Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංග‘රාවයේ අයිතිය’ සහ ‘ආප්ප කඬේ අයිතිය’ ගැන සුසමාදර්ශයක් – .ගාමිණී වියන්ගොඩ

‘රාවයේ අයිතිය’ සහ ‘ආප්ප කඬේ අයිතිය’ ගැන සුසමාදර්ශයක් – .ගාමිණී වියන්ගොඩ

by

2018 පෙබරවාරි 17 වැනි දා
කොළඹදී.

පසුගිය 11 වැනි දා රාවය පුවත්පතේ “රාවයේ අයිතිය සහ මාර යුද්ධය” මැයෙන් වික්ටර් අයිවන් දීර්ඝ ලිපියක් ලිවීය. එම ලිපිය තුළ පුවත්පතේ කීර්ති නාමයේ පූර්ණ අයිතිය තමන් වෙත පවරා ගනිමින්, රාවය ගොඩනැගීමට සහ මේ දක්වා එය පවත්වාගෙන ඒමට උරදුන් සියල්ලන් පරිහාසයට ලක්කොට තිබුණි. රාවයේ අයිතිය සම්බන්ධයෙන් මතු වී ඇති විවාදය වනාහී, යම් ව්‍යාපාරිකයෙකුගේ ආප්ප කඩයක සේවය කළ ආප්ප බාස්ලා එම ව්‍යාපාරික ආයතනයට හිමිකම් කීමකට සමාන වන විවාදයක් බවට ඔහු එහිදී ‘තර්ක’ කොට තිබුණි.

දෙවැනුව, මීට වසර පහකට පෙර රාවය මූල්‍ය අර්බුදයකට පත්වූ අවස්ථාවේ පුවත්පත මිලින්ද මොරගොඩට විකිණීමට වික්ටර් අයිවන් තැත් කළ අවස්ථාවේ, රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් සොයා දෙමින්, රාවයේ අයිතිය මිලින්ද මොරගොඩ අතට පත්වීම වැළැක්වූ පිරිසත් එම ලිපිය තුළ ඔහු පරිහාසයට ලක්කොට තිබුණි.

මේ නිසා රාවය පාඨකයන්ගේ දැන ගැනීම සඳහා වික්ටර් අයිවන්ගේ ලිපියට පිළිතුරක් ලිවිය යුතු යැයි සිතු මම, එවැනි අවස්ථාවක වික්ටර් අයිවන් හැසිරිය හැකි ආකාරය ගැන යම් අවබෝධයක් මට තිබුණු නිසා, රාවයේ වර්තමාන කර්තෘ විමලනාත් වීරරත්නට කතා කොට, මා පිළිතුරක් ලිව්වොත් එය රාවයේ පළ කරන්නේදැ යි මුලින් විමසා සිටියෙමි. ඔහු එක පයින්ම ඊට කැමැත්ත පළ කෙළේය. ඒ අනුව, පහත සඳහන් ලිපිය ලියා, පසුගිය සඳුදා (12) විමලනාත්ට යැව්වෙමි.

පසුගිය බ්‍රහස්පතින්දා (15) රාත්‍රී 10 ට පමණ විමලනාත් මට කතා කෙළේය.

“ගාමිණී අයියගෙන් ලොකු සමාවක් ඉල්ලන්නයි මං කතා කළේ. අර ලිපිය මට දා ගන්න බැරි වුණා” යැයි ඔහු කීය.

ඔහු (විමලනාත්) දැන් පුවත්පතේ කර්තෘවරයා වන තත්වයක් තුළ සහ රාවය යනු ’පිළිතුරු දීමේ අයිතිය‘ පිළිගන්නා පුවත්පතක් යැයි පිළිගන්නා තත්වයක් තුළ, එසේ වුණේ කෙසේදැ යි මම ඇසුවෙමි. “අතුල අයියා එපා කිව්වා. මං වෙනම ඉඩකුත් වෙන් කරගෙනයි හිටියේ. මං පුළුවන් තරම් උත්සාහ කළා, ඒ තීරණය අසාධාරණයි කියන එක අතුල අයියට පැහැදිළි කරන්න. ඒත් එයා ඒක පිළිගත්තේ නැහැ. මං හිතනවා ගාමිණී අයියා මගේ තත්වේ තේරුම් ගනියි කියලා.” විමලනාත් කීවේය.

මේ තත්වය තුළ, එම ලිපිය, රාවයේ හිතමිතුරන් සහ සමාජ ජාල වෙත නිකුත් කළ යුතුව ඇතැයි මම තීරණය කෙළෙමි. පහත සඳහන් වන්නේ එම ලිපියයි.

මීට,
ගාමිණී වියන්ගොඩ

‘රාවයේ අයිතිය’ සහ ‘ආප්ප කඬේ අයිතිය’ ගැන සුසමාදර්ශයක්

පසුගිය සතියේ (පෙබරවාරි 11) ‘රාවයේ අයිතිය හා මාර යුද්ධය’ නැමැති ශිර්ෂය යටතේ වික්ටර් අයිවන් දීර්ඝ වූත්, වර්ණනාත්මක වූත් ස්වයං-චරිතාපදානයක් ලියා ඇත. එහි සඳහන් ඇතැම් කරුණු දත්තමය වශයෙන් නිවැරදි මුත්, එම කරුණු වික්ටර් අයිවන් විග්‍රහ කරන ආකාරය පාඨකයා නොමග යවන සුළු ය. එසේම දත්තමය වශයෙන් වැරදි කරුණු ගණනාවක් ද එහි අඩංගු වෙයි. ඒ සියල්ල පසුව වෙනම සංවාදයකට ගැනීමට තබා, මට යම් ආකාරයක සෘජු අදාළත්වයක් ඇති කරුණු කිහිපයක් ගැන පමණක් මෙහි දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මුලින්ම, රාවය පුවත්පත ආප්ප කඬේක නිදර්ශනයකින් පැහැදිලි කිරීමට තරම් වික්ටර් අයිවන්, දැනුවත්ව හෝ නොදැනුවත්ව අවංක වීම අගේ කළ යුතු බව මගේ හැඟීමයි. මන්ද යත්, අප කවුරුත් පාහේ මෙපමණ කලක් රාවය සහ එහි උරුමය සම්බන්ධයෙන් වෙළී සිටි සියුම් මායා පටලයක් සැණෙකින් ඉරා දමා නිරාවරණය කර ගැනීමට ඒ මගින් ඔහු අපට අවකාශ සලසා ඇති බැවිනි. ආප්ප කඩය වනාහී උපමාවක් පමණක් බව මම දනිමි. සාහිත්‍යකරුවෙකු වශයෙන්, උපමාවක් සහ උපමේයක් අතර ඇති සහසම්බන්ධතාවත් මම හොඳින් හඳුනමි. ඒ නිසා, උපමාව අනවශ්‍ය පරිදි උලුප්පමින් සහ කුලප්පු කරමින් උපමේය විකෘති කොට ඊට සිනාසීමට මගේ කැමැත්තක් නැත. එහෙත්, මේ උපමාව වික්ටර් අයිවන් උපයෝගී කර ගන්නේම, තමා හැරුණු කොට රාවයේ වර්තමාන කීර්ති නාමයට දායක වූ සෙසු සියලු ‘ආප්ප බාස්ලා’, නිර්දය නින්දාවටත්, උපහාසයටත් ලක් කිරීමට නිසා, වික්ටර් අයිවන්ගේ උපමාව අහිංසක එකක් හෝ සාහිත්‍යයික අලංකාරිකයක් පමණක් හෝ නොවන බව අවධාරණයෙන් කියමි. ඒ දීර්ඝ ලිපිය පුරා ඔහු ‘මම, මම, මම..’ යන ස්ව-ලෝලීත්වය උලුප්පා දැක්වීම තුළින්, අයිතිය පිළිබඳ කාරණය අරභයා ඔහු පහර දෙන එක්තරා තනි පුද්ගලයෙකුගෙන් එහාට යමින්, ‘ආප්ප බාස්ලා’ පරපුරම, ඔවුන්ට ‘නිසි ස්ථානයේ’ රැඳවීමට ප්‍රශස්ත උත්සාහයක් ගෙන තිබේ. දුසිම් ගණනක් විය හැකි ඒ ‘ආප්ප බාස්ලා’ මීට උරණ වෙතොත් එසේ විය යුත්තේ, තමන් ගැනම මිස වික්ටර් අයිවන් ගැන නොවේ.

රාවයේ කීර්ති නාමය තමාගේ ය යන වික්ටර්ගේ තර්කය, ඔහුගේ ඉහත සඳහන් ගුණමකු තක්සේරුව නොවන්නට, පොදුවේ පිළිගැනීමේ ප්‍රශ්නයක් මට නැත. එහෙත් වික්ටර් අයිවන් එහිදී ඒ කීර්ති නාමය අර්ථගන්වන ආකාරය ඉතා පටු සහ පක්ෂග්‍රාහී වන බව පෙන්වා දිය යුතුව තිබේ. යුද්ධ කාලයේ පමණක් නොව, යුද්ධය අවසන් වීමෙන් පසුව පවා වික්ටර් අයිවන් රාජපක්ෂවාදී ස්ථාවරයක් ගනිමින්, ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ වර්ණනාත්මක ලිපි ලියමින් රාවය එතෙක් ආරක්ෂා කරගෙන ආ ‘කීර්ති නාමය’ අවදානමට හෙලූ අවස්ථාවේ, රාවයේ සම්මත කීර්ති නාමය ආරක්ෂා කර දුන්නේ අර කියන ‘ආප්ප බාස්ලා’ මිස තමා නොවන බව වික්ටර් අයිවන් තමාගේ පහසුව සඳහා මෙහිදී අමතක කොට තිබේ.

රාවයේ අයිතියෙන් සියයට 40 ක් මිලින්ද මොරගොඩට විකිණීමට වික්ටර් අයිවන් තීරණය කළ අවස්ථාවේ එක ‘ආප්ප බාස්’ කෙනෙක් මට හදිසි ඇමතුමක් දුන්නේය. එය, සියලු මාධ්‍ය සෘජුව හෝ වක්‍රව තම අණසකට ගැනීමට රාජපක්ෂ පාලනය කටයුතු කරමින් සිටි අවධියයි. පත්තරේ අයිතියෙන් සියයට 40 ක් මිලින්ද මොරගොඩ වැනි දේශපාලඥයෙකු අතට පත්වීම නතර කිරීමට කෙසේ හෝ මැදිගත් වන්නැයි ඒ ‘ආප්ප බාස්’ මගෙන් ඉල්ලා සිටියේය. මට හැරුණු කොට තවත් කිහිප දෙනෙකුටත් එම ඇමතුම ලැබී තිබුණි. අපි කිහිප දෙනෙක් මේ ගැන වහා සාකච්ඡා කොට මිලින්ද මොරගොඩ දීමට එකඟව සිටි මුදල අපේ මැදිහත් වීමෙන් ගොඩනගන පොදු අරමුදලක් වශයෙන් වික්ටර් අයිවන්ට සපයා දීමට කතිකා කර ගත්තෙමු. එම වැඩපිළිවෙලට වික්ටර් අයිවන් ද එකඟ විය. එසේ තිබියදී, “ඔවුන්ගේ වැඩ සටහන මගේ ප්‍රසාදයට හෝ පිළිගැනීමට හේතු වූයේ නැත” යනුවෙන් වික්ටර් අයිවන් පසුගිය සතියේ ලියා තිබීමෙන් ප්‍රකට කෙරෙන ඔහුගේ චරිත ස්වභාවය ගැන මෙහිදී විග්‍රහ කිරීමට නොයන අතර, රාවය බේරා ගැනීමට ඒ අවස්ථාවේ ඉදිරියට ආ එම පිරිස ගැනත්, මා ගැනත් මේ අවස්ථාවේ කණගාටුවක් ඇති වන බව සඳහන් කරමි.

“එම අරමුදලට දායක වූ වැඩි පිරිසක් එසේ කෙළේ මා කෙරෙහි හා රාවය කෙරෙහි ඇති කරගෙන තිබූ පිළිගැනීම හා විශ්වාසය නිසා මිස ඔවුන් නිසා කරන ලද දෙයක් ලෙස නොවේ” යනුවෙන් වික්ටර් අයිවන් මුරුංගා අත්තේ තබා ගන්නේ, ඔහුට ඉතා හුරු පුරුදු සහ නිතර ඔජවඩවන ඔහුගේ ග්‍රාම්‍ය අස්මිමානයයි. හිතවත් පාඨකය, එක කාරණයක් කෙරෙහි අවධානය යොමු කරන්න. අප කිසිවෙකු නිසා ඔබ මේ අරමුදලට දායක වූයේ යැයි අපි කයිවාරුවටවත් නොකියමු. එහෙත් එක ප්‍රශ්නයක් මම ඔබට යොමු කරමි. මුලින්ම, මෙවැනි අරමුදලක් අවශ්‍ය කෙළේ ඇයි? වික්ටර් අයිවන් මිලින්ද මොරගොඩට රාවයේ ලොකු කුට්ටියක් විකිණීමට ගිය බැවිනි. එසේ නම්, ඔබ පෙනී සිටියේ වික්ටර් අයිවන්ගේ එම ප්‍රයත්නය වෙනුවෙන් ද, නැතහොත් එම ප්‍රයත්නයට එරෙහිව එය නතර කිරීම වෙනුවෙන් ද? මා දන්නා පරිදි එම ප්‍රයත්නය නතර කිරීමට ය. එසේ නම් ඔබ ඉදිරිපත් වුණේ, වික්ටර් අයිවන් කෙරෙහි එතෙක් ඇති කරගෙන තිබූ විශ්වාසය බිංදුවට වැටෙන්ට ගිය මොහොතක බව ඔබට වැටහෙනවා ඇති. එය, රාවය කෙරෙහි ඇති කරගෙන තිබූ පිළිගැනීම සහ විශ්වාසය “වික්ටර් අයිවන්ගෙන්ම ආරක්ෂා කර ගත යුතුව ඇතැ” යි ඔබ විශ්වාස කළ මොහොතකි. ඒ “පිළිගැනීම සහ විශ්වාසය”, වික්ටර් අයිවන්ගේ ගජමිතුරු නිර්දේශය මත මිලින්ද මොරගොඩ වැන්නෙකුට භාර දිය නොහැකි වූ තීරණාත්මක මොහොතකි.

“රාවයේ කොටස් අයිතියෙන් සියයට 40 ක් මිලින්ද මොරගොඩට විකුණනවාට රාවයේ පාඨකයන් තරයේ විරුද්ධ වූයේ යැයි මම නොසිතමි. එය, හැඟීම්බර දේශපාලන හේතු නිසා කිසියම් සුළු පිරිසක් ඇති කළ කලබලයක් ලෙස සැලකිය හැකිය.” යනුවෙන් ඔහු ලියයි. යම් කාරණයක් සනාථ කිරීම සඳහා හෝ නිෂේධ කිරීම සඳහා යමෙකු කරුණු ගොනු කරන්නේ, හුදෙක් තමාගේ ‘විශ්වාසයක්’ මත පිහිටා නම්, එය ශාස්ත්‍රීය ප්‍රවේශයක් නොවන්නේය. තමා සියල්ල දෙස බලන්නේ තර්කානුකූල සහ ශාස්ත්‍රීය එළැඹුමකිනි යි නිතර කියන වික්ටර් අයිවන්, ඔහුගේ බොහෝ ලියවිලි තුළ, ‘තමා විශ්වාස කරන’ හෝ ‘තමා විශ්වාස නොකරන’ පුද්ගල පදනම, ශාස්ත්‍රීය පදනමක් වශයෙන් ගෙන ‘විදග්ධ තර්ක’ ගොඩනගනු නිතර දැකිය හැකිය. එබැවින් රාවය මොරගොඩට විකුණනවාට රාවයේ පාඨකයන් තරයේ විරුද්ධ නොවුහ යන ඔහුගේ ‘විශ්වාසය’ අපි පැත්තකින් තියමු. එහෙත් මොරගොඩට රාවය විකිණීම අප විසින් වළක්වනු ලැබීම, “හැඟීම්බර දේශපාලන හේතු නිසා සුළු පිරිසක් ඇති කළ කලබලයක්” යැයි වික්ටර් අයිවන් කීම, ඔහුව පටු අවස්ථාවාදියෙකුටත් වඩා, ගුණමකුවෙකුගේ තත්වයට ඇද දමන බව කිව යුතුය.

රාවය දේශපාලනික ව්‍යාපාරිකයෙකු අතට පත්වීම වළක්වා ගැනීම සඳහා වූ අපේ ඉදිරිපත් වීම ගැන අද එසේ පරිහාසයෙන් කතා කරන වික්ටර් අයිවන්, 2013 නොවැම්බර් 3 වැනි ඉරිදා ඒ පිළිබඳව රාවය පත්තරේ ‘අපේ ප්‍රණාමය’ මැයෙන් මෙසේ ලියා තිබේ:

“රාවයේ ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂා කෙරෙන ආකාරයට රාවයේ අයිතිය පුළුල් කිරීම සඳහා ගාමිණී වියන්ගොඩ ප්‍රමුඛ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් රුපියල් ලක්ෂ 100 ක් සොයා ගැනීම සඳහා දියත් කරන ලද වැඩසටහන සාර්ථක ලෙස අවසන් කිරීමට හැකි වී තිබේ……. රාවයට අවශ්‍ය අරමුදල් සොයා ගැනීම සඳහා විකල්ප වැඩ සටහනක් ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ රාවයේ කොටස් හිමිකමෙන් සියයට 40 ක් මිලින්ද මොරගොඩට විකිණීමට මා උත්සාහ කළ වැඩ පිළිවෙලකට එරෙහිව මතු වූ සංවාදයක් පදනම් කොටගෙන ය…. මා තෝරා ගත් මාර්ගය, සරළ සහ පහසු එකක් විය. එහෙත් ගාමිණී තෝරා ගත් මාර්ගය ඊට වඩා සංකීර්ණ හා දුෂ්කර එකක් විය. එය, රාවයේ ස්වභාවයට වඩා හොඳින් ගැලපෙන ක්‍රමය වී යැයි ද කිව හැකිය. තමා තෝරා ගත් ක්‍රියා මාර්ගය ජය ගැනීමට හැකි බව ඔහු තරයේ කියා සිටි විට ඊට ඉඩ දෙනවා විනා ඊට විරුද්ධ වීමේ හැකියාවක් මට නොතිබුණි.

“අවසානයේ ගාමිණීගේ විකල්ප ක්‍රියාමාර්ගය ජය ගත්තේය. එම සංකීර්ණ සහ දුෂ්කර ඉලක්කය ඔහුට ජයගත හැකි වුයේ තවත් වර්ණවත් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් එම වැඩසටහනට ක්‍රියාකාරී ලෙස එකතු කර ගනිමින් ඒ සියලු දෙනා අපේක්ෂිත අරමුණ වෙනුවෙන් මහත් ඇපකැප වීමකින් ක්‍රියා කිරීමට සමත් වීම නිසා ය…. එම වැඩසටහනේ ක්‍රියාකාරී පංගුකරුවන් බවට පත්වූ, ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, සුසිල් සිරිවර්ධන, කුසල් පෙරේරා, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, පරාක්‍රම නිරිඇල්ල, ආචාර්ය උදාන් ප්‍රනාන්දු, විජයානන්ද ජයවීර, බෙනට් රත්නායක, චන්ද්‍රගුප්ත තේනුවර, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, විමුක්ති ජයසුන්දර, මහාචාර්ය සරත් විජේසූරිය, රංජිත් දිසානායක, අනෝමා රාජකරුණා, සුදර්ශන ගුණවර්ධන, ජනක ඉනිමංකඩ, ඇන්ටන් මාකස්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, උවිඳු කුරුකුලසූරිය, ජයතිලක කම්මැල්ලවීර, චන්ද්‍රා ජයරත්න, ලාල් විජේනායක, ජේ.සී. වැලිඅමුණ, චුලානන්ද සමරනායක, නාලක ගුණවර්ධන හා සුනිල් ජයසේකර යන අයට රාවයේ ප්‍රණාමය හිමි විය යුතුය.

“.. මට පෙනෙන අන්දමට මෙම සාර්ථක අත්හදාබැලීම ආශ්‍රයෙන් උගත හැකිව තිබෙන වැදගත්ම පාඩම වනුයේ සමාජ දේශපාලන හා සංස්කෘතික තලයේ විශාල පිරිහීමක් තිබියදීත්, යහපත් විකල්ප ක්‍රියාකාරකම් සඳහා ද ශක්තිමත් වටපිටාවක් ඉතිරිව තිබෙන බව ය. හෘදය සාක්ෂියක් තිබෙන මිනිස්සු ද මේ සමාජයේ සිටින්නෝය.”

එකම සිද්ධියක් ගැන සහ පුද්ගල සමූහයක් ගැන එදා කතා කළ වික්ටර් අයිවන් සහ අද කතා කරන වික්ටර් අයිවන් යනු පුද්ගලයන් දෙන්නෙක් ද, නැත්නම් එක් පුද්ගලයෙක්ම ද යන්න මට ගැටළුවකි.

කෙසේ වෙතත්, මේ ‘කලබලය’ මුලින්ම ඇති කරමින් මට හදිසි දුරකථන ඇමතුම දුන් ‘ආප්ප බාස්ව’, පසුගිය සතියේ වික්ටර් අයිවන් තමාගේ තනි කැමැත්තට රාවයේ ‘ප්‍රධාන ආප්ප බාස්’ තනතුරේ පිහිටුවන ලද බව පමණක් මෙහිදී සඳහන් කරමි.

අවසාන වශයෙන්, පසුගිය දා ඔහු මෙසේ ලියයි:
1. “ඔහු (මිලින්ද මොරගොඩ) රාවයේ ගමන් මග වෙනස් කිරීම පිණිස ක්‍රියාකරනු ඇතැයි කියා මම විශ්වාස නොකරමි” ඔහු මේ ලියන්නේ 2013 සිදු වූ දෙයක් සම්බන්ධව නම් ඔහු කිව යුතුව තිබුණේ, “…මම විශ්වාස නොකෙළෙමි” කියා ය. එහෙත් ඔහු කියන්නේ, “…මම විශ්වාස නොකරමි” කියා ය. එනම්, එදා මිලින්ද මොරගොඩට රාවය විකිණීමට ගිය වික්ටර් අයිවන්ව හෙට දවසේත් අපට හමු වීමට නියමිත බව ය.

කෙසේ වෙතත්, වික්ටර් අයිවන්ගේ ‘ආප්ප කඬේ’ වික්ටර් අයිවන්ට ඕනෑ විදිහට විය යුතුය යන්න මම එකහෙලා පිළිගනිමි. එවැන්නෙකුට, මිලින්ද මොරගොඩට වේවා, ගෝඨාභය රාජපක්ෂට වේවා, රවි කරුණානායකට හෝ අර්ජුන ඇලෝසියස්ට වේවා, තමන් කැමති ආකාරයෙන් තමාගේ බූදලය විකුණා ගැනීමේ අයිතිය තිබේ. මා පිළිනොගන්නා දෙය වන්නේ, එවැන්නෙකු ප්‍රජාතන්ත්‍රීය මාධ්‍ය අවකාශයක් සහ අයිතියක් පිළිබඳව අපට බණ කියන ශාස්තෘවරයකු වීමට යත්න දැරීම ය.

“දෙන ලද මුදල් ආපසු ලබා ගැනීමට කැමති අය වේ නම් ඔවුන් ලබා දෙන ලද සියලු මුදල් ප්‍රමාද කිරීමකින් තොරව ආපසු ලබා දීමට රාවය සූදානම් ය” යනුවෙන් ඔහු අවසානයේ ලියන්නේ නිකම්ම විය නොහැකි බව පෙනී යයි. කෙසේ වෙතත්, රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් ආපසු ගෙවා දැමීමට තරම් වික්ටර් අයිවන්ට අද ආර්ථික හයියක් ලැබී තිබීමත් මා දකින්නේ වික්ටර් අයිවන්ගේ ‘සාර්ථකත්වයක්’ වශයෙන් යැයි කීවොත්, ‘ආප්ප බාස්ලා’ මා සමග උරණ නොවෙතැයි මම සිතමි.

ගාමිණී වියන්ගොඩ

Back to Top