Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගසුනිල් මාධව ප්‍රේමතිලක, රොමාන්තික ගමනක වීරත්වය හා අවසානය

සුනිල් මාධව ප්‍රේමතිලක, රොමාන්තික ගමනක වීරත්වය හා අවසානය

by

සුනිල් මාධව ප්‍රේමතිලක යනු ලාංකේය ඉතිහාසයේ බෙහෙවින් කතා බහට ලක්වූ මිනිසෙකි. කතාබහට ලක්විය යුතු මිනිසෙකි. ඉතිහාසය තුළ කාර්යභාරයක් සිදුකළ මිනිසෙකි. වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙකි, නැතිනම් ‘පත්තරකාරයෙකි’. රචකයෙකි. කවියෙකි. අගනා කෘතීන් ගණනක් සිංහලෙන් කියවන පාඨකයා වෙත ගෙන ආ පරිවර්තකයෙකි. ඒ සියළුම ක්‍රියාවන් තුළ ඔහු වාමාංශිකයෙකි.(ඒ ගැන වැඩිදුරටත් පසුව සාකච්ඡා කරමු.) ඇසුරු කළ – නොකළ සියල්ලන්ට අනුව ‘පපුවක් තියන’ හොද මිනිසෙකි.

”ප්‍රධාන ධාරාවේ පුවත්පත් වලින් එළියට විසිවෙමින්, විකල්ප පුවත්පත් අසීරුවෙන් පවත්වා ගනිමින්, තම සටන් සගයන් සමග සිදුකළ ඔහුගේ අරගලයේ කූටප්‍රාප්තිය වූයේ අසූව දශකය අගභාගය හා අනූව දශකයේ මුල් යුගයයි”

ඔහුගේ මාධ්‍ය ජීවිතයට අවුරුදු 50 ක් සපිරෙන මොහොතේ ‘ආදරණීය සුනිල් අයියා’ නමින් ඔහු වෙත උපහාර පිරිනැමීමේ උළෙලක් පසුගිය මාර්තු 10 වනදා සවස් වරුවේ කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි. ඊට සමගාමීව ‘නොනිමි ජීවිත කතාව’ නම් චරිතාපදානයක්ද දොරට වැඩිණි. අගය කළ යුතු කරුණක් වන, දැවැන්ත ‘ස්ථාපිත සංවිධානයකින්’ තොරව තරුණ තරුණියන් කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙන් හා කැපවීමෙන් සංවිධානය කෙරුණු මෙම අවස්ථාවට ‘සුනිල් අයියා’ ට ආදරය කරන පරම්පරා ගණනක දහස් ගණනක් සහභාගී විය. ඇතැමුන් ලංකාවේ ඈත කෙළවර, ඉතා දුර බැහැර සිට දැඩි උනන්දුවකින් මේ අවස්ථාවට සහභාගී වී තිබුණි. ඒ වසර 70 ක ජීවිතයේ මේ මොහොතද සාමාන්‍ය ආර්ථික තත්වයක් යටතේ, අසීරුවෙන් ගත කරමින් සිටින ‘සුනිල් අයියා’ තම අරගලය තුළ, තම ලේඛණය තුළ ‘පත්තරකාරයෙක්’ ලෙස උපයා ගත් ධනයයි.

ප්‍රධාන ධාරාවේ පුවත්පත් වලින් එළියට විසිවෙමින්, විකල්ප පුවත්පත් අසීරුවෙන් පවත්වා ගනිමින්, තම සටන් සගයන් සමග සිදුකළ ඔහුගේ අරගලයේ කූටප්‍රාප්තිය වූයේ අසූව දශකය අගභාගය හා අනූව දශකයේ මුල් යුගයයි. ප්‍රේමදාසගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලය බිහිසුණු ලෙස දසදහස් ගණනින් මරා දමමින් මර්දනය කර දැමූ යුගයයි. පවතින පාලන තන්ත්‍රයට එරෙහිව විරෝධාකල්පී අදහසක් ප්‍රකාශ කිරීමත් මහමග බිහිසුණු මරණයක් හිමිවීමට නියමිත ‘මරණ වරෙන්තුවක්’ බවට පත්වී තිබූ යුගයයි. ‘සුනිල් අයියා’ ඇතුළු පිරිස මර්දනයට ලක්වූ තරුණයන් වෙනුවෙන් පෙනී සිටියේද, තමාට කළ හැකි උපරිම මැදිහත් වීමක් සිදු කළේද, තම පත්තර කාර්යාලය ‘සීල් තැබූ’ පසුද ‘ප්‍රේමදාස අපි සූදානම්’ යනුවෙන් සිරස්තල සහිතව පුවත්පත් පළ කළේද එවැනි යුගයක් තුළයි. පසු කාලීනව විශාල දේශපාලනික චරිත බවට පත්වූ, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, රෝහිත භාෂණ ඇතුළු බොහෝ පිරිසකට ක්ෂේත්‍රයේ ‘ආරම්භක ගුරුවරයා’ වූයේ සුනිල් මාධව ප්‍රේමතිලක බව අප අසා ඇත. ‘හෘද සාක්ෂිය’ බොහෝ කලකට පෙර ඇමති පට්ටමකට උගස් තබා ඇති තත්වයක් තුළ, මුහුණ දීමට සිදුවිය හැකි අපවාද දැන දැනම විමල් වීරවංශ ‘මහතා’ ටද, ඩලස් අලහප්පෙරුම ‘මහතා’ ටද එම අවස්ථාවට සහභාගී වී නොයෙක් ‘කතන්දර අසමින්’ නොසිටිය නොහැකි තත්වයක් නිර්මාණය වන්නට ඇත්තේ ඒ අනුව විය හැකිය. ඒ මිනිසා එතරම් බලපෑම් සහගත මිනිසෙක් වන නිසා විය හැකිය.

තරුණ ‘සුනිල් අයියා’ එදා තමන්ගේ පෑනෙන් සටන් කළේ බොහෝ දුරට ජනතා විමුක්ති පෙරමුණට සමගාමීවය. ඒ සමගය. ජවිපෙ අරගලය තුළ සිටි තරුණයන් වෙනුවෙනි. ඔවුන්ගේ අයිතීන් වෙනුවෙනි. නමුත් වයසක ‘සුනිල් අයියා’ ට උපහාර දැක්වීමේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් කිසිවෙකු සහභාගී වී සිටිනු අප දුටුවේ නැත. යම් තෙතමනයක් ඇති පහළ සංවිධාන මට්ටමේ සහෝදරවරුන් කිහිප දෙනෙකු පමණක් අපට හමුවිය.(ඒ අප සමගද කවදා හමුවූවත් එරවීම් ගෙරවීම නැතිව කතා කිරීමට සූදානම් ජවිපෙ අතළොස්ස නියෝජනය කරන සහෝදරවරුන්ය.) ඔවුන් නොපැමිණියේ ඇයිදැයි අපි දන්නේ නැත. ඒ ‘සුනිල් අයියා’ පසු කාලීනව ද්‍රෝහියෙක් වූවා යැයි ඇති විග්‍රහයක් නිසාද, මෙම උත්සවය ‘තමාගෙන් පිට, වෙන අය කරන වැඩක්’ නිසාද, නැතිනම් සුනිල් අයියා ‘බොන මිනිහෙක්’ නිසාද යන්න අපි දන්නේ නැත.

ඒ කෙසේ වුවත් මෙම ලිපියේ අරමුණ ‘සුනිල් අයියා’ ගැන හෝ ඔහුගේ භාවිතාව ගැන උපහාරයක් පළ කිරීම නොවේ. එම කාර්යය සිදුකිරීමට අපිට වඩා ඔහුගේ ජීවිතය පිළිබද බොහෝ සජීවී අත්දැකීම් සහිත මිනිසුන් සිටියි. පසුගිය සති කිහිපයේ පළ වූ පුවත් පත් ලිපි හා එදින උත්සවයේදී පැවැත්වුණු ‘අති බහුතරයක්’ කථාවන් ඒ සදහා සාක්ෂි දරයි. අපේ උත්සාහය නිවැරදි මෙන්ම, වැරදුණු ‘සුනිල් අයියා’ තුළින් ඔහු නියෝජනය කළ හා විශ්වාස කළ දේශපාලන ධාරාව හා එහි ගමන් මග පිළිබද කියවීමක් සිදුකර ගැනීමයි.

එදා ‘සුනිල් අයියා’ හා මෙදා ‘සුනිල් අයියා’

‘සුනිල් මාධව ප්‍රේමතිලක’ තුළින්ම එම කතිකාවත අරඹමු. ‘සුනිල් අයියා’ කොහොමටත් අතිශය සංවේදී මිනිසෙකි. අමුතුම ආකාරයේ රොමාන්තිකයක් සහිතව ක්‍රියාකළ මිනිසෙකි. ‘සත්‍යවාදියෙකුගේ දිනපොත’ කියවූ දසදහස් ගණනක් මිනිසුන් මීට සාක්ෂි දරයි. දැන් බොහෝ විට සිදුවන්නේ ‘ආදරණීය සුනිල් අයියා’ පිළිබද, ඔහුගේ ධෛර්යය වීරත්වය පිළිබද ‘සුනිල් අයියා’ ටත් වඩා රොමාන්තික ලෙස සාකච්ඡා කිරීමයි. එසේ පසුගිය සහස්‍රකයේ ජීවත්වූ සුනිල් අයියා ගැන පමණක් ඒ බරින් සාකච්ඡා කිරීම නිවැරදි නැත. නව සහස්‍රකයේ, 2000 න් පසුද සුනිල් මාධව ප්‍රේමතිලක නම් මිනිසා කටයුතු කළ ආකාරයක් තිබේ. එබැවින් ඒ සදහා ප්‍රවේශයක් ලෙස අපි රචනා දෙකක් උපුටා දක්වමු.

පළමුවැන්න මීට කලකට පෙර අපට සමුදුන් ‘ෂෙල්ටන් පයාගල’ කලාකරුවා සුනිල් මාධව පිළිබදව තබන ලද සටහනකි.

“සුනිල් එදා කළ ක්‍රියාවන් ගැන මතකය මට ශුද්ධ වූ වස්තුවකි. බුද්ධිය හා හේතුව වෙනුවෙන් ජීවිතය කැපකරන මිනිස්සු අතිනි ලෝකය ඉදිරියට තල්ලු වන්නේ. එබැවින් එබදු මිනිසුන් පිළිබද මතක සටහන් ශුද්ධ වූ වස්තූන්ය. සුනිල් සිය පැවැත්ම අගේ කරනවාට වඩා තමා වටා සිටි, වටා සැරි සැරූ මිනිසුන් ගැන අගේ කළේය. මේ නිසා සුනිල් සිය ආත්මයට වඩා අනුන්ගේ ආත්මය කෙරේ සැලකිලි දැක්වීය. එය ඔහුගේ තාරුණ්‍යය ගෙවීගිය වකවානුවේ මේ රටේ තරුණයන්ගේ ආත්මගත තත්වය විය. ආත්මගත උරුමය විය. ඒ උරුමයෙන් සුනිල් පෝෂණය විය. මෙබදු උරුමයක් ගෝර්කිටද විය.”

-ෂෙල්ටන් පයාගල-

දෙවැන්න නම් ඒ වන විට සිය ‘විප්ලවීය’ දේශපාලනයට සමුදී, පැවති රාජපක්ෂ රෙජීමයේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස සම්බන්දවී සිටි, පෙර යුගයේ ‘සුනිල් අයියා’ගේ ගෝලයෙකු වූ විමල් වීරවංශ විසින් රචිත කෘතියක් එළිදැක්වීමකදී සිදුවූ සිදුවමක් සම්බන්දයෙන් රචිත කවියකි. එම කෘතිය පිළිගැන්වීමේ ලැයිස්තුවේ ‘සුනිල් අයියා’ ද ඉදිරියෙන්ම සිටි අතර, අවසානයේ ඔහු ප්‍රසිද්ධියේ ‘විභූති මල්ලීට සුභ අනාගතයක්’ යනුවෙන් වීරවංශ ‘මහතා’ ට ප්‍රසිද්ධියේ සුභපතයි.(‘විභූති මල්ලී’ යනු යටිබිම්ගතව පුවත්පත් කලාවේ යෙදෙන වකවානුවේ විමල් වීරවංශ විසින් භාවිතා කළ අන්වර්ත නාමයකි.) 2010 වසරේ මාර්තු මාසයේ රචිත එම කවිය පහත දැක්වේ.

විභූති මල්ලීට සුභ අනාගතයක් වේවා!
(‘ගරු කතානායකතුමනි’ පොත එළිදැක්වීම වෙනුවෙන් සුනිල් මාධවගෙන් විමල් වීරවංශට)

මැරුණ උන් ගණන බොහොමයි
නොමැරුණේ අපි වගේ
බොහොම අතලොස්සයි
පරණ පත්තර කඩදාසි අතුළ බෝඩිම්වල
උන්ගෙ අවතාර තවම ඇති
අපි අතින් හරිහමන් විදියට
මිනී වැළලෙන තෙක් බලාගෙන

දෙල්කද හන්දියේ
පත්තර කොල එලුව සිමෙන්තිය මත
ගෙවුණු සීතල රාත්‍රීන්
කොයිතරම් ඉක්මණට අතීතෙට එක්වුණිද?

එකම තැනකට
දෙපාරට එන්න
අපි දෙන්නගෙම ජීවිත
කොයිතරම් වංගු දැම්මද?

භාෂණට
විනීලට නම් කමක් නෑ
ඇඩ්‍රස් එකක්වත් නොතියා
අතුරුදන් වුණු
කුමාරයා, චන්දරෙට
අපි ආයේ මූණ දෙන්නේ කොහොමද
අහම්බෙන් හරි දවසක
බැරි වෙලාවත් හමුවුණොත් එහෙම මහමග?

යළි යළිත් වද දෙන
මේ කෙහෙල්මල් හෘද සාක්ෂිය
බැදන්, බයිට් එකකට අරගෙන
වරෙන් ගල් භාගයක් ගහමු
හැමදේම අමතක වෙන්නත් එක්ක

රටට
මහජනතාවට
හෙන ගැහැව්වම මොකද බං අපිට
විභූති මල්ලිට
මට සුනිල් අයියට
මහ රජ්ජුරුවන්ට
සුභ අනාගතයක්ම වෙනකොට

-මහේෂ් කුමාර-

ඒ දෙකම ‘සුනිල් අයියා’ ගැනය. එක් තැනක ඔහු වීරයෙකි. එය කෙතරම්ද යත් ඔහුව එක්තරා ආකාරයකට ‘ගෝර්කි’ ට පවා සමාන කරනු ලබයි. අනෙක් තැන ඔහුව උස්සා පොළොවේ ගසයි. නමුත් මේ කරුණු දෙකම වැරදි නැත. නිවැරදිය. දෙවැන්නෙන් පළමුවැන්න අහෝසි වන්නේ නැත. පළමුවැන්නෙන් දෙවැන්න සාධාරණීකරණය වන්නේද නැත. එසේ නම් අපි ‘සුනිල් අයියා ‘කියවා ගන්නේ කෙසේද?

‘සුනිල් අයියලා’ බිහිවූ ඓතිහාසික පසුබිම

එය පසුගිය ඉතිහාසයේ සුවිශේෂ වූ යුගයකි. යහපත් සාධාරණ, සමාජයක් වෙනුවෙන්, සමාජවාදය වෙනුවෙන් පසුගිය සියවස් එක හමාරක කාලයක් මුළුල්ලේ පැතිර ආ අරගලය වෙනස් නැම්මක් ගත් යුගයකි. කම්කරු සටන්, බොල්ෂෙවික්වාදය ආදී සියල්ල දෙවැනි තැනට ඇද දමමින් රැඩිකල් තරුණ කොටස්, පැවති ධනේශ්වර ආණ්ඩුවලට විරුද්ධව සන්නද්ධ කැරලි ගැසීම අරගලයේ පළමු තැනට ආ යුගයයි.(මෙම වෙනස්වීමට අදාළ හේතූන් අපි ඉදිරි ලිපියකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.) විය යුතු පරිදිම මෙම තත්වය ලෝකයේ වඩාත් පීඩිත ජනතාවක් සිටි, කාර්මීකරණය අවම, අඩුදියුණු රටවල් සිසාරා පැතිර යන ලදී. කියුබාවේ ජයග්‍රහණයත් සමග වැඩි වැඩියෙන් තරුණ කොටස් සාම්ප්‍රදායිකව පැවති මාක්ස්වාදී පක්ෂ වලින් බිදී, සන්නද්ධව සංවිධානය වෙමින්, අසීමිත කැපවීමක් සහිතව මෙම අරගල වලට පණ පෙවීය. නිකරගුවාව, චිලිය, බ්‍රසීලය, ආජන්ටිනාව ඇතුළු මුළු ලතින් ඇමරිකානු කලාපයේමත්, අප්‍රිකා හා ආසියා මහාද්වීපයන්ගේ රටවල් ගණනාවකත් මේ පන්නයේ අරගල රැල්ලක් පැතිර ගියේය. සමහර අරගල දශක ගණන් දික්ගැස්සිණි. කිහිපයක් ජයග්‍රහණයද කරන ලදී. එවන් තත්වයක් තුළ සමාජයට ප්‍රේමකළ, එය යහපත් තැනක් බවට පත්කිරීමට සිහින දුටු, ඒ වෙනුවෙන් කැපවීමට සූදානම් වූ, නමුත් මාක්ස්වාදය හෝ ඒ පිළිබද වන න්‍යායික විශ්ලේෂණ අතින් දිළිදු වූ තරුණ තරුණියන් බුරුතු පිටින් ඒ වටා රොද බදින ලදී. එකල ඔවුන්ට ‘සමාජවාදය’ ගොඩනැගීමේ ජීවමාන ක්‍රමවේදය එය විය. ‘චේ ගුවේරා’ එහි සංකේතය බදු විය.

එමෙන්ම එය ඇමරිකාව, අප්‍රිකාව තුළ පීඩිත කලු ජාතිකයන්ගේ විමුක්ති සටන් ඇවිල ගිය යුගයක් විය. යුරෝපයේ විශාල රාජ්‍යයන් සෙලවූ දැවැන්ත ශිෂ්‍ය සටන් ඇවිලී ගිය යුගයක් විය. සරලව පැවසුවහොත් ‘සමාජ විමුක්තිය’ පිළිබද ‘කල් නොදැමූ’ සිහිනයක් දුටු, ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් වුණු, ටින්-බෙලෙක්ක, දඩුමුගුරු වලින් පවා රජයේ හමුදාවන්ට විරුද්ධව යුධ වැදුණු යුගයක් විය. එය වීරත්වයේ යුගයක් විය. ලංකාව තුළ ජනතා විමුක්ති පෙරමුණේ 71 සන්නද්ධ අරගලය එම රැල්ලේ ලාංකේය ප්‍රකාශනය විය. ඒ සුනිල් අයියලාගේ තරුණ කාලයයි. ඔවුන් ආශ්වාදය ලැබුවේ ඒ තුළිණි. එකල ඉතාලි ජාතික රැඩිකල් මාධ්‍යවේදිනියක වූ’ ඔරියානා ෆ්ලචී’ 71 අරගලය පිළිබද තොරතුරු සෙවීමට ලංකාවට පැමිණි අයුරුත්, අහම්බෙන් මෙන් ඇය සමග ඒ සදහා තොරතුරු සෙවීමට යාමට පැවරුණු ‘සුනිල් අයියා’ රට වටා කැරලිකරුවන් හමවූ අයුරුත් අප අසා තිබේ. ඒ දකුණු අප්‍රිකාව තුළ අසීමිත කැපකිරීමකින් සටන් කර දිවි පිදූ ශිෂ්‍ය නායකයකු වූ ‘ස්ටීව් බිකෝ’ ලා සිටි යුගයයි. ඒ සුනිල් අයියාට ලැබුණු පන්නරයයි.

අතුරු කතා විශාල ප්‍රමාණයක් නොමැතිව කෙටියෙන් පවසනවා නම්, පවුල් පසුබිම තුළද ලේඛණයට හා පුවත්පත් කලාවේදයට නැඹුරු වීමට වැඩි අවස්ථාවක් තිබූ සංවේදී මිනිසෙකු වූ සුනිල් මාධව තුළින් ‘ආදරණීය සුනිල් අයියා’ නිර්මාණය වන්නේ එසේය. එකල අරගලන්ගේ පදනම වූයේම එයයි. ඒවාට ආකර්ශනය වූයේ එවැනි සමාජයට ප්‍රේම කරන මිනිසුන්ය. ඒ නිසාම එම යුගය තුළ නිර්මාණය වී තිබුණු අරගලය පිළිබද ‘රොමාන්තිකයේ’ ප්‍රධාන ප්‍රකාශකයකු ලෙස ‘සුනිල් අයියා’ ඉහළට එසවෙන්නේද ඒ අනුවයි. එමෙන්ම ‘සුනිල් අයියා’ගේ වීරත්වය මෙන්ම, සීමාවන්ද සලකුණු කරන්නේ එම රොමාන්තිකය විසින්ම බව අපගේ අදහසයි. එය සුනිල් අයියාට පමණක් නොව සියල්ලන්ටම පොදුය. මේ මොහොතේත් එක්තරා ඓතිහාසික යුගයක් අරබයා ගොඩනැගුණු එම රොමාන්තිකය තුළම යළි යළිත් ගිලෙමින්, සියල්ල උත්කර්ෂයට නංවනවා වෙනුවට ඒ වෙත විවේචනාත්මක දෘෂ්ඨියකින් මැදිහත්විය යුත්තේ ඒ නිසාමය. එමෙන්ම ‘සුනිල් අයියා’ වීරයෙක්ද ද්‍රෝහියෙක්ද යන්න සාකච්ඡා කිරීම නිෂ්ඵල කතිකාවතක් වන්නේත් ඒ නිසාමය. ඔහුගේ මාධ්‍ය ජීවිතයට අවුරුදු 50 ක් ඉක්මවන මේ මොහොතේ එම සමස්ත අරගල ක්‍රමවේදය හා එහි රොමාන්තිකය සමස්තයක් ලෙස කියවා ගත යුත්තේද ඒ නිසාය.

රොමාන්තික අරගලයක ශේෂ පත්‍රය

ඒ නිසා අසූව අනූව දශක වලදී ඉතා ආකර්ශනීය චරිතයක් වූත්, ‘වීරයෙක්’ වූත් සුනිල් අයියාත්, 2010 පමණ වන විට ‘විභූති මල්ලීට සුභ අනාගතයක්’ ප්‍රාර්ථනා කළ සුනිල් අයියාත්, මේ වන විටද මුදලට නොවිකිණී අසීරුවෙන් ජීවත් වන සුනිල් අයියාත් අපිට වටහා ගත හැකි වන්නේ එම අරගලයේ ආකාරය හා ඒ මත ගොඩනැගුණු රොමාන්තිකය පිළිබද අදහසකින් ඒ දෙස බලන්නේ නම් පමණි.

එකල ඇරඹුනු එම අරගල රැල්ලම න්‍යායික විශ්ලේෂණ- සාකච්ඡා හෝ මාක්ස්වාදී පදනම් අවම ඒවා විය. ලංකාවේ 71 අරගලයද, ඉන්දියාවේ ‘නැක්සලයිට්’ ව්‍යාපාරයද, ලතින් ඇමරිකානු උදාහරණද ආදී සියල්ල මීට නිදසුන් වේ. කෙසේ හෝ කැරලි ගසා පැවති පාලනය පෙරළා දමා, තම සංවිධානය විසින් රාජ්‍ය බලය හිමිකර ගත්පසු ‘සමාජවාදය’ කරා ඉදිරියට යා හැකි වේ යැයි ඔවුහු සිතූහ.(එකල පැවති සෝවියට් දේශයද ඇතුළු ‘සමාජවාදී’ කදවුර තමන්ගේ සහයට සිටී යන බලාපොරොත්තුව මගින් ලොව පුරා එවන් ව්‍යාපාර කුළුගන්වනු ලැබිණි.) ඒ සදහා අවශ්‍ය වූයේ ඕනෑම අසීරුතාවයක් මධ්‍යයේ තමන්ගේ සියළු දේ අතහැර දිවිදීමට සූදානම් සෙබළෙකි. එවැනි මිනිසුන් ගොඩනැගීමට අවශ්‍ය දැවැන්ත අනුරාගයක් අරගලය තුළ නිර්මාණය වීමද ඒ වටා ප්‍රභල රොමාන්තිකයක් ගොඩනැගීමද අනිවාර්ය ලෙසම සිදුවිය. එහිදී සෑම තැනකම පාහේ පහසුවෙන් ජාතිවාදය දක්වා රූපාන්තරණය විය හැකි ‘දේශප්‍රේමී’ අරගලය හා ‘මව්බිම වෙනුවෙන් යුධ වැදීම’ ආදිය උත්කර්ෂයට නංවනු ලැබිණි. එමෙන්ම සෝවියට් දේශය ඇතුළු නිළධාරීවාදී ‘සමාජවාදී’ කදවුර පිළිබද සැබෑ මාක්ස්වාදී විශ්ලේෂණයක් සිදුකර ගන්නවා වෙනුවට ඒ ගැන අසීමිත විශ්වාසයක් හා අධිනිශ්චයක්ද පැවතිණි. මෙම තත්වය තුළ එම සටන් කළ සංවිධානයන්ගේ මෙන්ම, ඊට ආශක්ත වූ බොහෝ දෙනාගේ සීමා නිර්ණය කෙරිණි. සුනිල් අයියාගේ ගමන අපි හදුනාගත යුත්තේ එම කරුණුද සලකමිණි.

තමාට ඉතිහාසය ලියන්න දෙනවා නම් එහි දිගම පරිච්ඡේදය ‘රෝහණ විජේවීර’ වෙනුවෙන් ලියනා බව අසීරු යුගයක ‘සුනිල් අයියා’ පැවසුවේය. ඔහු ජවිපෙ තරුණයන්ගේ අරගලය ගැන සාධනීයව ලිව්වේය. අයුක්තියට එරෙහිව සටන් කිරීමට ඇති අයිතිය මර්දනකාරී මොහොතවල් වල පවා නොසැලී සිය පෑනෙන් ලියා තැබීමට ඔහු පසුබට වූයේ නැත. නමුත් උතුරේ ජනතාව තම ජාතික පීඩනයට එරෙහිව සිදුකළ අරගලය ගැන ඔහුගෙන් ලියවෙන ප්‍රමාණය අඩුවන්නේ ඒ නිසාය. ජනතා විමුක්ති පෙරමුණ තුළ තිබුණු එම දැක්මට ‘සුනිල් අයියා’ ද ආශක්ත වී සිටියේය. එමෙන්ම ජවිපෙ 2010 දී මිලිටරි නායකයකු වන සරත් ෆොන්සේකා රටේ නායකයා කිරීමට සහය දෙද්දී, ‘හමුදාකාරයෙක් රටේ නායකයෙක් කරනවාට මං විරුද්ධයි මල්ලී’ කියූ ‘සුනිල් අයියා’ රාජපක්ෂට සහයෝගයක් ලබා දුන්නේය. ඒ සුනිල් අයියාගේ සීමාවයි.

අනූව දශකය මුල පුවත්පත් කලාවේදය පිළිබද ශිෂ්‍යත්වයක් ලැබී ටික කලකට ‘සමාජවාදී’ නැගෙනහිර ජර්මනියට ගිය සුනිල් අයියා මෑතකදී සිය අත්දැකීම ගැන සහෝදරවරුන් පිරිසක් සමග පවසා තිබුණේ “එහේ උමං දුම්රිය මාර්ග වල අවුරුදු දොළහේ දහතුනේ කෙල්ලෝ තුට්ටු දෙකට රෙද්ද උස්සනවා. මට එපා වුණා බං” කියාය. ඒ සුනිල් අයියා තම අප්‍රසාදය පළකරන හැටිය. සමාජවාදය ගැන තිබූ හැගීම දෙදරීමට පවා එය හේතුවක් වුණු බව ඔහු කියා තිබුණි. නැගෙනහිර ජර්මනිය දුටු පසු එතරම් කම්පනය වීමකට ඔහු පත්වී තිබුණි. ගොඩබැසීමට පෙර නැගෙනහිර ජර්මනිය වැනි රාජ්‍යයන් පද්ධතිය ගැන විශාල ලෙස සිතාගෙන සිටින්නට ඇත. ඒ ‘සුනිල් අයියා’ ගේ සීමාවයි.

ඒ සීමාව ‘සුනිල් අයියා’ ගේ පමණක් නොවේ

ඒ සීමාව ‘සුනිල් අයියා’ කියන මිනිසාගේ පමණක් සීමාවක් නොවේ. අරගලයේ එම ප්‍රවණතාවය විශ්වාස කළ, තවමත් විශ්වාස කරන හැමගේම සීමාවයි. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ වල සීමාවයි. (නැගෙනහිර ජර්මනියේ පීඩාකාරී පොලිස් රාජ්‍යය බිද වැටී දශක තුනකට පසුද ජනතා විමුක්ති පෙරමු‍ණේ සහෝදරයෙක් නැගෙනහිර ජර්මනියේ බර්ලින් තාප්පය ගැන අපූරු අදහස් පළ කිරීම ගැන පසුගියදා අපි මෙහි ලිපියක්ද පළ කරන ලදී.) ඒ නිසා මේ සීමාව මීට දශක කිහිපයකට පෙර එසේ පැන නැගි අරගල මාදිලියේ අනිවාර්ය සීමාවයි.

එබැවින් ‘සුනිල් අයියා’ ට ආචාර කිරීමට අපි දෙවරක් හිතන්නේ නැත. ඔහු තනි මිනිසෙක් ලෙස තම ජීවිතයේ කළ හැකි විශාල වැඩ කොටසක් කර තිබේ. ඔහු පසුකාලීනව දේශපාලනය වරද්දා ගත් බවද ඇත්තකි. නමුත් එසේ වරද්දා ගත්තේ ඔහු පමණක් නොවේ. අපිද(එකල ජවිපෙ) වරද්දා ගත්තෙමු. අපි වරද්දා ගත්තේ ඔහුට කලින්ය.

පසුගියදා පැවැත්වුණු උපහාර උළෙල සංවිධානය කළේ යහපත් අරමුණක් සහිත සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකි. කළ යුත්තක්ම වූ එය ඔවුන් ඉතා අසීරුවෙන් සිදුකළ බවද අපි අත්දැකීමෙන් දැක ගත්තෙමු. හරිනම් ‘සුනිල් අයියා’ ඇගයිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ වැනි සංවිධානයි. ‘සුනිල් අයියා’ එදා දිවිපරදුවට තබමින් පෑනෙන් සටන් කළේ ජවිපෙ සගයන් වෙනුවෙනි. බිදවැටුණු අරගලයකින් පසු ඔවුන්ගේ ජීවිත වෙනුවෙනි. ඔවුන්ට ශක්තියක් වෙමිනි. නමුත් එසේ වූයේ නැත. ‘සුනිල් අයියා’ පාවාදුන් මිනිසෙකු ලෙස ඔවුන් සිතනවා විය හැකිය. මාක්ස්වාදයට වඩා බොහෝ වෙනස් ඔවුන්ගේ සාමාන්‍ය තියරියට අනුව ‘ගියොත් ගියාය. දෙවියන් වහන්සේ වුණත් ආපසු ඒමක් නැත.’ නමුත් අපි ඊට එකග නැත. ‘සුනිල් අයියා’ අසූව අනූව දශකයේ පෑනෙන් සටන් කරන විට ජවිපෙ සගයින් තුවක්කු බෝම්බ වලින් රාජ්‍යයට විරුද්ධව සටන් කරමින් සිටියහ. ‘සුනිල් අයියා’ 2010 දී විභූති මල්ලීට සුභ අනාගතයක් පතන මොහොත වන විට ජවිපෙ සගයින්(අපිද ඇතුළුව) ඊටත් වසර පහකට පෙර ඒ ගමන ගොස්, දැන් එහි අනිකද කරමින් රනිල් වික්‍රමසිංහලා සමග ෆොන්සේකාටද සහයෝගය දෙමින් සිටියහ. ඒක බරපතලය. ඒ තනි මිනිහෙකුට වැරදීමට ලෙහෙසියෙන් හැකි වුණත් සමාජ ව්‍යාපාරයකට ‘වැරදීම’ ඊට වඩා බරපතල වන නිසාය. ඒ නිසා ‘සුනිල් අයියා’ ට ද්‍රෝහියෙක් කියනවාට අපි එකග නැත. එය ඊට වඩා සංකීර්ණ කතාවකි. ‘සුනිල් අයියා’ටද ජවිපෙ මල්ලිලාටද එක ලෙස වැරදුණු එම රොමාන්තිකයෙන් මෙන්ම එහි පදනම වන දශක කිහිපයකට පෙර ගොඩ නැගුණු ‘කට්ටිය සෙට් කර ගසා අල්ලන’ හුදු තරුණ සන්නද්ධ අරගල කතිකාවතෙන්ද බිදී වෙන්විය යුතු බව අපි අවධාරණය කරන්නේ එබැවිනි.

අවතාර වලින් ගැලවිය යුතුය

සුනිල් මාධව ප්‍රේමතිලක නම් මිනිසාට උපහාර පිදීම යන්න අපි වටහා ගන්නේ ඒ ආකාරයටයි. එනම්, යළි කියවීමක් කරගනිමින් අනාගතය නිර්මාණය කරන්නේ කෙසේද යන පැනයට පිළිතුරු සෙවීම ආරම්භ කිරීමටයි. එනම් අරගලය තුළ බිහිවන, මනුෂ්‍ය වර්ගයාට ප්‍රේම කරන, එමෙන්ම විභූති මල්ලිලාට සුභ පතන්නේ නැති ‘සුනිල් අයියලා’ තව තවත් බිහිකළ හැකි සමාජ විමුක්ති අරගලයේ ඉදිරි පියවර කුමක්දැයි පිළිබදව සිදුකරගන්නා නිවැරදි විශ්ලේෂණයකටයි. එහිදී අපි දකින ප්‍රධාන කරුණක් ඇත.

පසුගිය සියවසේ වාමාංශික ව්‍යාපාරයේ අරගලය ප්‍රධාන මාදිලි දෙකක් පසු කර ඇත. පළමුවැන්න සියවසේ මුල් යුගයේ පැතිරුණු සෝවියට් මාදිලියයි. කම්කරු පන්ති අරගලය, සෝවියට් සභා, බුද්ධිමය සංවාද ආදිය මත පදනම් වූ එය සෝවියට් රුසියාව තුළ සාර්ථක වූ මාදිලියයි. දෙවැන්න නම් අපි සදහන් කළ තරුණ සන්නද්ධ අරගලයයි. අපි වටහා ගත යුත්තේ එම මාදිලි දෙකම තර්කානුකූලව දැන් අවසන් බවයි. ‘සුනිල් අයියා’ ද සිරිනැරඹූ නැගෙනහිර ජර්මනියේ බර්ලින් තාප්පය 1990 දී බිද වැටීමත් සමග එම මාදිලි දෙකම තර්කානුකූලව අවසන් විය. ඉතිහාසයට එකතු විය. දැන් සමාජ විමුක්තිය ගැන කල්පනා කරන, එදා ‘සුනිල් අයියලා’ දුටු සිහිනය දකිමින් සිටින කවුරුන් වුව පටන් ගත යුත්තේ එතැනිනි. එසේත් නැතිනම් එම මළමිනියට පණ දීමට උත්සාහ කළ හැකිය. නමුත් එම උත්සාහයේ අවසානය ඒ මළමිනියත් සමගම එක වලේම මිහිදන් වීම බවත් අපි වටහා ගත යුතුය.

තත්වයන් එසේ වුවත් සමාජය වඩාත් යහපත් තැනක් බවට පත්කිරීම සදහා වන අරගලය දැන් එදාටත් වඩා ප්‍රභලව දැනෙමින් තිබෙන බව අපි දනිමු. එදා ‘සත්‍යවාදියෙකුගේ දිනපොත’ තුළින් ‘සුනිල් අයියා’ දුටු සිහිනය අද වඩ වඩාත් සමාජය වෙත දැනෙමින් පවතී. ඒ සදහා විවර කර ගත යුත්තේ නව තුන්වැනි මාවතකි. සියලු වෙර වීරිය යොමුකළ යුත්තේ ඒ වෙනුවෙනි. එය සාර්ථක වන මොහොතක සුනිල් මාධව ප්‍රේමතිලකලා තව තවත් බිහිවෙනු ඇත.
– නජිත් ඉන්දික / මහේෂ් කුමාර ( මුහුණු පොතිනි)

Back to Top