Sri Lanka Brief
පුවත්විවරණඉබේ ඇති වූ අර්බුදයක් ද, ඕනෑ කමින් ඇති කළ අර්බුදයක් ද? – එම්. එස්. එම්. අයුබ්

ඉබේ ඇති වූ අර්බුදයක් ද, ඕනෑ කමින් ඇති කළ අර්බුදයක් ද? – එම්. එස්. එම්. අයුබ්

by

ජයාරූපය: යහපාලන ආරවුල මුහුණූවල ලියැවි ඇති සැටි. ( ඩේලි නිව්ස් ජායාරූඵයකි.)

පෙබරවාරි 10 වැනි දා පැවති පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසුව ගත වූ සති දෙකක කාලය ආණ්ඩුවත් විපක්ෂයත් තම බල පොරයක් වෙනුවෙන් කා දැමුවේය. ඒ කාලය තිස්සේ රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක කටයුතු අකර්මණ්‍ය විය. රාජ්‍ය ආයතන තුළ කවදත් පවතින ඕලාරික භාවයට මේ කියන විශේෂිත තත්වයත් එකතු වූ විට ඇති විය හැකි සන්තෑසිය සිතා ගත හැකිය.

ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි කියන අහස-පොළොව සම්බන්ධයක් නැති සටන් පාඨයක් ඉදිරියට දමමින් මේ අවුල පටන් ගත්තේ, එම මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නමින් තරග වැදුණු ඒකාබද්ධ විපක්ෂයයි. ඔවුන් මේ ඉල්ලීම ඉදිරියට දැම්මේ, ඉහත කී මැතිවරණය තුළ “සමානුපාතික නියෝජනයේ” නාමයෙන්, සිංහල බහුතරයකින් යුත් ප්‍රදේශවල අසමානුපාතික ප්‍රතිඵලයක් ගෙන දුන් ඔවුන්ගේ ජයග්‍රහණයක් පාදක කර ගනිමිනි. අනිත් අතට ආණ්ඩුවේ පාර්ශ්ව, එනම් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව දේශපාලනික බලමුළු ඔස්සේ අලුත් ආණ්ඩු හැදීමේ කතාවක් ඉස්සරහට දමමින් මේ තත්වය තවත් අවුල් කෙළේය. එය තුඩුදුන්නේ, ප්‍රතිපත්තිමය පදනමක් මත ඇති කරගනු ලැබෙන බලමුළු ගැන්වීමකට නොව, සංඛ්‍යාත්මක අගයන් මත තීරණය කෙරෙන සූදුවකට ය.

අවස්ථාවාදී බල අරගලයක් තුළ සෑම ප්‍රධාන පක්ෂයක්මත්, සෑම දේශපාලඥයෙකුමත් ඉහත කී ආකාරයේ පටු ආස්ථානයන් ගන්නා රටක, කොක්කෙන් නැත්නම් කෙක්කෙන් හෝ ගසාකෑම සඳහා දේශපාලනය පාවිච්චි කරන රටක, මීට වැඩි දෙයක් කෙනෙකුට අපේක්ෂා කළ නොහේ. කෙසේ වෙතත්, මේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය මත ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට පොදු ජන පෙරමුණ කරන ඉල්ලීම, සදාචාරය පැත්තෙන් ගත්තත්, නීතිය පැත්තෙන් ගත්තත්, අර්ථ විරහිත බව කිව යුතුය.

මේ මැතිවරණයේදී ආණ්ඩුව කරවන පාර්ශ්ව දෙක එක්ව ලබා ගත් ඡන්ද ප්‍රමාණය, පොදු ජන පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි බැවින්, එවැනි ඉල්ලීමක් ඉදිරීමත් කිරීම සදාචාරාත්මක නැත. 2015 දී ලබා ගත් ඡන්ද ප්‍රමාණය සමග සැසඳීමේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පාවිච්චි කරන ලද ඡන්ද ප්‍රමාණය දස ලක්ෂ 1.5 කින් පහත වැටී තිබුණත්, ආණ්ඩුවේ දෙපාර්ශ්වය ලද සාමූහික ඡන්ද ප්‍රමාණයත් 5000 කින් පහළ වැටී තිබුණත්, ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි කීම සදාචාරවත් නැත. පවත්වන ලද මැතිවරණයේ අර්ථයට වෙනස් අර්ථයක් සදාචාරමය හේතු මත ආරූඪ කිරීමට පොදු ජන පෙරමුණ මෙහිදී උත්සාහ කරන්නේ නම්, 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූ අවස්ථාවේ ඔහුගේ කණ්ඩායම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතුව තිබුණි.

අනිත් අතට, නීතිය පැත්තෙන් ගත්තොත්, එක මැතිවරණ ප්‍රතිඵලයකින් තවත් මැතිවරණ ප්‍රතිඵලයක් අහෝසි කෙරෙන්නේ නැත. ඒකාබද්ධ විපක්ෂය/පොදු ජන පෙරමුණ කියන පරිදි, එක් මැතිවරණයකින් ලබා ඇති ජන වරමක්, තවත් මැතිවරණ ජන වරමකින් නිෂේධ වන්නේ නැත. පසුගිය ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ කණ්ඩායම පරාජය වී සිටියදීත්, පළාත් පාලන ආයතනවල එවක සිටි ඔවුන්ගේ කණ්ඩායම් ඉල්ලා අස් නොවුණේ එබැවිනි.

සිරිසේන දුන් උඩගෙඩිය

මේ නිසා, ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි පොදු ජන පෙරමුණෙන් නැගෙන ඉල්ලීම ඉල්ලමක් වුණේ, එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කරගෙන යාම ගැන ඇති තමාගේ අප්‍රසාදය, විශේෂයෙන් අගමැතිවරයා සමග ආණ්ඩු කරගෙන යාමට ඇති තමාගේ අප්‍රසාදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්ම ප්‍රකාශයට පත් කිරීමත් සමග ය. එය, ආණ්ඩුව ඇතුළේම සිටින සුසිල් ප්‍රේමජයන්ත වැනි රාජපක්ෂවාදීන්ට ලැබුණු හොඳ උඩගෙඩියක් විය. ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර කපුකම් කිරීමටත් එවැන්නෝ මෙය යොදා ගත්හ.

පාර්ලිමේන්තුව තුළ විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් හෝ විශ්වාස භංගයක් ජය ගත හැකි තත්වයක දැනට සිටින එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය වන බව හොඳින් දන්නා, පළපුරුදු දේශපාලඥයෙකු වන මෛත්‍රීපාල සිරිසේන, තම කණ්ඩායමට ඉහත කී මාර්ගයේ යාමට ඉඩ හැරියේ මන්ද යන්න පැහැදිළි නැත. මේ සියල්ලේ ආනිශංසය කෙතෙක් විසුළු ආකාරයක් ගත්තේ ද යත්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් වෙන් වීමට එක් හැන්දෑවක තීරණය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය පසු දා උදේ වන විට එක්සත් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සපථ කොට සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළ ආසන 106 ක් තිබේ. ජනාධිපති සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව තුළ එක්ව අයිතිය පාන ආසන සංඛ්‍යාව 95 ක් පමණි. මේ කණ්ඩායම් දෙකෙන් ඕනෑම එකකට අලුත් ආණ්ඩුවක් හදා ගැනීමට නම් විපක්ෂ නායක ආර්. සම්බන්දන්ගේ දෙමළ ජාතික සන්ධානයේ ආධාරය අවශ්‍ය වනු ඇත. එවැනි තත්වයක් තුළ දෙමළ ජාතික සන්ධානය එක් වනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමග බව අමුතුවෙන් කිව යුතු නැත. එය, ඕනෑම කෙනෙකුට වැටහෙන සරළ සමීකරණයකි. ඒකාබද්ධ විපක්ෂය සමග අලුත් ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ගැන සොයා බලන්නැයි තම සගයන්ට ජනාධිපතිවරයා උපදෙස් දෙන්නේ එවැනි තත්වයක් තිබියදී ය.

බොර දියේ මාළු බෑම

බොර දියේ මාළු බෑමට බැලූ ඒකාබද්ධ විපක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවන ආණ්ඩුවකට පිටත සිටි උදව් කිරීමට තමන් සූදානම් බව කියා සිටියේය. කෙසේ වෙතත්, තම කණ්ඩායමේ කිසිවකු එම ආණ්ඩුවේ ඇමති ධුර ලබා ගන්නවාට හිටපු ජනාධිපතිවරයාගේ කැමැත්තක් නොතිබුණේ, තමාට අවශ්‍ය වෙලාවට ආණ්ඩුව දණ ගැස්වීමට ඇති අවස්ථාව නැති කර ගැනීමට තිබූ අකමැති නිසා විය හැකිය. අනිත් අතට, එක්සත් ජනතා නිදහස් සන්ධානය එවැනි වැඩ පිළිවෙලකට එකඟ වී නම්, එය එම සන්ධානය සියදිවි නසා ගැනීමක් වෙත තල්ලු කිරීමක් වන්නට තිබුණි. මන්ද යත්, එවැනි ආණ්ඩුවක්, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රාණ ඇපකරුවෙකු වීම නොවැළැක්විය හැකි බැවිනි.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුව අස්ථාවර කිරීමට එසේ උත්සාහ කරන අතරේ, රනිල් වික්‍රමසිංහ වෙනුවට, කරූ ජයසූරිය හෝ වෙනත් කෙනෙකු අගමැති ධුරයට පත් කිරීමට තමාගේ කැමැත්තක් ඇතැයි යන හාහෝව, එක්කෝ මෛත්‍රීපාල සිරිසේන විසින්ම සමාජයට මුදා හලේය. නැත්නම් එවැනි හාහෝවක් සමාජගත වීමට ඔහු ඉඩ හැරියේය. අගමැතිවරයාව ඉවත් කිරීමට ව්‍යවස්ථාව තුළ ඉඩක් ඇත්දැයි නීතිපතිවරයාගෙන් පවා ජනාධිපතිවරයා විමසා සිටි බවක් කියැවුණි. එහෙත් නීතිපතිවරයාගේ පිළිතුර වී ඇත්තේ එවැනි ඉඩක් නීතියේ නැති බවයි.

කෙසේ වෙතත්, පැවති මතභේද හිටිහැටියේම විසඳා ගත් දෙපාර්ශ්වය, තමන්ගේ එක්සත් ආණ්ඩුව දිගටම ගෙන යන බව පසු ගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.

සිරිසේනට තැන්පත් නුවණක් තිබුනා නම්

ඇත්ත වශයෙන්ම, සති දෙකක් තිස්සේ රට ඇද හැලුනු මේ අස්ථාවරත්වයේ අගාධය, ජනාධිපති සිරිසේන මීට වඩා තැන්පත් නුවණින් කටයුතු කෙළේ නම් වළක්වා ගත හැකිව තිබුණි. දූෂණයට එරෙහි ක්‍රියාන්විතය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමග තමන්ගේ මොන මතභේද තිබුණත්, වෙනත් වැදගත් කටයුතු සම්බන්ධයෙන් එම පක්ෂය මොන තරම් තමන්ව නොසලකා කටයුතු කළා විය හැකි වෙතත්, 2020 පෙබරවාරි මාසය දක්වා එක්සත් ජාතික පක්ෂය සමග එකට යනවා මිස වෙනත් විකල්පයක් තමන්ට නැති බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතුව තිබුණි.

හිටපු රජයේ දූෂිතයන්ව ආරක්ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය බවටත්, එම නායකයන්ට එරෙහි නඩු පමා කරන්නේ හෝ නතර කරන්නේ එක්සත් ජාතික පක්ෂය බවටත් වන චෝදනාවක් 2016 සිටම ජනාධිපතිවරයා තුළ තිබුණි. එවැනි තත්වයක් තුළ, රාජපක්ෂලා නැවත බලයට ආවොත් වන්දි ගෙවන්ට වන්නේ තමාට මිස එක්සත් ජාතික පක්ෂයට නොවන බව, එක්සත් ජාතික පක්ෂ නායකයන් ඉදිරියේ ජනාධිපතිවරයා කියා සිටි බව, පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කෙළේය. එසේම, මහ බැංකු බැදුම්කර වංචා සිද්ධියත් ඔහුව කෝපයට පත් කළ බව පෙනේ. එක්සත් ජාතික පක්ෂ නායකයන් කටයුතු කෙළේ එම සිද්ධිය වසං කිරීමටත්, සැකකරුවන්ව ආරක්ෂා කිරීමටත් ය. ඒ සියල්ලට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමතිවරුන් තමන්ගෙන් නොවිමසා තීන්දු තීරණ ගැනීමත් ඔහුගේ අප්‍රසාදයට ලක්ව තිබුණි.

එවැනි ඇතැම් තීරණ තමාගේ විධායක බලය පාවිච්චි කරමින් ඔහු නතර කෙළේය. මත්පැන් හල්වල වැඩ කිරීම සහ මත්පැන් මිල දී ගැනීම කාන්තාවන්ට තහනම්ව පැවති නීතිය අහෝසි කිරීමේ තීන්දුව ඔහු විසින් ආපසු හැරවීම එවැනි එක් සිද්ධියකි. ඒ සියලු ප්‍රශ්න කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්ව දෙක විසින් බලය අත්පත් කර ගත්තේ නම්, ඉහත කී කිසිවක කිසි වෙනසක් ඇති නොවනු ඇත.

ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයට එල්ල කරනු ලබන චෝදනාවන්ට අදාළ දූෂිතයන් ආරක්ෂා කිරීම සහ තාජුඩීන් ඝාතනය වැනි අපරාධවල සැකකරුවන් ආරක්ෂා කිරීම, එක්සත් ජනතා නිදහස් සන්ධාන/ඒකාබද්ධ විපක්ෂ ආණ්ඩුවක් යටතේ ද, අගේට යටපත් වෙනවා සිකුරුයි. ඉන් පසුව, පසුගිය මාසයේ ජනාධිපතිවරයාම හැඳින්වූ ‘චෞර ප්‍රභූ සන්ධානය’ විසින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමටත් ඉඩ තිබුණි.

මේ සමස්ත රංගනය, නාහෙට නාහන එක්සත් ජාතික පක්ෂයක් ආම්බාන් කර ගැනීමට ජනාධිපතිවරයා ඕනෑ කමින් ඇති කළ අවුලක් නොවන්නට, ඒ මගින් පෙන්නුම් කරනුයේ, ආණ්ඩුවේ, විශේෂයෙන් ජනාධිපතිවරයාගේ, දුර්දසාවේ තරමයි.

(2018 පෙබරවාරි 23 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ  Crisis Spontaneous or Stage-Managed නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top