Sri Lanka Brief
පුවත්විවරණ“යහපාලනය කන්නද ?: සංවේදය සහ සංවේදීතාව – ලසන්ති වර්ණපුර

“යහපාලනය කන්නද ?: සංවේදය සහ සංවේදීතාව – ලසන්ති වර්ණපුර

by

ගරු මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් එක්සත් වූ දේශපාලනික සන්ධානය 2015 ජනාධිපතිවරණයේදී කළ දේම හිටපු ජනාධිපතිවරයා මේ පළාත් පාලන මැතිවරණයේදී කෙළේය. හිටපු බලපුළුවන්කාරයාගේ නරක පැත්ත ඉතා සාර්ථකව එදා ජනාධිපතිවරණයේදී ජනතාව ඉදිරියේ තැබුණු අතර, ඊටත් වඩා, ළඟ එන සොඳුරු අනාගතයක් පිළිබඳ විශාල බලාපොරොත්තුවක් ද ඔවුන් තුළ ජනිත කෙරුණි. සෝභිත හිමියන් අපවත් වී ගත වූ තෙවසරක කාලය තුළ, එදා බලයට පත් සන්ධානය මේ වන විට තමන්ගේ රුවල් ඉරාගෙන තිබේ. තමන් විසින්ම උත්පාදනය කළ ජනතා අපේක්ෂාවන් අමතකයට යට කොට ඉබාගාතේ යන්නට ඉඩ හැර තිබේ.

මාධ්‍ය නිදහස, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය වැනි කරුණු තුළින් යහපාලන ආණ්ඩුව බොහෝ යහපත් දේ කොට ඇති බව සත්‍යයි. කෙසේ වෙතත්, ආහාර සහ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමෙන් බැටකන ජනතාවකට ඉහත කී යහපත් දෑ කෙලින්ම ඇඟට දැනෙන සහන නොවේ. “යහපාලනය කන්නදැ” යි එක් ත්‍රීවීලර් රියැදුරෙක් මගෙන් ඇසුවේය.

මේ ආණ්ඩුවේ මූලික ක්‍රියාකලාපයේ ස්වභාවය බොහෝ විට තාක්ෂණික මුහුණුවරක් ගත්තේය. එය, සංවර්ධිත රටකට නම් කියාපු එළැඹුමකි. අනිත් අතට මහින්ද රාජපක්ෂ තන්ත්‍රය තුළ තිබුණේ සැණකෙලි ස්වභාවයකි. යෝධ ව්‍යාපෘති හරහා ඔවුන් අත යටින් උපයා ගත් මහා ධනස්කන්ධනයක් මෙවර මැතිවරණය සඳහා වියදම් කෙරුණි. ගමේ මිනිස්සු, බිංදු හතේ වටිනාකම සහ බිංදු හතරේ වටිනාකම අතර වෙනස නොහඳුනති. රාජපක්ෂ යුගයේ ගොඩනැගුණු සෝබන ව්‍යාපෘති සහ අධික වියදම්කාරී මහා මාර්ග පද්ධති ඔවුන් ඉදිරියේ ප්‍රාදුර්භූත වුණේ නූතනත්වය වෙත පනින මහා පිම්මක් වශයෙනි. දැනටත් ඔවුහූ ඒවා එසේ දකිති. එසේම රාජපක්ෂ පවුල සහ රාජ්‍ය තන්ත්‍රය යම් තාක් දූෂිත බවට අදහසක් ද මේ අතරේ ඔවුන්ට තිබුණි. මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වන්නේ ඒ අනුහසිනි. එහෙත් ඒ 2015 දී ය. ඔවුහූ දැන් එසේ නොසිතති.

පසුගිය ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් විණි නම් ඔහුට මහින්ද රාජපක්ෂව පරාජය කිරීමට නොහැකි වනු ඇත. එය ඇත්තක් වේවා, නොවේවා, මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා වෙන අවස්ථාවේ රටේ තිබූ අදහස එයයි. ඊට කලින් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාව පත්කරන අවස්ථාවේ රනිල් සම්බන්ධයෙන් රටේ තිබූ අදහසත් එයමයි. එහි අදහස වුණේ, එල්.ටී.ටී.ඊ. සංවිධානය හමුදාමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව ජයග්‍රාහීව සිටි ප්‍රතිමල්ලවයා පරාජය කිරීමට තරම් සිංහල-බෞද්ධ පදනමක් රනිල්ට නොතිබුණු බවයි. එසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ විධායක මණ්ඩලයේ පැහැදිළි බලය තම අතේ තබා ගැනීමට ඔහු සමත්ව තිබේ. පක්ෂයෙන් ඔහුව ඉවත් කිරීම එබැවින් පහසු කටයුත්තක් නොවේ. මේවා පක්ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය සිතා බැලිය යුතු දේවල් ය.

මෑතකදී පැවැත්වු පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට එතරම් කැමැත්තක් දැක්වීමට ඡන්දදායකයා පෙළඹුණේ මන්දැයි අපි විමසා බලමු. යහපාලනයේ එක වසරක් තුළ, සාමාන්‍ය මිනිසා තුළ ඒ කෙරෙහි තිබූ ප්‍රසාදය ඒ වියැකී ගිය බව කිව යුතුය. ඡන්දයෙන් පරාජය වූ පුද්ගලයන්ව මෛත්‍රීපාල සිරිසේන පස්ස දොරෙන් ඇතුල් කර ගන්නා විට, එසේ නොකිරීමට තරම් සෘජු භාවයක් රනිල් වික්‍රමසිංහට තිබීම ගැන කවුරුත් හොඳ කීහ. මැතිවරණයකින් පරාජයට පත්වු රෝසි සේනානායකව පාර්ලිමේන්තුවට ගැනීම සඳහා බලවත් ඉල්ලීමක් තිබුණ ද රනිල් එය නොකෙළේය. අනතුරුව ඔහු පැකිළුණේය. බෙහෙවින් පැකිළුණේය. මේ අතර ජනාධිපති සිරිසේන කෙළේ සිල්ලර වෙළඳාමේ යෙදීමයි. තමා විධායක ජනාධිපතිවරයා බව අමතක කළ ඔහු, ගැහැනුන්ගේ තනපට කරට ගත්තේය. පැණි බීමවල අඩංගු සීනි අන්තර්ගතය ලොකු කර ගත්තේය.

අනතුරුව යහපාලන ආණ්ඩුවටත් දූෂණ චෝදනා එල්ල විය. බැඳුම්කරය පිපිරුවේය. මහින්ද රාජපක්ෂට කළ හැකි දේ රනිල් වික්‍රමසිංහට කළ නොහැක. හොරුන්ව ආරක්ෂා කරන ක්‍රමය ඔහු නොදන්නේය. එය මහින්ද රාජපක්ෂගේ විශේෂඥතාවකි. රනිල් වික්‍රමසිංහ කිසි හොරෙකු වෙනුවෙන් පෙනී සිටිය යුතුව තිබුණේ නැත. ඔහුට ජනවරමක් ලැබුණේම ඒ වෙනුවෙනි.

ඔහු ප්‍රධාන කාරණා දෙකක් අමතක කෙළේය. එනම්, සුදුස්සන් නිසි තැන්වල තැබීමත්, දූෂිතයන්ව අතේ දුරින් තබා ගැනීමත් ය. අර්ජුන මහේන්ද්‍රන්ව ආරක්ෂා කළ රනිල්, රවී කරුණානායකව ළඟින් තියාගත්තේය. දූෂිතයන් වශයෙන් සැලකෙන තවත් එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් ගැන, සිරිසේනගේ ඇමතිවරු ඔහුට ගතු කීහ. එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් සාරවත් අමාත්‍යාංශ ලබා ගන්නේ පරාර්ථය සඳහා නොව, කුට්ටිය වැඩියෙන් ලැබෙන නිසා බවට මතයක් විය. මුල් කාලයේ රනිල්, සිරිසේන ළඟින් සිටියේය. ඔහුගේ අවශ්‍යතා ඉටු කර දෙන තත්වයක සිටියේය. කෙසේ වෙතත්, ආණ්ඩුවේ සමානයන් අතර ප්‍රමුඛයා වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකුව පත් නොකිරීම ගැන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික මන්ත්‍රීවරුන් සිටියේ සිරිසේන ගැන අමනාපයෙනි.

එහෙත් යහපාලන ආණ්ඩුවට කළමනාකරණය කර ගත නොහැකි වු ප්‍රධාන ප්‍රශ්න ඒවා නොවේ. ඔවුන් තමන් විසින්ම ප්‍රදානය කරන ලද නිදහස මත වැඩෙන්නට විපක්ෂයට ඉඩ හැරියේය. එය, බරපතල වැරැද්දකි. කකුල් පණ නැතිව රටක් ආණ්ඩු කළ නොහැක. ශ්‍රී ලංකාවේ එකම දේශපාලඥයෙකුවත් දූෂණය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වී නැත. එය ඉබේ ඇති වු තත්වයක් නොව, ඕනෑ කමින් පවත්වාගෙන ආ තත්වයකි. එක දේශපාලඥයෙකුට එරෙහිව තවත් දේශපාලඥයෙකු දූෂණය සම්බන්ධයෙන් පියවර නොගන්නේ, තමන්ටත් දවසක ඒ අවදානමටම මුහුණදීමට සිදු විය හැකි බැවිනි. දූෂණයට එරෙහිව පෙනී සිටීමට තරම් ශක්තියක් නැති දුර්වලයා පස්ස ගසන්නේ තමන්ව බොරු චෝදනා යටතේ දඬුවමට ලක්කළ හැකි බවට ඇති අවදානම නිසා ය. පක්ෂ අභ්‍යන්තරයේ සිටිනවුන් පෙන්වා දෙන පරිදි, රනිල් අයත් වන්නේ අර පසුව කී දුර්වලයන්ගේ කණ්ඩායමටයි. චෝදනා ගොනු කිරීම පමා කැරැවීම සඳහා හිටපු නීතිපතිවරයාට රනිල් බලපෑම් කළ බවත් කියනු ලැබේ.

නාමල් රාජපක්ෂගේ නමින් ඩුබායි බැංකුවක ඇති ඩොලර් බිලියන 1.4 ක් ගැන මාධ්‍ය තුළ පුළුල් ප්‍රචාරයක් ගෙන යනු ලැබුණි. එහෙත් ඒ ගැන හරිහමන් යමක් කෙරුණේ නැත. විමල් වීරවංශගේ සහ ඔහුගේ බිරිඳගේ හොර උප්පැන්න සහතික සහ හොර පාස්පෝට් සොයා ගැනුණත් මේ දක්වා ඔවුන්ට විරුද්ධව කිසිවක් සිදු වී නැත. රාජ්‍යයන් දෙකක් අතර සිදු විණැයි කී කුප්‍රකට මිග් යානා ගනුදෙනුව ගැන එදා මාධ්‍ය තුළ වාර්තා කෙරුණත් අද වන විට දැන ගැනීමට ඇත්තේ එය, පුද්ගලයෙකු සහ රාජ්‍යයක් අතර කෙරුණු ගනුදෙනුවක් බවයි. ඩොලර් මිලියන 7 ක වංචාවක් එහිදී සිදුව තිබේ. මේ දක්වා ඒ ගැන කිසි කතාවක් නැත. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම, වසීම් තාජුඩීන් ඝාතනය ආදී සියල්ල එක තැන පල් වෙයි. දෙමළ තරුණයන් හත් දෙනෙකු ඝාතනය කිරීම තවත් සිද්ධියකි. “සාගින්නට එරෙහි ක්‍රියාන්විතය” නැමැති ප්‍රංශ සංවිධානයේ සේවය කළ සේවකයන් අමු අමුවේ ඝාතනය කර දැමීම තවත් සිද්ධියකි. මේ ලැයිස්තුව තව බොහෝ දිග ය.

යහපාලන ආණ්ඩුව අවශ්‍ය තන්හිදී කඩිනම් නොවුණේ මන්ද යන්න අභිරහසකි. එහෙත් එය ගුප්ත කාරණයක් නොවේ. මහින්ද රාජපක්ෂ පන්සල් ගානේ ගියේය. මාධ්‍ය කැමරා ඉදිරියේ භික්ෂූන් වහන්සේලාව දැපනේ දාගත්තේය. ඡන්ද කඩාවඩා ගැනීම සඳහා සිංහල-බෞද්ධ කම අනිත් ප්‍රජාවන්ට ඉහළින් උඩ දැම්මේය. ඇත්ත වශයෙන් ගතහොත්, ඒ දෙක කෙරෙහිම, එනම් සිංහල කමත්, බෞද්ධ කමත් පිළිබඳව ඔහුට ඇත්තේ සමච්චලයකි. අනිත් පැත්තෙන් රනිල් කෙළේ, රාජපක්ෂලාව ආරක්ෂා කරමින්, ඔවුන් සහ මෛත්‍රිපාල අතර බෙදීමක් ඇති කිරීමට බැලීමයි. මේ අතරේ මෛත්‍රීපාල ද ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි ඇඟෑලුම් පෑවේය. ඔහුව රටින් ද පිට කොට තැබීමෙන් සමහර විට පසු අවස්ථාවක ඔහුගේ සහාය තමන්ට ලබා ගත හැකි වෙතැයි සිතන්ට ඇත. දෙන්නාම, 2015 දී දෙන ලද ජන වරම ඉදිරියේ, ගස් දැක්කා මිස කැලය දැක්කේ නැත.

ඒ අස්සේ බැඳුම්කරය ආවේය. රවී කරුණානායක ඊට ලුණු මිරිස් දැම්මේය. ඒ සමග, තමන් හොරුන්ට දඬුවම් කළත් අනෙක් කෙනා එසේ නොකරන බවට චෝදනා කරන්ට විය. පළාත් පාලන ඡන්දයේදී මේ බැඳුම්කරය ගැන මිනිස්සු සිහියෙන් සිටියහ. මෙය, ඉතා ඉහළ තලයක සිදු වූ වංචාවක් වුවත්, එය තමන් විසින් තමන්ටම සලසා ගත් අතවරයකි. මේ සියල්ල අස්සේ හිටපු පාලකයෝ සුදනෝ වූහ.

ආණ්ඩුවේ සිටින දෙපාර්ශ්වය සමග එකට කටයුතු කිරීම තමාගේ වගකීම බව මෛත්‍රීපාල අමතක කෙළේය. රනිල් වික්‍රමසිංහත් එසේම ය. දේශපාලන ක්‍රීඩාවේ දීර්ඝ පළපුරුද්දක් ඇති රනිල්ට සිරිසේනව ආම්බාන් කර ගැනීමටවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ද්‍රෝහී මැති ඇමතිවරුන් මෙල්ල කර ගැනීමටවත් නොහැකි විය. චන්ද්‍රිකා සම්බන්ධයෙන් ද ඔහු අසමත් විය. “කිසි දෙයක් වෙන්නේ නැහැ” යන්න සාමාන්‍ය කියමනක් බවට පත්විය. භාණ්ඩ මිල රාජපක්ෂ කාලයේ මීට වඩා අධිකව තිබුණත්, යහපාලන පාලකයන් ඒවා දැන සිටියේ නැත. පුදුම ය.

ඉතිං, ශ්‍රී ලංකාවේ අනාගතය කෙසේ විය හැකි ද? ඉස්සර හිටපු හොරුන් සහ අපරාධකරුවන් පිළිබඳ සිද්ධි ගැන කඩිනමින් ක්‍රියා නොකළොත් සියල්ල අහවර වනු ඇත. ඔවුන්ට නොව, අපට ය. යහපාලනයට, සංවේදය සහ සංවේදීතාව ලබා දිය යුතුව තිබේ.

2018 පෙබරවාරි 14 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ   Sense and Sensibility  නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

 

Back to Top