Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගමැතිවරණමය කුජීතයක සිට නිර්මාණය කරන ලද අර්බුදයක් දක්වා – තිසරණී ගුණසේකර

මැතිවරණමය කුජීතයක සිට නිර්මාණය කරන ලද අර්බුදයක් දක්වා – තිසරණී ගුණසේකර

by

“සංවර්ධනය සහ සෞභාග්‍යය උදා කරලීම අරභයා ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙන ලද පොරොන්දු ඉෂ්ට කර දීමට සෑම පක්ෂයක්ම එක්ව උත්සාහ කළ යුතුය.”
– මල්වතු පාර්ශ්වයේ මහනායක,  අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අමතා ලියන ලද ලිපිය.

මුලින්ම මූලික කරුණු වෙත:

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන ඡන්දයකින් පරාජයට පත්විය. එය, ජනාධිපතිවරණයක්වත්, පාර්ලිමේන්තු මැතිවරණයක්වත්, අඩු වශයෙන්, පළාත් සභා මැතිවරණයක්වත් නොවේ. පළාත් පාලන ආයතන මැතිවරණයක් යනු, ගමේ කටයුතු කළමනාකරණය කරන්නේ කවුරුන් ද යන්න විනිශ්චය කරන මැතිවරණයකි. එබැවින් රට පාලනය කරන්නේ කවුරුන්ද යන්න විනිශ්චය කිරීම පළාත් පාලන ඡන්දයකින් කළ හැක්කක් නොවේ. එය ඉදිරියේ එන ආණ්ඩුවක් පිළිබඳ සංඥාවක් විය හැකිය. එසේ වූ පමණින්, පවතින ආණ්ඩුව පෙරලා දැමීමට එය හේතුවක් නොවේ.

මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් දින්නේ නැත. ඔවුන් දින්නේ පළාත් පාලන මැතිවරණයකි. ඒ ජයග්‍රහණය ඔස්සේ එකී පළාත් පාලන ආයතන පාලනය කරගෙන යාමට ඔවුන්ට බලය ලැබී තිබේ. එසේ වූ පමණින්, රටේ ආණ්ඩුව පිහිටුවීමේ බලයක් ඔවුන්ට ලැබෙන්නේ නැත.

2020 ට කලින් තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවීමට රාජපක්ෂ මහතාට අවශ්‍ය කරන්නේ නම්, ඔහු සතුව පවතින එකම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය වන්නේ, වර්තමාන පාර්ලිමේන්තුවේ පවතින බල තුලනය වෙනස් කිරීම ය. තෝරා පත්කර ගත් විධායකයේ උපාංගයක් බවට පාර්ලිමේන්තුව පත්වීමට තිබූ අවකාශය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කොට පාර්ලිමේන්තුව නිදහස් කෙරුණි. ඉතා අනතුරුදායක ලෙස උඩුයටිකුරු වී තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට, තුලන සහ සංවරණ කිහිපයක්, මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඊට එකතු කරන ලදි. ඒ අනුව, ගත වූ පාර්ලිමේන්තු මැතිවරණයේ සිට අවුරුදු හතර හමාරක කාලයක් යන තෙක්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිවරයාට නැත. පාර්ලිමේන්තුවට අවශ්‍ය නම්, තමන් විහින්ම තමන්ව විසුරුවා හැරිය හැකිය. ඒ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තෙනි. අගමැතිවරයා ඉවත් කිරීමත් ජනාධිපතිවරයාගේ හිතුමතේට කළ නොහේ. ඒ සඳහා ඔහු/ඇය විසින් මුලින්ම කැබිනට් මණ්ඩලය විසිරුවා හැරිය යුතුය. ඔහුට/ඇයට කැබිනට් මණ්ඩලය විසුරුවා හැරිය හැක්කේ, අගමැතිවරයා විශ්වාස භංගයකින් පරාජය වන්නේ නම් හෝ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ප්‍රතික්ෂේප වන්නේ නම් හෝ විසර්ජන පනතක් ප්‍රතික්ෂේප වන්නේ නම් හෝ පමණි. එය ඉතා සරළ භාෂාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කොට තිබේ.

එබැවින් පාර්ලිමේන්තුව වහා විසුරුවා හැරීමට හෝ අගමැතිවරයාව ඉවත් කිරීමට රාජපක්ෂ මහතාට අවශ්‍ය වන්නේ නම් ඔහු කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රමාණයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කිරීමයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ඔහුට මුළු පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක අත්සන් අවශ්‍ය කෙරේ. අගමැතිවරයා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සරළ බහුතරයක අත්සන් අවශ්‍ය කෙරේ. එසේ නොකොට රට අස්ථාවර කිරීමට තැටමීම නොමනා ය.

ගත වූ සතිය, ඉතාම අනියත වූත්, අතිශය ව්‍යාකූල වූත් කාලයකි. එවැනි තත්වයක්, ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලෙන් පසු අප අත්දැක නැත. මේ ව්‍යාකූලත්වය, පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය හේතුවෙන් ස්වභාවිකව හටගත් එකක් නොවේ. එය හිතාමතා ඇති කළ අවුලකි. එය පටන් ගත්තේ පෙබරවාරි 12 වැනි දා මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සගයන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්, පාර්ලිමේන්තුව වහා විසිරුවා හැරිය යුතු බවටත්, වහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බවටත් කරන ලද ඉල්ලීමත් සමග ය. ඒ ඉල්ලීම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බොහෝ දෙනෙක් ද, එක්සත් ජාතික පක්ෂයේ ඇතැමෙක් ද, භීතියක සහ අවුලක පැටලුණහ. රාජපක්ෂ මහතාගේ ඉල්ලීම තුළ ඇති ව්‍යවස්ථා විරෝධී භාවය රටට පැහැදිළි කර දෙමින් රට කරගෙන යනවා වෙනුවට, ආණ්ඩුවත් කුලප්පු වී, ජංජාලයක පැටලුණි. මේ අතර, මැතිවරණයකට මුහුණදීමට ඇති භීතිය නිසාම, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරු පිරිසක්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහාය ඇතිව, පවතින පාර්ලිමේන්තුව තුළම තනිකර නිල් ආණ්ඩුවක් හැදීමට කතිකා කර ගත්හ. එක්සත් ජාතික පක්ෂයේ දැඩි මතධාරීන් ඊට ප්‍රතිචාර දැක්වූයේ, ඒ හා සමානවම අප්‍රයෝගික වන තවත් අදහසකට ලඝු වෙමිනි. එනම්, තමන් ද තනිකර කොළ ආණ්ඩුවක් හැදීමට සූදානම් වීමෙනි. මේ අතරේ ජනාධිපතිවරයා එකිනෙකට පටහැනි අදහස් පළ කෙළේය. අවසානයේ කටකතා සාගරය දෙගොඩතලා ගොස් ළදරු වලිප්පුව රටේ රජ වුණේය.

රාජපක්ෂ මහතා සහ ඔහුගේ සගයන් වහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් ඉල්ලා සිටියේ එවැන්නක් සඳහා ව්‍යවස්ථානුකූල අවකාශයක් නැතැයි යන දැනුමෙන් යුක්තව ද, නැත්නම් තම සිත් තුළ ජනිත වූ ආශාව විසින් ඇති කළ මෝඩ කමක් නිසා ද යන්න පැහැදිළි නැත. රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කියවති යි අපේක්ෂා කළ නොහේ. එහෙත් ඔහුව වට කරගෙන සිටින ‘නීති විශාරදයන්’ අතරේ අඩු වශයෙන් එක් කෙනෙකු හෝ දෙන්නෙකුවත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියවා ඇතිවාට සැක නැත. එබැවින් වහා පාර්ලිමේන්තුව විසිරුවා හරින්නැයි කළ ඉල්ලීම, ආණ්ඩුකරණයේ අර්බුදයක් ඕනෑ කමින් නිර්මාණය කිරීම උදෙසා කරන ලද්දක් විය හැකිය. අරාජකත්වය වපුරමින්, (හමුදාවේ සක්‍රීය සහයෝගය සහ මහා සංඝ රත්නයේ ආශිර්වාදය සහිතව) රටේ නීතිය හා සාමය යළි සුරැකිය හැකි එකම බලවතා වශයෙන් ‘මහ පවුල’ පෙනී සිටීමට එසේ කළා විය හැකිය. එය, රාජපක්ෂගේ සංග්‍රාම සැලැස්ම වූවා වීමට හොඳටම ඉඩ තිබේ.

මේ අලකලංචි අස්සේ වැඩිහිටියෙකු සේ පෙරමුණට පැමිණි එකම තැනැත්තා බෞද්ධ භික්ෂුවක් වීම, ලාංකීය සමාජ-දේශපාලනික දේහයට වැහුණු පිස්සුවේ පරිමාව කියාපාන කදිම සංඥාවකි. ඒ අර්බුදකාරී මොහොතේ ඉදිරියට පැමිණි මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියෝ, කුලප්පු නොවී ඉන්නැයි ආණ්ඩුවට අනුශාසනා කරමින්, එසේ නොවුවහොත්, “රටේ පාලනය සහ ආර්ථිකය අනතුරේ වැටිය හැකි” බවට අනතුරු ඇඟවූහ. “එබැවින් ආණ්ඩුව කළ යුතුව ඇත්තේ, පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී දුන් ප්‍රතිඥා දුන් ඉටු කිරීම” යැයි උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ. එතුමන්ගේ පණිවිඩය ඉතා පැහැදිළි ය: 2015 ජනවරම තවදුරටත් පවතී. පළාත් පාලන මැතිවරණයකින් එය නිෂේධ කළ නොහේ. හතර අතේ වැනෙන්නේ නැතිව, ආණ්ඩුව කළ යුත්තේ, 2015 ජනවරම ප්‍රකාරව කටයුතු කිරීමයි.

වෙනස් කාලයක්: වෙනස් දේශපාලනයක්

එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණයෙන් නරකට පැරදුණේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැට්ටට පැරදුණේය. එම මැතිවරණයේ එකම සැබෑ ජයග්‍රාහකයන් වන්නේ මහින්ද රාජපක්ෂ සහ පොදු ජන පෙරමුණයි. ඔවුන්ගේ ජයග්‍රහණය දැවැන්ත ය. එහෙත්, සියයට 50 සීමාවට ඔවුන් පැමිණියේ නැත. ලාංකිකයන්ගෙන් බහුතරයක සහාය ඔවුන්ට ලැබී නැත. වෙන කිසි පක්ෂයකට හෝ සන්ධානයකට එසේ ලැබී ඇත්තේ ද නැත.

පසුගිය සතියේ මැතිවරණ ප්‍රතිඵල දෙස බලද්දී, රාජපක්ෂ-විරෝධී ඡන්ද පදනමේ කිසි වෙනසක් සිදුව නැත. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කෙළේ නම් හෝ අඩු වශයෙන් සහයෝගීතා ආකල්පයකින් යුතුව කටයුතු කෙළේ නම් (වෙනම තරග කොට එකට පාලනය කිරීමේ මාදිලිය අනුව කටයුතු කෙළේ නම්), පළාත් පාලන ඡන්දයේ ජය ඔවුන් සතු විය හැකිව තිබුණි. එකිනෙකා කොනිත්ත ගන්නා ළදරුවන් දෙන්නෙකු සේ තරග කොට පවා, ඔවුන්ගේ ඡන්ද එකතුව පොදු ජන පෙරමුණට වඩා වැඩි ය. ලාංකිකයන්ගෙන් 5,093,915 ක් ආණ්ඩු පක්ෂ දෙක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ අතර, 4,941,952 ක් පොදු ජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළහ. ප්‍රතිශතයක් වශයෙන් ගත් විට, ආණ්ඩු පක්ෂ දෙක සියයට 46.01 ක් ලබා ගත් අතර, පොදු ජන පෙරමුණ ලබා ගත්තේ සියයට 44.65 කි. මෙය, ආණ්ඩුවට දුන් හොඳ චරිත සහතිකයක් නොවේ. එහෙත් එය, 2015 ජනවරම අහෝසි කරවන්නක් ද නොවේ. ඒ වූ කලී, 2015 ජනවරම අමතක කිරීමේ අවදානම පිළිබඳ දෙන ලද සංඥාවකි.

තව ද, ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් විට, එක්සත් භාවය මිස වෙනත් මාවතක් නැතැයි යන අවවාදයත් ඒ සංඥාව තුළ අඩංගු වෙයි. මහින්ද රාජපක්ෂට එරෙහිව මෛත්‍රීපාලට නැගී සිටිය හැකි එකම මාවත වැටී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සහයෝගයෙන් ය යන පණිවිඩය ඒ තුළ ගැබ්ව තිබේ. පොදු ජන පෙරමුණට එරෙහිව එක්සත් ජාතික පක්ෂයට නැගී සිටිය හැකි එකම මාවත වැටී ඇත්තේත් මෛත්‍රීපාල සිරිසේනගේ සහයෝගයෙන් ය යන පණිවිඩයත් ඒ තුළ තිබේ. රාජපක්ෂ සාධකය තුළ අඩංගු බලගතු සාර්ව බලපෑම විසින් මේ පාර්ශ්ව දෙක (එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) එකට ඇලී සිටින නිවුන්නුන් දෙන්නෙකු බවට පත්කොට තිබේ. එක්ව, ජයග්‍රහණය කළ හැක. වෙන්ව, පරාජය වී දිය වී යා හැක. එවිට ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයටත් ඒ ආනිශංසයම ය.

2018 පාඩම්, 2015 පාඩම් සමග එකට ගෙන නොකියවතොත්, උගත නොහේ. 2015 ජනවාරි මාසයේ මහින්ද රාජපක්ෂව පරාජය කරනු ලැබුවේ, ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වඩාත් සාරගර්භ වූත්, වඩාත් අසහාය වූත් සන්ධානයක් විසින් මිස, සිරිසේන මහතා තනිව හෝ එක්සත් ජාතික පක්ෂය තනිව හෝ නොවේ. ගිය සතියේ මේ ආණ්ඩුව පෙරලා දැමීමට තැත් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සද්දන්තයන් කිසිවෙකු සිරිසේනට එදා ජනාධිපති වීමට උදව් කෙළේ නැත. ඔවුන් සිටියේ ඔහුගේ පරාජය සඳහා කැසකවමින් අනිත් පැත්තේ ය. ඒ ව්‍යාපාරය තුළ වැඩිම බරක් ඇදගෙන ගියේ එක්සත් ජාතික පක්ෂයේ සාමූහික උර මතිනි. ඒ ව්‍යාපාරයේ දී ඝාතනයට ලක්වූ එකම තැනැත්තා එක්සත් ජාතික පාක්ෂිකයෙකි. ඝාතනය සිදු කෙළේ රාජපක්ෂ මදාවියන් ය.

2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය වැඩිම ඡන්ද සංඛ්‍යාවක් සහ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේ ඔවුන්ගේ තනි හයියක් නිසා නොව. ඊට ජනාධිපතිවරයාගේ තල්ලුවත් ලැබුණි. එම මැතිවරණ ව්‍යාපාරයේ තීරණාත්මක අවස්ථා දෙකකදී ඔහු මැදිහත් විය. තමා තුළ පවතින රාජපක්ෂ-විරෝධය වරක් ඔහු තදින්ම ප්‍රකාශ කොට සිටියේය. තවත් වරක්, මහින්ද රාජපක්ෂව කිසි ලෙසකින්වත් අගමැති නොකරන බව කීවේය. එහි බලපෑම පැහැදිළිව පෙන්නුම් කළ අවස්ථාවක් වුණේ, පොලොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵලයයි. සියයට 50.26 ක ඡන්දයකින් ඉතා පහසුවෙන් එම දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය ජය ගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා ගත හැකි වූයේ සියයට 43.63 ක ප්‍රතිශතයකි.

ඒ එක්සත් බව බිඳී ගිය තැන් පටන් දෙපාර්ශ්වයම විඳෙව්වේය. 2015 අගෝස්තුවේ සිට 2018 පෙබරවාරිය වන විට එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම සියයට 13 කින් පහළ වැටුණේය. සිරිසේන මහතාගේ පක්ෂයට පෙබරවාරියේ ලබා ගත හැකි වුණේ සියයට 13 ක් පමණි. දෙක අතර සම්බන්ධය ඉතා පැහැදිළි ය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ අලුත් මැතිවරණමය-දේශපාලනමය භූගෝලයකි. ඒ යථාර්ථය පිළිගත් සහ නිසි අයුරින් ඊට ප්‍රතිචාර දැක්වූ අවස්ථාව වන්නේ 2015 සමගියයි. ඉස්සර පැවති බෙදීම්වලට උඩින්, රාජපක්ෂවාදී සහ රාජපක්ෂ-විරෝධී වශයෙන් වන නව මායිමක් ගොඩනැගී ඇත. තේරීම තිබෙන්නේ, පවුල්වාදී තනි තන්ත්‍රයක් සහ පලුදු වූ ප්‍රජාතන්ත්‍රවාදයක් අතර ය. 2015 ජයග්‍රාහී සන්ධානය ගොඩනැගුණේ දේශපාලනින නායකයන් විසින් එකී නව භූගෝලය වටහා ගනිමින් ඊට නිසි අයුරින් ප්‍රතිචාර දැක්වීම නිසා ය. ඒ ජයග්‍රාහකයන්ව 2018 පෙබරවාරියේ විනාශය වෙත ළඟා කෙළේ, එකී භූගෝලය අමතක කරමින් ඊට එරෙහිව හැසිරුණු නිසා ය.

මිල ගණන්වල ඇති අනුභූතික වියදම

මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියෝ, රාජපක්ෂ පරාජය ගැන 2015 දී මෙසේ කීහ: “නිසි සංවර්ධනයක් ගමට කාන්දු නොවුණි. වරායක් සහ ගුවන් තොටුපොළකට වඩා ඇඟට දැනෙන ප්‍රශ්න හම්බන්තොට වැසියන්ට තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා ඔවුහූ පාරට ආහ.”

පසුගිය සතියේ එළඹ සිටි සිහියෙන් යුතුව උන්වහන්සේ වදාරා සිටියේ, “ජීවන වියදම අඩු කොට, ගොවියන්ගේ, සේවකයන්ගේ සහ ග්‍රාමීය මැද පංතියේ ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරන” ලෙස ය. එය ඉතා තීක්ෂණ නිරීක්ෂණයකි. ආණ්ඩුවේ අසාර්ථකත්වයට හේතු වූ බොහෝ කාරණා අතුරින් දෙකක් කැපී පෙනේ. එකක්, අසමගියයි. අනෙක, ජීවන වියදමයි. සිරිසේන-වික්‍රමසිංහ ද්විත්වය, ජීවන වියදම අඩු කරන බවට ප්‍රතිඥා දෙමින් මැතිවරණ දෙකක් දින්නේය. එහෙත් ඔවුන් යටතේ තත්වය තවත් නරක අතට හැරුණි. නිරාහාරව සිටි ජනතාවකට ඔවුහූ සදාචාරය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන බණ කීහ.

කෑමට ගත හැකි සහල් කිලෝවක් (ආනයනය කෙරෙන ඇතැම් සහල් වර්ග කෑමට අපුල ය) රුපියල් සීයක් වෙද්දීත් ගොවියන්ට තමන්ගේ වී තුට්ටු දෙකට වී මෝල්කාරයන්ට විකුණා දැමීමට සිදු වන විට, පාරිභෝගිකයන්ට සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට අසාධාරණ බදු පැනවෙන විට, අවුරුදු 40 ක් තුළ ඇති නොවු විරූ මහා නියඟයකට රට යට වන විට, යෝධ යටිතල ව්‍යපෘති හරහා සාමාන්‍ය ජනයාගේ දෛනික ජීවිත කඩාකප්පල් කරමින් සහ ඔවුන්ගේ ජීවිකාව සහ පරිසරය විනාශ කෙරෙන විට සහ ඊටත් වඩා, රැකියා හිඟ වන විට සහ යහපත් හෙට දවසක් ගැන ඇති ඔවුන්ගේ අපේක්ෂා භංග කෙරෙන විට, යුක්තිය පමා කෙරෙන විට සහ ප්‍රතික්ෂේප කෙරෙන විට, පොල් ගෙඩියක් ‘සොරකම්’ කිරීම වෙනුවෙන් නොදරුවෙකු හිරේ යවන අතරේ මහ තැන්වල කම්බා හොරුන් ආරක්ෂා කරන විට, අපරාධ වැඩි වන අස්සේ නායකයන් විසින් සදාචාරය ගැන රටට පාඩම් කියා දෙන විට, යහපාලනය ගෙන ඒමට ප්‍රතිඥා දුන් නායකයන් එහි ප්‍රතිපක්ෂ මඩ වගුරේ ලගින විට, විනාශයම මිස අන් කවරක් නම් බලාපොරොත්තු වන්නද?

ලාංකිකයන්ගෙන් බහුතරයක් තවමත් රාජපක්ෂලාට විරුද්ධ ය. එහෙත් වැඩිම තනි ඡන්ද කුට්ටියකට හිමිකම් කියන්නේ මහින්ද රාජපක්ෂ ය. ඔහුව පරාජය කළ හැක්කේ, ඔහුට එරෙහි සියලු දෙනා මූලික මට්ටමේ අන්‍යොන්‍ය අවබෝධයකට පැමිණියහොත් ය. රාජපක්ෂලා බලයට පැමිණීමෙන් ඈත් කොට තබා ගැනීමේ ප්‍රථම පූර්ව කොන්දේසිය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ සහ මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එක්සත් කම ආරක්ෂා කර ගැනීමයි. දෙවැනි පූර්ව කොන්දේසිය වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය අතර පවතින බැම්ම අමතක නොකිරීමයි. මහා මාර්ග, වරාය නගර සහ නගර උද්‍යානවලට ඡන්ද ගලන්නේ නැත. (මේ අලුත්ම පිස්සුවෙන් පෙලෙන අමාත්‍ය චම්පික රණවක, පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ නන්නාඳුනන ස්වාධීන කණ්ඩායමක් ඉදිරියේ මහරගමින් අන්ත පරාජයක් ලැබුවේය). චීනයට කඬේ යාමෙන් ඡන්ද උනන්නේ ද නැත. මේවා රාජපක්ෂ අතින් සිදු වූ වැරදි ය. ගත වූ වසර දෙකක කාලය තිස්සේ සිරිසේන-වික්‍රමසිංහ ජෝඩුවත් එම වැරදිම කළහ. එය විනාශය වෙත මිස ජයග්‍රහණය වෙත වැටී ඇති මාවතක් නොවේ.

උතුරු නැගෙනහිර දෙපළාතේ නව ප්‍රවණතාවක් මතු වීම පසුගිය පළාත් පාලන මැතිවරණය තුළ දක්නට ලැබෙන එක් චමත්කාර ලක්ෂණයකි. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය 4.62 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. 2018 පෙබරවාරියේදී එය සියයට 3.07 කට පහළ වැටුණි. බොහෝ කලකට පසු ප්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දෙමළ ප්‍රදේශවල සෑහෙන සාර්ථකත්වයක් ලැබුවේය. එම දෙපළාතේ බොහෝ දිස්ත්‍රික්කවල, දෙමළ ජාතික සන්ධානයට පසුව, එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, සෙසු දෙමළ පක්ෂ අභිබවමින් දෙවැනි සහ තුන්වැනි තැන් හිමි කර ගත්තේය. එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් සහ රාජපක්ෂලාගෙන් නිදහස ලැබූ දෙමළ දේශපාලනය පරිණාමය වෙමින් තිබේ. අවාසනාවකට, උතුරේ දක්නට ලැබෙන ඒ යහපත් ප්‍රජාතන්ත්‍රීය ප්‍රවණතාවට, දකුණේ හිස ඔසවන රාජපක්ෂලාගේ දේශපාලනය විලංගුවක් විය හැකිය. පෙබරවාරි 12 වැනි දා පැවති ඔහුගේ මාධ්‍ය සාකච්ඡාවේදී දුඹුරින් පාට කළ ප්‍රදේශ කිහිපයක් සහිත ශ්‍රී ලංකාවේ සිතියමක් පෙන්නූ රාජපක්ෂ මහතා, “බලන්න, ඊලාමයත් පුංචි වෙලා” යැයි කීවේය. රාජපක්ෂ තවමත් සිතන්නේ ඔහුට විරුද්ධ වන සියල්ලන් ඊලාම්වාදීන් කියා ය. බහුතරයක් දෙමළ ජනයා එසේ වන නිසාම, රාජපක්ෂ යළි බලයට පැමිණීමක් තුඩුදෙනු ඇත්තේ, ඉහත කී උතුරේ නව ප්‍රජාතන්ත්‍රීය අවකාශය බරපතල හැකිලීමකට යොමු කිරීමට ය.

ඉතිං, ‘කාලයේ කුරුල්ලා.. පියාසරයි’. පළාත් සභා ඡන්ද හයක් මේ වසරේ පැවැත්වීමට නියමිතයි. ඒ අතරින් පහක්, නියඟෙන් අන්තෙට බැටකෑ ප්‍රදේශයි. එම මැතිවරණවලිනුත් ආණ්ඩුව පැරදුණොත්, අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ බලාපොරොත්තු සුන්වන අතර ගෝඨාභය ජනාධිපති වශයෙනුත්, මහින්ද අගමැති වශයෙනුත් පත්වන රාජපක්ෂලාගේ පුනරාගමනයකට පාර විවර වෙනු ඇත. ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ තමාගේ ඇමරිකානු පුරවැසි භාවය ‘කැප කරාවි’. එය, තවත් සැණකෙලියක් වනු ඇත: ඇමරිකානු තානාපති කාර්යලයට යන එන පෙළපාලි, තම ‘ගැලවුම්කරුවා’ වශයෙන් කෑකොස්සන් ගසන වියරු ආධාකරුවන්ගෙන් සමන්විත වනු ඇත. 2015 ජුලි 14 වැනි දා කරන ලද කතාවක, රාජපක්ෂ පාලනය හැඳින්වීමට ‘රාජාණ්ඩුව’ යන වචනය ජනාධිපතිවරයා දෙවරක්ම පාවිච්චි කෙළේය. සිරිසේන මහතා සහ වික්‍රමසිංහ මහතා තමන්ගේ නිවස වහා පිලිසකර කර නොගත්තොත්, ඒ රාජපක්ෂ රාජාණ්ඩුව යළි බලයට පැමිණෙනු ඇත. ජනාධිපති මහින්ද කෙනෙකුගේ පාලනය අසත්පුරුෂ වූ බව අපි දනිමු. එහෙව් එකේ, ජනාධිපති ගෝඨාභය කෙනෙකුගේ මාරක ප්‍රති-යුතෝපියාවක් (පරමාදර්ශී රාජ්‍යයක ප්‍රතිපක්ෂයක්) කෙසේ වනු ඇත් ද?

(2018 පෙබරවාරි 18 වැනි දා ‘ශ්‍රී ලංකා ගාර්ඩියන්’ වෙබ් අඩවියේ පළවූ From An Electoral Drubbing to a Manufactured Crisis නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top