Sri Lanka Brief
පුවත්විවරණදේශපාලනය ආගමීකරණය වීම: අධිකාරීවාදී පෞරුෂයකට වහ වැටෙන අනියම් ප්‍රේමය – සරත් ද අල්විස්

දේශපාලනය ආගමීකරණය වීම: අධිකාරීවාදී පෞරුෂයකට වහ වැටෙන අනියම් ප්‍රේමය – සරත් ද අල්විස්

by

ජායාරූපය: රාජපක්ෂ වංශයේ සහ ‘පොහොට්ටු පක්ෂයේ’ ආගමික නියමුවා සහ අඬබෙරකරුවා වන්නේ මැදගොඩ අභයතිස්ස් හිමියන් ය.

අප ජීවත් වන්නේ අඳුරු යුගයක ය. අපේක්ෂා භංග වූ, ප්‍රතිඥා නෂ්ට වූ අවධියක ය. අපේ පොදු අපේක්ෂකයා, අද වන විට හතර අතේ වැනෙන දේශපාලනික තක්කඩියෙකු බවට පත්ව ඇත. ඒ සියල්ල අස්සෙන්, ඒකාධිපතියා දොරට තට්ටු කරමින් සිටී.

අපට ඇති එකම කාලය

කර්කශ මෙන්ම තියුණු දේශපාලන උපහාස රචකයෙකු වූ ආර්ට් බුච්වර්ල්ඞ් කියා ඇති පරිදි, මේ හොඳම කාලයවත්, නරකම කාලයවත් නොවේ. අපට ලැබී ඇති එකම කාලය මෙයයි.

අලුත් අවුරුද්ද යනු කාලය මැණීමේ නිමිත්තකි. ගෝත්‍රික යුගයේ සිට, අප උත්සව සැණකෙලි මත යැපී ඇත. සාමාන්‍යයෙන් එම සැණකෙලි බැඳී ඇත්තේ, ජීවිතය පිළිසකර කිරීම සඳහා වන උපාංගයක් වශයෙන් ගැනෙන, භවභෝග අස්වනු නෙලන කාල සමග ය. එහෙත් මේ අලුත් අවුරුද්දේ අපේ ජාතියේ යොමුව වන්නේ, ජීවිතය යළි පිළිසකර කර ගැනීමකට වඩා, ජීවිතය වටා එතී ඇති පඹගාලේ අගක් මුලක් සොයා ගැනීම ය.

සෑහෙන දුරක් යමින් සිටි ප්‍රජා-පීඩක ඒකාධිපතිත්වයක්, ජීවිතය හා මරණය අතර සටනකින් නසා දැමූ අප, ග්‍රාම්‍ය අගතීන්ගෙන් අනූන අගාධයක ඉස්මත්තේ, යළිත් වරක් මූසල ස්‍යෙයාවෙන් වැනෙමින් සිටින සෙයක් පෙනෙන්ට තිබේ.

 “අගතීන් පිළිබඳ අධ්‍යයන”

‘ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය’ වශයෙන් අද හැඳින්වෙන මාක්ස්වාදී චින්තකයන් කණ්ඩායමක් හිට්ලර්ගේ ජර්මනියෙන් දිවි ගලවාගෙන පලා ගොස් (ඇමරිකාවේ) කැලිෆෝර්නියාවේ සරණාගත භාවය ලබා ගත්හ. එම කණ්ඩායමේ නායකයා වන තියඩෝර් ඇඩර්නෝ, ඒ ඇමරිකානු ශාස්ත්‍රාලීය රක්ෂාස්ථානයේ සිට “අධිකාරික පෞරුෂය” මැයෙන් ලිපි සරණියක් සංස්කරණ කෙළේය. එය, අද අපව වෙලාගෙන සිටින වඩාත් පුළුල් ව්‍යාපෘතියක එක් කොටසක් විය. පුළුල් ව්‍යාපෘතිය හැඳින්වුණේ, “අගතීන් පිළිබඳ අධ්‍යයන” නමිනි.

ඇඩර්නෝගේ නායකත්වයෙන් යුත් එම චින්තකයෝ මේ කියන ‘අධිකාරික පෞරුෂය’ කපා කොටා විශ්ලේෂණය කළහ. ඒ සඳහා ඔවුහූ ‘එෆ්-මිම්ම’ හෙවත් ‘ෆැසිස්ට් මිම්ම’ නැමැති මාපකයක් භාවිත කළහ. ‘අධිකාරීක පෞරුෂයක්’ තුළ, ප්‍රධාන ගති ලක්ෂණ නවයක් ඒ ඔස්සේ හඳුනා ගැනුණි. ඒ මෙසේ ය:

‘අධිකාරීක පෞරුෂයක්’: ප්‍රධාන ගති ලක්ෂණ

බලය සහ සැරවැර භාවය සූක්ෂම අන්දමින් ජනතාවට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. ගතානුගතිකත්වය සීරුවෙන් අනුයනු ලැබේ. බලාධිකාරයට යටහපත් පහත් වීම වෙනුවෙන් යහමින් පාරිතෝෂික සැපයේ. බුද්ධි-හීනතාව ආගමක් කොට අදහනු ලැබේ. මිථ්‍යාව බහුලව රෝපණය කෙරේ. විනාශකාරී ස්වභාවය ඇබ්බැහියක් බවට පත්කෙරේ. යහසම්මතයන් දෙස නරුම ආකල්පයක් දැරීම සාමාන්‍ය ස්වභාවය බවට පත්කෙරේ. ලිංගිකත්වය පිළිබඳ මහා උණක් වැළඳේ.

විසි වැනි සියවසේ උත්කෘෂ්ට චින්තකයන් සකස් කළ මේ ‘ෆැසිස්ට් මිම්ම’ ඔස්සේ යමින්, අප අතරේ දැන් සිටින ‘අධිකාරික පෞරුෂ’ ලක්ෂණ සහිත පුද්ගලයන් හඳුනා ගැනීමට පාඨකයාට හැකියාව ලැබේ නම්, මගේ ආයාසය බෙහෙවින් සඵල වූවා වන්නේය.

අප වෙසෙන්නේ ප්‍රාථමික සමාජයක ය. අපේ සංස්කෘතික ගතානුගතිකත්වය, ආර්ථික ප්‍රේරකයන්ට සහ අවස්ථාවන්ට පයින් ගසයි. අපට තවමත් පාසල් නිල ඇඳුම් අවශ්‍ය කෙරේ. ඒ සඳහා වව්චර් ලබා ගැනීමට අපි නොකැමැත්තෙමු. අප පොහොර ඉල්ලන්නේ උරයක දමා ය. අපේ ගොවිතැනට පාවිච්චි කළ යුත්තේ මොන පොහොර ද යන්න නිශ්චය කිරීමේ බලය අපට ලබා ගැනීමට අපි අකමැත්තෙමු. අපි, අප වෙනුවෙන් සිතන ගතිය, අතහැර ඇත්තෙමු. වෙනත් කෙනෙකුට එය භාර කර ඇත්තෙමු. අර කියන අධිකාරී පුද්ගලයා, බලසම්පන්න කුලදෙටුවා, සංඝ සාසනයේ හුරතලා, අප වෙනුවෙන් අප සඳහා වන සකල සිතීම අපට කර දෙනු ලැබේ. නායකයාට අවශ්‍ය දේ සංඝයා වහන්සේ අනුදැන වදාරනු ඇත. මන්ද යත්, තත්වයන් එයාකාරයෙන් පවත්වා ගැනීම ඔවුන්ගේ සුවපහසුව සඳහා වන බැවිනි.

අපේ කරුමය

අපේ කරුමය එන්නේ දැන් ය. අහම්බ සංයෝගයක බල මහිමයෙන් මහ එකා වෙනස් කර ගැනීමට අපට හැකි විය. එහෙත් අපේ බලාපොරොත්තුවට වැඩි ආයුෂ නොවුණි. වෙනස් වීමෙන් පසු ඇති වූ තත්වය, බලහත්කාරී ස්වරූපයෙන් අත්මිදුණි. එහෙත් ඒ වෙනුවට දැන් එය කරන්නේ, තමන්ම නිර්මාණය කර ගත් මිරිඟුවක් පස්සේ මුරණ්ඩු ලෙස පැන්නීමයි. ඒකාධිපතියා වෙනුවට අප පත්කර ගත් අනුප්‍රාප්තිකයා, කෘත්‍රීම බුද්ධි යුගයක සහ පිම්මේ යන තාක්ෂණ වර්ධනයක් තුළ, ‘අනේ කාලේ වනේ වාසේ’ විකෘතියට හසුව සිටී.

ශක්‍රයා විසින් හඳේ හාවා අඳින ලදැයි ඔහු විශ්වාස කරයි. මේ පූජණීය භූමිය ආරක්ෂා කර දීමේ වගකීම පැවරුණේ ද ඒ ශක්‍රයාට ය. බහුත්වවාදී සහ ප්‍රජාතන්ත්‍රීය ශ්‍රී ලංකාවේ නපුර වුණේ ඒ දූෂිත ශ්‍රද්ධාවත්, නිහීන භක්තියත් ය. අපේ සමකාලීන සාමාන්‍ය සිහිබුද්ධිය පැටලී ඇති මරුවැල, තමාට සුපුරුදු දත්තමය සාක්ෂි මත පදනම්ව, පැහැදිළි වූත්, නිරාකූල වූත් තර්කණයට හසුකර ගනිමින්, මෑත ලිපියක තිසරණී ගුණසේකර එය මෙසේ පෙළගස්වයි:

“දෙමළ ජාතික සන්ධානය යනු, ලංකාවේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයකි. එවැනි පක්ෂයක් මිනී මස් කන යක්ෂයෙකුට සමාන කිරීමෙන් පෙනී යන්නේ, බුද්ධාගම පිළිබඳ අගතිගාමී අර්ථකථනයක්, සිංහල-බෞද්ධයන් විනාශ කරලීම සඳහා සැදී පැහැදී සිටින ‘අනෙකා’ වශයෙන් සුළු ජාතිකයන්ව වෙස් ගැන්වීම සඳහා පාවිච්චියට ගෙන ඇති ආකාරයයි. මේ ඝෝර භාවිතය පටන් ගැනුණේ මහාවංශ කර්තෘ මහානාම භික්ෂුවගෙනි. ශ්‍රී ලංකාවේ බහුත්වවාදී සහ ප්‍රජාතන්ත්‍රීය උරුමය විපතට හෙලූ මිථ්‍යාවන් තුනක් මහානාම හිමියන්ගෙන් සමාජගත වුණි. ඒවා නම්, පූජණීය භූමියක්, තෝරා ගත් ජනතාවක් සහ පුණ්‍ය යුද්ධයක් ය.”

 මාරාන්තික පටලැවිල්ල

දේශපාලනික කාරණා සම්බන්ධයෙනුත් සංඝයා වහන්සේ අධිකාරී බලයක් හොබවන තත්වයක් තුළ, අපේ පටලැවිල්ල මාරාන්තික ය. සංස්කෘතික සහ සමාජ පුරුෂාර්ථ සිරස් අතට සම්ප්‍රේෂණය කිරීම, මහින්ද රාජපක්ෂගේ ඒක-පුද්ගල දශකය තුළ ඔජ වඩමින් භාවිතයට ගැනුණු ආයුධයකි. විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍ය පරිවාරයේ සෑම බෞද්ධ ව්‍යාපෘතියකම පාහේ අනුග්‍රාහකයන් සහ අනුශාසකයන් වුණේ රාජපක්ෂ සහෝදරයන් ය. ඒ සිරස් සම්ප්‍රේෂණය, ජාන ආවේණියක් තරමටම ප්‍රබල ය.

සමාජ සමස්තය සිසාරා යන සංස්කෘතික විපර්යාසයන්, ආර්ථික සංවර්ධනය තුළින් සිදුවන බව කාල් මාක්ස් පෙන්වා දුනි. එයින් සියවස් එක හමාරක් ඇවෑමෙන්, සැමුවෙල් හටින්ටන්, සංස්කෘතික පුරුෂාර්ථ සමාජය කෙරෙහි නිරන්තරව සහ ස්වායත්තව බලපාන අන්දම සිය “ශිෂ්ටාචාරයන්හි ගැටුම” නැමැති කෘතියෙන්, පමණටත් වඩා සාක්ෂි සහිතව, උදක්ම පෙන්වා දෙයි.

රාජපක්ෂ වංශයේ සහ ‘පොහොට්ටු පක්ෂයේ’ ආගමික නියමුවා සහ අඬබෙරකරුවා වන්නේ මැදගොඩ අභයතිස්ස් හිමියන් ය. “පුංචි ඡන්දයෙන් ජනාධිපතිවරණයට- කළ යුත්තේ කුමක් ද?” මැයෙන් වූ පොතක් එළිදැක්වීමේ උත්සවයකදී, පොහොට්ටුව සඳහා වන ගුවන් මාර්ග සැලැස්ම ඉදිරිපත් කරමින්, “1956 දී කළා වගේ අපි ජාතික ව්‍යාපාරයක් ගොඩනගන්න ඕනේ.” යැයි උන්වහන්සේ කීහ.

1956 න් පසු අප බොහෝ දුරක් පැමිණ ඇත. ඒ ඓතිහාසික වසරේ සිදුවුණේ මහා පෙරළියක් බව ඇත්ත. එහෙත් උන්වහන්සේගේ මතකයට එන්නේ එම වෙනසේ නිෂේධනීය පැත්තයි. එහි සාධනීය පැත්තක් ද තිබුණි. පසු අවස්ථාවකදී පීටර් කේනමන් එය විස්තර කෙළේ මෙසේ ය: “1956 ජයග්‍රහණයෙන් පස්සේ සාමාන්‍ය මිනිස්සු පාර්ලිමේන්තුවට ඇවිත්, ඔවුන් තෝරා පත්කර ගත්ත නියෝජිතයෝ වාඩි වීමට නියමිත ඒ ආසන හරිම ආදරෙන් සහ භක්තියෙන් අතගෑව හැටි, ආයෙත් අපිට දකින්න ලැබෙන එකක් නැහැ.”

රාජපක්ෂ වරිගයේ රස්පුටින් අද මතකයට නංවන 56 නරක දේවල්වලින් පස්සේ ඇති වෙච්ච ව්‍යාකූලත්වය තිබුණත්, රට ප්‍රගතියක් අත්කර ගත්තේය. ආර්ථික සංවර්ධනය තුළින් සම්ප්‍රදායික සම්මතයන් සහ ආචාර ධර්මවලට බලපෑමක් කෙරෙන බව සාමාන්‍ය ඥානයට වැටහේ. එහෙත් ගෝත්‍රික භාවිතයෙන් එන සදා නොවෙනස් කල්පිතයන්, විශ්වාසයන් සහ භාවිතයන්, තාර්කික වූත්, ඉවසනසුළු වූත්, විශ්වසනීය වූත්, සහභාගීත්ව සලසන්නා වූත් බහුත්වවාදී සමාජ ක්‍රමයක් තුළ වියැකි යනු ඇති බවට වැරදි විශ්වාසයක් අප තුළ තිබේ.

සංස්කෘතික වෙනස, මාවත මත තීරණය වන්නකි. ඒ මාවත සකස් කරන්නේ කවුද? අපේ ශ්‍රී ලංකාවේ තවමත් ඒ බලය අභ්‍යාස කරන්නේ භික්ෂු ප්‍රජාවයි. කුලීකාර භික්ෂූන්ට ගැලපෙන වරදාන කවරේද යන්න පිරිසිඳ දැකීමේ භාග්‍යය මැදගොඩ අභයතිස්ස හිමියන්ට මහින්ද රාජපක්ෂ යුගයේ දී ලැබුණි. ඒ තත්වය යළි උදා කර ගැනීමට ඔහු දැන් තතනයි. ඒ පැකේජයට, රාජ්‍ය අනුග්‍රහයෙන් සැපයෙන ආරක්ෂක සේවාවක් සහ පැජරෝවක් වැනි තවත් දේවල් ඇතුළත් වූ බව දත යුතුය.

(2018 අප්‍රේල් 13 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Religionisation of Politics: Amour of the Authoritarian Personality නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

 

Back to Top