Sri Lanka Brief
පුවත්විවරණවිශ්වාසයක් නැති භංගයකින් නන්නත්තාර වූ “යහපාලනය” – නිලන්ත ඉලංගමුව

විශ්වාසයක් නැති භංගයකින් නන්නත්තාර වූ “යහපාලනය” – නිලන්ත ඉලංගමුව

by

අපේක්ෂා කළ පරිදිම වික්‍රමසිංහ මහතා විශ්වාස භංගයෙන් “ජයග්‍රහණය” කළේය. පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන දන්නා ඕනෑම අයෙකු එහි අවසන් ප්‍රතිඵලය ගැන මුල සිටම දැනගෙන සිටි බව අමුතුවෙන් සඳහන් කළයුතු නොවේ. නමුත් පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන නොසලකා අහස් මාළිගා තැනූ ඇතැමුන්ගේ මාළිගා වල පදනම දෙදරීමට ලක් වී තිබේ. තවත් නාටයක් රංගනය අවසන් කොට වේදිකාවෙන් බැසගොස් ඇත.

අගනා අවස්ථාව නනන්තාරයේ 

2015 මැතිවරණයේදී පොදු අපේක්ෂකයා සමග සිටගත් පිරිසෙන් බහුතරයක් තවමත් එම මතය තුළ රැඳී සිටින අතර, වත්මන් ආණ්ඩුවේ දුර්වල ප්‍රතිපත්ති හේතුවෙන් රට හමුවේ ඇති අගනා අවස්ථාව නනන්තාරයේ යමින් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති ලස්සන මෙන්ම අවලසන්න මෙයයි. මීට සති කිහිපයකට පෙර පැවති පළාත් පාළන මැතිවරණය සහ අමීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව තුළ පැවැත් වූ “මැතිවරණය” අප රටක් ලෙස වෙලී සිටින දේශපාලන සංකීර්ණත්වය මනාව පැහැදිළි කරනු ලබයි.

වත්මන් දේශපාලන ප්‍රවණතාවය හෙවත් මා පෞද්ගලිකව විශ්වාස කරන අන්දමට වත්මන් මෙගලමේනියානු පරිපාලන ව්‍යුහය මෙම විශ්වාස භංගයෙන් පසු කුමන දිශානතියට හැරෙන්නේද යන්න සිතිය යුතු කාරණයකි. ඒ ඔස්සේ පැන නගින මූලික ගැටලු රාශියකින් කිහිපයක් මෙහිදී සැලකිල්ලට ගත යුතු යැයි සිතේ.

වික්‍රමසිංහ ගත යුතු ක්‍රියා මාර්ගය 

පළමුවැන්න, වික්‍රමසිංහ වත්මන් ආණ්ඩුවේ “බේරේ වැව” ( ඔක්කොම කුණු එකතු වූ වැව බේරේ නමින් හැඳින්විය) බවට පත් කරමින් අනෙකුත් සියලුම දෙනා ඇඟ සෝදා ගැනීමට කළ උත්සහය පරාජය කිරීමට සමත්වීම හමුවේ වික්‍රමසිංහ දේශපාලනඥයෙකු ලෙස ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද?

දෙවැන්න, වත්මන් ආණ්ඩුව බිහි වූ දින පටන්, එය කෙසේ හෝ පරළු, බයාදු, අඩපණ ආණ්ඩුවක් බවට පත් කිරීමේ විශාල වෑයම නිරත වී සිටින රාජපක්‍ෂ බලවේගයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙල කුමක් විය හැකිද?

සිරිසේනගේ අනාගතය

තුන්වැන්න; 2015 ඇති වූ දේශපාලන වෙනස්කම ඔස්සේ ජාත්‍යන්තර කීර්තියට පත් වූ නායකයෙකු වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ දේශපාලනය කුමන අන්දමකින් ඔහුගේ ඉදිරි අනාගතය සඳහා හේතු විය හැකිද?

ආදී මූලික කාරණා තුනක් මෙහිදී මතුවේ.

වික්‍රමසිංහ, යහපාලනයේ “බේරේ වැව” බවට පත් කිරීමෙන් පොදු සතුරා වික්‍රමසිංහ බවට පත් කිරීමේ විශාල වෑයමක් පසුගිය වසර ගණනාව පුරාම සිදුවිය. ඔහුගේ දේශපාලන අඩුලුහුඩුකම් බොහෝ ඇති බව අවිවාදිතය. නමුත්, 2015 න් පසු බිහි කළ ආණ්ඩුකරණය තුළ අනෙකුත් අයවලුන්ට මෙන්ම ඔහුටද ඔහු ගැන වෙනදාට වඩා ප්‍රශ්න කිරීමට අවස්ථාවක් ලබා දුන්නේය.

විශාල චෝදනාවකට ලක් වූ මහා බැංකුවේ බොන්ඩ් වංචාව සම්බන්ධයෙන් සාක්‍ෂි දීම සඳහා අවශ්‍යය සැකකරුවකු බවට ඔහු පත් කළේය. රටේ වෙනදා නොතිබුණු සංස්කෘතියක් නිර්මාණය වෙමින් පැවති අතර, රටේ අගමැතිවරයා, වංචාවකට සැකකරුවෙකු ලෙස නම් කරමින් ප්‍රසිද්ධ වේදිකාවට ගෙන ආවේය. මෙම අගමැතිවරයා යනු, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බිහිකළ නාමික අගමැතිවරයෙකු නොවේ. පඹයෙකු නොවේ. මෙම අගමැතිවරයා යනු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු, ජනාධිපතිවරයාට පවා අභියෝග කළ හැකි බලයක් තම නෛතික රාමුවට ඇතුළත් කරගත් අගමැතිවරයෙකි. මෙම අර්ථයෙන් බලන කළ, හෙමින් නමුත් ශක්තිමත්ව නිර්මාණය වෙමින් පැවති දේශපාලන සංස්කෘතිය විසින් රටක අනාගත පැවැත්ම සඳහා වැදගත් පදනමක් දමමින් තිබුණි. නමුත් එය එකිනෙකාගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් බාල්දු විය.

එදිනෙදා ගැටලු වලට අවංකව සහන

මෙවැනි ව්‍යුහීය කාරණා සාමන්‍යය ජනතාව ක්‍ෂණිකව තේරුම් ගනීවී යැයි අපේක්ෂා කළ නොහැකිය. එය මෙරට පමණක් නොව සමස්ථ ලෝක ඉතිහාසය තුළ ඉතාම මැනවින් සඳහන් වී ඇති මූලික කාරණයකි. රටක සාමන්‍යය ජනතාවගේ සිතුවිළි මෙහෙයවනු ලබන්නේ, එදිනෙදා ජීවිතයේ මුහුණදෙන, අත්දැකීම් අනුව මිස, ව්‍යුහීය වශයෙන් සිදුකරණ දේශපාලන වෙනස්කම් වලින් නොවේ. එවැනි වෙනස්කම් සාමන්‍යය ජනතාවගේ සිත් පිත් ආණ්ඩුකරණයට වාසී වන ආකාරයෙන් මෙහෙයවිය හැක්කේ, ඔවුහු මුහුණ දෙමින් සිටින එදිනෙදා ගැටලු වලට අවංකව සහන ලබා දීමෙනි.

මෙය සරල ලෙස මේ ආකාරයෙන් තේරුම් ගත හැකිය. රටේ ප්‍රධාන ආහාරය බත් බව අපි සියල්ලෝම දනිමු. එම ආහාරය තම බලයෙන් මෙහෙය විය හැකි ඒකාධිකාරියක් විසින් ඉතාම අප්‍රසන්න ලෙස මෙහෙයවන්නේ නම්, තම අනාගත දේශපාලන පැවැත්ම උදෙසා ක්ෂණික සහන සැපයීමට හැකිය. එනම්, එම ඒකාධිකාරිය තම බලයට නතු එකක් වන්නේ නම්, පාලකයාට වඩාත් ලෙහෙසියෙන් එය තම දේශපාලන ප්‍රතිරූපය ජනතාව අතර ඉහළ නැංවීම සඳහා භාවිතා කළ හැකිය. මොන විවේචන තිබුණත්, ප්‍රේමදාස ජනාධිපතිවරයා දුන්, පාසල් නිල ඇඳුම් ගැන, නොමිලේ ලබා දුන් ආහාර වේල ගැන, පිදුරු වහල වෙනුවට තම නිවෙස් වලට ලබා දුන් උළුකැටය ගැන රටේ ජනතාව අදටත් යහවචන හෙළති. මේ ආකාරයෙන් සඳහන් කළ හැකි නිදසුන් රාශියක් තිබේ.

එජාපයට නව නායකත්වයක්

කෙසේ හෝ වේවා, වික්‍රමසිංහ මහතා වඩාත් සක්‍රීය ලෙස මෙම විශ්වාස භංගය පරාජය කිරීමෙන් පසු කළයුතු මූලික කාරණය වන්නේ, එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය වෙනස් කිරීම සහ එම නව නායකයාගේ කැමැත්ත ඇතුව අගමැති ධූරයේ රැඳී සිටීමය. එවිට රට තුළ මතුවෙමින් පවතින දේශපාලන වින්නැහිය ක්‍රමයෙන් වෙනස් මාවතකට තල්ලු කිරීමේ භාග්‍යය උදා වේ. එවැනි රැඩිකල් තීරණයක් ගැනීමට වික්‍රමසිංහ යොමු වුවහොත්, එය මෙරට දේශපාලන සංස්කෘතිය තුළ විශාල වශයෙන් යහපත් වෙනස්කම් රාශියකට මාර්ගය පාදනු ලැබේ. එසේ නොවුණ හොත්, අදාළ රටවල වෙසෙන ජනතාවගේ සැබෑ ප්‍රයෝගික ජීවන තත්වය ගැන නොදැන පුටින්, ෂි ජින්පින්, දූත්‍රේ, ට්‍රම්ප් වැනි නායකයින්ගේ ව්‍යාජ මවා පෙන්වීම් අනුකරණය කරමින් විශාල දේශපාලන පරිහානියකට රට තල්ලු වී එම පරිහානිය තුළ සිටින එකම ගැලවුම්කරුවා ලෙස “සොඳුරු දේශප්‍රේමී වෙසමුහුණ පැළඳගත් රාක්ෂයෙකු” ජනතාවගේ කැමැත්තෙන් තේරී පත්වීම වැළක්විය නොහැකිය.

මෙහිදී අවදානය යොමු කළ යුතු දෙවැනි කාරණය යැයි හැඟෙන්නේ, රාජපක්ෂ බලවේගයයි. එක් පුද්ගලයෙකු කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වී ඇති මෙම දේශපාලන බලය නිවැරදිව කියවීමට වත්මන් ආණ්ඩුවේ සිටින බොහෝ දෙනෙකුට නොහැකි වී ඇත. මීට සුළු මොහොතකට පෙර පැවති, විශ්වාස භංග යෝජනාවෙන් පසු මාධ්‍යට අදහස් දැක් වූ හිටපු ජනාධිපති රාජපක්ෂ ඍජුව චෝදනා එල්ල කරනු ලැබුවේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටය. ඔහුගේ ප්‍රතිචාරය තුළ ගැබ් වී තිබුණේ රනිල් පරාජය කිරීමට නොහැකි වීමේ වියෝව නොව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෙරෙහි ඇති ප්‍රතිරෝධයයි. එම ප්‍රතිරෝධයේ ඇති එකම අරමුණ මෛත්‍රිපාල සිරිසේන අසමත් නායකයකු බවට පත් කිරීම පමණි. රාජපක්ෂගේ දේශපාලන ගොඩඒම ඇත්තේ එම මූලික අපේක්‍ෂාව තුළ පමණි. ඒ මුදුන් පමුණුවා ගැනීමට, නායකයා දුර්වලයෙකු කිරීම සඳහා, වරෙක වර්ණනා කරනු ඇත, තවත් වරෙක අලංකෘත බසින් නායකත්වයේ ගුණ වැයීම සඳහා තමන් වටා සිටින පිරිස් මෙහෙවනු ඇත. එසේ නොවුණ හොත් රළු විවේචන, මෙන්ම ප්‍රතිරූපයට හානි කරන ප්‍රචාර මුදා හරිණු ඇත. විවිධාකාරයේ පිල්ලි එවනු ඇත.

සිරිසේන පරිපාලනය අසාර්ථක වන්නේ යම්සේද, රාජපක්ෂ පරිපාලනය ගැන සිහින සහ බලාපරොත්තු වැඩි වේ. අසමත්බව, අගමැතිවරයාගේ ඔලුව මත තැබීමෙන් නිදහස් කළ නොහැකි බවට ඔප්පු කරනු ලැබූ මූලික සිදුවීම වන්නේ, අගමැතිවරයා ජයගත් විශ්වාස භංගයයි. මේ නිසා, රාජපක්ෂ බලවේගයේ ඉදිරි වැඩපිළිවෙල වන්නේද, කුමන ආකාරයකින් හෝ ආණ්ඩුවට ජනතාවගේ සිත් පිත් ඇද ගැනීමට හැකි කිසිඳු වැඩසටහනක් ක්‍රියාත්මක නොකිරීමට වගබලා ගැනීමයි. 2015 සිට මේ දක්වා ගෙවුණු කාලය ගැන සැලකීමේදී, රාජපක්ෂ දේශපාලනය එහිදී ජයග්‍රහයකයෙකු නොවන්නේද? රාජපක්‍ෂ බලවේගය ඉදිරියට සිදු කරනු ඇත්තේද එයයි.

තෙවැනි කාරණය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ දේශපාලන අනාගතයයි. තම පරිපාලනයේ සිටින අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය පිටුපස ජනාධිපති සිරිසේන සිටියේ දැයි, මා පෞද්ගලිකව නොදන්නා කාරණයකි. එය එසේ යැයි අනුමාන කළහොත්; ඉදිරි වසර එකහමාර යනු ඉතාම තීරණාත්මක කාලයක් වනු ඇත. හෙතම තවත් වරක් ජනාධිපතිවරණයකට ඉල්ලිය යුතු දේශපාලනඥයෙකු බවට පත්වීම එතරම් පහසු කටයුතක් නොවේ. වත්මන් දේශපාලන ප්‍රවණතාවය තුළ එය හිතලුවක් පමණක් බව, ඕනෑම අයෙකු සිතනු ඇත.

නමුත්, තම දේශපාලන අත්දැකීම් පදනම් කරගනිමින් ජගත් දේශපාලනයේ හැසිරීම ගැන සිහින වලට වඩා ප්‍රයෝගිකව සිතා බැලීමෙන් පසු රටේ දේශපාලන අනාගතය ගැන නිවැරදි ගණිතමය තක්සේරුවකට පැමිණීමට හැකියාව තිබෙන්නේ නම්, එකී හිතළුව බලාපොරොත්තුවක් බවට පත්කර ගැනීමේ අවකාශය තිබේ. ඊට විශාල සහ වේගවත් මෙහෙයුම් කුසලතාවයක් සහ සැබෑ දේශපාලන ප්‍රතිවාදියා හඳුනා ගැනීමේ, එය අඩපණ කිරීමේ සහ තම ප්‍රතිරූපය ජනතා කැමැත්ත ලැබෙන ආකාරයෙන් පෝෂණය කිරීමේ හැකියාවක් තිබිය යුත්තේය. එය කෙතරම් දුරට ඔහු වටා සිටින වත්මන් මාධ්‍ය ( ප්‍රචාරණ) කල්ලියෙන් බලාපොරොත්තු විය හැකිද, යන්න සැක සහිතය.

අවසාන විග්‍රහයේදී පෙනී යන, මූලික කාරණය වන්නේ විශ්වාසයක් නැති භංගයකින් නන්නත්තාර වෙමින් සිටින “යහපාලනය” කල දුටු තැන වල ඉහ ගන්නා පිරිසකගේ ගොදුරක් බවට පත්වී ඔවුහු කිසිවෙකුට නොදැනිව රට හමුවේ තිබූ වැදගත් අවස්ථාව බස්ටනය කරමින් සිටින අවලස්සනයි. විශ්වාසය දෙදරා ඇත. සැකය මත පදනම් කර ගනිමින් බොහෝ තීරණ ලබා දීමට තම මනස මෙහෙය වනු ඇත. විශ්වාස භංගයේ අතරු ප්‍රතිඵල සිතන තරම් සියුමැලි නැත.

Back to Top