Sri Lanka Brief
පුවත්විවරණධර්මය සහ ආගම – චාර්ල්ස් පොන්නුතුරෙයි සර්වාන්

ධර්මය සහ ආගම – චාර්ල්ස් පොන්නුතුරෙයි සර්වාන්

by

පහත සඳහන් ලිපිය, “කුරානයෙන් අදහස් කෙරුණේ කුමක් ද සහ එය වැදගත් වන්නේ ඇයි” නමින්, ගැරී විල්ස් 2017 දී ලියූ කෘතිය කියැවීමෙන් පසු ලියැවෙන්නකි. මෙහි සඳහන් කොට ඇති පිටු අංක, වෙනත් ආකාරයකින් සඳහන් නොවන්නේ නම්, එම කෘතියට අදාළ බව සලකන්න. දැන් විශ්‍රාම ගොස් සිටින මහාචාර්ය විල්ස්, වරක් රෝමානු කතෝලික පූජකවරයෙකු වීම සඳහා අධ්‍යාපනය ලැබූවෙකි. පසුව ඔහු ග්‍රීක් භාෂාව සහ ඉතිහාසය ඉගැන්වීය.

ලෝක ජනගහනයෙන් සියයට 31 ක් ක්‍රිස්තියානි ය. සියයට 21 ක් මුස්ලිම් ය. (පිටුව: 4). එය තවත් වර්ධනය වෙමින් තිබේ. ඉස්ලාම් යන වචනයේ අදහස වන්නේ, අල්ලා දෙවියන් වහන්සේ කෙරෙහි වන යටහත් භාවයයි. මුස්ලිම් ආගමිකයන් විශ්වාස කරන පරිදි, අල්ලා දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රකාශයට පත්වන්නේ කුරානය තුළ ය. කුරානය ඉංග්‍රීසියට පරිවර්තනය කළ මහාචාර්ය අබ්දෙල් හලීම් කියන පරිදි, ඉස්ලාම් දහම පිළිබඳ අධිකාරී ප්‍රකාශනය වන්නේ ශුද්ධ වූ කුරානයයි. මූලිකව ගත් විට කුරානය යනු, කණින් අසා, වාචිකව ලබාගෙන, වාචිකව සම්ප්‍රේෂණය කරන ලද ප්‍රකානයකි. ශාස්තෘවරයාට වසර ගණනක් තිස්සේ අල්ලා දෙවියන් වහන්සේගෙන් හෙළිදරව් කිරීම් ලැබී තිබේ. එම හෙළිදරව් කිරීම් කුරානය තුළ සටහන් වන්නේ, අනුක්‍රමිකව හෝ කාලානුකූලව හෝ නොවේ. එහි අදහස වන්නේ, පාඨකයාට පහසුවෙන් ලුහුබැඳිය හැකි සරළ ආඛ්‍යාන හුයක් එහි නැති බව ය. තවද, “එහි සඳහන් සමහර කාරණා- වහල් ක්‍රමය, ගැහැනිය පිළිබඳ පුරුෂෝත්තම ආකල්ප සහ ආගමික රණකාමීත්වය- පිළිකුල දනවයි. එහෙත් ටෝරා බයිබලය සම්බන්ධයෙන් තත්වයත් එයමැයි.” (පිටුව: 5-6)

කුරානය, එම වර්ගයේම වෙනත් කෘති සමග සමීපතාවක් සහිත ප්‍රතිමොජන පෙළපොතකි. එසේම, තමන්ට කලින් විසූ ශාස්තෘවරුන්ට ගරු කරන සහෝදරාත්මක පෙළපොතකි. මහම්මත්තුමාගේ බිරියන්ගෙන් කෙනෙකු වන සෆීයියා බින් හුයායි යුදෙව් කාන්තාවකි. ඔහුගේ උපභාර්යාවක් වන මර්යා අල් කිබ්තීයා ක්‍රිස්තියානි ය. (පිටුව: 127). කුරානය පැහැදිළිවම මෙසේ සඳහන් කරයි: “ආගම තුළ බලාත්කාරයක් නැත.” (සූරා: 2.256). ඕනෑම දෙයක් කිරීමට මත්තෙන් මුස්ලිම් භක්තියෝ මෙසේ කියති: “මහා කාරුණික අල්ලා දෙවියන් වහන්සේගේ නාමයෙන්.” කුරානයේ 9 වැනි පරිච්ඡේදය හැරුණු කොට අනිත් සෑම පරිච්ඡේදයක්ම ආරම්භ කෙරෙන්නේ එම සුත්‍රමය පූජෝපහාරයෙනි. අල්ලා දෙවියන් වහන්සේගේ කරුණාව සහ දයාව අවධාරණය කෙරෙන තරම, කුරානය දෙස උඩින්පල්ලෙන් බැලුවත් පෙනී යන කාරණයකි. සැබෑ ඉස්ලාම් ධර්මය සෑම ආකාරයකම හිංසනයට විරුද්ධ බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලියා තිබේ. (පිටුව: 3). උන්වහන්සේගේ අවධාරණය යෙදෙන්නේ ‘සැබෑ’ යන වචනය මත බව මම විශ්වාස කරමි. එහෙත් බොහෝ දෙනාගේ මතය අනුව, මුස්ලිම්වරු කෲරත්වයටම නොවුණත්, ප්‍රචණ්ඩත්වයට සමීප ය. යල්පැන ගිය, තිරශ්චීන අදහස්වලට සහ ආකල්පවලට සමීප ය. නොදැනීම නිසා හෝ කුඩුකේඩු කමට, ඇතැම් දෙනා සහ බලවත් කණ්ඩායම් ආගම විකෘති කරති. “මහම්මත්තුමාව වැරදියට උපුටා දැක්වීම” නැමැති, ජොනතන් බ්‍රවුන්ගේ කෘතියේ මාතෘකාව මෙහිදී මගේ සිහියට නැගේ. ඉස්ලාම් දහම පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීමට කලින්, ඒ පිළිබඳ ස්ථාවරයක් ගැනීමට කලින්, අප කුරානය කියවා දැනුවත් විය යුතු බව මහාචාර්ය විල්ස් කියයි. ඉස්ලාම් ආගමේ පදනම වන එම කෘතිය කියැවීමෙන් තොරව එම ආගම ගැන අදහස් දැක්වීම අසාධාරණ සහ අඥාන බව ඔහුගේ මතයයි. දැකීමම විශ්වාස කිරීමක් වන මුත්, විශ්වාස කිරීමත් දැකීමකට පාදක විය හැකි බවට කියමනක් තිබේ. උදාහරණයක් වශයෙන්, යම් කණ්ඩායමක් කෙරෙහි, (ජාතිය, වර්ණය, ආගම හෝ ලිංගිභේදය මුල් කරගත්) අගතියක් අප තුළ වෙතොත්, ඔවුන් තුළ නරකම ‘දැකීමේ’ වැඩි ඉඩක් තිබේ. ඉස්ලාම් ධර්මය සහ මුස්ලිම්වරුන් කෙරෙහි ‘බටහිර ලෝකයේ වර්ධනය වෙමින් පවතින එදිරිය’ ගැන යූරි ස්ලෙස්කින් සිය “යුදෙව් සියවස” කෘතියේ සඳහන් කරයි. (පිටුව: 365)

වැරදි මත දෙකක් මහාචාර්ය විල්ස් නිවැරදි කිරීමට උත්සාහ කරයි. එකක්, ෂරියා නීතිය ගැන ය. අනික, හිජාබ් ඇඳුම ගැන ය. ෂරියා යන වදන කුරානයේ සඳහන් වන්නේ එක වරක් පමණි. එය ද, නීතියක් වශයෙන් නොව, නිවැරදි මාවතක් වශයෙනි. ඊළඟට, කුරානයේ හමු වන “නොපැහැදිළි සහ ලුහුඩු නීති කොටස්” (පිටුව: 147) ‘සුන්නා’ (ශාස්තෘවරයාගේ චර්යාව) මගින් ද, ‘අහදිත්’ (ශාස්තෘවරයාගේ වාර්තාගත කියුම්) මගින් ද, ‘ගියාස්’ (සාදෘශ්‍ය දිගුවන්) මගින් ද, ‘ඉජ්මා’ (විද්වතුන්ගේ එකඟත්වයන්) මගින් ද, නිරවුල් කොට පූරණය කෙරේ. එබැවින් ෂරියා නීතිය පොදුවේ අවලංගු කරන්නැයි ඉල්ලීම, ක්‍රිස්තියානි නීතිය අවලංගු කරන්නැයි ඉල්ලීම තරමටම මුග්ධ ය. (පිටුව: 147)

ගැහැනුන්ගේ ඇඳුම ගැන සලකන කල්හි, ඔහුගේ නිවසේ කාන්තාවන්ට යම් තරමක විශේෂ පෞද්ගලිකත්වයක් ප්‍රදානය කිරීම අත්‍යාවශ්‍ය බවට ශාස්තෘවරයාගෙන් බොහෝ දෙනා ඉල්ලා තිබේ. එහි අරමුණ වුණේ, කාන්තාවන්ට උසස් තත්වයක් ප්‍රදානය කිරීම මිස ඔවුන්ව මර්දනය කිරීම නොවේ. මේ ගැන වැඩි විස්තර සඳහා මහාචාර්ය ලෙයිලා අහමඞ්ගේ “නිහඬ විප්ලවයක්” නැමැති කෘතිය බලන්න. (ඒ ගැන 2017 මාර්තු 26 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියට “ඉස්ලාමීය හිජාබ් සහ වේල් පොට” මැයෙන් මා අදහස් දැක්වීමක් කර ඇත). කුරානයේ වචන අදාළ සන්දර්භයෙන් පිටතට ගෙන වැරදි අර්ථ නිරූපණ සපයනු ලැබේ. උදාහරණයක් වශයෙන්, “මුණගැහෙන කොතැනකදී වුවත් ඔවුන්ව මරා දමන්න, එලවා දමන්න” (සූරා: 2-191) යන්නෙන් අදහස් කෙළේ, “පූජා බිමක ඔබ සටන් නොකළ යුතු මුත්, ඔබට පහර දුනහොත් ප්‍රතිප්‍රහාර දෙන්න” යන්නයි. (පිටුව: 133). තවද, ‘ජිහාඞ්’ යන්නෙන් අදහස් කෙරෙන්නේ, අරගලය මිස යුද්ධය නොවන බව පෙන්වා දිය හැකිය. අරගලයක් විවිධ ස්වරූප ගත හැකිය. මූලිකව ‘ජිහාඞ්’ යන්නෙන් ශාස්තෘවරයා අදහස් කෙළේ, ස්වයං-පාලනය සහ සදාචාරමය අභිවෘද්ධිය සඳහා කරන අරගලයයි.

කෙසේ වෙතත්, කුරානය සහ ඉස්ලාම් දහම සමාන කොට සැලකීමේ වලංගු භාවය මම ප්‍රශ්න කරමි. උදාහරණයක් වශයෙන්, ක්‍රිස්තියානිය ආචාරශීලී දහමකැයි කියන විට හෝ බුද්ධාගම කරුණාබර දහමකැයි අප කියන විට ඉන් අදහස් කරන්නේ, අදාළ ශාස්තෘවරුන් විසින් ඒවා දේශනා කොට ඇති ආකාරය ගැන මිස වර්තමානයේ ඒවා පෞද්ගලික ජීවිත තුළ සහ පොදු ජීවිත තුළ භාවිතයට ගැනෙන ආකාරය ගැන නොවේ. ග්‍රැහැම් ෆුලර් ලියූ “ඉස්ලාම් දහමින් තොර ලෝකයක්” නැමැති කෘතිය පිළිබඳව 2016 මැයි 27 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියට ලියමින්, වතාවත්, උවාරණ, ධූරාවලීන්, පුරාණෝක්ති සහ මිථ්‍යාවන් සමග මිශ්‍ර වී ඇති ආගම සහ ධර්මය අතර වෙනස මම පෙන්වා දුනිමි. ධර්මයට ඇත්තේ දිව්‍යමය හෝ අර්ධ-දිව්‍යමය මූලයකි. එය ව්‍යුත්පන්න වන්නේ, උත්තුංග වූත්, විශිෂ්ට වූත් පුද්ගලයෙකුගෙනි. සරළව කිවහොත්, ධර්මය දිව්‍යමය වන අතර ආගම මිනිස් නිර්මිතයක් වන්නේ යැයි කිව හැකිය. එකම ආගම එකම රටේ ආචාරශීලී සහ අගති විරහිත වන්නේත්, එම රටේම ඉතිහාසයේ වෙනත් කාලයක එම ආගමම දුෂ්ට සහ ආධිපත්‍යධාරී වන්නේත් මන්ද යන්න, ආගම යනු මිනිස් නිර්මිතයක් වශයෙන් ගත් කල පැහැදිලි වෙයි. ඉස්ලාම් දහම මෙලොවේ නොතිබුණි නම් ලෝකය මීට වඩා සාමකාමී විය හැකිව තිබිණි ද යන ප්‍රශ්නය ෆුලර් මතු කරයි. එක පැත්තක යුදෙව්වන්ගේ සහ කිතුණුවන්ගේ ගැටුමත්, තවත් පැත්තක යුදෙව් සහ මුස්ලිම්වරුන් අතර ගැටුමත් ඇත්ත වශයෙන්ම පදනම් වී ඇත්තේ එකිනෙකින් වෙනස් දේවධාර්මික ආස්ථානයන් මත ද?

පලස්තීන ප්‍රශ්නය නිර්මාණය කිරීමෙහි ලා ඉස්ලාම් ආගම මොන විදිහකින්වත් සම්බන්ධ නැත. “යුදෙව් සංහාරයේ මහා අපරාධය මුළුමණින්ම වැටෙන්නේ යුරෝපයේ කර මතට ය. සියවස් ගණනක් තිස්සේ කරන ලද යුරෝපීය පව්වලට පලස්තීනුවෝ වන්දි ගෙවති. (ෆුලර්, පිටුව: 303). ඊනියා ‘පලස්තීන ප්‍රශ්නය’ ඊශ්‍රායලය විසින් පලස්තීනුවන්ට දායාද කරන ලද්දකි. පලස්තීනුවෝ ඒ ‘ප්‍රශ්නයේ’ වින්දිතයන් මිස නිර්මාපකයෝ නොවෙති.

‘ප්‍රතිපරිසිද්ධික චින්තනය’ (ප්‍රතිපරිසිද්ධික යනුවෙන් අදහස් කරන්නේ, පවතින සිද්ධියට ප්‍රතිපක්ෂ සිද්ධියක් ඇති විණි නම් ඇති විය හැකි තත්වය කුමක් විය හැකිව තිබිණි ද යන්නයි) අනුව බැලුවොත්, ලංකාවේ දෙමළ ජනයා බෞද්ධ විණි නම්, ලංකාවේ ඉතිහාසය වෙනස් විය හැකිව තිබුණි ද යන ප්‍රශ්නය මතු කළ හැකිය. හින්දු ආගම සහ බුද්ධාගම අතර ඇත්තේ සමීප සබඳතාවකි. එසේම, (බුදුන් වහන්සේගේ මුල් දේශනාවන්ට ඉඳුරා ප්‍රතිවිරුද්ධ) බොහෝ දේවල් හින්දු ආගමෙන් බුද්ධාගමට අවශෝෂනය කරගෙන තිබේ. එහෙත් ඉතිහාසයේ වෙනසක් ඒ අනුව සිදුවිය හැකිව තිබිණැයි ගත හැකි ද? ආගමට වඩා වාර්ගිකත්වය බලසම්පන්න බව එයින් ඔප්පු නොවේද? සමාජ විද්‍යාව ශාස්ත්‍රීය විෂයයක් වශයෙන් ස්ථාපිත කළ පුද්ගලයා වශයෙන් සැලකෙන, එසේම සමාජ විද්‍යාවන් පිළිබඳ නිර්මාතෘවරයෙකු වශයෙන්, කාල් මාක්ස් සහ මැක්ස් වෙබර් හා සමව සැලකෙන ඩර්ක්හයිම්, ආගම තුළ ඇති වන්දනාවේ වස්තුව වන්නේ සමාජයම බවට තර්ක කෙළේය. “හිරගෙදර ලියවිලි: ශිෂ්ටාචාරයේ මුල්” නැමැති කෘතියේදී අබ්දුල්ලා ඔකලාන් තර්ක කරන පරිදි, දේශපාලනය පිළිබඳ සංකල්පය සමග ආගම අනන්‍ය වෙයි. “රෝමානු අධිරාජ්‍යයේ පිරිහීමේ සහ ගරා වැටීමේ ඉතිහාසය” නැමැති අග්‍රගණ්‍ය කෘතියේ පළමු වෙළුමේ එඞ්වඞ් ගිබන්, ආගම සහ රාජ්‍යය අතර ඇති වංචනික පූට්ටුව පෙන්වා දෙයි. දේශපාලනය මෙන්ම ආගමත් (ධර්මය නොවේ) බලය පිළිබඳ විෂයයකි. බලය, ගෞරවය සහ බලපෑම ඒවායෙන් ඉඳුරා ඉල්ලා සිටී. එබැවින්, ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් වේවා වෙනත් ඕනෑම ආගමක් සම්බන්ධයෙන් වේවා අප කරන ප්‍රකාශ අදාළ වන්නේ, ප්‍රායෝගිකව අදහනු ලබන ආගමට ද, නැත්නම් මූල් ශාස්තෘවරුන්ගේ ධර්මයට ද යන්න පැහැදිළි කර ගත යුතුය.

ආගම කුමක් වෙතත්, එම ආගම ප්‍රායෝගිකව අදහන බැතිමතුන් සහ සාමාන්‍ය ආගමිකයන් අතර වෙනසක් දැකිය යුතුය. නාමික මුස්ලිම්වරයෙකු ඉස්ලාම් දහමේ කියැවෙන පංචවිධ කුළුණු සියල්ල පිළිනොගන්නවා විය හැකිය. සැබෑ බෞද්ධයන්ගෙන් වෙනස්ව නාමික බෞද්ධයෙකු ශාකභක්ෂයෙකු නොවිය හැකිය. ශ්‍රී ලංකාව පොදුවේ ගත් විට අතිශය බෞද්ධ වූත්, ඝෝෂාකාරී වූත් බෞද්ධයන්ගෙන් සමන්විත රටක් වන නිසා, මේ රටේ බහුතරයක් මස්මාංශ අනුභවයෙන් සහ මත්පැන් පානයෙන් වැළැකී සිටිය යුතුය. නාමික කිතුණුවෙකු දස පනතෙන් කිහිපයක් කැඩිය හැකිය. බෞද්ධ වේවා, කිතුණු හෝ ඉස්ලාම් වේවා, ‘බැතිමතා’ යන්නෙන් අප අදහස් කරන්නේ කුමක් ද? හුදෙක් පල්ලි පන්සල් යන කෙනා නොවේ. හුදෙක් බණ අසන, දෙසන හෝ යාච්ඤා කරන කෙනා නොවේ. භික්ෂූන්ට සහ පූජකයන්ට දණ නමස්කාර කරන හෝ සිද්ධස්ථාන වන්දනාමාන කරන කෙනා හෝ නොවේ. ගාන්ධි කී පරිදි, ආගමේ සාරය රැඳෙන්නේ සදාචාරය අනුකරණය කිරීම තුළිනි. 2016 මැයි 29 වැනි දා, ෆුලර් පහත සඳහන් පරිදි මට ලියා දැන්වීය: “මා හැදුණේ වැඩුණේ කිතුණුවෙකු වශයෙන් වුවත්, මා බෞද්ධයෙකු යැයි මා කියන්නේ නැති වුවත්, මගේ පුද්ගල ලෝකයට සහ ආධ්‍යාත්මික ආකල්පවලට අවසානයේ බලපෑවේ බුද්ධාගමයි. ආගම සහ ප්‍රචණ්ඩත්වය අතර පවතින රෞද්‍ර සම්බන්ධය සම්බන්ධයෙන් ගත් විට බුද්ධාගම ඊට වෙනස් ආගමක් යැයි සිතීමේ නැමියාවක් මුලදී මා තුළ තිබුණි. එහෙත් පසු කලෙක ශ්‍රී ලංකාවේත්, ඇත්තෙන්ම මියන්මාරයේත් වෙසෙන බෞද්ධයන් පවා..”

ධර්මය සහ ඒ ධර්මයේ උත්තුංග සාරයට ලොකුම වින්නැහිය කරන්නේ එහි හතුරන් නොව, අන්ධ භක්තියෙන් ඒ ආගම අදහන අන්තවාදී පිස්සන් ය. ආගමේ නාමයෙන් ඔවුන් නියැලෙන චර්යාව ඔවුන්ගේම ධර්මය විගඩමක් බවට පත්කරවයි. සාධනීය ධර්මයක් නිෂේධනීය ආගමක් බවට පත්කරන්නේ ඔවුන් ය. නීති විරෝධී යමක් ආණ්ඩුවෙන් හෝ රාජ්‍යයෙන් සුජාත කරලිය හැකිය. එහෙත් ඊට වඩා විනාශය වන්නේ, අසාධාරණ සහ කෲර යමක් සුසිරිතක් බවට පත්කිරීමට ආගමකට ඇති හැකියාව ය. වෙනත් තැනක ද මා ලියා ඇති පරිදි, අපේ ආගම වෙනුවෙන් ඔබට වඩා මට කෲර විය හැකිය. ඒ අනුව වඩාත් සැදැහැවත් බැතිමතා වන්නේ මා ය. එවිට ආදරය නොව, වෛරය ශ්‍රද්ධාවේ මිම්ම බවට පත්වෙයි. මුළු රටම අත්කර ගැනීම හැර වෙනත් විකල්පයක් තමන්ට නැති බව සියොන්වාදීහූ කියති. මන්ද යත්, දෙවියන්ගේ කැමැත්ත එය වන බැවින් ලු. අවාසනාවන්ත පලස්තීනුවන් ඔවුන්ගේ ගම්බිම්වලින් පලවා හැරීමට විරෝධය පාන්නන්, අනිත් අතට සියොන්වාදීන් වශයෙන් සහ ජාතිවාදීන් වශයෙන් හංවඩු ගසනු ලැබේ.

ප්‍රංශයේ එක් සමාජවාදී කණ්ඩායමක් ගැන සඳහන් කරමින් මාක්ස් වරක් කීවේ ඔවුන් මාක්ස්වාදීන් නම් තමන් මාක්ස්වාදියෙකු නොවන බවයි. තමාගේ නාමයෙන් යැයි කියා ගනිමින් කරනු ලබන හිංසනය සහ කෲරත්වය පිළිබඳ දන්නා බුදු කෙනෙකු මෙසේ කියනු නොඅනුමානයි: “අනේ, මගේ නාමයෙන් නම් එපා/ බුද්ධාගම කියන්නේ ඒකට නම්, මං එහෙනම් බෞද්ධයෙක් නෙවෙයි.” කුරුස යුද්ධ රණකාමීන්ගේ කෲරත්වය දුටු, ක්‍රිස්තියානි ආගමේ නාමයෙන් ලතින් ඇමරිකාව සංහාරය කළ සැටි දුටු, ක්‍රිස්තියානි දණ්ඩාධිකරණ වධහිංසා දුටු, ලෝකයේ විවිධ තැන්වල යුරෝපා අධිරාජ්‍යවාදය පැතිරෙන සැටි දුටු, කඩුව සහ කුරුසිය අතර සන්ධානය දුටු යේසුස් ක්‍රිස්තුස් කෙනෙකු කඳුළු බරව කියනු ඇත්තේ මෙවැන්නකි: “ක්‍රිස්තියානිය කියන්නේ මේක නම්, මං ක්‍රිස්තියානිකාරයෙක් නෙවෙයි.”

බොහෝ විට, ආගමක වශයෙන් ප්‍රකාශයට පත්වෙන සහ අදහන ක්‍රමය තුළ, සැබෑ ධර්මයේ සාරය විනාශ කෙරේ. අප මැනීම කරනු ලබන්නේ ධර්මයෙන් ද, ආගමෙන් ද? ආගමික මත විදහා පාන්නේ න්‍යායයෙන් ද, භාවිතයෙන් ද? මගේ බිරිඳ ඇදේට කියන්නා සේ, ධර්මය ආගම බවට පෙරැලිය හැක්කේ නම්, අප සුළු කාලයක් වෙසෙන මේ ලෝකය වඩාත් සුන්දර තැනක් වනු ඇත්තේය.

2018 පෙබරවාරි 1 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ ‘Religious Doctrine’ & ‘Religion’ නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

 

Back to Top