Sri Lanka Brief
පුවත්විවරණ“මට ඔසප්වීම නිසා මගේ මිත්තනියට අවසන් ගෞරවය පුද කිරීමත් තහනම් කළා”

“මට ඔසප්වීම නිසා මගේ මිත්තනියට අවසන් ගෞරවය පුද කිරීමත් තහනම් කළා”

by

ජායාරූපය:මේගා මෝහන්ගේ මිත්තනිය

“ගැහැණු ළමුන් ඔසප්වීම යනු ඉන්දියාවේ අදටත් ඉතා සංවේදී කාරණයක් වුවත්, සංවේදී පාරම්පරික ඇගයීම් වෙනසක් අනාවරණය කෙරුණ යළි හමුවක් සිදුවෙන තෙක් මෙපමණ කලක් එය මට අදාළ චාරිත්‍රයක් වූයේ නැහැ”

“කව්රු හරි ලග ‘ටැම්පොන්’ එකක් (tampon – ඔසප් වීමේ දී පිටවන රුධිරය උරා ගැනීමට යෝනි මාර්ගයට ඇතුළු කරන පුළුන්වලින් තැනූ ඇබයක්) තියෙනවාද?” මම නාන කාමරයෙන් පිටතට පැමිණෙන අතර ඇසුවෙමි.

උණුසුම් තේ කෝප්පයක රස විඳිමින් සතුටු සාමීචියේ යෙදී සිටි මගේ පවුලේ සියළු දෙනාම එකවර නිහඩ විය. එදින අපි සැවොම සිටියේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් ‘රාමේස්වරම්’ දූපතේ සාමාන්‍යය ප්‍රමාණයේ හෝටල් කාමරයකය.

එය අසාමාන්‍ය නිහැඬියාවක් බව වැටහුණේ පිටත පැවති වරුසාවෙන් එන හිරිකඩ එක විට ජනේලයට වැදෙන ශබ්දයත් සමගය. එමෙන්ම දිනපතා ‘වට්ස් ඇප්’ (WhatsApp ) ඔස්සේ කතා කරන මහද්වීප තුනක ජීවත් වන මගේ පවුලේ සාමාජිකයන් එකට එකතු වූ විට මෙවැනි නිහඬතාවයක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක.

දිගා වී සිටි ඇදෙන් බිමට බැසගත් මගේ නැන්දා ඇයගේ අත් බෑගය වෙත පියනැගුවාය. ඒ තුළින් ගත් සනීපාරක්ෂක තුවායක් ඇය මා අත තැබුවාය.

“අපි ෆාමසි එකක් ලගින් නවත්තනකම් මේක ඔයාට ඇති වෙයි” ඇය පැවසුවාය. “ඔයා දන්නවා නේද මේකේ තේරුම මොකක්ද කියලා?” ඇය මගෙන් ඇසුවේ මා දෙස දුක් මුසු බැල්මක් හෙළමිනි.

“ඔයාට කෝවිලට යන්න එන්න බැරි වෙයි.”

Indian women
තම මියගිය ඥාතීන්ට ගෞරව කිරීමේ අරමුණින් රාමේස්වරම් කෝවිලේ “ශුද්ධ ජලය” ස්නානය කරන බැතිමතුන් copyrightVIDYA NAIR.

වර්ග කිලෝමීටර හැටක වපසරියකින් යුතු රාමේස්වරම් දූපත ධීවර සහ සංචාරක කර්මාන්තවලට ප්‍රසිද්ධ වුවත් අපි එහි ගොස් සිටියේ විනෝද චාරිකාවකට නොවේ.. එය ඉතා විශේෂ දුක්මුසු කාරණයක් මුල් කරගත් ගමනක් විය.

ඒ වන විට මගේ ආදරණීය මිත්තනිය මියගොස් වසරක් ගතවී තිබුණි. මහද්වීප කිහිපයක විසිරී සිටින අපගේ පවුලේ සාමාජිකයන් මෙතෙක් කල් එකට සම්බන්ධ කර තබා ගත්තේ ඇයයි.

පසුගිය දෙසැම්බර් මස අසන්නට ලැබුණ මෙම දුක්මුසු ආරංචියත් සමග, අප සියලු දෙනාම වහාම වෙන් කරගත් ගුවන්යානා මගින් ඇයගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීමට පැමිණියෙමු.

Indian women
තමිල්නාඩුවේ ඉතා ප්‍රසිද්ධ හින්දු පූජනීය ස්ථාන පිහිටා ඇත. මීනක්‍ෂි කෝවිලේ මෑතකදී ඇති වූ ගින්නෙන් කඩ සාප්පු විශාල ප්‍රමාණයකට හානි සිදු විය. copyrightVIDYA NAIR

මරණය හා සම්බන්ධ හින්දු චාරිත්‍ර බොහොමයක් ඇත. ඉන්දියාවේ ඔබ ජීවත් වන ප්‍රදේශය අනුව එම චාරිත්‍ර ද වෙනස් වනු ඇත.

මගේ පවුලේ ඥාතියෙකු මිය ගිය විට අදහන්නේ දකුණු ඉන්දීය හින්දු චාරිත්‍රය. මියගිය ඇයගේ සිරුර සුදු පැහැති කපු රෙද්දක දවටා නැවත අප නිවස වෙත රැගෙන එන ලදී.

ඉන්පසු ඇයගේ සිරුර විශාල කෙසෙල් කොලයක් මත තබා අප සියලු දෙනා ඒ වටා රොක් වී යාඥා කළෙමු.

ඇයගේ සිරුර ආදාහනය කිරීමට රැගෙන යාම පුරුෂයන්ට සීමා විය.එම මොහොතට සහභාගී වීමට මට නොහැකි වීම ගැන ඇත්තේ පසුතැවිල්ලකි.

ඇයගේ මරණයෙන් දින පහළොවක් ගත වන තුරු අපි මාංශ අනුභවයෙන් වැළකී සිටියෙමු. දින අනූවකට පසු විශේෂ උත්සවයක් පවත්වන ලදී.

ඉතිරි චාරිත්‍ර ඉටු කරන දින නැවත හමුවීමට පොරොන්දුව ගුවන් තොටුපොලේදී අපි එකිනෙකාගෙන් සමුගතිමු. ශෝක කාලයේ අවසන් කොටස රාමේස්වරම් දූපතේ පිහිටි ඉතා ප්‍රසිද්ධ දේවස්ථානයකදී ඉටු කිරීමට නියමිතව තිබුණි.

Indian women
මේගා මෝහන්ගේ මිත්තනියගේ තරුණ කළ ඡායාරූපයක්

මින් වසර තිස් හයකට පෙර මියගිය මගේ සීයාගේ අවමංගල්‍ය චාරිත්‍ර සිදු කර ඇත්තේද එකී දේවස්ථානයේ දී වීම විශේෂත්වයකි.

බෙංගාල බොක්ක ආසන්නයේ පිහිටි රාමේස්වරම් දූපත එහි පිහිටි පුරාණ දේවස්ථානය හේතුවෙන් මහත් ප්‍රසිද්ධියක් දරයි. රාමා දෙවියන් සීතා කුමරිය බේරාගැනීමට එම ස්ථානයේ සිට ශ්‍රී ලංකාව දක්වා පාලමක් තැනූ බව පුරාවෘත්තයන්හි සදහන් වෙයි.

ගුවන් ගමන් තුනක් සහ වල ගොඩැලි සහිත මාර්ගයක මෝටර් රථයෙන් ගමන් කරන අතරතුර මෙම දේවස්ථානයේ තොරතුරු කියවීමට මට අවස්ථාවක් ලැබුණි. එහි ඇති අලංකාර බරාඳ, පූජනීය කුළුණු, කැටයම් කළ විශාල ගල් කණු සහ මිනිසුන් එහි පැමිණෙන විශේෂ අවස්ථාවන් පිළිබදව කියවා දැනුවත්වීමට හැකි වුණි. මම ආගමානුකූලව ජීවත් වන කෙනෙකු නොවුනත් වන්දනා ගමනක යෙදෙන නිසා එහි ඇති වැදගත්කම ගැන දැනගත යුතුයැයි මට හැඟුණි.

රාමේස්වරම් ගැන සේම මිත්තනිය මිය ගොස් මාස කිහිපයකට පසු ඉටුකරන අවසන් චාරිත්‍ර ගැනද මම බොහෝ ගැඹුරට සිතන්නට වුනෙමි.

Indian women
රාමේස්වරම් දූපත එහි පිහිටි පුරාණ දේවස්ථානය හේතුවෙන් හින්දු බැතිමතුන් අතර මහත් ප්‍රසිද්ධියට පත්ව ඇත. copyright VIDYA NAIR.

නැවත අපි හෝටල් කාමරයේ සිද්ධිය දෙසට යොමු වෙමු.

නැන්දා දුන් සනීපාරක්ෂක තුවායද අතැතිව සිටි මට, පවුලේ සියලු දෙනා සමඟ එක් වී දුක බෙදාහදා ගන්නා මොහොතට සහභාගී වීම වැලැක්වීම ගැන තරහක් ඇති විය.

“දැන් ඔයා කියන්නේ මට මාසික ශුද්ධිය හැදුනු නිසා කෝවිලට එන්න බැහැ කියලද?” මම ආවේගශීලීව ඇසුවෙමි.

වැඩිහිටියෙකු ඉදිරියේ උස් හඩින් කතා කිරීම වැරද්දක් බව මගේ වචනවලින් නැන්දාගේ කුඩා වූ නෙත් යුගල දෙස බැලූ මට ක්ෂණිකව වැටහුණි.

“මට සමාවෙන්න” මම ඉක්මනින් වැරැද්ද පිළිගත්තෙමි. “නමුත් අනිවාර්යෙන්ම ඔයා එහෙම දෙයක් නෙවෙයි නේද කියන්නේ. මේ තරම් දුරක් ගුවනින් ඇවිත් මට කෝවිල ඇතුළට යන්න බැහැ කියල නෙවෙයි නේද ඔයා කියන්නේ” මම නැන්දාගෙන් ඇසුවෙමි.

“මේක මම කියන දෙයක් නෙවෙයි” ඇය පිළිතුරු දුන්නාය. “නමුත් ඒවා සිද්ධ විය යුත්තේ මෙහෙමයි”

“කවුද කියන්නේ?” මම නැවත ඇසුවෙමි.

“ඒක එහෙම තමයි සිද්ධ වෙන්න ඕනේ. ඒක ලොකු ප්‍රශ්නයක්” ඇය තරයේ ප්‍රකාශ කර සිටියේ කාමරය තුළ සිටින අන් අයට මා වෙනුවෙන් පෙනී සිටීමට වුවමනා වුවත් එසේ කිරීමෙන් පලක් නැති බව හඟවමිනි. කිසි කෙනෙකු මා වෙනුවෙන් ඉදිරිපත් වීමට උත්සහ කළේත් නැත. එය අවසන් තීරණය විය.

මට රියැදුරාත් සමග කෝවිලෙන් පිටත ගත කිරීමට සිදුවනු ඇත.

කලක් ගතවෙද්දී ආර්තවය හා බැඳුණු නොයෙක් මතවාද දැනගැනීමට මට හැකි විය.

වර්තමාන කාන්තාවන් පාව්චිචි කරන වැඩි දියුණු කළ සනීපාරක්ෂක තුවා නොමැති කාලයේ පටන් ඉහත කී චාරිත්‍ර පිළිපදින බව තවත් නැන්දා කෙනෙක් මට පැවසුවාය. මාසික ශුද්ධිය පවතින කාලයේදී කාන්තාවන් නිවසේ වැඩ කටයුතු ඇතුළු අනෙකුත් දෛනික රාජකාරීවලින් ඉවත් වී විවේක ගන්නා බව මගේ මව සඳහන් කළාය.

මේ පිළිබදව දැනුමක් ඇති උගත් පිරිසක් සමග මා කළ සාකච්ඡාවකදී ඉහත මතයට සම්පූර්ණයෙන් වෙනස් මතයක් දැන ගැනීමට හැකි විය. ‘චවුපදී’ නම් හින්දු චාරිත්‍රයට අනුව මාසික ශුද්ධිය පවතින කාලය තුළ එම කාන්තාව අපිරිසිදු සහ අවාසනාවන්ත කෙනෙකු ලෙස සළකන බව එක් පුද්ගලයෙක් පැවසුවේය.

පූජකවරයෙකුගේ අදහස වූයේ, මෙම කාලය අතරතුර කාන්තාවන් පිරිසිදු යැයි සැලකෙන අතර කෝවිලක දී හෝ වෙනත් ස්ථානයක දී පිටස්තර අය ඇස ගැටීමෙන් ඔවුන් කිලිටි වන බවය.

පවිත්‍ර සහ අපවිත්‍ර දේ මුල් කර ගත් චාරිත්‍ර හේතුවෙන් කාන්තාවට මෙවැනි තහනම් පැනවෙන බව හින්දු ආගම තුළ කාන්තාවන්ගේ භූමිකාව ගැන විශේෂඥ දැනුමක් ඇති ආගම් පිළිබද මහාචාර්ය අර්වින්ද් ශර්මා පවසයි.

“එක්තරා කාලයක, මළ කඳක් හෝ මලමුත්‍ර අත ගෑ මිනිසුන් අපිරිසිදු ලෙස සලකන චාරිත්‍රයක් තිබුණා. මාසික ශුද්ධිය පවතින කාල සීමාවේ ගැහැණු ගැන හිතුවෙත් ඒ විදියට” මහාචාර්යවරයා පැවසුවේය.

“ආගම් ගැන ලියා ඇති දේ අතර කාන්තාවන්ට මෙසේ සැලකීමට හේතු සඳහන් කර නැත්තේ ඇයි ද යන්නට උත්තර දෙන්න අපහසුයි”

“අපි මේ කතා කරන දෙය අදාළ වන්නේ ‘ස්මර්ටිස්’ (පුරාණ හින්දු භාෂාවක්) යන්නෙන් පැවතෙන ස්මාතා හින්දු ආගමටය. නමුත් ශක්තා හින්දු ආගමේ (ශක්තා හින්දු භක්තිකයන් දේවතාවියන් අදහන අතර එහිදී කාන්තාවන් ප්‍රශංසා ලබයි) මාසික ශුද්ධිය සැලකෙන්නේ අපවිත්‍ර දෙයකට වඩා පිරිසිදු දෙයක් හැටියට” මහාචාර්යවරයා තව දුරටත් පෙන්වා දුන්නේය.

Indian womenImage copyrightVIDYA NAIR

නොයෙකුත් කණ්ඩායම් විසින් දුෂ්කර ගම්මානවල ජීවත් වන කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා ලබා දීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමත් සමග පසුගිය වසරවල මාසික ශුද්ධිය සම්බන්ධ කරුණු ගැන ඉන්දියාව තුළ මහත් කතා බහක් ඇති වී තිබෙයි.

වර්තමානයේ දී සමාජ ජාල භාවිතයෙන් බොහෝ ඉන්දියානු කාන්තාවන් මාසික ශුද්ධිය සම්බන්ධයෙන් ඇති චාරිත්‍රවලට අභියෝග කරන සමාජ ව්‍යාපාර ආරම්භ කර ඇත. එහි එක් ප්‍රතිඵලයක් ලෙස #HappyToBleed (රුධිර වහනය සන්තෝෂයක් යන තේරුම් ඇති) හැෂ්ටැගය නිර්මාණය වී ඇත.

මෑතකදී එළිදැක්වූ ‘පෑඩ් මෑන්’ (Pad Man) නම් බොලිවුඩ් සිනමාපටය, මාසික ශුද්ධිය මාතෘකාව කර ගත් ලෝකයේ ප්‍රථම සිනමාපටය වේ.

මෙම සිනමාපටය නිම වී ඇත්තේ සත්‍යය සිද්ධියක් ඇසුරෙනි. දකුණු ඉන්දියාවේ දුෂ්කර පළාත්වල ජීවත් වන කාන්තාවන්ට අඩු වියදමෙන් සනීපාරක්ෂක තුවා සාදා ගත හැකි උපකරණ ලබා දීම සදහා සමාජ සේවා ව්‍යාපාරයක් දියත් කළ අරුනචලාම් මුරුගනාතන්ගේ ජීවිත කතාව මෙම සිනමාපටයට පාදක වී ඇත.

“මගේ මුළු ජීවිත කාලයම ගැහැණුත් එක්ක ජීවත් වෙලා තිබෙනවා, ඒත් මට මේ චිත්‍රපටයේ මාතෘකාව ගැන වෙන කවදාවත් නැති තරමට ඉගෙන ගන්න වුණා. මේ ගල් යුගය නෙවෙයි – මාසික ශුද්ධිය කියන්නේ ස්වාභාවික දෙයක්” යැයි ‘පෑඩ් මෑන්’ සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ආක්ෂේ කුමාර් පවසයි.

නැවතත් අපි ඇයගේ කතාවට යොමු වෙමු.

පවුලේ සියලු දෙනා කෝවිල ගේට්ටුවෙන් ඇතුළු වන ආකාරය එහි පිටත සිට බලා සිටි මගේ මනසෙහි පෙර සිද්ධීන් එකින් එක පෙළ ගැසුනි.

Indian women
රාමේස්වරම් කෝවිලේ ඇති “යෝධ කණු 1000 ක්” ඇති බරාඳය. copyright VIDYA NAIR

ජංගම දුරකථනය අතට ගත් මම ‘වට්ස් ඇප්’ (WhatsApp) ඔස්සේ මගේ ඥාති සොහොයුරියකට කෙටි පණිවිඩ යවමින් මෙම සිද්ධිය විස්තර කලෙමි. ඇයට ද අවසන් අවමංගල චාරිත්‍ර ඉටු කිරීමට සහභාගී වීමට නොහැකි විය. කෙටි පණිවුඩවලට පිළිතුර දෙමින් සිද්ධිය පිළිබදව ඇය කනගාටුව ප්‍රකාශ කළත්, මිනිත්තු කිහිපයකට පිළිතුරු දීම නැවැත්වුවාය.

“ඔයාට මාසික ශුද්ධිය වෙලා කියල ඒ අයට නොකියා ඉන්නයි තිබුනේ. ඒ ගොල්ලන්ට ඒක දැනගන්න විදියක් නැහැනේ” කෙටි නිහැඬියාවකින් පසු ලැබුණ ඇයගේ ‘වට්ස් ඇප්’ පණිවුඩයේ සඳහන් වූවාය.

“මාසික ශුද්ධිය තියෙද්දී ඔයා කෝවිලට ගිහින් තියෙනවාද?” මම ඇසුවෙමි.

“අපේ වයසේ ඉන්න ගොඩක් අය ගිහින් තියෙනවා” ඇය බොහොම සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නාය.

මිනිත්තු තිහකට පෙර මගේ නැන්දා පැවසූ දෙයට හාත්පසින්ම වෙනස් අදහසක් ඉදිරිපත් කරමින් ඇය පැවසුවේ “කිසිම කෙනෙක් දන්නේ නැත්නම් ඕක මහ ලොකු දෙයක් නෙමෙයි” යනුවෙනි.

  • බීබීසී සිංහල
Back to Top