Sri Lanka Brief
පුවත්විවරණරාජපක්ෂ යුගයේ සංස්කෘතිය සහ ඌරුවත්, සේවක අර්ථසාධක අරමුදලේ මගඩිත්, බැඳුම්කර වංචාවන්ට දායක වී තිබේ: (කොමිසම)

රාජපක්ෂ යුගයේ සංස්කෘතිය සහ ඌරුවත්, සේවක අර්ථසාධක අරමුදලේ මගඩිත්, බැඳුම්කර වංචාවන්ට දායක වී තිබේ: (කොමිසම)

by

ජායාරූපය: මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රාජපක්ෂගේ දේශපාලන අතකොළුවක් විය.

රාජපක්ෂ පාලන සමයේ සිට මහ බැංකුව දේශපාලනීකරණය වීමත්, සේවක අර්ථසාධක අරමුදලේ මූල්‍ය වංචාවන් ගැන එදා රජය නොතකා හැරීම සේම එම සමයේ පටන් පැවත එන ව්‍යාපාරික සංස්කෘතිය සහ ඌරුවත්, 2015 බැඳුම්කර වංචාවන් සිදුවීමට උපස්ථම්භක වී ඇතැයි ජනාධිපති විමර්ශන කොමිසම නිරීක්ෂණය කරයි. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයේ සිටියදී සිදු වූ හොර බැඳුම්කර වෙන්දේසි කිහිපයක් ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසම, එම වෙන්දේසිවලට සහ ඒවායේ පොලී අනුපාතික ප්‍රතිපත්තිවලට ඔහු අතපොවා ඇති බවත්, ඒ ඉදිරියේ මහ බැංකුවේ ඉහළ නිලධාරීන් ‘ඔහේ බලාගෙන’ සිට ඇති බවත් කියා සිටී.

අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන ඇලෝසියස්ට අයත් ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගම රහසින් ලබා ගත් මහ බැංකු අභ්‍යන්තර තොරතුරු මත පදනම්ව අඩු මිළකට මහ බැංකු බැඳුම්කර මිළදී ගෙන, ඊළඟට, මහ බැංකුව විසින්ම කළමනාකරණය කරනු ලබන සේවක අර්ථසාධක අරමුදලට එම මහ බැංකු බැඳුම්කර වැඩි මිළකට විකිණීමෙන් අති විශාල ලාභයක් අත්කරගෙන තිබේ. ඒ සඳහා එම සමාගම විසින් සේවක අර්ථසාධක අරමුදලේ නිල තැරැව්කාර නිලධාරීන්ට අල්ලස් ගෙවා තිබේ. 2015 ට පෙර පැවති මෙම අක්‍රමිකතා ඉවසා සිටීමේ සංස්කෘතිය, බැඳුම්කර වංචා එක දිගට සිදුවීමට පාර කපා ඇති බව කොමිසම නිරීක්ෂණය කරයි.

දේශපාලනීකරණය වීම

2006 සිට 2015 ජනවාරි මාසය තෙක් මහ බැංකු අධිපති ධුරය දැරූ අජිත් නිවාඞ් කබ්රාල් ‘එදා විධායක ජනාධිපතිවරයාගේ සහ එම ආණ්ඩුවේ සමීපතමයෙකු මෙන්ම, ඔවුන් කෙරෙහි දේශපාලනික ලැදියාවක් ඇත්තෙකු වශයෙන් හඳුනාගෙන සිටි අයෙකු’ වූ බව කොමිසම නිරීක්ෂණය කොට තිබේ. ‘ඒ හේතුවෙන්, මේ කාලය තුළ මහ බැංකු අධිපතිවරයාගේ සහ මහ බැංකුවේ ක්‍රියාකාරකම් එක්තරා දුරකට ‘දේශපාලනීකරණය’ වූ බව එදා බෙහෙවින් සාකච්ඡාවට ලක්ව ඇත.’ මහ බැංකු අධිපති කබ්රාල් සහ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට පත්කළ සාමාජිකයන් දෙන්නෙකු වූ නිමල් වෙල්ගම සහ නීල් උමගිලිය, 2015 ජනවාරි 8 වැනි දා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමගම ඉල්ලා අස්වීම මගින්, ඔවුන් මොන තරම් දේශපාලනීකරණයට ලක්ව සිටියේද යන්න පෙන්නුම් කරන බව කොමිසම කියා සිටී. මහ බැංකු අධිපතිවරයා සහ මූල්‍ය මණ්ඩල සාමාජිකයන් පත්කරනු ලබන්නේ අවුරුදු 6 කාලයක් සඳහා වන අතර, ඔවුන්ව එම තනතුරුවලින් ඉවත් කළ හැක්කේ විශේෂිත හේතු යටතේ පමණක් බව, ශ්‍රී ලංකාවේ මහ බැංකු නීතියේ සඳහන් වෙයි.

‘තමන්ව පත්කළ ජනාධිපතිවරයා ගෙදර ගොස් අලුත් ජනාධිපතිවරයෙකු පත්වීමත් සමගම, කබ්රාල්, වෙල්ගම සහ උමගිලිය යන මහත්වරුන් සේවයෙන් ඉල්ලා අස්වීම මගින් කියාපෑවේ, තමන් වනාහී තමන්ව පත්කරනු ලබන ජනාධිපතිවරයාගේ අභිමතය මත පමණක් සේවයේ රැඳී සිටීමට සුදුසුකම් ලත් දේශපාලනික පත්වීම්ලාභීන් වශයෙන් ඔවුන්ම සළකන බව’ යැයි කොමිසම නිරීක්ෂණය කරයි.

එය තවදුරටත් මෙසේ ද සඳහන් කරයි: ‘තමන් අනවශ්‍ය පරිදි ‘දේශපාලනීකරණය’ වී ඇතැයි ප්‍රදර්ශනය කරන හෝ එසේ වන බවට සෙස්සන් තුළ හැඟීමක් ජනනය කරන මහ බැංකු අධිපතිවරයෙකු, මූල්‍ය මණ්ඩල සාමාජිකයෙකු හෝ වෙනත් ඉහළ බැංකු නිලධාරියෙකු, එම බැංකුව අගතියට පත්කිරීමට සහ බැංකුවේ ව්‍යවස්ථාපිත රාජකාරි ඉටු කිරීමේ හැකියාව මොට කර ගැනීමට ඉඩ තිබේ.’

‘තවද, මහ බැංකු අධිපතිවරයෙකු හෝ මූල්‍ය මණ්ඩල සාමාජිකයෙකු හෝ වෙනත් ඉහළ පෙළේ මහ බැංකු නිලධාරියෙකු අනවශ්‍ය පරිද්දෙන් ‘දේශපාලනීකරණය’ වී ඇති අවස්ථාවක හෝ එසේ වන බවට සෙස්සන් තුළ හැඟීමක් ජනනය වන ආකාරයෙන් හැසිරෙන අවස්ථාවක, එයම අනුකරණය කරන්නැයි සෙසු නිලධාරීන්ටත් එවැන්නෙකුගෙන් ආදර්ශයක් සැපයෙන අතර, එවැන්නෙකුගෙන් ලැබෙන උපදෙස්වල යෝග්‍ය/අයෝග්‍යතාව නොසළකා ඒවාට අවනත වීමට සෙසු නිලධාරීන්ව පොළඹවයි.’

‘2015 වසර ආරම්භයේ ශ්‍රී ලංකා මහ බැංකුව තුළ පැවති ව්‍යාපාරික සංස්කෘතිය සහ ඌරුව කෙරෙහි එවැනි ආකල්ප බලපාන්ට ඇතැයි අපට සිතේ.’

බැඳූම්කර වංචාවන් සිදුවීමට කලින්, කබ්රාල් සහ මූල්‍ය මණ්ඩල සාමාජිකයන් වසර 8 ක කාලයක් එම තනතුරුවල සේවය කොට ඇති අතර නියෝජ්‍ය බැංකු අධිපතිවරුන් දෙන්නෙකු වසර 3 ක කාලයක් සේවය කොට ඇති බව කොමිසම පෙන්වා දෙයි. 2013 මැයි මාසයේදී ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගමට ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු වශයෙන් ලියාපදිංචිය දීමට මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කරන අවස්ථාවේ එම සමාගමේ පරිවාර සමාගමක අධ්‍යක්ෂිකාවක් වශයෙන් කබ්රාල්ගේ සොහොයුරියක් වන ශිරෝමී වික්‍රමසිංහ සිටීම, ළබැඳියාවන් අතර ගැටුමක් නොවේද යන්න එහිදී සැලකිල්ලට භාජනය කොට නැත.

පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගමේ එකල පරිවාර සමාගමක් වූ ‘පර්පෙචුවල් ඇසෙට් මැනේජ්මන්ට්’ සමාගම’, නිවාඞ් කබ්රාල්ට සමීප ඥාති සම්බන්ධතා ඇති ‘රේණුකා සමූහ ව්‍යාපාර’ තුළ විශාල ආයෝජනයන් කර තිබූ බව ද මෙහිදී අමතක නොකළ යුතුය.

අන්ධ ඇස

මහ බැංකු අධිපති තනතුර කෙරෙහි දීර්ඝ කාලයක් තිස්සේ ආරෝපණය කොට තිබූ ‘අනවශ්‍ය නමස්කාරය’ හේතුවෙන්, බැංකු අධිපතිවරයාව, ‘ප්‍රශ්න කළ නොහැකි අධිකාරී බලයක් සහිත කෙනෙකු සේ උඩ දමා තිබේ’. මහ බැංකු අධිපතිවරයාගේ එකී අධිකාරි බලය ප්‍රශ්න කළ නියෝජ්‍ය අධිපතිවරුන් එම තනතුරුවලින් ඉවත් කෙරුණු අවස්ථා ඇති බව, ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන පරීක්ෂණ කොමිසම හමුවේ කියා සිටියේය.

‘අප ඉදිරියේ කියැවුණු සාක්ෂි අනුව, 2015 පෙබරවාරි මාසයට කලින් සිටම, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතැම් අංශවල මෙහෙයුම් සහ ක්‍රියාන්විතයන්හි දෛනික කටයුතු සම්බන්ධයෙන් එක්තරා බුරුලක් තිබී ඇති බව පෙනී යයි. ඊටත් වඩා, සමහර විට බැංකුවේ ඉහළ නිලධාරීන් ඇතැම් දේවල් කෙරෙහි මේ කාලයේ කැමැත්තෙන්ම ඇස් වසාගෙන සිට ඇති බවක් පෙනී යයි.’

‘එම සාක්ෂි අනුව පෙනී යන තවත් කරුණක් වන්නේ, 2015 පෙබරවාරියට කලින් එකී තීරණ සහ ක්‍රියාකාරකම්වල යෝග්‍යතාව සහ ඥානාන්විත භාවය පිළිබඳ ප්‍රශ්නයක් මතුවන බවයි. මේ තත්වය තුළ, බැංකුවේ ඉහළ නිලධාරීන් තම රාජකාරී ඉටු කිරීමේදී සහ අධීක්ෂණ මට්ටමේදී දක්වා ඇති ලිහිල් භාවය තුළ, ඇතැම් අංශවල දෛනික කටයුතුවලට අදාළ පරිපාටි නොතකා කටයුතු කොට ඇති බව පෙනී යයි.’

සේවක අර්ථසාධකයේ මගඩි

‘පර්පෙචුවල් සමූහ ව්‍යාපාරය’ ඇතුළු තවත් ආයෝජකයන් තමන් මහ බැංකුවෙන් මිළදී ගන්නා බැඳුම්කර ආපසු ලාභදායීව විකිණීම සඳහා පාවිච්චි කොට ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලේ ධනය බව කවුරුත් දනිති. ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගමේ බැඳුම්කර කොටස් සේවක අර්ථසාධක අරමුදල්වලින් මිළ දී ගත් ඉන්දික සමන් කුමාර සහ උදයසීලන් සේවක අර්ථසාධක අරමුදලේ තැරැව්කාර නිලධාරීන් වන අතර, 2010-2012 කාලය තුළ ඔවුන් සේවක අර්ථසාධක අරමුදලේ කළමනාකරණ අංශයේ සේවය කොට ඇති බව කොමිසම පෙන්වා දෙයි. එම කාලය තුළ ඔවුන් කළ ගනුදෙනුවල ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගම ගැන සඳහන් වෙයි. සත්‍ය ප්‍රකාශයක් කරන බවට වන දිව්රුම යටතේ කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගමේ ප්‍රධාන තැරැව් නිලධාරීයා, 2014 පටන් තමා විසින් සමන් කුමාරට ‘මූල්‍යමය පෙළඹවීමේ දීමනා’ ගෙවූ බව කියා සිටියේය. සමන් කුමාර තමන්ගේ වැටුප වන රුපියල් 200,000 කින් රැස් කර ගන්නවාට වඩා දේපළ මේ කාලය තුළ අත්පත් කරගෙන ඇති බවත් කොමිසම නිරීක්ෂණය කෙළේය.

ගෞරවනීය නමක් දිනා සිටි, ‘සුරැකුම් සහ විනිමය කොමිසමේ’ සභාපති ඉන්ද්‍රානී සුගතදාස, 2011 කොටස් වෙළඳපොළේ මගඩි නිසා, ‘ඇගේ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීම සඳහා’ එම තනතුරෙන් ඉල්ලා අස්වූ බවත් කොමිසම පෙන්වා දුනි. එහෙත්, සේවක අර්ථසාධක අරමුදලේ එකී අක්‍රමිකතා සොයා බැලීමට මහ බැංකුව කිසි පියවරක් ගත්තේ නැත.

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රධාන කාර්යාලය තුළ හඬ පටිගත කෙරෙන ක්‍රමයක් පවා නැත. සමන් කුමාර සහ අනෙක් අය අතර කෙරුනු කතාබහේ පටිගත කළ හඬ පට කොමිසමට ලැබී ඇත්තේ වෙනත් බැංකු සහ වෙනත් සමාගම්වල තැරැව්කාර නිලධාරීන්ගෙනි. ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගම අයථා අන්දමින් වෙළඳපොල හැසිරවීමට කටයුතු කොට ඇති අතර, ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන කොමිසම ඉදිරියේ පෙන්වා දුන් පරිදි, ද්විතීය වෙළඳපොළ තුළට භාණ්ඩාගාර බැඳුම්කර ‘පොම්ප කිරීමට සහ නිෂ්පේෂණය කිරීමට’ මේ සමාගම කටයුතු කොට ඇති බවත් කොමිසමේ නිරීක්ෂණයට ලක්විය.

‘කරුණු මෙසේ තිබියදීත් මහ බැංකුව කිසි පියවරක් නොගෙන සිටීම, මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ගේ රාජකාරිය කෙරෙහි නරක අන්දමින් බලපා තිබේ.’

වැරදි පණිවිඩය

ඩොලර් මිලියන 15.6 ක පාඩුවක් සිදු කර ගත් ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමේ තීන්දුව ගෙන ඇත්තේ ද එක්තරා ‘අවිධිමත් රැස්වීමකදී’ නැත්නම් ඉහළ නිලධාරීන් පිරිසක් රැස්ව සිටි තැනකදී වන අතර, ඊට කබ්රාල්ගේ අනුමැතිය ලැබී තිබුණත්, මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී නැති බව කොමිසම නිරීක්ෂණය කරයි. එයින් පෙන්නුම් කරන්නේ, ඉතා වැදගත් තීන්දු ගැනීම විධිමත් ක්‍රියා පරිපාටියක් හරහා සිදු නොකොට, මහ බැංකු අධිපතිවරයා සහ ඇතැම් ඉහළ නිලධාරීන් පිරිසකගේ අණසකට යට කොට තිබීමේ සංස්කෘතියක් මහ බැංකුව තුළ ක්‍රියාත්මකව තිබී ඇති බවයි. එවැනි වැදගත් තීන්දු ගැනීමේ විධිමත් ක්‍රියාවලියකදී නම්, ගනුදෙනුවට අදාළ සියලු දත්ත පිළිබඳවත්, මූල්‍ය ප්‍රතිපත්ති සහ ඉන් ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳවත් සුපරීක්ෂාකාරී සහ දූරදර්ශී තක්සේරුවකට මුලින් එළැඹිය යුතුය.

වර්තමානයේ විශාල සමාගම් පවා අත්‍යාවශ්‍ය දෙයකැයි සළකන ‘නියාමන අනුකූලතා දෙපාර්තමේන්තුවක්’ හෝ ‘අවදානම කළමනාකරණ දෙපාර්තමේන්තුවක්’ මහ බැංකුවට තිබී නැත. එවැනි අංශ ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍ය දෙයකැයි නොසළකන මහ බැංකුවක සේවය කරන ඉහළ නිලධාරීන් ද, නියාමන අනුකූලතාව සහ අවදානම කළමනාකරණය කිරීම ප්‍රමුඛ වැදගත් කමක් ඇති දේවල් සේ නොසැළකීමට පෙළඹිය හැකිය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් අර්ජුන මහේන්ද්‍රන් පත්වීමෙන් මාසයකට පමණ පසුව, 2015 පෙබරවාරි 27 වැනි දා සිදු වූ දේවල් ඉදිරියේ බැංකුවේ ඉහළ නිලධාරීන් දැක්වූ සුවච සහ යටහත් පහත් ආකල්පය, බැංකු නිලධාරීන් තමන්ගේ රාජකාරි කෙරෙහි යොමු වී ඇති ආකාරයේ ස්වභාවය මොනවට කියාපායි.

නියාලු නොසැලකිල්ල

තිස් අවුරුදු බැඳුම්කර රුපියල් බිලියන දෙකක් දක්වා නිකුත් කිරීමට නිර්දේශ කළ, 2015 පෙබරවාරියේ රැස්වූ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිත්වය දැරූ, මහ බැංකු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි, රුපියල් බිලියන 10 ක බැඳුම්කර නිකුත් කිරීමට බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගත් තීන්දුවට ‘යට වෙමින් නියාළුව කටයුතු කොට ඇති’ බව කොමිසම නිරීක්ෂණය කරයි. ඒ බිලියන 10 න් වැඩි හරියක් මිළ දී ගත්තේ ද ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගම ය. ඔහු අතින් බරපතල සේවය පැහැර හැරීමක් එහිදී සිදු වී තිබේ.

‘ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්, එම ටෙන්ඩර් මණ්ඩලය ස්වාධීන සහ නැණවත් තීරණයකට එළැඹෙන බවට වගබලා ගැනීමේ රාජකාරිමය වගකීමක් තිබූ නියෝජ්‍ය බැංකු අධිපති සමරසිරි ඔහුගේ වගකීම බරපතල ලෙස පැහැර හැර ඇති අතර, අර්ජුන මහේන්ද්‍රන් විසින් දෙන ලද උපදෙස්වලට නියාලු ආකාරයෙන් අවනත වී ඇතැ’ යි කොමිසම පෙන්වා දෙයි. එසේම, තවත් මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු වන ආනන්ද සිල්වා සහ එන්. වීරසිංහත්, සෘජු ලංසු තැබීම අත්හිටුවීමට හෝ නතර කිරීමට මහ බැංකු අධිපතිවරයා හිටිහැටියේ තීරණය කොට ඇති බව දැන ගත් අවස්ථාවේ නිශ්ශබ්දව සිටීමෙන්, නොසැලකිලිමත් ආකාරයෙන් තම වගකීම් ඉටු කිරීමට අසමත්ව ඇති බවත් කොමිසම කියා සිටී.

(2018 ජනවාරි 20 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Rajapakse Era Culture and Ethos, EPF Scams Helped Sri Lanka Bond Frauds නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top