Sri Lanka Brief
පුවත්විවරණවිශ්වාසභංග යෝජනාව ගල උඩ සටනක් නොකළ යුතුය – සුනිල් ජයසේකර

විශ්වාසභංග යෝජනාව ගල උඩ සටනක් නොකළ යුතුය – සුනිල් ජයසේකර

by

ජායාරූපය: ගිජු ලිහිණියන් සූදානම්! ඔබ සූදානම්ද?

මෙම සතිය උදාවන්නේ ලාංකීය දේශපාලනයේ ඉතා තීරණාත්මක කඩඉමක් සනිටුහන් විය හැකි සිදුවීම් මාලාවකට ඉඩ කඩ විවෘත කරමිනි. සිදුවිය හැකි දේ තුළ විය හැකි අවසන් ප්‍රතිඵලය පිළිබඳව නිශ්චිතවම අනාවැකි කීමට නොහැකි වුවත් රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ඒ ගැන සිදුවන පුරෝකතනයන් හා වහසි බස් හමුවේ පැහැදිළිවම පෙනී යන්නේ සිදුවිය හැක්කේ කුමක් වුවත් එහි නියත ප්‍රතිඵලය තුළ අලුත් ආරම්භයක් සනිටුහන් වන බවය.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනය කොහොමටත් කැළඹිලි සහගතය. එය සමස්ත ඉතිහාසය පුරාවටම දැකිය හැකි සාමාන්‍ය තත්ත්වයකි. නිදහසින් පසු පළමු වසර පහ ඉක්මවීමටත් පෙර පාලක පක්ෂය තුළින්ම බේදී වෙන් වූ කණ්ඩායමක් අලුත් දේශපාලන පක්ෂයක් වටා ගොනු වෙමින් ඇරඹුනු දේශපාලන සුළි කුණාටු සෑම දශකයකටම වරක් හෝ සමාජය කළඹා තිබේ. හර්තාල්, කුමන්ත්‍රණ, කැරලි, විශ්වාසභංග යෝජනා, විදේශ මැදිහත්වීම්, දෝෂාභියෝග, යුද ගැටුම් වැනි සිදුවීම් දාමයක් එහිදී විද්‍යාමාන වේ.

විශේෂත්වය

එහෙත් ඒ සියල්ල අතරේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙවර ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව තුළ දැකගත හැකි විශේෂත්වයන් ගණනාවක්ම තිබේ. ඉන් ප්‍රධාන කරුණ වන්නේ මෙවර ඉදිරිපත්කර ඇති විශ්වාසංභංග යෝජනාවට රටේ නිල විපක්ෂය හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ප්‍රධාන පක්ෂ හා කණ්ඩායම් අඩු වැඩි වශයෙන් දායක වී තිබීමය. ඒ කෙසේ වෙතත් අප්‍රේල් මස 04 වනදා පාර්ලිමේන්තුව තුළ සිදුවිය හැක්කේ කුමක් වුවද එමඟින් ඇතිකරන බලපෑම ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට අදාළව මෙන්ම රටේ අනාගතයට අදාළව ද තීරණාත්මක වනු නියතය.

ඒ එසේ වන්නේ අන් කිසිවක් නිසා නොවේ. මෙවර ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ නිල යෝජකයන් වන ඒකාබද්ධ විපක්ෂය එමඟින් ඇතිකරන ඕනෑම ප්‍රතිඵලයක් සිය අනාගත දේශපාලන න්‍යාය පත්‍රය තුළ වටිනා ආයෝජනයක් ලෙස යොදා ගැනීමට සැලසුම් කළහැකි හෙයිනි. ඒකාබද්ධ විපක්ෂයට අනුව ඔවුන්ට තීරණාත්මක විය හැක්කේ 04 වනදා ඇතිකරන ප්‍රතිඵලය නොවේ. ඒකාබද්ධ විපක්ෂයට අනුව සැබෑ තරඟය පැවැත්වෙනු ඇත්තේ ඉන් පසුවය. අප්‍රේල් 04 වනදා ඔවුන් සිදු කරනු ඇත්තේ කාසියේ වාසිය උරගා බැලීමය. එහෙත් එහිදී මේ රටේ සබුද්ධික පුරවැසියන් තේරුම්ගෙන ඇති ප්‍රධානතම කරුණක් තිබේ. එනම් එදින පාර්ලිමේන්තුව තුළ ඒ උරගා බැලීමට ඉඩ කඩ ලබාදීම තුළ කාසිය කුමන පැත්තට වැටුණ ද එය තමන්ගේ ජයග්‍රහණයක් කර ගැනිමට ඒකාබද්ධ විපක්ෂය නියත වශයෙන්ම කටයුතු කිරීමට ඉඩ ඇති බවය.

අභියෝගය

ඒ අනුව සැලකීමේදී අවසාන වශයෙන් මෙම විශ්වාසභංග යෝජනාව තීරණාත්මක වන්නේ 2015 ජනවාරි 08 වනදා අපේක්ෂාවන් දල්වා ගත් ජනතා බලවේගයටය. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා යනු හුදු පුද්ගල සාධකයක් පමණි. එහෙත් ජනවාරි 08 වනදා ජනතා බලාපොරොත්තු සැලකිල්ලට ගැනීමේදී එය එසේ විය නොහැකිය. සත්‍ය වශයෙන්ම ගතවූ වසර 03 ක කාලය තුළ එකී අපේක්ෂාවන්හි සැලකිය යුතු ජයග්‍රහණයක් ලබාගෙන ඇත්නම් එය ලබාගෙන ඇත්තේ දින සියයේ වැඩපිළිවෙළ තුළ පමණකි. ඒ තුළ පවා දිනාගත් ඇතැම් විජයග්‍රහණ තුළ මෙවැනි දේශපාලනික අර්බුදයන් දීර්ඝ කාලීන කරලීමට අවශ්‍ය ඇතැම් මූල බීජ රෝපණය කර ඇති බවද අමතක කළයුතු නැත.

ඊට හොඳම උදාහරණය වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයයි. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම, විධායක ජනාධිපතිවරයාට අදාළව හිමිව තිබූ අත්තනෝමතික බලතළ සිීමා කිරීම, අධිකරණයේ ස්වාධීනත්වයට අදාළව ගනු ලැබූ ඇතැම් පියවර, ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වයකට විවර වී පැවති මාර්ගය අවහිර කිරීම වැනි සාධනීය කරුණු කාරණා ගණනාවක් ඒ තුළ සම්පූර්ණ වී තිබුණද ඝෘජු ජනතා වරමකින් බලයට පත්වන විධායකය හා ව්‍යවස්ථාදායකය නියෝජනය කරන අග්‍රාමාත්‍ය තනතුර අතර ගැටුමකට තුඩු දිය හැකි ඇතැම් විධිවිධාන කූට ලෙස ඊට අන්තර්ගත කර තිබීම තුළ ආණ්ඩුවේ අභ්‍යන්තරය තුළම ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබේ. එය සම්මුතිවාදී ආණ්ඩුවක තබා පිළිගත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට ද පටහැනි තත්ත්වයකි.

එවන් පරිසරයකදී රටේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නෛතික වශයෙන් මතුවන විශ්වාසභංග යෝජනාවක් වැනි අභියෝගයකදී ආණ්ඩුවේ පළමු වගකීම වන්නේ තම ශක්තිය පාර්ලිමේන්තුව තුළ උරගා බැලීම ම නොවේ. විශේෂයෙන්ම සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස එහිදී කළයුතුව ඇත්තේ ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව එක් කරගනිමින් ඇතිකරගන්නා සංවාදයක් හරහා මතුව ඇති අභියෝග හා ඒවාට මුහුණදීම සඳහා ගතයුතු පූර්ණ එකඟත්වයක් තුළ පොදු සම්මුතියකට එළැඹීමය.

ගතයුතු පියවර

එහෙත් අවාසනාවකට මේ දක්වා එවන් උත්සාහයක් දැකගත නොහැකිය. ඒ වෙනුවට එක් එක් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් අභ්‍යන්තරික වශයෙන් බලමුළු ගන්වමින් තමන්ගේම වන ආරක්ෂාව හා පැවැත්ම පිළිබඳව යම් අවධානයකින් සිටින ආකාරයක් දැකගත හැකි වුවත්. සම්මුතිබද්ධ ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම සඳහා ගතයුතු පියවර හා ඒ සඳහා ඇතිකරගත යුතුව ඇති එකඟත්වයකට සූදානම්වන බවක් නොපෙනේ. එහෙත් ඒ සඳහා ඉදිරි දින 03 වුවද හොඳටම ප්‍රමාණවත්ය. ඒ අනුව සම්මුතිබද්ධ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය ලබාදෙමින් සිටින එක්සත් ජාතික පක්ෂය අතර පමණක් නොව එක්සත් ජාතික පෙරමුණට අයත් අනෙකුත් සියලු පක්ෂ හා කණ්ඩායම් අතර ඒකාබද්ධ සංවාදයක් සිදුවිය යුතුව තිබේ.

එහිදී අවධානය යොමුකළ යුත්තේ විශ්වාසභංග යෝජනාවට මුහුණ දෙන ආකාරය පිළිබඳව පමණක්ම නොවේ. සම්මුතිබද්ධ ආණ්ඩුවේ පසුගිය ක්‍රියාකාරිත්වයට අදාළව මතු වූ දුර්වලතා පිළිබඳව මෙන්ම අසමත්වූ අවස්ථාවන් පිළිබඳව ද එහිදී පසුවිපරමක යෙදිය යුතුව තිබේ. එමෙන්ම තමන් බලයට පත්කරන ලද ජනතා බලවේගයන්හි අපේක්ෂාවන් සාර්ථක කර ගැනීමට ඉදිරි වසර එක හමාරක කාලය යොදාගත යුතුව ඇත්තේ කෙසේද යන්න පිළිබඳව ද මූලික එකඟත්වයක් ඒ තුළ ඇතිකරගත යුතුව තිබේ.

ගිජු ලිහිණියෙක් හා මාපිලෙක් මැද

ඒ සමඟම සියලු පාර්ශ්වයන් එහිදී අමතක කළයුතු නැති ඉතා වැදගත් කාරණයක් ද තිබේ. එනම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමකින් තීරණය කිරීමට අවස්ථාවක් උදා නොකිරීමය. පවත්නා දේශපාලන බෙදීම් තුළ විශේෂයෙන්ම එක් එක් පක්ෂ අභ්‍යන්තරයන්හි මෙන්ම බාහිර වශයෙන් ඇතිවී තිබෙන බෙදීම් සැලකීමේදී එවැනි අවස්ථාවක් උදාකිරීම යනු එය ගල උඩ කරන සටනක් වීමට බොහෝ ඉඩ කඩ ඇති නිසාය. අනෙක් අතට එවන් සටනක් සිදුවනු ඇත්තේ ද අහසේ සිට ඒ දෙස බලා සිටින ගිජු ලිහිණියෙකු හා සටන් බිමේ සැඟව සිටින ලේ මාපිලෙකු ද සිටින බිමකය. සතුරා විසින් නිර්මාණය කර ඇත්තේ එවන් සටනකි. එවැනි සටනක අවසන් ප්‍රතිඵලය කුමක් විය හැකිවුවත් නියත වශයෙන්ම එක් මළකඳක් හෝ ඔවුන් අතට පත්වීමට බොහෝ ඉඩ කඩ පවතී. අටවා ඇත්තේ එවන් උගුලකි. එය පහසුවෙන්ම විනාශ කළ නොහැකි උගුලක් වන විට සිදුකළයුතුව ඇත්තේ උගුල අටවන්නා එකී උගුලටම හසු කිරීම මිසක උගුල අසළට ගොස් එය විනාශ කිරීමට සූදානම් වීම නොවේ. උගුල අභ්‍යන්තරයට ගොස් සතුරා සමග සටන් කිරීම ද නොවේ. එම කරුණු සැලකිල්ලට ගැනීමේදී කළයුතුව ඇත්තේ ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන්ම සම්මුතියක් ඇතිකර ගනිමින් පාර්ලිමේන්තුව හමුවේ ඇති විශ්වාසභංග යෝජනාව නිශ්ක්‍රීය කිරීමය. සම්මුතිබද්ධ ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම ද ජනවාරි 08 ජනතා අපේක්ෂාවන්හි අනාගතය ද තීන්දු කරනු ඇත්තේ ඒ මතය.

සුනිල් ජයසේකර

Back to Top