Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගසම්මුති බද්ධ යහපාලනයේ අනාගතය කොයිබටද? – සුනිල් ජයසේකර

සම්මුති බද්ධ යහපාලනයේ අනාගතය කොයිබටද? – සුනිල් ජයසේකර

by

ජායාරූපය: මාදුළුවාවේ සොභිත හිමි මූලිකතවයෙන් දියත් කළ මහජන ව්‍යාපාරයේ උදව්වෙන් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව කළ යුතුව ඇති දේ කළදේට වැඩිය.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පසු ලාංකීය දේශපාලනය පසුතලය බෙහෙවින් උණුසුම් වී තිබේ. මේ රටේ ඡන්දදායකයන් අතර සිටින යම් බහුතර පිරිසක් තමන් තෝරා පත් කරගෙන ඇති නියෝජිතයන් කවුරුන්ද යන්න පිළිබඳව පවා කිසිවක්ම නොදැන සිටින පසුබිමක ශ්‍රී ලාංකික ඡන්ද දායකයන් අතර පෙනී සිටින බහුතරයකගේ දේශපාලන සවිඥානකත්වය ගැන ගැඹුරු හැදැරීමක් කිරීම සමාජ විද්‍යාඥයන්ට මෙන්ම ඇතැම් විට මානව විද්‍යාඥයන්ට ද බෙහෙවින් වැදගත් විය හැකියි. මක් නිසාද යත් එකී පිරිසගේ දේශපාලන මනෝභාවයන් පිළිබඳව මෙන්ම ජානගත පෞර්ෂ ලක්ෂණ ගැන ද එමඟින් හඳුනාගත හැකි නිසාය.
එහෙත් අද ප්‍රශ්නය එය නොවේ. මේ රටේ ඡන්දදායකයන් අතරේ කිසියම් වූ සැලකිය යුතු බහුතරයක් මේ ආකාරයේ තීන්දුවක් ප්‍රකාශ කර ඇත්තේ ඇයිද යන්නය. ඒ තුළ බලවත් සමාජ පණිවිඩයක් අන්තර්ගත නොවේද යන්න අද වන විට මේ රටේ දැනුවත් සමාජය නගමින් සිටින ප්‍රශ්නය වී තිබේ. ඒ ප්‍රශ්ණයට විසඳුම් සොයා යාමේදී පරස්පරතාවයන්ට වඩා දැකිය හැක්කේ විවිධත්වයෙන් යුත් පිළිතුරුය. එම පිළිතුරු අද වන විට ලාංකීය දේශපාලන සමාජය උණුසුම්කර ඇති අතර, විශේෂයෙන්ම එහි බලපෑම ආණ්ඩුවේ මුදුනතෙහි සිට ඊට පරිබාහිර සියලු පාර්ශ්ව වෙත දැනී තිබේ. සිදුවිය යුතු දේශපාලන ප්‍රතිසංස්කරණ නොසළකා හරිමින් ආණ්ඩුවට තවදුරටත් ඉදිරි ගමනක් තිබේද යන ප්‍රශ්නය ද මතුවන්නේ එහිදීය.

වාර්තාවන ආකාරයට ආණ්ඩුවට සම්බන්ධ කිසිඳු පාර්ශ්වයක් ප්‍රතිසංස්කරණවලින් තොර දේශපාලන අනාගතයක් තිබිය හැකියැයි පිළින්නේ නැත. නියත වශයෙන්ම සිදුවිය යුතු, සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව ඒ සියලු දෙනාම එක හඬින්, එක මිටකට ගොනු වී පෙනී සිටී. එහෙත් එය ආරම්භ කළ යුත්තේ කොතනින්ද යන ප්‍රශ්නය හමුවේ මත දෙකක් තුළ කඳවුරු දෙකකට බෙදී සිටීම නිසා දේශපාලන වායුගෝලයේ උණුසුම ගිනිකඳු කුහරයක මතුපිටට ගෙනවිත් තිබේ.

ඒ අනුව පළමුවෙන්ම පිළිතුරු සොයාගතයුතුව ඇත්තේ සම්මුතිබද්ධ ආණ්ඩුවේ පැවැත්ම තවදුරටත් ඒ ආකාරයටම පවත්වාගෙන යා යුතුද, නැද්ද යන කාරණයටයි. එහිදී මේ රටේ සියලුදෙනා මැනවින් තේරුම්ගෙන අවබෝධකරගතයුතු කාරණය වන්නේ, රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ හා සිවිල් සමාජය ද ඇතුළු දැනුවත් පුරවැසි ප්‍රජාව රටේ සිදුවිය යුතු දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවකට අදාළව පොදු සම්මුතියකට එළැඹීයේ, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ මෙන්ම ඒවායේ නායකත්වය ද එම අභියෝගාත්මක කාර්යයට විසඳුම් ලබාදීම සඳහා අපොහොසත්ව සිටි කාල වකවානුවකදී වන බවය. අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය යෝජනා කළ පොදු අපේක්ෂක සංකල්පය වටා රටේ බහුතර බලවේග ඒකරාශී වූයේ ඒ අනුවය.

එදා පොදු අරමුණක්, පොදු අභිලාෂයක් මත ඒකරාශී වී ඇතිකරගත් පොදු සම්මුතිය අද වන විට කොතරම් දුරට සපුරා තිබේද යන්න එහිදී මුලින්ම විමසා බැලිය යුතු ප්‍රශ්නය වී තිබේ. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් නීතිය හා සාමය ස්ථාපිත කිරීම, කතා කිරීමේ නිදහස ඇතුළු මාධ්‍ය නිදහස තහවුරු කිරීම අධිකරණ නිදහස තුළ යුක්තිගරුක සමාජයකට මග විවර කිරීම වැනි වැදගත් පරිවර්තන රාශියකට අදාළව කරුණා කාරණා සැලකිමේදී සතුටුවිය හැකි වුවත් රටේ පැවති දූෂිත මිනිමරු බලවේගවලට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගැනීම වැනි කරුණු හමුවේ මේ රටේ සැබෑ සතුරන්ට සුජාත භාවයක් අත්කර දීමේ වැරුද්දට මහජනතාව දඬුවම් ලබාදී තිබේ. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල හරහාය.

ඒ අනුව රටේ හා මහජනතාවගේ යහපත උදෙසා ආණ්ඩුවක් ලෙස කළයුතුව තිබූ බොහෝ දේ අතපසු කර දැමීමේ වරදට හා ඇතැම් කරුණුවලට අදාළව සැලකීමේදී සිතාමතාම නොකර සිටියේය යන බරපතළ වරදට වන්දි ගෙවීමට කාලය පැමිණ තිබේ. එහෙත් එහිදී ඉතා පැහැදිලි ලෙසම අවධාරණය කළයුතු කාරණය වන්නේ ඊට වන්දි ගෙවිය යුතුව ඇත්තේ ජනවාරි 08 ජනතා අපේක්ෂාවන් සිඳ බිඳ දැමීමෙන් නොවන බවය. එනම් සම්මුතිබද්ධ පාලනයකට ඇති අපේක්ෂා බිඳ දමා නැවත තනි පක්ෂ පාලනයකට කොටුවීමෙන් නොවන බවය. සම්මුතිබද්ධ ආණ්ඩුව තුළ ක්‍රියාකාරී දේශපාලන පක්ෂවලට ඔවුනොවුන්ටම වූ ස්වාධීන ගමනක් නැතැයි ඉන් අදහස් කරන්නේ නැත. එහෙත් එවැන්නක් සඳහා සුජාත වරමක් ලැබෙනු ඇත්තේ සම්මුතිබද්ධ ආණ්ඩුවේ ආයු කාලය සපුරාලීමෙන් පසුවය. ඊට පෙර ඒ සඳහා අවස්ථාවක් ලබාගන්නේනම් එය ලබාගත යුත්තේ ජනවාරි 08 ජනතා අපේක්ෂාවන් නිසි පරිදි ඉටුකිරීමෙන් පසුවය.

එහෙත් ඒ සමගම දැඩි ලෙස අවධාරණය කළයුතු කරුණක් ද තිබේ. එනම් ඉතිරි වී ඇති කාලසීමාවට අදාළව මේ දේශපාලන සම්මුතිය ක්‍රියාත්මක විය යුත්තේ හුදු ආණ්ඩු බලය පවත්වාගෙන යාමට පමණක් නොවන බවය. නියත වශයෙන්ම යහපාලන ආණ්ඩුව තුළින් මහජනතාව අපේක්ෂා කරන ලද දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ මල්ඵල ගැන්විම සඳහාය. ඒ අනුව එකී අපේක්ෂා ඉටු නොකර කිසිවෙකුට නැවත ආපසු හැරිය නොහැකිය. අද මේ රටේ ඇත්තේ එක් පුද්ගලයෙකුගේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. රටේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයකි.

සුනිල් ජයසේකර

Back to Top