Sri Lanka Brief
පුවත්විවරණසිරිසේන: හිස සුන් කුකුළෙක් ද, පස්සෙන් සිට පිහියෙන් අනින්නෙක් ද? – මහාචාර්ය කුමාර් ඬේවිඞ්

සිරිසේන: හිස සුන් කුකුළෙක් ද, පස්සෙන් සිට පිහියෙන් අනින්නෙක් ද? – මහාචාර්ය කුමාර් ඬේවිඞ්

by

(සිරිසේන හෙංචයියාගෙන් තල්ලුව ලත් රාජපක්ෂලාට එරෙහිව යු.එන්.පී සහ එහි හවුල්කරුවෝ)

මේ කොලමේ පාත්‍ර වර්ගය වන්නේ, කල් ඉකුත් වූ පතෝලයෙකු සහ බොරු පණ්ඩිතයෙකු, කුමන්ත්‍රණකාරී සහ මොළේ කචල් ග්‍රාම සේවකයෙකුත්, ඒ පස්සෙන් හොල්මන් කරන ප්‍රජාපීඩකයෙකුගේ සෙවනැල්ලකුත් ය. මෙය, ‘මැක්බත්’ රචනයකට ගැලපෙන පිටපතකි. “නිවැරැද්ද වැරැද්ද ය. වැරැද්ද නිවැරැද්ද ය. මීදුම් පටලය සහ දූෂිත වා ගැබ අස්සෙන් සුනංගු වීම.”

ජාතිවාදී කුණකටුවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් සම්මත වී තිබේ. මට වලිගේ පෑගී ඇතැයි දැන් ඔබ එක පාරටම කියාවි. අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයක් අන්ත පරාජයට පත්කොට ඇතැයි ඔබ මට පෙන්වා දේවි. අප දෙන්නාම නිවැරදි ය. ඔබ කරන්නේ දත්තමය සිද්ධියක් වාර්තා කිරීමයි. මා කරන්නේ දේශපාලනය කතා කිරීමයි. විශ්වාස භංගය ගෙනා ඒකාබද්ධයට වැඩි පරාජයක් සිරිසේන ලැබුවේය. එය පසුපසින් සිට නොව, ඉදිරියෙන්ම සිට එම විශ්වාස භංගය මෑනුවේ ඔහු ය. ඒ අනුව, එක්තරා අර්ථයකින් ලී කොටය උඩ තිබුණේ ඔහුගේ මිස රනිල්ගේ හිස නොවේ. එය දැන් සිඳී ගොසිනි. සිරිසේන ඔල්මාද ගතියකින් පෙලෙන සෙයකි. හිස සුන් කුකුළෙකු සේ ඔහු දඟලයි. එහෙත් ඒ පිස්සුවට තර්කයක් තිබේ. ඇස්පනාපිට ඇති දෙය අප එයාකාරයෙන් දැකිය යුතුය. මීදුම් පටලයේ සහ දූෂිත වා ගැබ අරක්ගත් එවුන් සමග ඇති කර ගත් තීන්දුවක් මත ඔහු තමන්ගේ කොටස ඉටු කෙළේය. ‘දෙමළ ජාතික සන්ධානය’ සමග ‘ගේම් ගහන්න එපා’ යැයි කී ජාතිවාදී කුණකටුවා කවුද?

 සිරිසේන කූටාලියා සමග රාජපක්ෂ වර්ගය

අසීරු පිම්මක් අපි පැන ගත්තෙමු. දැන් අපි මීදුම කපාගෙන යමු. කෙනිහිලිකම් පැත්තකින් තියමු. අලුත් භූමි දර්ශනය ඇඳ ගනිමු. ඉදිරි වසර දෙක, ප්‍රධාන පිල් දෙකක අරගලයකි. එක් පැත්තක, සිරිසේන කූටාලියා සමග රාජපක්ෂ වර්ගය සිටී. ඔවුන් සමග ඒකාබද්ධ විපක්ෂය සහ පරණ වමේ මළකඳ ගාටාවි. අනිත් පැත්තේ, එක්සත් ජාතික පක්ෂය, සුළුතර ප්‍රජාවන් සහ සුළුතර පක්ෂ (දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් පක්ෂ, ලංකා දෙමළ සහ වතුකරේ දෙමළ) සහ චම්පික වැනි සිංහල සුළු පක්ෂ සිටීවි. මේ සන්ධානයේ ආකෘතින්, සිද්ධියෙන් සිද්ධියට වෙනස් වෙනු ඇත. උදාහරණයක් වශයෙන්, ජනාධිපතිවරණයක්, නිතරඟ ගිවිසුම් මත ගොඩනැගිය හැකි පාර්ලිමේන්තු මැතිවරණයකින් වෙනස් වෙනු ඇත. කෙසේ වෙතත්, සමස්ත චිත්‍රය දෙස බැලූ විට ප්‍රධාන කඳවුරු දෙක තිබේ. ජනතා විමුක්ති පෙරමුණ නිත්‍ය අවුලක සහ සම්මෝහයක දිගටම ගැලී සිටිනු ඇත.

ගමන් මග හරිම අවිනිශ්චිත ය

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මේ ආණ්ඩුව අවුල් කිරීමේ න්‍යාය පත්‍රය සිරිසේන අතට ගෙන තිබේ ය යන මගේ කියැවීම නිවැරදි නම්, ඔහුගේ ඉලක්කය විය යුත්තේ 2010-21 දී එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කිරීමයි. එක්සත් ආණ්ඩුවේ එක් පාර්ශ්වකරුවෙකු එම ආණ්ඩුවේ ප්‍රධාන හතුරාගේ ඉත්තෙකු වන්නේ නම්, ඒ ඉත්තා රටේ ජනාධිපතිවරයාත් වන්නේ නම්, ලංකාවේ ගමන් මග හරිම අවිනිශ්චිත ය. ජනතා දේශපාලන පරාසය තුළ ඔහු පුස් වෙඩිල්ලක් පමණක් විය හැකි වුවත්, ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවෙන්ම හිමි වන යම් බලයක් තිබේ. ඒ බලය හරහා විශාල අවුලක් ඔහුට ඇති කළ හැකිය. එසේම හමුදාව අපයෝජනය කිරීමටත් පුළුවන. පාර්ලිමේන්තු සහායක් හෝ ජනතා බලයක් හෝ නැති ඔහු දැන් තටමන්නේ තම අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීම සඳහා ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක යෙදීමටයි.

විශ්වාස භංගය යමක අවසානයක් නොවේ. එය, ඊළඟ තෙවසරක කාලය දූෂ්‍ය කෙරෙන නව අවදියක ආරම්භයයි. රනිල් තම බලය දිගටම ආරක්ෂා කර ගනී ද නැද්ද යන්න අදාළ නැත. එක්සත් ජාතික පක්ෂයේ වෙනත් ඕනෑම නායකයෙකු වුව, මේ තත්වය තුළ අර්බුදයට යනු ඇත. විශ්වාස භංගයේ අරමුණ වුණේ ද, රනිල් එලවීම නොවේ. මොකක් හෝ මස් කට්ටක් භාර ගැනීමට කැමති සිරිසේන සමග කවුරු හෝ රාජපක්ෂ කෙනෙකුට ආපසු බලයට පැමිණීමට පාර කපා ගැනීමයි. බියකුරු අලුත් අවදියක්.. අස්ථාවරයත්වය රජයන අවදියක්.. පෙබරවාරියේ ජයග්‍රහණය සමග විපක්ෂයේ මූලිකත්වයෙන් එය ඇරැඹිණ. කෙසේ වෙතත්, ඒකාබද්ධ විපක්ෂය පෙබරවාරියේ ලද ජයග්‍රහණය දැන් කුරුවල් කරගෙන තිබේ. ඒ, 122 ට 76 ක් වශයෙනි. එහෙත් එක්සත් ජාතික පක්ෂය අද සමන්විත වන්නේ තමන්ගේ කණට ඇසෙන දේවල් තේරුම් ගැනීමට හෝ ඇසට පෙනෙන දේවල් දැක ගන්නට හෝ හැකියාවක් නැති පිරිසකගෙනි. එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය තුළ ගොබ්බම නායකත්වයක් පැවති යුගය මෙයයි. එය ඉතිහාසයේ කුණු කූඩයට වීසි වෙනවා දකින්ට මට ඇත්තේ නොතිත් ආශාවකි. එහෙත්, ඊට විකල්පය රාජපක්ෂ කල්ලිය වන තත්වය තුළ ඒ ගැන තරමක් සිතා බැලීමට සිදු වෙයි.

 විසකුරු සර්පයා

සිරිසේනගේ පැත්තෙනුත් අපි බලමු. මොන යම් හෝ මාර්ගයකින් අගමැතිවරයාව ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් වීමට තරම්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කෙරෙහි විසකුරු සර්පයෙකු වී ද? දෙදෙනාගේ ප්‍රතිපත්තිමය කාරණා අතර තිබිය හැකි වෙනස්කම් නිසා එවැනි පියවරක් කෙනෙකුට ගැනීමේ හැකියාවක් නැත. ඇරත්, පාර්ලිමේන්තුවේ බහුතර බලය හොබවන පක්ෂය වන්නේත් රනිල්ගේ පක්ෂයමයි. එහෙත් ජනාධිපතිවරයාගේ සැලකිල්ල යොමු වන්නේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් කෙරෙහි නම් එහි යුක්ති සහගත භාවයක් තිබේ. මහේන්ද්‍රන්ගේ දූෂිත කල්ක්‍රියාව ගැන රනිල් නොදැන සිටියේ යැයි මම නොසිතමි. ඔහු කෙළේ අහක බලාගෙන සිටීමයි. එසේ වුණේ මන්දැයි තමන් දන්නා බව දේශපාලනික පණ්ඩිතයෝ කියති. එක්සත් ජාතික පක්ෂය පොහොසත් නැත. ජනවාරි 8 වැනි දා වන විට සිරිසේන හිටියේත් පස්ස කසාගන්න පිච්චියක් නැතිවයි. රාජපක්ෂලාගේ කොල්ලයට අහලකින්වත් නැති සොච්චමක් මහේන්ද්‍රන් මොවුන්ට දුන්නේ යැයි කියති. ඒවා ආපසු ගෙවීමේ ක්‍රමය වුණේ, මහබැංකු බැඳූම්කරය බව කියැවේ. එය සැබෑවක් නම්, සදාචාරමය ප්‍රහේළිකාවක් ඒ මගින් ඇති කෙරේ.

සදාචාර ප්‍රහේළිකාව

රාජපක්ෂගේ තුන්වැනි ආගමනයක් ඉතා බරපතල නපුරක් වන්නට තිබුණි. එය, මිණිය නොහැකි නපුරකි. එසේ වෙතත්, ඉහත කී ගනුදෙනුවේ ප්‍රධාන ප්‍රතිලාභියා සිරිසේන වුවත්, ඒ ඔස්සේ පැනනගින සදාචාර බර හේතුවෙන්, රනිල්ව ඉවත් කිරීමට සිරිසේන ඉදිරිපත් වීම තුළ යම් සදාචාරමය තර්කයක් තිබේ. තමාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් පැමිණියේ කොහෙන්දැ යි ඔහු දැනගෙන සිටියත්, ඒවා ආපසු ගෙවන්නේ කෙසේද යන දැනුමක් ඔහුට නොතිබුණා විය හැකිය. මේ කරුණු සම්බන්ධයෙන් මතු විය හැකි සදාචාර ප්‍රහේළිකාව විසඳා ගැනීම මම ඔබට භාර කරමි. එසේ වෙතත්, බැඳූම්කර වංචාවට වඩා රාජපක්ෂගේ නැවත පැමිණීමක් ඉතා හානිකර විය හැකිව තිබුණු බව පමණක් මම කියමි.

කෙසේ වෙතත්, රනිල් විශ්වාස භංගය බේරා ගත්තේය. එහෙත් ඔහු දැන් පලුදු වූ භාණ්ඩයකි. එක්සත් ජාතික පක්ෂයට දැක්මක් නැත. රනිල්-මංගල-මලික් ආර්ථික උපාය මාර්ගය අසාර්ථකව තිබේ. මුල පටන්ම ගත්තත්, එය කාලයට නොගැලපෙන, පරණ මාදිලියේ ලිබරල්වාදයක් විය. අභ්‍යන්තර ආරාවුල්වලින් හෙම්බත්ව සිටින ආණ්ඩුවකට ඉදිරි දෙවසරක කාලය තුළ කළ හැකි කෙංගෙඩියක් නැත. කළ හැකි එකම දෙය වන්නේ, ඉදිරි මැතිවරණය දිනා ගැනීම සඳහා පුළුවන් තරම් පාරිතෝෂික ලබා දීම පමණි.

පච්චතානී පක්ෂය

යහපාලනයේ ආර්ථික අපේක්ෂා බිඳ වැටී ඇතිවා පමණක් නොව, එකාට එකා නැති ආණ්ඩුවකට අනාගත දැක්මක් හෝ යම් උන්නතිකාමයක් හෝ තිබීමටත් පුළුවන් කමක් නැත. එක්සත් ජාතික පක්ෂය, දෙමළෙන් කියතොත්, පච්චතානී පක්ෂයකි. ඉතිහාසය තුළ එය පාද සටහනක් වශයෙන්වත් නොපවතිනු ඇත. එය අත්කරගෙන ඇති එකම සාර්ථකත්වය වන්නේ, යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ජනවාරි 8 ව්‍යාපාරයට නායකත්වය සැපයීම පමණි. එදා මගේ එකම අරමුණු වුණේත් එය පමණි. ඒ සඳහා වන පොදු අපේක්ෂකත්වය සුරුබුහුටි වෙතත්, පාවිච්චියෙන් පසු ඉවත දැමිය හැකි අතරමැදි ගනුදෙනුවකි. එහෙත් සෙස්සන්ගෙන් තව බොහෝ දේවල් බලාපොරොත්තු විය.

බුද්ධිමත් එක්සත් ජාතික පාක්ෂිකයෝ (එවැනි අය කිහිප දෙනෙක් තවමත් සිටිති) දැන් සිටින්නේ සසල සිතිනි. ‘මොන තරම් වාසනාවක් ද අපි නිරපරාදේ නාස්ති කරගෙන තියෙන්නේ? මොන තරම් අගනා අවස්ථාවක් ද අපි මගහැරගෙන තියෙන්නේ? බලයට පත්වුණු මුල් අවුරුද්දේම අපි ප්‍රධාන කරුණුවලට උරදිය යුතුව තිබුණා. දැන් පරක්කු වැඩියි/” ඒ ඔවුන්ගේ අඳෝනාවයි. අනිත් පැත්තෙන් මහින්ද, උන්නතිකාමය පොදි බැඳගෙන සිටී. තරමක් ඔළුව උදුම්මාගෙන සිටිනවා ද විය හැකියි. එහෙත් ඔහු තම පාක්ෂිකයන් සහ පිරිවර ජනයා ප්‍රබෝධයෙන් තබා ගැනීමට වගබලා ගනී. එසේ තිබියදී, විශ්වාස භංගය තුළ ඒ විපක්ෂය ලැබූ අන්ත පරාජය නිසා, දැන් එක්සත් ජාතික පක්ෂයට හුස්ම ගැනීමේ සුළු ඉඩක් ලැබී ඇත. එහෙත් ඒ අවසරය පාවිච්චියට ගනිමින් ඔවුන් මේ සටන ඉදිරියට ගෙනයති යි මම නොසිතමි. තුන්වැනි විකල්පයක් පිළිබඳ මගේ තීසිසය විටින්විට මම ඉදිරිපත් කරමි. මෙය, ඊට අවස්ථාව නොවේ.

ආණ්ඩුවේ ප්‍රධානියා ආණ්ඩුකරණයට නොගැළපෙන බව කී විවිධ වර්ගයේ මැතිඇමතිවරුන් තවදුරටත් මේ ආණ්ඩුවේම සිටිමින් වරදාන භූක්ති විඳීමට යන්නේද? ඔව්, ඔවුන් සැබවින්ම එසේ කරනු ඇත. ආණ්ඩුවේම ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමන්ගේ ආණ්ඩුව සම්බන්ධයෙන් මෙතරම් ප්‍රතිපත්ති විරහිත, අවස්ථාවාදී ස්ථාවරයන් ගැනීමක් දක්නට ලැබෙන්නේ සමහරවිට මේ ශ්‍රී ලංකාවේ පමණක්ම විය හැකිය.

(2018 අප්‍රේල් 08 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Sirisena: Headless-Chicken or Back-Stabber?  (UNP and Allies versus the Rajapaksas Abetted by Underling Sirisena) නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top