Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගරාජ්‍ය නොවන සංවිධාන සංශෝධන පනත හරහා සිවිල් ව්‍යාපාර සංවිධානගතවීම, බලමුළු ගැන්වීම සහ විරෝධය පෑම දුර්වල කිරීම – රුකී ප්‍රනාන්දු

රාජ්‍ය නොවන සංවිධාන සංශෝධන පනත හරහා සිවිල් ව්‍යාපාර සංවිධානගතවීම, බලමුළු ගැන්වීම සහ විරෝධය පෑම දුර්වල කිරීම – රුකී ප්‍රනාන්දු

by

2018, පෙබරවාරි 20 වැනි දින, යහපාලන රජයේ නවතම මර්දනකාරී පනත් කෙටුම්පත සම්මත කර, ගැසට් කර, පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරන ලදී. එනම් 1980 අංක 31 (එල්. ඩී. ඕ. 32/2011) දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන සංශෝධන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය) පනත් කෙටුම්පතය. පුරුදු පරිදිම, මේ පනත කෙටුම්පත් කර ඇත්තේ කිසිදු මහජන අදහස් විමසීමක් නොකර හොර රහසේය. මා දන්නා තරමින්, මෙම පනත රජය විසින් ප්‍රසිද්ධ කර ද නැත. [1]

මේ පිළිබඳව මතු වූ විරෝධය හමුවේ මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර මාසයකට වැඩි කාලයක් ගත වී ඇති අවස්ථාවක, අමාත්‍ය මනෝ ගනේෂන් මහතා විසින් ප්‍රමාද වී හෝ, 2018  අප්‍රේල් මස 10 වැනි දින සිවිල් සමාජයේ අදහස් විමසීමක් කිරීමට පොරොන්දු වී ඇති අතර, මෙම අදහස් විමසීමේ නිරීක්ෂණ ලැබෙන තුරු එය ගැසට් නොකරන බවට සහතික වී ඇත.[2] මේ අමාත්‍යවරයා විසින්ම ගිය වසරේදී ප්‍රකාශ කළේ “මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීමට බරපතල හේතුවක්” තමන් නොදකින බව සහ ඔහුට ‘නියාමනය’ යන වචනය භාවිතා කිරීමට අවශ්‍ය නැති බවත්ය.[3]

මෙම කෙටුම්පතෙහි‍ මූලිකවම ප්‍රකාශිත අරමුණ නම් රාජ්‍ය නොවන සංවිධාන “නියාමනය, අධීක්ෂණය සහ පරික්ෂා කිරීමය”.  මෙය සිදු කරන්නට යන්නේ නම් නොකරන ලද අමාත්‍යාංශයක් යටතේ ඇති, මේ පනත මගින් නීත්‍යානූකූල කරන, “රාජ්‍ය නොවන සංවිධාන සඳහා ජාතික ලේකම් කාර්යාලය (මින් අනතුරුව ලේකම් කාර්යාලය ලෙස හැඳින්වෙන) ” හරහාය. මෙම ලේකම් කාර්යාලයට විමර්ශන සිදු කිරීමේ බලතල ඇති අතර, පොලිස් නිලධාරීන්ගේ කටයුතු භාර ගනී. ලේකම් කාර්යාලයට දී ඇති අතිවිශේෂ සහ අතිරික්ත බලතල හේතුවෙන් එක් රැස් වීමේ නිදහස, අදහස් ප්‍රකාශනයේ නිදහස, සිතීම, හෘදය සාක්ෂිය, විශ්වාසය සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිය සම්බන්ධ නිදහස  යන අයිතීන් උල්ලංඝනය වේ. මෙම කෙටුම්පත හරහා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට, භාර අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස අර්ථකථනය කර ඇති ඕනෑම කණ්ඩායමක් සම්බන්ධයෙන් පෙර නොවූ විරූ අත්‍යන්ත පාලන බලයක් ලබා දෙයි.  එය පැමිණෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන සඳහා දැනට ඇති වාර්තාකරණය සහ අනුමැතිය ලබා දීමේ අවශ්‍යතා යන සන්දර්භය තුළ, රාජ්‍ය නොවන සංවිධාන විසින් පළාත් පාලන නිලධාරීන්ට යටත්ව කටයුතු කරන ආකාරයට, දිස්ත්‍රික්කයන් හි සංස්කෘතියක් හා අපේක්ෂාවන් නිර්මාණයවි තිබීම තුළය.

 ස්වාධීන සිවිල් ව්‍යාපාර සංවිධානය සහ බලමුළු ගැන්වීමට පහර දීම සහ නීති විරෝධී කිරීම

මෙම කෙටුම්පත විසින් උත්සාහ කරන්නේ පුළුල් පරාසයක ක්‍රියාකාරී වන සාමූහිකයන් සහ කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන යන අර්ථකථනය තුළට හසු කර ගැනීම වෙන අතර [4], ඒ තුළින් ඒවායේ පැවැත්ම සඳහා, ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම සහ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වෙන අතර, එසේ නොවේ නම් නීති විරෝධී වීමට බල කරයි. එහි ඇත්තේ ව්‍යතිරේකයන් කිහිපයක් පමණි.[5] මෙම නිර්වචනය සහ අනිවාර්ය ලියාපදිංචිය සහ අනුමැතිය ලබා ගැනීම හරහා තම සාමාජිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වැඩ කරන කණ්ඩායම්, පුද්ගලයින් විධිමත් හා අවිධිමත් ලෙස කණ්ඩායම් ගත වීම්, ආධාර ලබා ගන්නා හෝ ස්වේච්ඡාවෙන් වැඩ කරන සමාජ ව්‍යාපාරයන්, සමාජ ව්‍යවසායකත්ව ප්‍රවේශයන් සහිත තාවකාලික හෝ ස්ථිර කණ්ඩායම්, මහජන-පෞද්ගලික හවුල්කාරීත්වයන් ආදිය ලේකම් කාර්යාලයේ පාලනයට හෝ නීති විරෝධී ඒවා බවට හරවනු ලබයි.  මේ හරහා නිදහස් ලෙස සංවිධාන ගත වීම සහ බල මුළු ගැන්වීමේ කටයුතුවලට පහර වැදෙන අතර, මේ හේතුවෙන් ස්ත්‍රී පුරුෂසමාජභාවය සහ ලිංගිකත්වය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි අසාධාරණ නීති ඉවත් කිරීමට හෝ වෙනස් කිරීම වෙනුවෙන් හඬ නගන කණ්ඩායම් අතිශය අවදානම් තත්වයකට පත් කරයි.

ප්‍රායෝගිකව, මෙම පනත් කෙටුම්පත සම්මත වුව හොත්, දැනට පවතින සිවිල් ව්‍යාපාර වන පුරවැසි බලය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය (NMJS), ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයින් (LfD),දෙමළ සිවිල් සමාජ සංසදය ( TCSF), ශිෂ්‍ය ව්‍යාපාර, ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය (PARL), වරාය නගරයට එරෙහිව ජනතා ව්‍යාපාරය, කාන්තා ක්‍රියාකාරි ජාලය (WAN), අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධාන ආදිය මෙම ලේකම් කාර්යාලයේ පාලනයට නතු වීම හෝ නීත්‍යානුකූල නොවන සංවිධාන බවට පත්වීම සිදුවිය හැකිය. රාජපක්ෂ රෙජීමය සමයේදී, අමාත්‍ය මනෝ ගනේෂන් හා අනෙකුත් අය විසින් ආරම්භ කළ “සිවිල් අධීක්ෂණ කොමිසම (Civil Monitoring Commission)”, ප්‍රේමදාස පාලන සමයේදී  මංගල සමරවීර ඇමතිතුමා සහ අනෙකුත් අයගේ නායකත්වයෙන් ඇති කළ මව් පෙරමුණ සහ අතීතයේ පැවැති එවැනි සමාජ ව්‍යාපාර වෙන එප්පාවල පොස්පේට් නිධිය ආරක්ෂා කිරීම සඳහා වූ ව්‍යාපාරය, අන්තර්-වාර්ගික යුක්තිය සහ සමානාත්මතාවය සඳහා වූ ව්‍යාපාරය (MIRJE) සහ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරු – යාපනය (UTHR-Jaffna) වැනි සමාජ ව්‍යාපාර එවැනි පාලනයන්ට යටත්වීමට එකඟ වන්නට ඇත්ද?

අත්තනෝමතික ලියාපදිංචියඅත්හිටුවීම්අවලංගු කිරීම් සහ අභියාචනා සඳහා ඇති සීමිත ඉඩකඩ

මෙම පනත් කෙටුම්පත යටතේ, ලියාපදිංචිය (සහ එමගින් නීත්‍යානුකූලභාවය) රඳා පවතින්නේ, ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ, “සංවිධානය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ක්‍රියාකාරකම්වලට වගකිව යුතු” අමාත්‍යාංශ හෝ අධිකාරීන්ගේ අභිලාෂයන් සහ මනාපයන් මත ය. ලියාපදිංචිය ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වෙන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දින 30 ක් ඇතුලත අභියාචනා ඉදිරිපත් කළ යුතු වේ.

ලියාපදිංචිය අත්හිටවීම හෝ අවලංගු කිරීම (එමගින් එම සංවිධානය නීති විරෝධී බවට පත් කිරීම) හේතු ගණනාවක් සම්බන්ධයෙන් සිදු කළ හැකිය. මේ හේතු අතරට, එම සංවිධානය ජාතික ආරක්ෂාවට හෝ පොදු යහපතට තර්ජනයක් හෝ හානියක් වන බවට අධ්‍යක්ෂ ජනරාල්වරයාට හැඟී යාම ඇතුළත්ය. එසේම අමාත්‍යාංශ ලේකම්වරයාට මෙම සංවිධානය ජාතික අවශ්‍යතාවයන්ට පටහැනිව කටයුතු කරන බවට හැඟී යයි නම්, එහි ලියාපදිංචිය අවලංගු කළ හැකිය.  මෙම නියමයන් කිසිවක් පැහැදිලිව අර්ථ දක්වා නැති අතර, දින 30 ක ඉතා කෙටි කාලසීමාවක් තුළ පළාත් මහාධිකරණවලට පමණක් අභියාචනා ඉදිරිපත් කළ හැකිය.

සිවිල් කණ්ඩායම්වල මතවාදී හා භෞතික ස්වාධිපත්‍යයට පහර දීම

යෝජිත පනත මගින් අදහස් කරන්නේ රජය විසින් නිර්වචනය කර ඇති රටේ “පොදු සංවර්ධන අවශ්‍යතා” සම්බන්ධයෙන් සිවිල් කණ්ඩායම් එකඟ විය යුතු බවයි. මෙය බොහෝ විට පොහොසත් අයට වැඩි වාසියක් සලසන, වෙලඳපොලවාදී හා සහභාගීත්ව නොවන රජයේ සංවර්ධන ආකෘතිය අභියෝගයට ලක් කරන කණ්ඩායම් කොන් කිරීමට ලක් කිරීමකි. එසේම මෙම පනත විසින් කණ්ඩායම්වල ස්වාධිපත්‍යය හා අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ ව්‍යවහාරයන් උල්ලංඝණය කරන්නේ අරමුණු වෙනස් කිරීම, වැඩ කරන භූගෝලීය ප්‍රදේශ වෙනස් කිරීම,  ශාඛා පිහිටු වීම, කණ්ඩායම් ව්‍යවස්ථාවේ වෙනස් කම් කිරීම, වෙනත් කණ්ඩායම් සහ රජය සමග සහයෝගය, ජාලගත වීම සහ සංධානගත වීම් ඇති කර ගැනීම, සේවා ප්‍රමිතීන්, ආර්ථික සහ ප්‍රතිපත්ති කළමණාකරණය, වෙනත් කණ්ඩායම්වලට ආධාර ලබා දීම, මහජනතාවගෙන් අරමුදල් රැස් කිරීම, නම වෙනස් කිරීම, ලිපිනය වෙනස් කිරීම, කොඩිය, සලකුණ, නිල ලාංඡනය ආදිය වෙනස් කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් මැදිහත්වීමේ සහ අවසාන තීරණය ගැනීමේ බලය තබා ගැනීම තුළිනි.  එසේම කාර්ය මණ්ඩලය හා ස්වේච්ඡා සේවකයින් පිළිබඳ තොරතුරු ඔවුන් ආයතනය හැර ගොස් වසර 6ක් දක්වා ලේකම් කාර්යාලයට ලබා ගත හැකිය.

ලේකම් කාර්යාලයට සාමාන්‍ය පොලිස් බලතලවලින් ඔබ්බට බලය

සාමාන්‍ය නීතිය තුළ, පොලිසිය යම් ස්ථානයකට ඇතුළු වීමට හා සෝදිසි කිරීමට, පොත්, ලේඛන හෝ සටහන් පොත් පරීක්ෂා කිරීමට, පිටපත් සහ උපුටා ගැනීම් සිදු කිරීම සඳහා වරෙන්තුවක් අවශ‍්‍ය වේ. එහෙත් මෙම කෙටුම්පත විසින් ලේකම් කාර්යාලයට එවැනි කටයුතු නිදහසේ කිරීමට ඉඩ සලසන අතර, කිසියම් නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු වෙන බවට සාධාරණ සැකයක් සම්බන්ධයෙන් පැහැදිලිව නිර්වචනය කළ නිර්ණායක පවා නොමැත. “තොරතුරු ඉල්ලීම සහ ලබා ගැනීම” සඳහා බලයක් යන්නෙන් අදහස් කෙරෙනුයේ, “ඉල්ලීම්” සඳහා පමණක් නොව, “ලබා ගැනීම” සඳහා ලේකම් කාර්යාලයට බලය ඇති බැවින්,ලේකම් කාර්යාලයෙන් කෙරෙන “ඉල්ලීම්” සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි. පොලිස් දෙපාර්තමේන්තුව වෙත තිබිය යුතු මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී මුදල් සැපයීම විමර්ශනය කිරීමේ බලය ද මෙම ලේකම් කාර්යාලය වෙත ඇත.

බැංකුකරණයේ රහස්‍යභාවය උල්ලංඝණය කිරීම

සාමාන්‍ය නීතිය යටතේ, පොලීසිය අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී, බැංකුවලින් තොරතුරු අවශ්‍ය වන්නේ නම්, එහිදී නිශ්චිත සාධාරණීකරණයක් සැපයිය යුතු අතර, තොරතුරු නිදහස් කිරීමට බැංකුවලට නියෝග නිකුත් කරනු ලබන්නේ අධිකරණයක් විසින් පමණි. එහෙත් මෙහිදී රාජ්‍ය නොවන සංවිධාන කටයුතුවල නිරතව සිටින පුද්ගලයන් සහ ආයතන දෙවන පෙළ පුරවැසියන් ලෙස සලකමින්, කිසිදු සාපරාධි චර්යාවකට සම්බන්ධ බවට සඳහනක්වත් නොමැතිව, පනත් කෙටුම්පත විසින් බැංකු තොරතුරුවල රහස්‍යභාවය බිඳීමට ලේකම් කාර්යාලය වෙත බලය පවරා ඇත.

 මෙම පනත් කෙටුම්පත මගින් රු. මිලියන 1 කට වැඩි බැංකු තැන්පතු සහ ඉලෙක්ට්‍රොනික අරමුදල් මාරු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් පනවන ලද මුදල් ප්‍රමාණයකට වඩා සියලු ගනුදෙනු පිළිබඳ විස්තර ලේකම් කාර්යාලයට දැනුම් දීමට බැංකුවලට බල කරයි.  රාජ්‍ය නොවන සංවිධාන ලෙස අර්ථකථනය කරන ලද කණ්ඩායම් සම්බන්ධයෙන් මෙවැනි පාලනයක්, ප්‍රාග්ධන ගලනය ලිබරල්කරණය කිරීම සඳහා වන රජයේ ප්‍රතිපත්තියට පටහැනි වෙන අතර, නව විදේශ විනිමය නීතිය යටතේ [6], විදේශ රටවල ඇති ප්‍රකාශ නොකළ මුදල් ප්‍රමාණයක් ඩොලර් මිලියනය දක්වා කිසිදු දඩුවමකින් තොරව ලංකාවට රැගෙන ආ හැකි අතර, ඊට වඩා වැඩි මුදලක් වේ නම් 1%ක ගාස්තුවක් යටතේ මෙරටට රැගෙන ආ හැකිය. මෙයින් මහ බැංකුව විසින් රටට අරමුදල් ගලා යාම සම්බන්ධව සිදු කරන අධීක්ෂණයට අමතරින් අවශ්‍ය පමණටත් වඩා අතිරේක ස්ථරයක් රාජ්‍ය නොවන සංවිධාන ලෙස අර්ථකථනය කරන ආයතන සම්බන්ධයෙන් පමණක් පවත්වාගෙන යාමට මෙම පනත ඉඩ සලසයි.

පුළුල් සහ අපැහැදිලි ලෙස අර්ථදැක්වූ “රාජ්‍ය නොවන සංවිධාන අපරාධ”

පනත් කෙටුම්පත විසින් “පනත යටතේ වැරදි” පරාසයක් නිර්මාණය කරන අතර, මේවායින් සමහරක් පුළුල් ලෙස හා අවිනිශ්චිත ලෙස අර්ථ දක්වා ඇත්තේ අපයෝජනයන්ට ඉඩ ලබා දෙමිනි. වැරැදි අතරට ලියා පදිංචි නොවීම අඩංගු වෙන අතර, මේ හරහා එක් රැස්වීමේ නිදහස, සහ “ස්වේච්ඡා දැනුම් දීම” සම්බන්ධ මූලධර්මය උල්ලංඝණය වේ. තොරතුරු සඳහා කරන සරල ඉල්ලීමක් සඳහා වුවද, ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් රු. 250,000 ක දඩයකට හෝ අවුරුද්දක සිර දඬුවමකට යටත් විය හැකි අතර, මෙයින් අතිශයින් බියකරු මානසිකත්වයක් නිර්මාණය කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇත.නිශ්චිත නොවීම යන කාරණය නීතියේ ආධිපත්‍යයේ මූලධර්මයට පටහැනිය.  පරිපාලනමය වශයෙන් නිවැරැදි කරනු ලැබිය හැකි කටයුතු අපරාධකරණය කිරීමේ කුහකභාවය, අතිශයින් පැහැදිලි වන්නේ විනිමය පාලන පනත, ඒ වෙනුවට ආදේශ කරන ලද විදේශ විනිමය පනත (FEA) සමග සංසදනය කරන විටය (‘පාලනය’ යන්න ඉවත් කරමින් නාමකරණයේ සිදු වෙන වෙනස සලකන්න). එය “විනිමය පාලන උල්ලංඝණය කිරීම් අපරාධයක් ලෙස සැලකීම ඉවත් කරමින්, මර්දනකාරී නීති විධිවිධානවලින් පුරවැසියන් නිදහස් කරගත් නීතියක් ලෙස විස්තර කරන ලදී. නව කළමණාකරණ පද්ධතිය  ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම පැවරී ඇත්තේ පනත යටතේ සාපරාධී හෝ සිවිල් ක්‍රියා මාර්ගයකට යටත් නොවන බලයලත් වෙළඳුන්ට යි. ඒ වෙනුවට, ඔවුන්ව හික්මවනු ලබන්නේ පරිපාලනමයට ක්‍රියාවලියක් මගිනි “[7].

 “ආණ්ඩුව” සහ “රාජ්‍ය නොවන” අතර බොඳ වෙන ඉරි

මෙම කෙටුම්පත  එහි අන්තර්ගතයෙන්ද, ඉදිරිපත් කිරීමේ අරමුණින් ද, උත්සාහ කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන (NGO), රජය විසින් පාලනය කරන රාජ්‍ය නොවන සංවිධාන (GONGO) බවට හැරවීමටයි. මෙයින් රාජ්‍ය-නොවන කණ්ඩායම් මූලික වශයෙන් ඒවායේ සාමාජිකයන්ට සහ ඔවුන් රැගෙන යන වටිනාකම්වලට, අරමුණු කර ගත් සේවා දායකයන්ට සහ ආධාර ලබා දෙන්නන්ට වග විය යුතු කණ්ඩායම් වෙනුවට ඒවායේ මූලික වග වීම සිදු විය යුතුව ඇත්තේ ආණ්ඩුවට බවට හැරවීම සිදුවෙ. එවැනි කණ්ඩායම් විසින් අධීක්ෂණය කරනු ලැබීමට, විවේචනය කිරීමට සහ අභියෝගයට ලක් කිරීමට ලක් කරනු ලබන රජය සහ ඔවුන් අතර පැහැදිලි වෙනසක් තිබිය යුතු බව මෙහිදී නොසලකා හැර ඇත.

එවැනි කණ්ඩායම්වලට සම්බන්ධ පුද්ගලයින් නීතියට ඉහළින් සිටිය යුතු නොවේ – මූල්‍ය අක්‍රමිකතා, ලිංගික හිංසනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස්කම් කිරීම් හා සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වැනි ගැටළු ආණ්ඩුවේ ආයතන සහ පෞද්ගලික අංශයේ මෙන්ම මෙම ආයතන තුළ ද සිදු වේ. නමුත් මෙවැනි කාරණා සියලුම දෙනාට අදාළ වෙන සාමාන්‍ය නීතිය යටතේ ආමන්ත්‍රණය කළ හැකිය. ආයතන හෝ පුද්ගලයන් දඩයම් කිරීමට යොදා ගැනීමේ ඉහළ ප්‍රවණතාවක් ඇති, “රාජ්‍ය” සහ “රාජ්‍ය නොවන” යන දෙක අතර වෙනස බොඳ කරන, රජය අභියෝගයට ලක් වෙන බව දැනිය හැකි සිවිල් ව්‍යාපාර නිදහස් ලෙස සංවිධානය වීම, බලමුළුගැන්වීම දුර්වල කරන, අතිශය ආක්‍රමණශීලී සහ එක් කොට්ඨාශයකට වෙනස් ලෙස සලකන නීති යොදා ගැනීම නොකළ යුතුය.  මුදල් විශුද්ධිකරණය සහ වෙනත් සාපරාධී ක්‍රියාවන් සම්බන්ධ නීතිමය රාමුව සැමට පොදු එකක් විය යුතු අතර, අසාධාරණ සහ අසමාන මට්ටමින් රාජ්‍ය නොවන සංවිධාන ඉලක්ක කර ගැනීම යුතු නොවේ.

මෙම පනත් කෙටුම්පත ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කිරීමේ කිසිදු ප්‍රයෝජනයක් නැත. එයට සම්පූර්ණයෙන් විරුද්ධ විය යුතුය. අපට අතිරේක නීතියක් අවශ්‍ය නම්, එය එක් රැස්වීමේ නිදහස ප්‍රවර්ධනය කරන “එක්රැස්වීමේ  නිදහස සම්බන්ධ පනතක්” විය යුතුය. ලියාපදිංචි වීම “ස්වේච්ඡා දැනුම් දීමේ” ප්‍රතිපත්තිය මත පදනම් විය යුතුය. “රාජ්‍ය නොවන/සිවිල්” කණ්ඩායම් ආණ්ඩුවේ ඉත්තන් බවට පත්කරන එකක් නොවිය යුතුය.

 2018 මාර්තු මස 22 වැනිදා ග්‍රවුන්ඩ් වීව් වෙබ් අඩවියේ http://groundviews.org/2018/03/22/crippling-civic-organising-mobilising-and-resistance-through-draft-ngo-act-amendment/ පළවූ “Crippling civic organising, mobilising and resistance through Draft Amendment to the Act on NGOs” නම් ලිපියේ පරිවර්තනයකි. 

පරිවර්තනය දමිත් චන්දිමාල්, කතෘවරයා විසින් නීතිඥ එර්මිසා ටීගල් විසින් ලබා දුන් අදහස් සහ එකතු කිරීම් සම්බන්ධයෙන් කෘතඥතාවය පළ කරයි.

[1] නමුත් මේ පනත් කෙටුම්පතෙහි භාෂා තුනෙන්ම පිටපත් අදාළ ක්‍රියාකාරීන් විසින් අප්ලෝඩ් කර ඇත, මේ ලින්කයේ ඇත at https://drive.google.com/file/d/1HQJTYaXMBzrMFVkABruRnW53WdrwU8ES/view?usp=sharing(English), https://drive.google.com/file/d/1jlZw5mhi5hnHtDZfv-C6nGeeouU7834s/view?usp=sharing (Sinhala) and https://drive.google.com/file/d/1ngRI7i-R-RlglZxsFlykZZRM09lGQp1r/view?usp=sharing (Tamil)

[2] https://twitter.com/ManoGanesan/status/976728773386158080

[3] මනෝ ගනේෂන් විසින් කළ ප්‍රකාශය 1st July 2017

[4]  කිසියම් සංගමයක්, සභාවක්, සමාජයක්, භාරකාර මණ්ඩලයක්, පදනමක්, සම්මේලනයක්, සමාජ ව්‍යාපාරයක්, මධ්‍යස්ථානයක්, ආයතන එකමුතුවක්, සමාගමක්, වගකීම් සීමිත සමාගම්, ලාභ නොලබන ක්‍රියාකාරකම් සඳහා විදේශ අරමුදල් ලබන පෞද්ගලික ආයතන, ඕනෑම ලිඛිත නීතියක් යටතේ හෝ  පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ සංස්ථාගත කර ඇති ඕනෑම ආයතනයක්  හෝ වෙනත් ඕනෑම පුද්ගලයන්ගේ සංගමයක්, වෙනත් රටවල ලියාපදිංචි කර ඇති සංවිධානවල ශාඛාවන් අයිති වේ.

[5] ව්‍යතිරේකයන් සඳහා සඳහන් කර ඇති උදහාරණ වන්නේ ආගමික ස්ථාන, බැංකු, සමාගම්, පාසැල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ එවැනි සංවිධාන වේ.
[6] විදේශ විනිමය පනත 2017 අංක 12

[7] හිටපු නියෝජ්‍ය මහබැංකු අධිපති ඩබ් ඒ විජේවර්ධන විසින් කළ ප්‍රකාශය, සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ පළ වූ ‘Exchange control will become obsolete – Economist’, නමැති ලිපියේ ඇති පරිදිය.at http://www.sundayobserver.lk/2017/12/03/exchange-control-will-become-obsolete-economist 

Back to Top