Sri Lanka Brief
පුවත්විවරණමං වෙනුවෙන් නාඬන්න, ශ්‍රී ලංකාව – සුරනිමල උමගිලිය

මං වෙනුවෙන් නාඬන්න, ශ්‍රී ලංකාව – සුරනිමල උමගිලිය

by

අහෝ, මේ ශ්‍රී ලංකාව මොන ජාතියේ රටක් ද/ පිටතින් බැලූ විට හරි මාරයි. ඒත් ටිකක් පහුරු ගා බැලුවොත්, අන්තිමයි. කරගැට, පිළිස්සුම් සහ තුවාල වනයක්/ දෙවියන් වහන්සේ සොබා සම්පත මවා අසරණ ගැමියන්ට භුක්ති විඳින්ට දුන්හ. එහෙත් කල් යත්ම ඔවුහූ තෙස්පියානුවන් බවට පත්වූහ.

මේ රටේ මෑත ඉතිහාසය දෙස ටිකක් හැරී බලන්න. එය දුෂ්ඨ ය. අධම ය. බලය ලබා ගැනීමත්, පවත්වා ගැනීමත් එකම අරමුණ කර ගත් දේශපාලඥයෝ, මිනිසාගේ අධම සහජාසයන්ගෙන් ප්‍රයෝජන ගත්හ. භේදකාරී, පටු දේශපාලනය හරහා බහුතරයක් නම්මා ගත් මේ දේශපාලඥයෝ, වරදාන වාටි කෑලි වීසි කොට තවත් සුළු පිරිසක් තම වසඟයට ගෙන, අල්ලස සහ දූෂණය ඔස්සේ ඇති පදම් හම්බ කරගත්හ. තමන්ගේ දූෂිත චර්යාවන්, නැවත බලයට පත්වීම සඳහා අවශ්‍ය ධනය උපයා ගැනීම සඳහා නොකර බැරි දෙයක් වශයෙන් ගත් මේ පිරිස්, ඒවායෙන් ඩිංගිත්තකුත් මැතිවරණවලදී රට්ටුන්ට දුන්හ. කේක් ගෙඩියේ අයිසින් වන්නේ, තවමත් එම ගැමියන් මේ දේශපාලඥයන් පිළිබඳ විශ්වාසයෙන් පසු වීමයි. කෙසේ වෙතත්, කාලයාගේ ඇවෑමෙන් තත්වය තවත් නරක අතට හැරුණු අතර ඔවුන් සතු කොල්ලකෑ ධනයත් කඳු ගැසුණි. මේ අස්සේ, තවත් භයානක සෙල්ලමක් සොයා ගැනුණි. එනම්, ජනතාවගෙන් බහුතරය සහ සෙස්සන් අතර භේදයක් ඇති කිරීමයි. ඒකත් මදි නම්, ආගමත් එක් කෙරුණි. අප අද ඉන්න ශ්‍රී ලංකාව එබඳු ය.

ජනාධිපතිවරයාගෙන් ජනාධිපතිවරයාට තත්වය තවත් නරක් වෙමින්, වගවීම පිළිබඳ කාරණයත්, ශිෂ්ට සම්පන්න පාලනයත් පල්ලම් බැස්සේය. දූෂණය ඉහවහා ගියේය. ‘නෝ ලිමිට්’ තණ්හාවක් උපන්නේය. ඝාතනය, පැහැරගෙන යාම සහ සුදු වෑන් ඊට එක් කරන්න. මාධ්‍යවේදියෙකු හෝ දෙන්නෙකු ඝාතනය කිරීම, ‘ජාතිය බේරා ගැනීම’ සඳහා අවශ්‍ය කාරණයක් වීම පැත්තකින් තියන්න. මේ විදිහට රටකට පැවතිය හැකි ද? ඔව්, ගැමියන් එදා වේල ගැටගසා ගන්නා අතරේ තවත් පිරිසකට පව්කාර ධනස්කන්ධයෙන් මෙරටේ හෝ වෙනත් රටක සුව සේ විසීමේ හැකියාව ලැබෙන තාක් කල් එසේ කළ හැකිය. පරම්පරාවෙන් පරම්පරාවට ඒ පුරුද්ද උරුම වෙයි. ඒ අතරේ, අපේ නඩත්තුවට සෙසු ලෝකයා අපට ණය දෙනු ඇත.

50 සහ 60 දශකවල මෙරට සිටි බර්ගර් ජනයාව පලවා හැරුණි. ඔවුහූ එංගලන්තයට සහ ඕස්ටේ්‍රලියාවට ගියහ. ඔවුන්ගේ තුන්වැනි පරම්පරාව ඒ රටවල වෛද්‍යවරු, නීතිඥවරු, ගණකාධිකාරීවරු සහ රාජ්‍ය නිලධාරීන් වශයෙන් සරුසාර ජීවිත ගත කරති. ඔවුහූ ඒ රටවලට බදු ගෙවති. ඒ බදු මුදල්වලින් ඒ රටවල් ඔවුන්ට විනීත වැටුප් සහ වෙනත් පහසුකම් සපයයි. ඔවුන්ගේ විශ්‍රාමික දිවිය සියලු සෞඛ්‍ය ආරක්ෂණයන් සහිතව ගත කිරීමට ඔවුන්ට අවකාශ සැලසේ.

1983 න් පසුව ශ්‍රී ලාංකීය ද්‍රවිඩයන්ව බටහිර බොහෝ රටවල් භාරගත්තේය. ඔවුන්ගේ දෙවැනි පරම්පරාව දැනටමත් වෛද්‍යවරුන්, නීතිඥයන් සහ ගණකාධිකාරීන් බවට පත්ව නැත්නම්, අඩු වශයෙන් මේ වන විට ඔවුහූ විශ්ව විද්‍යාල තුළ ඉගෙනුම ලබති. ඔවුන්ට ජීවත් වීමටත් වැඩි වැටුප් ලැබෙන අතර, තමන්ගේම නිවාස ආදියට හිමිකම් කියන අතර ඒ රටවලට බදු ගෙවමින්, තමන්ගේ පවුල්වල සාමාජිකයන්වත් එම රටවලට ගෙන්වා ගනිති. ඔවුන්ට ද සැපපහසු විශ්‍රාම දිවියක් සහතික වන්නේය.

මහ ජාතියේ අයවළුන් ද, මෙවැනි දියුණ රටවල අවශ්‍යතා මත සහ වෘත්තීය සුදුසුකම් මත, පදිංචියට ගොස් සිටින අතර ඉහත කී සියලු පහසුකම්වලට හිමිකම් ලබයි. ඔවුනුත් ඉහත කී අයවළුන් සේම තමන්ගේ පවුල් සාමාජිකයන්ව එම රටවලට ගෙන්වා ගනු දක්නට ලැබේ.

එතකොට, තෙවරක් පූජණීය වූ ශ්‍රී ලංකාවේ ඉතිරි වන අනිත් පිරිස? ඔවුන්ට සිදුවන්නේ කුමක් ද? අන්ත විසකුරු පවුල් පාලනය යටතේ ඔවුන්ට වසන්ට සිදුවෙයි. එක සහෝදරයෙක් ජනාධිපති ය. තව සහෝදරයෙක් කතානායක ය. තවත් සහෝදරයෙක් ආර්ථික කටයුතු පිළිබඳ ඇමති ය. තවත් සහෝදරයෙක් සකල බල සේනාවන්ගේ ප්‍රධානියා ය. එක පුතෙක් මන්ත්‍රී කෙනෙක් ය. බිරිඳ, පෙර-පාසල් උපාසිකාවක් ය. මස්සිනාලා, විදේශ තානාපතිවරු ය. නැන්දණියක්, මැණික් මල්ලක භාරකාරියක් ය. ලැයිස්තුව තව දිග ය. මේ හැත්තට අමතරව, ඔවුන්ගෙන් යැපුණු තවත් කළුකඩ මන්ත්‍රීවරුන් අනන්තවත් ය. එහෙත් ඔවුහූ යුද්ධය දිනූහ. ඒ නිසා අප ඔවුන්ව නැවත බලයට පත්කර ගත යුතු ද?

රාජපක්ෂගේ මර්දනකාරී තන්ත්‍රය පරාජය කෙරුණි. අදක්ෂ, උදාසීන, දුර්වල නායකත්වයක් බලයට පත්වුණි. ශ්‍රී ලංකාවේ යහපත් රාජ්‍ය තාන්ත්‍රිකයන් නැති බවත්, තමන්ටත් තව දූදරුවන්ටත් යහපත් හෙටක් ඉල්ලා සිටින සබුද්ධික ඡන්දදායකයන් රටේ නැති බවත් එයින් පෙන්නුම් කෙරුණි. මහ ජාතියේ හැඟීම් සමග කූට්ටාලි වීමේ අධ්‍යාශයෙන් මඩනා ලද්දා වූ ද, ‘රණ විරුවන්’ සේ සංඝ රත්නය විසින් භෞතීස්ම කරන ලද්දා වූ ද අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියට බැණඅඬගාන ජනාධිපතියෙකු අපට ලැබුණි. තම කැබිනට් සගයන්ට නිවැරදි මාවත පෙන්වා දිය හැකි, නීතිය ආරක්ෂා කරන්නන්ව ආරක්ෂා කිරීමේ හයියක් නැති, අගමැතියෙකු අපට ලැබුණි.

වසීම් තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි රට කැළැඹූ ඝාතන ගැන තවම යුක්තිය ඉෂ්ට වී නැත. තාජුඩීන් ඝාතනයට අදාළ සාක්ෂි වසං කළ, හිටපු නියෝජ්‍ය පොලිසිපති අනුර සේනානායක රක්ෂිත බන්ධනාගාරගතව සිටී. ඒ ඝාතනය ඔවුන් රටට පෙන්නුවේ වාහන අනතුරක මරණයක් වශයෙනි. වෛද්‍යවරු එකී පශ්චාත් මරණ පරීක්ෂ වාර්තාවල හොරට හැදූහ. ඒ ගැන ඇත්ත දැන ගැනීම සඳහා රාජපක්ෂලාව ගෙදර යැවීමට සිදු වුණි.

ලසන්ත වික්‍රමතුංගව, හමුදා බුද්ධි අංශ මගින් ඝාතනය වුණි. නානායක්කාර නැමැති නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, අධිකාරී නැමැති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, සුගතපාල නැමැති පොලිස් පරීක්ෂකවරයෙක්, ඒ ඝාතනයේ සාක්ෂි වෙනස් කිරීම මත රක්ෂිත බන්ධනාගාරගතව සිටිති. ඒ සියල්ල සිදු කොට ඇත්තේ, වික්‍රමරත්න නැමැති පොලිස්පතිවරයාගේ උපදෙස් මත බව කියැවේ. තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා මේ පොලිස්පතිවරයා අධිකරණය ඉදිරියට යාමට ගියේය. දෙයියනේ, පොලිස්පතිවරයෙකුගේ රාජකාරිය මිනීමරුවෙකු අල්ලා ගැනීම ද, නැත්නම් ඒ මිනීමරුවන්ට අදාළ පොලිස් සාක්ෂි සැඟවීම හෝ විකෘති කිරීම ද?

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ ඝාතනය ගැන එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගනිති. එසේ නම්, ඝාතනය කරන්ට ඇත්තේ ඒ දෙන්නාගෙන් කෙනෙකු විය යුතු නොවේද? ප්‍රගීත් එක්නැලිගොඩ තවම සැලකෙන්නේ ‘අතුරුදහන් වූවකු’ ලෙස ය. එහෙත් ඇත්ත වශයෙන්ම, ඔහුවත් හමුදාව විසින් ඝාතනය කරනු ලැබ තිබේ. මොන විදිහේ ජාතියක් ද/ ඉහළ පොලිස් නිලධාරීහුම අපරාධකරුවෝ වෙති.

මේ අතර, මහා සංඝ රත්නයට මර්සිඩීස් බෙන්ස් දානයට ලැබේ. ලොකු ලොකු දේශපාලඥයෝ ඔවුන් බැහැදැකීමට ඔවුන් සමග ‘සෙල්ෆි’ ගැනීමට පැමිණෙති. දැන් මෝස්තරයක් වී ඇති සිංහල-බෞද්ධ ලේබලයට වහවැටී සිටින ජනතාව ඒ මගින් සන්තෝස කැරැවීමට ඔවුන්ට පිළිවන. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රටේ නැති හැම දේටම හොට දමයි. එහෙත්, ‘වඳපෙති’ කියා දෙයක් නැති බව රටට නොකියයි. පාසල් ගුරුවරු, තඩි පෝස්ටර් ගසා ලොකු ගාස්තුවලට ටියුෂන් දෙති. එකම සැණකෙලියකි/ සෞඛ්‍ය සේවාවන් නොමිලේ ය. එහෙත් දොස්තරලා තමන් සේවය කරන රෝහලට මීටර් සීයක් ඈතින් මුදලට සෞඛ්‍ය සේවය විකුණති. අතමිට සරු අය මේ ගැන වගක් නැතිව ඔහේ යති. මට ප්‍රශ්නයක් නැති තාක්, වෙනත් ප්‍රශ්න මගේ ප්‍රශ්න නොවේය යන්න ඔවුන්ගේ හැඟීමයි. නෝනාවරුනි, මහත්වරුනි, ඔබේ වාරයත් ළඟදීම එනු ඇත/

මේ මොහොතේ තත්වය බලන්න. 2015 දී රාජපක්ෂ තන්ත්‍රය පෙරලා බලයට පත්කර ගත් ජනාධිපතිවරයෙකු අපට සිටී. යුක්තිය ප්‍රිය කරන මිනිසුන්ට එය අස්වැසිල්ලක් විය. යහපත් හෙටක් ගැන අපේක්ෂා ජනනය කරන්නක් විය. ඝාතනය, අල්ලස, දූෂණය සහ අශිෂ්ටත්වය යටතේ වැජඹුණු ඒකාධිපතියෙකු පලවා හැරීමට සියලු පක්ෂ ඒකරාශි විය. ඒ ඒකාධිපතියාගේ මලයෙක් එක්ක යහන්ගත වීමට මේ ජනාධිපතිවරයාට දැන් අවශ්‍ය කොට තිබේ. ඔහුට එරෙහිව මේ මොහොතේ අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරේ. ඒ, ගෝඨාභය ය.

කරුණාකර ජනාධිපතිතුමනි, මේ ගෝඨාභයට එරෙහිව ඇති චෝදනාවලින් අධිකරණය ඉදිරියේ නිදොස් වීමට පෙර ඔහුව කිසි දේශපාලනික තනතුරකට ඔසවා නොතබන්න. සමහර විට දෙවැනි වතාවකටත් ජනාධිපති තනතුරේ ඔබට වැජඹීට එය පහුරක් වෙතැයි ඔබ සිතනවා ඇති. එය ද සිදුවිය නොහැක්කක් නොවේ. මන්ද යත්, ඡන්දාදායකයා ඒ තරමට ගොබ්බ ය. එහෙත් නීතිය ඉදිරියේ තමන්ගේ නම නිදහස් කර නොගත් ඝාතන සැකකරුවෙකු එවැනි භාරදූර වගකීමකට පත්කළොත් ඔබට එය සදහටම බරක් වනු ඇත. දූෂණයට සහ අපරාධයට බර කෙනෙකු ඉහළ දේශපාලන තානාන්තරයකට පත් විට ඔහුගේ සියලු පව් දුරු වෙයි. අපේ නීති පද්ධතියත් කුණු ඇති බව අමතක නොකරන්න. එක නඩුවක් ඉවර කිරීමට අවුරුදු දහයකටත් වැඩි කාලයක් යයි. ආත්මාර්ථකාමී ආශා පසෙකලන්න. එය ඊළඟ පරම්පරාව වෙනුවෙන් ඔබෙන් ඉටු විය යුත්තකි.

2018 මාර්තු 30 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Don’t Cry For Me, Sri Lanka නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top