Sri Lanka Brief
පුවත්විවරණමහින්ද, රනිල් සහ මහ චිත්‍රය – සරත් ද අල්විස්

මහින්ද, රනිල් සහ මහ චිත්‍රය – සරත් ද අල්විස්

by

කාටූනය: ජී. ඇල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල හෝ දිනේෂ් ගුණවර්ධන කියන දේවල් ටිකක් අහන්න!

අතුරු කතාවක එල්ලීමෙන් මහ කතාව මගහැරෙන බවට පැරණි චීන කතාවක් තිබේ. මේ ලිපිය ඒ මහ කතාව ගැන ය.

මහින්ද රාජපක්ෂ පිළිබඳ සංසිද්ධිය අපට පමණක් විශේෂිත නැත. මානව ඉතිහාසය තුළ මෙවැනි කොතෙකුත් මිනිස්සු උන්හ. ප්‍රංශ දේශපාලනික දාර්ශනික එතියන් දෙ ලා බොඑතී සිය ජීවිත කාලයම ගතකොට ඇත්තේ, මහින්ද රාජපක්ෂ පන්නයේ ප්‍රජා පීඩකයන් පිළිබඳ අධ්‍යයනයන් සඳහා ය. මෙවැනි ප්‍රජා පීඩකයන්ගේ විශේෂත්වය වන්නේ, ඔවුන් ප්‍රජා පීඩනයේ යෙදෙන්නේ, ප්‍රජාවගේ කැමැත්තෙන්ම වීමයි. ඒ අරභයා, ඉහත කී ප්‍රංශ දේශපාලනික දාර්ශනිකයා, “අවනත භාවයේ දේශපාලනය: ස්වේච්ඡා දාස භාවය පිළිබඳ කතිකාව” මැයෙන් අග්‍රගන්‍ය කෘතියක් සම්පාදනය කෙළේය.

ජී. ඇල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල හෝ දිනේෂ් ගුණවර්ධන කියන දේවල් ටිකක් අහන්න: මේ අය, ‘රත්තරං’ රෝහිත හෝ ‘එතනෝල්’ අරුන්දික වැනි මැරවර තක්කඩියන්ගෙන් වෙනස් ය. ඔවුන්, සෑහෙන අධ්‍යාපනයක් සහ යම් පරිචයක් සහිත පිරිසකි. 1550 දී මේ ගැන ලියන ඉහත කී ප්‍රංශ දාර්ශනිකයා ඔවුන්ගේ පරපුටු සනුහරය ගැන මෙසේ විස්තර කරයි:

“ප්‍රජා පීඩකයන් රටවැසියන්ව යටත් කරගෙන සිටින අතර ඔහු ඉන් සමහරෙකු යටත් කරගන්නේ තවත් අය මාර්ගයෙනි. මේ ආකාරයට, යමෙකු විනීත මිනිසෙකු වීම නිසා යම් විටෙක තමාට තර්ජනයක් වීමට ඇති ඉඩකඩ, මේ ප්‍රජා පීඩකයා මගහරවා ගන්නේ එම විනීත මිනිසුන් මාර්ගයෙන්මයි. එය හරියට, ලී කොටයක් පලා ගැනීමට ලී කූඤ්ඤයක්ම පාවිච්චි කරන්නාක් මෙනි. ඔහුගේ දුනුවායෝ ඔවුහූ ය. ඔහුගේ රැකවල්ලු ඔවුහූ ය. ඔහුගේ පොරෝ-භටයෝ ඔවුහූ ය. ඔවුනුත් මේ ප්‍රජා පීඩකයාගෙන් ඉඳහිට නොවිඳවනවා නොවේ. එහෙත්, දෙවියන් විසින් සේම මනුෂ්‍යයන් විසින් ද අත්හරින ලද මෙවැනි රොඞ්ඩු, නපුර යෙදවෙන්නේ තමන්ට එරෙහිව නොව, තමන් සේම ඊට අවනත වන සහ කිසිවක් කරකියාගත හැකි දෙයක් නැති වෙනත් අයට එරෙහිව නම්, ඒ නපුර ඉවසා දරා සිටීමට නම්මවා ගත හැකිය.”

ඒ කාලයේ මකියාවෙල්ලිගේ නරුම යථාර්ථවාදය සේම, සමහර විට අපේ කාලයේ ආචාර්ය දයාන් ජයතිලක වැන්නන්වත් ප්‍රශ්න කරන ප්‍රංශ දාර්ශනිකයා, අපේ අසමත් වූ හෝ අසමත් වෙන ගානට වැටී ඇති යහපාලන චාරිකාවට මගහැරී ඇති නෛතික පරමාදර්ශවාදයේ ලුණු ඇඹුල අපට කියාදෙයි.

සාමාන්‍යයෙන් මිනිසුන් කැමැත්තක් දක්වන්නේ සාධාරණ අන්දමින් පාලනය වීමට ය. තනි මිනිසෙකු හෝ ඔහුගේ සහෝදරයන් හෝ පවුල් සාමාජිකයන් විසින් හිතුමතේට පාලනය වනු ලැබීමට මිනිසුන්ගේ කැමැත්තක් නැත. එහෙත් විටෙක යුද්ධයක් නිසා ඇති විය හැකි අස්ථාවර භාවයන් හේතුකොටගෙන, එවැනි ආපදාවක් ජය ගැනීමට හැකියාවක් ඇතැයි තමන් විශ්වාස කරන තනි මිනිසෙකුගේ නායකත්වයක් ඔවුන් අපේක්ෂා කළ හැකිය. ඊළඟ ප්‍රශ්නය පැන නගින්නේ එම පුද්ගලයාගෙන් නිදහස් වීමට යාමේදී ය. ඊශ්‍රායල් වැසියෝ සාවුල්ව තෝරා ගත්හ. අපි මහින්ද රාජපක්ෂව තෝරා ගත්තෙමු.

ප්‍රජාතන්ත්‍රවාදයේ මහා කොල්ලය

මෙවැනි යුද කාලීන හදිසි තත්වයන් යටතේ ජනතාවක් විසින් ඒකාධිපතියන් සේ තෝරා පත්කර ගන්නා ඇතැම් පුද්ගලයන්ට, ජනතාව කෙරෙහි වන තම බලය සනාතන කර ගැනීමට ලැබෙන අවස්ථාව තුළ, රැවටිල්ලත්, ප්‍රජාතන්ත්‍රවාදයේ මහා කොල්ලයත් බිහි වන්නේය. පීල්ලට වැටුණු සැණින් යකඩ යකා ඉදිරියට ඇදෙයි. ජන-තන්ත්‍රය මියැදෙයි. සියල්ල ස්වාමියාට අයත් වෙයි. කලිග්‍යුලා නැමැති රෝම අධිරාජයා, ඉන්කිටාටුස් නැමැති සිය අශ්වයාව රාජ-ධූතයෙකු බවට කෙළේය. කලිග්‍යුලාට පිස්සු යැයි ඇතැම්හු සිතූහ. නැත, ඔහුට තිබුණු පිස්සුවක් නැත. අශ්වයාව එම තනතුරට පත්කිරීමෙන් ඔහු කෙළේ, සෙනේට් සභාවට දේශපාලනික නිවේදනයක් නිකුත් කිරීමයි. තමා ආශා කරන ඕනෑම දෙයක් තමාට කළ හැකි බව, එම නිවේදනය තුළ අඩංගු පණිවිඩයයි.

කාලයක් බලයේ සිටින පිරිසක් කෙරෙහි ජනතාව තුළ සාමාන්‍යයෙන් හටගන්නා අමිහිරි භාවයත්, ඊටත් උඩින් ජනතා අපේක්ෂා භංගත්වය කෙමෙන් වැඩීමත් දක්නට ලැබෙන තෙවසරක යහපාලන අත්දැකීම තුළ, කලිග්‍යුලා වැන්නෙකු අපටත් යම් දවසක සිටි බව දැන් අපට අමතකව තිබේ. රෝම අධිරාජයාට වඩා හොඳට ඔහු ඒ කෙරුවාව කෙළේය. ඔහු උදයංග මස්සිනාව රුසියාවේ තානාපති කෙළේය. ජාලිය මස්සිනාව වොෂින්ටනයට යැව්වේය.

 පවුල්-මූලික චෞර තන්ත්‍රය යළි?

සත්‍යයේ පුංචි පතුරකට අපේ චින්තනය අරක් ගැනීමට ඉඩ හැරියොත්, මහා චිත්‍රය අපෙන් ගිලිහෙනු ඇත. අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගය වැනි ගසක් ගැන ලෝලයෙන් අප කැලෑවට අන්ධ විය යුතු නැත. මහා චිත්‍රයේ ඓක්‍යයත්, සාරයත් වන්නේ, මහින්දගේ අගමැති ධුරයක් යටතේ හෝ ගෝඨාභයගේ ජනාධිපති ධුරයක් යටතේ පවුල්-මූලික චෞර තන්ත්‍රය යළි ප්‍රාදුර්භූත වීමයි.

2015 ජනවාරි 8 වෙනසේ අභිප්‍රාය වුණේ, නීතියේ ආධිපත්‍යය යළි පිහිටුවීමයි. අප එසේ කොට ඇත් ද? ඒ ගැන පුහුදුන් ජනයා සිටින්නේ මහත් විචිකිච්ඡාවක ය. එදා ජෙනරාල්වරයෙකු සිරගත කෙරුණි. අනතුරුව ඔහුව ෆීල්ඞ් මාර්ෂල්වරයෙකු බවට පත්කෙරුණි. නීතියේ ආධිපත්‍යය පිළිබඳ අර්ථයෙන් අප එය විග්‍රහ කරන්නේ කෙසේද? ඔහුට එරෙහිව එදා පැවති හමුදා අධිකරණය, ස්වාභාවික යුක්ති ධර්මය පිළිබඳ ප්‍රතිපත්තිය අනුගමනය කෙළේද? යුද අධිකරණයක් යනු, ලංකාවේ අධිකරණ පද්ධතියේම කොටසක් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයයි. රාජපක්ෂලා පැණි හට්ටිය අතට ගත්තොත්, අපේ පළමු ෆීල්ඞ් මාර්ෂල්වරයාට යළිත් ජම්පරය අන්දවයිද? අපි තවමත් නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කොට තිබේද? ඒ ගැන ඇත්තේ සියුම් සැකයකි. අප යම් ප්‍රගතියක් ඇති කරගෙන සිටින බව සැබෑව. එහෙත් අවශ්‍ය දුර අප ගොස් තිබේද?

නීතිඥ සංගමයේ සතුට

පරීක්ෂණ පැවැත්වෙයි. ඒ පරීක්ෂණවලට ලක්වන අයට, අධිකරණය හරහාම තම මූලික අයිතිවාසිකම් හුවාදක්වමින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන තහනම් නියෝග ලබා ගැනීමට නිදහස තිබේ. තවත් චූදිතයෝ නඩු වැටී බලා සිටිති. ඉස්සර මෙන් නොව, මේ චූදිතයෝ දැන් ඇප මත නිදහස්ව සිටිති. ඉන් ඇතැමෙක් අසනීප වෙති. ඒ අසනීපවලට ප්‍රතිකාර ගත හැක්කේ පිටරටින් පමණක් බව කියති. සාධාරණ සැකයකින් තොරව වැරදිකරුවෙකු යැයි ඔප්පු කෙරෙන තෙක් කිසිවෙකු වැරදිකරුවෙකු නොවේ. මේ සාධාරණ සැකය පිළිබඳ පැහැදිළි කිරීමක් අවශ්‍ය කෙරේ.

තමාගේ සේවාදායකයා විසින් ඝාතනය කළා යැයි කියන පුද්ගලයා දැන් උසාවිය තුළට එන බව විත්තියේ නීතිඥයා වරක් ජුරියට කීවේය. ඝාතනයට ලක්වූ පුද්ගලයාට සමාන කමක් ඇති මෙම පුද්ගලයා දැකීමෙන් ජුරිය තිගැස්සුණි. විත්තියේ නීතිඥයා අනතුරුව තර්ක කළ පරිදි, ජුරිය එක මොහොතකට හෝ එසේ ව්‍යාකූලත්වයට පත්වීමෙන් ඔප්පු කෙරුණේ, ඝාතනය පිළිබඳ යම් සැකයක් පැවති බවකි. ඒ අනුව, තමන්ගේ සේවාදායකයා නිදොස් විය යුතු බව ඔහු පෙන්වා දුනි. අපේ නීතිඥ සංගමයේ සභාපතිවරයාට මෙය සතුට දනවන්නක් වනු ඇත.

වොෂින්ටනයට සහ මොස්කව් නුවරට මහින්ද යැවූ ඔහුගේ මස්සිනාලා දෙන්නාම රජයට වංචා කිරීම පිළිබඳ චෝදනාවට ලක්ව සිටින අතර, ඒ දෙන්නාම මේ මොහොතේත් අත්අඩංගුවට ගත නොහැකි අයුරින් පිටරට සැඟව සිටිමින්, නීතියට වෙට්ටු දාති. විදේශ සම්බන්ධතා පිළිබඳ ද්වි-ද්‍රැවීය ලෝකයේ යථාර්ථයන් නොතකා හැරීම ගැන මහින්දට දොස් කිව නොහේ. ඔහුගේ අතිජාත ක්ෂාමාලාපකයා සහ විදේශ කටයුතු පිළිබඳ අනුශාසකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක, වොෂින්ටනය කෙරෙහි සේම මොස්කව් කෙරෙහිත් සමාන ආකාරයෙන් සැලකීම අරභයා හිටපු ජනාධිපතිවරයාව මුරුංගා අත්තේ තබා වර්ණනා කරනවාට සැකයක් නැත. මාධ්‍යවේදයේ මහ පඬිවරයා වන එච්. එල්. මෙනකන්ගේ සුලභ කතාවක් එයින් සනාථ කෙරේ. “සෑම කෙනෙකුම තමන්ගේ නෑදැයන් තුළ, විශේෂයෙන් ඥාති සොහොයුරන් තුළ, තමාගේම අපරූපී විකට ආකෘති පෙළක් දකී” යන්න ඒ කියමනයි. අධිකරණයට බයෙන් ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරන මේ දෙමස්සිනන්ව එම තනතුරුවලට පත්කෙළේ මන්ද යන්නත්, එම පත්කිරීම්වලින් රටට ලැබුණු සුගතිය කුමක්ද යන්නත් මහ මිනිසා අපට පැහැදිළි කළ යුතුය. මහින්දට දොස් නොකියන්න. මේ ගැන ඔහුගෙන් කිසිවෙකු මෙතෙක් අසා ද නැත. ඔහු විශ්වාස භංගයට අත්සන් නොකිරීම, තමාට යම් ණයක් ගෙවීමට ඇති බව පිළිගැනීමකි.

හොරුන්, බැංකුකරුවන් සහ දේශපාලඥයන් අතරේ යම් බහුමානයක් සහ පොදු සාධකයක් තිබේ. ඔවුන් ගනුදෙනු කරන්නේ අපට අයිති දේවල් සමග ය. අප සියල්ලන් මොට්ටයන් බවට විශ්වාසයක් ඔවුන් අතර තිබේ. රනිල් වැටී ඇති තත්වය වෙනස් ය. බැඳුම්කර ගැන ඔහු පැහැදිළි කළ යුතුව ඇතැයි කවුරුත් සිතති. ඊට උඩින්, නුවර ජාතිවාදී කලකෝලාහල නතර කිරීමට ප්‍රමාණවත් පියවර නොගැනීම ගැනත් ඔහුට චෝදනා කරති. මෙහිදීත්, වඩාත් ශූර උපාය ඥානයක් ඇත්තේ තමාට බව මහින්ද පෙන්වා දී තිබේ. සදාචාර උච්චාසයනයෙන් බිමට බැස ඇති ඔහු දැන් සිටින්නේ සිංහල ස්වෝත්තමවාදී ජාතිකත්වයේ ඉස්මත්තේ ය.

ජාතික රාජ්‍යයක් වශයෙන්, නිදහසේ පටන්, මුලින්ම, එක් අනිවාර්ය සරළ සත්‍යයක් අප නොතකා හැර තිබේ. ඊළගට, එම සත්‍යයට මුරණ්ඩු ලෙස විරෝධය දක්වා තිබේ. මේ රට ජාතික රාජ්‍යයක් සේ වැඩිහිටි වීමට නම්, පශ්චාත්-නිදහස් රාජ්‍යයේ ඇති ගෝත්‍ර මැල වී යා යුතුය. නැත්නම් වඳ වී යා යුතුය. ඒ වෙනුවට අප කර ඇත්තේ කුමක්ද? ‘එකෙකුට’ විශේෂ ස්ථානය ප්‍රදානය කොට, සෙස්සන්ව ඔවුනොවුන්ගේ ගාල්වලට කොටු කොට අමාරුවේ දැමීමයි.

නර්තන වින්‍යාසය තීන්දු කරන මහින්ද රාජපක්ෂ

විපක්ෂයේ සිටියත්, ආණ්ඩුවේ සිටියත්, නර්තන වින්‍යාසය තීන්දු කරන්නේ මහින්ද රාජපක්ෂයි. විශ්වාස භංගය ගැන, “ටිකක් ඉඳලා බලන්නකෝ” යැයි ඔහු කියන්නේ යම් විශ්වාසයකිනි. මහින්ද යනු, වියරු ජාතිවාදියෙකු නොවේ. එසේම, ගෝත්‍රික අශිෂ්ටයෙකුත් නොවේ. වැඩිම වුණොත් ඔහු කරන්නේ, භාරදූර සහ සිල්ලර මෙන්ම, නිස්සාර සහ අපූර්ව දේවල් ද අරභයා තමන් ලෙලවන දේශපාලනික අවියේ තරම පිළිබඳ අවතක්සේරුවක සිටීමයි. මහින්දගේ අවිය වන ජාතිකවාදයේ සිංහල-බෞද්ධ වට්ටෝරුව, ඊට ඇඟෑලෙන ඕනෑම කෙනෙකු මහත් ආශාවෙන් සහ අභිරුචියෙන් තලුමරන පෞද්ගලික සහ පුද්ගලමය අනුරාගයකි. එහි සාමූහික නිරූපණය එළිදකින්නේ, රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ විසකුරු ආකෘතියක් වශයෙනි.

මේ ඩිජිටල් සන්නිවේදන යුගයේ, අභිප්‍රාය, අරමුණ සහ අවසාන ප්‍රතිඵලයට පවා ඉහළින් සිටින්නේ, දෘෂ්‍ය රූපකයයි. අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංගයට මහින්ද රාජපක්ෂ අත්සන් කෙළේ නැත. එහෙත් කතානායකවරයාට එම විශ්වාස භංගය භාර දෙන පිරිසේ මුදුනේම, ඔහුත් විශ්වාසය උතුරන සිරික්කියක් දාගෙන සිටියේය.

මේ මිනිසා, ඔහු සිතන මිනිසා නොවේ. මහින්ද යනු, ඔහු සඟවනු ලබන දෙය තුළ වෙසෙන මිනිසා ය. තමා කවුදැයි සැඟවීමේ සහජ හැකියාවක් ඔහුට තිබේ. සමාජයක වෙසෙන යම් මිනිස් කණ්ඩායමක දෛනික දිවිය බවට කොල්ලකාරීත්වය පත්වීමේදී, කාලයක් යන විට එම කොල්ලකාරීත්වයට අවසර සපයන නෛතිකත්වයක් සහ එම කොල්ලකාරීත්වය උත්කෘෂ්ටත්වයට පත්කරන සදාචාර ශාස්ත්‍රයක් එම කණ්ඩායම විසින්ම නිර්මාණය කරගනු ලැබේ.

රටට ආදරය කරන ගමන්ම, යුක්ති ධර්මයටත් ආදරය කිරීමට, ඇත්තෙන්ම අපට බැරිද?

(2018 මාර්තු 25 වැනි දා ‘සන්ඬේ ඔබ්සර්වර්’ පුවත්පතේ පළවූ Mahinda, Ranil and the Big Picture නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

Back to Top