Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගයම් ප්‍රමාණයකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු කරලා තියෙද්දිත්, පරාජයවීම ප්‍රශ්නයක් – ජයම්පතී වික්‍රමරත්න

යම් ප්‍රමාණයකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු කරලා තියෙද්දිත්, පරාජයවීම ප්‍රශ්නයක් – ජයම්පතී වික්‍රමරත්න

by

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් වුණා. ‍ඔබ මේ ප්‍රතිඵල විග්‍රහ කරන්නේ කෙසේද?

පළාත් පාලන ආයතනවල තියන මැතිවරණය ජාතික දේශපාලනයට බලපානවා කියන එකෙන් අපිට ගැලවෙන්න බැහැ. මෙහිදී ජනතාව ඡන්දය දිය යුත්තේ පළාත් පාලන ආයතනයට හොඳ කවුද? කියන මතයේ ඉඳිමිනුයි. නමුත් මේ මැතිවරණය ඊට වඩා ඉහළට යන බව අපි දන්නවා. ඒක හංගන්න බැහැ.

ප්‍රතිඵල දිහා බලපුවාම අපිට පෙනෙන දෙයක් තමයි, ආණ්ඩුව කිසියම් පසුබැසීමකට ලක්වෙලා තිබෙනවා කියන එක. යම් ප්‍රමාණයකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු කරලා තියෙද්දිත්, මෙහෙම සිද්ධ වුණේ ඇයි කියන එක ප්‍රශ්නයක්. ආණ්ඩුව 19 වැනි සංශෝධනයේ යම් වෙනසක් කරලා ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍ය පියවර ගත්තා. තොරතුරු ලබාගැනීමේ පනත ගෙනාවා. ජනතාවට අද කතා කිරීමේ නිදහස තියෙනවා. ආණ්ඩුව විවේචනය කිරීමේ නිදහස තියෙනවා. ඒවා ඔක්කොම ජනවාරි 8 කළ වෙනසින් ජනතාව බලාපොරොත්තු වුණු දේවල්. නමුත් එහෙම තියෙද්දිත් මේ ආණ්ඩුවේ සමහර ක්‍රියා මේ ප්‍රතිඵලයට බලපෑවා. මෙහිදී අපේ පක්‍ෂයේ පිළිගැනීම තමයි, ජනවාරි 8 පොදු න්‍යාය පත්‍රයට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ, ඒ වාගේම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තමන්ගේ අනාගත සැලසුම් වලට අනුව වැඩකිරීමක් සිදුවුණා. අපි දූෂණ වංචා ආදිය පිළිබඳ ගත්තොත් දෙගොල්ලන්ට ම ජනතාව චෝදනා නගනවා. මේවායේ ඇත්ත නැත්ත කුමන ප්‍රමාණයට වුවත් ජනතාව විශ්වාස කරනවා, ඒවායේදී ආණ්ඩුව සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා. සමහ‍‍ර ස්වාමීන්වහන්සේලා සහ හමුදාවේ ඇතැම් කොටස් වගේ ඉහළ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහනශීලී වුණා කියලා චෝදනාවක් තියෙනවා. ජනතාවත් ඒවා විශ්වාස කරනවා. ඒවාගේම රාජපක්ෂ පවුලේ සහ ඊට කිට්ටු අයගේ දූෂණ සම්බන්ධයෙන් අගමැතිතුමා සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළා කියලා යහපාලනයට ඡන්දය දුන් ජනතාව අතර විශ්වාසයක් තියෙනවා. මේවා ආණ්ඩුවට තදින් බලපෑවා කියලා මම විශ්වාස කරනවා. සමස්තයක් වශයෙන් ගත්තම වංචා දූෂණ අපරාධවලට සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට පමුණුවලා, වරදකරුවන්ට දඬුවම් දීමට අපොහොසත් වුණා.

ඒ එක්කම ජනවාරි 8 වැනිදා පරාදවුණු බලවේග ආණ්ඩුවට එක්වීමද බලපෑවා. එහෙම ආණ්ඩුවට සම්බන්ධ වුණු අය කතා කරන දේවල් බලපුවාම ඔවුන්ට ජනවාරි 8 සංකල්පය සමඟ කිසිම අව‍බෝධයක් නැතිබව පේනවා. ජනතාව පරාජය කළ දූෂිතයන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනල්ලා ඔවුන්ගේ බලය අඩපණ කරන එක අලුත් ආණ්ඩුවක ප්‍රධාන වගකීමක්. අපි කියන්නේ නැහැ, ඒවා නීතියට පටහැනිව ගිහින්ලා කරන්න කියලා. නමුත් සමහර තැන්වල නීතිය ඉතා හිමින් කෙරෙන්නේ. මේවා තමයි මම මේ පසු බෑමට දකින හේතු.

මැතිවරණය පරාද බව විපක්ෂය කියද්දී, ආණ්ඩුව කියන්නේ එවැනි පරාජයක් ලැබුණේ නැහැ කියලයි. මේ මැතිවරණයෙන් ආණ්ඩුව දිනුම් ද? පරාද ද?

සංඛ්‍යා ලේඛන ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්ත‍යා 2015 ගත්තු ඡන්ද ප්‍රමාණයට ව‍ඩා අඩු ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ. එදා ඔහුට විරුද්ධව හිටපු අයගේ ඡන්ද එකතු කරපුවාම ඔහුගේ ඡන්දවලට වඩා වැඩියි. ඒ අතින් ආණ්ඩුවට තර්ක කරන්න පුළුවන්. එහි සත්‍යයකුත් තියෙනවා. නමුත් බලය ගන්න පුළුවන් තැන්වල ආණ්ඩුවේ පසුබැසීමක් තියෙනවා.

මෙයට බලපෑ හේතු මොනවාද?

එකක් තමයි වෙන්වී සිටීම, එකිනෙකා තදින් විවේචනය කරගැනීම, එක්සත් ජාතික පක්ෂය හිතන්න ඇති සමහරවිට රාජපක්ෂ පාර්ශ්වය ඕනැවට වඩා දුර්වල නොවිය යුතුයි කියලා. නමුත් ඒකෙන් පොහොට්ටුවට වාසියක් ආවා. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බැඳුම්කර ගැන පහර ගහන්න ගත්තා. මම කිසිම ආකාරයකින් බැඳුම්කර සිදුවීමේදී රජය ආරක්ෂා කරන්න කටුයුතු කරන්නේ නැහැ. එයට නීතිමය පියවර අරගෙන දඬුවම් කළ යුතුයි. මේ ආණ්ඩුවට කිසිම දූෂණයකට ඉඩ තියන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒවා‍ගේම ඔවුන්ට යුතුකමක් තියෙනවා ජනවාරි 8 ට කලින් ඒවා ගැනත් නීතිය ක්‍රියාත්මක කරන්න. අනික අභ්‍යන්තරයේ කරගතු යුතු විවේචන එළියේ සිදුවෙනවා අපි දැක්කා. සමහර කැබිනට් තීන්දු ගත්තම ඇමැතිවරු ඒකට විරුද්ධව එළියේ චෝදනා කළා. ඉතින් මේ දෙපැත්තට බෙදී එක ආණ්ඩුවේ අය විවේචන කරගැනීම නිසා වාසිය ගියේ පොදු ජන පෙරමුණටයි.

මේ බලය ආපසු හරවා ගන්න ආණ්ඩුවට පුළුවන්ද?

ආපසු හැරවීම අමාරු දෙයක් ලෙස මම දකින්නේ නැහැ. ඒකේ තියෙන රිදී රේඛාව තමයි ඡන්ද ප්‍රමාණය. එතකොට කරගත යුත්තේ ඒ ඡන්ද ප්‍රමාණය ආපසු එකතු කරගන්නේ කොහොමද බලන එකයි. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය අපි දකින්නේ පැසිස්ට් මාදිලියේ ජාතිවාදී බලවේග ඉදිරියට ඒමට හේතුවී තිබෙනවා කියලයි. ඡන්දයෙන් ඉස්සරලත්, ඡන්ද කාලෙත්, ඊට පස්සෙත් අපි මේක දැක්කා. පැසිස්ට්වාදී බලවේගයක්, ජාතිවාදී බලවේගයක් එනකොට අපි සියලු දෙනා අපි අතර තිබෙන වෙනස්කම් මඳකට පසෙකලා පැසිස්ට් මාදිලියේ ජාතිවාදී බලවේගවලට එරෙහි‍ව පෙළ ගැහෙන්න ඕනේ. ඒ බලවේග ජයග්‍රහනය කළොත් ශ්‍රී ලංකාව අධිකාරී යුගයකට යනවා. ‍මේක ඉතා අමාරුවෙන් ජනතාව කරගත්තු වෙනසක්. එමනිසා මෙය නැවත ඒකරාශී කරගතයුතු වෙනවා. මෙතෙන්දි ආණ්ඩුවට රතු එළියක් දල්වනවා වගේම, මහින්ද රාජපක්ෂ මහත්තයාටත් කියන්න ලොකු වාසියක් නැහැ. ඡන්ද බෙදීම නිසා සහ මැතිවරණ ක්‍රමයේ ස්ව‍රූපය නිසා ඔවුන්ට වැඩි බලයක් ලැබිලා තියෙනවා. නමුත් ඔහුට රටේ බලය ලබාදීම‍ට ජනතාව සූදානම් නැති බවත් පැහැදිලියි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ දැන්වත් නිවැරදි දේ කරන්න කියලයි.

මේ ආණ්ඩුවේ තේමාව “යහපාලනය”යි. ප්‍රතිඵල වලින් කියවෙන්නේ ජනතාව යහපාලනය පිළිගන්නේ නැහැ කියන එකද? එහෙම නැත්නම් ආණ්ඩුවට යහපාලනය තේරෙන්නේ නැහැ කියන එකද?

ජනතාවට යහපාලනය අවශ්‍යයි. මේ රටේ ජනතාව එහෙම අඩු තක්සේරු කරන්න සූදානමක් නැහැ. විශේෂයෙන්ම 2010-2015 අතර කාලයේ හුඟක් අය හිතුවා අපේ ශ්‍රී ලංකාව ඉවරයි කියලා. සමහර විදේශගත වන ශ්‍රී ලංකිකයෝ කිව්වා ලංකාවට ආපහු එන්න හිතෙන්නේ නැහැ කියලා. නමුත් අපි එක්තරා පිරිසක් හිටියා ඒ බව පිළිගත්තේ නැති. ඒ පිරිසට නායකත්වය දෙන්න මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ හිටියා. ‍උන්වහන්සේ විශාල ශක්තිමත් බලවේගයක් හැදුවා. ඒ සමාජ බලවේගය ශක්තිමත් වෙන්න, ශක්තිමත් වෙන්න, ‍දේශපාලන බලවේග ඒ ව්‍යාපාරයට ඇදුණා. එතැන හිටපු ජනතාව මොනවද එදා ඉල්ලුවේ. ජනතාවට තවමත් ඒ වෙනස අවශ්‍යයි‍. ආණ්ඩුවට යහපාලනය තේරෙන්නේ නැහැ කියලා මම හිතන්නේ නැහැ. එච්චර ආණ්ඩුව මෝඩ නැහැ. නමුත් එකිනෙකාගේ පක්ෂවල දේශපාලන ඕනෑ එපාකම්වලට ඔවුන් ප්‍රමුඛත්වයක් දෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. අද අවශ්‍ය නැව යන මාර්ගය නිවැරදි කර ගැනීමක්. ඉදිරියට යාහැක්කේ ඒ අනුවයි.

මේ මැතිවරණය ජනමත විචාරණයක් ලෙස සලකන්න කියලා ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් මුල සිටම කියනවා අපි දැක්කා. මේ ප්‍රතිඵලය ජනමත විචාරණයක් ලෙස ඔබ දකිනවාද?

හුඟ දෙනෙක් එහෙම හිතුවා. නමුත් ජනතාව එහෙම හිතුවේ නැහැ කියලයි මම හිතන්නේ. සමහර තැන්වල ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ සම්පූර්ණයෙන් ම දේශපාලන හේතු මතයි. ඒ වාගේම අතිවිශාල ප්‍රමාණයක් ඡන්දේ දුන්නේ අපේක්ෂකයන් දිහා බලලා. රටේ තියෙන ප්‍රශ්න දිහා බලලා නොවේ. පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ප්‍රධාන දෙයක් තමයි පාර්ලිමේන්තුවේදී තමන්ගේ ඡන්ද බලය භාවිත කරනවා. එය තමන්ගේ පරමාධිපත්‍යයේ කොටසක්. එහෙම කරලා ඔවුන් තමන්ගේ බලය අවුරුදු 5කට පාර්ලිමේන්තුවට දෙනවා. ඉතින් ඒ තත්ත්වය පළාත් පාලන ඡන්දයකදී හරි පළාත් සභා ඡන්දයකදී හරි වෙනස් වෙනවා නම් එහෙම නම් ලංකාවේ ඡන්ද තියන්න ඕනේ එකයි. අනිත්වා තියලා තේරුමක් නැහැ. පළාත් සභා, පළාත් පාලනවලටයි, පාර්ලිමේන්තුවටයි, ජනාධිපතිවරණයටයි වරින්වර ඡන්ද තියන්න ඕනේ නැහැ. එක ඡන්දයක් තියලා අවුරුදු පහට ඔක්කොම තීරණය කරන්න ඕනේ. එහෙම බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය එහෙම නොවේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තීරණය වෙන්නේ ඒ ආකාරයට නොවේ. පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ එයට අවුරුදු පහක ජනවරමක් ලැබෙනවා. පළාත්පාලන ඡන්දය පැරදිලා ඊට කාලෙකට පස්සේ වැරදි හදාගෙන ආණ්ඩුව නැවැත මහ ඡන්දයේදී බලය ලබාගත්තු අවස්ථා ලෝකයේ ඕනෑතරම් තියෙනවා.

මේක ජනමතයක් කියන එක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයටම පටහැනි ප්‍රකාශයක්.

ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් තමයි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. නමුත් මැතිවරණ ප්‍රතිඵලත් සමඟ එයට විරෝධයක් එල්ල වී ඇති බවක් සමහරු තර්ක කරනවා?

ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා ජනවාරි 8 සංකල්පයේ මූලික දෙයක්. මේ රටේ ජනතාව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වුණා. විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමක් බලාපොරොත්තු වුණා. මැතිවරණ ක්‍රමයේ වෙනසක්, බලය බෙදා හැරීම තුළින් ජනවාර්ගික ගැටලුවට දීර්ඝකාලීන විසඳුමක් ආදියත් මෙහිදී බලාපොරොත්තු වුණා. ඒ සඳහා විශාල කැපකිරීමක් අවශ්‍යයි. මට එක්තරා කලකිරීමක් තියෙනවා, මේ ආණ්ඩුව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට කැපවෙලා වැඩකරන ආකාරය ගැන. එය ප්‍රමාණවත් නැහැ. අපිට අඩුගානේ එක වාර්තාවක් ඉදිරිපත් කරන්න බැරිවුණා.

අනික් කාරණය තමයි, නායක මට්ටමේ ඉන්න දේශපාලනඥයන්ට ව්‍යවස්ථාවේ වෙනසක් කිරීමේ උණක් තියෙන්න ඕනේ. එහෙම උණක් නැතිව ඒ වෙනස කරන්න බැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනි‍යගේ යුගයේදීයි, මේ යුගයේයි වෙනස මේකයි. එදා ඒ ක්‍රියාවලිය කරගෙන ගිය ආකාරය පිළිබඳ යම් දුර්වලකම් තියෙනවා. ඒ ගැන අපේ විවේචන තියෙනවා. මොකද දෙවැනි අවු‍රුද්දේ කරන්න ඕනේ දේ කළේ පස්වැනි අවුරුද්දේයි. එතකොට කාලය මදි. නමුත් එතුමිය‍ගේ කැපවීම පිළිබඳ අපිට කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. අර කියමනක් තියෙනවානේ, නායකයෝ නායකත්වය දෙන්න ඕනේ ඉස්සරහා ඉදන් කියලා. එහෙම නායකත්වය දීලා මේ රටේ මහජන මතය වෙනස් කරන්න ඇය කටයුතු කළා. 1996දී රහසිගත මත විමසුමක් කරලා බැලුවා. ඒ අනුව රටේ සිංහල ජනතාවගෙන් 28%ක් පමණයි කැමැත්ත තිබුණේ දේශපාලන විසඳුමකට. ඊට පස්සේ සුදු‍ නෙළුම් ව්‍යාපාරය, තවලම වැනි ව්‍යාපාර රටපුරා අ‍රගෙන ගියා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස 1998 වෙද්දී දේශපාලන විසඳුමට සිංහල ජනතාවගෙන් 68%ක් කැමැති වෙලා තිබුණා. චන්ද්‍රිකා මැතිනිය එදා කළ ඒ වෙනස සමාජයේ අද තවම තියෙනවා‍. අද රටේ ජාතිවාදයට ඔය කියන තර‍ම් මිනිස්සු යට වෙන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුව ඒ තරමට ඇඟට අරගෙන ඒ වැඩපිළිවෙළ ගෙන යන බවක් පෙන්නුවෙ නැහැ. ඒක අපේ පක්ෂයෙන් ආණ්ඩුවට එල්ල කරන ‍චෝදනාවක්. දැන්වත් පරක්කු නැහැ. මොකද අපි ඉදිරියට මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නේ නැද්ද? ජාතික ප්‍රශ්නයට විසැඳුමක් දෙන්නේ නැද්ද? ඒවා කළ යුතුයි.

දැන් බලන්න යාපනයේ ඡන්ද ප්‍රතිඵල. යාපනයේ දිස්ත්‍රික්කයේ දෙමළ සන්ධානයේ ඡන්ද ලක්ෂයක් අඩුවෙලා තියෙනවා. ඒවා ගියේ අන්තවාදී කණ්ඩායමකටයි. අපි ඒ ගැන සලකා බලන්න ඕනේ. වාසනාවකට දෙමළ සන්ධානය අනෙක් දිස්ත්‍රික්ක දිනාගත්තා. දෙමළ ජනතාවගේ සංස්කෘතික අගනුවර වන යාපනයෙන් මධ්‍යස්ථ මතධාරී දෙමළ සන්ධානය පැරදුණා. මොකද එහෙම වුණේ? මෙහෙ අන්තවාදීන් ශක්තිමත් වෙනවා, එතකොට එහෙත් අන්තවාදීන් ශක්තිමත් වෙනවා. මධ්‍යස්ථ මතධාරීන් ශක්තිමත් වෙන්නේ නැහැ. සම්පන්දන් මහත්තයා ඉන්න කාලේ මේ ප්‍රශ්නයට අපි විසැඳුම් සොයා ගන්න ඕනේ. තවත් මේක අදින්න බැහැ. මැතිවරණ ක්‍රමය, මනාප ක්‍රමය වෙනස් කරන්න ඕනේ. අධික‍රණයේ ස්වාධීනත්වය තහවුරු කරන්න ඕනේ. නව මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇති කරන්න ඕනේ. අපි දැනටමත් යෝජනා කරලා තියෙනවා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වලට සීමා වෙන්නේ නැතිව අනිකුත් දියුණු වෙමින් පවතින රටවල් කරනවා ‍වගේ සමාජ, ආර්ථික, සංස්කෘතික, ළමා හා කාන්තා, ෙජ්‍යෂ්ඨ පුරවැසි ආදි ‍අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරන්න. ලෝකයේ වෙනත් රටවල් ඉස්සරහට ගිහින්ලා තියෙනවා. අපිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල වැදගත්කම අවතක්සේරු නොකළ යුතුයි.

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවෙලා තිබෙනවා. කාන්තා නියෝජනය පිළිබඳ ගැටලු පවතින බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාත් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයට කාන්තා නියෝජනය ඇතුළත් කළයුතුයි යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ තිබෙන පිළිගැනීම ගැටලු සහගතයි නේද?

අපි ‍එහිදී එකඟ වුණේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල දිහා බලලා තීරණයක් ගන්නයි. දැනට සංඛ්‍යා ලේඛන ලැබිලා නැති නිසා ඒ ගැන තවම නිශ්චිත පිළිතුරක් දෙන්න බැහැ. මෙහිදී සමානුපාතික නියෝජනය ආරක්ෂා කිරීම, මනාප ක්‍රමය නවත්වලා කොට්ඨාසවලට මන්ත්‍රීවරයෙක් ඇතිකිරීම සහ යම් කාන්තා නියෝජනයක් ඇතිකිරීම යන කාරණා තුනට මම පක්ෂයි. අපි මේක හොඳින්ම කළ හැකි ක්‍රමයකුයි බලන්න ඕනේ.

මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමත් සමඟම පාර්ලිමේන්තුව විසුරවන්නැයි හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටියා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව එය කළ හැකිද?

බැහැ. ඉතාමත් පැහැදිලිව පාර්ලිමේන්තු කාලය අපි අවුරුදු 5කට අඩුකළා. නමුත් අවුරුදු හතර හමාරක් යනකම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව සිය කැමැත්තෙන් විසුරවා හරින්න බැහැ. ඒ සඳහා පාර්ලිමේන්තුව සම්මත කරලා තුනෙන් දෙකකින් සම්මත කරපු ඉල්ලීමක් කරන්න ඕනේ. ඒ අනුව තමයි පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන්. එහෙම නැතිව වර්තමාන පාර්ලිමේන්තුව 2020 මාර්තු පළමු වැනිදා වෙනකම් විසුරවන්න බැහැ.

19 වැනි සංශෝධනය අනුව අගමැතිවරයෙක් පත්කර ගත හැක්කේ කෙසේද?

19 වැනි සංශෝධනටය පෙර අගමැති පත්කළේ ජනාධිපතිවරයායි. එහිදී කුමන මන්ත්‍රීවරයාටද පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය තියෙන්නේ කියලා බලන්න ඕනේ. එහෙම කිව්වට 47 වගන්තියේදී ජනාධිපතිවරයාට බලය ලැබෙනවා අගමැතිවරයා ‍හෝ ඇමැතිවරයකු හෝ නි‍යෝජ්‍ය ඇමැතිවරයකු හෝ ඉවත් කරන්න. ඒ අනුව තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණු ගමන් දි.මු ජයරත්න මහත්තයාව අයින් කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයාව අගමැති කළේ. හැබැයි ඒ පත්කරපු කෙනාට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තියෙන්න ඕනේ.

දැන් 19 වැනි සංශෝධනයේදී අපි සම්පූර්ණයෙන්ම 47 වගන්තිය අයින්කළා. අද අගමැතිවරයා ඉවත්කිරීම පිළිබඳ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්නට නැහැ. එමගින් පාර්ලිමේන්තුව ශක්තිමත් කෙරිලා තියෙන්නේ. පාර්ලිමේන්තුවට තෝරා පත්කළාට පස්සේ ජනාධිපතිවරයාට හිතුමතේට අගමැතිව අයින් කරන්න බැහැ.

එතකොට අගමැති ඉවත් කරන්නේ කොහොමද?

පාර්ලිමේන්තුවල තියෙන සම්ප්‍රදාය තමයි අගමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම. 1948,1972 ව්‍යවස්ථාවලත්, පාර්ලිමේන්තු ක්‍රමය තිබෙන අනික් රටවලත් වෙන්නේ එහෙමයි. ඒ නිසා අගමැතිවරයා ඉවත් කිරීමේ එකම ක්‍රමය තමයි, පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංගයක් ගෙනඒම නැතිව, මන්ත්‍රීවරු 113 අරගෙන ගිහින් ජනාධිපතිට පෙන්නුවට අගමැති වෙනස් කරන්න බැහැ. ඒ වෙනස කිරීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. කොහොම හරි ‍ඒ ආකාරයෙන් අගමැති පාර්ලිමේන්තුවෙන් ඉවත්කළොත්, අලුත් අගමැති පත්කරන්න බලය ජනාධිපතිට නැවත ලැබෙනවා. නමුත් ඔහුට පාර්ලිමේන්තු බලය නැත්නම් විශ්වාසභංග යෝජනාවකින් පරදිනවා.

සංවාදය
මලික් චමින්ද ධර්මවර්ධන/ සිළුමින

Back to Top