Sri Lanka Brief
පුවත්විවරණඑක්සත් ජාතික පක්ෂයේ අහිමි වූ පාරාදීසය පසුපස ඇති කතාව කුමක් ද? – එම්. එස්. එම්. අයුබ්

එක්සත් ජාතික පක්ෂයේ අහිමි වූ පාරාදීසය පසුපස ඇති කතාව කුමක් ද? – එම්. එස්. එම්. අයුබ්

by

           ජනවරම යනු කුමක් ද? පළාත් ආයතන ප්‍රමාණය ද, ඡන්ද ප්‍රමාණය ද?

මහින්ද රාජපක්ෂට පක්ෂපාතී පිරිස් විසින් අලුත් නමකින් පටන් ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන බහුතරයක් තුළ තනි පක්ෂයක් වශයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගත් පක්ෂය බවට පත්වීමත් සමග විවිධ පක්ෂ සහ වර්ණවලට අයත් පිරිස් එම මැතිවරණ ප්‍රතිඵල විග්‍රහ කරමින් විවිධ අදහස් පළ කරනු දක්නට ලැබුණි. ජයග්‍රහණය කළ පොදු ජන පෙරමුණ කියන පරිදි, මෛත්‍රීපාල සිරිසේනට සහ රනිල් වික්‍රමසිංහට තවදුරටත් පාලනය ගෙන යාමේ සදාචාරමය අයිතියක් නැති අතර, ජනතාවට අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීමට ඉඩ හරිමින් ඔවුන් විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතුව තිබේ.

මංගලගේ තර්කය

මේ අතර මංගල සමරවීර ඇමතිවරයා කියන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව ලැබූ ඡන්ද ප්‍රමාණයේ සමස්තය, පො.ජ.පෙ. ලැබූ ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි බව ය. එය ජාතික මට්ටමින් පමණක් නොව, බොහෝ ප්‍රදේශවල පළාත් මට්ටමින් ද සත්‍යයකි. ජන වරමක් ගැන කතා කරන්නේ නම්, මෙවර මැතිවරණයේදී පාවිච්චි කළ ඡන්ද ප්‍රමාණයෙන් පො.ජ.පෙ. සියයට 45 ක් ලබාගෙන ඇති අතර, පො.ජ.පෙ. නොවන පක්ෂ සහ කණ්ඩායම් සියයට 55 ක් ලබාගෙන ඇත. බොහෝ පළාත් පාලන ආයතන තුළ තනි පක්ෂයක් වශයෙන් ජයග්‍රහණය කොට ඇති පො.ජ.පෙ. සහ තමිල් අරසුකච්චි, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් සහ ලංකා කම්කරු සංගමය වැනි කණ්ඩායම් කේවල බහුතරයක් ලබාගෙන නැති නිසා, එම ආයතන තුළ බලය පිහිටුවීම සඳහා අනෙක් පක්ෂවල සහ කණ්ඩායම්වල සහයෝගය ලබා ගැනීමට ඔවුන්ට සිදුව තිබේ.

අනුර කුමාර දිසානායක, එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජයට හේතුව වශයෙන් දකින්නේ, පසු ගිය රජයේ නායකයන්ට එරෙහිව පැවති දූෂණ චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමට මේ රජය අපොහොසත් වීමයි. එයින් ඔහු අදහස් කරන්ට ඇත්තේ, හිටපු රජයේ දූෂිතයන්ට එරෙහිව මේ රජය පියවර නොගැනීම නිසා හිටපු රජය වෙනුවෙන්ම ජනතාව ඡන්දය පාවිච්චි කළ බවක් විය නොහැකිය. ඔහුගේ තර්කය වන්නේ, හිටපු දූෂිතයන්ට එරෙහිව පියවර නොගැනීම ගැන කළකිරුණු එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දදායකයා ඡන්දය දීමට ගියේ නැති බව ය.

  පෙරටුගාමී  තර්කය

ඡන්ද ප්‍රතිඵලය ගැන කෙරෙන විග්‍රහයන් තමන්ගේ අච්චුවට දමා විග්‍රහ කිරීමට කෙනෙකු මොන තරම් පෙළඹෙන්නේද යන්න මනාව පෙන්වන අවස්ථාවක් වන්නේ, මේ පරාජය සයිටම් ප්‍රශ්නය අරභයා මේ ආණ්ඩුව අනුගමනය කළ පිළිවෙතේ ප්‍රතිවිපාකයක් වශයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය විසින් හඳුන්වනු ලැබීමයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩත් මෙවැනිම ප්‍රකාශයක් කර තිබේ. ඔහුට අනුව, පොහොට්ටුව වෙනුවෙන් පාවිච්චි කළ ඡන්දය, ආණ්ඩු වෙනසක් ඉල්ලා පාවිච්චි කළ ඡන්දයක් මිස, මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පාවිච්චි කළ ඡන්දයක් නොවේ ලු. පොහොට්ටුවට ඡන්දය පාවිච්චි කළ ඡන්දදායකයන් ආණ්ඩු වෙනසක් අපේක්ෂා කළ බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඔවුන් ගිය වර ජනාධිපතිවරණයේදීත් ඡන්දය ප්‍රකාශ කොට ඇත්තේ මෙලෙසින්ම ය. පළාත් පාලන ඡන්දයට මහින්ද රාජපක්ෂගේ බලපෑමක් නැතැයි කීම, කුහක කතාවක් නොවෙයි නම්, බොළඳ කතාවකි.

ප්‍රථම වරට ලංකාවේ ක්‍රියාවට නැංවුණු මේ මැතිවරණ ක්‍රමය සමාලෝචනයකට ලක්කළ යුතුව ඇතැයි, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු බොහෝ දෙනා දැන් කියති. එවැනි සමාලෝචනයක් ඉතා වැදගත් යැයි සිතෙන්නේ, එකිනෙක පක්ෂය ලබා ගත් සමස්ත ඡන්ද ප්‍රමාණය සහ එකිනෙක පක්ෂය බලය හෙබවීමට යන පළාත් පාලන ආයතන සංඛ්‍යාව දෙස බැලීමේදී ය. අලුත් මැතිවරණ ක්‍රමය තුළ සමානුපාතික නියෝජනය හරි තිතට ලැබෙන්නේ යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවද, මේ මැතිවරණයේදී එක් එක් පක්ෂය දිනාගෙන ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව දෙස බැලීමේදී යම් විකෘති සහගත බවක් පෙනෙන්ට ඇති බව කිව යුතුය.

දේශප්‍රියගේ තර්කය

උදාහරණයක් වශයෙන්, පො.ජ.පෙ. මෙවර සියයට 44.65 ක් හෙවත් 4,941,952 ක් ලබාගෙන පළාත් පාලන ආයතන 239 ක් ජයග්‍රහණය කොට ඇති අතර, සියයට 32.63 ක් හෙවත් 3,612,259 ක් ඡන්ද ලබා ගත් එක්සත් ජාතික පක්ෂයට ජය ගත හැකිව තිබෙන්නේ පළාත් පාලන ආයතන 41 ක් පමණි. එනම්, පො.ජ.පෙ. දිනා ඇති ආයතන සංඛ්‍යාවෙන් අඩක්වත් දිනා ගැනීමට ඊට හැකි වී නැත. එසේම, ආණ්ඩුව කරවන පක්ෂ දෙක වශයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ලබා ගත් ඡන්ද ප්‍රමාණයත්, ඡන්ද ප්‍රතිශතයත්, පො.ජ.පෙ ලබා ගත් ඡන්ද ප්‍රමාණයට සහ ප්‍රතිශතයට වඩා වැඩි වෙතත්, ඔවුන්ට ලබා ගත හැකිව තිබෙන ආයතන සංඛ්‍යාව වන්නේ 51 ක් පමණි. ඊට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් සහ ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇති පො.ජ.පෙ. ට, ආයතන 239 ක්ම ලැබී තිබේ.

   එකිනෙක පක්ෂය ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය සහ ඡන්ද ප්‍රතිශතය අතර ඇති අනුපාතිකත්වයේ ඉහත කී නොපෑහීම සම්බන්ධයෙන් බලන විට, මහින්ද දේශප්‍රියගේ ප්‍රකාශයට වලංගු භාවයක් ලැබේ. එහෙත් ජනතාවගේ ඇස් ඉදිරියේ කැපී පෙනෙන්නේ දිනා ගන්නා පළාත් පාලන ආයතන සංඛ්‍යාව ය. දැන් උද්ගතව ඇති දේශපාලනික අර්බුදය උත්පාද වන්නේ එතැනිනි. 2015 දී මේ ආණ්ඩුව ලබා ගත් ජනවරම 2018 ඡන්දයෙන් අවලංගු වී ඇතැයි කියමින් ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි පො.ජ.පෙ. කීම අපබ්‍රංසයකි. මන්ද යත්, පාලන බලය හොබවන පක්ෂ දෙකේ ඡන්ද ප්‍රමාණය තුළින් කියැවෙන්නේ වෙනත් කතාවක් වන බැවිනි. මේ මැතිවරණයේදී ආණ්ඩු බලය හොබවන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී.ල.නි.ප/එක්සත් ජනතා නිදහස් සන්ධාන පිළ 5,093,915 ක් ලබාගෙන සිටින විට පො.ජ.පෙ. ලබාගෙන ඇත්තේ ඡන්ද 4,941,952 ක් පමණි. ජන වරම අරුත් ගැන්වෙන්නේ යම් පක්ෂයකට බලය හෙබැවිය හැකි පළාත් පාලන ආයතන සංඛ්‍යාවෙන් නොව, යම් පක්ෂයකට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාවෙනි. කෙසේ වෙතත්, මේ තර්කය උඩ, එක්සත් ජාතික පක්ෂයට තනියෙන් ආණ්ඩුවක් ගෙන යාමට වරමක් ලැබී ඇත්තේ ද නැත.

    මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පාවිච්චි කළ ඡන්ද ප්‍රමාණය, ජනාධිපතිවරණය සහ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සමග සැසඳීමේදී, මෙවර පහළ ගොස් ඇති බව, ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු පෙන්වා දෙති. ඇත්ත, මහින්ද රාජපක්ෂ පිළ මෙවර ලබාගෙන ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ලබා ගත් ඡන්ද ප්‍රමාණයට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකි. එහෙත්, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව එසේ කිව නොහැක. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා ගත් ඡන්ද ප්‍රමාණයට වඩා ලක්ෂ දෙකක පමණ වර්ධනයක් ඔහු සම්බන්ධයෙන් මෙවර පෙන්නුම් කරයි. අනිත් අතට, ආණ්ඩු බලය හොබවන පක්ෂ දෙක වශයෙන් එක්ව ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය සහ ප්‍රතිශතය, පො.ජ.පෙ. මෙවර ලබාගත් ප්‍රමාණයට සහ ප්‍රතිශතයට වඩා වැඩි වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රමාණයත්, ප්‍රතිශතයත් බරපතල පල්ලම් බැසීමකට ලක්ව තිබේ. එසේ වුණේ මන්ද යන්න තේරුම් ගැනීමට තවමත් එක්සත් ජාතික පක්ෂය අසමත්ව ඇති බව පෙනේ.

 “කට විතරයි, වැඩ නැහැ”   

එක්සත් ජාතික පක්ෂයේ “කට විතරයි, වැඩ නැහැ” ප්‍රතිපත්තිය ඔවුන්ගේ පසුබෑමේ ප්‍රධාන හේතුව වශයෙන් ගත හැකිය. පරණ පාලන තන්ත්‍රයේ දූෂිතයන්ට එරෙහිව බොරුවට හඬගෑම, එක්සත් ජාතික පාක්ෂිකයන් සෑහෙන ප්‍රමාණයක් එම පක්ෂයට ඡන්දය දීමෙන් වළක්වාලන ලදි. එහෙත් ඔවුන් මහින්ද රාජපක්ෂට ඡන්දය පාවිච්චි කෙළේ නැත. තම පක්ෂය කෙරෙහි වන ඔවුන්ගේ කලකිරීම, හිටපු පාලකයන්ට එරෙහිව පියවර ගැනීම එක්සත් ජාතික පක්ෂය විසින් වළක්වනු ලබන්නේය යන මෛත්‍රීපාල සිරිසේනගේ චෝදනාව ඉදිරියේ තවත් උග්‍ර වන්නට ඇත.

අපේ රටේ විශාල බුද්ධිමත් කොටසක් පසුගිය මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය සහ රාජපක්ෂ-විරෝධී කඳවුර සමග එකට සිටගත්හ. මේ ආණ්ඩුව දූෂණය දුරලමින් යහපාලනය ගෙන එනු ඇතැයි ඔවුහූ අපේක්ෂා කළහ. එහෙත් මහ බැංකු බැඳුම්කර වංචාව යට ගැසීමට උත්සාහ කිරීමෙන් සහ ඒ හොරුන්ව ආරක්ෂා කිරීමට බැලීමෙන් එක්සත් ජාතික පක්ෂය තම පාක්ෂිකයන් අතරේ පැවති විශ්වාසයත් බිඳ ගත්තේය.

පසුගිය රජයේ දූෂණ පිළිබඳ මතකය තවම ඇති නිසා මේ ඡන්දදායකයන්ට අවසානයේ ඉතිරි වුණේ, ජනතා විමුක්ති පෙරමුණට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය පාවිච්චි කිරීමට හෝ ඡන්දය නොදා සිටීමට සිදු වන තත්වයකි. සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි මේ බැංදූම්කර වංචාව හරහා ගසා කා ඇති බව තමාගේ දේශපාලනික විරුද්ධවාදීන් කීමට පටන් ගත් නිසා වතුකරේ එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයන් කෙරෙහි මෙම වංචාව මොන තරම් බලපෑවේ ද යන්න අමාත්‍ය පලනී දිගම්බරම් කීවේය.

ප්ලේන් ටී  සහ ආප්ප දේශපාලනය

ජනතාවගේ හදවත් තේරුම් ගැනීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වීම, ඔවුන්ගේ පරාජයට තවත් හේතුවක් විය. බලයට ආ සැණින්, ජීවන වියදම අඩු කිරීමේ ක්‍රමයක් වශයෙන් ප්ලේන් ටී එකේ සහ ආප්පයක මිල නියම කිරීමට තැත් කිරීමෙන් ඔවුන් පෙන්නුම් කෙළේ එය පොළොවේ පය ගසා නොසිටින පක්ෂයක් බව ය. ජනතාවට අවශ්‍ය වන්නේ කුමක් ද යන්න ගැන ඔවුන්ට වැටහීමක් නැති බව එයින් පෙන්නුම් කෙරුණි. වසර පහක දී රැකියා දස ලක්ෂයක් නිර්මාණය කිරීමට පොරොන්දු වූ ඔවුහූ පසු ගිය වසර තුනක කාලය තුළ රැකියා 400,000 ක් සපයා ඇතැයි කීහ. එහෙත් මේ මුළු කාලය මුළුල්ලේ එක කර්මාන්ත ශාලාවක් හෝ වැඩබිමක් ඔවුන් විවෘත කොට නැත. මැතිවරණයක් සඳහා ප්‍රතිපත්ති එතරම් වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ, ජනතාවට සෘජු බලපෑමක් ඇති යහපත් කටයුතු සිද්ධ වීම ය.

(  2018 පෙබරවාරි 16 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ   What’s Behind UNP’s Lost Paradise? What Does Mandate Mean? Councils or Votes?  නැමැති ලිපියේ සිංහල පරිවර්තනය    ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top