැලී සිටින බැවිනි.

ප්‍රපාතය ඉද්දර

මියගිය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ ‘රණ මයුර’ සම්මානය, ඔහුගේ මළගමට පැමිණි යමෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති බව, මේ ලිපිය ලියා අවසන් වන අවස්ථාවේ වාර්තා විය. ඒ සොරකම සිදුකොට ඇත්තේ සංවිධානාත්මක සොර මුළක් විසින් බව පසුව වාර්තා විය. මේ කල්ලිය ඉහළ පෙළේ අවමංගල උත්සවවලට, වැඩිපුර මිනිසුන් ගැවසෙන වෙනත් තැන්වලට ගොස් මෙවැනි නින්දනීය සොරකම් කරන බව කියැවේ. ඉහත කී චිත්‍රපටියේ ඊළඟ කොටස සඳහා ශ්‍රී ලංකාව කියාපු තැනකි. එහෙත් එම චිත්‍රපටියේ කතානායක වීරයාටවත් මෙකී උවදුරෙන් ලංකාව ගලවා ගත හැකි වේද යන්න ප්‍රශ්නයකි. ඔහු පවා එම කාර්යයේදී අසාර්ථක වීමට හොඳටම ඉඩ තිබේ.

අපි මහා විනාශයක ඉද්දරට පැමිණ සිටිමු. එහෙත් ඒ බවක් අප වටහා ගන්නේ නැත. සැබවින්ම එය අති දුෂ්කර මෙහෙවරකි.

(2018 මැයි 16 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Mission Impossible: Rogue Nation නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

Back to Top