Sri Lanka Brief
පුවත්විවරණදියාරු ජනාධිපතිවරයෙක් – සංජන හත්තොටුව

දියාරු ජනාධිපතිවරයෙක් – සංජන හත්තොටුව

by

ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ පහර නොගසන්නැයි අගමැතිවරයාට සිය පක්ෂයෙන් ඉල්ලා සිටීමට සිදුව ඇති තත්වයකට පත්ව සිටින සන්ධාන ආණ්ඩුවේ අනාගත පෙරනිමිනි කියාපාන්නේ මුඩුම ගතියකි. කලින් පැවති පාලන තන්ත්‍රය යළි බලයට පත්වීමෙන් වැළැක්වීම සඳහා දෙදෙනා තුළම ඇති පොදු අවශ්‍යතාව නිසාම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකට වැඩ කිරීමේ යම් උනන්දුවක් තවදුරටත් පැවැතිය හැකිය. දෙදෙනාගේ දේශපාලනික උපාමාරු කෙරෙහි එම උනන්දුව අනාගතයේ කෙසේ බලපානු ඇත්ද යන්න විවාදාත්මක ය. සීතල නූල් සූත්තරවලටත්, සැබවින්ම පාවාදීම්වලටත් හුරුපුරුදු ජනාධිපතිවරයා, විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලද අතුල් පහරින් පසු, 2020 න් පසු තමාගේ අදාළත්වය සහ භූමිකාව ගැන දැන් ඉන්නේ අතීරණයෙනි. ඔහු, ස්වකීය ජන ආකර්ශණය සහ දේශපාලනික පරිචය හරහා, තමාටත් තමාගේ සමීපතමයන්ටත්, අඩු වශයෙන් රැකවරණය සහ ආරක්ෂාවත්, වර්තමාන ධුර කාලයෙන් පසු තවදුරටත් තානාන්තර වරය සහතික කෙරෙන මං ඉසව්, පරණ පාලන තන්ත්‍රය සමග කෙරෙන රහස් මන්ත්‍රණාදිය ඇතුළු විවිධ මාර්ග ඔස්සේ සොයා බලනු ඇත. ඔහුගේ එම ගනුදෙනු, එකිනෙකාට විරුද්ධව එකිනෙකාව හසුරුවන අගමැතිවරයාගේ දේශපාලනය ඉදිරියේ අභියෝගයට ලක්විය හැකි අතර, අනිත් අතට, රටේ දේශපාලන අනාගතය හැසිරවීමේ හයිය තමන් අතේ තබා ගැනීමට ඔහුට සහ එක්සත් ජාතික පක්ෂයට ඇති අවශ්‍යතාවට ගැලපේ නම්, ඒවා විටෙක එකිනෙකට අනුපූරක වීමට ද ඉඩ තිබේ. මේ සියල්ල සම්බන්ධයෙන් සහතික වශයෙන් කිව හැකි කාරණය වන්නේ, පරණ පාලකයන් මෙම රජය මොන තරම් ප්‍රසිද්ධියේ විවේචනය කළත්, තමන්ට බලයට පැමිණිය හැකි හොඳම මාර්ගයක් සකසා දිය හැකි සහ තමන්ව වධයට පමුණුවන ක්‍රියාකාරකම් නතර කර ගත හැකි යැයි ඔවුන් සිතන (එම ගණනයන් නිරන්තරයෙන් වෙනස් වෙයි) ආණ්ඩුවේ සිටින ඕනෑම කෙනෙකු සමග ඔවුන් රහස් මන්ත්‍රණයේ යෙදෙනු ඇති බවයි.

මේ සියල්ල වටහා ගැනීමට කෙනෙකු ප්‍රාඥයෙකු විය යුතු නැත. මන්ද යත්, ඒ සියල්ල අපේ ඇස්පනාපිට ප්‍රාදූර්භූත වෙමින් පවතින බැවිනි. වැඩියත්ම හිත් පාරවන කාරණය වන්නේ, ගත වු කාලය දෙස මොන තරම් අවඥාවෙන් සහ පරිහාසයෙන් යුතුව අද හැරී බැලුවත්, 2015 මුල් භරියේ ශුභවාදී ඉස්මත්තක සිටි මොහොතේ, සිරිසේන-වික්‍රමසිංහ සුසංයෝගය දෙස කවුරුත් බැලුවේ, අලුත් රටක් සඳහා වන, එනම් ආත්ම-උන්නතිය, පුද්ගල වන්දනාව, දූෂණය, නාස්තිය, හිංසනය, උදාසීනත්වය සහ ඥාති සංග්‍රහයෙන් තොර රටක් සඳහා පෑදුණු, හොඳම අවස්ථාවක් වශයෙනි. 2015 ජනවාරියේ ජනාධිපතිවරණයත්, 2015 අගෝස්තුවේ මැතිවරණයත්, දැනට බලයේ සිටින අය වෙනුවෙන් ප්‍රකාශයට පත් ඡන්දයකට වඩා, ඊට කලින් පැවති සංස්කෘතියට, පාලන මාදිලියට සහ සමාජයට එරෙහිව පාවිච්චි කළ ඡන්දයකි. එය, සැබෑ වෙනසක් අපේක්ෂා කළ ඡන්දයකි. වත්මන් ආණ්ඩුවේ සංකීර්ණත්වය දෙස බලන විට, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ගැම්ම, හිතුවාට වඩා කොහොමත් දීර්ඝ කාලයක් ගන්නා, හිතුවාට වඩා දුෂ්කර කාර්යයකි.

පිරිමින් භුක්ති විඳින අයිතියක් ගැහැනුන්ටත් පැවරීම අරභයා ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනයක් පසුගිය සතියේ මහත් වාද විවාදවලට තුඩුදුණි. බොහෝ දෙනා එම නිවේදනය යුක්ති සහගත කිරීමට හෝ විවේචනය කිරීමට පෙළඹුණේ, ලංකාවේ ගැහැනුන් කොපමණ ප්‍රමාණයක් මත්පැන් පාවිච්චි කරන්නේද සහ මෑත කාලයේ ඔවුන්ගේ මත්පැන් පානයේ යම් පැහැදිළි වර්ධනයක් සිදුව තිබේද යන්නට අදාළ සංඛ්‍යා ලේඛන මත පදනම් වෙමිනි. එය, අදාළ ප්‍රශ්නය වැරදි කෝණයකින් ගැනීමකි. වැදගත් වන්නේ, ව්‍යවස්ථාවෙන් සලසා ඇති සමානාත්මතාව පිළිබඳ අයිතිය මේ කාරණය පසුපස ඇති බවයි. එම අයිතියේ වලංගු භාවය හෝ භාවිතය පිළිබඳ කාරණයට, සංඛ්‍යා ලේඛනවල අදාළත්වයක් නැත. රටේ වෙසෙන එක ගැහැනියක් පමණක් මත්පැන් පාවිච්චි කළත්, ඒවා මිළදී ගැනීමේ අවශ්‍යතාව ඇත්තේ රටේ වෙසෙන එක ගැහැනියකට පමණක් වුවත්, හිංසාවකින්, බාධාවකින් හෝ පරිහාසයට ලක්වීමකින් තොරව එසේ කිරීමේ අයිතියක් ඈට තිබිය යුතුය. ගැහැනියගේ අයිතිවාසිකම් ද, ඇතැමුන් පීතෘත්ව ආකල්පයකින් අද තර්ක කරන්නා සේ, ගැහැනියගේ ආරක්ෂාව ද සහතික කර දෙනු වස් පිරිමින් තමන් සතු දේශපාලනික බලය පාවිච්චි කළ යුත්තේ, ගැහැනුන්ගේ ජීවිත පිළිබඳ වගකීම ගැහැනුන්ටම භාර දීමටත්, ඔවුන්ගේ ජීවිත ගැන, ශරීර ගැන, සෞඛ්‍ය සහ අනාගතය ගැන, වැඩිහිටි පිරිමින් තරමටම වරදින සුළු ආකාරයෙන් වුවත් විනිශ්චයන් ගැනීමේ අයිතිය ගැහැනුන්ටම පැවරීමටත් ය.

මම මෙහිදී කතාවෙන් පිට පනිමි. මේ සියල්ල අස්සේ මේ කොලමට අදාළ වන්නේ ජනාධිපතිවරයාගේ හැසිරීමයි. 2015 දී ඔහුගෙන් පලවුණේ, ස්වාර්ථය ගැන නොතකන, එඩිතර සහ ඇත්තෙන්ම ප්‍රතාපවත් පෞරුෂයකි. 2015 ජනවාරි 9 වැනි දා හැන්දෑවේ ඔහු ජනාධිපති වශයෙන් දිව්රුම් දෙද්දී අපි ගිරිය කඩාගෙන ජය ඝෝෂා කෙළෙමු. ඔහු ජාතිය අමතා කළ එක් ප්‍රථම කතාවකදී, පළමු වරට ඡන්දය පාවිච්චි කළ ඡන්දදායකයන්ටත්, සමාජ මාධ්‍යයන්ටත් වක්‍රාකාරයෙන් ස්තුතිය පළ කොට සිටියේය. ඔහු වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ විවෘතව නොයෙදුන මුත්, ඔහුගෙන් පිටස්තරව ඇති විය හැකි විකල්පය හිතා ගැනීමටත් බැරි තරමට බියකරු වූ හෙයින් අපේ බොහෝ දෙනා ඔහු ජනාධිපතිවරයා වනු දැකීමට ආශා කළෝය.

ඒ මිනිසා, ඒ බලාපොරොත්තුව, ඒ ශුභවාදය අද පළා ගොසිනි. ආපසු හැරී බලන විට එවැනි මිනිසෙකු ඇත්තෙන්ම සිටියේ ද, එසේ නැතහොත්, ඒ වන තෙක් විශේෂයෙන් ප්‍රිය කිරීමටවත්, විශේෂයෙන් ගැරහීමටවත් තරම් නොවූ කෙනෙකු මතට, එතෙක් අප තුළ ගොඩගැසුණු අපේක්ෂා කන්ද ගොඩ ගැසුවේ ද යන්න පැහැදිළි නැත. මහින්ද රාජපක්ෂ සමග තරග වැදීමට ඔහු සුදුස්සෙකු වුණේ ද ඒ නිසාම ය. එදා, තමන් පත්වෙන විධායක පුටුවේ පරම බලය පස්සෙන් පැන්නීමට හෝ එය සදහට තබා ගැනීමට හෝ තරම් වන උන්නති කාමයක් ඔහුගෙන් ප්‍රදර්ශනය වුණේ ද නැත.

එහෙත් අද වන විට තත්වය වෙනස් ය. බලය විසින් ජනාධිපතිවරයාව ඉතා කුඩා මිනිසෙකු බවට පත්කොට තිබේ. ඇමති මණ්ඩලයේ රැස්වීම් අතරවාරයේ ඔහු හිටිහැටියේ වැසිකිළි යාමට දිව ගියේ යැයි කියන කතාව ආදී විකට රංගනයන් මගින් කියාපාන්නේ ළාමක හැසිරීමකි. පාසල් යාම ප්‍රතික්ෂේප කරමින් කන්කෙඳිරිගාන පුද්ගලයෙකුට, ඔහු වැඩිහිටියෙකු වන නිසාත්, ඊටත් වඩා පාසලේ විදුහල්පතිවරයා ඔහු වන නිසාත්, කෙසේ හෝ පාසල් යා යුතු බව ඔහුගේ මව විසින් ඔහුට මතක් කර දෙන පරණ විහිළු කතාවක් තිබේ. දැන් අපට සිටින්නේ, කුසීත වන මුත් ප්‍රකෝප කරවනු ලැබුවොත්, දේශපාලනය සහ සමාජ දෘෂ්ටිය තුළ අතිශය ප්‍රචණ්ඩකාරී අන්දමින් ගර්විත විය හැකි, සිංහල බෞද්ධ ගතානුගතිකත්වයේ ගැලවුම්කරුවාගේ භූමිකාව රඟපාන ජනාධිපතිවරයෙකි.

ප්‍රශ්නය ඇත්තේ එතැන ය.

එය, ගැහැනුන්ට මත්පැන් මිල දී ගැනීමේ නිදහස පවරන ගැසට් නිවේදනයක් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. බැඳුම්කර කොමිෂන් සභාව පිළිබඳ ප්‍රශ්නයක් හෝ අනාගතයේ ඔහු විසින් පත්කළ හැකි වෙනත් කොමිෂන් සභා හෝ ඔහුගේ කැබිනට් මණ්ඩල රංගනයන් පිළිබඳ ප්‍රශ්නයක් ද නොවේ. ප්‍රසිද්ධ රැස්වීම්වල ඔහු කරන බිරීම් පිළිබඳ ප්‍රශ්නයක් ද නොවේ. ජනාධිපති සිරිසේනගේ බලය වැඩි වෙද්දී පවා ඔහුගේ දෘෂ්ටිය හැකිලී ගොස් තිබේ. එය, පවුල් උරුමය හරහා සහ දේශපාලනික උපාමාරු හරහා බල උරුමය රැක ගැනීමට තතනන දේශපාලඥයන්ට පොදුවේ වැළඳෙන රෝගයකි. මීට කලින් ගැහැනුන්ගේ යට ඇඳුම් ගැන ජනාධිපතිවරයා තුළ තිබූ උනන්දුවත්, ගැහැනුන්ට මත්පැන් මිල දී ගැනීමේ නිදහස නොදී සිටීමට දැන් ඔහුට ඇති කැක්කුමත් වූ කලී, ඔහු ප්‍රතිඥා දුන් මුත් මේ දක්වා ඉටු කොට නැති, අතුරුදහන් වූවන් පිළිබඳ ආරංචියක් එන තෙක් බලා සිටින උතුරේ අනන්තවත් ගැහැනුන් ඉදිරියේ ඔහු දැනටමත් බොරුකාරයෙකු වීමට උඩින් ඇති කඩතුරාවකි.

දූෂණ-විරෝධය ගැන ප්‍රසිද්ධියේ අද බණ කියන ජනාධිපතිවරයාට, රුසියානු යුද නෞකාවක් මිල දී ගැනීමේ ප්‍රයත්නයක් පසුපස ඇතැයි කියන සැක කටයුතු ගනුදෙනුවකට ඔහුගේ ඇති සම්බන්ධය පිළිබඳ බරපතල විවේචනයක් ඉදිරිපත් කළ ‘ලංකා ඊනිව්ස්’ ලංකාව තුළ වාරණය කොට තිබීම වැදගත් කාරණයක් වී නැත. එහි ඇති උත්ප්‍රාසය වන්නේ, වෘත්තීය මාධ්‍ය චාරයක අහලකින්වත් නොසිටින වෙබ් අඩවියක චෝදනාවකට එහිදී වලංගු භාවයක් ලබා දෙන්නේම, ජනාධිපතිවරයා අවට සිටින කිහිප දෙනෙකු විසින් එම වෙබ් අඩවිය වාරණය කිරීමට ගෙන ඇති පියවර විසින්ම වීමත්, ව්‍යවස්ථා-විරෝධීව, අනීතිකව සිදු කොට ඇති එකී ක්‍රියාව ගැන ජනාධිපති ලේකම් කාර්යාලය මෙතෙක් මුනිවත රැකීම විසින්ම වීමත් ය. අපට දැන් සිටින්නේ, මහජන විවේචනයට මුහුණදී ගත නොහැකි ජනාධිපතිවරයෙකි. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයෙකුගේ හාස්‍යාකාර ප්‍රකාශ අස්සේ සැඟවෙන ජනාධිපතිවරයෙකි. ජනාධිපති භාවය තවදුරටත් නැති ජනාධිපතිවරයෙකි. තවත් නිවැරදිව කිවහොත්, මේ ආකාරයෙන්ම දිගටම පෙනී සිටීමට ලැදි, තමා බලයේ සිටීම ජනතාවගේ අපේක්ෂාව යැයි කියමින් ස්වකීය බල කාමය කූට ආකාරයෙන් සංසිඳුවා ගැනීමට බලන සහ ඒ සඳහා සැලසුම් කරන ජනාධිපතිවරයෙකි.

මෙය ගැටළුවකි. ජනාධිපතිවරයා අවසානයේ ජනතාවාදියෙකු වී ඇත. දැන් ඔහු, 2015 සිටි රාජ්‍ය තාන්ත්‍රිකයාගෙන් බෙහෙවින් වෙනස්, සාමාන්‍ය කුඩා මිනිසෙකු වී තිබේ. දැන් ඔහු වෛවාරන්න ආයිත්තම් පැළඳ ගත් තවත් දේශපාලඥයෙකි. නිසරු පුරාජේරු වමාරන තරමට, ස්වකීය ස්ථානය සුරක්ෂිත වෙතැයි ඔහු සිතනු ඇත. එය, 2015 ජනවාරි 9 වැනි දා නිදහස් චත්‍රරශ්‍රයේ පියගැට පෙළේ සිට ඔහු නියෝජනය කළ සහ පෙනී සිටි සියල්ලේ ප්‍රතිපක්ෂයයි. ඒ සියල්ලේ තිරිංගයයි.

 

2018 ජනවාරි 20 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ  A Diluted President  නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top